2020 දෙසැම්බර් 19 වන සෙනසුරාදා

පළාත් සභා ඡන්දයට ඇමැති හතරකගෙන් කොක්කක්!

 2020 දෙසැම්බර් 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 314

► ඇල්ලේ හිමි විපක්ෂනායක හමුවෙයි
► අගමැතිගේ තීන්දු ගැන කාදිනල් හිමියෝ ප්‍රශංසා කරති
► වැඩ සමග බැසිල් ගමට යයි
► ශ්‍රීලනිපයට කළගුණ සලකන්නැයි දයාසිරි කියයි
► කිරිඇල්ලගේ කතාව ගැන අහන්න සුළු පක්ෂ ලොක්කෝ සජිත් හමුවෙති
► ඇමැති සබ්‍රි මරණ භූමදානය ගැන හඬ නගයි

අයවැය ඡන්දයෙන් පසු දේශපාලන කරළිය තරමක් නිහඬ වූයේ පක්ෂ විපක්ෂ මත ගැටුම් අභිබවා යන වෙනත් කාලීන සිදුවීම් ඊට හේතුවයි. එල්.පී.එල්., ධම්මික පැණිය ආදී කොටගත් තේමා නිසාවෙන් කරළියේ මගහැරුණු දේශපාලන සිදුවීම් අප සොයා ගියෙමු. දේශය පුවත්පත මුලින්ම රටට හෙළිදරව් කළ පරිදි ගෙවුණු සතියේ මාලදිවයිනෙන් ශ්‍රී ලංකාවට ලැබුණු පණිවිඩයක් හේතුවෙන් දේශපාලන කරළියේ ඇතැමුන් විමතියට පත් වූයේය. එහෙත් මේ පිටුපස වෙනම කතාවක් තිබූ බවද දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ අසන්නට ලැබුණි. මෙම සිදුවීම කරළියට පැමිණියේ එක්තරා ට්විටර් පණිවිඩයක් සමඟය. මාලදිවයිනේ විදේශ අමාත්‍ය අබ්දුල්ලා සාහිඩ් මෙම ට්විටර් සටහන තබා තිබුණි.

මෙරටදී කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්වන මුස්ලිම් ජාතිකයින්ගේ සිරුරු භූමදානය කිරීමට පහසුකම් සැලසීම සඳහා සහාය දක්වන ලෙස ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉල්ලීමක් කර ඇති බව එහි සඳහන් විය. ඒ සම්බන්ධයෙන් මාලදිවයින් ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි සලකා බලමින් සිටින බව මේ හරහා ප්‍රකාශ විය. මෙවන් ඉල්ලීමක් නිසා සංවාදයක් ඇතිවී ඇති බව ලක්වාසීන් දැනගත්තේ පසුගිය සඳුදා මෙම ට්විටර් පණිවිඩය සමඟය.
මේ අතර මෙම කතාවේ තවත් පිටුවක් පෙරලුණේය. ඊට හේතුව වූයේ මාලදිවයිනේ හිටපු විදේශ කටයුතු ඇමති දුන්නා මහමුද් මහත්මිය මුහුණුපොතේ තැබූ සටහනකි. මේ හරහා ශ්‍රී ලංකාවේ සිටින මුස්ලිම් ජනතාව මාලදිවයිනේ පදිංචියට කැඳවන ලෙස ඇය මාලදිවයින් රජයෙන් ඉල්ලා තිබුණි. මේ පිටුපස මාලදිවයින් දේශපාලනයද විය. එහෙත් මේ හරහා සිදුවූයේ ඇවිලෙන ගින්නට පිදුරු දැමීමකි. ජාතිවාදී වෛරී ප්‍රකාශ රුසක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන්නට වූයේය.

