2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා

ගෝඨාභයගේ නඩුවේ තීන්දුව!

 2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 278

ජනාධිපතිවරණයට නාමයෝජනා ලබාදීමටත් පෙර ඡන්ද සටන අලුත්කඩේ අධිකරණය වෙත ගෙනයන්නට සජිත් හිතවාදීන් කටයුතු කර තිබේ. පසුගිය ඉරිදා අමාත්‍ය රාජිත සේනාරත්න මාධ්‍යයට ප්‍රකාශ කළේ ගෝඨාභය රාජපක්ෂ පොහොට්ටු ජනාධිපති අපේක්ෂකයාට නඩු වැටෙන බවයි. ඒ කියමන සනාථ කරමින් සඳුදා දින ගෝඨාභයගේ පුරවැසිකම ප්‍රශ්න කරමින් කොළඹ ඇපැල් උසාවියේ නඩු පැවරීමක් සිදුවිය. එහි විභාගය බදාදා සිට සිදු කෙරිණි. ඇපැල් උසාවියේ නඩු විභාගය දින තුනක් පැවති අතර ගෝඨාභය රාජප මහතාගේ පුරවැසි කමට එරෙහිව පැවති නඩුව ප්‍රතික්ෂේප කිරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීන්දු ක‍ළේය. මෙම තීන්දුව දැනගත් පොහොට්ටු පාක්ෂික‍ෙයා් රතිඤ්ඤා දල්වමින් සතුට පලකළහ. 

මෙම නීතිමය සටන අස්සේ හිටපු සොලිසිටර් ජනරාල්වරුන් දෙදෙනෙකුගේ හෙළිදරව් කිරීම් ද පුවත් මවා තිබේ. ඉන් පළමු හෙළිදරව්ව කළේ ප්‍රබල ආණ්ඩු හිතවාදියකු ලෙස ප්‍රකටව හිටපු සොලිස්ටර් ජනරාල්වරිය වූ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියයි. ඇය ප්‍රකාශ කළේ සුප්‍රකට ඇවන්ගාර්ඩ් නඩුවට තමන්ට දේශපාලන බලපෑම් එල්ල වූ බවකි. එම කතාව නිසා දැන් රාජ්‍ය සේවා කොමිසම ඇයගේ වැඩ තහනම් කර තිබේ. ඉන් අනතුරුව ඊට පෙර සිටි සොලිස්ටර් ජනරාල්වරයා වූ ජනාධිපති නීතිඥ සුහද ගමලත් මහතා තමන්ට විපක්ෂයේ ඇතැම් නඩුවලදී බලපෑම් එල්ල කළ මැතිඇමැතීන් ගැන නම්ගම් සහිත හෙළිදරව්වක් කළේය. රාජිත, චම්පික පමණක් නොව ජනතා විමුක්ති පෙරමුණේ අනුර දිසානායකගේ නමත් මේ අතර විය. ඒ ගැන මෙතෙක් එම පාර්ශ්වවලින් පූර්ණ පිළිතුරක් ලැබී නැත.

ඔක්තෝබරය උදාවීමත් සමඟ දේශපාලන කේෂත්‍රයේ ප්‍රධාන පක්ෂ දෙක තුනම තම තමන්ගේ ඡන්ද ප්‍රචාරක ව්‍යාපාර දියත් කරන්නට පටන්ගෙන ඇත. මේ දිනවල සිදුවන්නේ තම තමන්ගේ පක්ෂවලට බාහිර පක්ෂවල සහයෝගය ලබාගැනීම පිළිබඳ කටයුතුය. එ.ජා.ප.යෙන් මන්ත්‍රී පදවි ලබා පසුගිය කාලයේ එ.ජා.ප.යෙන් ඈත්ව සිටි එස්.බී. නාවින්න මහතා මෙවර නැවතත් එජාපයටම එක්විය. ඒ හැර ගතවූ සතියේ වෙනත් මැතිඇමැතින්ගෙ පක්ෂ මාරු කිසිවක් නොවීය. 

