2021 මැයි 01 වන සෙනසුරාදා

හරීන් ගැන ජනපති සජිත්ට කියූ දේ...

 2021 මැයි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 926

සජිත්ගේ කතාවට සජබ සමහරුන්ගේ සිත් රිදිලා
බුර්කා තහනමට මුජිබර්ගෙන් චීන කතාවක්
චීන ආරක්ෂක ඇමැතිට උණුසුම් පිළිගැනීමක්
කැබිනට්ටුව උණුසුම් කළ පොහොර කතාව
මැතිවරණ ක්‍රමයට ශ්‍රීලනිපයෙන් දිගටම කොකු
බැසිල්ගේ උපන් දිනය දා ලකුණු ගන්න සටනක් 
කරළියම උණුසුම් කරන හරීන්ගේ ලෙඩේ

 

 

 

වසංගතයේ අඳුරු තිරවලින් දේශපාලන කරළියේ රුඟුම් ප්‍රේක්ෂකාගාරයට නොපෙනී ගියේය. ගතවූයේ අඳුරෙන් අඳුරට රට ගමන් කළ සතියකි. දේශපාලන වශයෙන් සිදුවූ බොහෝ කතාබහවලට ද තේමාව කොවිඩ්ම විය. ගෙවුණු සතියේ එක්තරා සුවිශේෂී දුරකථන සංවාදයක් පිළිබඳ දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබුණි. එය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හට විපක්ෂනායක සජිත් ප්‍රේමදාසගෙන් ලැබුණු දුරකථන ඇමතුමකි. මෙම ඇමතුම පැමිණීමට පෙර ඉහත සතියේ ද සජිත් ප්‍රේමදාස මහතා ජනාපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමතා තිබුණි. එය ඉතා කෙටි දුරකථන සංවාදයක් වූ අතර රන්ජන්ට ජනාධිපති සමාව ඉල්ලීම පිළිබඳ විපක්ෂනායකවරයා ජනාධිපතිවරයාට එහිදී දැනුම් දුන්නේය. එම ඉල්ලීම ලිඛිතව සිදුකරන ලෙසත් එයින් අනතුරුව ඒ පිළිබඳ සලකා බැලිය හැකි බවත් ජනපති එහිදී විපක්ෂ නායකවරයාට කියා තිබේ.

එහෙත් ගෙවුණු සතියේ පැමිණි දුරකථන ඇමතුම කෙටි ඇමතුමක් නොවුණි. පැයකට ආසන්න කාලයක් සජිත් ප්‍රේමදාස මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ දුරකථන සංවාදයේ නිරත වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි. හරින් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවට වූ රාවය එම සංවාදයේ නිමිත්ත විය. එහිදී එවන් අත්අඩංගුවට ගැනීමක් සිදුනොකරන ලෙස විපක්ෂ නායකවරයා ජනපතිගෙන් ඉල්ලා ඇති බව කියැවේ. එවිට ජනාධිපතිවරයා කියා ඇත්තේ තමාට හෝ රජයට එවැන්නක් සිදුකිරීමට අවශ්‍යතාවක් නොමැති බවයි. එසේම පොලීසියෙන් යම්කිසි පරීක්ෂණයක් සිදුකරනවා නම් ඊට සහයෝගය ලබාදෙන ලෙස හරින්ට කියන්න යැයි ජනපති විපක්ෂ නායකට කියා ඇති බව දැනගන්නට ලැබේ.

කෙසේ වෙතත් එම දුරකථන සංවාදයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කාලීන දේශපාලනය සම්බන්ධව කරුණු රැසක් ජනපතිට කියා ඇති බව කියැවේ. කෙසේ නමුත් රාජකාරි රුසක් මැද ජනාධිපති පැයක් තිස්සේ විපක්ෂනායකට සාවධානව ඇහුම්කන් දී ඇත. මේ අතර ගෙවුණු සතියේ කැබිනට් හමුවද සුවිශේෂී විය. කොවිඩ් කතා ප්‍රමුඛ වූ අතර පොහොර කතාව නිසා කැබිනට්ටුව තරමක් සංවාදශීලී විය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ (සෞභාග්‍යයේ දැක්ම) සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ වස විසෙන් තොර ආහාර ජනතාවට ලබාදීමේ වැඩසටහන දිගින් දිගටම ප්‍රමාද වෙමින් පැවතුණි. අවසානයේ ජනාධිපතිම රසායනික පොහොර ආනයනය නතර කිරීම සම්බන්ධව කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේය.

