2021 මාර්තු 06 වන සෙනසුරාදා

ජනාධිපති වයස ගැන කියූ කතාව

 2021 මාර්තු 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 569

  • පාස්කු වාර්තා දෙබරය ඇවිස්සෙයි
  • පළාත් සභා ඡන්දය: ආණ්ඩුව වැට උඩ
  • බැසිල්ගේ රැස්වීමේදී දොළවත්ත උණුවතුරට
  • රනිල්ගේ පාර්ලිමේන්තු තීන්දුව
  • සජබෙන් පොදු අපේක්ෂකයෝ නෑ - සජිත්
  • ඉරණතිව් තීන්දුවට හකීම්ගෙන් රජයට දොස්
  • චම්පිකට එරෙහිව මහාධිකරණයෙන් අධි චෝදනා

සකලවිධ සමාජ දේශපාලන සිදුවීම්වලින් කම්පිත සතියක් ගෙවීය. වේල්ලවීදියේ ඝාතනය විසින් ඇතිකළ කම්පනය යම්තරමකට හෝ පරයා යාමට සමවූයේ පාස්කු කොමිසම පිළිබඳ දේශපාලන අන්දෝලනයට පමණි. කෙසේ නමුත් ලාංකීය දේශපාලන කරළියේ මෙන්ම තිරය පිටුපස සුපුරුදු පරිදි බොහෝ දෑ සිදුවිය.

ගෙවුණු සතියේ කරළියට ආ අලුත්ම මාතෘකාව වූයේ පළාත් සභා මැතිවරණයයි. ජූනි මාසයේ පළාත් සභා පැවැත්විය යුතු බව ආණ්ඩුවේ පිරිසක් කියන්නට පටන්ගෙන තිබුණි. ඒ අනුව ජූනි මාසයේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව තුළ සූදානමක් තිබෙන බවට මාධ්‍යවල වාර්තාද පළවිය. කෙසේ නමුත් පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳව ආණ්ඩුවේ ප්‍රධානීන් යම් දෙගිඩියාවකින් පසුවෙන බවද දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ දැනගැනීමට ලැබුණි. පවතින දේශපාලන හා සෞඛ්‍ය වාතාවරණය තුළ එළැඹෙන ජූනි මස පළාත් සභා මැතිවරණය තැබීමෙන් අවාසියක් විය හැකි බවට මත පළවීම මේ හේතුව වූයේය. කෙසේ නමුත් ආණ්ඩු පක්ෂ නායකයන්ගේ හෝ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමකදී මේ පිළිබඳ සැලකිය යුතු ලෙස සාකච්ඡා වී නොතිබුණි.

පළාත් සභා කතාව කරළියට එනවිට විපක්ෂ පාර්ශ්වයෙන්ද කතා කිහිපයක් ඇසෙන්නට විය. එළඹෙන පළාත් සභා මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ කටයුතු කිරීමට තමන් කැමති බව සමගි ජන බලවේගය ප්‍රකාශ කළේය. තම පක්ෂය කටයුතු කරන්නේ වංචා හෝ දූෂණ චෝදනා නොමැති එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් සමඟ පමණක් බවද මෙහිදී සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා කීවේය. එසේම සජබ මන්ත්‍රීවරුන් සියලු දෙනාම හිටපු එජාප මන්ත්‍රීවරුන් බවත් සමගි ජන බලවේගයට එක්සත් ජාතික පක්ෂය සමඟ කිසිදු ගැටලුවක් නොමැති බවත් ඔහු පවසා තිබිණි.

මේ අතර පළාත් සභා පැවැත්වීම පිළිබඳ ජනාධිපති මැතිවරණ කොමිසම සමඟ සාකච්ඡා කිරීමට යන බවත් බොහෝවිට පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණ පැවැත්වෙනු ඇති බවත් මාධ්‍ය වාර්තා කළේය. එසේම ජනාධිපති පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරු කැඳවා ඇති බව මාධ්‍ය වාර්තා කළේය. කෙසේ නමුත් පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳව තීරණය ගත යුත්තේ කැබිනට් මණ්ඩලය බවත් එවැන්නක් කැබිනට් මණ්ඩලය තුළ කතා නොකළ බවත්  පවසා ඇති අමාත්‍ය උදය ගම්මන්පිල ඉංග්‍රීසී පුවත්පතක තිබූ පළාත් සභා මැතිවරණය ජූනි මාසයේ පවත්වන බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කළේය.

