2021 අගෝස්තු 28 වන සෙනසුරාදා

රැඩිකල් 10න් නිහඬ පිළිතුරක්

 2021 අගෝස්තු 28 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 245

  • කැබිනට් රැස්වීමට ජනපති නොඑයි
  • සජිත්ගෙන් ආණ්ඩුවට එරෙහි අලුත් සටන් පාඨයක්
  • ශ්‍රීලනිපය ලේ එකතු කරයි
  • ගාමිණී ලොකුගේ පත්තු කළ ගින්න
  • මංගල අන්තිමට රනිල්ට දුන් දුරකථන ඇමතුම
  • ඩලස්ගෙන් විමල්ලා ෂේප් කරන උත්තරයක්
  • දේශපාලන කරළිය කම්පා කළ මංගලගේ මරණය
  • ඩිලාන් මන්ත්‍රී වැටුප දෙන්න බැරි හේතු කියයි

 

 

ගෙවුණු සතියේ ආර්ථිකය, දේශපාලනය, සංචරණ සීමා, මංගල සමරවීර , මන්ත්‍රී වැටුප, ආණ්ඩුවේ අභ්‍යන්තර කුමන්ත්‍රණ ආදී වූ මාතෘකා රුසක් වටමේස සාකච්ඡාවට පැමිණියේය. රට වැසී තිබුණු නිසාවෙන් මෙම කතාවල පතුලටම කිඳාබැසීම පහසු නොවුණි. එහෙත් සාපේක්ෂව ගෙවුණු සතියේ දේශපාලනය වෙනදාට වඩා නාටකීය ස්වරෑපයක් ඉසිලුවේය.

රට වසා දැමීමට විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර යන ඇමතිවරුන් ඇතුළු ආණ්ඩුවේ සෙසු පක්ෂ දහයක් සිදුකළ ඉල්ලීම පිළිබඳ ඇතිවූ දේශපාලන ගිනියම ගෙවුණු සතිඅන්තය පුරාවටම පැවතුණි. එම ලිපිය පිළිබඳ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සේම පොදුජන පෙරමුණ බැසිල් රාජපක්ෂ හිතවාදී මැති ඇමතිවරුද සිටියේ නොසතුටිනි. එනිසාම කැබිනට් රුස්වීමේදී මෙය ගැටුමක් බවට පරිවර්තනය වේ යැයි බොහෝ දෙනෙක් අපේක්ෂා කළහ. පසුගිය සඳුදා (23) පැවති කැබිනට් හමුවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සභභාගී නොවුණි. ඒ අනුව සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වූ කැබිනට් හමුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. මෙහිදී අමාත්‍යවරුන්ගේ අගෝස්තු මස සම්පූර්ණ වැටුප කොවිඩ් අරමුදලට ලබාදීමට ඒකමතිකව තීරණය කෙරුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ යෝජනාවකට අනුවය. විද්‍යුත් සංචාරක වීසා ලබාදීම, රජයේ වාහන භාවිතය, ඔක්සිජන් ආනයන ආදී විෂයන් රුසක් පිළිබඳ මෙහිදී සාකච්ඡා වට ඇතිවිය.

