2021 අප්‍රේල් 24 වන සෙනසුරාදා

ආණ්ඩුව ඇතුළේ ගිනිකඳු නිවෙයි

 2021 අප්‍රේල් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 492

  • අපිත් එක්ක මැයි දිනයට එන්න: අගමැති ශ්‍රීලනිපයට කියයි
  • බැසිල්ගෙන් පළාත් සභා ඡන්දයට නව සැලැස්මක්
  • සී.අයි.ඩියට කැඳවූ හරීන් රෝහල් ගතවෙයි
  • දයාසිරිගෙන් චන්ද්‍රිකාට දිග ලියුමක්
  • ගම්මන්පිලගෙන් යෝෂිතට ඇමතුමක්
  • රන්ජන්ට ජනපති සමාව ගැනීමට සජිත් මැදිහත් වෙයි

මුළු දේශපාලන කරළියම නව වසරේ එකම කලබගෑනියක් වන ලකුණු පහළ වෙමින් තිබුණි. අවුරුදු සිරි අසිරි විඳීමේ ප්‍රතිඵලය ලෙස කොවිඩ්ද අපට බැටදීම ආරම්භ කළේය. පාර්ලිමේන්තුව විටින්විට යුද පිටියක් බවට පරිවර්තනය වන ලකුණු පෙනී ගියේය. පක්ෂ විපක්ෂ මහත්වරු තැන තැන හමුවී වෙනම සාකච්ඡා පැවැත්වූහ. මහජනයා කෙරෙහි නම් අවුරුදු සුභ නොවූ බව ප්‍රත්‍යක්ෂ විය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් සන්ධානයේ පක්ෂ නායක හමුවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සඳුදා (19) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. මෙම රුස්වීම පිළිබඳ සමස්ත දේශපාලන කරළියේම අවධානය යොමුවිය. මෙම රුස්වීම සංවිධනය වූයේ පසුගිය සමයේ ආණ්ඩුව අභ්‍යන්තරයේ වූ විවිධ මත ගැටුම් නිරාකරණය කරගැනීමේ අරමුණිනි. ජනාධිපතිවරයා ඒ සඳහා මැදිහත්වන ලෙස අග්‍රාමාත්‍යවරාගෙන් ඉල්ලීමක්ද කර තිබුණි.
දේශපාලන ආරංචි අනුව මෙම පක්ෂ නායක හමුවට පෙරදිනයේදී විමල් වීරවංශ මහතාගේ නිවසේ පක්ෂ නායක රුස්වීම පිළිබඳ සාකච්ඡාවක් පවත්වා ඇත. ඊට වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, ටිරාන් අලස්, අසංක නවරත්න හා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් විශේෂඥ වෛද්‍ය ජී.වීරසිංහ ආදී පිරිසක් එක්ව තිබේ. සාකච්ජාව අතරතුරදී උදය ගම්මන්පිල මහතා අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ වෙත දුරකථන ඇමතුමක් ලබා දී සාකච්ඡාව සම්බන්ධව කරුණු විමසා ඇත. ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ නියෝජිතයන් පනස් ගණනකට එම සාකච්ඡාවට ආරාධනා කර ඇති බව අනාවරණය වී ඇත්තේ එහිදීය. මෙම රැස්වීමට නොයාමට ඒ අනුව ඔවුන් තීරණය කර තිබේ.

