2023 ජනවාරි 15 වන ඉරිදා

ඡන්ද උණුසුමත් යටකළ නඩු තීන්දුව

 2023 ජනවාරි 15 වන ඉරිදා, පෙ.ව. 06:00 304

අප පසුගිය සතියේ අනාවැකි කී ලෙසින් මැතිවරණ උණුසුමද පරයා යමින් විශාල අවධානයක් යොමු වූ නඩු තීන්දුවක් ඉකුත් සතියේ ප්‍රකාශයට පත්විය. ඒ අනුව පාස්කු ප්‍රහාරය සම්බන්ධ පෙත්සම් විභාගය අවසන් කරමින් පසුගිය බ්‍රහස්පතින්දා ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පාස්කු ප්‍රහාරයට අදාළව ඉදිරිපත් වී තිබූ පෙත්සම් 13ක් විභාගයට ගනිමින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්විය. බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් 2019 අප්‍රේල් 21 වැනි දින පාස්කු ඉරිදා දින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට අවශ්‍ය පියවර නොගැනීමෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ වගඋත්තරකරුවන්, පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.

තීන්දුව ප්‍රකාශයට පත්කරමින් පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයින්ට රුපියල් මිලියන 100ක වන්දියක් ගෙවන ලෙසට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනටත්, පූජිත් ජයසුන්දර සහ නිලන්ත ජයවර්ධනට රුපියල් මිලියන 75 බැගින් වින්දිතයින්ට වන්දි ගෙවිය යුතු බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

එසේම හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු රුපියල් මිලියන 50ක් සහ හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මිලියන 10ක වන්දියක් වින්දිතයින්ට ගෙවිය යුතු බවටද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරනු ලැබීය. තවද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර සිටියේ, අදාළ මුදල් සියල්ල එකතුකර වින්දිතයන්ට වන්දි ගෙවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසය.

ඒ අනුව ප්‍රහාරයෙන් ඝාතනයට ලක්වූ එක් පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් මිලියනයක් සහ තුවාල ලැබූ පුද්ගලයකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 5 බැගින් වන්දි ගෙවන ලෙසටද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරනු ලැබීය. හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට එරෙහිව වහාම විනය පියවර ගන්නා ලෙසද මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

අදාළ නියෝගය ලබාදුන්නේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසිනි. 

මෙම නඩු තීන්දුව සම්බන්ධව විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවූ අගරදගුරු මැල්කම් කාදිනල්  රංජිත් හිමිපාණන් සදහන් කළේ මෙය ඓතිහාසික නඩු තීන්දුවක් බවයි. රාජ්‍ය නිලධාරින්ට මෙය සුවිශේෂී පාඩමක් වනු ඇති බවද උන්වහන්සේ පැවසූහ.

දේශපාලන කරළියේ සියලුදෙනාම තැටි රත් කරගනිමින් සිටියේ රොටි පුච්චා ගැනීමේ බලාපොරොත්තුවෙනි. අත පුච්චා ගැනීමට අකමැති වූ පිරිස් වෙන වෙනම සන්ධාන ගත වූහ. වදන් ගිනිකෙළි හරඹ සංදර්ශන නොඅඩුව දැක බලා ගතහැකි විය. ගෙවී ගියේ තවත් තීරණාත්මක දේශපාලන සතියකි.

රටම මැතිවරණයකට සූදානම් වන අතරේ, මැතිවරණය පවත්වනවාද නැද්ද පිළිබඳ දෙගිඩියාව ආණ්ඩුව අභ්‍යන්තරයේ එලෙසම පැවතුණි. එක්සත් ජාතික පක්ෂයේ සහ තවත් පක්ෂ කීපයක් මැතිවරණය පැවැත්වීමට කැමැත්තකින් පසුවන බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේය.

"කෑම ටික පොහොර ටික, ගේන්න, පඩි ගෙවන්න සල්ලි නෑ. විදුලි බිලත් වැඩි කරන්න වෙලා. මේ වෙලාවේ කොහොමද ඡන්දයක් කරන්නෙ?"