ආණ්ඩුව අභ්‍යන්තරයේ දැඩිලෙස මුස්ලිම් ආදාහන කතාව සාකච්ඡාවට බඳුන්වෙමින් තිබුණි. එහෙත් ඇමැති අලි සබ්‍රි සිය මතය වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටියේය. එය උපරිම අවස්ථාවකට එළඹි අතර ප්‍රසිද්ධියේ ඔහු මේ පිළිබඳ හඬනගන්නට වූයේය. මාලදිවයිනට කොරෝනා මෘතදේහ භූමදානය කිරීම ගැටලුවක් නොමැති නම් ශ්‍රී ලංකාවට ගැටලුවක් වන්නේ කෙසේදැයි අධිකරණ ඇමැති අලි සබ්‍රි ප්‍රශ්න කළේය. එසේම වෛරස් සම්බන්ධයෙන් මෙරට ප්‍රධානතම මහාචාර්යවරයෙකු වන මලිත් පීරිස් මහතා පවා කොරෝනා මෘතදේහයන් භූමදානය ගැටලුවක් නැතැයි පෙන්වා දී ඇති බවද ඔහු කීවේය.

මේ අතර දෙසැම්බර් 14 වැනි සඳුදා රුස්වූ කැබිනට්ටුවේද සුවිශේෂී සිදුවීමක් සිදුවිය. කැබිනට්ටුවට පළාත් සභා ඡන්දය පැවැත්වීම වෙනුවෙන් පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණි. මෙය Zoom තාක්ෂණය ඔස්සේ පැවති තුන්වැනි කැබිනට් රුස්වීම විය. කෙසේ වෙතත් පළාත් සභා කතාවට කැබිනට් ඇමතිවරු සිව්දෙනෙකු සිය විරෝධය ගොනු කළෝය. විමල් වීරවංශ, සරත් වීරසේකර, බන්ධුල ගුණවර්ධන සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් මෙසේ විරෝධය පළකොට ඇති බව දේශපාන ආරංචි මාර්ග සඳහන් කළේය.

ඒ අනුව කැබිනට්ටුව තුළ පළාත් සභා කතාව දීර්ඝ සංවාදයක් ඇතිකර තිබුණි. කෙසේ වෙතත් එකඟතාවක් ගොඩනැගී නොතිබුණු අතර පක්ෂනායක රුස්වීමක් පවත්වා අවසන් තීන්දුවක් ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර ඇත. ඒ අනුව පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් හැකි ඉක්මණින් පක්ෂ නායකයින් එකට එකතු වී යම් එකඟතාවයකට පැමිණ කැබිනට් මණ්ඩලයට වෙත නැවත ඉල්ලීමක් කරන්නැයි අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා වෙත දැනුම් දී තිබේ. එම ඉල්ලීම කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව, කැබිනට් මණ්ඩලය විසින් ඒ සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට තීන්දුවක් ගැනීමට නියමිතය.

කැබිනට් මණ්ඩලය මෙදින තවත් වැදගත් කරුණු කිහිපයක් සිය අවධානයට ලක්කළේය. ඒ අනුව රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතියට සහ කණු මතින් ඉදිවෙන වරාය නගර අධිවේගී මාර්ග ව්‍යාපෘතියට ඉඩම් අත්පත් කර ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවිය. මීට අමතර ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ඉදිරිපත් කළ වාහන අංක තහඩු නිකුත් කිරීමේදී පළාත් අක්ෂර ඉවත් කිරීම ඇතුළු යෝජනා රුසකට කැබිනට් අනුමැතිය හිමිවිය.

මේ අතර සමගි ජන බලවේගයේ අභ්‍යන්තරයේද බොහෝ දෑ සිදුවෙමින් පැවතුණි. සමගි ජන බලවේගය යටතේ නාම යෝජනා ලබාගත් මුස්ලිම් හා දෙමළ දේශපාලන පක්ෂවල නියෝජිතයන් විසිවන ව්‍යවස්ථා සංශෝධනයේදී ආණ්ඩුවට එකතුවීමත් සමඟ සජබ අභ්‍යන්තරයේ ගැටලුවක් නිර්මාණය විය. මෙම මුස්ලිම් හා දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විරුද්ධ සමගි ජන බලවේගයට නෛතික පදනමක් නොතිබි අතර ඊට හේතුව වූයේ මෙම පිරිස වෙනත් පක්ෂවල නියෝජිතයන් වීමයි. ඒ සම්බන්ධව ජ්‍යෙෂ්ඨයන් අතර වූ කතිකාව ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ මුවින් පිටවුණි.