සමගි ජනබලවේගය තුළ සිය ආධිපත්‍යය තහවුරු කරගැනීමට කලක සිට සජිත් ප්‍රේමදාස මහතා දියත්කළ වැඩසටහන පසුගිය සතියේ සුවිශේෂී ස්ථානයක් කරා එළැඹියේය. මීළඟ ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂකයන් කිසිවකු ඉදිරිපත් කරන්නේ නැති බව සමගි ජනබලවේගය නායක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා දැරණියගලදී සඳහන් කළේය. පොදු අපේක්ෂකයන් ජනාධිපතිවරණයේදී යොදාගැනීම හේතුවෙන් ඉතිහාසයේ අත්විඳින ලද තත්ත්වයක් නැවත සිදුනොවන බවද ඔහු පැවසීය. එසේම මේ රජයට අභියෝග කිරීමට සිටින එකම අපේක්ෂකයා තමා බවද ඔහු කීවේය.

මෙම ප්‍රකාශ සුවිශේෂී කොට දැක්වීමට සජිත් - පාඨලී මත ගැටුමක් පිළිබඳ වූ දේශපාලන ආරංචියද හේතුවිය. පාඨලීගේ තනි ගමන පිළිබඳ සමගියේ සජිත් ප්‍රේමදාස ඇතුළු බොහෝදෙනෙකු සිටින්නේ නොරිස්සුම් සිතිනි. පාඨලී චම්පික ජනාධිපතිවරණය ඉලක්ක කොටගෙන වැඩකරන බවට ඇති ආරංචි ඊට හේතුව විය. විශේෂයෙන්ම පාඨලී චම්පික රණවක මහතා පොරොන්දු වූ පරිදි මෙතෙක් සමගි ජනබලවේගයේ සාමාජිකත්වය ලබා නොගැනීමේ මත ගැටුමක්ද නිර්මාණය විය. එසේම පාඨලී නිර්මාණය කළ 43 සේනාංකය, අර්බුදය වර්ධනය වීමට හේතු වී ඇත. ලැබී ඇති තොරතුරු අනුව 43 සේනාංකයද සමගි ජනබලවේගයට අනුයුක්තව සංවිධානය කිරීම සඳහා රණවක මහතාටද සමගි ජනබලවේගයේ සාමාජිකත්වය ගන්නා මෙන් සජිත් ප්‍රේමදාස මහතා කිහිපවිටක්ම ඔහුට ආරාධනා කර තිබේ. එහෙත් මේ වනතුරු රණවක මහතාගෙන් සුභවාදී ප්‍රතිචාර ලැබී නොමැත. ඒ අනුව වර්තමාන මත ගැටුම නිරාකරණයට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනෙකු මුල් වී කටයුතු කරන බවද එම ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබේ.

බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොළවත්ත මහතා හට විරෝධයක් එල්ල වී ඇතැයි දැනගන්නට ලැබේ. මෙම විරෝධතාවය එල්ල වී තිබෙන්නේ විහාර දේවාලගම් පනත අහෝසි කිරීමට අධිකරණ ඇමැති අලි සබ්‍රි මහතා කටයුතු කරන බවට ඔහු කළා යැයි කියන ප්‍රකාශයක් සම්බන්ධවය. අලි සබ්‍රි මහතාගේ ප්‍රශ්නවලට කට නොදමන දොළවත්ත හට පසුපෙළ මන්ත්‍රීවරුන් කියා තිබේ. විරෝධය බරපතළ වනවිට මෙහි සිටි ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා විරෝධතාවය සමනය කොට ඔහුව ඉන් මුදවාගෙන ඇති බව කියැවේ. කෙසේ වෙතත් එම රැස්වීම ආරම්භයේදීම බැසිල් රාජපක්ෂ මහතාද අවධාරණය කොට තිබෙන්නේ ආණ්ඩුව තුළ සිටිමින්ම ආණ්ඩුව විවේචනය නොකළ යුතු බවය.

