2021 සැප්තැම්බර් 04 වන සෙනසුරාදා

බඩු මිල පාලනයට ආණ්ඩුව සටනට බසී

 2021 සැප්තැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 188

  • මංගල වෙනුවෙන් චන්ද්‍රිකා පිංකමක
  • කාදිනල් හිමිගෙන් ඇමැති ජී.එල්.ට කොන්දේසි
  • යූ.ඇන්.පී.ය අද 75 සමරයි
  • ආණ්ඩුවේ බැරිකම වහගන්න හදිසි නීතිය දැමූ බව විපක්ෂය කියයි
  • චීන එන්නත සති පහක් ප්‍රමාද කළ අය ගැන ජ.වි.පෙ. විමසයි

සතියේ දේශපාලනය තරමක් සංසුන් ස්වරූපයක් ගත්තේය. කොවිඩ් වසංගතය, සංචරණ සීමා ඊට බලපෑවා විය හැකිය. එහෙත් තිරය පිටුපස වූ ආරෝවන්, සැලසුම්, කුමන්ත්‍රණ හීන්සීරුවේ ඉදිරියට ඇදුණි. ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුදය ඒකපාර්ශ්වික වූයේ පිරිසක් නිහඬ ප්‍රතිපදාවකට පිවිසීම හේතුවෙන්ය. එහෙත් අර්බුදයේ ගිනි පුළිඟු දස අත පාවෙමින් තිබුණි. විපක්ෂයට කොවිඩ් මර්දන සේම ජීවන වියදම ප්‍රබල සටන්පාඨ විය. හදිස්සියේ මහජන ආරක්ෂක පනතේ හදිසි නීති විධිවිධානද කරළියට පැමිණියේය. ශ්‍රිලනිප, එජාප ලොක්කන් සිය සංවත්සරය සැමරුමට ලක ලෑස්ති වෙමින් සිටියහ.

කාලයක සිට අපේක්ෂා කළ විදෙස් ඇමතිකම ලද ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සිටියේ ප්‍රීති ප්‍රමෝදයෙනි. එහෙත් හිටි හැටියේම හෙතෙම අර්බුදයකට මැදිවිය. වඳින්න ගිය දේවාලය ජී.එල්.ගේ ඉහේ කඩාවැටී ඇතැයි පිරිසක් කීහ. නව තනතුරට පත්වූ පසු කාදිනල්තුමන් සමඟ සාකච්ඡා කිරීමට ජී.එල්. පීරිස් මහතාට ඇවැසි විය. ඊට හේතුව ලෙස දේශපාලන ආරංචි අනුව කියැවුණේ කාදිනල්තුමන් විසින් පසුගිය දිනවලදී සිදුකරනු ලැබූ ප්‍රකාශයයි. තවත් පිරිසකට අනුව මීට හේතුව ඇමැති ජී.එල්.ට ඉහළින් ලැබුණු නියෝගයක් බවද කියැවුණි. කෙසේ හෝ ඔහුගේ අපේක්ෂාව වූයේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ පරීක්‍ෂණවලට අදාළව රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් කාදිනල්තුමන්හට කරුණු පැහැදිලි කිරීමයි. එසේම කාදිනල්තුමන් පාස්කු සිදුවීම් සම්බන්ධව පරීක්ෂණ ජාත්‍යන්තරයට රුගෙන යන බව පවසා තිබීමද විදෙස් අමාත්‍යවරයා ලෙස ඔහුට ප්‍රශ්නයක් වී තිබුණු බව කියැවුණි. ඒ අනුව අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා තමාට සාකච්ඡාවක් ඇවැසි බව කාදිනල්තුමන්ට දැනුම් දුන්නේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධව පරීක්ෂණ කටයුතු පිළිබඳ කාදිනල්තුමන් සිටියේ දැඩි නොසතුටකිනි. ඒ අතර පසුගියදා පොලිස්පතිවරයා සිදුකළ ප්‍රකාශයද එම නොසතුට දෙගුණ තෙගුණ කර තිබුණි. මේ අතර ආණ්ඩුවේ ප්‍රධානී සහ කාදිනල්තුමන් අතර සන්නිවේදන එතරම් හොඳ තත්ත්වයක් නොතිබූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. මේ සියල්ලේ ප්‍රතිඵල භුක්ති විදීමට සිදුවූයේ නව විදෙස් ඇමැති මහචාර්ය ජී.එල්. පීරිස් මහතා හටයි. සාකච්ඡා සඳහා සිදුකළ ආරාධනය පිළිගැනීමට නම් පාස්කු ප්‍රහාරයේ විමර්ශන විනිවිදභාවයකින් සිදුවන බවට විශ්වාසයක් තමා තුළ ඇතිවිය යුතු යැයි කාදිනල් හිමියෝ අමාත්‍යවරයා වෙත ලිඛිතව දැන්වූහ. සාකච්ඡා කරන්නට තමන් විවෘත නමුත් ඒ සඳහා කොන්දේසි කිහිපයක් සම්පූර්ණ විය යුතු බවත් එම කොන්දේසි සම්පූර්ණ වනතුරු සාකච්ඡාවට නොඑන බවත් ඒ අනුව හෙතෙම කියා සිටියේය.

