2021 මාර්තු 20 වන සෙනසුරාදා

රවීගේ බිරිඳට අගමැති දුන් පිළිතුර

 2021 මාර්තු 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1022

  • ජනපතිගේ චෝදනාවට ගම්මන්පිලගෙන් පිළිතුරක්
  • මීළඟ ජනපති සජබෙන්  සජිත්
  • ඇමැති බන්දුලගෙන් ප්‍රඥාබන්දු ශිෂ්‍යත්ව
  • පළාත් සභා ඡන්දයට රජය සූදානම් වෙයි
  • ප්‍රසන්නගේ කතාවට අගමැතිගෙන් තල්ලුවක්
  • රටම අසා සිටි අර්ජුනගේ කතාව

සතියේ දේශපාලන කරළියේ විවිධ දේශපාලන ජවනිකා රැසක් රඟදැක්වුණි. අත්අඩංගුවට ගැනීම්, පක්ෂ කණ්ඩායම් රැස්වීම්, නඩුහබ ආදී මාතෘකා රැසක් විය. බැඳුම්කරය මෙන්ම සීනි බදු කතාව කාගේත් අවධානයට ලක්විය.

බැඳුම්කර චෝදනාව මුල්කරගෙන හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ලබන 23 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට කොළඹ මහාධිකරණය බදාදා (17) නියෝග කරනු ලැබීය. එම චෝදනාවට අදාළව තවත් සැකකරුවන් අට දෙනකුද රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණි. මෙම සිදුවීම කාගේත් අවධානය දිනා ගත්තේය. 

රවී අත්අඩංගුවට ගැනීම සමඟ සිදුවූ විශේෂිත සිදුවීමක් දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබුණි. මෙම අත්අඩංගුවට ගැනීමත් සමඟ රවී කරුණානායකගේ බිරිඳ මෙලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇමතුවාය. ඇය අග්‍රාමාත්‍යවරයා අමතා තිබුණේ ඉතා කනස්සලකිනි. මගේ මහත්තයා අසාධාරණ විදිහට අත්අඩංගුවට ගත්තා. සර්ට මොනවත් කරන්න බැරිද? යනුවෙන් ඇය විමසා තිබිණි. එවිට මහින්ද රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගත්තේ කුමන හේතුවක් මතදැයි අසා සිටියේය. එවිට බැඳුම්කර සිදුවීමට බව රවී කරුණානායකගේ බිරිය කියා තිබිණි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඒ අනුව ඇයට ලබා දී ඇත්තේ විශේෂ පිළිතුරකි. "මට කියන්න තියෙන්නේ බොහොම කනගාටුයි කියලා විතරයි" දේශපාලන ආරංචි මාර්ග අනුව අග්‍රාමාත්‍යවරයා කියා ඇත්තේ එසේය.

මේ අතර රවී අත්අඩංගුවට ගත්තේ පළාත් සභා ඡන්දය ළඟ එන නිසා යැයි විපක්ෂයේ ඇතැම්හු චෝදනා කරන්නට වූහ. එම නිසාම මාධ්‍ය ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගෙන් මේ පිළිබඳ විමසුවේය. අමාත්‍ය ජොන්ස්ටන් ඊට පිළිතුරු බඳින්නට ඉදිරිපත් විය. "පාර්ලිමේන්තුව ඇතුළෙ ප්‍රේමදාස මහත්තයා කිව්වෙ ඔය කිව්වට කවුරුත් අත්අඩංගුවට ගන්නෙ නැහැ කියලා. ගත්තට පස්සෙ කියනවා පළාත් සභා මැතිවරණය ළග නිසා දේශපාලන පළිගැනීම්වලට ගන්නවා කියලා. මේ විපක්ෂයේ හිටපු හොරු ටික දෙබඩි පිළිවෙතක් ගෙනියන්නෙ. පරණ හොරු ටිකමයි ඉන්නෙ. විපක්ෂ නායකයාටත් කොමිසමෙන් නඩු දාන්න කියලා තියෙන්නෙ. දැන් ඒ කොමිසම් වාර්තාව පාර්ලිමේන්තුවට එවලා තියෙන්නෙ. ඉතින් මේක අලුත් දෙයක් නෙවෙයි. රටේ ජනතාව ගොනාට අන්දවන විපක්ෂයක් අද ඉන්නෙ." ඔහු පැවසීය.