මේ අතර  රාජපක්ෂ පවුලේ හිතවතකු ලෙස හැඳින්වෙන රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග විසින් බැසිල් රාජපක්ෂ මහතා සිදුකළ බව කියන ප්‍රකාශයක් සිය මුහුණු පොතේ සටහන් කර තිබුණි. මෙය බැසිල් - විමල් ගැටුමේ ප්‍රතිඵලයක් බව බොහෝදෙනා සඳහන් කළහ. &මේක අපි අමාරුවෙන් හදපු ආණ්ඩුව. හැබැයි මම එකක් කියනවා. මේ සැරේ ගල් ලෙන බිඳලා එළියට ගිහින් කවුරුහරි මේ ආණ්ඩුව විනාශ කරනවා නම් අපි ඒකට ඉඩ තියන්නේ නැහැ. මේ සැරේ ගල්ලෙන බිඳගෙන එළියට යනකම් අපි බලන් ඉන්නෙත් නැහැ. එහෙම නම් ඊට කලින් අපි ඒ අයව එලවල දානවා....

කොරෝනා මෘතදේහ භූමදාන අවසරයද නැවතත් අවුලක් බවට පරිවර්තනය වන ආකාරය ගෙවුණු සතියේ පෙනෙන්නට තිබුණි. භූමදානය සඳහා තෝරාගත් එක් ස්ථානයක් වන ඉරණතිව් දූපතේ වැසියෝ බදාදා (3) විරෝධතාවක්ද සිදුකළහ. ඒ අනුව ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් කීවේ රජය ඉරණතිව් දූපතේ කොරෝනා මෘතදේහ භූමදානය කිරීමට ගත් තීරණය දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන් එකිනෙකාට එරෙහි කිරීම සඳහා වූ ක්‍රියාමාර්ගයක් බවයි. එය කොවිඩ් ආසාදිත මෘතදේහ භූමදානයට ගත් තීරණය යටපත් කිරීමේ උත්සාහයක් බවද ඔහු පෙන්වා දෙන ලදී. ඒ අතර දෙමළ දේශපාලන පක්ෂ සහ නායකයෝද මෙම ප්‍රශ්නයට මැදිහත් වී සිටිති. කෙසේ වෙතත් මෙම විරෝධතා මැද භූමදානය සඳහා රජය වෙනත් ස්ථානයක් තෝරා ගැනීමට නියමිත බව කියවේ. ඒ අනුව බොහෝ විට ඉරණතිව් වෙනුවට ඔට්ටමාවඩි සහ ඉරක්කමම් යන ප්‍රදේශ තෝරා ගනු ඇතැයි කියවේ.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය කොවිඩ් සිරුර භූමදානයට අදාළ මාර්ගෝපදේශද නිකුත් කළේය. ඒ අනුව එම මළසිරුරු සම්බන්ධ ආගමික කටයුතු මියගිය පුද්ගලයන්ගේ ඥාතීන්ගේ සහභාගීත්වයෙන් සිදුකිරීමෙන් පසු භූමදානය සඳහා යුද හමුදාව වෙත භාර දෙනු ලැබේ. එතැන් පටන් යුද හමුදාවේ පූර්ණ අධීක්ෂණය මත ඉරණතිව් දූපත වෙත රැගෙන යෑම සිදුවන අතර භූමදානය සිදුවන්නේ මළසිරුරු කිහිපයක් එකතු වූ පසුය. එතෙක් එම මළසිරුරු ශීතාගාරවල තබයි. එසේම භූමදාන කටයුතු රජයේ වියදමින් සිදුකරනු ලබයි.