එ.ජා.ප.යේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වාර ගණනක් තනිව ජනාධිපති මැඳුරට ගොස් ජනාධිපතිවරයා මුණගැසී ඔහුගේ සහාය ඉල්ලා තිබිණි. දැන් සජිත් තමන්ගේ දේශපාලන කටයුතු මෙහෙය වන්නේ පැජට් පාරේ ජනාධිපති මැඳුරට අල්ලපු වත්තේ පිහිටි රාජ්‍ය පරිපාලන අමාත්‍ය රන්ජිත් මද්දුම බණ්ඩාර මහතාගේ නිවසේ සිට නිසා ජනපති මැඳුරට පිවිසීම ඉතා පහසු වී තිබේ. සජිත්ගේ වාචික ඉල්ලීම් සමඟ එ:ජා:ප: මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ශ්‍රී:ල:නි:ප මහ ලේකම් දයාසිරි ජයසේකරට ලිපියක් යැවූ අතර දුරකතන ඇමතුමක් ද ලබාදී එජාපයට ශ්‍රීලනිප සහයෝගය ඉල්ලා සිටියේය. දයාසිරි, දුමින්ද, ලසන්ත අලගියවන්න ආදින් තවමත් පොහොට්ටුවට හිතවාදී මතයක නැත. එසේම ආණ්ඩුකාරවරුන් වන පේෂල ජයරත්න ඇතුළු පිරිසක් ද ශ්‍රීලනිපය ගත යුතු මග පිළිබඳව නිතර ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරමින් සිටිති. එහෙත් ශ්‍රී:ල:නි:පයේ ජ්‍යෙෂ්ඨයන් වන නිමල් සිරිපාල ද සිල්වා, රන්ජිත් සියඹලාපිටිය ආදීන් දිගින් දිගටම කියන්නේ තමන්ට එ.ජා.ප.යට කිසිසේත්ම සහය දියනොහැකි අතර පක්ෂය කවර තීන්දුවක් ගත්තද තමන් පොහොට්ටුව සමඟ ඡන්ද සටනට යන බවකි. ඒ ගැන ශ්‍රී:ල:නි:පයේ මධ්‍යස්ථ අදහසක් දරමින් ප්‍රශ්න සමථයකට පත්කිරීම පිණිස මහින්ද අමරවීර සන්ධාන මහලේකම්වරයා උත්සාහ දරමින් සිටින බවද සඳහන්ය.