ඇතැම් ඇමැතිවරුන් ඊට ඒ හැටි මනාප නැති බවක් පෙනෙන්නට තිබිණි. වැවිලි කර්මාන්ත ඇමැති රමේෂ් පතිරණ මහතා කීවේ “කෘෂිකර්මයට, වැලි කර්මාන්තයට මේක බලපානවා. ජනාධිපතිතුමා මේ ගැනත් පොඩ්ඩක් නැවත සලකා බලන්න” යැයි කියාය. “මම පරිසරවේදියෙක්. මම පරිසරයට ගොඩක් ආදරය කරන මනුස්සයෙක්. ඒත් ජනාධිපතිතුමා මේක එකපාරට කරන්න ගියොත් ප්‍රශ්නයක් ඇතිවෙයි.” යනුවෙන් අමාත්‍ය උදය ගම්මන්පිල ද කීවේය. වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන කීවේ මෙය ගැටලුසහගත විය හැකි බවයි. ජනාධිපති මෙම සම්පූර්ණ කතාවට සවන් දුන්නේය. එවිට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වස විසෙන් තොර ආහාරවලට අපි යා යුතු යැයි යැයි කියමින් කතා කළේය. “අපි මේක වහාම ක්‍රියාත්මක කරමු. මම කොම්පෝස්ට් පොහොර හදලා දෙන්නම්.” යනුවෙන් ඔහු කීවේය.

එවර ජනාධිපති මෙම තීන්දුව අදියරෙන් අදියර සිදුකිරීමට තීරණය කළේ කොම්පෝස්ට් නිෂ්පාදන වැඩපිළිවෙළක් සකස් කර ගැනීමට කාලයද ලබා දෙමිනි. ඒ අතර මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද සුවිශේෂී කැබිනට් පත්‍රිකාවට ද මෙහිදී අනුමැතිය හිමිවිය. ඒ බුර්කාව ඇතුළු මුහුණු ආවරණ සියල්ල තහනම් කිරීමේ යෝජනාවයි. මේ හේතුවෙන් බුර්කා සංවාදයක් ද ගෙවුණු සතියේ හට ගත්තේය. බුර්කා තහනම ගෙන ආවේ චීනයේ ආරක්ෂක ලේකම්ගේ පැමිණීම සහ ඔහු සමඟ කෙරෙන ගනුදෙනු ගැන අවධානය වෙනතකට හැරවීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසුවේය. 

සතියේ සුවිශේෂීම සිදුවීම වූයේ මහජන චීන ජනරජයේ රාජ්‍ය මන්ත්‍රී හා ආරක්ෂක අමාත්‍ය ජෙනරල් වෙයි ෆෙන්ග්හි බදාදා (28) ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සඳහා පැමිණීමයි. ගුවන්තොටුපළේ දී ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න, යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරුන් ඇතුළු ආරක්ෂක අංශයේ ඉහළ නිලධාරීහු පිරිසක් විසින් ඔහුව පිළිගනු ලැබූහ. ජෙනරාල් වෙයි ෆෙන්ග්හි මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර නිල හමුව ද එදින පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය. අනතුරුව චීන ආරක්ෂක ලේකම්වරයා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද හමුවිය.