දේශපාලන ආරංචි මාර්ග අනුව බොහෝ දෙනකු අපේක්ෂා කළ පරිදි කැබිනට් හමුවේ අවසානය ළංවන තුරුම විමල්, උදය, වාසු පිළිබඳ ආරෝව කරළියට නොපැමිණියේය. කැබිනට් පත්‍රිකා සාකච්ඡා කොට අවසන් වනවිට වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා විමල් ඇතුළු පිරිසේ ක්‍රියාකලාපය විවේචනය කරමින් මාතෘකාවට ප්‍රවිෂ්ට විය. ඔහු අනුව යමින් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන ඇතුළු පිරිසක්ද විමල් ඇතුළු කණ්ඩායමේ ලොක්ඩවුන් ලියුම පිළිබඳ විවේචන ඉදිරිපත් කළෝය. ඒ අනුව කැබිනට්ටුවේ සාමූහික වගකීම කැඩූ විමල් ඇතුළු පිරිසට අවවාද කරන ලෙස මෙම පිරිස ඉල්ලා සිටියහ. එම ඉල්ලීමෙන් පසු අමාත්‍ය විමල් වීරවංශ හෝ අදාළ පාර්ශ්වයේ අයෙක් ඊට පිළිතුරු බඳිනු ඇතැයි පිරිස බලාපොරොත්තු වුවද එවැන්නක් සිදුනොවූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. කෙසේ වෙතත් අවසානයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා &හා අපි එහෙම කරමු. දැන් කැබිනට් රුස්වීම අවසන් කරමු* යනුවෙන් පවසමින් කැබිනට් හමුව නිමාකර ඇති බව දැනගන්නට ලැබේ.