ගිය සඳුදා රාත්‍රී 7.00ට පමණ ජනාධිපති නිල නිවසේ දී ශ්‍රීලනිප මධ්‍යමකාරක සභාව රුස්විය. එම රැස්වීමේ ප්‍රධාන අරමුණ වූයේ ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය දිය යුත්තේ කාටද යන්න තීන්දු කිරීමයි. මේ හමුවේදී ශ්‍රී:ල:නි:පයේ බහුතරය කීවේ තමන්ට එජාපය සමඟ නැවත ගමනක් නැත කියාය. දිගින් දිගටම මේ මතය දරන නිමල් සිරිපාලද සිල්වා, රන්ජිත් සියඹලාපිටිය, මලිත් ජයතිලක, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, චාමර සම්පත් දසනායක ආදීන් දිගින් දිගිටම සඳහන් කළේ තවදුරටත් එ.ජා.ප.ය. සමඟ සන්ධාන ගහන්නට යාම ශ්‍රීලනිපයට විශාල පාඩුවක් කියායි. එසේ කළහොත් පක්ෂය නාය යන බවද ඔවුහු කීහ. නමුත් ඊට එරෙහිව ප්‍රබල ලෙස කරුණු දක්වන්නට ඉදිරිපත් වූයේ වයඹ පළාත් ආණ්ඩුකාරවරයා වන පේෂල ජයරත්න මහතාය. මහින්දලා සමඟ නැවත ගමනක් නැතැයි කී ඔහු පොහොට්ටුව යටතේ ඡන්දය ඉල්ලිය නොහැකි යැයි ද කීය. මහින්දට ගිය වසරේ අගමැති ධුරය ලබාදීම ද වරදක් බව කියමින් මහින්ද රාජපක්ෂ මහතා විවේචනය කරන්නට පටන් ගත්විට මාතලේ ලක්ෂමන් වසන්ත පෙරේරා, පේෂලා ජයරත්නට දැඩි ලෙස පහර දෙමින් කතා කළේ පක්ෂය විනාශයට ගෙනයන්නට කතා නොකරන්නැයි කියමිනි. ලසන්ත අලගියවන්නද පක්ෂ ලාංඡනය ගැන කියද්දී දයාසිරි ජයසේකරත් ඒ මතය අනුමත කළේය. නමුත් මහින්ද අමරවීර මෙන්ම වෙනදා තදින් කතා කරන දුමින්ද දිසානායක මන්ත්‍රීවරු දෙදෙනා නිහඬව සිදුවන දේ බලාසිටියා මිස කතා කරන්නට ගියේ නැත. ජනාධිපතිවරයා ද මේ ගැන බරපතළ ලෙස අදහස් දැක්වීමෙන් වැළකී සිටි අතර සෑම පක්ෂයක් සමඟම සාකච්ඡා කර තීන්දුවක් ගනිමු යැයි කීය. එහෙත් නිමල් සිරිපාලලාට ඕනෑ වූයේ කඩිනම් තීන්දුවකි. කෙසේ හෝ ශ්‍රී:ල:නි:ප: මධ්‍යම කාරක සභාව කිසිදු තීන්දුවකින් තොරව අවසන් වූ අතර ලබන 5 දා හමුවී අවසන් තීරණයක් ගැනීමට එකඟවිය. ඉන්පසු පක්ෂ ලාංඡනය ගැන කතා කරන්නට ජනාධිපති නිවසට බැසිල් රාජපක්ෂ මහතා පසුදා පැමිණියේය. එම කතාවට ජනාධිපතිවරයා සහ බැසිල් පමණක් එක්වූහ. දෙපක්ෂය එක්වීමේ ගැටලුවක් නැතත් ලාංඡනය ගැන පක්ෂ ප්‍රබලයන් දක්වන විරෝධය ජනාධිපතිවරයා පැහැදිලි කර තිබිණි. එහෙත් අවසන් තීන්දුවක් නොගත් බැසිල් ඉන් අනතුරුව මාධ්‍යයට කීවේ ශ්‍රී:ල:නි:ප සහාය ඉතා වැදගත් බවත් දේශපාලනයේදී වෙනස් නොකළ හැකි කිසිවක් නැති බවත්ය.

මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු මේ සතියේ වැඩි කාලයක් ගතකළේ ගෝඨාගේ නඩුව ගැන වෙහෙසීමටයි. ජනාධිපති නීතිඥවරුන් වන රොමේෂ් ද සිල්වා, ගාමිණී මාරපන, අලි සබ්රි, මනෝහර ද සිල්වා මෙන්ම හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා ඇතුළු නීති විශාරදයෝ මහින්ද සහ ගෝඨා සමඟ මේ නඩු කටයුත්තේ හැම අංශයක්ම පරීක්ෂා කළහ. ඒ අතර නඩුවට සම්බන්ධ ආගමන විගමන දෙපාර්තමේන්තුව භාර වජිර අබේවර්ධන අමාත්‍යවරයාට ද සෑම පැත්තෙන්ම දුරකතන ඇමතුම් ලැබෙමින් තිබිණි. ඒ නඩුව ගැන විමසන්නටය. පොහොට්ටුවේ සිටින වජිරගේ හිතවතුන් ද ඔහුට කතා කළහ. ඒ සියල්ලන්ට වජිර කියා තිබුණේ තම දෙපාර්තමේන්තුවේ තිබූ නඩුවට අදාළ සියලු ලිපිලේඛන රහස් පොලිසිය විසින් ගෙන යන ලද බවත් තමන්ට මෙහිදී කිසිවකුට අසාධාරණයක් කිරීමට මැදිහත් වන්නට හැකියාවක් නැති බවත්ය.

