2024 අගෝස්තු 31 වන සෙනසුරාදා

ඉන්දියාවේ ආරක්ෂක ලොක්කා හදිසියේ ලංකාවට ආවේ ඇයි?

 2024 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 02:00 464

අත්තෙන් අත්තට පැන යන කුරුල්ලන් බිමට වැටුණාම චෝරු වී යන බව නොදන්නේ ඒ කුරුල්ලන්ම පමණි. මෙවර ජනාධිපතිවරණ දේශපාලනය චෝරු කුරුල්ලන් විසින් සලාද කොට අච්චාරු දමා ඇත. ගොඩනැගී ඇති එකඟතා කොපමණ කලක් පවතීදැයි සැක සංකා මතුවන්නේ, ඔවුන් අතර පවතින දේශපාලන සහ මතවාදී වෙනස්කම් නිසාවෙනි. කෙසේ වෙතත් ඉඳුරාම තවමත් පැනිලි අවසන් වී නැත. සතියකට වරක් සිය අවස්ථාව එළඹෙන තුරු දෙතුන් දෙනෙක් ලැයිස්තුවට වී බලා සිටිති.

මේ අතර පසුගිය දිනවල කඳවුරු මාරු කළ චරිත කිහිපයක් ඉකුත් සතියේ නිහඬ වී සිටින අයුරු නිරීක්ෂණය වූයේය. ඒ අතර පසුගිය සතියේ විශාල පුවතක් නිර්මාණය කළ සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තු පැමිණි තලතා අතුකෝරළ මහත්මිය ද විය. ඊට අමතරව රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත ද පක්ෂ මාරු වී නිහඬ වූ අය අතර සිටියේය.

“එයාලට ආණ්ඩුවෙන් පොරොන්දු වුණු දේවල් ලබා දීලා නෑ. ඒකයි මැතිවරණ වේදිකාවකවත් දකින්න නැත්තේ”

සෙසු කඳවුරුවල පිරිස් මෙම චරිත අතුරුදන් වීම පිළිබඳ දේශපාලන කරළියේ අහුමුළුවල සිට කතාබහ කළහ.

කෙසේ වෙතත් මෙම පිරිස් වෙත ආණ්ඩුවෙන් ලබාදීමට බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්න පැහැදිලි නොවුණි. තලතා අතුකෝරළ වැනි චරිතයක් වරප්‍රසාද බලාපොරොත්තුවෙන් පක්ෂ මාරු කළ බවක් කීමට ඉක්මන් නොවිය යුතු බව තවත් පිරිසක් කීහ.

මේ අතර තලතා අතුකෝරළගෙන් හිස් වූ පාර්ලිමේන්තු අසුනට කරුණාරත්න පරණවිතාන මහතාගේ නම ලබාදීමට මැතිවරණ කොමිෂන් සභාව පසුගිය සතියේ කටයුතු කළේය.

මේ අතර පසුගිය සතියේ සිදුවූ තවත් තීරණාත්මක පිල් මාරුවක් වූයේ කොළඹ දිස්ත්‍රික් පොහොට්ටු මන්ත්‍රී ජගත් කුමාර, සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ දෑත් ශක්තිමත් කිරීමට එක්වීමයි. ආරංචි මාර්ග සඳහන් කළ පරිදි මෙම පිල් මාරුව පිළිබඳව දින කිහිපයක සිටම මාධ්‍ය වෙත තොරතුරු ලැබෙමින් පැවතුණි.

ඉකුත් සතියේ දිනෙක අමාත්‍යවරයා විශේෂ මාධ්‍ය හමුවක් ද කැඳවා තිබුණි. මාධ්‍යවේදීන් පිරිසක් එම ස්ථානයට ගොස් තිබුණේ අදාළ සිදුවීම සජීවීව වාර්තා කිරීමේ ද අපේක්ෂාව සහිතවය. එහෙත් එම ස්ථානයේ රැඳී සිට ඇත්තේ මන්ත්‍රීවරයා වෙනුවට ඔහු හා සම්බන්ධ වෘත්තීය සන්ධානයක පිරිසකි.

“මන්ත්‍රීතුමා එනවා කියපු නිසා අපි ආවේ. අපිට ආරංචියක් ලැබුණා පිල් මාරු කරන්න යනවා කියලා. මෙතැන දැන් තියෙන්නේ වෙන එකක්. අපි යනවා යන්න”

ආදී වශයෙන් මෙහිදී අපහසුතාවයට ලක්වූ මාධ්‍යවේදියෝ සඳහන් කළහ. කෙසේ වෙතත් අදාළ වෘත්තීය කණ්ඩායම තමන් සමගි ජන බලවේගයට සහාය ලබා දෙන බව මෙහිදී පවසා තිබේ. මෙදින අදාළ පිල් මාරුව කුමන හෝ හේතුවක් නිසාවෙන් ප්‍රමාද වූ නමුත් බ්‍රහස්පතින්දා මධ්‍යහනේ අදාළ පක්ෂ මාරුව සිදු කිරීමට ජගත් කුමාර මන්ත්‍රීවරයා කටයුතු කළේය.