පසුදා උදෑසනම විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර යන කණ්ඩායම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවූහ. පක්ෂ නායක රුස්වීමට පනස් එක් දෙනකුට ආරාධනා කර අති බව දැනගන්නට ලැබුණු බවත් අනවශ්‍ය ගැටුම් ඇතිවීම වළක්වා ගැනීම සඳහා තම කණ්ඩායම ඊට සහභාගී නොවන බවත් ඔවුහු අග්‍රාමාත්‍යවරයාට කියා සිටියෝය. අපිට සභභාගී නොවී ඉන්න අවසර දෙන්න. අපි වෙනම ඇවිත් මේ ගැන සාකච්ඡා කරන්නම් කියා ඔවුන් අග්‍රාමාත්‍යවරයා හමුවේ පවසා ඇති බව දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබුණි. මීට අමතරව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයෙක් මෙම හමුවට නොයා යුතු බව පක්ෂයේ අභ්‍යන්තරයේ දැඩිව කියා සිටියේය. එහෙත් අවසානයේ ඔහුට නායකත්වයෙන් අවවාද කෙරුණු අතර ඔහු කැටුව සෙසු පිරිසක් පක්ෂ නායක හමුවට ගියෝය.

කෙසේ හෝ මෙම පිරිසේ සහභාගීත්වයෙන් තොරව සැලසුම් කර තිබූ පරිදි හමුව පැවැත්විණි. මෙහිදී හමුවේ සංවිධායකයකු පැවසුවේ පක්ෂ නායකයන් 41ක් දෙනකු සිටින බව සහ ඔවුන්ගේ සහායකයන් සමග 51ක් දෙනෙකුට ආරාධනා කර ඇති බවත්ය. සහභාගී නොවූ පිරිස මේ සම්බන්ධව වැරදි වටහා ගැනීමක් ඇතිකරගෙන ඇති බවද ඔහු මෙහිදී කියා සිටියේය. මැයි දිනය සම්බන්ධවද මෙහි සාකච්ඡා විය. මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ඔයගොල්ලොත් එන්න අපිත් එක්ක මැයි දිනයට යැයි ශ්‍රීලනිපය අමතා කියා සිටියේය. මෛත්‍රීපාල සිරිසේන සහ නිමල් සිරිපාල ද සිල්වා යන ශ්‍රීලනිප නායකයෝ වෙනම මැයි රුලියක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව කියා සිටියහ. පොදුජන පෙරමුණ මැයි දිනය සම්බන්ධව තමන් සමඟ සාකච්ඡා නොකළ බවද ඔවුහු කීහ. මෙහිදී මහින්ද රාජපක්ෂ මහතා මහතා කීවේ පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් සමඟ සාකච්ඡා කරන ලෙසයි. ඒ අනුව ශ්‍රීලනිපය ඒ පිළිබඳ තීන්දුව පසුව දෙන බව කීවේය.

මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පිරිසට අවවාද කිහිපයක්ද ලබා දුන්නේය. ආණ්ඩුවේ පක්ෂ අතර විවේචන ඇති බවත් එම විවේචන පක්ෂ අතර සමගිය රුකගෙන සිදුකළ යුතු බවත් රාජපක්ෂ මහතා තදින් කියා සිටියේය. මෙම විවේචන හරහා ආණ්ඩුවට හානි සිදුවන බවද හෙතෙම කීය. මේ අතර පළාත් සභා ක්‍රමය පිළිබඳ විශේෂ ඉදිරිපත් කිරීම සිදුකළේ බැසිල් රාජපක්ෂ මහතා විසිනි. පසුගිය මැතිවරණ එකින් එක ගනිමින් ඔහු කියා සිටියේ නාමයෝජනා ලබාදීමේ ගැටලු හේතුවෙන් කොට්ඨාශයකට අපේක්ෂකයන් තිදෙනෙක් ඉදිරිපත් කරන බවයි. මෙහිදී මහින්ද රාජපක්ෂ මහතා මෛත්‍රීපාල සිරිසේන මහතාට කියා සිටියේ බැසිල් රාජපක්ෂ සමඟ නාමයෝජනා සම්බන්ධව සාකච්ඡා කරන ලෙසයි. මේ අතර කම්කරු කොංග්‍රසයේ නායක ජීවන් තොණ්ඩමන් කියා සිටියේ වතුකරයේ පක්ෂ වැඩි කැමැත්ත පැරණි මනාප ක්‍රමයට බවයි.

