2021 මැයි 08 වන සෙනසුරාදා

නාමල්ට මුල් පුටු දෙකක්

 2021 මැයි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 557

සරත් වීරසේකර රිෂාඩ්ට හරස් කපයි

විමල්ලාට අගමැතිගෙන් තවත් දිනයක්

හරීන්ට හෘද සැත්කමක්

රන්ජන්ගේ ලියුම හදද්දී මත ගැටුම්

බැසිල් ගැන ගිය කසුකුසුව

ශ්‍රීලනිපයේ මණ්ඩලේ කචල්

කොවිඩ් නිසා පළාත් සභා ඡන්දය තවත් එහාට යයි

වසංගතය මගින් ඇතිකළ අප්‍රමාණ අර්බුද හමුවේ මෙරට දේශපාලනය ව්‍යාකූල ස්වභාවයක් උසුලයි. පාර්ලිමේන්තුව තුළින්ද ගෙවුණු සතියේ එම තත්ත්වය පැහැදිලිව පෙනෙන්නට තිබුණි. එහෙත් සුපුරැදු දේශපාලන ගිනියම තිරය පිටුපස විය. කොවිඩ් වසංගතය මැද වුව සිය දේශපාලන බලඅරගලය ජයග්‍රහණය උදෙසා දේශපාලකයන් ඇප කැප වී වැඩකරන බව පෙනී ගියේය.

ගෙවුණු සතියේ නැවතත් ආණ්ඩුවේ පක්ෂනායක රුස්වීමක් හේතුවෙන් යම් අර්බුදයක් හට ගත්තේය. මැයි සිව්වැනිදා ආණ්ඩුවේ පක්ෂනායක හමුවක් කැඳවා තිබුණි. විමල් වීරවංශ ප්‍රමුඛ කණ්ඩායමටද ඒ සඳහා ආරාධනා ලැබුණේය. එහෙත් ඔවුන්ට දැන ගන්නට ලැබුණේ දෙසතියකට පෙර සිදුවූවා සේම මෙවර පක්ෂනායක රැස්වීමටත් බොහෝ පිරිසක් සහභාගී වන බවයි. ඒ අනුව කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳ සාකච්ඡා කිරීමට පිරිස අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ නිවසට පෙරදා රැස්වූහ. ඊට පක්ෂ දොළහේ කණ්ඩායම එක්වූ අතර දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේ යම් අසනීප තත්ත්වයක් නිසාවෙන් ඊට අමාත්‍ය විමල් වීරවංශ මහතා සභභාගී වී නොමැති බවයි.

කෙසේ වෙතත් මෙම කණ්ඩායම් හමුවේදී මෙම පිරිස මෙවරද පක්ෂ නායක රැස්වීමට නියෝජිතයන් පනස් එක් දෙනෙකුට ආරාධනා කර ඇති බව තහවුරු කර ගත්හ. ඒ අනුව පෙර පරිදි පක්ෂ නායක රැස්වීමට සහභාගී නොවීමට කණ්ඩායම සාකච්ඡා කොට එකඟ විය. එහෙත් තමන්ගේ නොපැමිණීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දීමට ඔවුහු තීරණය කළෝය. අග්‍රාමාත්‍යවරයා අමතා කරුණු පැහැදිලි කිරීමේ වගකීම අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට පැවරුණි. ඔහු මහින්ද රාජපක්ෂ මහතා අමතා කරුණු පැහැදිලි කරන විට රාජපක්ෂ මහතා වාසු ඇතුළු පිරිසට පැමිණ තමන් හමුවන ලෙස දැනුම් දුන්නේය. ඒ අනුව පිරිස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවට ගොස් නොපැමිණීමට කරුණු පැහැදිලි කළෝය. එවිට මහින්ද රාජපක්ෂ මහතා ඔවුන්ට කීවේ එහෙනම් මම ඔයගොල්ලන්ට විතරක් පක්ෂ නායක හමුවක් දානවා ඉදිරියේදී යනුවෙනි. ඒ අනුව මැයි 11 වැනිදා දිනය අග්‍රාමාත්‍යවරයා මෙම කණ්ඩායම වෙනුවෙන් වෙන් කළේය.

