පලාගිය පලා බබා නැවත එන බවට ඉඟි බිඟි ලැබෙන්නට වූයේය. තලා පෙලා දැමිය නොහැකි මැර බබාලා ඩුබායි සිට තගරි දමන්නට වූහ. බෝල පාස් කරන පාස්කු සංදර්ශනය නැවත ඇරඹී තිබුණි. මේ සියල්ල අතරේ ගහෙන් වැටී සිටි මිනිහාට ඇන්නේ ගොනා නොව ට්‍රම්ප් අප්පච්චිය. පසුගිය සතියේ කතානායක පිළිබඳ වැඩිපුර කතා වන සතියක් විය. ඊට හේතු වූයේ කතානායකවරයාට එල්ල වූ චෝදනාවකි.
“කතානායකවරයා පහළොස් දෙනකුගෙන් යුතු කාර්ය මණ්ඩලයක් සිය කටයුතු සඳහා යොදාගෙන. නිල වාහන දෙකට අමතරව තවත් වාහනයක් ලබාගෙන. පාර්ලිමේන්තු මහ ලේකම්වරියගේ අවසරය ඇතිව ඉන්ධන ලීටර් 900 ක් ලබා ගන්නවා.”
මේ චෝදනාව එල්ල වූයේ නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර වෙතිනි. කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා රාජ්‍ය දේපළ අවභාවිත කරන බව පවසමින් නව ජනතා පෙරමුණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක්ද සිදු කළේය.
“සියලු චෝදනා ප්‍රතික්ෂේප කරනවා.”
ආරම්භයේදී කතානායකවරයාගේ පාර්ශ්වයෙන් එවන් ප්‍රතිචාරයක් ලැබුණි. පසුව මේ හා සම්බන්ධව ප්‍රතිචාර දැක්වීමට පාර්ලිමේන්තුව කටයුතු කළේය.
“කතානායකවරයා වෙත නිකුත් කෙරෙන ඉන්ධන පහසුකම කැබිනට් අමාත්‍යවරයකුට ලබා දෙන ඉන්ධන පහසුකමට සමානව මසකට ලීටර 900 දක්වා අඩු කර තිබෙනවා.”
මේ ආදී වශයෙන් සියලුම චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශයේ ප්‍රධානියා විසින් මෙම නිවේදනය නිකුත් කර තිබුණි.
“මේ නිවේදනය අනුව අපි ඉදිරිපත් කරපු චෝදනා සත්‍යයි කියලා ඔප්පු වෙනවා.”
සුගීෂ්වර ඇතුළු පිරිස පෙරල පෙරලා එම නිවේදනය පිළිබඳ කීවේ එවන් කතාවකි. මේ අනුව මෙය නාටකීය සිදුවීමක් බවට පත්වන ලකුණු පෙනෙන්නට තිබුණි.
ශ්‍රී ලාංකීය දේශපාලනයේ ස්ථානීය අගය අතින් ඉහළ වටිනාකමක් සහිත කතානායක නිල නිවෙස පිළිබඳ සුවිශේෂී පුවතක් පසුගිය සතියේ අසන්නට ලැබුණි.
“කතානායක නිල නිවෙස මහජන නියෝජිතයන්ට උගන්වන තැනක් කරන්න යනවා.”
මේ ආරංචිය පසුව කතානායකවරයා විසින්ම තහවුරු කෙරිණි. කතානායක නිල නිවෙස මෙරට සියලුම තල නියෝජනය කරන ගරු මන්ත්‍රීවරුන්ට දැනුම ලබා දෙන මධ්‍යස්ථානයක් බවට පත් කරන බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පසුගිය සතියේ පවසා තිබුණි.
මේ අතර කතානායකවරයා මේ වන විට ලෝටස් පාරේ නිවෙසක පදිංචි වී සිටින බවත් නිල නිවෙස භාවිත වන්නේ විශේෂ කටයුතුවලදී පමණක් බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටියේය.
