2021 ජුලි 17 වන සෙනසුරාදා

බැසිල්‌ගේ රැස්වීම විමල් මගහරියි

 2021 ජුලි 17 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 212

කාදිනල්තුමෝ ආණ්ඩුවට මාසයක් කල්දෙති

ජයන්ත කැටගොඩ තනතුරු එපා කියයි

වෙල්ගමගේ පක්ෂයට රාජිතගෙන් තල්ලුවක්

රටවල් හතක තානාපතින්ගෙන් පොරොන්දු

යාල කැලේ අක්කර 12,000ක් වෙන්කරගෙන: සජිත්ගෙන් හෙළිදරව්වක්

ඇමැති බන්දුලගෙන් කැබිනට්ටුවට ආර්ථික විග්‍රහයක්

සතියේ දේශපාලනය තරමක් සන්සුන් වූයේ ගෙවුණු සති කිහිපයට සාපේක්ෂවය. බැසිල් රාජපක්ෂගේ පාර්ලිමේන්තු ආගමනයෙන් පසුව සිදුවන්නේ කුමක්දැයි බලා සිටීමට විපක්ෂය කල්මැරැවේය. ඒ අතර ගුරු වර්ජනය නිසා දේශපාලන කරළිය යම්තාක් දුරට උණුසුම් විය. බැසිල් රාජපක්ෂද තමන්ගේම ක්‍රමයකට වැඩකටයුතු ආරම්භ කරමින් සිටියේය. කොවිඩ් බැටදීම මෙන්ම ආර්ථික අහේනියද වෙනසක් නොවී සුපුරැදු ලෙස මහජනයා දරා සිටියෝය.

මේ සියල්ල අතරේ පසුගිය සතියේදී දේශය පුවත්පත මුල්වරට හෙළිදරව් කළ ආකාරයට රජයේ මහ පුටු පෙරළියක් වූයේය. දේශයෙන් කී අනාවැකි රැසක් සාර්ථක වෙමින් පවතින අතරේ ඇතැම් පුද්ගලයන් එම තනතුරු භාරගන්නටද අකැමැති වන ලකුණු පෙනෙන්නට තිබුණි. කෙසේ නමුත් නුදුරේදීම සිද්ධවීමට නියමිත කැබිනට් සංශෝධනයේදී ජ්‍යෙෂ්ඨ කැබිනට් ඇමතිවරු පස් හය දෙනකුගේ තනතුරු මාරු වීමට නියමිතය. සංශෝධනයද සිදු වුවද කිසිදු ඇමතිවරයකුට සිය තනතුරු අහිමි නොවන බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි. කැබිනට් මණ්ඩලයේ කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙක් සඳහා පුරප්පාඩු ඇති බැවින් ඒවාට ද යම් යම් අය පත්වීමට ඉඩ තිබේ. මේ අතර පුරප්පාඩුව පවතින රාජ්‍ය ඇමති කමකටද නම් යෝජනා වෙමින්  ඇත.
තනතුරු හිමිවන අය අතරට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක්ද ඇතුළත් විය හැකි බව කියවේ. එය තහවුරැ කරන සුවිශේෂී සිදුවීමක් ගෙවුණු බදාදා දිනයේදී සිදුව තිබුණි. ඒ අනුව පසුගිය බදාදා දහවල් කාලයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ජනපති ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් අගමැති නිවසේදී පැවැත්වුණි. එම සාකච්ඡාවේදී ඉදිරියේදී තනතුරැ පිරිනැමීම සම්බන්ධවද සාකච්ඡා වී ඇති බව කියැවේ. ඊට අමතරව දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා දිගින් දිගටම සිදු කරමින් සිටින ප්‍රකාශ පිළිබඳවද මෙහිදී සාකච්ඡා ඇතිව තිබේ. මේ අනුව ඉදිරියේදී සිදුවන දේශපාලන පෙරළිවලදී ශ්‍රිලනිප සහයෝගය තවදුරටත් ආණ්ඩුවට ලබාගැනීමට අවශ්‍ය පසුබිම නිර්මාණය වෙමින් ඇති බව පෙනී යයි.

