2024 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා

ජනාධිපතිවරණයෙන් උතුරේ පක්ෂත් බෙදෙයි

 2024 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00 674

පොලිටි-කල් මෙන්ම කලටි පොල් ද හරිහැටි හඳුනා ගැනීමට නම් හොල්ලා බැලිය යුතුය. පොල් ගොඩක් අතරින් හොඳ පොල් ගෙඩියක් තෝරා ගැනීමට කලටි සහ පුහු වෙන්කර ගැනීම ඔබගේ රාජකාරියකි. මේ දිනවල ජනාධිපතිවරණ වේදිකාවේ සිටින වෙන්ඩ ජනපතිවරුන් අල්ලා බැලීම කෙසේ වෙතත්, හොල්ලා බැලීම ඔබගේ රාජකාරියකි. ඔවුන්ගේ ක්‍රියාවන්, වචන එසේම අනාගත බලාපොරොත්තු විචාරාත්මක විමසීමක් සිදු කරමින් කලටි පොල් හොල්ලා බැලීමේ කටයුත්තට ඔබට අවතීර්ණ විය හැකිය.

උණුසුම් වන දේශපාලන වේදිකාව මෙම කටයුත්තට කදිම තෝතැන්නකි. ඔබ හොල්ලා බැලීමට පෙරම ඇතැම් අපේක්ෂකයන් හෙල්ලී ඇති බව ඔබට වැටහෙනු ඇත.

උණුසුම් වූ දේශපාලන සතියේ තවත් අකරතැබ්බයකට මුහුණ දුන් දේශපාලනඥයකු වූයේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්ය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමඟ ඉතා සමීප කතාබහක යෙදෙන වීඩියෝ පටයක් හදිසියේම අන්තර්ජාලය වෙත මුදාහරිනු ලැබීමත් සමඟ මෙම කලබලය නිර්මාණය විය.

මෙම වීඩියෝවේ දී ජනාධිපතිවරයා සහ මන්ත්‍රීවරයා කතා කරමින් සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමිවන මෝටර් රථ බලපත්‍රය සම්බන්ධවයි.

“නිල වශයෙන් හම්බවෙන එකම වරප්‍රසාදය ඕක”

“අත්සන් කරන්න තියෙන්නේ”

යනුවෙන් මෙහිදී කතාබහ සිදුවන අතරේ ජනතා විමුක්ති පෙරමුණ තීරු බදු රහිත රථවාහන බලපත්‍ර ලබාගෙන ඒවා විකුණා පක්ෂ අරමුදල් තර කර ගැනීම පිළිබඳව ද දෙදෙනා අතර සංවාදයක් සිදු වේ.

මෙම වීඩියෝ පටය කරළියට පැමිණීමත් සමඟ බොහෝ පාර්ශ්ව කැළඹී ගියේය.

“පේනවා නේද මරික්කාර්ලා රෑට රෑට ජනාධිපතිවරයා හම්බවෙලා ඩීල් දානවා” අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙන්ම තවත් පාර්ශ්වවලින් ද මෙලෙස චෝදනා නැගෙන්නට විය. මේ අතර වීඩියෝ පටය දුටු සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් ද තරමක් පුදුමයටත් කලබලයටත් පත්වූ බව ආරංචි මාර්ග ඔස්සේ දැන ගැනීමට ලැබුණි.

“මරික්කාර් මොකක්ද අර වීඩියෝ එක. ඔයත් යන්න නෙවෙයි නේද හදන්නේ?”

ඇතැමෙක් ඍජුවම ඔහු අමතා විමසා ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

