2021 ජුලි 03 වන සෙනසුරාදා

කවුද අස්වෙන්නේ?

 2021 ජුලි 03 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 285

  • බේරුවල මන්ත්‍රීට මහින්ද කී කතාව
  • පවත්නා ගැටලු විසඳීම ගැන දයාසිරි වෙනම මතයක
  • සජබ - එජාප අවුල දිගටම
  • චන්ද්‍රිකා උපන්දිනේට තැබූ සටහන
  • අර්ජුනගෙන් ක්‍රීඩා ඇමැතිට බවුන්සරයක්
  • සජබ එක්ක ගිවිසුම ගැන වෙල්ගම කියන කතාව
  • ප්‍රමිත බණ්ඩාරගේ එකසිය දහතුනේ යෝජනාව
  • රාජ්‍ය ආයතන ලොක්කන් හිතුමතේ ඉවත් කරන්න බෑ

රට ගැන සහ හෙට ගැන අලුත් කතා පරණ මිනිස්සුන්ට සුපුරුදු ලෙස මුමුණන තවත් දේශපාලන සතියක් ගෙවී ගියේය. නව ගමන් ආරම්භ කරන්නට පරණ මුහුණු කිහිපයක්ද සැදී පැහැදී සිටින අයුරු පෙන්නට තිබුණි. ඒ අතර පක්ෂ විපක්ෂ අභ්‍යන්තර අර්බුදයද අඩුවක් පාඩුවක් නොවීය. මේ සියල්ල අතරේ කොවිඩ් පරයා ක්‍රිකට් ජනතා අවධානය දිනා ගත්තේ අසුභ නැකතකිනි.

පොහොට්ටුවේ නිර්මාතෘවරයා ලෙස සැලකෙන බැසිල් රාජපක්ෂගේ පාර්ලිමේන්තු ආගමනය සම්බන්ධව කලක පටන් දේශපාලන කරළියේ විවිධ කතා තිබුණි. එහෙත් මෙවර බැසිල් රාජපක්ෂ ඇමරිකාවට ගොස් පැමිණෙන කාලය වනවිට ඔහුගේ හිතවත් පොහොට්ටු මැති ඇමැතිවරු බැසිල් ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කළහ. බැසිල් පාර්ලිමේන්තු පැමිණිය යුතු බවත් ඔහු නොමැතිව ආණ්ඩුවේ ප්‍රශ්න විසඳිය නොහැකි බවත් ඔවුහු පැවසූහ. එහෙත් බැසිල් රාජපක්ෂ ඇමරිකාවේ සිටි කාලයේ ඔහු ඇමතූ ඔහුගේ මිතුරන්ට බැසිල් කීවේ තමන්ට දැන්ම පාර්ලිමේන්තු පැමිණීමට අවශ්‍යතාවක් නොමැති බවයි. කෙසේ නමුත් පසුගිය 23 වැනිදා බැසිල් රාජපක්ෂ ලංකාවට එනවිට පොහොට්ටුවේ බැසිල් හිතෛෂීන් ඔහු පාර්ලිමේන්තු ගෙන ඒමට අදාළ වාතාවරණය නිර්මාණය කර තිබුණි. බැසිල් රාජපක්ෂ ෂැංග්‍රිල්ලා හෝටලයේ නිරෝධායනය වෙමින් සිටින අතර ප්‍රසන්න රණතුංග, නිමල් ලංසා, සාගර කාරියවසම්, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ආදී පිරිසක් වෙනම සංවාදයක නිරත වූහ.

දේශපාලන ආරංචි අනුව වෙනදාට බැසිල් රාජපක්ෂගෙන් පාර්ලිමේන්තු පැමිණෙන ලෙස ඔහුගේ හිතවාදීන් ඉල්ලා සිටි විට සාමාන්‍යයෙන් ඔහු එය කනකට ගන්නේ නැත. විශාල කරදයක් වෙන ලෙස මෙම ඉල්ලීම මතුවන තැන්වලදී තම හිතවාදීන්ට තමන්ගේ වැඩක් බලාගන්නට යැයි ඔහු කියා සිටියි. එහෙත් මෙවර බැසිල් රාජපක්ෂ එම ප්‍රතිපත්තිය වෙනස් කළේය. ඔහු එම ඉල්ලීම්වලට සවන්දී එම ඉල්ලීම් පිළිගත්තා සේ සිටියේය. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රීවරයාගේ නිවෙසට පොහොට්ටුවේ එකසිය දහතුන් දෙනකු රුස්වී යෝජනාවක්ද සම්මත කර ගත්තේ මේ අතරය. එය ලිඛිත ඉල්ලීමක් ලෙසද ඉදිරිපත් විය. මේ අනුව බැසිල්ගේ පාර්ලිමේන්තු ගමන ස්ථීර වී තිබුණි.