මෙම ලිපිය පිළිබඳ කරුණු පැහැදිලි කිරීමට පසුව අගරදගුරු මාධ්‍ය අංශය පියවර ගත්තේය. ඒ අනුව විශ්වාසය ගොඩනැගීමට නම් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවෙන් ඉදිරිපත් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම ආරම්භ විය යුතු බවත් කාදිනල්තුමා සිය ලිපියෙන් අමාත්‍යවරයාට දැනුම් දී ඇතැයිද සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා සඳහන් කළේය. ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්‍ෂවරයා සහ පොලිස්පතිවරයා ඉකුත්දා මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය තුළ ඇතුළත් යම් යම් කරුණුවලින්ද කාදිනල්තුමන්ගේ විශ්වාසය තවදුරටත් පලුදු වී ඇතැයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ විය. මෙම තත්ත්වය මත සාකච්ඡාවක් කිරීමට අවශ්‍ය නම් විශ්වාසය ගොඩනැගුණු පසු එය පැවැත්විය හැකි බවද කාදිනල්තුමන් අමාත්‍යවරයාට දැනුම් දී තිබුණි. කෙසේ වෙතත් මෙම තත්ත්වය තුළ ආණ්ඩුවේ නම් දැරෑ චරිත කිහිපයක් කාදිනල්තුමන්ගේ හැසිරීම පිළිබඳ නොසතුටින් පසුවන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර ආණ්ඩුවේ අභ්‍යන්තර ගැටුම තරමක් සමනය වී ඇති බවක් පෙනී ගියේය. ඊට හේතුව වූයේ බැසිල් සහ විමල් පාර්ශ්ව ගෙවුණු සතියේ නිහඬ වීමයි. ලොක්ඩවුන් ලිපිය නිසා ඇතිවූ තත්ත්වය මත නිහඬව සිටීමට විමල්, උදය, වාසු අතුළු පක්ෂ දහයේ කණ්ඩායම තීරණය කළහ. අග්‍රාමාත්‍ය මහින්දානන්ද රාජපක්ෂ මහතාද දෙපාර්ශ්වයේම නායකයින්ට අවවාදකර ඇති බව දැනගන්නට ලැබුණි. මේ අතර තවත් දේශපාලන කටකතාවක් පැතිර ගියේය. ඊට අනුව බැසිල්වාදී මන්ත්‍රීවරු කිහිප දෙනෙකු විමල් ඇතුළු පිරිස ආණ්ඩුවෙන් එළවීමේ කුමන්ත්‍රණයක නිරත වී සිටින බව කියැවුණි. විමල් ඇතුළු පිරිස මැතිවරණයකට පෙර නියත වශයෙන්ම සන්ධානයක් නිර්මාණය කරගන්නා බවත්, ඒ වනතුරු බලා සිටියහොත් පොහොට්ටුවට විශාල දේශපාලන අවාසියක් සිදුවිය හැකි බවත්, ඊට පෙර විමල් ඇතුළු පිරිස ආණ්ඩුවෙන් නෙරපා දැමිය යුතු බවත් ඔවුන් අදහන බව කියැවුණි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා මෙන්ම අග්‍රාමාත්‍යවරයාද මෙම අදහසට එතරම් මනාපයක් නොදක්වන බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේය. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මැති ඇමතිවරු කිහිපදෙනෙක් විරවංශ පාර්ශ්වය විවේචනය කර තිබුණි. විමල් පාර්ශ්වයේ ලොක්ඩවුන් ලිපිය පිළිබඳ ජනාධිපතිවරයා නොසතුටින් පසුවුවද මෙම විවේචන සම්බන්ධව ජනාධිපතිවරයා එතරම් උනන්දුවක් දක්වා නැතැයි කියවුණි. කෙසේ වෙතත් මේ දිනවල ජනාධිපතිවරයාගේ හිතෛෂී අමාත්‍යවරයක් වන මහින්දානන්ද අලුත්ගමගේ මහතාද විමල් පාර්ශ්වය සම්බන්ධව ජනාධිපතිවරයා සමඟ කතාබහ කර ඇතැයි දේශපාලන අරංචි මාර්ග සඳහන් කරයි. විමල් වීරවංශ ඇතුළු පිරිස අමනාප කර ගැනීමෙන් ආර්ථික, කොවිඩ් අර්බුදය මැද ආණ්ඩුව දැවැන්ත දේශපාලන අර්බුදයකටද මැදිවනු ඇතැයි ඔහු ජනාධිපතිවරයාට පවසා තිබේ.

පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රය ආශ්‍රිත ඉදිකිරීමක් හේතුවෙන් ගෙවුණු සතියේ කලබගෑනියක් ඇතිවිය. අවසානයේ එය දේශපාලනකරණීය විය. පරාක්‍රම සමුද්‍රයේ රළපනාවේ ප්‍රතිසංස්කරණක් සම්බන්ධව පැතිර ගිය කතාව වූයේ ආණ්ඩුව රළපනාව කඩා ඇවිදින මංතීරුවක් ඉදිකිරීමට යන බවයි. මෙහිදී පොළොන්නරුව නියෝජන කරන හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට මැදිහත් විය. ඔහු අදාළ පාර්ශ්වවලින් තොරතුරු විමසීමට කටයුතු කළේය. එයින් නොනැවතී නිවේදනයක්ද නිකුත් කළේය. පරාක්‍රම සමුද්‍රයේ ඇවිදින මංතීරුවක් ඉදිකිරීම වැනි කටයුත්තක් ඉතා සැලකිල්ලෙන් කළ යුතු බව එහි සඳහන් විය.

මෙවැනි ව්‍යාපෘතියක් කිරීමේදී මාගේ අත්දැකීම් හැටියට ප්‍රධාන කරුණු 3ක් ඉටුවිය යුතුවේ. ව්‍යාපෘතිය පිළිබඳව ශක්‍යතා අධ්‍යයනයක් කිරීම, විශේෂඥයින්ගෙන් උපදේශන සේවයක් ලබාගැනීම, ඉදිකිරීම. (මෙම කරුණු 3 ආයතන 3කින් සිදුකළ යුතුයි) මෙහිදී මෙම කරුණු තුන කොතෙක් දුරට සම්පූර්ණවීද යන්න මා නොදනිමි.* යනුවෙන් නිවේදනය කර තිබූ හිටපු ජනාධිපතිවරයා මෙවැනි කටයුත්තකදී මහා සංඝරත්නය මෙන්ම ගොවි ජනතාවද දැනුවත් කළ යුතුව තිබූ බවද වැඩිදුරටත් සඳහන් කර තිබුණි. එසේම ඔහු මෙම ව්‍යාපෘතියට විකල්පයක් ද යෝජනා කර තිබුණි. ඒ අනුව දැනට යෝජිත ජලාශයේ බටහිර පැත්තෙන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන ව්‍යාපෘතිය නවත්වා, නැගෙනහිර අවසාන කොටසේ ඇති වෙල්යාය අතර අඩිපාරක් වැනි ප්‍රදේශයේ යෝජිත ඇවිදින මංතීරුව සැදීම සුදුසු බව ඔහු පැවසීය.