මේ අතර අමාත්‍ය බන්දුල ගුණවර්ධන අලුත් වැඩකට අත ගැසුවේය. ප‍්‍රඥාබන්දු නමින් ශිෂ්‍යත්ව අරමුදලක් අඩු ආදායම්ලාභී දරුවන් වෙනුවෙන් ඇරඹීමට ඔහු කටයුතු කළේය. මෙහි සමාරම්භක උත්සවයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වීම විශේෂිත විය. අමාත්‍යවරයා රුපියල් මිලියන දහයක මුදලක් යොදා ඇරඹූ ශිෂ්‍යත්ව අරමුදල පිළිබඳ රනිල් මහින්ද සුසංයෝගය ප්‍රශංසා කළහ. සිද්ධාලේප සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා ඒ මොහොතේ මෙම වැඩසටහනට රුපියල් දස ලක්ෂයක් පරිත්‍යාග කළේය. එසේම සමාරම්භක අවස්ථාවේදීම පෞද්ගලික ආයතන සහ දානපතීන් රුපියල් ලක්ෂ 150ක මුදලක් පරිත්‍යාග කළ බව කියැවිණි. ඒ අනුව මෙම සිදුවීම දේශපාලන කරළියේ කතාබහට ලක්විය.

අඟහරුවාදා ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීමක් පැවතිණි. ඒ පිළිබඳ විශාල අවධානයක් දේශපාලන කරළියෙන් මතු විය. විමල් වීරවංශ කළ කතා සම්බන්ධව ප්‍රශ්න කිරීමට සහ වීරවංශට පෝරියල් එකක් දීමට මෙම පක්ෂ නායක රැස්වීම කැඳවා ඇති බව ඇතැම්හු කියන්නට වූහ. උදෑසන ඇතැම් දේශපාලනඥයන් මාධ්‍යවේදීන් අමතා කියා තිබුණේ හැන්ඳෑවට ගිනිකෙළි සංදර්ශනයක් බලා ගත හැකි බවය. ආරවුල් සමතයකට පත් කිරීමේ විශේෂඥයකු වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ද මෙය දැනගන්නට ලැබුණෙන් හෙතෙම ඒ වෙනුවෙන් විවිධ දෑ කරමින් සිටියේය. ප්‍රශ්නය ගොඩින් බේරාගැනීම මහින්ද රාජපක්ෂ මහතාගේ අභිප්‍රාය වී තිබිණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීම ආරම්භ විය. කතාව ආරම්භ කළේ අමාත්‍ය ප්‍රසන්න රණතුංගය. "දේශපාලන පක්ෂ ගණනාවක් එකතුවෙලා අපි ආණ්ඩුව හදලා තියෙන්නේ. මේකේ විවිධ පක්ෂවල ඇමැතිවරුන් ඉන්නවා. හැබැයි එක එක්කෙනා එක එක වෙලාවට එක එක ඒවා කියන්න පටන් ගන්නවා. තමන්ගේ මත ප්‍රකාශ කරනවා. එහෙම ආණ්ඩුවක් කරගෙන යන්න බෑ. අපි ඇමැතිවරු හැටියට එක මතයක් කියන්න ඕනෑ. කැබිනට් එක ඇතුළේ තමන්ගේ මත කියන්න පුළුවන්. තක්කඩි දේශපාලනඥයෝ මුස්ලිම් මිනිස්සුන්ගේ සහාය ගන්න එක එක ඒවා ක්‍රියාත්මක කරනවා වගේ ප්‍රකාශ සිදුවෙලා තියෙනවා. ඒවායින් ආණ්ඩුවට වෙන්නේ හානියක්. ප්‍රශ්නයක් තියෙනවා නම් ඇතුළේ විසඳගන්න ඕනෑ." 