නෙළුම් මාවතේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් මෙම අර්බුදය තවත් වර්ධනය කිරීමට පොදුජන පෙරමුණ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ඇතුළු පිරිසක් කටයුතු කළෝය. සඳුදා පැවති මෙම මාධ්‍ය සාකච්ඡාවට එක්වූ ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා කී කතාවක් ලැව්ගින්නක් සේ පැතිර ගියේය. ආණ්ඩුවේ සහෝදර දේශපාලන පක්ෂවල නායකයන් රට වසා නොදැමිය යුතු බවට කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිවරයා සමඟ එකඟ වී අනතුරුව එළියට ගොස් රට වසා දමන ලෙස ප්‍රකාශ නිකුත් කරන්නේ ඇයිදැයි පැහැදිලි කරමින් ඔහු කීවේ ආණ්ඩුව දැනුවත් නොකර මාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කිරීමෙන් මේ කණ්ඩායම යම් ජාත්‍යන්තර බළල් අතකට හසුව ඇතැයි සිතෙන බවය. එසේම ඇතැමුන් ඇමෙරිකන් ආණ්ඩුව ඇෆ්ගනිස්ථානයෙන් ගිය පසු තාලිබාන්වරු බලය ඇල්ලුවාක් මෙන් ලංකාවේ බලය ඇල්ලීමට සිහින දකින බවද ගාමිණී ලොකුගේ මහතා කියා සිටියේය. ඇතැම් කණ්ඩායම් වේගයෙන් ජාත්‍යන්තරය මගින් බිලි බා ගෙන ඇති බවක් පෙනෙන්නේ යැයිද ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙම මාධ්‍ය සාකච්ඡාවේදී සගර කාරියවසම් මහතාද සුවිශේෂී ප්‍රකාශයක් සිදුකළේය. කැබිනට් මණ්ඩලයේ කතා කරන්න කොන්දක් පණ නැතුව එළියට ගිහිල්ලා. ලියුම් ගහලා ඒ ලියුම් ජනාධිපතිට යන්න කලින් මාධ්‍යයට කවුරුහරි නිකුත් කරනවා. එය ඉතා බැරූරුම් තත්ත්වයක්.* කෙසේ වෙතත් සාගරගේ සහ ගාමිණී ලොකුගේගේ මෙම ප්‍රකාශයන්ට විමල් ඇතුළු පිරිස පිළිතුරු බැඳීමට ගියේ නැත. එහෙත් එම ලිපියට අත්සන් තැබූ ලංකා කොමියුනිස්ට් පක්ෂ නියෝජිතයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රි වීරසුමන වීරසිංහ මහතා කියා සිටියේ රට වසා දමන ලෙස සිය පක්ෂය ඇතුළු ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 10ක් කළ ඉල්ලීම කුමන්ත්‍රණයක් ලෙසට සිදුකරන ප්‍රකාශ පදනම් විරහිත බවයි. ඇතැමුන් පවසන පරිදි එම ක්‍රියාමාර්ගය කුමන්ත්‍රණයක් නම් ජනාධිපතිවරයා රට වසා දැමීමට තීරණය නොකරනු ඇතැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර ආණ්ඩුවේ මෙම අභ්‍යන්තර අර්බුදයට පොහොර නොදමා මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලින් ගැලවී ගිය නව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කීවේ වෙනත් කතාවකි. රට වසා දමන ලෙසට ඉල්ලා ජනපති යැවූ ඉල්ලීමට අත්සන් තැබූ විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල යන ඇමතිවරුන් රට නොවසන්නට කැබිනට් මණ්ඩලයේ තීරණයක් ගත් බව දැන නොසිටි බව ඔහු කීවේය. එම තීරණ ගන්නා මොහොතේ ඔවුන් රුස්වීමේ නොසිටි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. අලහප්පෙරුම මහතාට අනුව ආණ්ඩුවට සම්බන්ධ කුඩා පක්ෂවල රුස්වීම එදින රාත්‍රී 8.00ට යොදාගෙන තිබූ අතර එයට සහභාගී වීමට එම ඇමතිවරුන් රාත්‍රී 9.00ට පමණ කැබිනට් රුස්වීමෙන් ඉවත්ව ගොස් තිබේ. රට නොවසා තැබීම ගැන කැබිනට් සාකච්ඡාව සිදු වී ඇත්තේ කැබිනට් රුස්වීමේ අවසන් මොහොතේදීය. කෙසේ වෙතත් කැබිනට් රුස්වීම අවසන් වීමට පෙර ඔවුන් ඉවත්ව යෑම පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙස පොහොට්ටුවේ ඇතැමෙක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇතැයිද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ගෙවුණු සතියේ සිදුවූ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ වියෝව පක්ෂ පාට භේදයකින් තොරව සියලු දේශපාලකයන් තුළ කම්පනයක් ඇති කළේය. කොවිඩ් 19 ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලකදී සිය දිවිසැරිය නිමා කරන විට මංගල සමරවීර මහතා හැටපස්වැනි වියේ පසුවූයේය. ඒ අනුව මංගල සමරවීර මහතාගේ දේශපාලනය පිළිබඳ ගෙවුණු සතිය පුරා බොහෝ දෙනෙක් කතාබහ කළහ. ජනපති, අගමැති, විපක්ෂ නායක ප්‍රමුඛ බොහෝ දෙනෙක් ඔහු වෙනුවෙන් ශෝක පණිවිඩ නිකුත් කළෝය. බොරුල්ල කනත්තේදී ඔහුගේ ආදාහනය සිදුවනවිට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු පිරිසක් මහමග සිට ආදාහනාගාරයේ දුම් වළාවන් දෙස බලා සිටියහ. මංගලගේ වියෝවත් සමඟ ඔහු මෑතකදී කී කතාවක් නිරන්තරව කියැවුණි. &දරුවනි, දෙමව්පියන්ට වඳින්න! ගුරුවරුන්ට වඳින්න! හැබැයි දේශපාලකයන්ට වඳින්න යන්න එපා! ඔබ ඔවුන්ට වැඳිය යුතු නැහැ!

