2021 අගෝස්තු 07 වන සෙනසුරාදා

කොතලාවල පනතට ආණ්ඩුව ඇතුළේ වලි

 2021 අගෝස්තු 07 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 247

රසායන පොහොර තහනම එලෙසම බව ලලිත් වීරතුංග කියයි
 

සජිත් - වෙල්ගම රහස් කතාවක
 

චන්ද්‍රිකා යළිත් තිරය පිටුපස දේශපාලන භූමිකාවක
 

රනිල්ගෙන් එජාපයේ තරුණ ක්‍රියාකාරිකයන්ට පොරොන්දුවක්
 

සාගරගෙන් පාර්ලිමේන්තුවේ නිලධාරීන්ට දොස්
 

බන්දුලගෙන් මහින්දානන්දට අවවාදයක්

කොවිඩ් නැගී සිටීම, එන්නත්කරණය, ගුරු වර්ජන ගෙවුණු සතියේ දේශපාලන කරළියේ ප්‍රමුඛ මාතෘකා වී තිබුණි. එහෙත් කොතලාවල පනත මෙම සියලු මාතෘකා අභිභවා යමින් හිටිහැටියේ දේශපාලනය උණුසුම් කරන්නට පටන් ගත්තේය. ඊට හේතුව වූයේ කොතලාවල පනත හේතුවෙන් ආණ්ඩුවේ අභ්‍යන්තර මතගැටුමක් නිර්මාණය වීමයි. විපක්ෂයද එය තම වාසියට පෙරළා ගැනීමට උත්සහා කළේය.

කොතලාවල පනත සම්බන්ධව සඳුදා (2) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුවක් පැවතියේය. පනත සිකුරාදා පාර්ලිමේන්තුවට ගෙන ඒමට ඒ වනවිටත් සියලු කටයුතු සූදානම් කොට තිබුණි. එහෙත් මෙම හමුවේදී පනත සම්බන්ධයෙන් මන්ත්‍රී කාණ්ඩායමෙන් අනපේක්ෂිත විරෝධයක් මතුවිය. වාසුදේව නානායක්කාර, සුසිල් ප්‍රේමජයන්ත, ගෙවිඳු කුමාරතුංග, වීරසුමන වීරසිංහ, ප්‍රේමනාත් සී දොළවත්ත ආදී පිරිසක් කොතලාවල පනතේ අඩුපාඩු පෙන්වා දෙන්නට වූහ. ඒ සමඟ යම් උණුසුම් තත්ත්වයක් නිර්මාණය වූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. කෙසේ වෙතත් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා වැනි ආණ්ඩුවේ ප්‍රබලයන්ද මෙම පනත සම්බන්ධව මධ්‍යස්ථ මතයක් දරණ බව පෙනී ගියේය. රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු වැනි පොදුජන පෙරමුණ මන්ත්‍රීවරු මේ සම්බන්ධව විවිධ මත ඉදිරිපත් කළහ. එම නිසාම කොතලාවල පනත සම්බන්ධව ආණ්ඩුවේ පොදු එකඟතාවක් නොමැති බව පැහැදිලි විය.

මෙම පනත කඩිමුඩියේ රුගෙන ආ යුතු නැති බවත් එය සංශෝධනය සහිතව ඉදිරිපත් කළයුතු බවත් පොදුවේ බහුතරයක් කියා සිටියහ. කෙසේ වෙතත් මෙම අවස්ථාවට ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් කරුණු පැහැදිලි කිරීමට ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති විශ්‍රාමික මේජර් ජනරාල් මිලින්ද පීරිස් යන මහත්වරු පැමිණ සිටියහ. එහෙත් අවසානයේ ඇතිවූ ව්‍යාකූල තත්ත්වය මත පනත සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා කමිටුවක් පත්කරන බවත් එහි තීරණය එනතෙක් පනත ඉදිරිපත් නොකරන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දුන්නේය. මේ අතර මෙම රුස්වීම අවසන් වී පිටත්ව ගිය ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන් මාධ්‍යයට විවිධ මත පළකර තිබුණි. ඇතැමෙක් කියා තිබුණේ යෝජිත කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත, පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක සාකච්ඡා කිරීමෙන් අනතුරුව, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට එහිදී තීරණය කර බවයි. කෙසේ වෙතත් පසුව පාර්ලිමේන්තුවේදී අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා කියා සිටියේ සිකුරාදා පනත් කෙටුම්පත ඉදිරිපත් නොකරන බවකි.

කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල මතය ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට පක්ෂය අඟහරුවාදා (3) කටයුතු කළේය. ඒ අනුව පෙනී ගියේ පසුගිය සමයේ පැවති සාකච්ඡාවලින් අනතුරුව ශ්‍රීලනිපය ජනපති සමඟ ගනුදෙනුවට ප්‍රියකරන බවයි. අදාළ පනත සඳහා මූලික සංශෝධන 4ක් ඔවුන් යෝජනා කොට තිබුණි. කොතලාවල විශ්වවිද්‍යාලය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නියාමනයෙන් හා පාලනයෙන් බැහැර නොකිරීම, ආරක්ෂක නිලධාරීන් නොවන උපාධි අපේක්ෂකයන් ඇතුළත්කර ගැනීමේදී Z අගය මත පදනම් වූ සාධාරණ ක්‍රමයක් පැහැදිලිව සඳහන් කිරීම ආදී යෝජනා ඊට ඇතුළත් විය. කොතලාවල පනත සම්බන්ධව විමසා බැලීමට පත්කළ ශ්‍රීලනිප කමිටුවේ සභාපති නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ අත්සනින් මෙම යෝජනා සහිත ලිපිය ජනාධිපතිවරයා වෙත ඔවුන් යොමුකර තිබුණි.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහත ප්‍රමුඛ සමගි ජන බලවේගය කොතලාවල පනත ප්‍රමුඛ දේශපාලන සටන් පාඨයක් බවට පරිවර්තනය කර ගත්තේය. &නිදහස් අධ්‍යාපනය සුරකිනු. කොතලාවල පනත හකුලා ගනු* මැයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට විරෝධතාවක් ද පැවැත්විණි. නිදහස් අධ්‍යාපනයට එරෙහි ද්‍රෝහීන් කවුද, නිදහස් අධ්‍යාපනය රකින දේශප්‍රේමීන් කවුද කියා ඉදිරියේදී දැකබලා ගත හැකිවනු ඇතැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී පැවසීය. නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමට  පිඹුරුපත් සකසමින් ආණ්ඩුව කොතලාවල පනත ගෙනැවිත් ඇති බවද ඒ මහතා කියා සිටියේය.

මේ සියල්ල අතරේ රටේ සියලුම ජනතාව එන්නත්කරණයට ලක්වන තුරු මහජන සේවකයෙක් ලෙස එන්නත ලබාගැනීමට බලාපොරොත්තු නොවන බව පැවසූ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ගෙවුණු සතියේ කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගත්තේය. වෛද්‍යවරුන්ගේ දැඩි උපදෙස් මත එන්නත ලබා ගැනීමට තමන් කටයුතු කළ බව විපක්ෂනායකවරයා අඟරුවාදා (3) සමාජ මාධ්‍යයේ සටහනක් තබා තිබුණි. &එන්නත ලබා ගැනීමට අපොහොසත් වුවහොත් නැවත කොවිඩ් රෝගය වැළඳිය හැකි බවත් එය මාරාන්තික විය හැකි බවත් වෛද්‍යවරු මට තරයේ අවවාද කළහ. මගේ වර්තමාන සෞඛ්‍ය තත්ත්වය අනුව මම ඔවුන්ගේ නියමයට එකඟ වූයෙමි” යනුවෙන් එම පණිවිඩයේ සඳහන් වී තිබුණි.