පාතාල ක්‍රියාකාරකම්ද පසුගිය සතියේ ප්‍රමුඛ දේශපාලන මාතෘකාවක් වූයේය. විපක්ෂයේ කණ්ඩායම් වෙතින් පාතාල ක්‍රියාකාරකම් වර්ධනය වීම පිළිබඳ ආණ්ඩුවට චෝදනා එල්ල කළේය.
“පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා රාජකාරි භාරගත් පසු මෙරට පාතාල ක්‍රියාකාරකම් අතුරුදන් වුණා.”
මෙවන් කතාවක් කියා තිබුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායකය. දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් පාතාලයට එරෙහිව දැවැන්ත මෙහෙයුමක් දියත් කළ බව ඔහු සඳහන් කර තිබුණි. කෙසේ වෙතත් මේ වන විට පාතාල ක්‍රියාකාරකම් වර්ධනය වී ඇති බවත් පාතාලය පාලනය නොකළහොත් මෙරට සංවර්ධන කටයුතු අඩාල වන බවත් විදේශීය ආයෝජකයන් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට මැලි වන බවත් ඔහු කියා සිටියේය.
මේ අතර දේශපාලන කරළියේ පැතිර ගිය තවත් පාතාල කතාවක් වූයේ හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් වෙත ඩුබායි සිට පාතාල තර්ජන එල්ල වී ඇති බවකි.
“උඹ නේද මාව ලංකාවට ගේන්න ඕඩර් එක දුන්නෙ. පොඩි තෑග්ගක් තියෙනවා දෙන්න.”
මේ ආදී දුරකථන ඇමතුම් සහ වට්ස්ඇප් පණිවිඩ හිටපු අමාත්‍යවරයා වෙත ලැබී ඇතැයි කියැවෙයි. ඒ අනුව ඔහු මේ වනවිට පොලිස්පති ඇතුළු ආරක්ෂක ප්‍රධානීන් වෙත මේ පිළිබඳ පැමිණිලි කර ඇතැයි ද ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත් මේ වන විට ටිරාන් අලස් පාතාලය සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට පාතාල සාමාජිකයන් පසුගිය කාලයේ ප්‍රසිද්ධියේම අමාත්‍යවරයාට විවේචන එල්ල කර තිබුණි. මේ වන විට පාතාලය තුළ යම් දේශපාලන ගැටුමක්ද නිර්මාණය වී ඇති බවට පැතිරෙන ඇතැම් දේශපාලන ආරංචි අනුව පෙනෙන්නට තිබේ.
හොරු ඇල්ලීමේ සහ වංචා දූෂණ සෙවීමේ ආණ්ඩුවේ ක්‍රියාන්විතයේ අලුත්ම ගොදුර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විය හැකි බව පසුගිය සතියේ ලැබුණු දේශපාලන ආරංචි අනුව පෙනී ගියේය.
“මධ්‍යම සංස්කෘතික අරමුදල පිළිබඳව ආණ්ඩුව හොයන්න හදන්නේ.”
මේ ආරංචිය අනුව අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම පිණිස කමිටුවක් පත් කිරීමට පසුගිය මාසයේ පැවති මධ්‍යම සංස්කෘතික අරමුදලේ 223 වැනි පාලක මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇතැයි දැන ගැනීමට ලැබේ.
මෙම විමර්ශනය සඳහා විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ජී.එම්.ඩබ්ලිව්. ප්‍රදීප් ජයතිලක මහතාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීම පිණිස අග්‍රාමාත්‍යවරිය විසින් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන ඇති බවත් ආරංචි මාර්ග තහවුරු කරයි.
මෙවන් ගැටලු අතරේ විපක්ෂ නායකවරයා පසුගිය සතියේ වැඩි අවධානයක් ලබා දී තිබුණේ අමෙරිකානු බදු ගැටලුව පිළිබඳවයි. මතභේදාත්මකව පැවති අමෙරිකානු තීරුබදු ප්‍රමාණය පසුගිය සතියේ ස්ථීරවම නිවේදනය කෙරුණි. ඒ අනුව ශ්‍රී ලංකාවේ භාණ්ඩ සඳහා 30% ක අමෙරිකානු තීරුබදු පනවන බව ශ්‍රී ලංකා රජයට නිල වශයෙන්ම අමෙරිකානු ජනාධිපතිවරයා විසින් දැනුම් දී තිබේ.