තම පක්ෂය සමග දුකේදීත් සැපේදීත් එකට සිටින මුස්ලිම් හා දෙමළ දේශපාලනඥයින් ශක්තිමත් කර තම පක්ෂයේ අපේක්ෂකයන් ලෙස ඔවුන් පමණක් ඉදිරි මැතිවරණවලට ඉදිරිපත් කිරීමට තීරණය කළ බවත් කබීර් හෂීම්, අබ්දුල් හලීම්, මුජිබර් රහුමාන් හා එස්.එම්. මරික්කාර් ඊට උදාහරණ බවත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය. කෙසේ වෙතත් මෙම ප්‍රකාශ සමඟ මුස්ලිම් දෙමළ පක්ෂවල ඉහළම තැන්වලට වැදී තිබුණි. ඔවුන්ට මෙම තීරණය පිළිබඳ සමහි ජනබලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සාකච්ඡා කිරීමට ගියේය. මේ අතර සමගි ජනබලවේගයේ පක්ෂ ව්‍යූහය සහ සන්ධානය ගොඩනැගීමට අදාළ කටයුතුද සිදුවෙමින් පැවතුණි. ඒ අතරින් පක්ෂ ව්‍යවස්ථාව සම්බන්ධව කතාබහ කෙරෙහි විශාල අවධානයක් යොමුවී තිබුණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ශ්වයෙන් පසුගිය සතියේ හඬක් මතුවූයේය. ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා මෙලෙස හඬ අවදි කළේය. මේ පිටුපස වූයේ තවත් කතන්දරයකි. ඒ අයවැය අවසන් ඡන්දයට පෙර පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති සාකච්ඡාවක් පිළිබඳ කතාවකි. එම කතාවට අනුව අගමැති මහින්ද රාජපක්ෂ මහතා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෙන්ම හිටපු ජනාධිපතිවරයාද වන මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පැය එකහමාරක සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වී තිබේ. මෙහිදී පක්ෂ අර්බුදය පිළිබඳව මෙන්ම ප්‍රාදේශීය සභා කිහිපයක අයවැය පරාජයට පත් කිරීම සඳහා ශ්‍රීලනිපය එක්සත් ජාතික පක්ෂය සමග එක්ව ඡන්දය භාවිත කිරීම සම්බන්ධයෙන්ද කරුණු සාකච්ඡා වූ බව කියැවේ. එහෙත් ආරංචි පරිදි නිසි තීන්දුවක් නොමැතිව මෙම සාකච්ඡා නිමා වී ඇත.

මෙම ආරංචි සත්‍යනම් දයාසිරි ජයසේකර මහතාගේ විරෝධයද මෙම කතාවේම දිගුවකි. ආණ්ඩුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කළගුණ සැලකිය යුතුබව ඔහු කියා තිබුණි.

"ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරුන්ට මීට වඩා ශක්තියක් ආණ්ඩුවෙන් ලබාදිය යුතු බව බලධාරීන්ට මතක් කර තිබෙනවා. ආණ්ඩුවේ සංවර්ධන වැඩ සඳහා එක්කර නොගැනීම නිසා පක්‍ෂයේ සංවිධායකයන් මන්ත‍්‍රීවරුන් දැඩි කලකිරීමෙන් සිටින්නේ. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිගෙන් අවස්ථාවක් ඉල්ලුවත් එය ලැබුණේ නැහැ. බැසිල් රාජපක්ෂ මහතා සමඟ කරන ලද සාකච්ඡා කිසිදු හරයක් නැහැ."