එක්සත් ජාතික පක්ෂයද නව දේශපාලන ප්‍රවේශයක් වෙනුවෙන් සීරුමාරුවට සැරසෙන බව ගෙවුණු සතියේ දැනගන්නට ලබුණි. එජාපයේ 75 වැනි සංවත්සරය නිමිති කොටගෙනම මෙම කටයුතු සිදුවෙමින් පැවතියේය. ඒ අනුව නැවත ආණ්ඩු බලය බලාගන්නා සැලැස්ම සැප්තැම්බර් 6 වැනිදාට යෙදෙන එක්සත් ජාතික පක්ෂ සංවත්සරයේදී ඉදිරිපත් කරන බව පක්ෂයේ තරුණ ක්‍රියාකාරීන් හමුවේ රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු වී ඇති බවද දැනගන්නට ලැබුණි. මෙම හමුවේදී වික්‍රමසිංහ මහතා 1956 දී ආසන අටට වැටුණු එකසත් ජාතික පක්ෂය නැවත ගොඩ ආ ආකාරයද තරුණයන්ට පැහැදිලි කිරීමත් සුවිශේෂී කරුණක් විය. එසේම ඔහු පවසා ඇත්තේ වර්තමාන විපක්ෂයේ කිසිවකුට ආණ්ඩු බලය ලබාගැනීමේ නිසි සැලසුමක් නොමැති බවයි.
සංවත්සරය වැඩසටහනට සමගාමීව මේ වනවිටත් එජාප හැරගිය පළාත් පාලන නියෝජිතයන් නැවත පක්ෂයට එකතු කර ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු සිදුවන බව කියැවෙයි. ඊට අමතර විපක්ෂයේ සියලු කණ්ඩායම් එකට එකතු කිරීමේ මෙහෙයුමක් ද රනිල් වික්‍රමසිංහ මහතා ආරම්භ කර ඇති බව දැනගන්නට ලැබේ. එම කටයුත්ත එජාපයේ නායකත්ව අපේක්ෂාව සහිත ප්‍රබලයන් තිදෙනෙකුට භාරදී ඇති බවද දැනගන්නට ලැබේ. ඒ අතර මංගල සමරවීර සහ කුමාර වෙල්ගම දේශපාලන භූමිකාවන් දෙස රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ අවධානයක් යොමුවී ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