මේ අතර සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් රුස්වීමද ඉකුත් 19 වැනිදා පැවැත්විණි. මෙහිදී රන්ජන් රාමනායක මහතාට ජනාධිපති පොදු සමාවක් ප්‍රදානය කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇති බව විපක්ෂ නායකවරයා පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රුස්වීමේදී මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබේ. රන්ජන් රාමනායක මහතා විසින් සජිත් ප්‍රේමදාස මහතාගෙන් සිදුකළ ඉල්ලීමක් අනුව මෙම ඉල්ලීම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබේ. ඒ අනුව අදාළ ඉල්ලීම ලිඛිතව ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් පවසා ඇති බව කියැවේ. මේ වනවිට රන්ජන් රාමනායක මහතාගේ නීතීඥවරුන් ඒ සම්බන්ධව කටයුතු කරමින් සිටින බව පසුගියදා පාර්ලිමේන්තුවේදී සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා කියා සිටියේය.

මීට අමතර පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති මෙම හමුවේදී දීර්ඝව සාකච්ඡා කර ඇත්තේ කොළඹ වරාය නගර කොමිසම් සභා පනත සම්බන්ධයෙනි. ඒ සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් පැවැත්වීමටද යෝජනා වී තිබේ. එසේම ඒ සම්බන්ධව අධ්‍යයනය කිරීමේ වගකීමද පිරිසක් වෙත පවරා ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳන් කරයි. එසේම ආණ්ඩුවට විරුද්ධව කතාකරන ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කිරීමේ වැඩපිළිවෙළක්ද සැකසිය යුතු බව මෙම කණ්ඩායම් හමුවේදී යෝජනා වී තිබේ.

මෙදිනම සිංහල අවුරුද්දෙන් පසු පළමුවරට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමද රුස්විය. අරලියගහ මන්දිරයේදී පැවැති මෙම රුස්වීමට මන්ත්‍රීවරුන් 135ක් පමණ පිරිසක් සහභාගී වී සිටි බවද කියැවුණි. මෙහිදී රුපියල් පන්දහස ලබාදීම, ඉදිරි පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධව මෙන්ම පළාත් සභා ක්‍රමය පිළිබඳවද මෙහි සාකච්ඡා විය. මෙහිදී අලිසබ්‍රි, ගෙවිඳු කුමාරතුංග ඇතුළු පිරිසක් දේශපාලන පළිගැනීම් සම්බන්ධ වාර්තාව පිළිබඳ කතා කළෝය. ඒ වාර්තා ක්‍රියාත්මක කරන්න දඬුවමුත් දෙන්න. හැබැයි විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන වැඩේ කරන්න එපා. ඒක නරක පූර්වාදර්ශයක් යැයි ඔවුහු කීහ. එහිදී නාමල් රාජපක්ෂ මහතා කීවේ ආණ්ඩුව එසේ නොකරන බවයි. මහින්ද රාජපක්ෂ මහතා මේ සම්බන්ධව සාකච්ඡා කරන බවද පැවසීය. රුස්වීම අවසානයේදී රාත්‍රියේ භෝජනය සංග්‍රහයක්ද පැවැත්වුණි.

