2021 අගෝස්තු 14 වන සෙනසුරාදා

කැබිනට් මාරුවට බැසිල් හරස් වෙයි

 2021 අගෝස්තු 14 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 556

එ.ජා. රැස්වීමට අමෙරිකා යන්න ජනපති සූදානමින්
 

ඩලස්ගෙන් ජනපතිට පණිවුඩයක්
 

රතන හිමිගේ මැතිසබේ අසුනට නීති සටනක්
 

ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීන්ට මුදල් ඇමැතිගෙන් සිහිකැඳවීමක්
 

විපක්ෂයේ සටන් පාඨයක් වූ රනිල්ගේ ප්‍රකාශය
 

විපක්ෂ නායකයා ආණ්ඩුවට දෙහි කපයි

 

සරත් ෆොන්සේකාගේ සරදමට ලක්වූ විධානය
 

ජනපති බෑ කිව් විමල්ගේ යෝජනාව
 

කොවිඩ්, වර්ජන, ගෑස්  අර්බුදය එකපිට එක කඩා වැඩෙන උල්කාවන් පරිද්දෙන් ආණ්ඩුවේ හිස මතට පතිත වූයේය. විපක්ෂයට වළ ඉහගන්නට හොඳ කලක් ලැබුවේය. එකී මෙකී නොකී සකලවිධ දේශපාලන නාටක මැද ජනතාව අන්ත අසරණ වූහ. දේශපාලනය කොවිඩ් නොතකා දිගින් දිගටම ගිනියම් වෙමින් පැවතුණි.

ආණ්ඩුවේ කැබිනට් සංශෝධනයක් සිදුවෙතැයි පසුගිය සඳුදා (9) බොහෝ දෙනෙක් දෑස් දල්වා බලා සිටියහ. ඊට හේතුව වූයේ සති අන්තයේ ගලා ආ දේශපාලන ආරංචිය. එහෙත් කිසිවක් සිදු නොවුණි. සාමාන්‍ය පරිදි සඳුදා දිනය ගෙවීයේය. සිදුවූයේ කුමක්ද යන්න බොහෝ දෙනකුට ගැටලුවක් විය. සැබවින්ම සඳුදා කැබිනට් සංශෝධනයකට සියලු කටයුතු සූදානම් වී තිබුණි. එහෙත් එය අතරමග නතර වීමට හේතුව වූයේ අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාය. ඔහු මෙම සංශෝධනය සම්බන්ධව එතරම් කැමැත්තක් නොදැක්වූ බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේය. පවතින සමාජ දේශපාලන අර්බුදකාරී තත්ත්වය සංශෝධනයට අකමැති වීමට හේතුව බව ඔහු කියා තිබුණි. එසේම ආණ්ඩුවට තවමත් අවුරුද්දක්වත් පිරී නොමැති බවත් මේ මොහොතේ කැබිනට් සංශෝධනයක් සිදුකර පිරිසක් අමනාප කර ගතයුතු නැති බවත් බැසිල් රාජපක්ෂ කියා සිටියේය. ඒ අනුව සඳුදාට නියමිතව පැවති කැබිනට් සංශෝධනය කල්යෑමට බලපෑ ප්‍රධානම සාධකය බැසිල් රාජපක්ෂ මහතා බව තහවුරු විය.

කෙසේ වෙතත් කැබිනට් සංශෝධනයේදී මාරුවන මැති ඇමතිකම් පිළිබඳ කැබිනට් මණ්ඩලයේ බොහෝ දෙනකුට යම් අවබෝධයක් තිබුණි. එම නිසාම තිරය පිටුපස කතා බොහෝ විය. විදුලිබල ඇමති ඩලස් අලහප්පෙරුම මහතා හට ජනමාධ්‍ය අමාත්‍යාංශ ලබාදීමට යන බවට කල් ඇතිවම දැනගන්නට ලැබුණි. එම මාරුව පිළිබඳ ඇමැති ඩලස් සිටියේ එතරම් කැමැත්තෙන් නොවේ. එම නිසාම තමා ජනමාධ්‍ය විෂය භාර ගැනීමට එතරම් සතුටු නොවන බව ඔහු පණිවිඩකරුවකු මාර්ගයෙන් ජනපතිට දන්වා තිබිණි. එයා මාධ්‍යකරුවෙක් ඒ නිසා ගැලපෙන්නේ ජනමාධ්‍ය විෂය තමා. ඒ නිසා ඒ තනතුර භාරගන්න කියන්න ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිචාරය එය විය. මෙහි පණිවිඩකරුගේ භූමිකාව සිදුකරනු ලැබුවේ මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයාය. ජනාධිපතිවරයා ගෙවුණු සතිය වනවිට සැලකිය යුතු ලෙස පිටස්තර පුද්ගලයන් හමුවීමද සීමාකර තිබුණි.