කුමාර වෙල්ගමගේ දේශපාලනය ගෙවුණු සතියේ  කාගේත් අවධානයට දිනා ගත්තේය. පසුගිය සඳුදා (2) දා තීරණාත්මක රුස්වීමක් කූමර වෙල්ගම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. එය ඔහු නායකත්වය දරන නව ලංකා නිදහස් පක්ෂය සහ තවත් දේශපාලන පක්ෂ කිහිපයක් අතර පැවති සාකච්ඡාවකි. ආණ්ඩු විරෝධී නව සංධානයක් බිහිකිරීම වෙනුවෙන් මෙහිදී සාකච්ඡා පැවැත්විණි. පසුව හෙළිවූ පරිදි වෙල්ගම මහතා නායකත්වය දරන ‘නව ලංකා නිදහස් පක්ෂය’ සහ ප්‍රමුඛ ආණ්ඩු විරෝධී පක්‍ෂ අටක් ‘අපි ශ්‍රී ලංකා’ ලෙස සංවිධානයක් පිහිටුවා ගෙන ඇති බව හෙළිදරව් විය. එක්සත් වාමාංශික පෙරමුණ, ලංකා ජනතා පක්ෂය, ප්‍රගතිශීලි ජාතික සේවක පක්ෂය, ජාතික ජනතා පක්ෂය, ජාතික ජනතා ව්‍යාපාරය, එක්සත් සමාජවාදී පක්ෂය සහ ශ්‍රී ලංකා සමාජවාදී පෙරමුණ යන දේශපාලන පක්ෂ ඒකාබද්ධව මෙම සංවිධානය ගොඩ නගාගෙන තිබේ. කලක් ප්‍රකට දේශපාලන චරිතයක් වූ කඩුවෙල හිටපු නගාරාධිපති ජී.එච්. බුද්ධදාස මහතා ඇතුළු පිරිසක් මෙම කණ්ඩායම නියෝජනය කරති.
කෙසේවෙතත් ඇතම් මාධ්‍ය වාර්තා අනුව දැනගන්නට ලැබුණේ ඉහත සතියේ සජිත් ප්‍රේමදාස මහතා සහ කුමාර වෙල්ගම මහතා අතර රහස් සාකච්ඡාවක් පැවති ඇති බවයි. එය දේශපාලන හිතවතකුගේ නිවසේ රහසේ සංවිධනය කරන ලද සාකච්ඡාවක් බව කියැවුණි. කෙසේවෙතත් මෙහිදී සජිත් ප්‍රේමදාස මහතා හමුවේ තමන්ගේ කලකිරීම් පිළිබඳ දීර්ඝ වශයෙන් කුමාර වෙල්ගම මහතා කරුණු පහදා ඇති බව කියැවේ. මෙම සාකච්ඡා සාර්ථක වී ඇති බවත් කුමන තත්ත්වයක් මත වුවද වෙල්ගම සජබයට විරුද්ධ නොවන බවත් මෙම මාධ්‍ය වාර්තා උපුටා දක්වයි. එසේම එම සාකච්ඡාවේදී කුමාර වෙල්ගම මහතා සජබයේ ඉදිරි ආණ්ඩු විරෝධී මාධ්‍ය මෙහෙයුමේ ප්‍රබලයකු ලෙස කටයුතු කිරීමට එකඟවී ඇති බව කියැවේ. කෙසේ වෙතත් මෙම සාකච්ඡා සම්බන්ධව නිල වශයෙන් මෙතෙක් තොරතුරු කිසිවක් වාර්තා වී නොමැත. එම නිසාම වෙල්ගමගේ අලුත් සංධානය සහ මෙම සාකච්ඡා අතර දේශපාලන පරස්පර බවක් ඇතැයි පෙනීයයි. එහෙත් මෙම ඉතා සූක්ෂම දේශපාලන උපායක කොටසක් බවත් හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මීට සම්බන්ධව බවත් විටෙක කියැවෙයි.

ගෙවුණු සතියේ පාර්ලිමේන්තුව රැස්වූයෙන් තවත් දේශපාලන මත ගැටුම් වාද විවාද රැසක් ඇතිවුණි. කෙසේවෙතත් පාර්ලිමේන්තුව රැස්වීම සම්බන්ධව අවසන් මොහොත වන තෙක්ම අවිනිශ්චිත තත්ත්වයක් පැවති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. එහෙත් අවසානයේ පාර්ලිමේන්තුව රැස්වූවා පමණක් නොව බදාදා (4) ජනපතිද පාර්ලිමේන්තු පැමිණියේය. පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණි ජනාධිපතිවරයා සභානායක, දිනේෂ් ගුණවර්ධන සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් විසින් පිළිගනු ලැබුවේය. අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු ජනාධිපති සමඟ පාර්ලිමේන්තු සභා ගර්භයට පිවිසියහ. සභා ගර්භය තුළ රැඳී සිටිමින් ස්ථාවර නියෝග යටතේ යොමු කෙරෙමින් තිබූ වාචික ප්‍රශ්නවලට ජනාධිපති සවන් දෙමින් සිටියේය. මේ අතර රිෂාඩ් බදියුදින් මන්ත්‍රීවරයා සම්බන්ධව කතාව මතුවිය.