මේ අතර රන්ජන් බේරාගැනීමේ සටන තවත් ශක්තිමත් කරන්නට සමගි ජනබලවේගය කටයුතු කළේය. ඊට හේතුව වූයේ රන්ජන් රාමනායක මහතා සම්බන්ධව ලැබෙන පුවත් එතරම් සුභදායක නොවීමයි. ඒ අනුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව හේතුවෙන් වසර 04ක සිර දඬුවමකට යටත්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාදෙන ලෙස ඉල්ලා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස විසින් නැවතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කළේය. මීට ඉහතදීද රාමනායක මහතා සම්බන්ධව ජනාධිපතිවරයා සමඟ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවස්ථා කිහිපයකදීම කතාබහ කර තිබුණි. කෙසේ වෙතත් මෙම ලිපිය සුවිශේෂී විය.

රන්ජන් රාමනායකයන්ගේ නිදහස වෙනුවෙන් මා මීට පෙර අවස්ථා කිහිපයකදීම ඔබතුමන්ව දැනුවත් කළ අතර ඒ සෑම අවස්ථාවකදීම ඔබතුමන්ගෙන් ලද යහපත් ප්‍රතිචාරය පිළිබඳව කෘතවේදීව සිහිපත් කරමි. රන්ජන් රාමනායක මහතාගේ නිදහස උදෙසා ඉහත පාර්ශ්වයන් නැවත නැවතත් මා වෙතින් විමසීම් සහ ඉල්ලීම් සිදුකරනු ලබන අතර, එකී ඉල්ලීම් සාධනීය බවත්, සාධාරණ බවත් මා මෙන්ම ඔබතුමාද විශ්වාස කරනු ඇතැයි අපේක්ෂා කරමි. ඒ අනුව රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාදීම පිළිබඳව ඔබතුමන්ගේ සාධනීය ප්‍රතිචාරය කඩිනමින් මා අපේක්ෂා කරමි.

අඟහරුවාදා (31) ජනාධිපතිවරයා විශේෂ තීරණයකට එළඹියේය. සහල් සීනි ඇතුළු පාරිභෝගික භාණ්ඩ මිල අයථා ලෙස පාලනය කිරීමට වෙළඳුන් පිරිසක් උත්සාහ දැරීම නිසා ඒ හේතුවෙන් ආණ්ඩුවට දැඩි ජනතා විරෝධය එල්ලවන්නට විය. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහජන ආරක්ෂක ආඥා පනතේ 2 වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල අත්‍යවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි අඟහරුවාදා රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ප්‍රකාශයට පත් කළේය. සාමාන්‍ය ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන්නා වූ වී, සහල්, සීනි ඇතුළු අනෙකුත් පාරිභෝගික ද්‍රව්‍ය බෙදාහැරීම සම්බන්ධීකරණය සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් වශයෙන් මේජර් ජනරාල් එන්.ඩී.එස්.පී. නිවුන්හැල්ල මහතා පත් පත් කළේය.

ජනාධිපතිගේ මෙම තීරණයට විපක්ෂයෙන් සැලකියයුතු විරෝධයක් එල්ල විය. මහජන ආරක්ෂක ආඥා පනතේ 2 වැනි කොටස ක්‍රියාත්මක කරමින් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් තවදුරටත් සාවද්‍ය ලෙස සීමා කිරීමේ හා තවදුරටත් ඒකාධිපතිවාදය කරා ගමන් කිරීමේ යටි අදහස සහිතව සිදුකොට ඇති බව සමගි ජනබලවේගය නිවේදනය කළේය. පාරිභෝගික අධිකාරි පනතට අනුව උපරිම මිල නිර්දේශ කර භාණ්ඩ රුස්කොට, ගබඩා කොට තබා ගැනීම වළක්වාලීමට ව්‍යවස්ථාපිත බලතල පවත්නා බවද ඔවුන් කියා සිටියේය. අත්‍යවශ්‍ය සැපයුම් හා සේවාවන්ට බාධා ඇති වී තිබේ නම්, ඒ රජයේ අකාර්යක්ෂමතාව හා අවකළමනාකරණය හේතුවෙන් බව සමගි ජනබලවේගයේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය. මේ අතර ප්‍රීමා සමාගම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට නොදන්වා තිරිඟු පිටි කි‌ලෝවක මිල රුපියල් 12කින් ඉහළ දමා තිබිණි.

හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය කල් ඇතිවම පසුගිය සතියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හැත්තෑවැනි සංවත්සරය සැමරුවාය. ඇය සමාජ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් මුදාහැර තිබුණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වැනි සංවත්සරය සමරන අවස්ථාව වනවිට පක්ෂය ඉතා දුර්වල තත්ත්වයට පත්වී ඇති බව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පැවසුවාය. එසේම දැවැන්ත රෑස්ස ගස බිහිවනදා තමා ජීවතුන් අතර සිටීදැයි නොදන්නා නමුත් ලියලා ගෙන එන රුක්ෂයට ශක්තියක් දෙන්න අවශ්‍ය තරුණ පරපුරක් හදන්නට තමා උරදෙන බවද ඇය මෙහිදී සඳහන් කළාය. ඒ අනුව ශක්තිමත් පදනමක්, නිර්මල දර්ශනයක් තිබෙන ශ්‍රේෂ්ඨ මිනිසුන් කීප දෙනකුගේ ලෙයින් සනිටුහන් කළ ඉතිහාසයක් තිබෙන පක්ෂය විනාශ කරන්න බැරි බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වී සත් දිනක් ගතවීම නිමිත්තෙන් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය තවත් සුවිශේෂී කටයුත්තක් සිදුකළාය. ඒ අනුව කොළඹ නගරයේ ආර්ථික අපහසුතා ඇති පවුල් 175ක් සඳහා වියළි ආහාර මලු පරිත්‍යාග කිරීමට ඇය කටයුතු කර තිබුණි. මෙම පරිත්‍යාගය පිළිබඳ ඇය සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක්ද තබා තිබුණි. එසේම සඳුදා (30) දින රාත්‍රියේදී මංගල සමරවීර මහතා දිවංගත වී සත්දිනක් ගතවීම වෙනුවෙන් විශේෂ ධර්ම දේශනාමය පුණ්‍යකර්මයක් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග නිල ෆේස්බුක් පිටුව සහ යූටියුබ් නාලිකාව තුළින් සජීවීව විසුරුවා හැර තිබුණේ සූම් තාක්ෂණය භාවිත කරමිනි.

එක්සත් ජාතික පක්ෂය සිය 75 වැනි සංවත්සර සැමරුම වෙනුවෙන් ලකලෑස්ති විය. සූම් තාක්ෂණය ඔස්සේ පක්ෂ නායකයන් අවස්ථා කිහිපයකදීම රුස්වී තිබුණි. සංවත්සර සැමරුම් උත්සවය සැප්තැම්බර් 5 වැනිදා සවස සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදනම් වූයේය. පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවය ෆේස්බුක්, සූම්, යූටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සජීවීව විකාශය කිරීමට ඔවුන්ගේ සැලසුම විය. මෙවර එජාප සංවත්සරයේ තේමාව ලෙස තෝරාගෙන තිබුණේ ජ්‍යෙෂ්ඨ ඉතිහාසයක් ශ්‍රේෂ්ඨ අනාගතයක්* යන පාඨයයි. ඒ අනුව රට ගොඩගන්නා සැලැස්ම සංවත්සරයදා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරන බව කීවේ එජාප සභාපති වජිර අබේවර්ධන මහතාය. ඒ අනුව ආර්ථික ආරක්ෂාව, සෞඛ්‍ය ආරක්ෂාව, පරිසර ආරක්ෂාව, දැනුමේ ආරක්ෂාව යන ප්‍රධාන කරුණු පදනම් කරගෙන රටේ සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි නව ජාතික සැලැස්ම ඉදිරිපත් කරන බව හෙතෙම පැවසීය