කෙසේ වෙතත් පක්ෂ දියකර දැමීමේ අවදානමක් පිළිබඳවද ශ්‍රීලනිප අභ්‍යන්තරයේ දැඩි සාකච්ඡා වී ඇති බව දැනගන්නට ලැබේ. එසේම මෙහිදී නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට ආණ්ඩුව සූදානම් වුවහොත් තමන්ගේ වටිනාකම තේරුම් ගනු ඇති බවත් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් පවසා ඇත.

මේ අතර බදාදා (16) වැනිදා සජිත් ප්‍රේමදාස සමහර වැදගත් ගමනක් ගියේය. ඒ කොළඹ ධර්මායතනයේ වැඩසිටි පූජ්‍යපාද ඇල්ලේ ගුණවංශ හිමිපාණන් බැහැදැකීම සඳහාය. මෙය එක්තරා ආකාරය දේශපාලන සලකුණක් බව පෙනී ගියේය. මෙහිදී සාකච්ඡා වූ කරුණු අතර සුවිශේෂී වූයේ සුචරිතය මුල් කරගෙන ඉදිරියේදී සමාජ සංස්කෘතික පුණර්ජීවනයක් සිදු කිරීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇල්ලේ හිමියන් හමුවේ කී කතාවයි.

මෙහිදී යහපත් කටයුතු වෙනුවෙන් නොපැකිලිව තම ආශිර්වාදය හිමිවන බව ඇල්ලේ ගුණවංශ හිමියන් සජිත් ප්‍රේමදාස මහතාට පවසා තිබේ. එසේම තමන් ජාතිවාදය ප්‍රතික්ෂේප කරන බවත් හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ජනතාවාදී නායකයකු බවත් ඇල්ලේ ගුණවංශ හිමියන් මෙහි ප්‍රකාශ කර ඇත. මෙහිදී බුද්ධිය, දැනුම, තොරතුරු සහ නව තාක්ෂණය පදනම් කරගත් ගමනක් යා යුතු බව තමාගේ මෙන්ම සමගි ජනබලවේගයේ ස්ථාවරය බව සජිත් ප්‍රේමදාස මහතා පවසා තිබේ. එසේම ඒ උදෙසා මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා අත්‍යාවශ්‍ය බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇල්ලේ හිමියන් හමුවේ සිහිපත් කර ඇත.

බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු ආගමන පිළිබඳ වූ කතාව බොහෝ දෙනෙකුට අමතකව ගොස් තිබුණි. එහෙත් මෙවර බැසිල් රාජපක්ෂ ගමින් ගමට නගරයෙන් නගරයට අය යන අලුත් ගමන පිළිබඳ දේශපාලන කරළියේ බොහෝ ඉහළ තැන්වල කතාබහට ලක්විය. “ගම සමඟ පිළිසඳරක්* තුළින් &වැඩ සමග යළි ගමට” ජාතික වැඩසටහන සමඟ බැසිල් රාජපක්ෂ මහතා මෙම සංවාද අරඹා තිබේ. සඳුදා (14) මෙම වැඩසටහන ඇරඹුනේ ගාල්ලෙනි. රුහුණ විශ්වවිද්‍යාල ශ්‍රවණාගාරයේ පළමු වැඩසටහන පැවැත්වූයේ කතානායක මහින්ද යාපා අබේවර්ධන, අමාත්‍යවරුන් වන ඩලස් අලහප්පෙරුම, රමේෂ් පතිරණ ඇතුළු රාජ්‍ය අමාත්‍යවරුන්, දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපතිවරු ඇතුළු විශාල පිරිසකගේ සභාගීත්වයෙනි.