මේ අතර දිළිඳුකම පිටුදැකීම හා සමෘද්ධි ව්‍යාපාරයට අදාළ සියලු කටයුතු සම්බන්ධීකරණ ප්‍රධානියා ලෙස ජගත් කුමාර මන්ත්‍රීවරයා පත් කිරීමට සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර ඇතැයි ඇතැම් මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබුණි. සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරි සංගමයේ ප්‍රධාන ලේකම්වරයා ද ජගත් කුමාර මහතාය. ඔහු පසුගිය සමයේ අස්වැසුම ඇතුළු සමෘද්ධි ව්‍යාපාරය පිළිබඳ ගැටලුවලදී කැපීපෙනෙන චරිතයක් බවට පත් විය.

මේ අතර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ ජනාධිපතිවරණය දක්වාම උණුසුම පවත්වාගෙන යමින් පිල් මාරු සිදු කිරීමට ප්‍රධාන දේශපාලන කඳවුරු කිහිපයක්ම සැලසුම් සකස් කොට ඇති බවකි.

කෙසේ වෙතත් පසුගිය සතියේ ජනතා වරමින් මන්ත්‍රී ධුර ගෙන වාසි සොයා පැත්තෙන් පැත්තට පනින ගෙඹි දේශපාලනය නැවැත්වීමට නව නීති ගෙන එන බව සමගි ජන බලවේගය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

“පාර්ලිමේන්තුවෙන් පිටතදීත් සටන් කළා. සමගි ජන සන්ධාන රජයක් තුළ පැත්තෙන් පැත්තට පනින ගෙඹි දේශපාලනයට එරෙහිව තිබෙන නීති තවදුරටත් ශක්තිමත් කරන්න කටයුතු කරනවා. වරදාන වරප්‍රසාද මත ක්‍රියාත්මක දේශපාලනය සම්පූර්ණයෙන් නවත්වන්න අපි කටයුතු කරනවා.”

ඒ මහතා මේ බව පැවසුවේ ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සමගි ජන බලවේගයේ ඉකුත් දා අම්පාර, පොතුවිල් හිදී පැවැත්වූ ජන රැලියක් අමතමිනි. මෙහිදී පලස්තීන ජනතාවට සහාය පළ කරන බවත්, ආදාහන සහ භූමදහන සම්බන්ධව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතියන්ට පිටතින් කටයුතු කළ දේශපාලනඥයන්ට වන්දි ගෙවීමට සිදුවනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

ජනාධිපතිවරණ සමය තුළ රැල්ලක් බවට පත්ව තිබුණු සමීක්ෂණ වාර්තා පිළිබඳව ද ඉකුත් සතියේ විශාල කතාබහක් නිර්මාණය විය. පදනමක් හෝ වගකිවයුත්තකු නැති සමීක්ෂණ වාර්තා යැයි කියන ලියැවිලි රැසක් අන්තර්ජාලයේ සංසරණය වෙමින් තිබුණි. සමාජ මාධ්‍ය වේදිකා තුළ ද එම සමීක්ෂණ වාර්තා හරහා සිය මැතිවරණ ව්‍යාපාරයට වාසි ලබාගැනීමට ඇතැම් අපේක්ෂකයන්ගේ ආධාරකරුවන් උත්සාහ කරමින් සිටින බව නිරීක්ෂණය විය. මේ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවට ද පැමිණිලි ලැබී තිබුණි.

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විවිධ පර්ශ්ව විසින් සිදු කරන සමීක්ෂණ හේතුවෙන් නොමඟ නොයන ලෙස මැතිවරණ කොමිසම ඡන්දදායකයන්ගෙන් ඉල්ලීමක් කළේය.

“අපි ජනතාවගෙන් ඉල්ලනවා කිසිදු සමීක්ෂණ වාර්තාවක් ගැන විශ්වාසය තබන්න අවශ්‍ය නෑ. නියම සමීක්ෂණය තියෙන්නේ මැතිවරණය පැවැත්වෙන සැප්තැම්බර් 21 වැනිදා.”