බැසිල් වෙනුවෙන් ඉල්ලා අස්වන්නේ කවුරුද යන්න පිළිබඳවද ගැටලුවක් මතුවිය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අනුව ඕනෑම මොහොතක ඉල්ලා අස්වීමේ පදනම මත ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු හත්දෙනෙකු පත්කර සිටින බව දැනගන්නට ලැබුණි. මුලසිටම බැසිල් වෙනුවෙන් සාගර කාරියවසම් සහ ජයන්ත කැටගොඩ ඕනෑම මොහොත සිය මන්ත්‍රී ධූරවලින් ඉල්ලා අස්වීමට කැමැත්තපළ කළහ. කෙසේ නමුත් බැසිල් රාජපක්ෂ ඊට ප්‍රතිචාරයක් නොදැක්වූයේය. ඊට සැඟවුණු හේතු තිබුණි. සැබැවින් ඉන් පළමු හේතුව වූයේ ඔවුන් දෙදෙනා ඉල්ලා අස් වුවහොත් ඔවුන්ට ප්‍රදානය කිරීම සුදුසු තනතුරු බැසිල් සතුව නොවීමයි.

මේ අතර බේරුවල මර්ජාන් ෆලීල් මන්ත්‍රීවරයාද බැසිල්ට අවස්ථාව ලබාදීමට ඉල්ලා අස්වීමට යෝජනා වූ ලැයිස්තුවේ සිටියේය. ඔහු මහින්ද රාජපක්ෂ මහතාගේ දීර්ඝ කාලීන හිතවත් මුස්ලිම් පවුලකින් පැවත එන කෝටිපති ව්‍යාපාරිකයෙකි. ඒ අනුව බැසිල් වෙනුවෙන් මර්ජාන්ගේ ඉල්ලා අස්වීම මහින්ද රාජපක්ෂ මහතා අනුමත නොකළේය. &ඔයයි අලි සබ්‍රියි විතරයි අපිට මුස්ලිම් ජනතාව නියෝජන කරන්න ඉන්නේ ඔයා ඉල්ලා අස්වෙන්න එපා. ඔයා අස්වුණොත් මුස්ලිම් ජනතාව හිතයි අපි ඔයාව අස් කෙරෙව්වා කියලා. ඒක ආණ්ඩුවටත් හොඳ නෑ. මුස්ලිම් ජනතාවටත් හොඳ නෑ. බැසිල් රාජපක්ෂ මහත්තයටත් හොඳ නෑ. ඒ නිසා ඔයා යන්න එපා. මේ අතර මර්ජාන්ගේ පාර්ලිමේන්තු ක්‍රියාකාරීත්වය අඩු නිසාවෙන් ඔහු ඉවත් කිරීමට පොහොට්ටුවේ පිරිසකට වුවමනා වී ඇති බවට වාර්තා පළ විය. කෙසේ වෙතත් ෆලීල් මර්ජාන් මන්ත්‍රීවරයා බැසිල් වෙනුවෙන් ඉවත් වීමට ඉඩ ඇතැයි අවසන් මොහොතේ වාර්තා විය.

මුලදීම බැසිල් වෙනුවෙන් ඉවත්වීමට ඉදිරිපත් වූයේ ජයන්ත කැටගොඩ සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර යන දෙපළයි. ජයන්ත කැටගොඩ කිසිදු බලාපොරොත්තුවක් නොමැතිව බැසිල් වෙනුවෙන් සිය පාර්ලිමේන්තු අසුන පිදීමට සූදානමින් සිටියද රංජිත් බණ්ඩාර යම් තනතුරක් බලාපොරොත්තු වෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. සමහරුන්ට අනුව රංජිත් බණ්ඩාර මහ බැංකු අධිපතිකම ඉල්ලන බවත් තවත් සමහරුන්ට අනුව ඔහු මුදල් අමාත්‍යාංශයේ ලේකම්කම ඉල්ලන බවත් කියැවුණි. කෙසේ නමුත් බැසිල් මහතාට එන්න ඕනෑ නම් තමා ඉල්ලා අස්වීමට සූදානම් බව ඔහු ප්‍රසිද්ධියේ කීවේය.