මෙම හමුවීම්වල සාකච්ඡා වූ කරුණු මාධ්‍යයට අනාවරණය නොවුණද චීන අමාත්‍යවරයා සාකච්ඡාවලින් අනතුරුව පැවැත්වූ මාධ්‍ය හමුව සුවිශේෂී විය. ශ්‍රී ලංකාවට චීනයේ ව්‍යවහාර මුදල් ඒකකය වන රෙන්මින්බි මිලියන 50ක හමුදා ආධාර ලබාදෙන බව චීන ආරක්ෂක අමාත්‍යවරයා කියා සිටියේය. සාකච්ඡාවන්හිදී දෙරටේ ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කිරීමට එකඟ වූ බවත් චීනය හා ශ්‍රී ලංකාව අතර පවතින ආරක්ෂක සහයෝගිතාව තවත් වර්ධනය කර දෙරටේ මිත්‍රත්වය වර්ධනය කිරීමට සුදානම් බවත් ඔහු තවදුරටත් පැවසීය.

“චීන ජනාධිපති ෂි ජින් පින් ගේ අනුමැතිය ඇතිව කොවිඩ් ව්‍යසනය අතරතුර සිදු කරන සංචාරය අප දෙරටට ඉතාමත් වැදගත් වේ. මගේ මෙම සංචාරයේ අරමුණ නම් අපගේ රාජ්‍යයන් දෙක අතර ඇතිකරගත් වැදගත් එකඟතා ක්‍රියාත්මක කිරීම, සහයෝගීතාව වර්ධනය කිරීම සහ මිත්‍රත්වය තහවුරු කිරීම සඳහා උපායමාර්ගික අන්‍යෝන්‍ය විශ්වාසය ශක්තිමත් කිරීමයි. මම විශ්වාස කරනවා මගේ සංචාරය අප දෙරටේ සහයෝගීතාව හා මිත්‍රත්වය වර්ධනය කරයි කියලා."

මේ අතර පළාත් සභා මැතිවරණ ක්‍රමය පිළිබඳ ඇතිවූ ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුදය තවදුරටත් දික් ඇදුණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම සටනේ දී පෙරට පැමිණියේය. ශ්‍රීලනිපය වෙනම පළාත් සභා තරග කරන බවට රාවයක් පැතිර ගිය ද එහි මහලේකම් දයාසිරි ජයසේකර පසුගිය සතියේ කීවේ අලුත් කතාවකි. ඉදිරි පළාත් සභා මැතිවරණයේදී එක් කොට්ඨාසයකට එක් පක්ෂයකින් අපේක්ෂකයන් තුන් දෙනකු නම් කිරීමට විරෝධය පළ කරන බව ඔහු ඍජුවම කියා සිටියේය. එසේම ප‍්‍රසාද ආසන බෙදීමේ ක්‍රමය පිළිබඳවද ශ්‍රීලනිපයේ විරෝධතාවයක් මෙහිදී එළිදුටුවේය. ඒ අනුව යම් විකල්ප වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බවද මහ ලේකම්වරයා කියා තිබුණි. කෙසේ වෙතත් ලංකා නිදහස් පක්ෂයට අවාසිදායක වන කිසිදු තීරණයකට එළඹෙන්නේ නැති බවත් පොදුජන පෙරමුණ සමඟ සාකච්ඡා කරන බවත් ඔහු කීවේය.

ගෙවුණු සතිය උණුසුම් කළ තවත් පුවත් මැවීමට සජිත් ප්‍රේමදාස මහතා දායක විය. හම්බන්තොට කිරින්ද ප්‍රදේශයේ පැවති විපක්ෂනායක ජංගම සේවය වැඩසටහනට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මෙම ප්‍රකාශය සිදු කළේය. එහිදී තමාගේ ගමනට බාධා කරන පුද්ගලයන් ඇත්නම් පක්ෂයෙන් ඉවත්වන ලෙස විපක්ෂනායක සජිත් ප්‍රේමදාස කීවේය.