මේ අතර අතර විදේශ අමාත්‍යාංශය සම්බන්ධවද කැබිනට් සංශෝධන සැලැස්මේදී යම් ගැටලු ඇති විය. ඊට හේතුව වූයේ ඉදිරි මාසයේදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රුස්වීමයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමේ අපේක්ෂාවෙන් සිටියේය. ඒ අනුව ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්වීමට කටයුතු සූදානම් වෙමින් පැවතුණි. එංගලන්ත හරහා ඇමෙරිකා එක්සත් ජනපදය බලා ගමන් කිරීම මෙම රාජ්‍යතාන්ත්‍රික සංචාරයේ සැලසුම විය. 

මෙම කටයුත්තේ වැඩි වගකීමක් විදේශ කටයුතු අමාත්‍යාංශට සේම අමාත්‍යවරයාට පැවරී තිබුණි. තවත් පසෙකින් විදේශ අමාත්‍යවරයාද මේ ගමනට සහභාගී විය යුතු විය. ඒ හේතුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ යම් වෙනසක් සිදුකිරීම මේ මොහොතේ සුදුසු නොවන බව ජනපතිට අවබෝධ වූයේය. අමාත්‍යවරයා වෙනස් වුවහොත් අමාත්‍යාංශය නැවත ප්‍රතිස්ථාපනය වීමට සාමාන්‍යයෙන් කලක් ගතවෙන බව ජනපති දැන සිටියේය. ඒ අනුව 
නිව් යෝර්ක් සංචාරයෙන් පසු මෙම සංශෝධනය පිළිබඳ සිතා බැලීමට තීරණය විය.

කෙසේ නමුත් දේශපාලන ආරංචි අනුව නව විදේශ කටයුතු ඇමැතිවරයා ලෙස යෝජනා වී තිබුණේ අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතාගේ නමයි. අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලබාදීමට සැලසුම් කොට තිබුණි. එසේම පෙරකී ලෙසම ඩලස් අලහප්පෙරුම මහතාට ලබාදීමට නියමිතව තිබුණේ ජනමාධ්‍ය අමාත්‍යාංශයයි. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රසන්න රණතුංග මහතා හටත්, රමේෂ් පතිරණ මහතා හට සෞඛ්‍ය අමාත්‍යාංශයත්, පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හට විදුලිබල අමාත්‍යාංශයත්, කෙහෙළිය රඹුක්වැල්ල මහතා හට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයත් ලබාදීමට නියමිතව තිබුණි. සංචාරක අමාත්‍යාංශය දැනට සිටින අමාත්‍යවරයකු යටතට පත්කිරීමටත් නාමල් රාජපක්ෂ මහතාගේ අමාත්‍යාංශයේ විෂය සංශෝධනයක් සිදුකිරීමටත් නියමිත බව කියැවුණි.

මේ අතර ගෙවුණු සතියේ විපක්ෂය දිගින් දිගටම කියා සිටියේ කොරෝනා කාර්ය සාධක බළකාය විසුරුවා හැර රටේ සෞඛ්‍ය අංශවලට ඒ වසංගතය මර්දනයේ නායකත්වය සහ වගකීම පැවරීය යුතු බවයි. කලක පටන් හිටපු අග්‍රාමාත්‍ය වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන සටන් පාඨයද වූයේ මෙයයි. ඒ අනුව මෙය මුළු විපක්ෂයේම සටන් පාඨයක් වීම අපූරු සිදුවීමක් විය. ඒ කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතාගේ මේ හා සම්බන්ධව කළ ප්‍රකාශයක් හේතුවෙන් යම් දේශපාලන ඝෝෂාවක් නිර්මාණය විය. කොරෝනා ආසාදිතව මෙරට මියයන සියලු පුද්ගලයන්ගේ මරණවලට වගකීම කොවිඩ් මර්දන බළකාය විසින් භාරගත යුතුව ඇතැයි වික්‍රමසිංහ මහතා පැවසුවේය. වසංගතය මර්දනයට හමුදාවේ මැදිහත් වීම පිළිබඳවද ඔහු විවේචනාත්මකව කතා කළේය.