මෙම වැඩසටහනේ අරමුණ ලෙස බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ “අපි බලාපොරොත්තු වෙන්නේ මෙවර මහජන නියෝජිතයින්, රජයේ නිලධාරීන්, ගමේ සිටින ප්‍රජා සංවිධානවල නියෝජිතයින් ඒ වගේම අනෙකුත් සංවිධාන සහභාගී කරගෙන මෙම ග්‍රාමීය කමිටුවලට ඉදිරිපත් කරන ගමේ ජනතාවගේ යෝජනා තවදුරටත් විධිමත් ලෙස අධ්‍යයනය කරමින් ඒවා ප්‍රමුඛතාගත කරන්නයි. මෙවර අයවැයෙන් ග්‍රාමීය නිෂ්පාදන කර්මාන්ත දියුණුවට තවත් රුපියල් මිලියන 2000ක් වෙන්කර තිබෙනවා" යනුවෙනි. එසේම පසුගිය සමයේ ජනපති ක්‍රියාත්මක කළ ගම සමඟ පිළිසඳරක් වැඩසටහනේ දෙවැනි අදියර ලෙස මෙය හඳුන්වනු ලැබේ. ඒ අනුව මෙම වැඩසටහන සමඟ බැසිල් රාජපක්ෂ මහතා මේ සතියේ සිය පළාත් සංචාරය ඇරඹුවේය. ඒ අනුව අඟහරුවාදාය (15) කුලියාපිටිය, වයඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රවණාගාරයේ වයඹ පළාත් කමිටු රුස්වීමට පැවැති අතර බදාදා (16) අනුරාධපුර, උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවති උතුරු මැද පළාත් කමිටු රුස්වීමට පැවත්විණි.

ගෙවුනු සතියේ ජනතා විමුක්ති පෙරමුණ විෂය කරගත් මාතෘකා කිහියකි. එකක් ණය අර්බුදය වූ අතර අනෙක පාසල් සිසුන් සම්බන්ධව ගැටලුව විය. කලකින් විරෝධතාවක්ද ඔවුන් සංවිධානය කළේය. දරුවන්ගේ අධ්‍යාපන අයිතිවාසිකම් සමව ලබා දෙන්නැයි ඉල්ලා නගරයේදී මෙම විරෝධතාව ඉකුත් බදාදා (16) වැනි දින සංවිධානය කර තිබුණි. මෙහිදී විරෝධතාකරුවන් පවසා සිටියේ කොරෝනා වසංගතයත් සමග දරුවන් අධ්‍යාපන කටයුතුවල නිරත වෙද්දී දෙමාපියන්ට අන්තර්ජාල පහසුකම් ලබාගැනීමට අධික වියදමක් දැරීමට සිදුව ඇති බවයි. එසේම මේ හේතුව නිසා සමස්ථ පාසල් දරුවන්ට අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අන්තර්ජාල පහසුකම් රජය නොමිලේ ලබාදීමට කඩිනමින් කටයුතු කරනු දුටු බවද ඔවුන් කියා සිටියහ.

මේ අතර ආණ්ඩුවට එරෙහිව ගොඩනැඟෙන විරෝධය ක්‍රමවත්ව හැසිරවිය යුතු බව ජවිපෙ අභ්‍යන්තරයේ සාකච්ඡා වී තිබුණි. ඉහත විරෝධතාවය හා සමාන වූ විරෝධතා කිහිපයක්ම ප්‍රධාන නගර කේන්ද්‍රය කර ගනිමිනි. මෙහෙයවීමටද ඔවුහු තීරණය කළේය. සතිය ආරම්භයේදීම ජ.වි.පෙ. විසින් ගාල්ලේදී ගාල්ල නගරයේ “ජාතික දේපල විකිණීමට එරෙහිව” විරෝධතාවයක නිරත වූහ. මෙය ඔවුන් තෝරාගෙන ඇති ප්‍රමුඛතාව දේශපාලන තේමාව බව පසුගිය සතියේදී දැනගන්නට ලැබුණි.