“ඕක පරණ වීඩියෝ එකක්. ජූලි 9 පිළියන්දල මළ ගෙදරක දි හම්බවෙච්ච වෙලාවේ රනිල් එන්න කියලා තමා කතා කළේ. ඕක තියාගෙන ඉඳලා මේ වෙලාවේ පාවිච්චි කරලා.” මෙම වීඩියෝ පට සිදුවීම පිළිබඳ විවිධාකාර අදහස් මතුවීමත් සමඟ එස්.එම්. මරික්කාර් මාධ්‍ය විමසීමකට පිළිතුරු ලබා දෙමින්, රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය මෙම වීඩියෝව හිතාමතා පටිගත කොට අවශ්‍ය මොහොතේ දී අන්තර්ජාලයට එක්කර ඇති බවට චෝදනා කළේය. තමාගෙන් විමසූ දේකට තමා පිළිතුරු ලබාදුන් බවත් ඔහු එහිදී ප්‍රකාශ කළේ කිසිවිටෙක එක්සත් ජාතික පක්ෂයට එක් නොවන බවද තහවුරු කරමිනි. ඒ අනුව ඉදිරියේ දී ජනාධිපතිවරයා මළ ගෙදරක දී හමුවුවද මෙවන් වැඩ හමුවේ මන්ත්‍රීවරුන් ඔහු හා කතා නොකරනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මරික්කාර් වැඩිදුරටත් පැවසීය.

ගෙවෙමින් පවතින දේශපාලන සති තුළ සැලෙන සහ පනින දේශපාලනඥයන් පිළිබඳ තොරතුරු නිරන්තරයෙන් වාර්තා වේ. ගිය සතියේ තරමක් තදින් සැලුණු දේශපාලනඥයකු වූයේ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුය. ඔහු හදිසියේම පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින් ජාතික ජන බලවේගය සහ ඔවුන්ගේ අතීතය පිළිබඳ තොරතුරු හෙළි කළේය. මේ වන විට තරුණයන්ගේ මනස ඔවුන් විකෘති කරමින් සිටින බවත් ඉතා ඉක්මනින් මෙම තත්ත්වය වෙනස් කළ යුතු බවත් ඔහු කියා සිටියේය.

“මම අද ඉඳලා ස්වාධීන මන්ත්‍රීවරයෙක් විදියට මේ රට විනාශකාරී කණ්ඩායම පරාජයට පත් කරන්න පුළුවන් අයත් එක්ක කතා කරන්න පටන් ගන්නවා. මම කවදාවත් සජිත් ප්‍රේමදාස මහත්තයාව හම්බවෙලාවත් නෑ. අග්‍රාමාත්‍යතුමා දන්නවා අපි මේ වැඩ කරන්නේ සද්භාවයෙන්. මේ විනාශය වෙන වෙලාවේ මම අත්දෙක එකතු කරලා ඉල්ලනවා පුළුවන් නම් විපක්ෂ නායකතුමයි ජනාධිපතිතුමයි එකතු වෙන්න. පුළුවන් නම් මේ කණ්ඩායම් දෙක එකතු කරන්න. මම අවසාන වශයෙන් එකක් කියනවා, මම අද ඉඳලා ස්වාධීන මන්ත්‍රීවරයෙක් වශයෙන් මේ අශුද්ධ සංවිධානයට විරුද්ධව පරාජයට පත් කරන්න පුළුවන් ඕනෑම කෙනෙක් එක්ක සාකච්ඡා කරනවා කියලා.”

මෙලෙසම සමගි ජන බලවේගය පාර්ශ්වයෙන් සැලී ගිය චරිතයක් ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න ඇතැම් පාර්ශ්ව විසින් නම් කර තිබුණි. මේ සඳහා හේතු වූයේ ද රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය විසින් සිදු කරනු ලැබූ ප්‍රකාශයකි. ජවිපෙ බලය ලබාගෙන කරනවා කියන දේවල් අනුව නම් මාස හයක් යන්න ඉස්සර රට නැවත සැරයක් බංකොලොත් වීම සක්කරයාටවත් නැවැත්විය නොහැකි වනු ඇතැයි පවසමින් එම අවදානම මගහැර ගැනීමට සජිත් ප්‍රේමදාස වෙත දෙවැනි මනාපය ඇය ඉල්ලා සිටියාය. “රටේම ඉන්න එජාපයේ අයත්, රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කැම්පේන් කරන අයත්, අනිවාර්යයෙන්ම දෙවැනි මනාපය හරි සජිත් ප්‍රේමදාසට දෙනවා.