බැසිල්ගේ පාර්ලිමේන්තු ආගමනයට සුභ නැකතක් ලබාගැනීම වෙනුවෙන් ඔහුගේ කාර්යාලයේ හිතවතුන් පිරිසක් නැකැත්කරුවන් හමුවීමට ගිය බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. හයවැනිදා බැසිල් පාර්ලිමේන්තු එන බවට ආරංචි පැතිර ගියත් ඔහුගේ නිරෝධායන කාලය අවසන් වීමට නියමිතව තිබුණේ හත්වැනිදායි. ඒ අනුව බැසිල්ගේ පාර්ලිමේන්තු ආගමනයට අටවැනිදා දිනය නියම විය. ඒ අනුව අටවැනිදා සුදුසු නැකතක් ලබාගැනීමට කාර්යාලයේ හිතෛෂීහු කටයුතු කළහ. බැසිල් රාජපක්ෂ හට ලබාදෙන තනතුර පිළිබඳවද මේ අතර අභ්‍යන්තර සාකච්ඡා පැවැත්වුණි. මුලින්ම කතාවූයේ බැසිල්ට මුදල් ඇමැතිකම ලබාදීමට යන බවයි. නමුත් මුදල් ඇමැතිකම මහින්ද රාජපක්ෂ මහතා සතු වූයෙන් ප්‍රශ්නයක් මතුවිය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් මුදල් ඇමතිධූරය ඉල්ලා සිටීමට තබා ඒ පිළිබඳ කතාබහ කිරීමටවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සේම බැසිල් රාජපක්ෂද කැමැති වූයේ නැත. මුදල් අමාත්‍යාංශ තමාට අත්‍යවශ්‍ය නැතැයි බැසිල් රාජපක්ෂද කියා ඇති බව ආරම්භයේදී දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. එහෙත් සිකුරාදා වනවිට ලැබුණු දේශපාලන ආරංචි අනුව දැනගන්නට ලැබුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යාංශය බැසිල් රාජපක්ෂ හට ලබාදීමට තීරණය කොට ඇති බවයි. එසේම මේ සති අන්තයේ රාජපක්ෂවරුන් හමුවී මේ හා සම්බන්ධව වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නියමිත බවද කියැවුණි.

පසුගිය 29 වැනිදා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මත්මියගේ 76 වැනි ජන්ම දිනය යෙදී තිබුණි. ඇය සිටියේ බ්‍රිතානයේය. තම ජන්ම දිනය වෙනුවෙන් සුභපැතුම් එක්කල සැමට ස්තූති කරමින් සිය මුහුණු පොතේ අපූරු සටහනක් තබා තිබුණි. තමන්ට වයස අවුරුදු හැත්තෑ හයක් බවත් තමන් මෙලොවට පැමිණියේද මෙලොවින් සමුගන්නේද හිස් අතින් බවත් ඇය කියා තිබුණි. මේ ජීවිත කාලයේදී අපේ ජීවිත ආලෝකමත් කරගැනීමට මෙන්ම මේ ලෝකය වඩා හොඳ තත්ත්වයට පත්කිරීමටත් අපි බැඳී සිටිනවා. මම මගේ ජීවිත කාලය පුරා උත්සාහ කළේ ඒ යුතුකම හැකි උපරිමයෙන් ඉටු කරන්න. මගේ ජීවිත කාලයේදී මම මේ රට වෙනුවෙන්, මේ රටේ ජනතාව වෙනුවෙන් වගේම ලෝකය වෙනුවෙන් යමක් කළා නම් ඒ සියල්ලක්ම කළේ මේ ලෝකය වඩා හොඳ තැනක් කරන්න. කවදා හරි මා මියගිය දවසක මා කළ කී දෑ අනාගත පරපුරට ආදර්ශයක් කරගත හැකිනම් මගේ සතුට එපමණයි.