එම ප්‍රකාශයට ආණ්ඩුවෙන් සැලකියයුතු විරෝධයක් එල්ල විය. හමුදාපතිවරයා මීට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ කොවිඩ් එන්නත්කරණ ක්‍රියාවලිය සඳහා හමුදා සහාය ලබාගැනීම පිළිබඳ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා බරපතළ විවේචනයක් කළත් එතුමාද තම එන්නත් මාත්‍රාව ලබාගත්තේ නාරාහේන්පිට යුදහමුදා මූලික රෝහලේ එන්නත්කරණ මධ්‍යස්ථානයෙන් බවයි. ඒ සමඟම හමුදාපතිගේ ප්‍රකාශය බාලාංශ ප්‍රකාශයක් බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. ඔහු කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශය වැරදි ලෙස තේරුම් ගෙන හමුදාපතිවරයා මෙම ප්‍රකාශය සිදුකර ඇති බවයි. එසේම එන්නත ලබාගත් ස්ථානය හෙළිකිරීම ආචාරධර්මවලට තරම් නොවන බවද ඔහු පැවසුවේය. කෙසේ වෙතත් මෙම ආරෝව සතිය පුරා දික් ඇදුණි. ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ පිරිස්ද වික්‍රමසිංහ මහතාගේ සහ හමුදාපතිවරයාගේ ප්‍රකාශ සම්බන්ධව අදහස් දක්වන්නට වූහ.

මේ සියල්ල අතරේ වසංගත තත්ත්වය එන්න එන්නටම දරුණු අතරට පෙරළෙන්නට වූ නිසාවෙන් රට ලොක්ඩවුන් කිරීමක් පිළිබඳ විශාල කතාබහක් ගෙවුණු සතියේදී නිර්මාණය විය. සෞඛ්‍ය අංශ ඇතුළු බොහෝ පාර්ශව රට වසා දැමීම පිළිබඳ ආණ්ඩුවට බලපෑම් කරන්නට වූහ. ඒ අනුව බොහෝ දෙනකු බලාපොරොත්තු වූයේ කැබිනට් හමුවෙන් පසු යම් තීරණයක් ආණ්ඩුව එළඹෙනු ඇති බවයි. එහෙත් සිදුවූයේ අනෙකකි. අඟහරුවාදා (10) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී රට වසා නොදමන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියේය. වසංගතය පාලනය කිරීම සඳහා රට වසා දමා ඇඳිරි නීතිය පනවන ලෙස ඉල්ලීමක් තිබෙන බවත් එහෙත් එවැනි තීන්දුවක් ගන්නේ අත්‍යවශ්‍යම තත්ත්වයක් ඇති වුණොත් පමණක් බවත් ඔහු කියා සිටියේය. මේ අතර සංචරණ සීමා දැඩි කිරීමට අදාළ ක්‍රියාමාර්ගද ගෙවුණු සතියේ ආණ්ඩුව ගනු ලැබුවේය.

වසංගත තත්ත්වය පාලනය සම්බන්ධව ජනතා විමුක්ති පෙරමුණද හඬ නගන්නට විය. සෞඛ්‍ය අමාත්‍යවරියගේ සහ කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍යවරියගේ උපදෙස් මත කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා තීන්දු තීරණ ගන්නා ලෙස ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය. ඒ අනුව කොවිඩ් ආසාදිතයන් මරණයට පත්වන වේගය සලකා බැලීමේදී කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බළකායේ කටයුතු පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන මණ්ඩල මණ්ඩල සභික නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේය. ජනාධිපතිතුමාගෙන් ඉතාම ආයාචනාත්මකව ඉල්ලා සිටිනවා ඔබතුමාට මේ රටේ වෛද්‍ය විශේෂඥයන් කියන දේ අහන්න බැරි නම් ඔබතුමාගේ කැබිනට් එකේ ඉන්න සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් සහ කොවිඩ් රාජ්‍ය අමාත්‍යවරිය කියන දේටවත් ඇහුම්කන් දෙන්න. යනුවෙන් ඔහු වැඩිදුරටත් කියා සිටියේය. මෙම ප්‍රකාශයට ආණ්ඩුවේ ඇතැමෙක් ප්‍රතිචාර දක්වා තිබුණි.