පොහොට්ටුවේ ඉතිරිවෙලා ඉන්න අපේ ගරු මන්ත්‍රීතුමන්ලා විතරක් නෙවෙයි, ගමේ ඉන්න, පොහොට්ටුවේ ලේබල් වැදුණු හැමෝටම කියන්න තියෙන්නේ, දෙවැනි මනාපය නොවරදවාම සජිත්ට දෙන්න කියලා. නාමල්ටවත්, රනිල්ටවත් මේ රටේ මිනිස්සු බේරගන්න බෑ. ඒක කරන්න පුළුවන් සජිත්ට විතරයි.”

සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කතා කළ ද දෙවැනි මනාපය ඉල්ලා සිටීම නිසාවෙන් මෙම ප්‍රකාශය පිළිබඳ සජබ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු අපැහැදීමෙන් කතා කළ බව ආරංචි මාර්ග සඳහන් කරයි.

“දෙවැනි මනාප ඉල්ලලා වැඳ වැටෙන්න හොඳ නෑ. ඒක තේරුමක් නැති වැඩක්. දැනටමත් අපිට අවශ්‍ය පදනම තියෙනවා”

ආරංචි මාර්ග සඳහන් කරන පරිදි මරික්කාර් මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් දැඩිව මෙම මතයේ එළැඹ සිටින බව කියැවේ.

ජනාධිපතිවරණයට කෙමෙන් දින ළං වෙමින් ඇති පසුබිමක උතුරේ සහ නැගෙනහිර ඡන්ද පිළිබඳ අපේක්ෂක බලාපොරොත්තු දලුලා වැඩෙන බව පෙනී ගියේය. උතුරේ ඡන්ද වෙත ආමන්ත්‍රණය කිරීමට අපේක්ෂකයන් සහ ඔවුන්ට සහාය පළ කරන දේශපාලනඥයන් වැඩි උනන්දුවක් දක්වන බවද පෙනෙන්නට තිබුණි.

මේ අතර උතුරේ දේශපාලනඥයන් සහ පක්ෂ සමඟ ප්‍රධාන ජනාධිපතිවරණ අපේක්ෂකයෝ දිගින් දිගටම සාකච්ඡා පවත්වමින් සිටියහ. එහෙත් පසුගිය සතියේ අනාවරණය වූයේ ඉලංගෙයි තමිල් අරුසු පක්ෂය වව්නියාවේ පැවති එම පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේ දී ජනාධිපතිවරණය වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කර ඇති බවකි. මේ පිළිබඳ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ද තහවුරු කර ඇති බව දැන ගැනීමට ලැබුණි. ඒ අතර ජනපති රනිල් වික්‍රමසිංහ සමඟ එක්වෙනු ඇතැයි අපේක්ෂා කළ මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා ඇතුළු පිරිස ද සජිත් ප්‍රේමදාස වෙත සහාය පළ කර තිබුණි.

මේ අතර හිටපු කිළිනොච්චි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම සමත්තුව කච්චි පක්ෂයේ මහලේකම් ධුරයේ කටයුතු කරන මුරුගේසු චන්ද්‍රකුමාර මහතා 2024 ජනාධිපතිවරණය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කර ඇති බව සමගි ජන බලවේගය ප්‍රකාශ කර සිටියේය. “උතුරේ දේශපාලනඥයන් කිහිප දෙනෙක් ජනාධිපතිතුමාටත් සහාය දක්වන්න නියමිතයි” යනුවෙන් ආණ්ඩුව දෙසින් ද ආරංචි ලැබෙමින් පැවතුණි. මේ අනුව උතුරේ ඡන්ද පැහැදිලිවම මෙවර කොටස් තුනකට බෙදී යනු ඇති බවට ඇතැමෙක් අනාවැකි කීහ. දෙමළ ජාතික සංවිධානයේ පක්ෂ සහ දේශපාලනඥයන් අතර මේ වන විට නිර්මාණය වී ඇතැයි කියැවෙන අර්බුදය ද මීට හේතු වී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

උතුරේ දේශපාලනඥයන් සහ කණ්ඩායම් කිහිපයක් එක්ව ඉදිරිපත් කළ බී. අරියනේත්‍රන් මහතා දෙමළ පොදු අපේක්ෂකයා ලෙස කටයුතු කළ ද ඔහු වෙත සැලකිය යුතු ආකර්ශනයක් ලැබී නොමැති බව කියැවේ. මේ අනුව උතුරේ දේශපාලන පක්ෂ තවමත් සිය විකල්ප පිළිබඳ සාකච්ඡා කරමින් සිටින බව ආරංචි මාර්ග සඳහන් කරයි.