ප්‍රසන්න රණතුංගගේ ප්‍රකාශය සිතූ තරම් බරපතළ නොවීය. එහි පොඩි සුදු කොඩි එසවීමක් ද වූවා වැනිය. එවිට මහින්ද රාජපක්ෂ මහතා කතා කරන්නට විය. "ඔව් ඔව් මේක අපි මහන්සිවෙලා ඔක්කොම එකතුවෙලා හදාගත්ත ආණ්ඩුව. ඇතුළේ ප්‍රශ්නය ඇතුළේ කතා කරලා විසඳගමු. ප්‍රශ්නයක් නෑනෙ. උදව් කරන්න ජනාධිපතිතුමා ඉන්නවා මම ඉන්නවා." ආදී වශයෙන් සමගියේ අගය පහදන්නට විය. මේ අතර මෙම ආරවුල පිළිබඳ නොතැකූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කතාව වෙනත් තැනකට ගෙන  ගියේය. "අපේ බුද්ධි අංශ ප්‍රධානියාට තැන් තැන්වල විපක්ෂ මන්ත්‍රීවරු ඇටෑක් කරනවා. පහර දෙනවා. ප්‍රකාශ නිකුත් කරනවා. එයා මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි කියලා." මේ කතාබහ ඇතිවූයේ රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලෙයි මහතා පිළිබඳවය. ජනාධිපති මේ බව කියා සිටියේ මෙම ප්‍රහාර එල්ල වන විට ඔහුට එල්ල වන මෙම චෝදනාවලට එරෙහිව ආණ්ඩුවේ කිසිවකු උත්තර නොදෙන බවයි. ජනපති මේ බව කීවේ චෝදනා මුඛයෙනි. නිර්දෝෂී නිලධාරීන්ව ආරක්ෂා කළ යුතු බව ජනපති පක්ෂ නායකයන්ට කියා සිටියේය.

ජනාධිපතිවරයාගේ චෝදනා හමුවේ අමාත්‍ය උදය ගම්මන්පිල කීවේ තමා පාර්ලිමේන්තුවේදීත් පිටතදීත් මෙම චෝදනාවලට පිළිතුරු ලබා දුන් බවයි. මං නිසි පිළිතුරු ලබා දුන්නා ජනාධිපතිතුමා. ඒත් මාධ්‍යවල හරියට හයිලයිට් වුණේ නෑ. ඔහු පවසා තිබුණි. අවසානයේ පිරිස එකතු වී රජයේ මාධ්‍යවලට දොස් පැවරෑහ. අඩුම තරමේ ඔවුන් හෝ මෙවන් දෑ වාර්තා කළ යුතු බව පිරිස කීහ. අනතුරුව ජනාධිපති, අගමැති, බැසිල් රාජපක්ෂ ඇතුළු සැවොම පළාත් සභා ඡන්දය පිළිබඳ කතා කරන්නට වූහ. පළාත් සභා ඡන්දය තියෙනවා නම් හැකි ඉක්මනින් පනත සංශෝධනය කර මැතිවරණ පැවැත්විය යුතු බව සියල්ලෝම පාහේ කීහ.