“මම මෙතෙක් කල් දේශපාලනය කළේ විවිධ ප්‍රශ්න මැද්දේ. මට වැඩක් කරන්න දුන්නේ නෑ. මගේ කකුලෙන් ඇද්දා. මට අවහිර කළා. මං පැහැදිලිවම එක දෙයක් කියන්න ඕනේ. ඔය මොන ප්‍රශ්න තිබුණත් මට ජනතාවට වැඩ කරන්න උදව් කරපු එක මනුස්සයෙක් හිටියා. ඒ තමයි හිටපු ජනාධිපතිතුමා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තමයි මට පුළුවන් තරම් හයිය දුන්නේ. දැන් මගේ පක්ෂය ඇතුළත කාටවත් බෑ මගේ කකුලෙන් අදින්න. එහෙම ඉඩ දෙන්නෙත් නෑ. එහෙම කකුලෙන් අදින කට්ටියට පුළුවන් පිටතට ගිහිල්ලා තම තමන්ගේ දේවල් ටික කරගන්න."

මෙම ප්‍රකාශය හේතුවෙන් සජබයේ ඇතැමුන් තුළ කුතුහලයක් ද ඇතැමුන් තුළ සිත්‍ රිදීමක් ද ඇතිවී ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේය. මෙම ප්‍රකාශයේ ඉලක්කය පිළිබඳ බොහෝ කතා දේශපාලන කරළියේ පැතිර ගියේය.

ගෙවුණු සතියේ විශේෂිත ජන්ම දින සැමරුමක් පැවැත්විණි. ඒ ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ 70 වැනි ජන්ම දින සැමරුමයි. ඒ වෙනුවෙන් විශේෂ ආගමික වතාවත් කඩුවෙලදී සිදුකෙරුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු තරුණ සංවිධානයේ මූලිකත්වයෙනි. මේ අතර බැසිල් රාජපක්ෂ මහතාගේ උපන් දිනය නිමිත්තෙන් ප්‍රදේශ ගණනාවක ලේ දන්දීමේ වැඩසටහන් සහ බෝධිපූජා ද පැවැත්විණි. සංවිධායකයෝ ලේ දන් දුන් අය සඳහා පැළ බෙදාදීමක් ද සිදු කළහ. ඒ අනුව මෙම ජන්ම දින සැමරුම ලකූණු ලබාගැනීමේ තරගයක් හා සමාන වූ බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේය. මේ අතර සමාජ මාධ්‍යයේ බැසිල් රාජපක්ෂ අනුගාමිකයන් බැසිල් රාජපක්ෂ නමින් කවි ගී ප්‍රශස්ති ලියා තැබූ අතර බැසිල් විරෝධීහු විවේචනාත්මක විචාර ලියා තැබූහ.

දිගින් දිගටම රෝහල්ගත වී සිටින සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු බැලීමට බොහෝ දේශපාලනඥයෝ පැමිණෙන්නට වූහ. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා හරින් බැලීමට යාම සුවිශේෂී විය. මෙහිදී මාධ්‍යයට ප්‍රකාශයක් ලබාදුන් වික්‍රමසිංහ මහතා ආණ්ඩුව හරින්ට හිරිහැර කරන බව කීවේය. විවිධ නඩු පටලවන බව ද පෙන්වා දුන්නේය. නාමල් රාජපක්ෂ මහතා ද හරින් බැලීමට ගොස් තිබුණු බව දේශපාලන ආරංචිමාර්ග කියා සිටියේය. එහෙත් නාමල් රාජපක්ෂ රෝහල ඉදිරිපිටදී හරින් ප්‍රනාන්දු මහතා බැලීමට පැමිණි බව නොකියා සිටීමට ප්‍රවේසම් වන බවක් පෙනෙන්නට තිබුණි. මෙහිදී නාමල් රාජපක්ෂ මාධ්‍යයට කියා සිටියේ ගෝඨාභය මහින්ද ආණ්ඩුවේ පැහැදිලිවම දේශපාලන පළිගැනීම් සිදුනොවන බවයි. තවත් බොහෝ දේශපාලනඥයෝ හරින් ප්‍රනාන්දු බැලීමට ගියහ.