උතුරේ සිදුවූ හදිසි දේශපාලන පරිවර්තනය පිටුපස ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල්ගේ බලපෑමක් තිබිය හැකි බවට ද මේ අතර දේශපාලන කරළියේ තිරය පිටුපස සාකච්ඡා වෙමින් තිබුණි.

“අජිත් දොවාල් එක්කෝ උතුරේ දේශපාලන පක්ෂ සහ නායකයන් සමඟ කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් තමා ඕක. මේ බලපෑමත් එක්ක ඉදිරියේ දී වතුකරයේ ප්‍රබල දේශපාලනඥයකුත් සජිත් සමඟ එක්වෙන්න නියමිතයි”
මෙම සිදුවීම හා බැඳුණු තවත් ආරංචි රැසක් ඉකුත් සතියේ අප වෙත ලැබෙමින් පැවතුණි. ඒ අතරේ මෙවන් කතාවක් ද අසන්නට ලැබුණි.

“මේ තීරණ ගොඩකට හේතු අප්‍රකටයි. එක්තරා දේශපාලන නායකයෙක් ඉන්නවා, ඔහුගේ වතු යායවල් සියල්ලම තියෙන්නේ ඉන්දියාවේ නිල්ගිරි කඳුවල. ගොඩක් දේශපාලනඥයන්ට ඉන්දියාවේ දේපළ තියෙනවා. ඒ නිසා මේ දේශපාලන පරිවර්තනයට ඉන්දියාවේ බලපෑමක් නැහැ කියලා හිතන්න බෑ”

මෙවන් දේශපාලන ආරංචි ලැබෙමින් පවතින අතර ඉන්දීය රජයේ ප්‍රබලතම චරිතයක් වන අජිත් දොවාල් මහතා මෙරට ප්‍රධාන පෙළේ ජනාධිපති අපේක්ෂකයන් සමඟ සාකච්ඡා කොට ඇති බවද ආරංචි මාර්ග තහවුරු කරයි. එහිදී ද තීරණාත්මක සාකච්ඡා සිදුව ඇති බව පැහැදිලිය.

පොහොට්ටුවේ විකල්ප කඳවුර නව දේශපාලන සන්ධානයක් නිර්මාණය කර ගැනීමේ ක්‍රියාවලිය යථාර්ථයක් කර ගැනීමට පසුගිය සතියේ සමත් විය. ඒ අනුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් පොදුජන එක්සත් නිදහස් පෙරමුණ නිර්මාණය කිරීම බත්තරමුල්ල වොටර්ස් ඒජ් හෝටලයේ දී පසුගිය බ්‍රහස්පතින්දා සිදු විය. කුසලානයෙන් කරළියට පැමිණි මෙම නව සන්ධානයේ නායකත්වය අග්‍රාමාත්‍යවරයාට ලැබෙන විට ලේකම් ධුරය ලැබී තිබුණේ සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතාටය. මෙහිදී සන්ධානයේ නව සභාපති දිනේෂ් ගුණවර්ධන මහතා මෙය ඓතිහාසික අවස්ථාවක් බව කියා සිටියේය.

“ඉදිරියේ දී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ද නියමිත වන බව අපි දන්නවා. ඒ නිසා ජාතික හා ප්‍රගතිශීලී බලවේගවලට එකට අත්වැල් බැඳගත හැකි පරිදි පොදුජන එක්සත් නිදහස් පෙරමුණ බිහි කිරීම මේ රටේ ඉතිහාස ගමනේ අලුත් පරිච්ඡේදයක් ලෙස අපි සලකමු.”

නව සන්ධානයේ ලේකම් අමාත්‍ය රමේෂ් පතිරණ ද මෙහිදී නව සන්ධානය නිර්මාණය වීමට හේතු පැහැදිලි කළේය.