කෙසේ වෙතත් පෙර සැලසුම් කර තිබූ පරිදි පක්ෂ නායක රුස්වීම අඟහරුවාදා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණි. බැසිල් රාජපක්ෂ මහතා ප්‍රමුඛ දේශපාලන පක්ෂ නියෝජිතයෝ ඊට සහභාගී වූහ. මෙහිදී කොවිඩ් තත්ත්වය, පළාත් සභා මැතිවරණය ඇතුළු තේමා රැසක් ඔස්සේ සාකච්ඡා සිදුවිය. රට තුළ කොවිඩ් වයිරසය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බැවින් මැතිවරණයක් පැවැත්වීමට සුදුසු වාතාවරණයක් නැති බව මෙහිදී සාකච්ඡා වී තිබේ. බොහෝ දෙනෙකු එය අනුමත කරමින් කතාකර ඇති බවද කියැවෙයි. දේශපාලන ආරංචි මාර්ග අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාද මැතිවරණයක් පැවැත්වීමට සුදුසු වාතාවරණයක් නැති බව එහිදී සඳහන් කර තිබේ. එසේ වුවද පළාත් සභා මැතිවරණය කොට්ඨාස හා අනුපාත මිශ්‍ර ක්‍රමයකට පැවැත්වෙන බැවින් සීමානිර්ණ කටයුතු ආදිය ආරම්භ කළ හැකි බව බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇත. කෙසේ නමුත් පළාත් සභා මැතිවරණය කල්දැමීමට අවශ්‍ය එකඟතාව මෙම හමුවේදී නිර්මාණය වී තිබේ.

අධිකරණයට අපහාස කිරීමේ ‌‌චෝදනාවට වැරැදිකරු වී වසර 4ක බරපතළ වැඩ ඇතිව අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිරදඬුවම් විඳින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාගැනීම සම්බන්ධව කටයුතු සමගි ජනබලවේගය විසින් සිදුකරමින් සිටියේය. විපක්ෂ නායකවරයා ජනාධිපතිගෙන් කළ ඉල්ලීමට අනුව කටයුතු සිදුවෙමින් පැවතුණි. ඒ අතර මෙම ලිපිය සකස් කරන්නට ගොස් සිත් අමනාපකම්ද ඇති වී ඇති බවට කටකතා පැතිර ගියේය. කෙසේ හෝ අවසානයේ මෙම ලිපියට අස්සන් තැබීමට රන්ජන් රාමනායක කටයුතු කොට තිබුණි. ඒ අනුව අදාළ ලියකියවිලි නීතීඥ අශාන් ප්‍රනාන්දු මහතා විසින් සඳුදා (03) දින විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා වෙත බාර දී ඇති බව කියැවේ. එම ලියකියවිලි ඉදිරි දිනෙක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත විපක්ෂ නායකවරයා විසින් බාරදීමට සැලසුම් කර ඇති බවද දැනගන්නට ලැබේ.

කොළඹ නවලෝක රෝහලේ නැවතී සිටි සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා හෘද සැත්කමකට භාජනය විය. ගෙවුණු සතියේ ඔහු පූර්ණ විවේකයක් ගැනීමට කටයුතු කර තිබූ අතර ඉදිරි සතියේදී හරීන් නැවතත් දේශපාලන කරළියට පැමිණීමට සූදානම් බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේය. කෙසේ වෙතත් මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ලබන ජූලි 14 වැනිදා දක්වා අත්අඩංගුවට නොගැනීමට ලැබුණු නියෝගය ඔවුන්ට යම් අස්වැසිල්ලක් වී තිබුණි. ඒ අනුව ජූලි 14 වැනිදාට පෙර ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අදාළ ප්‍රකාශය ලබාදෙනු ඇති බව සමගි ජනබලවේගයේ ආරංචි මාර්ග තහවුරු කළේය.