තනතුරු මාරුව පිළිබඳ කතා අතරේ ආණ්ඩුකාර තනතුරැ දෙකක් මාරු කරන්නට ආණ්ඩුව සූදානම් වූයේය. වයඹ සහ උතුරැ පළාතේ ආණ්ඩුකාර ධූරවල පුරප්පාඩු ඇති කිරීම ඔවුන්ගේ පළමු සැලසුම විය. ඒ අනුව උතුරේ ආණ්ඩුකාරවරිය වූ පී.එම්.එස්. චාර්ල්ස් මහත්මිය රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරිනියක් වූ නිසාවෙන් ඇය නැවත රාජ්‍ය සේවයට එකතුකර ගැනීමට කටයුතු සම්පාදනය විය. වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා ධූරයෙන් ඉවත් කිරීමට තීරණය වූයේ සෞඛ්‍ය හේතූන් මතය. කෙසේ නමුත් වයඹ ආණ්ඩුකාර තනතුරැ මාරැව සිදු නොකරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුවෙන් ඉල්ලා ඇති බවටද තොරතුරැ තිබේ. මේ අතර පසුගිය දිනවල දේශය වාර්තා කළ පරිදිම රක්ෂණ සංස්ථාවේ සභාපති ජගත් වැල්ලවත්ත මහතා ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ධූරයට නම් කිරීමට ආණ්ඩුව තීරණය කළේය.

බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් සිය පාර්ලිමේන්තු අසුන අතහැරි ජයන්ත කැටගොඩ මහතාට රක්ෂණ සංස්ථාවේ සභාපති ධූරය භාරගන්නා ලෙස ආණ්ඩුවෙන් ඉල්ලීම් ඉදිරිපත් වූයේය. එහෙත් කැටගොඩ කීවේ තමන් තනතුරු බලාපොරොත්තුවෙන් බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඉල්ලා අස් නොවූ බවයි. අනතුරුව ඔහුට වයඹ ආණ්ඩුකාර ධුරයද පිරිනැමීමට ආණ්ඩුව සූදානම් විය. කෙසේ නමුත් දේශපාලන ආරංචි මාර්ග අනුව දැනගන්නට ලැබෙන්නේ ජයන්ත කැටගොඩ මහතා එම තනතුරද ප්‍රතික්ෂේප කොට ඇති බවයි. මේ අතර ලිට්රෝ ගෑස් සමාගමේ අනිල් කොස්වත්ත නිවාස අධිකාරියේ සභාපති ධුරයට පත් කිරීමට කටයුතු කොට තිබුණි. එම පත්කිරීම සම්බන්ධවද යම් මත ගැටුමක් නිර්මාණය විය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිවාස අධිකාරියේ සභාපතිත්වයට නම් කොට තිබුණේ මධ්‍යම පළාතේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරියක වන චිත්‍රා ශ්‍රීමතී මන්තිලක මහත්මියයි. අගමැතිගේ අදහස එය වුවත් ආණ්ඩු‍ව ලිට්රෝ සභාපති නිවාස අධිකාරියට පත්කර තිබුණි.

මේ අතර පුරප්පාඩු ලිට්රෝ සමාගම සමාගමේ සභාපති ධූරයට වියත්මගේ ප්‍රබල සාමාජිකයකු වූ තෙෂාර ජයසිංහ මහතා පත්කරනු ලැබුවේය. මේ අතර ජගත් වැල්ලවත්ත මහතා ඕස්ට්‍රේලියානු මහා මහ කොමසාරිස් ධූරයට නම් කිරීමත් ජයන්ත කැටගොඩ මහතා සභාපතිත්වය භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීමත් හේතුවෙන් රක්ෂණ සංස්ථාවේ සභාපති ධූරයට පුද්ගලයකු පත් කළ යුතුව තිබුණි. ඒ සඳහා යෝජනා වූයේ විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති වෘත්තියෙන් ඉංජිනේරැ විජිත හේරත් මහතාගේ නමය. මේ අතර විදුලිබල මණ්ඩලයේ සභාපති ධූරයට යහපාලන ආණ්ඩු කාලයේ ඕස්ට්‍රේලියාවේ ගතකළ විදුලිබල අමාත්‍යංශයේම හිටපු අමාත්‍යාංශ ලේකම්වරයකු වන එම්.එම්.සී. ෆඩිනැන්ඩෝ මහතා පත් කළේය.