මේ අතර බ්‍රිතාන්‍යයේ සිටි හිටපු ජනාධිපතිනියගේ ජන්ම දිනය වෙනුවෙන් මෙරට විවිධ කටයුතු සංවිධානය විය. ඒ අනුව කොළඹදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ උපන්දිනය වෙනුවෙන් ළමා නිවාසයකට දානය ලබාදීමේ වැඩසටහනක් පැවැත්වුණි. ඊට සහභාගී වූ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා විශේෂ ප්‍රකාශයක් මාධ්‍යය හමුවේ සිදුකළේය. තමන් අලුතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සමාන පක්ෂයක් නිර්මාණය කරන බව ඔහු කීවේය. එහි නායකත්වය ගන්නේද තමන් බව ඔහු පැවසීය. තමන් සමගි ජනබලවේගයෙන් ඡන්දයට ඉදිරිපත් වුණේ හවුල්කාර පක්ෂයක් ලෙස වන අතර සමගි ජනබලවේගයෙන් ඡන්දය ඉල්ලුවද තමන් ශ්‍රී ලංකාකාරයකු බවද කියා සිටියේය.

ශ්‍රීලනිපයේ ඉන්න ප්‍රධානීන් සම්බන්ධව කිසි විශ්වාසයක් නෑ. ඒ නිසා තමයි මම කල්පනා කළේ අවුරුදු 40ක් ශ්‍රීලනිපයේ ඉන්න කෙනෙක් හැටියට අපි පක්ෂයක් හදන්න ඕනෙ කියලා. අපි හැදුවා. ඒ එක්කම ශ්‍රීලනිපය ආණ්ඩුවට හේත්තු වුණාම මම ඡන්දය ඉල්ලුවේ මගේ පක්ෂය වන &නව ලංකා නිදහස් පක්ෂය* සමගි ජන බලවේගයත් එක්ක එක්කහුවෙලා සන්ධානගත ගිවිසුමක් ගහලා ඒ ඔස්සේ සජබෙන් ඡන්දෙ ඉල්ලලා මම පාර්ලිමේන්තුවට ගියේ. ඒ සන්ධානගත වෙච්ච ගිවිසුම තවමත් වලංගුයි. තවමත් ඒක තියෙනවා. මම යන්නෙ දැන් තනියම. මොකද අපේ කට්ටියත් එක්ක වමේ බලවේගයක් ගොඩනගන්න. වම විතරක් නෙවෙයි වම දකුණ දෙකම ගොඩනඟාගෙන යන්නෙ ඉදිරියේදී. නැත්නම් මේ මිනිස්සුන්ට යන්න තැනක් නෑනෙ. කොහාටද යන්නෙ? ඉතින් මම සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරයෙක් හැටියට තමයි අදත් කටයුතු කරන්නෙ. මට සජිත් ප්‍රේමදාස මහත්තයා තමයි ඒ අවසරය දුන්නෙ ඒ වෙලාවෙ. අපි සන්ධානගත වෙලා වෝටර්ස් එජ් එකේ රුස්වීමක් තියලා ගිවිසුමක් අත්සන් කරලා තමයි අපි සජබෙන් ඉල්ලුවෙ. මං විතරක් නෙවෙයි මගෙ කණ්ඩායමෙන් 9 දෙනෙක් ඉල්ලුවා අපේ පක්ෂයෙන්.

කලක පටන් ජනපතිට හිසරදයක් වී තිබූ ගැටලුවක් පසුගිය සතියේ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට ලිපියක් යවා විසඳා ඇති බව දැන ගන්නට ලැබුණි. ආණ්ඩුවේ මැති ඇමතිවරු රුසක් ජනාධිපතිට නිරන්තරයෙන්ම එකම පැමිණිල්ලක් ගෙන ආහ. ඔවුහු තම අමාත්‍යාංශ සතු සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ආදී රාජ්‍ය ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩලවලට ජනපති පත්කළ පුද්ගලයන්ගේ දුර්වලතා කියමින් වෙනත් අය පත්කිරීමට අවසරය ඉල්ලා සිටියහ. මේ පිටුපස හිතුවක්කාරී තීරණ ගන්නා ඇමතිවරුන් නොසලකා හරින ආයතන ප්‍රධානියෙක් සම්බන්ධවද සැබෑ අර්බුදයක් පැවතුණි. එමෙන්ම තම හිතවතුන් වෙනදා මෙන් හිතු මනාපයට තනතුරුවලට පත්කිරීමට නොහැකි වීමේ ගැටලුවද ඇමතිවරුන්ට තිබුණි.