දිගින් දිගටම මෙරට දේශපාලනයට අවතීර්ණ වෙතැයි කියැවුණු හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පුත් විමුක්ති තමා දේශපාලනයට නොයන බව ගෙවුණු සතියේ ස්ථිරවම කියා සිටියේය. ප්‍රබල දේශපාලන පවුලක පුතෙකු ශ්‍රී ලංකා දේශපාලන කරළියට පිවිසීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරමින් පවතින බවට පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කර තිබුණි. ඒ වාර්තාවලට මාගේ කිසිම සම්බන්ධයක් නොමැති බව තරයේ ප්‍රකාශ කරමි. යනුවෙන් සඳහන් කරමින් ලන්ඩනයේ සිට ඔහු නිවේදනයක් නිකුත් කළේය. ගෞරවනීය, සරල සහ අප්‍රකට ජීවිතයක් ගත කිරීමට තමා දැඩි උත්සාහයක් දරා ඇති බවද ඔහු එහි සඳහන් කර තිබුණි. එසේම තමාගේ පෞද්ගලිකත්වයට ගරුකරන මෙන් ශ්‍රී ලාංකේය මාධ්‍යවලින් සහ මහජනතාවගෙන් ඔහු ඉතා කාරුණිකව ඉල්ලා සිටියේය.

ගෙවුණු සතියේ ඇමැති දරුවන්ගේ විවාහ මංගල දෙකක් පිළිබඳ කතා දෙකක් කාගේත් අවධානය දිනා ගත්තේය. රට වැසීම ප්‍රමාදවන්නේ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ පුතුගේ විවාහ මංගල්‍යය හේතුවෙන් බව කියැවෙන පුවතක් සමාජ මාධ්‍යයේ පැතිර ගියේය. එම ප්‍රචාරය ක්‍රමයෙන් වර්ධනය වී මැති ඇමතිවරුන්ටත් දැනගන්නට ලැබුණි. කෙසේ මෙම කතාවේ සත්‍යතාවක් නොතිබුණි. අවසානයේ මෙය රාජ්‍ය අමාත්‍යවරයාට හිසරදයක් විය. ඒ අනුව අදාළ පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් රාජ්‍ය  අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියා සිටියේය.

විවාහ මංගල්‍යය සම්බන්ධව අනෙක් පුවත වූයේ අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ පුත්‍රයාගේ විවාහය පිළිබඳ කතාවයි. එම විවාහ මංගල්‍යය බ්‍රහස්පතින්දා (12) වැනිදා කොළඹ සුපිරි හෝටලයක සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් පැවත්වීමට කටයුතු සූදනම් කොට තිබුණි. රජය විසින් ප්‍රකාශයට පත්කොට ඇති නව නීති රෙගුලාසිවලට අනුකූලව රාජ්‍ය අමාත්‍යවරිය මෙම විවාහ මංගල උත්සවය අවලංගු කිරීමට කටයුතු කළාය. එය බොහෝ දෙනෙකුගේ පැසසුමට හේතුවිය. අවසානයේ දේවස්ථානයකදී පවුලේ ඥාතීන් පමණක් එක්කරගෙන මෙම විවාහය සිදුකළ බව අපට දැනගන්නට ලබුණි. 

මේ අතර ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් වෙනුවෙන් අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවක්ද සතියේ දේශපාලන කතිකාවක් නිර්මාණය කළේය. මෙම සාකච්ඡා කැඳවා තිබුණේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාය. බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධුරයට පත්වීමෙන් අනතුරුව පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම හමුවන පළමු අවස්ථාව මෙය වූයෙන් බොහෝ දෙනෙකු තුළ නැවුම් බලාපොරොත්තු ඇතිවී තිබුණි. එහෙත් මෙහිදී සාකච්ඡාවට බඳුන් වන්නේ කුමක්ද යන්න පිළිබඳ ඇතැම් මන්ත්‍රීවරුන්ට හරිහැටි අවබෝධක් නොතිබුණි. එම නිසාම එන්නත්කරණ වැඩපිළිවෙළ, රටේ ආර්ථික තත්ත්වය මෙන්ම දේශපාලන කාරණා සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු කල්ඇතිවම මාධ්‍යට කීහ.