මේ අතර පරාක්‍රම සමුද්‍රයේ රළපනාව සම්බන්ධව අර්බුදය හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ චරිතයක්ද ගෙවුණු සතියේ කරළියට පැමිණියේය. මෙසේ අවධානය දිනා ගත්තේ එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, එජාප පොළොන්නරු දිස්ත්‍රික් නායක නාලක කොළොන්නේ මහතායි. බොහෝ දෙනෙකු පරාක්‍රම සමුද්‍රයේ ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධයෙන් අබමල් රේණුවක හෝ දෙයක් නොදැන, තමන්ගේ හිතලු ප්‍රකාශ කරන බවට* ඔහු තැබූ ෆේස්බුක් සටහනක් මෙම සිදුවීමට මූලික විය. ආණ්ඩු හිතවාදී ඔහුගේ සටහන උපුටා දක්වමින් පරාක්‍රම සමුද්‍රයේ ප්‍රතිසංස්කරණ වලට එල්ල වූ විරෝධය හෙළාදැකීමේ සමාජ මාධ්‍ය මෙහෙයුමක් දියත් කළේය. එහිදී නාලක කොළොන්නේ මහතාගේ සටහනේ වූ මෙම කොටසට සුවිශේෂී කොට දක්වා තිබුණි. &බොහෝ දෙනෙකු ප්‍රකාශ කර තිබූ පරිදි මෙයින් වැව් බැම්ම විනාශ වේ නම්, එහි මුල්ම ප්‍රතිඵලය අත්විඳින්නට වන්නේ මා හටය. මන්ද පොළොන්නරුවේ බොහෝ දෙනා දන්නා පරිදි මාගේ නිවස පිහිටා තිබෙන්නේ වැව් බැම්මෙන් පහළ එක් කෙළවරකය. එහෙයින්, එවැනි අනතුරක් සිදුවන්නේ නම් ඒ සම්බන්ධයෙන් මුලින්ම පාරට බසින්නේ ඔවුන් නොව මමය.

රට වසා දැමීමේ තීරණයත් ආරථික අර්බුදයත් හේතුවෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවේ ප්‍රශ්න රුසක් මතුවෙමින් තිබුණි. ගෙවුණු සතියේදී තවත් සතියකට රට වසා තැබීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කිරීමත් සමඟ තත්ත්වය තවත් බරපතළ විය. මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ද ආර්ථික විශේෂඥයන්ද සම්බන්ධව කොටගෙන බැසිල් රාජපක්ෂ මහතා සාකච්ඡා වට කීපයක්ම පවත්වා ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. රජය මුහුණදී සිටින බරපතළ මූල්‍ය අර්බුදය හමුවේ රජයේ වියදම් දැඩි ලෙස සීමා කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව ඔවුන් තීරණය කොට තිබුණි. ඒ අනුව කොවිඩ් වසංගතය හමුවේ ආර්ථිකය බරපතළ ගැටලුවකට මුහුණ දී ඇති බැවින් රජයේ අපේක්ෂිත ආදායම විශාල ලෙස පහත වැටී ඇති අතර, මේ වසරේ පුනරාවර්තන වියදම් පියවා ගැනීමට පවා එය ප්‍රමාණවත් නොවන බව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම්දී ඇති බවද වාර්තා විය.

ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරන පරිදි ඉදිරියේදී රජයේ ප්‍රතිපාදන වෙන් වී ඇතත් මෙතෙක් ආරම්භ කර නොමැති ව්‍යාපෘති, මිලදී ගැනීම්, ගොඩනැගිලි ඉදිකිරීම්, ගොඩනැගිලි අලුත්වැඩියා කිරීම් ආදිය අත්හිටුවීමට සිදුවනු ඇත. සේවක බඳවා ගැනීම් සඳහා මූලික කටයුතු සිදුකර මෙතෙක් පත්වීම් ලිපි නිකුත් නොකළ, තනතුරු සඳහා බඳවා ගැනීම් අත්හිටුවීමටද රජය තීරණය කර ඇති බව කියැවේ. එසේම සහනාධාර ලයිස්තුද නැවත සමාලෝචනය ලක්වනු ඇතැයි දැනගන්නට ලැබේ. එසේම අමාත්‍යංශ ලේකම්වරුන්ගේ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ අනුමැතිය මත, ගෙවනු ලබන වැටුප් නොවන දීමනා සහ බිල්පත් පියවීම් යනාදිය නැවත සමාලෝචනය කිරීම, නිලධාරීන් වෙත ගෙවන ඉන්ධන දීමනා ආදිය පැමිණෙන දිනට පමණක් සීමා වන සේ ගෙවීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයා බැලීම ආදිය මේ වනවිටත් අමාත්‍ය ලේකම්වරුන් හරහා සිදුවෙමින් පවතින බව කියැවේ