සතිපතා නිරන්තර  පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාද මෙම නව වැඩපිළිවෙළේ කොටසක්ම විය. පසුගිය අඟහරුවාදා පැවති මාධ්‍ය සාකච්ඡාව දී රජයේ ණය අර්බුදය පිළිබඳ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා තරමක් දැඩිව කතා කළේය. "පසුගියදා කැබිනට් මණ්ඩලය කොළඹ වරායේ නැගෙනහිර ජැටිය පෞද්ගලීකරණය කිරීමේ කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කළ යුතුයි. නව ලිබරල්වාදය අපේ රටත් සමාජයත් ඉතා බරපතළ විදිහට විනාශ කර තිබෙනවා. මුළු රටම දැවැන්ත ණය කන්දකට ගොදුරු කරලා. ඩොලර් ඌණතාවයක හිරකරලා. 2019 අවසාන වනවිට ණය බර රුපියල් බිලියන 14,000ක් පමණ වෙනවා. ඉන් විශාලම පංගුව විදේශ ණය බවට පත්වෙලා. මේ නිසා ණයගෙවා ගන්න ණයගැනීමේ අර්බුදයකට ආණ්ඩුව පත්වී තිබෙනවා."

ගෙවුණු සතියේ තවත් සුවිශේෂී හමුවක් පැවැත්විණි. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතර හමුවයි. පසුගිය මාසයක දෙකක කාලය තුළ ආණ්ඩුවේ ඇතැම් කටයුතු පිළිබඳව කාදිනල් තුමන් හිටියේ තරමක නොසතුටිනි. මෙම හමුව සංවිධානය වීම පිටුපස වූ හේතුවද එයම විය. කාදිනල් හිමියන් පාස්කු ප්‍රහාරය සම්බන්ධව ඉතිරිව ඇති ප්‍රශ්න රුසක් අග්‍රාමාත්‍යවරයා හමුවට රුගෙන ආවේය. රාජපක්ෂ මහතා ගැටලු බොහොමයකට ඒ මොහොතේම විසඳුම් ලබා දුන්නේ අදාළ රාජ්‍ය නිලධාරීන් සහ ආයතන සම්බන්ධ කර ගනිමිනි.

මෙම සාකච්ඡාවේ මූලික තේමාව වූයේ 2019 පාස්කු ඉරිදා දින ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් වූ පවුල්වල ගැටලු නිරාකරණය කිරීම හා ප්‍රහාරයට ලක්වූ දේවස්ථානවල ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමයි. ඒ අනුව මෙහි කරුණු කාරණා රුසක් පිළිබඳ සාකච්ඡාවට බඳුන්විය. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට කටුවපිටිය ප්‍රදේශයේ ඉදිවන නිවාස 24 ව්‍යාපෘතිය මෙතෙක් වැඩ අවසන්වූ තැනින් නැවත ආරම්භ කොට කඩිනමින් අවසන් කිරීම, ප්‍රහාරයෙන් පීඩාවට පත්ව කොළඹ අවට කුලී නිවාසවල සිටින පවුල් 33ක් වෙනුවෙන් නිවාස සංවර්ධන අධිකාරියේ යෝජිත නිවාස සංකීර්ණයකින් නිවාස 33ක් වෙන්කරදීම, විපතට පත්වූවන් සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහල මඟින් ලබාදෙන වෛද්‍ය පහසුකම් පුළුල් කිරීම, දැනට ඉදිකිරීම් නැවතී තිබෙන කටුවපිටිය දහම් පාසල රුපියල් මිලියන 60කට අධික මුදලක් වැයකරමින් ඉදිකර අවසන් කිරීම ආදී වැදගත් තීරණ රුසක් මෙහි ගනු ලැබුවේය.

කතෝලික දේශපාලනඥයන් කිහිප දෙනෙක් සහ ඉහළ රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකුද මෙම සාකච්ඡාව සංවිධානය පිටුපස වූ බව දේශපාලන ආරංචිමාර්ග තහවුරු කළේය. කෙසේ වෙතත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා, අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇතුළු මැති ඇමතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් රුසක් මේ අවස්ථාවට සහභාගී විය. අවසානයේ අග්‍රාමාත්‍යවරයාට මෙන්ම ඔවුන් සියලුදෙනාට කාදිනල්තුමන් ප්‍රශංසා කළේය. එම ප්‍රකාශ සමස්ත ආණ්ඩුවට අස්වැසිල්ලක් වූ බව පෙනී ගියේය.