එහෙත් මෙම සාකච්ඡාවේදී මූලිකවම සිදුවූයේ 2022 අය-වැය  සම්පාදනය කිරීම සඳහා පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ යෝජනා ලබා ගැනීමයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද මෙම අවස්ථාවට සභභාගී විය. මෙම හමුවේදී ග්‍රාමීය, ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් මට්ටමින් ඉටුකළ යුතු කාර්යයන්, ජාතික මට්ටමින් අවධානය යොමුකළ යුතු කාර්යයන් සහ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම යන අංශ සඳහා පසුපෙළ මන්ත්‍රී යෝජනා ලබාගැනීමට බැසිල් රාජපක්ෂ මහතා කටයුතු කළේය. දේශපාලන ආරංචි මාර්ග අනුව මේ දිනවලදී පසුපෙළ මන්ත්‍රීවරුන් කතාබහ කළ යුතු කරුණු පිළිබඳවද බැසිල් රාජපක්ෂ මහතා පිරිස දැනුවත් කර තිබේ. ඊට අමතරව බැසිල් රාජපක්ෂ මහතා සිහිපත්කර තිබුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ජනාධිපතිවරයා මෙන්ම මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ රටේ විවිධ අංශ නියෝජනය වන පරිදි ඊට අදාළ පිරිස් වෙතින් අය-වැය යෝජනා සකස් කිරීමේදී අදහස් ලබා ගැනීමට කටයුතු කළ බවයි. එය ඉතා සාර්ථක ප්‍රගතියක් පෙන් වූ බැවින් මෙවරද අයවැය සම්පාදනයේදීත් හැකි උපරිමයෙන් විවිධ අංශ නියෝජනය වන පරිදි යෝජනා ලබා ගැනීමට කටයුතු කරන ඔහු මන්ත්‍රීවරුන් හමුවේ කීවේය.

රතන හිමිගේ පාර්ලිමේන්තු අසුනේ ආරෝව ගෙවුණු සතියේ නැවත කරළියට පැමිණියේය. අපේ ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට එම පක්ෂය තීරණය කොට ඇති බව දැනගන්නට ලැබුණි. රතන හිමි කලින් ඇති කරගත් එකඟතාවන්ට අනුව ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත්ව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මන්ත්‍රී ධූරය ලබා නොදීම මීට හේතුවිය. පක්ෂ නායකයන් කීවේ දැනටමත් නීතිමය පියවර ගැනීමට අදාළ ලියකියවිලි රතන හිමියන් වෙත යවා ඇති බවයි. එහෙත් රතන හිමි කීවේ එවැන්නක් තමන්ට ලැබී නොමැති බවයි. මේ අතර කලින් කලට පුවත් මවමින් දේශපාලන කරළියට එන ජනාධිපති නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු ගෙවුණු සතියේ ප්‍රකට යූටියුබ් සංවාදකට එක්වෙමින් අතුරලියේ රතන හිමි, රනිල් වික්‍රමසිංහ, බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු නියෝජනය කිරීම ව්‍යවස්ථා විරෝධී බව කියා තිබුණි. තමන් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඔවුන් පාර්ලිමේන්තුවෙන් එළවා දමන බවද ඔහු වැඩිදුරටත් එහිදී සඳහන් කළේය.

ගෙවුණු සතියේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට විරුද්ධ ආණ්ඩුවෙන් අලුත් චෝදනාවක් මතුවූයේය. ප්‍රේමදාස මහතා ෆයිසර් එන්නත මෙරටට ගෙන්වන තුරු බලා හිඳ එන්නත ලබාගත් බව ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු චෝදනා කළහ. මේ අතර සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජනබලවේගය ආණ්ඩුවේ කොවිඩ් මර්දන ප්‍රතිපත්ති දැඩිව විවේචනය කරන්න විය. මේ අතර ඔවුහු විශේෂ නිවේදනයක්ද නිකුත් කළහ. ගෑස් කිරිපිටි පෝලිම සමග ආණ්ඩුව සැරසෙන්නේ ඉන්ධන පෝලිමටද? සජිත් ප්‍රේමදාස මහතා එයින් ප්‍රශ්නය කර සිටියේය. &රටේ තත්ත්වය මොහොතින් මොහොත බරපතළ ව්‍යසනකාරී තත්ත්වයක් කරා ඇදෙමින් පවතින අතර මහා අභිෂේකයකින් පසුව පත්කළ නව මුදල් අමාත්‍යවරයා යටතේත් සිදුවන්නේ මෙතෙක් සිදු වූ සුපුරුදු ක්‍රියාපිළිවෙත පමණි. වෙනසකට ඇත්තේ විනාශය වෙනදාටත් වඩා උග්‍ර වීමය.* යනුවෙන් දක්වමින් බැසිල් රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති විපක්ෂ නායකවරයා දඩිව විවේචන කළේය.