ජනතා විමුක්ති පෙරමුණද ගෙවුණු සතියේ තරමක් වෙනස් අභියෝගයක් ආණ්ඩුව හමුවේ තැබුවේය. ඒ අනුව කොවිඩ් වසංගතය නිසා විශාල මරණ සංඛ්‍යාවක් වාර්තාවීම සම්බන්ධව සහ එන්නත්කරණය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට ඍජුව ප්‍රශ්න 10ක් ඉදිරිපත් කරනු ලැබීය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා බදාදා (01) බත්තරමුල්ල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අන්තර්ජාලය ඔස්සේ මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම ප්‍රශ්න ආණ්ඩුවට යොමු කළේය. ඉන් පළමු ප්‍රශ්නය වූයේ &සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් 2021 ජනවාරි 18 දින ඉදිරිපත් කරන ලද ජාතික එන්නත්කරණ සැලැස්ම හදිසියේ වෙනස් කර අවු. 60 වැඩි අයට එන්නත් ප්‍රමුඛතාව නොදීමට තීන්දු කළේ කවුද?* යන්නයි. මීට අමතරව සයිනොෆාම් එන්නත සති 05ක් ප්‍රමාද කිරීම, පාර්ලිමේන්තුවේ ප්‍රධානීන් සහ ඇතැම් මාධ්‍ය ප්‍රධානීන්ගේ පැණි කෝලමේ වගකීම, ඇතැම් එන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා නොදීම, ඇතැම් එන්නත් සමහර ප්‍රදේශවලට ලබා නොදීම, ආදී සෞඛ්‍ය සහ දේශපාලන කරුණු රුසක් ඇසුරේ මෙම ප්‍රශ්නාවලිය සකස් වී තිබුණි

මේ අතර සැප්තැම්බර් 13 වැනිදාට යෙදෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට දෙමළ ජාතික සංවිධානයේ සූදානම පිළිබඳවද ගෙවුණු සතියේදී විවිධ ආරංචි ලැබුණි. ශ්‍රී ලංකාව සම්බන්ධව අනුගමනය කළයුතු පියවර පිළිබඳ සාකච්ඡා කිරීම දෙමළ ජාතික සංවිධනයේ පිරිසක් ඉන්දියාවට බලා පිටත්වීමට සැරසෙන බවට තොරතුරක් අසන්නට ලැබුණි. එසේ වෙතත් පසුගිය දිනවලදී ඔවුන් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සමඟ සේම දමිළ ඩයස්පෝරාවේ ප්‍රධානීන් සමඟ සාකච්ඡා කර ඇතැයි කියැවේ. ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්ති හේතුවෙන් ඉදිරියේදී ඉන්දියාව මානව හිමිකම් සැසිය තුළදී  ඔවුන්ට පක්ෂපාතී වනු ඇතැයි දමිළ ජාතික සංවිධානය ඇතුළු ඩයස්පෝරාව විශ්වාස කරති. කෙසේ වෙතත් ඉන්දියානු සාධක කළමනාකරණය කර ගැනීම සම්බන්ධව මෙරට විදේශ අමාත්‍යාංශ සැලසුම් සකස් කරමින් සිටින බව කියැවේ. තත්ත්වය එසේ වුවත් ඉදිරි සතියේ මානව හිමිකම් සැසිවාරය පදනම් කොට ගෙන ඉදිරි සතියේ විවිධ පුවත් මැවෙනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

 චමිඳු නිසල්