එහෙත් දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාල යන අමාත්‍යවරු නව ක්‍රමයට ඡන්දය පැවැත්වීම සුදුසු බව කීහ. ඔවුහු මිශ්‍ර ක්‍රමය අගය කළහ. නමුත් අවුරුදු හතරක් පමණ ප්‍රමාද වූ පළාත් සභා තවත් ප්‍රමාද කිරීම නුසුදුසු බවත්, පරණ ක්‍රමයට හෝ ඉක්මනින් මැතිවරණ පැවැත්විය යුතු බවත් සෙසු පිරිස කියන්නට වූහ. අමාත්‍ය විමල් වීරවංශ කීවේ නව ක්‍රමය සකසන තුරු පැරුණි ක්‍රමයට පළාත් සභා පැවැත්වීම සුදුසු බවය. එය ද බහුතරය පිළිගත්හ. ඒ අනුව මේ සම්බන්ධව කමිටුවක් පත් කළ යුතු බව අවසානයේ තීරණය කළේය. එහෙත් කමිටුව පත්කිරීම මෙදින සිදු නොවිණි.  ඒ අතර පළාත් විෂය භාර අමාත්‍ය රොෂාන් රණසිංහ හට වගකීමක් පැවරුණි. දැනට පවතික ක්‍රම පිළිබඳ අධ්‍යයනය කර අග්‍රාමාත්‍යවරයාට කෙටි වාර්තාවක් ලබාදීම ඔහුට පැවරුණු වගකීම විය.

සමගි ජන බලවේගයේ පළමු සංවත්සර උත්සවය සඳුදා  (15) පස්වරුවේ කොළඹ හයිඩ් පාක් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ඒ සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි. අභියෝග ජයගන්න එකට සිටගමු යන තේමාවෙන් සැමරුම සංවිධානය විය. නායක සජිත් ප්‍රේමදාස මහතා සංවත්සර උළෙල අමතමින් සඳහන් කළේ ශ්‍රී ලංකා‍වේ මීළඟ විධායක ජනාධිපතිවරයා බිහි කරන්නේ තම පක්ෂයෙන් බවයි.

“ඊළඟ ජනාධිපතිවරණයෙන් පොදුජන දුක හඳුනන මේ රටේ ලක්ෂ දෙසීය විස්සක් වූ ජනතාවට ශක්තිය ලබා දෙන පොදුජන ජනාධිපතිවරයෙක් සමඟ පොදුජන ආණ්ඩුවක් නිර්මාණය කිරීමට සමත් වෙනවා කියලා මම කියන්න කැමතියි. සමගි ජන බලවේගයට එල්ලවෙන හැම බාධාවක්ම ගල්මුල් ප්‍රහාරයක්ම අපේ ගමන ශක්තිමත් කරනවා."

ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක කුසලානය දිනා වසර 25ක් සපිරීම නිමිත්තෙන් ක්‍රිකට් විරුවන් ඇගයීම සඳහා අරලියගහ මන්දිරයේ දී පැවති ලෝක කුසලාන විජයග්‍රහණයේ 25 වැනි ජාතික සැමරුම කාගේත් අවධානය දිනා ගත්තේය. එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග සිදු කළ ප්‍රකාශ පිළිබඳ කාගේත් අවධානය යොමුවිය. අතීතයේ තිබූ සාමූහික හැඟීම වර්තමානයට ගෙන ආවොත් අපට නැවත වතාවක් ලෝක කුසලාන ජයග්‍රහණයක් ලබාගැනීමට හැකි බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

අර්ජුන රණතුංග මහතා කියා සිටියේ එම ජාතික උත්සවයට පැමිණෙන විට එහි  සිටි ඇතැම් අය දුටු විට හැරී යාමට සිතුණු බවය. ක්‍රිකට් ක්‍රීඩාවේ වර්තමානය ගැන කතා කළ හිටපු ක්‍රිකට් නායකයා ක්‍රීඩකයන් නොව පරිපාලනය අද වන විට වාර්තා තබමින් සිටින බව කීවේය. ඒ අතර දේශීය පුහුණුකරුවන් සහ පැරණි ක්‍රීඩකයන්ට වන අසාධාරණකම් පිළිබඳව ද කතා කළේය. මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාව මහින්ද අයියා නමින් ඇමතූ අර්ජුන රණතුංග ක්‍රිකට් ක්‍රීඩාව ජනප්‍රිය නොවූ කාලයේ පටන් මහින්ද අයියා ක්‍රිකට් ක්‍රීඩාවට දිරිදුන් බව කියමින් ඔහුට ස්තූතිවන්ත විය. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියටද ආරාධනා කර තිබුණද ඇය නොපැමිණියාය. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාටද මේ සඳහා සහභාගි වීමට නොහැකි විය.