පොහොට්ටුවේ පක්ෂ නායකයන්ගේ හමුවක්ද මෙම නඩුව සම්බන්ධව සාකච්ඡා කරන්නට කැඳවා තිබිණි. එහිදී මහින්ද රාජපක්ෂ මහතා තත්ත්වය විස්තර කළේය. වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා කියා තිබුණේ මෙම නඩුවට අදාළ නඩු නිමිත්ත නිලධාරීන්ගේ පටිපාටිමය වරදක් පදනම් කරගෙන නිර්මාණය කර ඇති බවයි. එහෙත් එයට ගෝඨාභය රාජපක්ෂ මහතා කිසි ලෙසකින් සම්බන්ධ නැතැයි වාසු දීර්ඝ ලෙස කරුණු දක්වමින් කියා සිටියේය. නඩුවට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා නඩුවේ නීතිමය කටයුතු ගැන කරුණු දැක්වීය. ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥයන් නඩුව ගැන පියවර ගන්නා වගත් අවශ්‍ය සියලු නිවැරදි ලිපිලේඛන තමා සතු බවත් ගෝඨා පෙන්වා දුන්නේය. උදය ගම්මන්පිල කීවේ මෙය ගෝඨාට අපහස කරන්නට පැවරූ නඩුවක් බවයි. මෙම කතාබහ යන අතර මහින්ද රාජපක්ෂ මහතාගේ ඇරුයුමෙන් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පොහොට්ටු පක්ෂ නායක හමුවට පැමිණියේය. ඔහු පැමිණියේ ගෝඨාගේ නඩුවේ නීතිමය තත්ත්වය ගැන පොහොට්ටු නායකයන්ට කරුණු දැක්වීමටයි. ඒ අනුව සබ්රි මහතා පැය භාගයකට ආසන්න කාලයක් නඩුවේ පසුබිම හා ඊට අදාළව ගෙන ඇති පියවර ගැන පොහොට්ටු නායකයන්ට කරුණු කීය. “නඩුව ඉතාම පැහැදිලි බවත් එහි කිසිදු අවාසියක් නැති බවත්” පැවසූ සබ්රි මහතා අධිකරණ තීන්දුව ගැන තමන් අනාවැකි නොකියන බවත් සඳහන් කළේය. තමන් ඇතුළු නීතිඥ පිරිස උපරිම නීතිමය සටන දියත්කර ඇතැයි ද ජනාධිපති නීතිඥ සබ්රි සඳහන් කළේය.

එ.ජා. පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍යවරුන් වන කබීර් හෂීම්, රවි කරුණානායක, මලික් සමරවික්‍රම සහ දෙමළ සන්ධාන නායක සම්පන්දන් හා මන්ත්‍රී සුමන්තිරන් අතර හමුවක් අඟහරැවාදා සවස අරලියගහ මැඳුරේදී පැවැත්විය. ඊට පෙර දිනක දෙමළ ජාතික සන්ධානයේ අවසරය ඇතිව මන්ත්‍රී සුමන්තිරන් විපක්ෂ නායක නිල නිවසට ගොස් මහින්ද රාජපක්ෂ මහතා සමඟ උදෑසන ආහාරය ගනිමින් පැය දෙකක දීර්ඝ සාකච්ඡාවක් කළේය. එහි ප්‍රතිඵල ප්‍රකාශ වී නැත.