“වර්තමානයේ ඒ අවකාශය තුළ තුන්වැදෑරුම් දේශපාලන අවකාශයක් තිබෙනවා. එක් පසෙකින් වෛරය, ක්‍රෝධය, ද්වේශය පතුරමින් ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජන එල්ල කරන දේශපාලන කණ්ඩායම් හිස ඔසවමින් තිබෙනවා. අනෙක් පසින් බොරු පොරොන්දු දෙමින්, ජනතාවට විහිළු සපයමින්, ඉටු කළ නොහැකි පොරොන්දු ගැන කතා කරමින් ජනතා අභිලාෂයන් බිඳ හෙළන තවත් දේශපාලන කණ්ඩායමක් තිබෙනවා. තුන්වනුව මේ රට බලවත් භූ දේශපාලන අනතුරකට මුහුණ දී තිබෙනවා.”
එම නිසාවෙන් තුන්දොස් සමනය කරන්නට තමා ඇතුළු පිරිස නව දේශපාලන ව්‍යාපාරයක් නිර්මාණය කළ බව රමේෂ් පතිරණ මහතා සඳහන් කළේය.

මේ අතර පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් සිදු කරමින් ස්වාධීන වූ අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරයා ද නව සන්ධානයේ ආරම්භක හමුවට පැමිණ සිටීම තරමක සුවිශේෂී සිදුවීමක් විය. මෙම නව සන්ධානයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසුවේ එළැඹෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය, පළාත් පාලන මැතිවරණය ඇතුළු මැතිවරණ සඳහා නව සන්ධානයෙන් අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි.

පසුගියදා ජනාධිපතිවරයාට ලැබී ඇති බලතල ප්‍රකාරව රාජ්‍ය අමාත්‍යවරුන් සිවුදෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධුරවලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබුණි. ඒ අනුව ප්‍රේමලාල් ජයසේකර (වරාය සහ ගුවන් සේවා), ඉන්දික අනුරුද්ධ (විදුලිබල හා බලශක්ති), මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා (කෘෂිකර්ම) සහ සිරිපාල ගම්ලත් (මහාමාර්ග) යන රාජ්‍ය අමාත්‍යවරුන් මෙලෙස ඔවුන්ගේ ධුරවලින් ඉවත් කර තිබේ.

පසුගිය සතියේ සිදුවූ තීරණාත්මක පැති මාරුවක් ලෙස ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ. එම් මුසම්මිල් මිනුවන්ගොඩ දී සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ වේදිකාවට ගොඩවීම කැපී පෙනුණි. ලාංකීය දේශපාලනයේ බල තැරැව්කරුවෙක් (පවර් බ්‍රෝකර්) කෙනකු ලෙස කලක හැඳින්වූ මුසම්මිල් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ කාලයේ දේශපාලනයට අවතීර්ණ වූ චරිතයකි. පසුකාලීනව කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය ඇතුළු, විවිධ ආණ්ඩුවල තනතුරු රැසක් ඔහු විසින් හොබවා තිබේ.

“මුසම්මිල් ආණ්ඩුකාරතුමා හිටපු ගමන් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට ගිහිල්ලා මහ කොමසාරිස්වරයා හමුවෙලා තියෙනවා රාජකාරියකට. ඊට පස්සේ තමා ඔහු මිනුවන්ගොඩ වේදිකාවට ගොඩ වුණේ”

තනතුරෙන් ඉල්ලා අස්වී මුසම්මිල් මහතා සජිත් ප්‍රේමදාස මහතා සමඟ එක්වන විට හිටපු මහ ඇමැතිවරකු සහ කැබිනට් අමාත්‍යවරයකු වූ නන්දිමිත්‍ර ඒකනායක ද සජිත් ප්‍රේමදාස මහතා සමඟ පසුගිය සතියේ දී එක් විය. උතුරේ ඡන්ද දිනා ගැනීමේ සටනට පසුගිය සතියේ ජාතික ජන බලවේගය ද අවතීර්ණ වී සිටියේය. ඒ අනුව ඉකුත් බ්‍රහස්පතින්දා යාපනයේ ජන රැලියක් සංවිධානය කිරීමට ඔවුන් කටයුතු කොට තිබුණි. එහිදී ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක, ඉලංගෙයි තමිල් අරුසු කච්චි තීරණය යාපනයේදීම ප්‍රශ්න කොට සිටියේය.