මෙම සිදුවීමත් සමඟ මීට ප්‍රතිචාර දැක්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේය.
“ශ්‍රී ලංකා අපනයන සඳහා 30% ක අමෙරිකානු තීරු බද්දක් යනු දුර්වල සාකච්ඡා සඳහා අප ගෙවන මිලයි. අපගේ අහංකාරකම සෑම විශේෂඥ හස්තයක්ම සෙවීමෙන් අපව වළක්වා ගත් අතර දැන් අමෙරිකානු ඩොලර් බිලියන 3 කට ආසන්න අපනයන අවදානමකට ලක් වී තිබේ.”
යනුවෙන් X සටහනක් තබමින් විපක්ෂ නායකවරයා තමන් පාලකයාව සිටියේ නම් මෙම තත්ත්වය කළමනාකරණය කර ගැනීමට සමත් වන බව අඟවා තිබුණි. කෙසේ වෙතත් ඔහු මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ සංකීර්ණ සැබෑ ලෝක මට්ටමේ සාකච්ඡා සඳහා ‘පෙළපොත් විශේෂඥයන්’ මත යැපීම අනතුරුදායක බවයි.
කෙසේ වෙතත් මේ හා සම්බන්ධව ආණ්ඩුවේ ප්‍රතිචාරය මීට ඉඳුරා වෙනස් විය.
”අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවේ අපනයන සඳහා පනවා තිබූ 44% ක තීරු බද්ද 30% ක් දක්වා අඩු කිරීම ධනාත්මක ප්‍රවේශයක්.”
විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පෙන්වා දුන්නේ ලැයිස්තුගත කර ඇති සියලු රටවල් අතරින් විශාලතම තීරුබදු අඩු කිරීම සිදුකර ඇත්තේ ශ්‍රී ලංකාවට බවය. මෙය දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවල සහ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත් වීමේ ප්‍රතිඵලයක් බව නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.
තීරුබදු පිළිබඳව අමෙරිකානු ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපිය පිළිබඳව ද පසුගිය සතියේ කතාබහක් නිර්මාණය විය.
“ජනාධිපතිතුමාගේ නම වරද්දල තමා ට්‍රම්ප් ලියුම එවල තියෙන්නේ.”
මේ වන විට අන්තර්ජාලය හරහා සංසරණය වන මෙම ලිපියේ “අනුර” යන්න වෙනුවට ඉංග්‍රීසි භාෂාවෙන් “අරුණ” යන්න යෙදී තිබීම කතාබහට හේතු විය.
එසේ නමුත් අගෝස්තු මස පළමු දින සිට ක්‍රියාත්මක වන පරිදි 30% ක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපතිවරයා තීරණය කර ඇති බව මෙම ලිපිය හරහා පැහැදිලිවම දැනුම් දී තිබුණි. ශ්‍රී ලංකාව තම තීරුබදු ඉහළ දැමීමට පියවර ගතහොත්, පෙර ඉහළ දැමූ ප්‍රතිශතයම දැනට පවතින 30% බද්දට එකතු කරන බව අමෙරිකානු ජනාධිපතිවරයා සිය ලිපිය මගින් වැඩිදුරටත් දැනුම් දී ඇත.
කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ පූජක දිවියට වසර 50 ක් පිරීම නිමිත්තෙන් කොළඹ අගරදගුරු පදවිය විසින් පසුගිය සතියේ කොළඹදී උපහාර උත්සවයක් සංවිධානය කර තිබුණි. ජනපති අනුර කුමාර දිසානායක ද මෙම අවස්ථාවට සහභාගි විය. පාස්කු ප්‍රහාරය සම්බන්ධව ආන්දෝලනයක් පවතින පසුබිමක මෙම අවස්ථාව සුවිශේෂී එකක් වූයේය.