මැතිවරණයට විරුද්ධවූවෝ සුපුරුදු තර්කය ඉදිරිපත් කරමින් සිටියහ

කෙසේ වෙතත් ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු විපක්ෂයෙන් සමගි ජනබලවේගය, ජාතික ජනබලවේගය, අලුතින් බිහිවූ ජනතා නිදහස් සන්ධානය ඇතුළු පාර්ශ්ව පළාත් පාලන මැතිවරණය නියත වශයෙන්ම පැවතිය යුතු බව කියා සිටියහ. මොනයම් හෝ උපක්‍රමයක් යොදා ආණ්ඩුව මැතිවරණ කල් දමතැයි ඔවුන් තුළ සැක සංකා පහළ වී තිබුණි.

ඉකුත් සතිය අවසන් වනවිට මැතිවරණය සඳහා ඇප තැන්පත් කිරීම අතින් පෙරමුණ ගෙන සිටියේ පොහොට්ටුවයි. නෙළුම් මාවතේ පක්ෂ කාර්යාලයෙහි බැසිල් රාජපක්ෂගේ නායකත්වයෙන් මැතිවරණ සංවිධානය සඳහා වන රැස්වීම් අඛණ්ඩව පැවැත්වෙමින් තිබුණි. ඒ අතර පක්ෂ මහ ලේකම් සාගර කාරියවසම්, ඇප තැන්පත් කිරීමේ කටයුතු වෙනුවෙන් රට පුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට ගියේය.

මේ අතර පසුගිය දිනක ජනපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදු පෙරමුණු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අතර හමුවක් පැවති බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. මෙහි මූලික වශයෙන් මැතිවරණ කටයුතු පිළිබඳව සාකච්ඡා වී ඇතැයි කියැවේ.

එජාප සහ පොහොට්ටුව අතර දේශපාලන සන්ධාන කතිකාව යථාර්ථයක් වූයේ මේ සමඟය. පොහොට්ටුව වෙනුවෙන් මහ ලේකම් සාගර කාරියවසම් සහ එජාපය වෙනුවෙන් මහ ලේකම් පාලිත රංගේබණ්ඩාර ප්‍රධානත්වය ගත් මැතිවරණ සංවිධාන කමිටුවක්ද නිර්මාණය විය.

බොහෝදුරට පළාත් පාලන ආයතන පනහක පමණ එජාපෙ සහ පොහොට්ටුව සිය වාසිය සලකා අලියා හෝ පොහොට්ටුව ලකුණින් එකක් යටතේ තරග කරුණු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ දැන ගැනීමට ලැබුණි. කෙසේ වෙතත් මෙම පක්ෂ ද්විත්වය නායක මට්ටමින් සන්ධාන ගත වුවද බිම් මට්ටමේ තත්ත්වය ඊට තරමක් වෙනස් බව පෙනී ගියේය.

"අපි මෙච්චර පක්ෂය වෙනුවෙන් කට්ට කාගෙන ඉඳලා ඇයි මෙයාල එයාලා එක්ක සන්ධාන හදන්න යන්නේ. එහෙම වුණොත් අපි ස්වාධීන වෙනවා."

අලි පොහොට්ටු සාම්ප්‍රදායික විරෝධය නිසා වෙන් වෙන්ව නාගරික මන්ත්‍රීවරුන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් අතරින් ඇතැමෙක් මෙවන් අදහස් පළ කළහ. නාමයෝජනා සටනේදී මෙම තත්ත්වය තවදුරටත් උග්‍රවීමට ඉඩ කඩ ඇතැයි අනාවැකි පළවිය.
ලියුම් පළහිලව්වක් නිසා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ යම් කලබගෑනියක් සිදුවූයේ මේ අතරය. මෙම ගැටලුවට මැදිවූයේ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතායි. ඔහු අමාත්‍යාංශ ලේකම්වරයකු වීමට පෙර සහකාර මැතිවරණ කොමසාරිස්වරයෙකු ලෙස කළුතර, ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්වල සේවය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

ආරංචි මාර්ග පරිදි මැතිවරණ පිළිබඳ පුළුල් අත්දැකීම් ඇති හපුහින්න මහතාට පසුගිය බදාදා කැබිනට් ලේකම් ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු මහතාගෙන් පණිවිඩයක් ලැබී ඇත. එයින් කියැවී ඇත්තේ පළාත් පාලන මැතිවරණයට ඇප මුදල් භාරගැනීම සම්බන්ධව කැබිනට් මණ්ඩලය ගත් තීරණයක් පිළිබඳවයි.