"අග්‍රාමාත්‍යතුමනි මම ඔබතුමාටත් රජයටත් මගේ පෞද්ගලික ස්තුතිය හා ප්‍රශංසාව පුද කර සිටිනවා. මේ පාස්කු ප්‍රහාරය තුළින් පීඩාවට පත්වෙච්ච ජනතාවට සහන සලසලා ඒ අයගෙ ප්‍රශ්න විසඳලා දෙන්න අපි උත්සාහ කරන මෙම වැඩපිළිවෙළට අපට දුන්නු සහයෝගය පිළිබඳව. විශේෂයෙන්ම මේ සඳහා මැදිහත් වී කටයුතු කරන ඇමැතිවරුන්ටත්, රාජ්‍ය ඇමතිවරුන්ටත් මම මගේ ස්තුතිය පුදකර සිටිනවා. අපි මේ හැමදෙයක්ම කරන්නෙ අපේ ජනතාව පීඩාවට පත්වෙච්ච නිසයි. අපි බලාපොරොත්තු වෙනවා අනාගතයේදී එවැනි සිදුවීම් කොයිම විධියකටවත් සිදු නොවෙන්නට රට ආරක්ෂිත ස්ථානයක් කරගන්නට ඔබතුමාගේ රජය සහ ජනාධිපතිතුමාගේ මැදිහත්වීම තුළ රටේ ආරක්ෂාව ශක්තිමත් කරගන්නට හැම දෙයක්ම සිදුවෙයි කියලා."

කොළඹ අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණය සංකීර්ණයේ ගින්න සතිය මුලදී යම් අන්දෝලනයක් ඇතිකළමුත් එය ප්‍රකට දේශපාලන මාතෘකාවක් නොවූයේය. ගින්න සිදුවන මොහොතේ සමාජ මාධ්‍ය තුළ මෙය කුමන්ත්‍රණයක් බව හුවා දැක්වීමට පිරිසක් උත්සාහ කරමින් සිටියේය. එහෙත් ගින්න අබලි ද්‍රව්‍ය ගබඩාවක ඇතිවූ බවත් ලේඛනවලට හානියක් නොමැති බව හෙළිවීමත් සමඟ පිරිස නිහඬ විය. කෙසේ වෙතත් මේ සඳහා පරීක්ෂණ පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුට පැවරුණු අතර විශේෂඥ සහාය ලබාගන්නා බවද කියැවුණි. මේ අතර ගින්න පිළිබඳ සොයා බැලීමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාද ගොස් තිබුණි.

ආණ්ඩු බලයට ගෙන ඒමට ප්‍රමුඛ වූ ජාතික සංවිධාන එකමුතුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් ලීවේය. රටට නව ව්‍යවස්ථාවක් කඩිනමින් සම්මත කරන බවට ලබාදී ඇති පොරොන්දුව එසේම තිබියදී පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම මගින් ජනවරමේ අපේක්ෂා බිඳවැටෙන බව එම ලිපියේ සඳහන් විය. ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා විසින් මෙම ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු සියලු මහජන නියෝජිතයන් වෙත යොමු තිබුණි.

ලිපියෙන් තරමක් තදින් ආණ්ඩුව ආමන්ත්‍රණය කර තිබුණි. ඒ අනුව ලිපිය අවසානයේ මෙසේ සඳහන් විය.