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කර සිටියේ සමීක්ෂණ මත පදනම්ව තමන්ගේ මතය වෙනස් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

මේ අතර පුංචි ඡන්දය පිළිබඳව ලැබුණු අධිකරණ නියෝගයත් සමඟ පසුගිය සතියේ මැතිවරණ කොමිෂන් සභාව රැස්වී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. ඉකුත් බදාදා රැස්වූ කොමිසම පැය දෙකක පමණ කාලයක් මේ පිළිබඳව සාකච්ඡාවක් පවත්වා ඇතැයි ආරංචි මාර්ග ඔස්සේ දැනගැනීමට ලැබේ. මෙම සාකච්ඡාවෙන් අනතුරුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳව, මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිල නිවේදනයක් ද නිකුත් කළේය.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ පළාත් පාලන මැතිවරණය, අදාළ බාධා ඉවත් කර ගනිමින් හැකි ඉක්මනින් පවත්වන බවකි.

“අධිකරණ තීන්දුවත් එක්ක අපිට ඊළඟට කටයුතු කරන්න වෙන්නේ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන්. අනෙකුත් මැතිවරණවලට බාධාවක් නොවන ආකාරයෙන් එම කටයුතු කිරීම ගැන අද සාකච්ඡා කළා. තවම දිනයක් සාකච්ඡා කරලා නැහැ”
මේ අතර පසුගිය වර පැවැත්වීමට නොහැකි වූ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම සඳහා ද මැතිවරණ කොමිසම සූදානම් වෙමින් සිටියේය. මේ සමඟම පැතිර ගිය දේශපාලන ආරංචියකට අනුව කියැවුණේ පොහොට්ටුවෙන් වෙන් වී ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක්වූ නව මන්ත්‍රී කණ්ඩායම පොදු සන්ධානයක් යටතේ ඇල්පිටියෙන් කරළියට බැසීමට තීරණය කර ඇති බවකි. කෙසේ වෙතත් එහි ප්‍රායෝගික බව සහ නීතිමය හැකියාව පිළිබඳව පැහැදිලි බවක් නොවීය.

මේ අතර පොහොට්ටුවෙන් වෙන් වූ කණ්ඩායම පොහොට්ටුවේ විකල්ප කණ්ඩායමක් ලෙස සන්ධානගත වී නව ලකුණක් සහ නමක් යටතේ කරළියට පැමිණීමට සූදානම් වන බව ආරංචි මාර්ග තහවුරු කර සිටියේය. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුතු මෙම සන්ධානයේ තනතුරු පිළිබඳ තීරණ ගැනීම සඳහා පසුගිය සති දෙක තුළ සාකච්ඡා වට කිහිපයක්ම පැවති බව දැන ගැනීමට ලැබේ. මේ වන විට අදාළ එකඟතා නිර්මාණය වී ඇති බවද ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව නුදුරු දිනක කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක දී මෙම සන්ධානය ජනගත කිරීම සිදුවනු ඇතැයි කියැවේ.

පසුගිය සතියේ කාගේත් අවධානය දිනාගත් තවත් දේශපාලන සිදුවීමක් වූයේ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර තනතුරෙන් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කළ බවට වූ පුවතයි. 2020 වසරේ එක්සත් ජාතික පක්ෂය ලැබූ අන්ත පරාජයෙන් පසුව මහලේකම්වරයා ලෙස පත් කරනු ලැබුවේ රගේ බණ්ඩාර මහතාය. ඒ අනුව පසුගිය වසර කිහිපයේදීම තනතුරේ කටයුතු කරමින් පක්ෂයේ ක්‍රියාකාරකම් මෙහෙයවීමේ වගකීම ඔහු දැරීය.

එහෙත් ඔහු විසින් මෑත කාලීනව ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කිරීමත් සමඟ පක්ෂයේ ඇතැම් පාර්ශ්ව ඔහු වෙත විරෝධය එල්ල කිරීමට පටන්ගත් බව ආරංචි මාර්ග සඳහන් කරයි.

“ඔහු අතින් විශාල කළමනාකරණ වැරදි රැසක් සිද්ධ වෙලා තියෙනවා”

මෙම ඉවත් කිරීම පිටුපස වූ හේතුව ලෙස මාධ්‍ය ආවරණය කර තිබුණේ පක්ෂයේ කටයුතු සංවිධානය කිරීමේදී දැක්වූ දුර්වලතා මෙන්ම සන්නිවේදනයේ සහ මූල්‍ය කළමනාකරණයේ දී මතු වූ දුර්වලතාවන්ය.
“රංගෙ මේ තනතුරේ ඉන්න එක මේ වෙලාවේ එච්චර හොඳ නැහැ”

ආදී දෝෂාරෝපණ ද පසුගිය මාස කිහිපය තුළ දී පක්ෂ අභ්‍යන්තරයෙන් නැගුණු බව දැනගැනීමට ලැබේ.