මේ අතර ගෙවුණු සතියේ සමගි ජනබලවේගයේ දේශපාලන කරළියේ මාතෘකා වූ අනෙක් චරිතය වූයේ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාය. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඔහු දින 90ක රැඳවුම් නියෝග යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවිය. ඒ අනුව රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවට ඒමට අවසර නොදෙන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළේය. අමාත්‍යවරයා පැවසුවේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින කිසිදු මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවට ගෙන ආ නොහැකි බවයි. ඊට පාර්ලිමේන්තුවේ දැඩි විරෝධයක්ද එල්ල විය.

කෙසේ වෙතත් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තු සැසිවාර සඳහා සහභාගී වීමට අවශ්‍ය කටයුතු සලසන ලෙස කථානායකවරයාගේ උපදෙස් මත පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලිඛිතව දැනුම්දීමක්ද සිදුකර තිබුණි. අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් බදියුදීන් මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තු සැසිවාර සඳහා සහභාගීවීම සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වය පිළිබඳව පැහැදිලි කරදෙන ලෙස නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට පාර්ලිමේන්තු සැසිවාර සඳහා සහභාගී වීමට කිසිදු නීතිමය බාධාවක් නොමැති බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා දැනුම් දී ඇත්තේ ඒ අනුවය. එහෙත් පසුගිය සතියේ බදියුදීන් මහතාට පාර්ලිමේන්තු සැසියට සහභාගී වීමට නොහැකි විය. ඊට හේතුව වූයේ ඔහුට සමීපව සේවයේ නිරත වී සිටි නිලධාරියකුට කෝවිඩ් රෝග ලක්ෂණ මතුවීමයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයන් දෙදෙනෙක් අතර ගැටුමක් නිර්මාණය වී ඇති බවද ගෙවුණු සතියේ දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබුණි. ඉකුත් සතියේදී ශ්‍රීලනිප සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ ශ්‍රීලනිප ප්‍රධානීන් පිරිසක් බැසිල් රාජපක්ෂ මහතා සමග අරලිය ගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවේදී සිදුවීමක් මීට හේතු වූ බව කියැවුණි. මෙම දෙදෙනාගෙන් එක් අයෙක් බැසිල් ඇතුළු පොහොට්ටු බලවේගයට පක්ෂව වැඩකරන බවත් අනෙක් තැනැත්තා වීරවංශ පාර්ශ්වය හා සමීපව වැඩකරන බවත් දැනගන්නට ලැබේ. මෙම ප්‍රශ්නය එන්න එන්නටම වර්ධනය වීම හේතුවෙන් පක්ෂ නායකත්වය පවා අපසුතාවයකට පත්ව සිටින බව කියැවේ.

ගෙවුණු සතියේ බැසිල් රාජපක්ෂ මහතා  දේශපාලන කටයුතු තුළ එතරම් දැක ගැනීමට නොලැබීමද යම් සංවාදයකට හේතුවිය. ඒ අතර නාමල් රාජපක්ෂ මහතා හට ආණ්ඩුවේ උසස්වීමක් ලැබී තිබුණි. කොරෝනා මර්දනය පිළිබඳ ජනාධිපති කාර්යසාධක බළකාය රැස්වූයේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. එසේම වෙනදා බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ජනාධිපති කාර්ය සාධක බළකායද නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය. එහිදී විශේෂ සිදුවීම් කිහිපයක්ද සිදුවිය. රසායනික පොහොර භාවිතය සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය එහිදී විමලවීර දිසානායක මහතා ඇතුළු මැති ඇමතිවරු පිරිසක් විවේචනය කර තිබුණි. විමලවීර දිසානායක මහතා තරමක් තදින් සිය විරෝධය පළකර තිබූ අතර ඒ සියල්ල සාවධානව අසාගෙන කටයුතු මෙහෙයවීමට නාමල් රාජපක්ෂ මහතා උත්සාහ ගෙන ඇති බව දැනගන්නට ලැබේ.