ගෙවුණු සතියේ දේශපාලන කරළියේ ප්‍රධාන නාටකය වූයේ පාස්කු වාර්තාවයි. අගරදගුරුතුමන් කළු ඉරිදාව ප්‍රකාශයට පත්කළ අතර සමගි ජනබලවේගය ඇතුළු බොහෝ පාර්ශ්ව ඊට සහයෝගය පළකළේය. එසේම වාර්තාවේ පිටපත් අගරදගුරුතුමන්ටද මල්වතු අස්ගිරි නාහිමිවරුන් වෙතද පිළිගැන්වීය. එම හිමිවරුද මෙම වාර්තා සම්බන්ධව විවේචන ඉදිරිපත් කරමින් කාදිනල්තුමන්හට සහාය පළ කළහ. තවද මෙම වර්තාව රාමඤ්ඤ සහ අමරපුර නිකායන්ට ලබා නොදීම සම්බන්ධයෙන් ඒකාබද්ධ නිවේදනයක් එම නිකායන් විසින් නිකුත් කරන ලදී. ආණ්ඩුව තම සංඝ සභා නොසලකා හැර ඇති බව එහි සඳහන් විය.

නීතිපතිවරයා වෙත යවනු ලැබූ වාර්තාවේ තවත් ඇමුණුම් අඩු බව නිවේදනය කොට තිබුණි. එසේම ශ්‍රීලනිපය දිගින් දිගටම වාර්තාව ප්‍රතික්ෂේප කළේය. ආණ්ඩුව එම වාර්තාවේ වගකීම නොගන්නා බව කියන්නට විය. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස බලයට පැමිණි පසු පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන්හට දැඩි දඬුවම් ලබාදෙන බව කියා සිටියේය. ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ අධ්‍යයනයට පත්කළ කැබිනට් අනුකමිටු වාර්තාව ලබන 15 වැනිදා ජනාධිපතිතුමාට භාරදීමට සැලසුම් කර ඇති බව කියැවුණි.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් බ්‍රහස්පතින්දා  (04) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම වාර්තාව සම්බන්ධව විශේෂිත තීරණයක් ගනු ලැබුවේය. ඒ අනුව කාරක සභා විසින් පාස්කු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ සොයාබැලූ ජනාධිපති කොමිෂන් සභා අවසන් වාර්තාව ලබන 10 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට තීරණය කර තිබේ. රජය විසින් ගෙන එනු ලබන සභාව කල් තැබීමේ යෝජනාවක් ලෙස විවාදය සිදුවනු ඇත.
මේ අතර දේශපාලන පළිගැනීම්  පිළිබඳව සොයා බැලූ කොමිසමේ වාර්තාව මඟින් නිකුත් කර තිබෙන ඇතැම් නිර්දේශවලින් ශ්‍රේෂ්ඨාධිකරණය සතු බලතල පැහැර ගැනීමක් සිදුවී තිබෙන හෙයින් එම කොමිසමේ කොමසාරිස්වරු තිදෙනාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ විමර්ශනයක් සිදුකරන ලෙස සමගි ජනබලවේගය විසින් අඟහරුවාදා (02) අගවිනිසුරුවරයාට පෙත්සමක් භාර දී තිබේ.

පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේදී දේශපාලන පළිගැනීම් පිළිබඳ වාර්තාව මෙන්ම පාස්කු වාර්තාවද න්‍යාය පුස්තකයට ඇතුළත් කරන බව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා දැනුම් දුන්නේය. එවිට මේ සඳහා කඩිනමින් විවාදයක් අවැසි බව විපක්ෂ සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල සහ රංජිත් මද්දුමබණ්ඩාර කීවේය. ඔවුහු පළමුව දේශපාලන පළිගැනීම් පිළිබඳ වාර්තාවට විවාදයක් ඉල්ලා සිටියහ. ආණ්ඩුවේ පාර්ශව කීවේ මේ වනවිට රටේම අවධානයට ලක්වී ඇති පාස්කු වාර්තාව පිළිබඳව ප්‍රථමයෙන් විවාදයට ගතයුතු බවයි. නමුත් විපක්ෂ එය දිගින් දිගටම ප්‍රතික්ෂේප කළේය.