මේ  අතර බදාදා මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා පවසා සිටියේ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට එදින සිදුකිරීමට සූදානම් කර තිබූ සැත්කම කල් ගිය බවයි. තවද තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප‍්‍රනාන්දු මහතා අධිකරණයෙන් ඉල්ලීමක් ද කළේය. ඒ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරමිනි. රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර ද හරින් ප්‍රනාන්දු ගැන විශේෂිත ප්‍රකාශයක් සිදුකර තිබුණි. ඔහු කියා තිබුණේ හරින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත්තේ වසර දෙකකට පෙර සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධව තොරතුරු දැනගැනීමට බවයි. හරින් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නැති බවත් පාර්ලිමේන්තුවේදී කී දෙයක් සම්බන්ධව අත්අඩංගුවට ගන්නේ නම් ඊට විරුද්ධ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

ඉකුත් සඳුදා මේ හා සම්බන්ධ තවත් වැදගත් සිදුවීමක් සිදු වී තිබුණි. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හරින් ප්‍රනාන්දු, මනූෂ නානායක්කාර ඇතුළු සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළ ආන්දෝලනාත්මක තොරතුරු ඇතුළත් වාර්තාවක් කතෝලික පූජක පක්ෂය වෙත බාරදීමයි. මෙම අවස්ථාවට ලක්ෂ්මන් කිරිඇල්ල, පාඨලී චම්පික රණවක, ඉරාන් වික්‍රමරත්න, මනූෂ නානායක්කාර, නලින් බණ්ඩාර, හර්ෂ ද සිල්වා යන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහභාගී වූහ. එසේම කතෝලික සභාවේ ප්‍රධාන පූජකවරුන්, නිකායන්වල ප්‍රධානීන් සහ කන්‍යා සොයුරියෝ ද  ඊට සහභාගි වූහ.

මෙහිදී දෙපාර්ශ්වය අතර පැවති විශේෂ සාකච්ඡාවේ දී විපක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ ඉදිරිපත් කළ කරුණු පිළිබඳව සහ නගන ලද ප්‍රශ්න පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

ජනපතිගේ විශේෂිත පත්වීම් දෙකක් ගෙවුණු සතියේ දී මුළු රටේම අවධානය දිනා ගත්තේය. ඉන් පළමුවැන්න වූයේ ප්‍රවීණ මාධ්‍යවේදී සුදේව හෙට්ටිආරච්චි මහතා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත් කිරීමයි. මීට පෙර ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරය හෙබවූ මොහාන් සමරනායක මහතා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්කොට තිබුණි. ඒ අනුව දෙවැනි පත්වීම වූයේ මාධ්‍යවේදී කිංස්ලි රත්නායක මහතා ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශක ලෙස පත් කිරීමයි. මෙම දෙදෙනාම ජනපතිගේ පාසල වූ ආනන්ද විද්‍යාලයේම ආදි සිසුන් වීමත් සුවිශේෂී විය. එසේම මේ දෙදෙනා සේවය කළ මාධ්‍ය ආයතන ද විශේෂිත විය. මෙම පත්කිරීම් පිළිබඳවත් බොහෝ සංවාද විසංවාද දේශපාලන කරළියේ ඇතිවිය. මෙම පත්කිරීම් සමාජ මාධ්‍යයට ද මාතෘකා වන බව පෙනී ගියේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධව අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින අනූවක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසිය අධිකරණයෙන් අවසර ලබාගත්තේය. ඒ අනුව අත්අඩංගුවට ගෙන ඇති, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක සහ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා, වහා නිදහස් කරන ලෙස බල කරමින් විරෝධතාවක් ද බදාදා (28) වව්නියාවේදී පැවැත්විණි. රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් ආකාරය ප්‍රජාතන්ත්‍රවාදී නොවන බවත්, පළිගැනීම සඳහා කළ අයුක්තිසහගත අත්අඩංගුවට ගැනීමක් බවත්, විරෝධතාකරුවෝ සඳහන් කළහ. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා රිෂාඩ් බදියුදීන් වෙනුවෙන් කතා කළේය. මෙම අත්අඩංගුවට ගැනීමට හේතුව තඹ ලබාදීමේ සිදුවීම නම් ඊට එවක ඇමැතිවරයා හෝ නියෝජ්‍ය ඇමැතිවරයා වගකිව යුතු නැති බව ඔහු කරුණු සහිතව කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන නියෝජිතයන් 58 දෙනකු  තමන් ඇතුළු පිරිස පක්ෂයෙන් නෙරපීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිස ගෙන ඇති තීරණය වළක්වන්නැයි ඉල්ලා අභියාචනාධිකරණට රිට් පෙත්සමක් ගොනු කර තිබුණි. ඔවුන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ තමන් පක්ෂයෙන් නෙරපා ඇති බවට තේරීම් භාර නිලධාරීන්ට දැනුම් දීම සහ එලෙස නෙරපූ බවට ගැසට් කිරීම වළක්වන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසටයි. එසේම පෙත්සම්කාර පළාත් පාලන නියෝජිතයන් පවසන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් පළාත් පාලන ආයතනවලට තේරීපත් වූ තමන් සමගි ජන බලවේගයට සහාය පළ කළේ යැයි චෝදනා කරමින් පක්ෂයෙන් නෙරපීමට එක්සත් ජාතික පක්ෂය ක්‍රියා කර ඇති බවයි. කෙසේ වෙතත් රිට් පෙත්සම විභාගයට ගන්නේ ද නැද්ද යන්න මැයි 21 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය තීරණය කර තිබුණි.