ජනපති සභාවේ සිටියදී සභාව ඇමතීමේ අවස්ථාව උදා කරගත් රිෂාඩ් බදියුදින් මන්ත්‍රීවරයා තම දුක් ගැනවිල්ල ජනාධිපති හමුවේ කියා සිටියේය. ඔහු පෙන්වා දුන්නේ තමන් රඳවාගෙන සිටින්නේ තමන් විසින් අමාත්‍යංශ අතිරේක ලේකම්වරයාට ලබාදුන් මිනිත්තු එකහමාරක ඇමතුමක් නිසා බවයි. මේ වන තෙක් දින එක සිය දෙකක් තමා රඳවාගෙන සිටියත් ප්‍රශ්නය කර ඇත්තේ දින පහක් පමණක් බවද ඔහු කියා සිටියේය. බදියුදීන්ගේ කතාව අතරේ සභාව තරමක් උණුසුම් විය. ඒ මොහොතේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා බදියුදීන් සම්බන්ධව යැයි අනුමාන කළ හැකි යමක් සාකච්ඡා කරමින් සිටින බව පාර්ලිමේන්තු කැමරාවේ සටහන්ව තිබුණි. කෙසේ වෙතත් රිෂාඩ් බදියුදීන් හට සිය දුක් ගැනවිල්ල කීමට ලැබුණේ ඉතා සීමිත කාලයකි. ඔහු සහ සමගි ජන බලවේගය කාලය ඉල්ලා සිටිමුත් න්‍යාය පත්‍රය අනුව කතානායකවරයා සභාව මෙහෙය වීය. කතානායකවරයා බදියුදීන්ට උපදෙස් දුන්නේ ජනාධිපතිවරයාව පෞද්ගලික මුණගැසී සිය ප්‍රශ්නය ඉදිරිපත් කරන ලෙසයි. මෙම සිදුවීමෙන් පසු පාර්ලිමේන්තු පරිශ්‍රයේ පිහිටි සිය කාර්යාලයේදී ජනාධිපතිවරයා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සමඟ සුහද කතාබහක නිරතවී පසුව පිටව ගියේය.

මේ අතර බ්‍රහස්පතින්දා (5) පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකළේය. කොළඹ වරාය ආර්ථික නගර පනත් කෙටුම්පත සම්බන්ධව ඡන්ද විමසීමේ දී සිදුවූ අඩුපාඩු පිළිබඳ ඔහු එහිදී දීර්ඝ හෙළිදරවක් සිදුකළේය. මෙම පනත සඳහා දෙවැනිවර ඡන්ද විමසන අවස්ථාවේ ආණ්ඩුවට තුනෙක් දෙක බහුතර බලයක් තිබුණද කෙටුම්පතට ලැබී තිබුණේ පක්ෂ ඡන්ද 148ක් පමණි. ඊට හේතුව වී තිබුණේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු දෙදෙනෙකුගේ ඡන්ද නිවැරුදිව ගණනය නොවීමයි. මෙසේ මගහැරී ඇත්තේ අලි සබ්රි සහ ජයන්ත හේරත් යන මන්ත්‍රීවරුන්ගේ ඡන්ද බව පසුව හෙළිදරව් විය. එම ඡන්ද ගණනය වී නොතිබිණි. මේ සම්බන්ධව සාගර කාරියවසම් මහතා කතානයකවරයා පැමිණි කරනු ලදුව ඒ හා සඳහා පරීක්ෂණක් කිරීමට කමිටු දෙකක් කතානායකවරයා පත් කළේය.