ඒ අවස්ථාවේදී නැගී සිටි අමාත්‍ය ප්‍රසන්න රණතුංග කීවේ වාර්තා දෙකටම විවාද ලබාදීමට ආණ්ඩුව සූදානම් බවත් එහෙත් පාස්කු වාර්තාව පිළිබඳව පළමුව විවාද කිරීම මේ මොහොතේ සිදුවිය යුතු බවත්ය. එහෙත් කිරිඇල්ල සහ මද්දුමබණ්ඩාර යන විපක්ෂ මන්ත්‍රීවරුන් ඊට කීවේ පාස්කු වාර්තාවේ තවත් කොටස් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී නොමැති නිසා එම විවාදය ප්‍රමාද කළ යුතු බවයි. ආණ්ඩුවේ පිරිස විවාද සඳහා අවැසි වාර්තාවේ නිර්දේශ සහ ප්‍රධාන කොටස් සියල්ල ඉදිරිපත් කර ඇති බව පැවසූහ. ඒ අනුව පළමුව දින තුනක විවාදයක් පාස්කු වාර්තා සම්බන්ධව සිදුකිරීමට අවසානයේ තීන්දුව විය. එහෙත් සමගි ජන බලවේගයේ මෙම තීන්දුව පිළිබඳ අභ්‍යන්තර සාකච්ඡා පවත්වන බවට තොරතුරු තිබේ. ඔවුන් විවාදයට සහභාගී වනවාද නැද්ද යන්න සාකච්ඡා කරමින් සිටින බව කියැවේ.

ගෙවුණු සතියේ පැතිර ගිය කටකතාවක් හේතුවෙන් ආණ්ඩුවේ මැති ඇමතිවරු කිහිප දෙනෙක්ම කෝප වී සිටියහ. මෙම කටකතාවට අනුව කියැවුණේ තමන් මීළඟ ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු සේ ඉදිරිපත් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කී බවයි. ජනාධිපතිවරණය සඳහා සුළු ජාතික ඡන්ද ලබාගත හැකි අපේක්ෂකයකු ඉදිරිපත් කරන ලෙසත් තමන්ද සිංහල ඡන්ද ප‍්‍රමාණයක් ලබාදීමට සූදානම් බවත් ජනාධිපතිවරයා පක්ෂනායක රැස්වීමක දී කිවූ බව වෙබ් මාධ්‍ය වර්තා කළේය. නිසි මූලාශ්‍රයක් රහිත වූ මෙම කතාව තවත් පිරිසක් හනිකට මාධ්‍ය හරහා ප්‍රසාරණය කළහ. ජනාධිපතිවරණයට බැසිල් රාජපක්ෂ ඉදිරිපත් කිරීමටත්, අගමැති අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ යෝජනා කිරීමටත් රාජපක්ෂ පවුල දැනටමත් තීන්දු කර ඇති බව ඔවුහු කියන්නට වූහ.

මෙම කට කතා සම්බන්ධව කිපුණු මැති ඇමතිවරුන් කිහිප දෙනකුම මේ සම්බන්ධව ඉහළට දන්වා ඇති බව කියවේ. ආණ්ඩුව අපහසුතාවයට පත්කිරීමේ අරමුණින් පිරිසක් මෙම කතාව පතුරුවා හරින බව ඔවුන් සඳහන් කර තිබේ. කෙසේ වෙතත් අප දේශපාලන ආරංචි අනුව ජනාධිපතිවරයා පක්ෂනායක රැස්වීමේදී තමාගේ වයස සිහිපත් කරමින් රටේ නායකත්වය වෙනුවෙන් තරුණ පිරිස ඉදිරියට පැමිණි යුතු බව කියා ඇතැයි දැනගන්නට තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද කරළියේ දේශපාලනයේ ප්‍රමුඛ අවධානය දිනා ගනිමින් සිටියේය. පාස්කු වාර්තාව ඊට හේතුව විය. එසේම ශ්‍රීලනිප ප්‍රධානීහු නිතර නිතර රැස්වෙමින් සාකච්ඡා කරන්නට වූහ. බ්‍රහස්පතින්දා විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණි. පක්ෂයේ විධායක මණ්ඩලය නැවත පත්වීමෙන් පසු මෙම සාකච්ඡා පක්ෂ ප්‍රතිසංවිධානය පිළිබඳ විය. මෙහිදී ශ්‍රීලනිප පළමුවරට පක්ෂ කළමනාකරණය කමිටුවක් පත් කිරීමට තීරණය කළේය. පසුවිපරමක් සහිතව නිශ්චිත වැඩපිළිවෙළක් වසර එකහමාරකට වැනි කාල රාමුවක් තුළ ක්‍රියාත්මක කිරීමට මෙම කමිටුවට බලාපොරොත්තු වේ.

ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත්වන බවට වූ කටකතාද ගෙවුණු සතියේ නිශ්ප්‍රභ විය. ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති ඇමැති මහින්ද අමරවීර මහතා සිදුකළ ප්‍රකාශ හරහා එම කතා ප්‍රතික්ෂේප වූයේය. පාස්කු ප‍්‍රහාරය පිළිබඳ වාර්තාව පදනම් කරගෙන ආණ්ඩුවෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට වුවමනාවක් නොමැති බව ඔහු කීවේය. එහෙත් දේශපාලනික වශයෙන් පක්‍ෂයට ඇතිවී තිබෙන ගැටලුවලට ආණ්ඩුවෙන් විසඳුම් අපේක්‍ෂාවෙන් සිටින බව ඔහු කියා සිටියේය. මේ අතර රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාද අදහස් දක්වමින් සඳහන් කළේ ආණ්ඩුවෙන් ඉවත්වීමේ කිසිදු සාකච්ඡාවක් මෙතෙක් පක්ෂය තුළ නොමැති බවයි. තමාට දැන් වයස අවුරුදු 72ක් බවත් මීළඟ ජනාධිපතිවරණය වනවිට වයස 75 ක් බවත් මෙහිදී ජනාධිපති සිහිපත් කර තිබේ.

ඉකුත් නවම් පෝදා කොළඹ ගංගාරාම විහාරස්ථානයේ නවම් පෙරහරේ සමාරම්භක උත්සවයට සහභාගි වූ අවස්ථාවේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කී කතාවක්ද ගෙවුණු සතියේ දේශපාලන කරළියේ කතාබහට ලක්විය. පාර්ලිමේන්තුවට පත්ව එන්නේ කවදාදැයි එහි පැමිණ සිටි ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් කළ විමසුමට පිළිතුරු දෙමින් වික්‍රමසිංහ මහතා මෙලෙස කී බව වාර්තා විය. ජනතාව මට ගෙදර ඉන්න කිව්වා. ඉතින් මම ගෙදර ඉන්නවා. ආයෙත් දේශපාලනයට එන්න කියලා ඉල්ලීමකුත් තියෙනවා. නමුත් තරුණ, අලුත් පිරිසක් ඉදිරියට ගේන්න තමයි මට ඕනේ. කොහොම වුණත් තාම මම මේ ගැන තීරණයක් අරගෙන නැහැ. ඕනේ නම් එළියේ ඉඳන් වුණත් දේශපාලනය කරන්න පුළුවන්නෙ.

උතුරෙන් ලැබුණු අලුත් දේශපාලන ආරංචියක්ද ගෙවුණු සතිය උණුසුම් කළේය. නෙළුම් මල ලකුණෙන් නව දේශපාලන සන්ධානයක් නිර්මාණය පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් කටයුතු කරන බවට එම ආරංචියට අනුව කියැවිණි. ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ ලාංඡනය නෙළුම් මල වීමත් භාරතීය ජනතා පක්ෂ පසුගිය දිනවල සිදුකළ ප්‍රකාශයත් මෙම උණුසුම් තීව්‍ර කළේය. කෙසේ වෙතත් උතුරු නැගෙනහිර, කඳුකරය හා වතුකරය නියෝජනය වන පරිදි මෙම නව දෙමළ සන්ධානයක් බිහි කිරීමට සී.වී. විග්නේශ්වරන් මහතා මහතා බලාපොරොත්තු වන බව කියැවේ. උතුරේ සෙසු දෙමළ දේශපාලන පක්ෂ වවුනියාවට රැස්වී දෙමළ ජනතා සභාවක් පිහිටුවීමේ වැඩසටහනට විග්නේශ්වරන් හිටපු ප්‍රධාන ඇමැතිවරයා සහභාගි නොවීමට මූලික හේතුව මෙය බව මාධ්‍ය වාර්තා කර තිබුණි.

 චමිදු නිසල් ද සිල්වා