සතිය ආරම්භයේ දී කැබිනට්ටුවේ මතුවූ රසායනික පොහොර ආනයන තහනම පිළිබඳ කතාව මුළු සතිය පුරාම වූයේය. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බ්‍රහස්පතින්දා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඒ පිළිබඳව දැනුවත් කිරීමේ හමුවක් කැඳෙව්වේය. ගත් පියවර ආපස්සට නොගෙන රසායනික පොහොර භාවිතය මුළුමනින්ම ඉවත් කළ ලෝකයේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත්කිරීමේ අභියෝගය බාරගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේය. රසායනික පොහොර භාවිතයෙන් ඉවත් වූ කිසිදු රටක් ලෝකයේ නොමැතිවීම අරමුණට ළගාවීමට බාධාවක් නොවන බවද ඔහු පැවසීය. කෘෂි ක්ෂේත්‍රයේ නිරත බොහෝ පිරිසකට සංවේදී විෂයක් බැවින්  විරෝධතා පැමිණිය හැකි බවත් ආගමික නායකයන්, ගොවි සංවිධාන, වෘත්තිකයන්, පර් යේෂකයන්, රාජ්‍ය නිලධාරීන්, මාධ්‍ය සහාය සහ සියලු පාර්ශ්ව එක්වීමෙන් අරමුණට පහසුවෙන් ළගාවිය හැකි බවත් මෙහිදී අදහස් දැක්වූ ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය. 

මීට අමතරව සතියේ සමස්ත දේශපාලන සිදුවීම් සහ කතිකාවන් කොවිඩ් නව රුල්ල පිළිබඳ විය. රට ලොක්ඩවුන් නොකරන බව ආණ්ඩුව කියන්නට වූ අතර ඇතැම් පාර්ශ්ව ලොක්ඩවුන් ඉල්ලීම් ඉදිරිපත් කළේය. ගම්පහ නව කොරෝනා රෝහල ඉදිකිරීමට ද පිඹුරුපත් සැකසුණි. ඒ අතර දෙවැනි අදියරේ එන්නත්කරණය ද ඇරඹුණි. එන්නත් සම්බන්ධව විශාල කතිකාවක් නිර්මාණය වෙමින් තිබූ අතර සියලු තැන් හි අවදානම පිළිබඳ අනතුරු ඇඟවීම් විය.

 

 චමිඳු නිසල් ද සිල්වා

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00