මේ වනවිට නිකුත් වී ඇති එම කමිටු වාර්තා අධ්‍යයන කරමින් කතා කළ සාගර කාරියවසම් මහතා එම කමිටුව විසින් ඡන්දය නිසිලෙස ගණනය නොවීමක් සිදුවී ඇති බව පිළිගෙන ඇතැයි පෙන්වා දුන්නේය. එහෙත් එම වරදට හේතුව දැක්වීමේ කමිටු ඉදිරිපත් කර තිබූ කරුණු පිළිබඳ සාගර කාරිවසම් මහතා දැඩි විවේචනයක් සිදුකළේය. අලි සබ්‍රි ඇමතිවරයා නවකයකු නිසාවෙන් අත්වැරදීමක් සිදුවන්නට ඇති බවක් එම කමිටුවල සඳහන් වී තිබීමත්, ජයන්ත හේරත් මන්ත්‍රීවරයා අත ඔසවා ඡන්ද ලබාදීමට උත්සාහ දැරුවද එම ඡන්දය ගණනය නොවීමත් සම්බන්ධව ඔහු කනගාටුව පළ කළේය. ඒ අනුව කමිටු නිර්දේශ හෙළාදුටු ඔහු කමිටු විසින් සිදුකර ඇත්තේ මන්ත්‍රීවරු පිට වරද පැටවීමක් බවත් කියා සිටියේය. මේ පාර්ලිමේන්තුව මන්තීවරුන් සංඛ්‍යාව වගේ පස් ගුණයක් වන නිලධාරීන් සංඛ්‍යාවක් නඩත්තු කරනවා. මම ඔබතුමාගෙන් අහන්න කැමතියි මේ නිලධාරීන්ගෙන් කිසිම කෙනෙකුට මේ ගරු සභාවේ කටයුතුවලදී කිසිම අත්දැකීමක් නැද්ද කියලා." යනුවෙන් සාගර කාරියවසම් මහතා අවසානයේ කතානායකවරයාගෙන් ප්‍රශ්නය කර සිටියේය.

මේ අතර කවදත් පුවත් මවන ආචාර්ය බන්දුල ගුණවර්ධන ඇමතිවරයා සම්බන්ධව අලුත් කතාවක් අපිට දැනගන්නට ලැබුණි. එන්නත් දෙකම ලබාගත් ඇමති මහින්දානන්ද අලුත්ගමගේට කොවිඩ් වැළඳුණු බව ඇමති බන්දුල දැනගත්තේ අඟහරුවාදාය. පසුගිය කාලය පුරාවට සහල් මිල පාලනය ඇතුළු කටයුතුවලදී ඇමති බන්දුල සහ මහින්දානන්ද ඇමැතිවරු එකට වැඩකරමින් සිටියහ. එනිසාම දෙදෙනා අතර දේශපාලන මිත්‍රත්වය වඩ වඩාත් වර්ධනය වී තිබුණි. අඟහරුවාදා උදේ දහයට පමණ ඇමති බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේ සිටම මහින්දානන්ද මිත්‍රයාට දුරකථන ඇමතුමක් ගත්තේය.

කොහෙද, මම කිව්ව දේ ඇහුවෙ නෑනෙ! රටපුරාම ඇවිදලා ඇවිදලා කොවිඩ් හදාගත්තා. මම කිව්ව එක ඇහුවා නම් ඔහොම දෙයක් වෙන්නෙ නෑනෙ. මම කිව්වනෙ අර පේරාදෙණියෙ විශ්ව විද්‍යාලෙන් හොයාගත්ත කොවිඩ් නසන මුහුණු ආවරණය පැළඳගෙන යන්න කියලා. කොහෙද, මම නොමිලේම ඒ මාස්ක් දෙකක්ම දීලත් එකක්වත් දැම්මයැ! ඔයා එක දවසක්වත් එයින් එකක්වත් පාවිච්චි කළේ නෑනෙ. ඒකයි මේ දේ වුණේ. දැන් ඉතින් දෙයියන්ගෙ පිහිටෙන් පරිස්සම් වෙලා ඉන්නකො.
පසුගිය දිනවල සහල් මාෆියාව බිඳින්නට සැලසුම් සකස් කරමින් නිතර හමුවී සාකච්ඡා කරමින් සිටින අතරේ බන්දුල ගුණවර්ධන විසින් මහින්දානන්දට පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කොට තිබුණි. කෙසේ වෙතත් බන්දුලගේ තරවටුව ඇසූ ඇමති මහින්දානන්ද ඇමති බන්දුලට නැවත සිතා බලන්න වන සරල පිළිතුරුක් දුන්නේය. බන්දුල අයියා, ඔයත් පරිස්සම් වෙන්න පහුගිය ටිකේම අපි සාකච්ඡාවලට එහෙම වාඩි වුණානේ. යනුවෙන් ඔහු කීවේය. මෙය ඇසූ ඇමති බන්දුල, ඒක නම් ඇත්ත. ඒත් ඉතින් මම ඒවට වුවමනා ආභරණ පැළඳගෙනනෙ හිටියෙ. ඔයා වගේ නෙවෙයිනෙ. කියා සිනහා වෙමින් කිවේය. කෙසේවෙතත් ඇමති බන්දුල ගුණවර්ධනද පසුගිය දිනවල තරමක් ප්‍රවේශමෙන් සිටි බවද දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ අපට දැනගන්නට ලැබුණි.