එක් අතකින් ඔබතුමිය අවුරුදු 17ක දූෂිත පක්ෂ පාලනයෙන් රට මුදවාගෙන අප පක්ෂය බලයට ගෙන ඒමට ක්‍රියාකළ අභීත නායිකාවකි. යැයිද ගෞරවයෙන් යුතුව සිහිපත් කරමින්, ලැබුවා වූ සිංහල හා දමිළ අලුත් අවුරුද්ද සුබ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරමින් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය වෙත ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර ලිපියක් යොමු කළේය. එය දීර්ඝ ලිපියක් වූ අතර සතියේ දේශපාලන කරළියේ සුවිශේෂී මාතෘකාවක් විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යළි එක්වන්නැයි එම පක්ෂයේ මහ ලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා මෙම ලිපියෙන් හිටපු ජනපතිනියගෙන් ඉල්ලීමක් කළේය. එසේම දැනට සිදුව තිබෙන්නේ ඔබතුමියට අප පක්ෂයේ නිල කටයුතු සඳහා ආරාධනා නොකිරීම පමණකි. එය මාගේ පෞද්ගලික තීරණයක් නොවන බවත් එය සියලු තනතුරුලාභීන්ටද අදාළ වන ලෙස මාධ්‍යම කාරක සභාව ගෙන ඇති තීරණයක් ක්‍රියාත්මක කිරීමක් පමණක් බවත් දැනුම් දෙමි. යැයිද ජයසේකර මහතා මේ ලිපියේ සඳහන් කර තිබුණි.
අප්‍රේල් 21 වැනිදා ජනාධිපතිවරයා සහ ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරුන් අතර විශේෂ හමුවක් පැවැත්විණි. එහිදී ජනාධිපතිවරයා අපූරු කතාවක් රාජ්‍ය අමාත්‍යවරුන්ට කියා තිබුණු බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. මේ ආණ්ඩුව හරියට ත්‍රීවීල් එකක් වගේ යැයි ජනපති කීවේය. එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ තමා ඉදිරිපස රෝදය නම් මහින්ද රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා ඉතිරි රෝද දෙක වන බවයි. මෙය යම් විහිළුවක් පරිද්දෙන් ජනාධිපතිවරයා පවසන විට අමාත්‍යවරු සිනහසුණහ. එවර ජනාධිපති තවත් කතාවක් කිවේය.

සමහරු ආණ්ඩුවේ අනාගතය ගැන එක එක අනාවැකි කියනවා. මම දේශපාලනයට සම්බන්ධ නොවුණත් මට ජනාධිපති වෙන්න අවස්ථාව ලැබුණේ මහින්ද අයියයි බැසිල් මල්ලියි නිසා. ඒ නිසා කවුරු හරි කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් රාජ්‍ය නායකත්වයට පත්වෙන්න මහින්ද වගේ අයිය කෙනෙකුයි බැසිල් වගේ මල්ලි කෙනෙකුයි හදාගන්න උත්සාහ කරන්න.

සිංහල අලුත් අවුරුද්දෙන් පසුව රුස්වූ පාර්ලිමේන්තුව මෙරට දේශපාලනය වෙනම අදියරකට රුගෙන ගියේය. එය පාර්ලිමේන්තු කාලගෝට්ටියකි. අප්‍රේල් 21 වැනිදා ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර ඇතිවූ මෙම උණුසුම් තත්ත්වයට හේතු වූයේ දේශපාලන පළිගැනීම් කොමිෂන් සභා වාර්තාව පිළිබඳ විවාදයේ පළමු කතාව සම්බන්ධ කරුණකි. විපක්ෂය ඉල්ලා සිටියේ එහි පළමු කතාව විපක්ෂයට ලබාදිය යුතු බවයි. එය ප්‍රතික්ෂේප කළ ආණ්ඩු පක්‍ෂය කියා සිටියේ ආණ්ඩු පක්ෂය විවාදය ආරම්භ කළ යුතු බවයි. මේ අතර පාස්කු ප‍්‍රහාරය එල්ල වූ දිනය හේතුවෙන් සමගි ජන බලවේග මන්ත‍්‍රීවරු සියලු දෙනා අද දිනයේ කළු පැහැ ඇඳුම් ඇඳ පැමිණ සිටියහ.