කෙසේ හෝ එ.ජා.ප. නායකයන් අතර පැවති හමුවේදී දෙමළ සන්ධානය තමන්ගේ සුපුරුදු ප්‍රතිපත්ති ගැන ප්‍රශ්න කළේය. බලය බෙදීම විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම එම කරුණු අතර ප්‍රධාන විය. සුමන්තිරන් මන්ත්‍රීවරයා මේ ගැන මූලික විස්තර ඉදිරිපත් කිරීමෙන් පසු සම්පන්දන් මහතා කතා කළේය. “අපේ ජනතාවගේ ප්‍රශ්නය බරපතළයි. ඒත් දකුණේ හුඟාක් පක්ෂ නායකයෝ උතුරු නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්නය විහිළුවට අරන් කියලා අපට පේනවා. මේ බරපතළ ප්‍රශ්නය විහිළුවට ගන්න එපා. අපට මේ ජනාධිපතිවරණයට කලින් නිශ්චිතවම දැනගන්න ඕන. මොකද වෙන්නේ කියලා. ඒ වගේම කරන්න යන දේ ගැන ලිඛිත සහතිකයක් දෙන්නත් ඕන. ලිඛිතව දෙන්න ඔබතුමන්ලා අකමැතිනම් ඒක ප්‍රසිද්ධ වෙන්න ප්‍රතිපත්ති ප්‍රකාශනයට දාන්න..” සම්පන්දන් තමන්ගේ කතාව එසේ සාරාංශ කළේය. අමාත්‍ය මලික් සමරවික්‍රම එහිදී පැවසුවේ “ඔය සමහර කාරණා ප්‍රසිද්ධ කරන්න ගියොත් අපට දකුණේ සහාය නැතිවෙයි.” කියායි. “හැමෝම දකුණේ ජනමතයට බයයි. ඒකයි ප්‍රශ්නය. නමුත් අපට මොනව හරි ලිඛිතව ඕනෑ..” සම්පන්දන් සුමන්තිරන් දෙදෙනාම කීහ. අනතුරැව අමාත්‍ය මලික් විකල්ප යෝජනාවක් ඉදිරිපත් කළේය. “සම්පන්දන් මැතිතුමා කනගාටු වෙන්න එපා.. උතුරට සංවර්ධනය ලබාදෙන්න හොඳ ක්‍රමයක් තිබෙනවා. ඔබතුමා දන්නවානේද මගේ අමාත්‍යාංශයේ තිබෙන ෆැල්මයිරා පවුන්ඩේෂන් (තල් සංවර්ධන අරමුදල) ඒකෙ රුපියල් බිලියන 2ක් (කෝටි 200) මුදල් තියනවා. ඒ මුදල් මට පුළුවනි උතුරේ කටයුතුවලට නිදහස් කරන්න. ඒක අරන් ඡන්දයට පෙර සංවර්ධන කටයුතු පටන්ගන්න පුළුවනි.” මලික් තම යෝජනාව විස්තර කළේ එසේය. නමුත් සම්පන්දන්ලා ඒ ගැන උනන්දු වූ බවක් නොපෙනුණි. “ඔය විදිහට මුදල් ගැන කතා කරලා ඡන්ද ගන්න අමාරුයි. ඒක දැන් අපට අදාළ නැහැ. අපට දෙන විසඳුම අර කිව්ව විදිහට දෙන්න. ඒකයි අපේ පක්ෂයේ තීරණය.” ඔවුහු පැවසූහ. එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීවේ “අපට ඔබතුමන්ලාගේ සහය ඕනෑ. මම ඉන්නවානේ ඒ ගැන මම බලාගන්නම් කියායි. එවිට සම්පන්දන් පැවසුවේ “ඔබතුමා ගැන විශ්වාසයි. නමුත් ඔබතුමා කලිනුත් හිටියනේ. ඒත් මුකුත් කරගන්න පුළුවන් වුණේ නැහැනේද? එවිට සජිත් ප්‍රේමදාස කතාවට මැදිහත්ව “මම කීවොත් කියන දේ කරනවා. යැයි කියද්දී” “දකුණෙ පක්ෂ ඔය විදිහට අපට කීපාරක් කිව්වද” කියා සම්පන්දන් ප්‍රශ්න කළේය. ඒ සමඟ නැවත හමුවන අපේක්ෂාවෙන් සාකච්ඡාව හමාර කළේ තීරණයකින් තොරවය.