මේ අතර ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් බදාදා (17) ඊජිප්තු ජනාධිපති අබ්දල් ෆාටා අල් සිසී මහතා හට දුරකතන ඇමැතුමක් ලබා දී ඇති බව වාර්තා විය. මෙහිදී පවතින කොරෝනා වසංගත තත්ත්වය පිළිබඳවත්, දෙරට අතර සබඳතා ශක්තිමත් කරගැනීම පිළිබඳවත් සාකච්ඡා වී ඇති බව කියැවේ. එමෙන්ම ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සම්බන්ධයෙන්ද ජනාධිපතිවරුන් දෙදෙනා අතර අදහස් හුවමාරු වී ඇති බව දැනගන්නට ලැබේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ලංකාවට පැමිණි අවස්ථාවේ දී සිදු කළ ඉල්ලීමක් අනුව පූජා වස්තුවක් ඉන්දියාව බලා යැවීම සම්බන්ධව විශේෂ සිදුවීමක් පසුගියදා සිදු විය. ඉන්දියාවේ ඉදි කරන රාමන් කෝවිලක් වෙනුවෙන් නුවරඑළියේ සීතා අම්මාන් කොවිලෙන් මුල්ගල සඳහා පාෂාණ ලබා දෙන මෙන් ශ්‍රී ලංකා ජනපතිගෙන් ඉන්දියාව ඉල්ලා තිබුණි. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් ද මෙරට පැමිණි විට මෙම ඉල්ලීම සිදු කළේය.

ඒ අනුව මෙම පාෂාණය නුවරඑළියේ සිට කොළඹ මයුරපති කෝවිලට ගෙනැවිත් පේ කර පසුගිය බ්‍රහස්පතින්දා ඉන්දියාවේ මහකොමසාරිස් ලෙස සේවයට පිටත්ව යන මිලින්ද මොරගොඩ මහතාට බාරදීම සිදු විය. මේ අවස්ථාවට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා මෙන්ම නුවරඑළිය සීතා අම්මාන් කෝවිලේ බාරකරු වන පාර්ලිමේන්තු මන්ත්‍රී රාධා ක්‍රිෂ්ණා මහතා ඇතුළු පිරිසක්ද සහභාගි වූහ. ඒ අනුව මොරගොඩ මහතා මෙම පූජනීය පාෂාණ ඉන්දියාවට රුගෙන ගොස් අගමැති නරේන්ද්‍ර මෝදි මහතාට බාර දෙනු ඇත.

මේ අතර ගෙවුණු සතියේ ඇමැතිවරුන් හා රාජ්‍ය ඇමැතිවරුන්  දස දෙනකු ඇමැතිවරුන් හැටියට ලැබුණු රජයේ නිල නිවාසවල පදිංචිව සිටින අතර මාදිවල මන්ත්‍රී නිල නිවාස ද පාවිච්චි කරන බවට  පුවතක් වාර්තා විය. ඒ අතරේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඇමැතිවරුන් හැටියට ලැබුණු රජයේ නිල නිවාසවල පදිංචිව සිටිමින් මාදිවෙල මන්ත්‍රී නිල නිවාස ද භාවිත කරන ඇමැතිවරයකු හා රාජ්‍ය ඇමැතිවරුන් දෙදෙනකු මන්ත්‍රී නිල නිවාසවලින් හැකි ඉක්මණින් ඉවත්වන බව පාර්ලිමේන්තු නිලධාරීන්ට දැනුම් දී ඇති බවයි. කෙසේ වෙතත් සෙසු පිරිස ද ඉවත්ව යන තුරු පාර්ලිමේන්තු නිලධාරීහු බලා සිටිති.