ආණ්ඩු පක්‍ෂයේ මන්ත‍්‍රීවරු පාස්කු ප‍්‍රහාරයෙන් මියගිය අයට සංවේගය පළකිරීම වෙනුවෙන් කළු පටි පැළඳ පැමිණ සිටියහ. පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කිරීමේදී අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා විශේෂ ප‍්‍රකාශයක් ද සිදු කළේය. සමගි ජන බලවේගයේ නායක විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු එම පක්‍ෂ මන්ත‍්‍රීවරුන් කළු පැහැති ඇඳුම්වලින් සැරසී සභා ගැබ වෙත පිවිසියේ එම ප‍්‍රකාශය අතරතුරය. අනතුරුව සභාවේ වැඩ කටයුතු ආරම්භ වන විට රීති ප්‍රශ්නයක් සමඟ මෙම ගැටුම ආරම්භ විය. වාග් ප්‍රහාර හුවමාරු වන අතරේ "මිනීමරුවෝ කළු ඇඳගෙන", “මිනිස්සු මරපු අය කළු ඇඳගෙන" වැනි විවිධ වැකි සඳහන් පෝස්ටර් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ප්‍රදර්ශනය කළහ.

තත්ත්වය උග්‍ර අතට හැරුණි. විපක්‍ෂය පැත්තේ පසුපෙළ ද ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රීවරුන්ද  විරෝධතා පුවරු ප්‍රදර්ශනයට ගියෙන් උණුසුම වැඩිවිය. එම සිදුවීම විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙක් විසින් සිය ජංගම දුරකථනවලින් වීඩියෝ කරන්නට වූහ. ඊට එරෙහිව ආණ්ඩු පක්‍ෂය දෙසින් පැමිණි ජානක තිස්ස කුට්ටිආරච්චි මන්ත‍්‍රීවරයා සහ ප‍්‍රසන්න රණවීර රාජ්‍ය ඇමැතිවරයා ඇතුළු පිරිසක් තවත් විරෝධතා පුළුල් කළහ. මේ අතර හරීන් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා ද ඉලක්ක විය. දෙපක්‍ෂයේම ඝෝෂාව මැද්දේ සභාව මැද පහරදීම් පවා සිදුවිය. ආණ්ඩුවේ පිරිසට මහින්දානන්ද අලුත්ගමගේ මහතා නායකත්වය ලබා දෙන බවක් පෙනී ගියේය. විපක්ෂයෙන් හරීන් ප්‍රනාන්දු මහතාගේ හැසිරීම කැපී පෙනුණි. සිද්ධිය වූ අවස්ථාවේදී අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා සභාගැබෙහි සිටි අතර ඔහු කිහිප දෙනකු සමඟ සභාවෙන් පිටව ගියේය. කතානායකවරයා පාර්ලිමේන්තුව විනාඩි 15කට පමණ කල් තැබුවේය.

පසුදා (22)  පාර්ලිමේන්තුවේ ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් හත් දෙනකුගෙන් යුත් කමිටුවක් පත් කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද නිවේදනය කළේය. ඒ අනුව රන්ජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් සත්පුද්ගල කමිටුවක් පත් කෙරිණි. ඇතැම් මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව කතානායකවරයා සිය කනගාටුව ප්‍රකාශ කළ අතර පරීක්ෂණයේ ප්‍රතිඵල මත පදනම්ව සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බවද සඳහන් කර සිටියේය. මෙදින දේශපාලන පළිගැනීම් කොමිෂන් සභා වාර්තාව පිළිබඳ විවාදය ආරම්භ විය. මේ අතර පාර්ලිමේන්තු සංකීර්ණයේ දී 22 වැනිදා පැවති විශේෂ සාකච්ඡාවක් පිළිබඳ දේශපාලන ආරංචි තහවුරු කළේය. එය ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සමඟ පැවැත්වූ හමුවකි. පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයේ පැවැති මෙම සාකච්ජාවට පසුපෙළ මන්ත්‍රීවරුන් 25ක් පමණ සහභාගී වී තිබේ. කෙසේ වෙතත් මෙම සාකච්ඡාවට ආණ්ඩුවේම පිරිස් තිරය පිටුපස විවිධ අර්ථකථන ගෙනෙන්නට වූහ.

හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් හරීන් ප්‍රනාන්දු මහතා  රෝහල්ගත කළ පුවත ද මේ අතර වාර්තා විය. හරීන් ප්‍රනාන්දු මහතාගේ දුක සැප විමසා බැලීම සඳහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ගිය බව කියවුණි. කෙසේවෙතත් එදින උදෑසන ඒ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙස දැනුම් දී ඇති අතර ඒ සදහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර ඇති බවද දැනගන්නට ලැබුණි. 

මේ අතර පාර්ලිමේන්තු දී මන්ත්‍රී ඩයනා ගමගේ සිදු කළ ප්‍රකාශයක් ද සතියේ කරළියේ මාතෘකා අතර විය. මෙරට විදේශ ණය ගෙවීම සඳහා කංසා වගාව රාජ්‍ය අනුග්‍රයෙන් ආරම්භ කළ යුතු බවත් මේ වන විටත් ලෝකයේ ඇතැම් රටවල් කංසා වගාව නීතිගත කර ඇති බවත් ඇය කීවාය. එතැනින් නොනැවතුණු ඇය තවත් අන්දෝලනාත්මක ප්‍රකාශයක් කළාය. ශ්‍රී ලංකාව යනු සංචාරක පාරාදීසයක්. එමෙන්ම උදේ 10 සිට රාත්‍රී 10 දක්වා සුරා සල් විවෘත කළ යුතු යැයි මා යෝජනා කරනවා. අද රටේ ජනතාවට දවස තිස්සේ හම්බ කරන මුදල් වියදම් කිරීමට අවස්ථාවක් නැහැ. ඒ නිසා රාත්‍රී ආර්ථිකය නැමැති සංකල්පය හඳුන්වා දිය යුතුයි. මේවා රට ගොඩ දාගන්න පුළුවන් ක්‍රම බව කිව යුතුයි" මෙම ප්‍රකාශය සම්බන්ධව විශාල සංවාදයක් සමාජ මාධ්‍ය කේන්ද්‍රය කර ගනිමින් නිර්මාණය විය.

මේ අතර රෑ රුජන කිරුළේ කතාව දේශපාලනයට ඈඳිණි. මින් ඉදිරියට ජාතික මට්ටමින් පැවැත්වෙන රූ රැජන තරග ආණ්ඩුවේ නියාමනය මත සිදුකිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇති බව කාන්තා කටයුතු විෂය භාර අමාත්‍ය පියල් නිශාන්ත මහතා කීවේය. මින් මතුවට මෙවැනි තරග සඳහා "ශ්‍රී ලංකා" නාමය පාවිච්චි කරන්නේ නම් ඒ පිළිබඳව නියාමනය කිරීමට මෙන්ම පසු විපරමක් කිරීමට කටයුතු කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. රූ රැජන තරගයේ සිදුවීම නිසා ලැබුණු කිරුළත් නැති වී රටත් අපකීර්තියට පත්වූ බව ඔහු කියා සිටියේය. සිය අමාත්‍යාංශය මේ විෂය සම්බන්ධයෙන් දැනුමක් ඇති පෞද්ගලික සංවිධාන සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

සති අන්තය වන විට කොවිඩ් තත්ත්වය උග්‍රවෙමින් පැවතියෙන් ජනාධිපති ප්‍රමුඛ බලධාරීන්ගේ අවධානය ඊට යොමුවී තිබුණි. ඒ අතර ඉකුත් 19 වැනිදා පැවැති පක්ෂ නායක රුස්වීමට පක්ෂ නායකයන් නොවන විශාල පිරිසකට ආරාධනා කර තිබීම හේතුවෙන් නොපැමිණි විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන්ද ඇතුළත් පක්ෂ නායක රුස්වීමක් මැයි හතර වැනිදා පැවැත්වීමට ආණ්ඩුවේ නායකයන් තීරණය කර ඇති බව කියවුණි.

 චමිඳු නිසල් ද සිල්වා