ගිය අඟහරුවාදා රාත්‍රියේ සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ එ.ජා.ප. ජ්‍යෙෂ්ඨයන් වෙත ජනාධිපතිවරයාගේ ආරාධනයක් ලැබිණි. ඒ ඔවුන් එවූ ලිපිය අනුව ශ්‍රී:ල:නි:ප සමඟ සාකච්ඡාවක් සඳහා ජනාධිපති මැඳුරට පැමිණෙන හැටියටයි. සජිත්, අකිල, මලික්, කබීර් ඇතුළු පිරිසක් සජිත් සමඟ ජනාධිපති මැඳුරට පැමිණි අතර ඔවුන් සමඟ ජනාධිපතිවරයා සහ ශ්‍රී:ල:නි:පයේ දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර ඇතුළු පිරිසක් ද වූහ. සජිත්ට සහාය දෙන්නට අවශ්‍ය පියවර ගන්නැයි එ.ජා.ප. නියෝජිතයන් ඉල්ලා සිටි නමුත් ජනාධිපතිවරයාගේ පාර්ශ්වය කියා ඇත්තේ ඒ ගැන පක්ෂ සමඟ කතා කළ යුතු බවය. ඉන් ඔබ්බට සාකච්ඡාව දුරදිග ගොස් නැත. ඒ අතර එ.ජා.ප.යේම රංගේ බණ්ඩාර, සරත් ෆොන්සේකා ආදීන් සජිත්ගේ වේදිකාවට ජනාධිපතිවරණයට නැගුණොත් තමන් ඊට දැඩි විරෝධය පළකරන බව සඳහන් කර තිබේ.

සජිත්ලා සමඟ සාකච්ඡාව සිදුකරන ලද අඟහරුවාදා දහවල් ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයකු විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බැසිල් රාජපක්ෂ මහතාට හා ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට දෙපක්ෂය අතර ඇති කරගන්නට ගිය ගිවිසුමේ කෙටුම්පත් දෙකක් භාර දුන්නේය. ලබන 05දායින් පසුව සන්ධාන ගතවීම ගැන තීන්දුවක් ගන්නා බව දැනට ඔවුන් ප්‍රකාශ කර තිබේ. 05දා මෙම දිනය ලෙස යොදාගත්තේ ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිකම පිළිබඳ තීන්දුව ඒ වනවිට ලැබීමට නියමිතව තිබූ නිසාය. යම් හෙයකින් නඩු තීන්දුවෙන් ගෝඨාට බාධාවක් සිදුවුවහොත් විකල්ප අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාට අවස්ථාවක් හිමිවනු ඇතැයි ශ්‍රී.ල.නි.ප.ය අපේක්ෂා කරන බැවින් මෙලෙස දින යොදාගෙන ඇති බව ශ්‍රී:ල:නි:ප: ආරංචි මාර්ග කියයි. එහෙත් මේ වනවිට විකල්ප අපේක්ෂකයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිල නොවන වශයෙන් යෝජනා කර ඇත්තේ චමල් රාජපක්ෂ මහතාය. ඔහු නාමයෝජනා දීමක් සිදුකරන්නේ නම් එසේ කළයුත්තේ ස්වාධීන අපේක්ෂකයකු ලෙසය. පසුගිය බ්‍රහස්පතින්දා ඉතාම සුබ දිනයක් බැවින් චමල් රාජපක්ෂ මහතා එදින ඇප මුදල් තැන්පත් කළ යුතුයැයි ඇතැම් පිරිස් මහින්ද රාජපක්ෂ මහතාට යෝජනා කළ ද මහින්ද ඔවුනට මුලින් කීවේ එය අනවශ්‍ය බවත් නඩුවේ ජයග්‍රහණය ගැන තමන්ට උපරිම විශ්වාසයක් ඇති බැවින් තවත් අපේක්ෂකයකු ඇප තැන්පත් කළහොත් එය අනවශ්‍ය දේශපාලන කලබලයක් විය හැකි බැවින් නඩු තීන්දුවෙන් පසුව එවැනි විකල්පයක් සලකා බැලීමට අවශ්‍ය වුවහොත් එය සිදුකරන බවත්ය. කෙසේ වෙතත් සිකුරාදා සවස් වනවිට චමල් රාජපක්ෂ මහතා ඇප තැන්පත් කළ බව වාර්තාවිය. කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයද කියා තිබුණේ චමල් රාජපක්ෂ මහතා එලෙස ඇප තැන්පත් කිරීම වරදක් නොවන වගයි. ඒ අතර වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා හදිසියේ සිංගප්පූරුවට කැඳවා ඇත්තේ ඔහුගේ හදවත් සැත්කම සිදුකළ මවුන්ට් එළිසබෙත් රෝහලේ ශල්‍ය වෛද්‍ය සිවනාදන් මහතාය. ඔහු 1983 ජුලි කලබල සමයේ මෙරට හැරගොස් දැනට සිංගප්පූරැවේ සිටින ජ්‍යෙෂ්ඨතම ශල්‍ය වෛද්‍යවරයාය. දොස්තර සිවනාදන් වාර ගණනාවක්ම ගෝඨාට දුරකතයෙන් කතා කර කීවේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ඇරඹීමට පෙර පැමිණ සැත්කම සිදුකරන පළමු වෛද්‍ය පරීක්ෂණයට මුහුණ දෙන ලෙසයි. ඒ අනුව ලබන 09දා අනුරාධපුරයේ පැවැත්වෙන මංගල රැලිය හමාර වීමෙන් පසු එදින රාත්‍රීයේ ඔහු සිංගප්පූරුව බලායාමටත් දෙදිනකින් මෙරටට පැමිණීමටත් අධිකරණයෙන් අවසර ඉල්ලා ඇත.   