ගෙවුණු සතියේ සජිත් ප්‍රේමදාස මහතා නව සටන් පාඨ කිහිපයක් සමඟ දේශපාලන කරළියට පැමිණියේය. ඒ අනුව ඔහු හෙළිදරව් කළේ නිරෝධායනය වන පවුල් සඳහා ලබාදෙමින් තිබූ රුපියල් දසදහසක වටිනාකමින් යුත් සහන මල්ල ලබාදීම සීමාකොට, තෝරාගත් පිරිසකට පමණක් එය ලබාදීමට ආණ්ඩුව තීරණය කර ඇති බවයි. කොරෝනා ව්‍යසනය මැද ජීවිතය සහ මරණය සමග අරගල කරන මිනිසුන්ගේ සහන මල්ලටත් සීමා දැමීමෙන් ආණ්ඩුවේ අමානුෂිකත්වයේ තරම වටහාගත හැකි බව විපක්ෂ නායකවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. වසා දැමූ බොහෝ රටවල් සිය ජනතාවගේ ජීවිත නඩත්තු කිරීමට සහන පැකේජ හඳුන්වා දී ඇති නමුත් ලංකාවේ සිදුවෙමින් තිබෙන්නේ ජනතාවට ලබාදුන් අවම සහන පවා අත්හිටුවීම බව ඔහු සඳහන් කළේය. ජනතාවගේ ගෙල සිරකොට හෝ සිය අරමුණු ඉටුකර ගැනීමට දෙවරක් නොසිතන ආණ්ඩුව කොරෝනා ව්‍යසනයෙන් අන්ත අසරණව සිටින ජනතාවගෙන්ද පලිගැනීම ආරම්භ කොට ඇතැයි ඔහු එහි වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

මේ අතර ගෙවුණු සතියේ  විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සූම් තාක්ෂණය ඔස්සේ රුස්වූ සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායම සුවිශේෂී තීරණයකට එළඹුණි. කොරෝනා ව්‍යසනයෙන් පීඩා විදින ජනතාව මුදාගැනීමේ අරමුණින් රෝහල් උපකරණ ලබාගැනීම උදෙසා සිය වැටුප පරිත්‍යාග කිරීමට ඔවුහු තීරණය කළහ. මන්ත්‍රී කණ්ඩායම් රුස්වීමේදී සිය වැටුප පරිත්‍යාග කරන බවට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සිදුකළ ප්‍රකාශයට ඒකමතික කැමැත්ත පළ කරමින් සමඟි ජන බලවේගයේ සෙසු මන්ත්‍රීවරුද මෙම තීරණයට එළඹුණහ. කෙසේ වෙතත් දේශපාලන ආරංචි මාර්ග අනුව මෙම වැටුප් බැරවන්නේ &සමගි ජනබලවේග මන්ත්‍රී අරමුදල* නමින් ප්‍රකාශයට පත්කර ඇති අරමුදලකටය. එය කොරෝනා වසංගතය හමුවේ ජනතාව මුහුණ දෙන ගැටලු සඳහා පිළියම් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක වන බව කියැවේ. ඒ අනුව මෙම මුදල් සමගි ජනබලවේගයේ &විපක්ෂයෙන් හුස්මක් සහ ජනසුවය ව්‍යාපෘතිය* වෙනුවෙන් යෙදෙවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද සිය මන්ත්‍රී වැටුප් කොවිඩ් අරමුදලට පරිත්‍යාගය කළේය. ඒ අතරේම ඔවුහු තවත් සුවිශේෂී කටයුත්තක් සිදුකළහ. එය මංගල සමරවීර මහතාට පිං පැමිණවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සංවිධානය කළ ආගමික වැඩසටහනකි. ශ්‍රීලනිප සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් පරිදි මෙම කටයුත්ත හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී බ්‍රහස්පතින්දා (26) පස්වරුවේ සංවිධානය විය. මෙහිදී හිටපු ජනාධිපතිවරයා ඇතුළු පක්‍ෂ නියෝජිතයෝ පළමුව හුණුපිටිය ගංගාරාම විහාරයේ බෝධීන්වහන්සේ අභියස මල් පහන් පූජා කර අනතුරුව බෝධීන් වහන්සේ වෙත චීවරයක්ද පූජා කළහ. එම කටයුතු අවසානයේ ආගමික වතාවත් සිදුකර පැන් වඩා මංගල සමරවීර මහතාට පිං පැමිණවීමට ඔවුහු කටයුතු කළහ. ගංගාරාම විහාරාධිකාරී, ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් ඇතුළු භික්‍ෂූන් වහන්සේලා සය නමක් මෙම ආගමික වතාවත් මෙහෙයවූහ.