ඇප මුදල් භාර නොගන්නා ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දෙන්න යයි, මෙම පණිවිඩයෙන් කියැවුණු බව ආරංචිමාර්ග සඳහන් කරයි.

"එහෙනම් මට කරුණාකරලා ලිඛිතව කැබිනට් තීන්දුව ලබාදෙන්න."

ලිඛිතව කැබිනට් තීරණය දැනුම් දෙන ලෙස රාජ්‍ය පරිපාලන ලේකම්වරයා, කැබිනට් ලේකම්වරයාගෙන් සිදුකළ ඉල්ලීමෙන් පසු කැබිනට් තීරණය අඩංගු ඉංග්‍රීසි පිටපතක් ඔහු වෙත ලැබී ඇත.
"ඉංග්‍රීසි එක නෙවෙයි. මට සිංහල එකත් ඕනෑ..."

කැබිනට් ලේකම්වරයා නැවත අමතා නීල් හපුහින්න මහතා එලෙස පවසා ඇතැයි කියැවේ.

"සිංහල කැබිනට් මිනිට් එකක් නෑ. ඕක පරිවර්තනය කරල ගන්න..."

අප ආරංචි මාර්ග සඳහන් කරන පරිදි ඔහුට ලැබී ඇත්තේ එවන් පිළිතුරකි. අවසානයේ එවනු ලැබූ කැබිනට් තීරණ අනුව කටයුතු කිරීමට ලේකම්වරයා අදහස් කර ඇත. ඇප ලබාගැනීම පිළිබඳව කැබිනට් තීරණය දිසාපතිවරුන් වෙත දැනුම් දීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න කටයුතු කර තිබේ.

පළාත් පාලන මැතිවරණයට අදාළ ඇප බාර නොගන්නා ලෙසට කැබිනට් තීන්දුවක් තමා හට ලැබී ඇති බවත්, ඒ අනුව දිස්ත්‍රික් ලේකම්වරුන්ද කටයුතු කළයුතු බවත් ඔහු යොමුකළ එම ලිපියේ සඳහන්ව තිබේ.

මෙම ලිපිය දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යොමු වී ටික වේලාවක් ගත වනවිට මුහුණු පොතට සටහනක් එක්කර තිබුණේ හිටපු මැතිවරණ කොමසාරිස්, වර්තමාන සීමා නිර්ණය කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතායි.

"ඡන්ද විමසීමකදී ගැසට් මගින් පත්කරන දිස්ත්‍රික් තේරීම් බාර නිලධරයා වූ දිසාපතිවරයා වෙත පැවරෙන සියලුම රාජකාරි, විධිමත් ලෙස ගැසට් කරන ලද දිස්ත්‍රික් සහකාර තේරීම් බාර නිලධාරීන් වූ නියෝජ්‍ය / සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්ට ඉටුකළ හැකියි. තවද ඇප මුදල් බාර ගන්නේ තේරීම් බාර නිලධාරීන් නොව නියෝජ්‍ය හෝ සහකාර කොමසාරිස්වරුන්ය. එබැවින් 2018 දීද භාවිතා කිරීමට තැත් කළ, එහිදී මැතිවරණ කොමිසම ඉදිරියේ හකුලා ගැනීමට සිදුවූ උපක්‍රමයම නැවත යොදාගැනීමට තැත්කළ අර ලිපිය, කඩදාසියක් පමණකි."

එලෙස ලියා තබා මහින්ද දේශප්‍රිය මහතා එදින පැවති ඉන්දු-ශ්‍රී ලංකා ක්‍රිකට් තරගයේ දසුන්ගේ ශතකය නිසා පෝස්ටුව පමාවීම ගැන සමාවද ඉල්ලා තිබුණි. කෙසේ වෙතත් මෙම ලිපිය හේතුවෙන් ඇතිවූ දේශපාලන කලබලය සුළුපටු නොවුණි. බොහෝ දේශපාලන පක්ෂ කලබල විය.

මේ වනවිට රාජ්‍ය පරිපාලන ලේකම්වරයාටද තත්ත්වය වැටහී තිබුණි. ඔහු සිය ජ්‍යෙෂ්ඨයන් සමඟ කථාබහ කිරීමෙන් පසු ස්වාධීන කොමිෂන් සභාවක් වූ මැතිවරණ කොමිෂන් සභාව ඉක්මවා යෑමට කිසිවකුට නොහැකි බව අවබෝධ කොටගෙන ඇත. ඒ අනුව තමන් විසින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට යොමුකළ ලිපිය කඩිනමින්ම ඉල්ලා අස්කර ගැනීමට රාජ්‍ය පරිපාලන ලේකම්වරයා කටයුතු කළේය..