එක්සත් ජාතික පක්ෂයේ මහා සම්මේලනය පසුගිය බ්‍රහස්පතින්දා සිරිකොත මන්දිරයේදී පැවැත්විණි. අගමැති රනිල් - ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රමුඛ පක්ෂ නායකයෝ ද හේමා ප්‍රේමදාස මහත්මිය ඇතුළු ප්‍රේමදාස පවුලේ සාමාජිකයෝ ද කලකට පසු පක්ෂ මහා සමුළුවට එක්ව සිටියෝය. මෙම සමුළුව සඳහා සෑහෙන පාක්ෂිකයන් පිරිසක් ද එක්වූ අතර සමුළුවේ ප්‍රධානම කටයුත්ත වූයේ එ.ජා.ප. ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ නාමයෝජනාවට මහ සමුළුවේ අනුමැතිය ලබාගැනීමයි. අග්‍රාමාත්‍ය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊට අදාළ යෝජනාව ඉදිරිපත් කිරීමට වේදිකාවට පැමිණියේ හිටපු ජනාධිපති බිරිඳ හේමා ප්‍රේමදාස මහත්මියගේ අතින් අල්ලාගෙන වීම විශේෂයකි. සජිත්ගේ නමට අනුමැතිය ලද පසු රනිල් හා සජිත් ප්‍රමුඛ පක්ෂ නායකයෝ කතා කළහ. ඒ සමඟ සම්මත කරගත් විශේෂ යෝජනාව පක්ෂ මහ ලේකම් අකිල විරාජ් මහතා විසින් සභාවට ඉදිරිපත් කරනු ලැබීය. එමගින් යෝජනා ගණනාවක් සම්මත කර ගැනිණ. බලය බෙදාහැරීම, මැතිවරණ ක්‍රම ප්‍රතිසංස්කරණය, පක්ෂ නායකත්වය හා අග්‍රාමාත්‍ය ධූරය රනිල් වික්‍රමසිංහ මහතාට පැවරීම, පක්ෂය අර්බුදයට ගිය මොහොතේ කතානායක කරු ජයසූරිය මහතා කළ මෙහෙවරට ගෞරවය පුද කිරීම එම යෝජනා අතර ප්‍රධාන විය.