පසුගිය මහමැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කළ අපේක්ෂකයන්ට සහයෝගය නොදුන් එම පක්ෂය පළාත් පාලන මන්ත්‍රීවරුන්ට එරෙහිව කටයුතු කරන බව ශ්‍රීලනිපය සඳහන් කළේය. ඒ අනුව කළුතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන් 22 දෙනකුට එරෙහිව විනය විරෝධී කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා විසින් චෝදනා පත්‍ර ලබා දී ඇති බව වාර්තා විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කළුතර ආසන සංවිධායක සුමිත් ලාල් මෙන්දිස් මහතා සඳහන් කර තිබුණේ පසුගිය මහ මැතිවරණයේදී පක්ෂයේ තීරණවලට පටහැණිව විනය විරෝධී ලෙස කටයුතු කිරීම හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අත ලකුණ යටතේ තරග කළ අපේක්ෂකයන් සහ සංවිධායකවරුන් සමඟ සහයෝගයෙන් කටයුතු නොකිරීම සම්බන්ධව මෙලෙස චෝදනා ගොනු කර ඇති බවය.

විමල් වීරවංශ මහතාගේ මැදිහත්වීම මත හඳුන්වා දුන් කුරුඳු සිගරුට්ටුව පිළිබඳව මාධ්‍ය හමුවක දී වීරවංශ මහතා සිගරැට්ටුවක් කටේ ගසාගැනීම පිළිබඳව ද ගෙවුණු සතියේ අන්දෝලනයක් ඇතිවිය. ඇමැතිවරුන්ට ව්‍යාපාරිකයන්ගේ හිතුමනාපයට ආදේශක නිපදවා හඳුන්වා දීමට ඉඩ තැබිය නොහැකි බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මේ පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේය. මෙම යෝජනාව තමා සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කරන සමයේදී ඉදිරිපත් වූ බවත්, තමාට ඒ පිළිබඳව පූර්ණ අවබෝධයක් නොමැති බැවින් එම යෝජනාව දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපතිට යොමු කළ බවත් ඔහු කියා සිටියේය. 

මේ අතර ආණ්ඩුවේ පසුපසින් මතුවන වීරවංශ විරෝධය තවත් උග්‍ර විය. ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් යැයි කියාගන්නා කිහිප දෙනකු තනතුරු, වරදාන බලාපොරොත්තුවෙන් යම් විකෘති අදහස් පළ කිරීමක් සිදු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා සඳහන් කළේය. එම පසුපෙළ මන්ත්‍රීවරුන් යැයි කියාගන්නා පිරිසගෙන් ඇතැමුන් පසුගිය යහපාලන ආණ්ඩු කාලයේ මහින්ද රාජපක්ෂ මහතා පාවා දී යහපාලනයේ ඇමැතිකම් දැරෑ අය බවද ඔහු සඳහන් කළේය. 

සිකුරාදා අලුයම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍යතාන්ත්‍රික නිල සංචාරයක් සඳහා බංග්ලාදේශය බලා පිටත්ව ගියේය. ඒ බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මියගේ ආරාධනයකට අනුවය. අග්‍රාමාත්‍යවරයා සමඟ පිටත්ව ගිය දූත පිරිසට අජිත් නිවාඩ් කබ්රාල්, දයාසිරි ජයසේකර වැනි අමාත්‍යවරුන් ද අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ. මෙම සංචාරයේ දී බංග්ලාදේශ නිදහස් වර්ණ ජයන්තියට ද මහින්ද රාජපක්ෂ මහතා සභභාගී වීමට නියමිතය. එහි සමාරම්භක උත්සවයේ මුලසුනේ දෙසුම මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදු කෙරේ. එසේම කෘෂිකර්ම, කාර්මික, අධ්‍යාපන, සෞඛ්‍ය ආදී ක්ෂේත්‍ර සම්බන්ධව ද්විපාර්ශ්වීය සාකච්ඡා සිදුවීමට නියමිතය.

 චමිඳු නිසල්