මේ අතර ගෙවුණු සතියේ පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයක් පිළිබඳව තහවුරැ නොකරන ලද ආරංචි රුසක් පැතිර ගියේය. ආරංචිවලට අනුව කියැවුණේ මෙම රාත්‍රී භෝජන සංග්‍රහය සජින් වාස් ගුණවර්ධන මහතාගේ නිවෙසේ පැවති එකක් බවයි. රනිල් වික්‍රමසිංහ සහ පාඨලී චම්පික මුණ ගැස්වීමේ අරමුණින් මෙම රාත්‍රී භෝජන සංග්‍රහය සූදානම් කොට තිබුණත් පාඨලී චම්පික රණවක මහතා ඊට සහභාගි වී නැත. ඒ අනුව සජින් වාස් ගුණවර්ධනට සහ රනිල් වික්‍රමසිංහ මහතාට අමතරව ලංකා බැංකුවේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා සහ හෝම්ස් පොලාර්ඩ් වෙළෙඳ ප්‍රචාරණ ආයතනයේ නිර්මාතෘ ප්‍රදීප් අමිර්තනායගම් ඊට සහභාගි වී ඇති බව වෙබ් අඩවි කිහිපයක්ම වාර්තා කොට තිබේ. කෙසේ නමුත් ඔවුන් එහි සඳහන් කර ඇත්තේ මෙහිදී දේශපාලන සාකච්ඡාවක් සිදු නොවුණු බවයි. ඊට හේතුව ලෙස කියවෙන්නේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ හිතවතෙක්ද මෙම රාත්‍රී භෝජන සංග්‍රහයට පැමිණ තිබීමයි.

මේ අතර පසුගිය සතියේ කැබිනට්ටුව තුළද සුවිශේෂී සිදුවීම් කිහිපයක්ම සිදු වී තිබුණි. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහභාගී වූ ප්‍රථම කැබිනට් මණ්ඩල රුස්වීම මෙය වූයෙන් බොහෝ දෙනෙකු ඔහුට සුබ පතන්නට එක්වූ බව කියැවේ. කෙසේ නමුත් ඇමතිවරු කිහිප දෙනෙක් බැසිල් රාජපක්ෂ මහතා මගහැර සිටිය බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අතර සඳුදා කැබිනට්ටුවේ අසුන් පනවා තිබූ ආකාරය පිළිබඳවද පුවත් පැතිර යන්නට විය. වෙනදාට ජනපති අගමැතිගෙන් පසු කැබිනට් මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයාට හිමිවන අසුන බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් වෙන්කර තිබූ බව කියවිණි. මේ සම්බන්ධව ප්‍රසිද්ධියේ කිසිවකුගෙන් විරෝධයක් නොවුණත් ඇතැමුන් අභ්‍යන්තරයේ කතාබහ කර ඇති දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර කැබිනට් මණ්ඩල රැස්වීමේදී ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට බඳුන් වී ඇත්තේ රටේ පවතින ආර්ථික තත්ත්වය හා වර්ජන පිළිබඳවයි. මෙහිදී අදහස් දක්වමින් ඇමති බන්දුල ගුණවර්ධන රටේ වර්තමාන ආර්ථික තත්ත්වය ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකර තිබේ. අභිනව මුදල් ඇමති හමුවේ බන්දුල ගුණවර්ධන සිදුකළ මෙම පැහැදිලි කිරීමේදී මේ වනවිට රටේ ආදායම වියදම මෙන්ම ඒ වසර සඳහා ඉතිරි වී ඇති මුදල් පිළිබඳවද ඔහු සඳහන් කර තිබුණි. විශේෂයෙන්ම වර්තමාන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට කැබිනට් අමාත්‍යවරු සියලුදෙනාම බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයාට සිය සහයෝගය ලබාදිය යුතු බව බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කළේය. ඒ වගේම දැනට රටේ තියෙන ආර්ථික තත්ත්වය ගැන සම්පූර්ණ වගකීම මුදල් ඇමතිට විතරක් පවරන්න බැහැ. කැබිනට් අමාත්‍යවරැන් සෑමදෙනාටම ඒ වගකීම තිබෙනවා. රට වෙනුවෙන් ආර්ථිකය ගොඩනංවන ක්‍රම අපි හැම අවස්ථාවකදීම ක්‍රියාත්මක කළ යුතුයි. යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශකොට තිබුණි.
කවුරුත් බලාපොරොත්තු වූ පරිද්දෙන් බැසිල් ආ හැටියේ ලැබුණු සහනයක් නම් නොවිණි. එහෙත් මුදල් අමාත්‍යාංශයේ වැඩ භාරගත් බැසිල් රාජපක්ෂය ගෙවුණු සතියේ පිටිය සැකසීමේ කටයුතුවල නිරත වන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. ඒ අනුව පසුගිය ජූලි 14 වැනිදා මුදල් අමාත්‍යංශයේදී සුවිශේෂී සාකච්ඡා දාමයක් පැවැත්වුණි. වර්තමාන ලෝකයේ බලවත්ම රාජ්‍යවල තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු බැසිල් රාජපක්ෂ මුණ ගැසීමට පැමිණියහ. ඒ අනුව අභිනව මුදල් අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කී ෂෙන්හොන්ග්, ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති හොල්ගර් ලෝතර් සෙවුබර්ට්, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි බී. මැටරි, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ, ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ඇලයිනා බී ටෙප්ලිට්ස්, ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපති ඩෙනිස් චයිබි, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හූල්ටන් යන මහත්ම මහත්මීන් හමුවී සාකච්ඡාවේ නිරත විය.

මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසන්නේ මෙම ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවට වැදගත් කරුණු රැසක් පිළිබඳව බැසිල් රාජපක්ෂ තානාපතිවරුන් සමග සාකච්ඡා කර ඇති බවයි. බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයාගේ ඉල්ලීම අනුව වසංගතය පාලනය කිරීමට සහාය වීමටද, ලංකාව තුළ ආයෝජන අවස්ථා පුළුල් කිරීමටද තානාපතිවරුන් එකඟ වී ඇති බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක්ද නිකුත් කරමින් කියා සිටියි. තවත් දේශපාලන ආරංචි මාර්ගවලට අනුව කියැවන්නේ චීන හිතවාදී විදේශ ප්‍රතිපත්තිය නිසා අමනාප වී සිටින රටවල් සමඟ සබඳතා ශක්තිමත් කරගැනීම බැසිල් රාජපක්ෂගේ අරමුණ වී ඇති බවයි. මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිවේදනයේද මෙම ආරංචි තහවුරැ කරන සලකුණ තිබේ. ඒ අනුව නොබැඳි විදේශ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යමින් ලෝකයේ සියලු රටවල් සමඟ ආර්ථික ඇතුළු සියලු ක්ෂේත්‍රවල සහයෝගයෙන් කටයුතු කිරීම තමාගේත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේත් අගමැති මහින්ද රාජපක්ෂගේත් අරමුණ බව බැසිල් රාජපක්ෂ විදෙස් තානාපතිවරැන් හමුවේ අවධාරණය කර ඇති බව අදාළ නිවේදනයේ සඳහන් වේ.

මේ අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් මෙහෙයවනු ලැබූ තවත් සාකච්ඡා කිහිපයක් පිළිබඳව ගෙවුණු සතියේ තොරතුරැ වාර්තා වේ. ජූලි 11 වැනිදා හිටපු පළාත් සභා නියෝජිතයන් හමුවීමට බැසිල් රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ. එහිදී ජනතාව වෙනුවෙන් කැපකිරීම් කිරීමට තමන් කිසිවිටෙක පසුබට නොවන බවත්, අතීතයේ කටයුතු කළා සේම මව්බිම සහ ජනතාව පෙරමුණේ තබාගෙන කටයුතු කිරීමට ඉදිරියටද කැපවී සිටින බවත් අමාත්‍යවරයා මෙහිදී පවසා තිබේ. මීට අමතරව බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගෙවුණු සතියේ පැවති තවත් වැදගත් සාකච්ඡාවක් දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබුණි. එය ප්‍රධාන කර්මාන්ත ක්ෂේත්‍ර 7ක නියෝජිතයන් කැඳවා සිදුකරනු ලැබූ සාකච්ඡාවකි. මෙහි සුවිශේෂත්වය වන්නේ මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සහභාගී නොවීමයි. ඔහු එදින කොළඹින් බැහැරව සිට ඇති බව දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබේ.