මෙහිදී පාක්ෂිකයන් ඇමතූ සජිත් කීවේ තමන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ එක්ව කිසිදා මෙරටට සිදු නොවූ සේවාවක් ඉටු කරන බවයි. එ.ජා.ප. පක්ෂ මහ සමුළුව පැවැත්වෙද්දී එය මැතිවරණයේ ප්‍රචාරක නීති උල්ලංඝනය කරමින් ජාතික රූපවාහිනිය සහ තවත් පෞද්ගලික රෑපවාහිනි නාළිකාවකින් සජීවීව විකාශය කෙරෙමින් තිබිණි. මෙය නීති විරෝධී බව මැතිවරණ කොමිසමට පැමිණිලි ගණනාවක් ලැබිණි. ඒ සමඟ ක්‍රියාත්මක වූ මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රූපවාහිනි සංස්ථාවටත් අනෙක් පෞද්ගලික නාළිකාවටත් වහා නියෝග කළේ මෙම විකාශය අත්හිටුවන ලෙසයි. රූපවාහිනියට ඒ සඳහා නියමිත මුදල් ගෙවා ඇත්ද නැත්ද යන්න ගැන ගැනත් පරීක්ෂණයක් කරන බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නායක ප්‍රකාශ කර තිබිණි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ දෙවැනි පුත් ලුතිනන් කමාන්ඩර් යෝෂිත රාජපක්ෂ ගිය බ්‍රහස්පතින්දා අතිනත ගත්තේය. ඔහුගේ මනාලිය වූයේ නවලෝක සමූහ ව්‍යාපාරයේ පවුලේ දියණියක වූ නිතිෂා ජයසේකර මෙනවියයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහි ප්‍රධාන අරාධිතයා වූ අතර රජය වෙනුවෙන් මනාලියගේ පාර්ශ්වය නියෝජනය කරමින් අමාත්‍ය රවි කරුණානායක පැමිණ සිටියේය. පොහොට්ටුවේ මන්ත්‍රීන් ගණනාවක් ද මෙම උත්සවයට එක්වූ අතර අමුත්නන් 700 ක් සමඟ ඉතා චාම් අන්දමින් මංගල උත්සවය සිදු කෙරිණි. මෙහි දෙවැනි ගමන් උත්සවය හෙට 07දා මැදමුලනේ දී පැවැත්වෙයි.

ජනතා විමුක්ති පෙරමුණ මේ දිනවල ස්වකීය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය සකසමින් සිටින්නේ ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක වෙනුවෙනි. එම ප්‍රතිපත්ති ප්‍රකාශනය පියවර කිහිපයකින් එළිදැක්වෙන්නේ එහි සඳහන් විෂය කාරණාවලට අදාළ ස්ථානවලදීය. ඒ අතර අනුර දිසානායක මහතා මේ සතියේ යාපනයට ගියේ උතුරේ ජනතාවගේ සහාය අපේක්ෂාවෙනි. මෙය යාපනයේ “ටීමර්” ශාලාවේ දී පවත්වන්නට යෙදුණි. උතුරේ වෛද්‍යවරුන්, සරසවි ඇදුරන් ආදී පිරිසක් මෙම සම්මන්ත්‍රණයට එක්වූ අතර දකුණෙන් ගිය ආචාර්ය සුනිල් සෙනෙවි, ලාල් විජේනායක, ආචාර්ය හරිනි අමරසූරිය, හිටපු අමාත්‍යාංශ ලේකම් අශෝක පීරිස් ආදීහු ද යාපනයට ගොස් අනුර දිසානායක වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීමෙහි යෙදුණෝය. රට ගොඩනැගීම සඳහා ජාතික ජන බලවේගයේ සැලසුම් සහගත මෙහෙවර සියලු ජාතීන් කෙරේ සමානාත්මතාව පළ කරන ප්‍රතිපත්ති ඇතුළත් වැඩ සැලසුමේ විශේෂ අංග හෙළි කරමින් අනුර දිසානායක මහතා මෙහිදී විශේෂ දෙසුමක් ද කළේය. 

ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර
 

 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 07 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00