කෙසේ වෙතත් සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්ට ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා විසින් නිකුත් කළ නියෝගයට අනුව කියැවුණේ රජය සතු ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩලවලට පත්කළ පුද්ගලයන් සාධාරණ හේතු ඉදිරිපත් කිරීමකින් තොරව ඉවත් නොකරන ලෙසයි. එය ඇමතිවරුන්ට දැනුම් දෙන ලෙස එහි සඳහන් වී ඇති බව කියැවුණි. වරින්වර සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල තනතුරු වෙනස් කිරීම සඳහා ඇමතිවරුන්ගෙන් ඉදිරිපත්වන ලිඛිත ඉල්ලීම් පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බව ලේකම්වරයා එහිදී පෙන්වා දී තිබේ. එහෙත් එවැනි සංශෝධන ක්‍රියාත්මක වීමෙන් දැනටමත් සැලසුම් කර ඇති හා ක්‍රියාත්මක වෙමින් පවතින වැඩ කටයුතුවල වේගයට බාධා ඇති කළ හැකි බව ඔහු පෙන්වා දී ඇත. එබැවින් මේ සම්බන්ධයෙන් අමාත්‍යවරුන් දැනුවත් කර නිර්දේශිත ක්‍රියාපටිපාටිය අනුගමනය කරන ලෙස ජනාධිපති ලේකම්වරයා සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්ට දැනුම් දී තිබේ. සභාපතිවරු, අධ්‍යක්ෂක මණ්ඩලය ඉවත් කරන ලෙස නිතර ඇවිටිලි කරන ඇමතිවරුන්ට මෙම ලිපියෙන් ජනපති වක්‍රව තරවටු කර ඇති බවක් පෙනෙන්නට තිබුණි.

සමගි ජනබලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ කෙහෙවලු පටලවා ගැනීමද නොනැවතී ඉදිරියට ගියේය. දෙපාර්ශ්වයේ බොහෝ දෙනෙක් එකිනෙකාට දෝෂාරෝපණය කරගන්නා අතරේ සජබ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක කීවේ නිවුණු කතාවකි. රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස දිවුරුම් දීමෙන් එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියා කලාපය පිළිබඳව අවධානයෙන් සිටින බව ඔහු කීවේය. එසේම සමගි ජනබලවේගය ඉදිරියේදි පිහිටුවන නව සන්ධානයට එක්සත් ජාතික පක්ෂයටද එක්විය හැකි බව තිස්ස අත්තනායක කියා තිබුණි. සජබයෙන් යාන්තම් සුදු කොඩියක් පෙනුණද එක්සත් ජාතික පක්ෂයෙන් නම් එවන් සහනදායී පිළිතුරු නොලැබුණි. එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසුවේ එක්සත් ජාතික පක්ෂය බෙදීමට ක්‍රියා කළ කණ්ඩායම සමඟ යළි එක්වීමට සූදානමක් නොමැති බවයි. එසේම එක්සත් ජාතික පක්ෂයට විපක්ෂයේ කාර්ය භාරය ඉටුකළ හැකි බව ඔහු කීවේය.