රසායනික පොහොර තහනම ආණ්ඩුව හකුලාගත් බව කියමින් ගෙවුණු සතිය පුරා විවිධ ප්‍රචාර පැතිර ගියේය. රසායනික පොහොර ආනයනය තහනම් කරමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය සංශෝධනය කරමින් මුදල් අමාත්‍යවරයා නිකුත් කළ නව ගැසට් පත්‍රයක් මෙම කතාවට පදනම විය. පැතිර යමින් තිබූ කතා හමුවේ අභිනවයෙන් ආරම්භ කළ ජනපති මාධ්‍ය කේන්ද්‍රය රාජකාරි ආරම්භ කළේය. ඔවුහු රසායනික පොහොර තහනම ඉවත්කළාද? යන මැයෙන් මාධ්‍ය සාකච්ඡාවක් බ්‍රහස්පතින්දා (5) කැඳවූහ. එහි ප්‍රධානත්වය දැරුවේ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතාය. මෙම අවස්ථාවට මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ, කෘෂිකර්ම අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ජයන්ත ද සිල්වා සහ ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක යන මහත්වරු සහභාගී වූහ.

කාබනික පොහොර භාවිතය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නැතැයි ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා මෙහිදී අවධාරණය කළේය. දීර්ඝ කාලයක් රසායනික පොහොර භාවිතයට හුරුවී සිටි රටක් කාබනික පොහොර භාවිතයට යොමුකිරීමේ දී විවිධ මතවාද ඉදිරිපත් වීම සාමාන්‍ය දෙයක් බව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් වීරතුංග මහතා වැඩිදුරටත් පැවසීය. මෙහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා කියා සිටියේ ස්වාභාවික ඛනිජ හා කිලේටඩ් අංශු මාත්‍ර ශාක පෝෂක පමණක් ආනයනයට කටයුතු කරන අතර, පස ජෛව විද්‍යාත්මකව පරිපූර්ණ කිරීම සඳහා එය අත්‍යාවශ්‍ය සාධකයක් බවයි.

සිකුරාදා වනවිට රටේ කොවිඩ් තත්ත්වය එන්න එන්නටම බරපතළ වන බව පෙනී ගියේය. ඒ අතර පාර්ලිමේන්තුවේද කොවිඩ් පොකුරක් නිර්මාණය වීමේ අවදානමක් මතුවිය. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා කොරෝනා ආසාදිත වී ඇති බව කියැවුණි. ඒ අනුව සිකුරාදා වන විට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 03 දෙනෙකු කොරෝනා ආසාදිතයැයි වාර්තා වූ අතර තවත් මන්ත‍්‍රීන් කිහිප දෙනෙක්ම කොරෝනා පරීක්‍ෂණ සඳහා යොමු වී සිටියහ. කොවිඩ් ආසාදිතයන් වූ ඉතිරි මන්ත්‍රීවරු දෙදෙනා වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක මහතා සහ සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතායි. 

 චමිඳු නිසල්

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00