මේ සම්බන්ධ අදහස් දක්වමින් අගරදගුරු රංජිත් හිමිපාණෝ ජනාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් සිදු කළහ.
“ප්‍රහාරය සම්බන්ධ කුමන්ත්‍රණය හෙළිදරව් කරන්න ඔබතුමා පොරොන්දු වූ අභිචෝදක කාර්යාලය හැකි ඉක්මනින් ස්ථාපිත කරන්නටත්, මේ පිළිබඳ පත් කරනු ලැබූ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කරන්නත් යුහුසුළු වෙන මෙන් ඔබතුමාගෙන් ඉතා වුවමනාවෙන් ඉල්ලා සිටිමු.”
ඒ අනුව මෙහිදී ජනාධිපතිවරයා නැවතත් පාස්කු ප්‍රහාරය පිළිබඳ පොරොන්දුවක් ලබා දුන්නේය. කාලයේ වැලිතලාවෙන් යටපත් වීමට ඉඩ නොතබා පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටු කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය. එය රජය, රජයේ ඇතුළාන්තයෙන් පරීක්ෂණයට භාජනය විය යුතු අභියෝගයක් බව පැවසූ ජනාධිපතිවරයා කෙතරම් දුෂ්කර වුවද මේ සම්බන්ධයෙන් සාධාරණය ඉටුවිය යුතු බවද අවධාරණය කළේය.
මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය සතියේ සිදුවූ දැවැන්තම අනාවරණය සිදු කළේ මහජන ආරක්ෂක අමාත්‍යවරයාය. මඩකලපුව බන්ධනාගාරයේ රඳවා සිටියදී පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් පාස්කු ප්‍රහාරය පිළිබඳව පූර්ව දැනුවත්භාවයකින් සිටි බවට කරුණු අනාවරණය වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා කීවේ පාර්ලිමේන්තු විවාදයක් අතරය.
“සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් පිල්ලෙයාන් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග අනුව විමර්ශන කටයුතු සිදු කරගෙන යනවා. පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ ඒ පිළිබඳව ඔහු පූර්ව දැනුවත්කමකින් සිටි බවට අනාවරණය වී තිබෙනවා. මෙම ඝාතන සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි සාමාජිකයන්ද පිල්ලෙයාන් සමඟ බන්ධනාගාරගතව සිට තිබෙනවා. ඒ අනුව පිල්ලෙයාන් ගැන සැකයක් තිබෙනවා.”
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිර්මාණය වූ කතාබහ අතර පක්ෂ විපක්ෂ පිරිස් විවිධ කතා කියන්නට වූහ. ඒ අතර රන්ජන් රාමනායකගේ යැයි කියන හඬ පටයක් ද නැවත සමාජ මාධ්‍යයේ සංසරණය වන්නට විය. එහි ශානි අබේසේකර ලෙස සැලකිය හැකි නිලධාරියකු සමඟ රන්ජන් කතා කරන බවක් පෙනෙන්නට තිබුණි.
ප්‍රහාරය සම්බන්ධයෙන් ඊබ්‍රාහිම් සහෝදරවරුන්ගේ පියා දැන සිටි බව හැඟවෙන ප්‍රකාශයක් මෙහි වූයේය.
“ඌ දන්නවද පුතාලා මෙහෙමයි කියලා.”
“පුතාලා රැඩිකල් කියලා එයාලා දන්නවා. ගෙදර ඉඳන් ඔය ගේම ගහනකොට ඕක තේරෙන්නෙ නැත්නම් ඌ ඇවිල්ලා පොල් බූරුවෙක් වෙන්න ඕනෙ.”
මෙය නැවත සමාජ මාධ්‍යයේ සංසරණය වීමට හේතුව මෙම කරුණ ඉස්මතු කිරීමේ අවශ්‍යතාවය බව පෙනී ගියේය. ඊබ්‍රාහිම් ජනතා විමුක්ති පෙරමුණ සමඟ සම්බන්ධතා පැවැත්වූ අයකු ලෙස සලකනු ලබන බැවින් මෙය පාස්කු ප්‍රහාරයේ තවත් සංදර්ශනාත්මක රඟ දැක්වීමක් විය.