මේ අතරතුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වැනි සංවත්සරයට සමගාමීව ලේ බැංකුව වෙත ලේ පයින්ට් 10,000ක් ප්‍රදානය කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහනක් ආරම්භ කර තිබුණි. ගෙවුණු සති අන්තයේදී සූම් තාක්ෂණය ඔස්සේ රුස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව වැඩි කාලයක් ගෙන සාකච්ඡා කර තිබුණේ ඒ පිළිබඳවයි. ශ්‍රී.ල.නි.ප. දිස්ත්‍රික් සංවිධායකවරුන්, ආසන සංවිධායකවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් හා සංවිධායකවරුන්ගේ ප්‍රධානත්වයෙන් ආසන මට්ටමින් මෙම කටයුත්ත සිදුකිරීම රට සේම පක්ෂයට යහපත් වනු ඇති බව මෙහිදී කියැවුණු බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. ඒ අනුව සැප්තැම්බර් 10 වැනි දින දක්වා ලේ පයින්ට් 10,000ක් එකතු කිරීමේ කටයුත්ත සිදුකිරීමට තීරණ විය. ඊට අමතරව පවතින කොවිඩ් වාතාවරණය මත සැප්තැම්බර් 2 වැනි දිනට යෙදෙන පක්ෂයේ 70 වැනි සම්මේලනයේ සංවිධන කටයුතු පිළිබඳවත් මෙහිදී  සාකච්ඡා වී තිබේ. කෙසේ වෙතත් සම්මේලනය පැවැත්වෙන ආකාරය පිළිබඳ අවසන් නිවේදනයක් සිකුරාදා වනතුරුත් ශ්‍රීලනිපය නිකුත් කොට නොතිබුණි.

මන්ත්‍රී වැටුප ප්‍රදානය කිරීම සම්බන්ධවද අලකලංචියක් ගෙවුණු සතියේ ඇති විය. තම මන්ත්‍රී වැටුප ප්‍රදානය කිරීමට නොහැකි බව ආණ්ඩුවේ මැති ඇමතිවරු කිහිපදෙනෙක්ම කීහ. පවතින ආර්ථික තත්ත්වය හමුවේ තමන්ට මුළු වැටුපම කොවිඩ් අරමුදල වෙනුවෙන් පරිත්‍යාග කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා කීවේය. &සමහර මන්ත්‍රීතුමාලා, ඇමැතිතුමාලා වැටුප පරිත්‍යාග කරනවා කියලා තියෙනවා. මට නම් මගේ මුළු වැටුපම පරිත්‍යාග කරන්න බෑ. මොකද මට ඔච්චරයි තියෙන්නේ. මම උසාවි යන්නෙත් නෑ දැන්. ඒ හින්දා මම මගේ වැටුපෙන් සියයට 50ක් පරිත්‍යාග කරනවා. මොකද මුළු වැටුපම පරිත්‍යාග කළොත් මට ජීවත් වෙන්න බැරි වෙනවා. මම වෘත්තියෙන් නීතිඥයෙක් වුණාට දැන් උසාවි යන්නෙන්ත් නෑ.* යනුවෙන් ඔහු පවසා තිබුණි.

ඒ අතර තම වැටුප ණය වාරිකයකට කැපෙන බව කීවේ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාය. එම නිසාම තමාට වැටුම පරිත්‍යාගය කිරීමක නොහැකි බව ඔහු කීවේය. &මට කියන්න තියෙන්නෙ පැහැදිලිවම මට එහෙම වැටුප පරිත්‍යාග කරන්න විදිහක් නැහැ. මොකද මේ පාර්ලිමේන්තුවේම තියෙන බැංකුවෙන් ගත්ත ලෝන් එකට මගේ වැටුප සම්පූර්ණයෙන්ම වෙන්වෙලා තියෙන්නෙ. ඉතින් එවැනි අවස්ථාවකදී මට තියෙන ආර්ථික හයියත් එක්ක වැටුප පරිත්‍යාගය කරන්න අපහසුතාවයක් තියෙනව. ඒත් මගේ හිතවත්තු කිහිප පොළක් ඉන්නවා. ඒ හිතවතුන්ගේ මාර්ගයෙන් අපේ වැටුප වගේ දස ගුණයක මුදලක් ලබාදීමට මම මේ වනවිටත් ඒ අවශ්‍ය කරන කටයුතු සූදානම් කරගෙන යනවා” යනුවෙන් ඔහු කීවේය.