පසුගිය සති කිහිපය පුරා නිරන්තර කතාබහට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා නැවත ජනාධිපති අගමැති හීන දකින බවට රාවයක් දේශපාලන කරළියේ පැතිර ගියේය. ඊට හේතුව වූයේ ඔහු මුහුණු පොතේ විධානයක් පරිද්දෙන් තැබූ අපූරු සටහනකි. ඔහු ඉන් ආමන්ත්‍රණය කර තිබුණේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයායි. එම නිසාම සම්බන්ධවද දේශපාලන කරළියේ අපූරු කතාබහක් ඇති විය. ආණ්ඩුවේ මන්ත්‍රීවරු මෙම ආමන්ත්‍රණය සරදමට ලක් කළෝය.
ගෝඨාභය, දැන්ම රට වහන්න!

දිනක මරණ ඉලක්කම් තුනෙන් නවතා ගමු. ඔබේ උද්දච්ච ක්‍රියා කලාපය නිසා ඩෙල්ටා ප්‍රභේදය දැන් ශ්‍රී ලංකාව අවාසනාවන්ත ලෙස ගිලගෙන තිබෙනවා. සැප්තැම්බරයේ දිනකට ඉලක්‌කම් 4ක මරණ රට නොවැසීමේ ප්‍රතිපල මත අත්විඳිය හැකි බව වෛද්‍ය විශේෂඥන් අනතුරු අඟවා තිබෙනවා. ඒ නිසා අවම සති දෙකකටවත් වහාම රට වසා දමන්න. pfizer, moderna වැනි ශක්තිමත් එන්නතක් පමණක් තෙවැනි මාත්‍රාව ලෙස ජනතාවට ලබාදීමට දැන්ම සැලසුම් සකස් කරන්න.– ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා

මේ අතර ගුරු වර්ජනය සම්බන්ධව කතාව ක්‍රමයෙන් යට යමින් තිබුණි. කැබිනට් හමුවේදී විමල් වීරවංශ අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් විශේෂ ඉලීමක් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. එය ගුරු වැටුප් ගැටලු සම්බන්ධ යෝජනා ඉදිරිපත් කිරීමට පත්කළ කැබිනට් අනු කමිටුවේ සංයුතිය සම්බන්ධව යෝජනාවකි. විරවංශ මහතා ජනාධිපතිවරායාගෙන් ඉල්ලා ඇත්තේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාවද මෙම අනු කමිටුවට ඇතුළත් කරන ලෙසයි. මෙම ගැටලුව විසඳීමේදී වැඩි වගකීමක් මුදල් අමාත්‍යාංශයට පැවරෙන බැවින් තමා මෙම ඉල්ලීම සිදුකරන බව ඔහු සඳහන් කර තිබේ. කෙසේ වෙතත් එම යෝජනා ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. කමිටු යෝජනා බැසිල් රාජපක්ෂ මහතාට ලබාදෙන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇතැයි කියැවේ.

මේ අතර ඉකුත් බ්‍රහස්පතින්දා ගුරු විදුහල්පති වැටුප් විෂමතා විසඳීම සඳහා පත් කළ ඇමැති අනුකමිටුව ප්‍රථමවරට කොළඹදී රුස්විය. ගුරු වෘත්තිය ගෞරවාන්විත සේවාවක් බවට පත් කළ යුතු අතර වැටුප් විෂමතා ඉවත් කළ යුතු බවටද අමාත්‍ය අනු කමිටුව එහිදි මූලික එකඟතාවකට පැමිණ ඇති බව වාර්තාවෙයි. ඒ අනුව මෙහි සාමාජියන් වන විමල් වීරවංශ, ප්‍රසන්න රණතුංග, මහින්ද අමරවීර, ඩලස් අලහප්පෙරුම යන අමාත්‍යවරු මෙතෙක් මේ සම්බන්ධව ගෙන ඇති පියවර පිළිබඳ තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලබා ගැනීමට කටයුතු කර තිබේ. ඒ අනුව එළඹෙන සතිය තුළ අදාළ වෘත්තීය සමිති වෙන වෙනම මුණගැසී සාකච්ඡා කිරීමට තීරණය ඔවුන් තීරණය කර ඇත.

 

 චමිඳු නිසල්