මේ අතර පසුගිය සතියේ පැතිර ගිය ආරංචි අනුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සිය ගමන් බිමන් සීමා කර ඇති බව කියැවිණි.
“මෑතක ආරක්ෂකයන් තවත් අඩු කරලා. රියැදුරන් දෙදෙනෙක් විතරයිලු ඉන්නෙ. ඒ නිසා ආරක්ෂක කටයුතු සිදුකිරීම පහසු නෑ.”
ගමන් බිමන් සීමා කිරීම පිළිබඳ එම පාර්ශ්වයෙන් ලැබුණු ආරංචි අනුව කියැවුණේ එවන් කතාවකි.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා ආරක්ෂකයන් 108 ක් පමණ සිටි අතර වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ ආරක්ෂකයන් ගණන 60 ක් දක්වා අඩුකර ඇතැයි කියැවිණි. මේ වන විට එම පිරිසෙන්ද හත්දෙනකු අඩුකර ඇතැයි වාර්තා පළ වේ.
මේ අතර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සිය චරිතාපදානය ලිවීමට සූදානම් වන බවටද දේශපාලන කරළියේ ආරංචි පැතිර ගොස් තිබුණි.
“එතුමා දින පොත් නැවත ලියනවා. ගෙදර ඉඳලා පොතක් ලියන්න යන්නෙ.”
පසුගිය සතියට හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ සිය ධුරයෙන් ඉල්ලා අස්වී තෙවසරක් සම්පූර්ණ විය. මේ අතර ගෝඨාභය රාජපක්ෂ පිළිබඳ නැවත බොහෝ දෙනා කතා කරන්නට වූහ.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එළවා, ජාතික ජනබලවේග ආණ්ඩුවක් ගෙනැවිත්, රැවටීමට ලක් කළ බවට කියා තිබුණේ පොහොට්ටුවේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂය.
“ගෝඨාභය රාජපක්ෂ එළවපු අය මට වඩා, ආණ්ඩුවේ හිටපු අයට වඩා දුක් වෙනවා. ගෝඨාභය එළවලා ජේවීපී ආණ්ඩුවක් ගෙනල්ලා රැවටුණා කියලා, අපිව රැවැට්ටුවා කියලා ඇන්දුවා කියලා දුක් වෙන බොහෝ පිරිසක් ඉන්නවා. ඒ වගේම මම දුක් වෙනවා අවංකව අරගල කරලා සිස්ටම් එක චේන්ජ් කරන්න බලාපොරොත්තු වුණු ළමයි, තරුණයන් ජනතාව තිබුණාටත් වඩා ගතානුගතික පාරම්පරික 88/ 89 ආණ්ඩුවක් ස්ථාපනය කරලා තියෙනවා.”
කෙසේ වෙතත් මේ අතර මාලිමාවට කතිරේ ගැසූ සියලු දෙනාම සතුටු විය යුතු බවත් ආඩම්බර විය යුතු බවත් පවසා තිබුණේ අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාය. ඔහු කියා සිටියේ දේශපාලකයන් හොරකම් කරන සංස්කෘතිය මුළුමනින්ම අතුගා දැමීමට මාලිමාව සමත් වූ බවයි.
“දේශපාලන ක්ෂේත්‍රයේ හොරකම, වංචාව, දූෂණය, නාස්තිය සියයට සියයක් ඉවර කළා. ලංකාවේ ජනතාව කවුරුවත් කවදාවත් සිතුවේ නෑ එහෙම කරන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා මාලිමාවට කතිරයක් ගැහුවා නම් පළමුවෙන් ඒ ආඩම්බරය තියාගන්න. ඒත් දැන් මේ ජීවත් වෙන අපේ පුරවැසියන්ට රාජ්‍ය සේවය ඒ තත්ත්වයට ගේන්න තව කොච්චර කාලයක් ගත වෙයිද? හරියට ඉර ගහලා කියන්න පුළුවන්කමක් නෑ.”