බැසිල් මෙන්ම අතුරුදන් වී සිටි විමල් පිළිබඳව ද බොහෝ දෙනෙක් සොයා බලන්නට වූහ. බොහෝ විමසුම් අතරේ ඊට පිළිතුරැ දෙමින් විමල් වීරවංශගේ අතිජාත දේශපාලන මිත්‍රයා වන උදය ගම්මන්පිල සිදුව ඇති දේ හෙළි කළේය. එක්තරා මාධ්‍යයක් සිදු කළ විමසීමක දී ඔහු කියා තිබුණේ විමල් වීරවංශ උණ රෝගී තත්ත්වයකින් පීඩා විඳින බවයි. එහෙත් කොවිඩ්-19 තත්ත්වයෙන් නොවන බව විශේෂයෙන්ම සඳහන් කරන ලෙස තමාට පැවසූ බව ගම්මන්පිල අමාත්‍යවරයා කියා තිබේ. ඒ අනුව මැයි 11 වැනිදා වීරවංශ පාර්ශ්වය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර පැවැත්වෙන හමුවට අමාත්‍ය විමල් වීරවංශ සහභාගී වේදැයි ප්‍රශ්නයක් මතුවිය. කෙසේ වෙතත් ඒ වන විට ඔහු සුවය ලබනු ඇති බව ගම්මන්පිල මහතා පවසා ඇතැයි කියැවේ.
සතියේ සියලු දේශපාලන විපර්යාසයන් මැද පාර්ලිමේන්තුවේ දී ඇතිවූ සරත් සහ සරත් අතර ගැටුම කාගේත් අවධානය දිනාගත්තේය. මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන් අතර ඇතිවූ බහින්බස් වීමකි. පැවතියේ කොරෝනා අවදානම හමුවේ රට මුහුණ දී ඇති තත්ත්වය සම්බන්ධයෙන්  විවාදයයි. එහිදී  සරත් ෆොන්සේකා මහතා හමුදාව නින්දිත ලෙස පාවාදෙන ආකාරයේ ප්‍රකාශ නිකුත් කරමින් සිටින බවට සරත් වීරසේකර මහතා චෝදනා කළේය. ඊට පදනම වූයේ මිරිසුවිල් සිද්ධියේදී සුනිල් රත්නායක රණවිරුවාට නිදහස දුන් එක සම්පූර්ණයෙන්ම වැරදි යැයි ෆොන්සේකා පසුගියදා සිදු කළ බව කියවෙන ප්‍රකාශයකි.

මෙහිදී ෆොන්සේකා මහතාට වීරසේකර මහතා විසින් බරපතළ චෝදනා එල්ල කළේය. "පිස්සෙක් වගේ කතා කරනවා. එයාගෙ කතාවෙන් තේරෙනවා තියෙන මානසික තත්ත්වය. තමුන්නාන්සේ මුදලට ජාතිය, හමුදාව පාවා දෙනවා. ඒක මේ රටේ සමස්තය දන්නවා. ඔබතුමාට එල්ටීටීඊය දෙමළ ඩයස්පෝරාව එක්ක ගිවිසුමක් තියෙනවා. ඒක ඉතා පැහැදිලියි." වැනි ප්‍රකාශ නිසා තත්ත්වය උණුසුම් විය. සරත් ෆොන්සේකා මහතාට කතා කිරීමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් හරි හැටි ඉඩක් ලබා දුන්නේ නැත. එහෙත් ඔහු ද උණුසුම් වචන හුවමාරැවක නිරත විය. තම නිදොස් බව කී හෙතෙම ජීනීවා ගොස් මුදල් ගසාකෑ බවට සරත් වීරසේකරට චෝදනා කළේය. ගැටුම දරුණු විය. අවසානයේ සජිත් ප්‍රේමදාස මහතා ද මෙම ගැටුමට මැදිහත් විය. සරත් ෆොන්සේකා මහතාට එල්ල කළ චෝදනා සියල්ල හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන්න යැයි ඔහු ඉල්ලා සිටියේය. 