“මා උතුරේ ජනතාවගෙන් ඉල්ලන්නෙ අලුත් පාර වෙනුවෙන් පැරණි පාර අත්හැරලා එකතු වෙන්න. ඒ නිසා ITAK සංවිධානය ගත්තා යැයි කියන තීන්දුව මේ අලුත් වෙනසට එරෙහි තීන්දුවක්. 2010, 2015, 2019 රාජපක්ෂලාට එරෙහි තීන්දුවක්. හැබැයි 2024 තීන්දුව වෙනසට විරුද්ධව තීන්දුවක්. විද්වතුන්, මහාචාර්යවරුන් මේ වෙනසට එරෙහිවීමේ තීන්දුව අනුමත කරනවාද? මා ඉල්ලන්නෙ මේ වෙනසේ කොටස්කරුවන් වෙන්න ඕගොල්ලො. මේ වෙනසට එරෙහි වන්නන් නොවෙන්න. මම අහන්නෙ එකයි, රටේ බහුතර ජනතාවක් වෙනසක් ඉල්ලා තිබියදී යාපනයේ ඔබ විතරක් ඒ වෙනසට විරුද්ධව වැඩ කරන්නේ කොහොමද? අපි දිනනවා, දකුණේ ලක්ෂ ගණනකින් අපි දිනනවා.”

මේ අතර ජාතික ජන බලවේගය ජනාධිපතිවරණය ජයග්‍රහණය කළහොත් මහ මැතිවරණය පවත්වන තුරු රට පාලනය කරන්නේ කෙසේද යන්න පිළිබඳ දිගින් දිගටම ප්‍රශ්න මතුවෙමින් පැවතුණි. කිසිවිටෙකත් ව්‍යවස්ථාව උල්ලංඝනය නොකරන බවත් ව්‍යවස්ථානුකූලව විකල්ප තුනක් සලකා බලන බවත් ජාතික ජන බලවේගය ඊට පිළිතුරු දෙමින් පසුගිය සතියේ පැවසීය. මේ අතර පොහොට්ටුවෙන් ඉවත් වූ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුට සිදුවූ අකරතැබ්බයක් පිළිබඳව ද පසුගිය සතියේ දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ දැන ගැනීමට ලැබුණි. ඒ අනුව කියැවුණේ පොහොට්ටුවෙන් ඉවත් වී ජනාධිපතිවරයාට සහාය පළ කළ මන්ත්‍රීවරුන් හය දෙනකු හොර රහසේ බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ සහ සාගර කාරියවසම් හමුවී සාකච්ඡා කොට ඇති බවයි.
“එතැන අපිට පිළිගැනීමක් නෑ. හරියට සලකන්නේ නෑ. පොරොන්දු ඉෂ්ඨ කළේ නෑ.” එවැනි දුක් ගැනවිලි මෙම මන්ත්‍රීවරුන් විසින් පොහොට්ටු ප්‍රධානීන් වෙත ඉදිරිපත් කර ඇතැයි එම පක්ෂයේම ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

කෙසේ වෙතත් පොහොට්ටුව මේ වන විට අලුත් සංවිධායකවරුන් ආසන වෙත පත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇත. ඒ අනුව පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, එස්.එම්. චන්ද්‍රසේන යන පොහොට්ටුවේ හිටපු ජ්‍යෙෂ්ඨයන්ගේ ආසන වෙත පළමුව ආසන සංවිධායකවරුන් පත් කොට ඇත.

“කළුතර රෝහිතගේ ආසනයට ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරික අයිඩා සමූහ ව්‍යාපාරයේ හිමිකරුවගේ පුත්‍රයාව පත් කරල තියෙනවා. අනුරාධපුරේ එස්.එම්. වෙනුවටත් ප්‍රබල චරිතයක් පත් කරන්න සූදානම් කරලා තියෙන්නේ. පවිත්‍රා වෙනුවටත් රත්නපුරෙන් හොඳ චරිතයක් එනවා. මහනුවර මහින්දානන්ද එක්ක තරග කරන්න පුළුවන් ප්‍රබල පවුලක කෙනෙක්ව තමයි සංවිධායක විදිහට පත් කරන්නෙ.”