ගෙවුණු සතියේ එක්සත් ජාතික පක්ෂයද සැප්තැම්බර් 5 වැනිදාට යෙදෙන සිය සංවත්සරය සැමරීම සූදනම් වෙමින් සිටියේය. උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි සූම් තාක්ෂණය ඔස්සේ පක්ෂ ක්‍රියාකාරීන් සැප්තැම්බර් පස් වැනි දින පැවැත්වෙන සංවත්සර සැමරුමට එක් කරගැනීම ඔවුන්ගේ සැලසුම විය. ඒ සමඟම එක්සත් ජාතික පක්ෂයේ අනාගත දේශපාලන වැඩපිළිවෙළද සැප්තැම්බර් මස 5 වැනිදා ජනගත කෙරෙන බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේය. එම නිසාම එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ පිරිසක් එජාපයේ අනාගත සැලසුම් සකස් කිරීම වෙනුවෙන් මේ දිනවල වෙහස වී වැඩ කටයුතු සිදුකරන බවද කියැවුණි. ඒ අතර මංගල සමරවීර මහතාගේ වියෝවෙන් රනිල් වික්‍රමසිංහ මහතා දැඩි කම්පනයට පත්වූ බව දැනගන්නට ලැබුණි. ඊට හේතුව වූයේ මංගල සමරවීර මහතා මියයෑමට පෙර දිනයේදී රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔහු අතර ඇතිවූ දුරකථන සංවාදයකදී තමන් සුවය ලබමින් සිටින බව ඔහු පවසා සිටීම බව වික්‍රමසිංහ මහතා කියා තිබීම යැයි දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේය.

තවත් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කොවිඩ් වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය උපදෙස් අනුව තවත් සති දෙකක කාලයක් රට වසා තබන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා රජයෙන් ඉල්ලීමක් කළේය. ඒ අනුව දෛනිකව වාර්තා වන ආසාදිතයන් සහ කොවිඩ් මරණ ප්‍රමාණය අවම කරගැනීමට නම් රට ලොක්ඩවුන් කරමින් ජනතාවගේ සංචරණය පාලනය කළයුතු බව ඔහු අවධාරණය කළේය. එසේම මුහුණදීමට සිදුවන ආර්ථික අර්බුදයට ඇති විසඳුම් සම්බන්ධයෙන්ද අවධානය යොමුකර වික්‍රමසිංහ මහතා කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෙවත් IMF සංවිධානය සමඟ සාකච්ඡා කර ඒ සඳහා සහයෝගය ලබා ගතයුතු බවයි.