පෝට්සිටිය සම්බන්ධයෙන් වූ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත එවා ඇති බව දේශපාලන ආරංචිමාර්ග තහවුරු කළේය. එය සිදුවී තිබුණේ  බදාදා  (05) රාත්‍රියේදීය. එහෙත් ඊට පෙර පැවති පක්ෂ නායක රැස්වීමේ දී ඒ වන විට තීන්දුව ලැබී නොතිබීම හේතුවෙන් බ්‍රහස්පතින්දා සහ සිකුරාදාට නියමිතව තිබුණු පෝට්සිටි විවාදය කල් දැමුවේය. ඒ අනුව ලබන මැයි 18,19,20,21 යන දින දක්වා එය කල් තැබීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණය කෙරිණ. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරැණේ අප්‍රේල් 8 වැනිදාය. අදාළ කෙටුම්පත අභියෝගයට ලක් කරමින් සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පාර්ශ්ව 19ක් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගොනු කළේය. අගවිනිසුරැවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් විභාග කරනු ලදුව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය මෙලෙස කතානායකවරයාට දන්වා තිබුණි.

ඒ අතර අඟහරුවාදා පැවති මෙම පක්ෂ නායක රැස්වීමේදී තවත් අපූරු සිදුවීමක් සිදුවිය. විපක්ෂය විසින් කොරෝනා සම්බන්ධයෙන් ගෙන එනු ‌ලැබූ යෝජනාව කිසිදු විරෝධයකින් තොරව විවාද කිරීම සඳහා ඉඩ ලබාදීමට ආණ්ඩුව ඉඩ ලබා දුන්නේය. එහිදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හට විපක්ෂයේ පක්ෂ නායකවරුන් විසින්  විශේෂ ස්තූතියක් සිදු කරනු ලැබුවේය. පසුගිය දිනවල පක්ෂ නායක රැස්වීමේ වූයේ නිරන්තර ගැටුම්ය. එනිසාම මෙය සුවිශේෂී සිදුවීමක් ලෙස වාර්තා විය. ඒ අනුව එදින පැවැති පක්ෂ නායක රැස්වීම කිසිදු ගැටුමකින් තොරව සාමකාමීව පැවැති බව දේශපාලන ආරංචිමාර්ග තහවුරු කළේය.

කොවිඩ් පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට සමගාමීව විපක්ෂ කණ්ඩායම් ආණ්ඩුවේ කෝවිඩ් මර්දන වැඩපිළිවෙළ පාර්ලිමේන්තුවෙන් පිටතදී ද විවේචනය කළේය. ඉන් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන විය. කොරෝනා පාලනය සඳහා පවතින රජයට කිසිදු සැලසුමක් නොමැති බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කර සිටියේය. ඒ අනුව  බිමල් රත්නායක මහතා ප්‍රකාශ කර සිටියේ රජය මගින් ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛනද පිළිගත නොහැකි බව සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවා පවසන බවයි. එසේම රජය විසින් ප්‍රවර්ධනය කළ ධම්මික පැණියෙන් කොරෝනා රෝගය සුව කළ නොහැකි බව ඔවුන්ටම පිළිගැනීමට සිදුව ඇති තත්ත්වයක් තුළ එය ඔසවා තබමින් කටයුතු කළ මාධ්‍ය නාලිකා සහ අමාත්‍යවරැන් ඒ හරහා සිදුවූ විශාල සමාජ ව්‍යසනයට වගකිවයුතු බව ඔහු අවධාරණය කර සිටියේය. ජනාධිපතිවරයා, අමාත්‍ය මණ්ඩලය සහ රජයට සම්බන්ධ සියලු දෙනා ධම්මික පැණිකාරයන් බවද ඔහු කියා තිබුණි.