දේශපාලනඥයන් තවදුරටත් වැටුපට අමතරව තමන්ගේ සේවය වෙනුවෙන් මහජනතාවගෙන් කිසිවක් ලබා නොගන්නා බවත්, එහෙත් රාජ්‍ය සේවයේ තවදුරටත් අකාර්යක්ෂමතාව දූෂණය පවතින බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය. සියලු රාජ්‍ය සේවකයන් හොරකම, වංචාව, දූෂණය දුරු කිරීමට සටන් කළ යුතු බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
ඇමෙරිකා එක්සත් ජනපදය විසින් පනවනු ලැබ ඇති නව තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ නියෝජිත කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය බ්‍රහස්පතින්දා පෙරවරුවේ පවත්වා තිබුණි. සාකච්ඡාවෙන් අනතුරුව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සඳහන් කළේ, ඇමෙරිකාව සමඟ සාකච්ඡා කළ කණ්ඩායමේ දායකත්වය හේතුවෙන් තීරුබදු අඩුකර ගැනීමට හැකි වූ බවය.
“අපි දකිනවා මේක ඉතාම හොඳ වාතාවරණයක ආරම්භයක් ලෙස. මේ කලාපයේ තියෙන රටවල් වගේම තීරුබදු සමඟ සම්බන්ධ වුණු ලෝකයේ තියෙන රටවල් අතරින් ඉහළම අඩුවීමක් ලැබුණු රටක් විදිහට ශ්‍රී ලංකාව හඳුනාගෙන තියෙනවා. ඒ ප්‍රගතිය ලබාගන්න හැකියාව ලැබුණේ මේකට සම්බන්ධ වුණු මේ විද්වත් මණ්ඩලයේ තිබුණු දායකත්වය, කර්මාන්තකරුවන්ගේ දායකත්වය, USTR (සාකච්ඡා සඳහා උපදේශකත්වය සැලසූ ආයතනය) කණ්ඩායමේ දායකත්වය සියලු දේ එකට කැටි කරල තමයි මේ තියෙන මට්ටමට අඩු කරගන්න පුළුවන් වුණේ.”
බදු අඩුකර ගැනීම පිළිබඳ තවත් රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනකුම නිල වශයෙන් ප්‍රතිචාර දක්වනු දැකගත හැකි වූයේය. ඒ අනුව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලංකාවට පැනවූ 30% තීරු බද්ද සඳහා ප්‍රතිචාර ලෙස ඇමෙරිකාව මත පනවන තීරුබදු ඉහළ දැමීමට කිසිදු සූදානමක් නැතැයි ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව එහිදී පැවසීය. මෙහිදී මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පැවසුවේ, අපට පනවා තිබූ 44% බද්ද 30% දක්වා අඩුවීම තුළ අප වඩාත් යහපත් තැනක සිටින බවත් දැනට ලබාගත් යම්කිසි තරගකාරී තත්ත්වයකට අප හා සමාන කරන අනෙක් රටවල් පැමිණීම සමඟ තවදුරටත් තරගකාරීත්වය වැඩිදියුණු කළ යුතුව තිබෙන බවත්ය.
මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් මහතාගේ සිය වැනි ජන්ම දිනය නිමිත්තෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේ සුබ පැතුම් එක්කර තිබුණි. මහතීර් මොහොමඩ් මැලේසියාව ගොඩනැගූ නායකයා ලෙස සලකනු ලබන අතර රනිල් වික්‍රමසිංහ මහතා ඔහුට දුරකථන ඇමතුමක් මගින් සුබ පතා ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. එහිදී ඔවුන් අතර කෙටි දුරකථන සංවාදයක් ද පැවැති බව දැන ගැනීමට ලැබේ. 80 දශකයේ මුල් භාගයේ දී බලයට පත්වූ මහතීර් මොහොමඩ් අගමැතිවරයා මැලේසියාව අද තිබෙන දියුණු තත්ත්වයට පත් කිරීම සඳහා සුවිසල් මෙහෙවරක් ඉටු කළ නායකයෙකි.
•චමිඳු නිසල් ද සිල්වා