ලිපිය ඉල්ලා අස්කර ගැනීමේ කටයුතු සිදු වුවද සමගි ජනබලවේගය ඒ වනවිටත් මැතිවරණය හැකිලීමේ උත්සාහයට එරෙහිව නීතිය ඉදිරියට යාමට තීරණය කර තිබුණි. සජබ මහ ලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර පසුවදා උදෑසනම ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගියේය. ලිපිය ඉල්ලා අස්කරගත් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගියේ ඇයි? මාධ්‍ය ඇතුළු බොහෝ දෙනා සමගි ජනබලවේගයන් ප්‍රශ්න කරන්නට විය.

"ලිපිය ඉල්ලා අස්කර ගත්තට කැබිනට් තීන්දුව අහෝසි කරල නැහැ. අපි මේ සටන ඉදිරියට ගෙන ගෙනියනවා."

මෙවන් කැබිනට් තීන්දුවක් සම්බන්ධව ප්‍රශ්න කළ යුතු බව සජබ කියා සිටියේය. තවද ඇප තැන්පත් කිරීම නවතාලීමේ බලය ඇතේ කාටද යන්න පිළිබඳවද සාකච්ඡාවක් නිර්මාණය විය.

මේ අතර මාධ්‍ය ඇතුළු බොහෝ පාර්ශ්ව කැබිනට් ඇමැතිවරුන් අමතා මෙම කැබිනට් තීන්දුව පිළිබඳ වැඩිදුරටත් තොරතුරු විමසා සිටියහ.

"කොහොමද ඔබතුමාලා මෙහෙම කැබිනට් තීන්දුවක් ගත්තේ? කැබිනට් එකේ මොකක්ද වුණේ?"

මෙම ප්‍රශ්නවලට නිසි පිළිතුරක් ලබාදීමට අමාත්‍යවරුන් සමත් වූයේ නැත. එම නිසාම මේ තීරණය පිළිබඳ විවිධ පාර්ශ්ව සැක සංකා මතු කරන්නටද වූහ.

මේ අතර මැතිවරණ කොමිසම පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳ තීරණය ලබාගෙන ඇත්තේ මත බෙදීමක් තුළ යැයි කතාවක්ද පැතිර ගියේය. එසේම මැතිවරණ කොමිසමේ සාමාජිකයන් දෙදෙනකු ඉල්ලා අස්වීමට යන බවටද කතාවක් විය. ඒ අනුව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කඩිමුඩියේම මාධ්‍ය සාකච්ඡාවක් කැඳවූයේ, කොමිසමේ සියලු සාමාජිකයන්ගේ සහභාගීත්වයෙනි.

මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා සහ එහි සාමාජිකයන් වන එස්.බී. දිවාරත්න මහතා, එම්.එම්. මොහොමඩ් මහතා, කේ.පී.පී. පතිරණ මහතා, පී.එස්.එම්. චාර්ල්ස් මහත්මිය යන මහත්ම මහත්මීහු මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූහ.

මැතිවරණ කොමිසම තුළ කිසිදු බෙදීමක් නොමැති බවත් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ගැසට් නිවේදනය නිකුත් කළේ සියලුම සාමාජිකයන්ගේ එකඟතාවය මත බවත් මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා මෙහිදී සඳහන් කළේය. මේ අතර සිකුරාදා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා මැතිවරණ කොමිසම හමුවට කැඳවනු ලැබීය.

මේ අතර මැතිවරණය කල් දැමීමේ සූදානම පිළිබඳව ජාතික ජනබලවේගයද විශේෂ හෙළිදරව්වක් කළේය. ඒ අනුව පළාත් පාලන මැතිවරණය කල්දැමීම සඳහා ජනාධිපති උපදේශකවරයකු විසින් සකස් කර ඇති ලියැවිල්ලක් පිළිබඳ තොරතුරු අනුර කුමාර දිසානායක මහතා මාධ්‍ය හමුවේදී අනාවරණය කළේය.