ගෙවුණු සතියේ තවත් සුවිශේෂී සිදුවීමක් වූයේ ඉකුත් 5 වැනිදා පාර්ලිමේන්තුවේ කොවිඩ්-19 මර්දනය සම්බන්ධයෙන් විවාදය පැවැත්වෙන අතරතුර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සභා ගර්භය වෙත පැමිණීමයි. නව පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ඇමතීමෙන් පසු ජනාධිපතිවරයා සභාවේ අසුන්ගත් 5 වැනි අවස්ථාව මෙය විය. කෙසේ වෙතත් මෙම ගමන සම්බන්ධව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනය පිළිබඳ සමාජ මාධ්‍යයේ විශාල කතාබහක් නිර්මාණය විය. එය ප්‍රමිතියකින් තොර බවට බොහෝ චෝදනා එල්ලවිය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගෙවුණු සතියේ විශේෂ ගමනක් ගියේය. ඒ අභයාරාමයටයි. අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ගෙවුණු දෙසතිය තුළ ආණ්ඩුවේ ක්‍රියාකාරකම් දැඩිව විවේචනය කරමින් සිටියහ. ඒ අනුව අගමැති මහින්ද රාජපක්ෂ මහතා හදිසියේම අභයාරාමයට ගොස් එහි විහාරාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් බැහැදැකීම සුවිශේෂී විය. කොතරම් විවේචන කළත් කළ්‍යාණ මිත්‍රයන් වන මුරුත්තෙට්ටුවේ හිමියන් සහ මහින්ද රාජපක්ෂ මහතා මෙවර පැය එකහමාරක පමණ සාකච්ඡාවක් පවත්වා ඇති බව මාධ්‍ය වාර්තා ඔස්සේ දැනගන්නට ලැබුණි. මෙහිදී මුරැත්තෙට්ටුවේ හිමියන් දැනට රට ඇතුළේ පවතින ප්‍රශ්න රැසක් සහ ආණ්ඩුව ඇතුළේ පවතින ප්‍රශ්න සම්බන්ධයෙන් අගමැතිවරයා දැනුවත් කොට ඇති බව කියැවේ.

මේ අතර නිල කාලය අවසන් වීමත් සමඟ නීතිපති දප්පුල ද ලිවේරා මහතා ජනාධිපතිවරයා විසින් කැනඩාවේ මහකොමසාරිස්වරයා ලෙස පත්කිරීමට යන බව දේශපාලන කරළියේ ආරංචි අතර දැනගන්නට ලැබුණි. එහෙත් තොරතුරු ලැබී ඇති පරිදි තමා කැනඩාවේ මහකොමසාරිස්වරයා ලෙස පත්කිරීම පිළිබඳව ස්තූතිය පළ කරන බවත්, එහෙත් තමා මෙරට රැඳී සිටිමින් ජනතාවට සේවය කිරීමට කැමැති බවත් නීතිපතිවරයා ජනපතිට දැනුම් දී තිබේ. නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය ද මේ බව තහවුරු කර ඇත. කෙසේ වෙතත් නීතිපති දප්පුල ද ලිවේරා මහතා ලබන විසි වැනිදා නීතිපති ධූරයෙන් විශ්‍රාම යෑමට නියමිතය. ඔහුගෙන් පුරප්පාඩු වන තනතුරට ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සංජය රාජරත්න මහතාගේ නම ව්‍යවස්ථාදායක සභාවට යෝජනා කර ඇතැයි රජයේ ආරංචිමාර්ග ඔස්සේ දැනගන්නට ලැබේ. සංජය රාජරත්නම් මහතා නීතිපති දෙපාර්තමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන අතර නීතිපති තනතුර සඳහා ඔහු සියලු සුදුසුකම් සපුරා ඇති බව ද කියැවේ.

 චමිඳු නිසල්