"මහා සංඝරත්නය ප්‍රමුඛ මහජන විරෝධය මැද සුළු පිරිසකගේ උවමනාවන්ට අනුව පළාත්සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සහ ඒ මගින් නව ව්‍යවස්ථාවක් පිළිබඳ මහජන අපේක්ෂා බිඳහෙලීම බලවත් දේශපාලන වරදක් බව ජනාධිපතිතුමා ප්‍රමුඛ සියලුම මහජන නියෝජිතයන්ට පෙන්වා දීමට කැමැත්තෙමු."

පසුගිය සතියේ එක්සත් ජාතික පක්ෂ පාර්ශවයෙන් ද වැදගත් තීරණයක් ගෙන තිබුණි. එජාප නීති අංශය විසින් ඉදිරිපත් කරනු ලැබූ කරුණු සලකා බලා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම තීන්දුව ගත්තේය. ඒ අනුව සමගි ජන බලවේගයන් මහ මැතිවරණයට තරඟ කළ එම පක්ෂයේ සාමාජිකත්වය ගත් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වූ එක්සත් ජාතික පක්ෂ මහජන නියෝජිතයින්ට සහ ක්‍රියාකාරීන්ට එරෙහිව ආරම්භ කොට ඇනහිට තිබූ සියලු විනය පරීක්ෂණ යළි ආරම්භ කිරීමට වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කළ මහජන නියෝජිතයන්ට හා පක්ෂ ක්‍රියාකාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ඇරුඹූ මුල් අවස්ථාවේදී කොරෝනා වසංගත තත්ත්වය උග්‍රවීම හේතුවෙන් අදාළ කටයුතු අඩපණ විය. එහෙත් එජාප නීති අංශය නැවත සිය කටයුතු අරඹා තිබේ. එසේම දේශපාලන ආරංචි අනුව එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කොට ස.ජ.බ.ට සහාය දුන් පළාත් පාලන ආයතන මහජන නියෝජිතයන්ට එරෙහිව පැවැත්වෙන නඩු කටයුතුද යළි ආරම්භ වනු ඇත. කෙසේ වෙතත් සමගි ජන බලවේගයට සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ වූ ඇතැම් අය විධිමත් ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලා අස් වී ඇති බවද කියැවේ.

ධම්මික පැණිය හේතුවෙන්ද අලකලංචි රුසක් පසුගිය සතියේ සිදුවිය. අනුරාධපුරය ගිය ධම්මික වෙද මහතා අටමස්ථානාධිපති නා හිමියන් ඉදිරියේ උමතුවෙන් මෙන් හැසිරීම බොහෝදෙනාගේ විවේචන හේතු වූහ. කෙසේ වෙතත් කොරෝනා එන්නත සම්බන්ධව රජය වැදගත් සාකච්ඡා ආරම්භ කර තිබුණි. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ මූලිකත්වයෙන් කොරෝනා එන්නතක් ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් මෙලෙස සාකච්ජා ආරම්භ වී තිබේ.

ඒ අනුව චීනය සහ රුසියාව සමග සාකච්ජා ආරම්භ කොට ඇති බව කියැවේ. ඒ අනුව බොහෝදුරට පෙබරවාරි මාසය වනවිට එන්නතක් ලංකාවට ගෙන්වා ගත හැකිවනු ඇත. කෙසේ නමුත් ලෝක මට්ටමින් අසන්නට ලැබෙන තොරතුරු යහපත් නැත. දැනට ඇති තොරතුරු අනුව ලෝක ජනගහණයෙන් 14% පමණක් සංවර්ධිත රටවල ජීවත්වන තත්ත්වයකදී අඩු ආදායම් හා මාධ්‍ය ආදායම් ලබන රටවලට එන්නත් ලබාගැනීමට නොහැකිවීම හේතුවෙන් විශාල ගැටලු මතුවිය හැකි බව අනාවැකි පළවී තිබේ. කොවිඩ් වසංගතය ලොව තුළ ඇති-නැති පරතරය පෙන්වන බරපතල සෞඛ්‍ය ගැටලුවක් වනු ඇති බවද කියවේ.

 චමිඳු නිසල් ද සිල්වා