සමගි ජනබලවේගයෙන් පාර්ලිමේන්තුවට ආ කුමාර වෙල්ගම  මහතා අලුත් පක්ෂයක් හදන බවට පසුගියදා පවසා තිබුණි. ඒ පිළිබඳව අභ්‍යන්තරයේ සාකච්ඡා පවත්වා ඇති බව දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබුණි. කෙසේ නමුත් වෙල්ගමගේ පක්ෂයට සමගි ජනබලවේගයේ අභ්‍යන්තරයෙන් සැලකිය යුතු විරෝධයක් එල්ල වී නොමැති බව කියැවේ. පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ඇතුළු මන්ත්‍රීවරැ පිරිසක් වෙල්ගමගේ මෙම පක්ෂ හැදිල්ල පිළිබඳව දක්වා ඇත්තේ සුබවාදී ප්‍රතිචාරයකි. මෙම පක්ෂය මැතිවරණ අවස්ථාවකදී සමගි ජනබලවේගය සමග සන්ධානගත වෙතැයි ඔවුන් කියා තිබේ. කෙසේ වෙතත් සුප්‍රකට දේශපාලන පුත්‍රයකුට මෙම පක්ෂය ඔස්සේ දේශපාලනයට අවතීර්ණ වීමට හැකි බව අනාවැකි පළවෙයි. අපි ශ්‍රී ලංකා* නමින් මෙම පක්ෂය ගොඩනැඟේ යැයි දේශපාලන කරළියේ කතාද පැතිර යයි. කෙසේ නමුත් පාඨලී චම්පිකගේ හතළිස් තුන්වැනි සේනාංකයට දිගින් දිගටම විරැද්ධවන සමගි ජනබලවේගය වෙල්ගමගේ අලුත් පක්ෂය හැදිල්ලට ආශිර්වාද කිරීම පාඨලී හිතවාදීන්ගේ විවේචනට බඳුන් වී තිබේ.

මේ අතර විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා තරමක අමුතු හෙළිදරව්වක් කරමින් අලුත් දේශපාලන මාතෘකාවක් නිර්මාණය කිරීමට ගෙවුණු සතියේ කටයුතු කළේය. යම් රහසිගත අරමුණක් වෙනුවෙන් යාල ජාතික වනෝද්‍යානයේ 1 වැනි බිම් කොටසින් අක්කර 12,000ක් වෙනත් කටයුත්තක් සඳහා යොදාගැනීමට රජය සැලසුම් කර ඇති බවට විශ්වාසදායක තොරතුරු ඇතැයි විපක්ෂනායක අනාවරණය කළේය. සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකළ මෙම අනාවරණයේදී තමන්ට ලැබී ඇත්තේ විශ්වාසදායක ආරංචියක් බවත් ඔහු කියා තිබුණි. ආකාස චෛත්‍යය දක්වා ජාතික වනෝද්‍යානය හරහා නීතිවිරෝධී මාර්ගයක් ඉදිකිරීමට නියමිත බවද එහි සඳහන් විය.

ගෙවුණු සතියේ  වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ සුවිශේෂී ආරාධනාවක් අනුව එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් සිදු වූ හානිය පූර්ණය කිරීම සම්බන්ධව වූ සාකච්ඡාවකට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී විය. මෙය ලාංකීය දේශපාලනයේ නිතර දක්නට නොලැබෙන විරල ගණයේ සිදුවීමක් විය. පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැති විවාදයක් අතරතුර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා විසින් විපක්ෂනායකතුමාට අදාළ සාකච්ඡාවට සහභාගී වන ලෙස ආරාධනා කර තිබුණි. ශ්‍රී ලංකාව ආශ්‍රිත මුහුදු තීරයේදී පසුගියදා ගිනිගෙන දැවුණු එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවල වත්මන් තත්ත්වය පිළිබඳව අධිකරණ අමාත්‍යාංශයේදී මෙම සමාලෝචන රුස්වීමක් පැවැත්වුණි. මෙම අවස්ථාවට අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා ඇතුළු පිරිසක්ද සහභාගි වී සිටියහ.