මේ ආර්ථික ගැටලුව විසඳාගන්න අපට තිබෙන එකම පිළියම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෙවත් IMF සමඟ සාකච්ඡා කිරීමයි. ආර්ථික සහාය එතනින් අපට ලබාගත හැකියි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොවිඩ් අර්බුදයෙන් ඉදිරියට එන්න ඩොලර් කෝටි 72ක ප්‍රදානයක් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතයි. එම නිසා ජනාධිපති, අගමැති ප්‍රමුඛ ඇමති මණ්ඩලයට මම යෝජනා කරන්නේ වෛද්‍ය උපදෙස් අනුව ක්‍රියාකරමින් තව සතියක් හෝ දෙකක් රට වසා දමන ලෙසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වසංගත මර්දන සම්බන්ධව ගනු ලබන තීරණවලට අමතරව විශේෂ වූ තීරණයකට ගෙවුණු සතියේ එළඹුණි. එම තීරණය අනුව සිදුවූයේ ත්‍රස්ත මර්දන නීති යොදාගෙන අත්අඩංගුවට ගෙන සිරගත කර සිටින්නන් ගැන සොයාබැලීමට ජනාධිපති උපදේශක කමිටුවක් පත් කිරීමයි. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ විසින් හිටපු අගවිනිසුරැ අශෝක ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පත්කර ඇති මෙම උපදේශක කමිටුව මගින් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ සිරදඬුවම් හා රුඳවුම් නියෝග මත අත්අඩංගුවේ පසුවන පුද්ගලයන් ගැන සොයා බැලීම, නිදහස් කිරීම, ඇප ලබාදීම ආදී කටයුතු පිළිබඳ ජනාධිපතිට නිර්දේශ හා උපදෙස් ලබාදීමට සිදුවනු ඇත. විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරැ ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව සහ විශ්‍රාමලත් සොලිස්ටර් ජෙනරාල් සුහද ගම්ලත් යන පිරිස මෙම උපදේශක කමිටුව නියෝජනය කරති.

මේ අතර ජිනීවා මානව හිමිකම් සමුළුව සැප්තැම්බර් 13 වැනිදා ආරම්භ වීමට නියමිතය. ආරම්භක දිනයේම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් වන බව දැනගන්නට ලැබේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන දීර්ඝකාලීනව රඳවා තබා ගැනීම ඇතුළු මානව හිමිකම් කඩකිරීම් පිළිබඳ එහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා වනු ඇත. එමනිසාම ත්‍රස්ත මර්දන නීති යොදාගෙන අත්අඩංගුවට ගෙන සිරගත කර සිටින්නන් ගැන සොයා බැලීමට ජනාධිපති උපදේශක කමිටුවක් පත් කිරීමට ගත් තීරණය සුවිශේෂීය. කෙසේ වෙතත් ඒ හරහා ජිනීවා සමුළුවේදී ශ්‍රී ලංකාවට වාසි සහගත තත්ත්වයක් උදාවේදැයි පැහැදිලි නැත.

මේ අතර දෙමළ ජාතික සංධානයේ අර්බුදයක් පිළිබඳවද ගෙවුණු සතියේ මාධ්‍ය වාර්තා පලවිය. එම වාර්තා අනුව තවමත් දෙමළ ජාතික සංධනයේ නායකත්වය දරන ආර්. සම්පන්ධන් මහතා මේ දිනවල සිටින්නේ කොවිඩ් වසංගතය හේතුවෙන් ඉතා ආරක්ෂාකාරී පිළිවෙතක් අනුගමනය කරමිනි. ඒ නිසාවෙන්ම ඔහු බොහෝ සාකච්ඡාවලට සම්බන්ධ නොවන බවද කියැවේ. එහෙත් විවිධ පාර්ශ්ව සමඟ තම නියෝජිතයන් සිදුකරන සාකච්ඡාවල රහසිගතභාවය ආරක්ෂා කරගැනීමට ඔවුන්ට නොහැකි වී ඇතැයි සම්පන්ධන් මහතා පවසන බව කියැවේ. ඔහු දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකයන්ට සහ දේශපාලන පක්ෂවල නායකයන් රහසිගතභාවය ආරක්ෂා කරගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් කෝපයෙන් පසුවන බවද කියැවේ. ජූනි මාසයේ ජනපතිවරයා සමඟ පවත්වන්නට තිබූ හමුවක් සහ පසුගියදා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයට ලැබී තිබුණු ආරාධනයක් පිළිබඳ මාධ්‍යයට දැනගන්නට ලැබුණේ සන්ධානයේ සාමාජික දේශපාලන පක්ෂයක නායකයකුගෙන් යැයි ඔහු විශ්වාස කරන බව මාධ්‍ය වාර්තා තහවුරැ කරයි.

 චමිදු නිසල්