"ජනාධිපතිවරයාගේ උපදේශකයෙක්, ජනාධිපති මාධ්‍ය අංශ අධ්‍යක්ෂවරයෙක් වන පුද්ගලයෙක් ඉතාමත් පැහැදිලිව "මෙම මැතිවරණය කල් දැමීමක් උදෙසා ජනමතය නිර්මාණය කිරීම සඳහා" කියල ප්‍රචාරක වැඩසටහනක් හදලා තියෙනවා. ඒ ප්‍රෝග්‍රෑම් එක මා ගාව තියෙනවා."

එම ලියැවිල්ලෙහි පුවත්පත්වල ලිපි පළකරන ආකාරය, මාධ්‍ය ආයතනය තුළ මැතිවරණය කල් දැමීම සඳහා යොදාගත හැකි මාධ්‍යවේදීන්ගේ, උපකාර ලබාගත හැකි සංවිධාන ආදී නම් රැසක් සඳහන්ව ඇති බව අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර පසුගිය සතියේ බිහි වූ හෙලිකොප්ටර් සංධානයද කාගේත් අවධානය දිනා ගත්තේය. පසුගිය බදාදා ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී දේශපාලන පක්ෂ 12ක් සහ තවත් පාර්ශ්ව 62ක සහභාගිත්වයෙන් බිහිවූ මෙම සන්ධානයට නම ලැබුණේ "ජාතික නිදහස් සංධානය" ලෙසයි. ඔවුන් සිය ලකුණු ලෙස හෙලිකොප්ටරය තෝරාගෙන තිබුණි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, නිදහස ජනතා සභාව, උත්තර සභාගය හා පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත‍්‍රී කණ්ඩායම ඇතුළු පාර්ශ්වයන් රැසක් සාමාජිකත්වය දරන මෙම සංධානය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තිස් පස් දෙනකුගෙන් සමන්විතය. සන්ධානයට නායකයකු නොමැති අතර එය සභාපති මණ්ඩලයක් විසින් පාලනය වේ.

නිදහස් ජනතා සන්ධානය ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා තරග කිරීමටද සූදානම් වෙමින් සිටී. මේ වනවිට දිස්ත්‍රික් මට්ටමින් ඔවුහු නාමයෝජනා කැඳවමින් සිටිති. ඒ අනුව මෙම සන්ධානය නියෝජනය කරන නාලක ගොඩහේවා මන්ත්‍රීවරයා විශේෂ ප්‍රකාශයක්ද සිදු කළේය. ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේක්ෂකයන් සොයා ගැනීමට පවා නොහැකිව සිටින බවයි.

"ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියලා කියන්නේ විශාල ධන බලයක් තියෙන ඕනෑතරම් මුදල් වියදම් කරන්න පුළුවන් පක්ෂයක්. අපි දන්නවා ප්‍රාදේශීය මට්ටමෙන් බොහෝ දෙනකුට මුදල් පොරොන්දු වෙලා තමා මේ මැතිවරණයට පොළඹවා ගන්න උත්සාහ කරන්නෙ. ඇප තැන්පත් කරන එකෙන් අදහස් කරන්න එපා ඔවුන්ට අපේක්ෂකයන්වත් හොයාගන්න පුළුවන් කියල."

මේ අතර පසුගිය සතියට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජන්ම දිනයද යෙදී තිබුණේය. ඒ අනුව ජනවාරි දොළොස් වැනිදා විපක්ෂ නායකවරයාට වයස අවුරුදු 56 සපිරුණි. මෙදින කොළඹ විජයාරාම ප්‍රදේශයේදී අඩු ආදායම්ලාභීන් වෙත අත්‍යවශ්‍ය ආහාර බෙදාදීමේ වැඩසටහනක් හේමා ප්‍රේමදාස මහත්මියගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක විය.

ඒ අතර සිය ජන්ම දිනය වෙනුවෙන් කතරගම පුදබිම බලා පිටත් වූ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කිරිවෙහෙර පුද බිමේ කප්රුක් පූජාවකට සහ පහන් පූජාවකට සහභාගී විය. කතරගම දේවාල පරිශ්‍රයේ පරිත්‍රාණ ධර්ම දේශනාවක්ද පැවත්වුණි. දේවාල පරිශ්‍රයේ තවත් පුදපූජා පැවැති බවද ආරංචි මාර්ග සඳහන් කළේය.

I චමිඳු නිසල් ද සිල්වා