ජනාධිපතිවරණ කලබල අතරේ පසුගිය සතියේ පැවති සුවිශේෂී විවාහ මංගල උත්සවයක් පිළිබඳව ද ඉකුත් සතියේ දී තොරතුරු වාර්තා විය. සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ දියණිය චමත්කා සහ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකුගේ පුත්‍රයකු වන අභීතගේ අතිනත ගැනීම වෙනුවෙන් පැවති මෙම සාදය කොළඹ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විණි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සජබ මන්ත්‍රී කණ්ඩායමේ සියලු දෙනාට මේ සඳහා ඇරයුම් කිරීමට මද්දුමබණ්ඩාර මහතා කටයුතු කළේය. සියලු පක්ෂ නායකයන්ට සහ හිතවතුන්ට ආරාධනා කිරීමට පළමුව සැලසුම් කොට තිබුණද ජනාධිපතිවරණ උණුසුම හමුවේ නිර්මාණය විය හැකි ගැටලු සලකා මද්දුමබණ්ඩාර මහතා සජබ දේශපාලන හිතවතුන් පමණක් මේ සඳහා සම්බන්ධ කරගත් බව ආරංචි මාර්ග තහවුරු කළේය. කෙසේ වෙතත් ඔහුගේ පාසල් වියේ සිටම මිත්‍රයකු වූ එක්සත් ජාතික පක්ෂයේ දයා ගමගේ හට පමණක් පිටතින් මේ සඳහා ආරාධනා කොට තිබුණි.

මෙම සාදය පුරාවට ප්‍රබල මාතෘකාව බවට පත් වී ඇත්තේ ද ජනාධිපතිවරණය බව දැනගැනීමට ලැබේ. කෙසේ වෙතත් මෙම විවාහ මංගල්‍යයේ දී සාක්ෂියට අත්සන් කිරීම පවා දේශපාලන චරිතවලින් තොරව, මනාලියගේ සහ මනාලයාගේ පියවරුන් විසින් සිදුකර තිබීම සුවිශේෂීය.

ජනාධිපතිවරණය වෙනුවෙන් සිය ප්‍රතිපත්ති ප්‍රකාශ මේ වන විටත් ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයන් සියලු දෙනා පාහේ ඉදිරිපත් කොට හමාරය. එම එළිදැක්වීම් සියල්ල කොළඹ තරු පන්තියේ හෝටල්වල පැවති බව මේ වන විටත් වාර්තා වී තිබේ. ඒ අනුව මැතිවරණ වියදම් නියාමනය පිළිබඳ උනන්දුවක් දක්වන විදෙස් මාධ්‍ය ආයතන සහ ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් කිහිප දෙනකු එක් වී ඒ සඳහා වැය වූ වියදම් තක්සේරු කර ඇතැයි දැන ගැනීමට ලැබේ.

තරු පන්තියේ හෝටලයක කෙටි ආහාරවේලක් සහ තේ පැන් සංග්‍රහයක් වෙනුවෙන් එක් පුද්ගලයකුට රුපියල් හය දහසක් පමණ අවම වියදමක් වැය වන බැවින්, දහසක් පමණ දෙනා සහභාගි වන මෙවන් උත්සවවලදී ආසන්න වශයෙන් ලක්ෂ හැටක පමණ මුදලක් වැය කිරීමට අදාළ අපේක්ෂකයන්ට සිදුවන්නට ඇතැයි මෙම නිරීක්ෂකයෝ පෙන්වා දෙති.

සංග්‍රහයක් වෙනුවෙන් මෙවන් වියදමක් කරන අපේක්ෂකයන් ජනාධිපතිවරණය වෙනුවෙන් කොතරම් විසල් වියදමක් දරන්නේ ද එය, මැතිවරණ වියදම් නියාමන පනතට අනුකූල ද යන්න මේ වන විටත් අදාළ නිරීක්ෂකයෝ ප්‍රශ්න කරමින් සිටිති.

• චමිඳු නිසල් ද සිල්වා