මීට අමතරව පසුගිය දිනවල පළාත් පාලන ආයතන තුළ එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් සමගි ජනබලවේගයට එක්වීමට විරුද්ධව එජාපය ගනු ලැබූ ක්‍රියාමාර්ග සාර්ථක වී තිබුණි. පළාත් පාලන මන්ත්‍රීවරුන් පසුගිය කාලයේ සමගි ජන බලවේගයට සහාය දැක්වීම නිසා එක්සත් ජාතික පක්ෂයට තිබූ බලය අඩු වී ගියද මේ වනවිට පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් 1500කට ආසන්න සංඛ්‍යාවක් නැවත එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන බව එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ගෙවුණු සතියේ ප්‍රකාශ කළේය. ඒ අනුව දිවයිනේ සියලුම පළාත් පාලන ආයතනවල දෙවැනි ස්ථානයට මන්ත්‍රීධුර හිමිව තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට බවද ඔහු පෙන්වා දී තිබුණි. කෙසේ වෙතත් පළාත් පාලන ආයතනවල සජබයට සහාය දුන් මන්ත්‍රීවරුන්ට නිසි රුකවරණයක් ලබාදීමට සමගි ජනබලවේගය අසමත් වීම පිළිබඳ ඔවුහු අමනාපව සිටියහ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද ගෙවුණු සතියේ අණ්ඩුවේ සිටම ආණ්ඩුවට ප්‍රහාරයක් දියත් කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මෙම ප්‍රකාශය සිදුකළේය. රට තුළ පවතින අර්බුදය තේරුම් නොගෙන ඇමතිකම් බෙදා ගැනීමෙන් ප්‍රශ්න විසඳිය නොහැකි බව ඔහු සඳහන් කළේය. බැසිල් රාජපක්ෂගේ පාර්ලිමේන්තු ආගමන පිළිබඳ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඔහු පවසා සිටියේ බැසිල් රාජපක්‍ෂ මහතා ඇමතිවරයකු නොවුවත් පසුගිය කාලයේ ඇමතිවරයකුට වඩා බලතල තිබූ නායකයෙක් බවට පත්වී සිටි බවය. බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට ඒම ප්‍රශ්නයක් නොවන නමුත් ඔහු ආවා කියා ගැටලු විසඳෙන්නේ නැතැයි මෙහිදී ජයසේකර මහතා පැවසීය. එසේම වර්තමානයේ පවතින ප්‍රශ්න ඇතිවූයේ බැසිල් රාජපක්‍ෂ මහතාත් සිටි ආණ්ඩුවක් තුළ බව කී හෙතෙම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු රබර් මුද්‍රා බවට පත්ව ඇති බවත් කැබිනට් ඇමතිවරුන්ටත් ඒ තත්වය උද්ගත වී ඇති බවත් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

රට තුළ පැනනැගුණු ක්‍රිකට් අර්බුදයට ක්‍රමයෙන් දේශපාලනීකරණය වීම ගෙවුණු සතියේ ආරම්භ විය. එහි පළමු පියවර අර්ජුන රණතුංග විසින් තැබුවේය. ටෙලිවිෂන්වලින් ක්‍රීඩා තරග පෙන්වා මුදල් සෙවීමට ඇති අවශ්‍යතාව නිසා අද ඉන්දියාවේ දෙවැනි පෙළ ක්‍රීඩා කණ්ඩායමක් සමග තරග වැදීමට කටයුතු සූදානම් කර ඇති බව හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග සඳහන් කළේය. ඒ හරහා රට පමණක් නොව ක්‍රීඩා අමාත්‍යවරයාත් ෆේල් වී ඇති බව ඔහු කියා සිටියේය. එසේම කිසිදු දැක්මක් සහ දැනීමක් නොමැති පරිපාලනයක් සහ අමාත්‍යවරයෙක් සිටීම හේතුවෙන් ප්‍රේක්ෂකයන්ට ඉදිරියේදී තරග බැලීමෙන් වැළකී සිටීමට පවා සිදුවනු ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය.

මේ අතර ජනාධිපතිවරයා කාබනික පොහොර තීරණය ක්‍රියාවට නැංවීම වෙනුවෙන් ගෙවුණු සතියේ ඉතා වෙහෙස වී වැඩකටයුතු සිදුකරමින් සිටියේය. ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩල දිස්ත්‍රික් ගොවි නියෝජිතයන් හමුවීමට එතුමා කටයුතු කළේය. එහිදී ජනපතිවරයා සඳහන් කළේ වාර්ෂිකව රසායනික පොහොර ආනයනයට වැය කෙරෙන රුපියල් මිලියන අසූදහසක මුදල මෙරට ගොවි ජනතාවට ලැබීමට සලස්වන බවයි. වැඩපිළිවෙළ අඛණ්ඩව සහ සාර්ථකව ක්‍රියාත්මක කිරීමට වල්නාශක, කෘමිනාශක ඇතුළු කාබනික පොහොර අවශ්‍ය ප්‍රමාණය, රසායනික පොහොර ලබාදුන් ආකාරයටම ගොවීන්ට ලැබීමට සලස්වන බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය. එමෙන්ම පොහොර අවශ්‍යතාව මෙරටදීම නිෂ්පාදනයට දේශීය ව්‍යවසායකයන්ට හා ව්‍යාපාරිකයන්ට අවස්ථාව හිමිවෙන බවද ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

 චමිදු නිසල්