කාදිනල්තුමන්ද ගෙවුණු සතියේ පුවත් මවන චරිතයක් බවට පත්වූයේ පාස්කු ප්‍රහාරය පිළිබඳ මතකය නැවත කරළියට ගෙන එමිණි. පාස්කු ප්‍රහාරය පිළිබඳ ජාතික කතෝලික ප්‍රකාශක කමිටුව පිටු 19කින් සමන්විත ලිපියක් පළමුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කළේය. අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු රදගුරුවරුන් හත් දෙනකුගේ සහ පියතුමන් 27 දෙනකුගේ අත්සනින් යුතුව එම ලිපිය යොමුකර තිබුණි. එහි ඇතුළත් කරුණු පිළිබඳව කඩිනමින් විමර්ශනය කර ඒ පිළිබඳව සෑහීමකට පත්විය හැකි පිළිතුරක් මසක් ඇතුළත ජනාධිපතිවරයා විසින් ලබාදෙනු ඇතැයි කතෝලික ප්‍රකාශක කමිටුව බලාපොරොත්තු වන බව එම ලිපියේ සඳහන් වූයේය.

2019 අප්‍රේල් 21 පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සිදුවී මේ වනවිට මාස 26ක් ගත වී තිබේ. ඒ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව නිකුත් වී මාස 05කට ආසන්න කාලයක් ගත වී ඇත. නමුත් මේ ප්‍රහාරයට වගකිවයුත්තන්, එය සැලසුම් කළ පුද්ගලයන්, එම සමූල ඝාතනය වළක්වා ගත හැකිව තිබියදීත් තම වගකීම් පැහැර හැරියවුන් නිසියාකාරයෙන් සොයා, ඔවුන් නීතිය ඉදිරියට පැමිණවීමේ ක්‍රියාවලිය මේ වනතුරැත් බොහෝදුරට මන්දගාමීව සිදුවීම පිළිබඳව අපගේ බලපත් කනස්සල්ල පළමුව ප්‍රකාශකර සිටිමු.* යනුවෙන් එම ලිපියේ සඳහන්ය වූයේය.

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සූදානම පිළිබඳ වූ කථාවද ගෙවුණු සතියේ අලුත් විය. පාස්කු ඉරැදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවත් එසේ අත්අඩංගුවට ගැනීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා මන්ත්‍රීවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබිණි. ඒ අනුව පසුගියදා එම පෙත්සමට අදාළව කරුණු දක්වමින් නීතිපතිවරයා විසින් හරීන් ප්‍රනාන්දු මහතා එළැඹෙන සැප්තැම්බර් පළමුවැනිදා දක්වා අත්අඩංගුවට නොගන්නා බව අධිකරණයට දන්වා තිබුණි. කෙසේ වෙතත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප් පිරිස් මහතා අධිකරණයට පෙන්වා දුන්නේ හරීන් ප්‍රනාන්දු මහතාගෙන් ඉදිරියේදී ප්‍රකාශයක් ලබාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් විමර්ශන සිදුකිරීමට නියමිත බවයි. ඒ අනුව පෙත්සම සලකා බැලීම සඳහා ලබන සැප්තැම්බර් මස පළමුවැනි දින යළි කැඳවීමට විනිසුරැ මඩුල්ල දින නියම කළේය.

ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරුන් කිහිපදෙනකු පක්ෂයේ අනෙකුත් අයට දන්වා තිබුණේ උදය ගම්මන්පිලට එරෙහිව ගෙනෙන විශ්වාසභංගයට තමන් සහයෝගය නොදක්වන බවත් ගම්මන්පිල වෙනුවෙන් පෙනී සිටින බවත්ය. මේ අතර ආණ්ඩුවේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ඉරිදා (18) කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ. මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංගය පිළිබදවද සාකච්ජා කිරීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපති ලේකම් කාර්යාලයේ මෙම රැස්වීම පැවැත්වීමට නියමිත අතර රැස්වීම අවසානයේ ජනාධිපතිවරයා විසින් රාත්‍රී භෝජන සංග්‍රහයක්ද මන්ත්‍රීවරැන්ට ලබාදීමට නියමිත බව කියවේ.

 චමිදු නිසල්

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00