“රංගෙ සමගි ජන බලවේගයට යන්න හදන්නේ”

මෙම ඉවත් කිරීමේ කතාවත් සමඟම දේශපාලන කරළිය පුරා පැතිර ගියේ මෙවන් ආරංචියකි. කෙසේ වෙතත් සිකුරාදා වන විට ඔහු ඉංග්‍රීසි පුවත්පත්වලට සඳහන් කොට තිබුණේ තමා පක්ෂයෙන් ඉවත් නොවන බවකි.
සිකුරාදා මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා ඔහු කරුණු පැහැදිලි කළේය.

“මම ඉල්ලා අස්වෙලා නෑ. ඉල්ලා අස්වෙන ලෙසට මට දැනුම් දීලත් නෑ”

ඒ අනුව මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කළ ද තමාට විරුද්ධ කුමන්ත්‍රණයක් සිදුවන බවට වූ කරුණ ඔහු ප්‍රතික්ෂේප නොකළේය.

මේ වන විට මහලේකම් ධුරය එක්සත් ජාතික පක්ෂයේ පැරණි සාමාජිකාවක වූ පසුගිය දිනවල සමගි ජන බලවේගයෙන් ඉවත් වී ජනාධිපතිවරයාට සහාය පළ කළ තලතා අතුකෝරළ මහත්මියට ලබාදීමට සූදානම් වන බවක් ද ආරංචි මාර්ග කියා සිටියි.
“මහ ලේකම්කම තලතට දෙන්න කියලා ඉල්ලීම් ගොඩක් ලැබිල තියෙනවලු”

තලතා අතුකෝරළ යනු එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම්වරයකු වන ගාමිණී අතුකෝරළ මහතාගේ සහෝදරිය වීම ද මෙම කතාව පැතිර යාමට හේතුවක් වී ඇති බව පෙනී යයි.

කෙසේ වෙතත් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ ඉල්ලීම අනුව ඉදිරියේ දී මෙම පත් කිරීම සිදු කිරීමට ද යම් සම්භාවිතාවක් ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය සතියේ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා හදිසියේ ශ්‍රී ලංකාවට පැමිණීම ද විශේෂ අවධානයක් දිනාගත් සිදුවීමක් විය. මැතිවරණ සමයේ දී ඔහුගේ පැමිණීම පිළිබඳ විවිධ ආරංචි පැතිර ගිය අතර, අග්‍රාමාත්‍යවරයාගෙන් පසුව ඉන්දීය රජයේ විශාල බලතල ප්‍රමාණයක් දරන බලපෑම් සහගත චරිතයක් වන ඔහුගේ පැමිණීම පිටුපස තිබුණු හේතු කාරණා විමසා සිටීමට බොහෝ දෙනෙක් උනන්දු වූහ.

“ඉන්දීය සාගර ආරක්ෂාව පිළිබඳ සමුද්‍රීය ආරක්ෂක ගිවිසුමක් අත්සන් කරන්න ඔහු ආවේ”

ඉන්දියාව, ලංකාව, බංග්ලාදේශය, මාලදිවයින, මොරිෂස් වගේ රටවල් සමඟ තමා මෙම ගිවිසුම අත්සන් කළේ”

නිල වශයෙන් මෙවන් පැහැදිලි කිරීමක් ලැබුණ ද අජිත් දොවාල්ගේ පැමිණීම පිටුපස ශ්‍රී ලංකාවේ මැතිවරණ දේශපාලනය පිළිබඳ පෞද්ගලික තක්සේරුවක් ලබාගැනීමේ අවශ්‍යතාව පැවති බවට ද ආරංචි මාර්ග සඳහන් කළේය.
“ජනාධිපතිතුමා, විපක්ෂ නායකතුමා වගේම නාමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ඇතුළු අයවත් ඔහු හම්බවෙන්න තීරණය කරලා තියෙනවා”

මීට අමතරව උතුරේ සහ දකුණේ දමිළ දේශපාලන පක්ෂ සහ එහි නායකයන් හමුවීමට ද අජිත් දොවාල් මහතා කටයුතු කර ඇත.

මේ අනුව ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති අපේක්ෂකයන් සහ ඔවුන්ගේ නියෝජිත පාර්ශ්ව පෞද්ගලිකව හමුවී සාකච්ඡා කිරීමට අජිත් දොවාල් මහතා කටයුතු කොට ඇති බව පෙනී යයි.

මේ අතර හිටපු ඉන්දීය මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ද පැමිණි විගස හමු වී ඔහුගේ පාත්ෆයින්ඩර් ආයතනය සමඟ වන ව්‍යාපෘතියක් පිළිබඳව ද අජිත් දොවාල් මහතා සාකච්ඡා කොට ඇති බව ආරංචි මාර්ග කියා සිටියි.

මේ අතර ඉන්දීය රෝ ඔත්තු සේවය ද සක්‍රීයව ලංකාවේ වර්තමාන දේශපාලන තත්ත්වය සහ අනාගත ආණ්ඩුව පිළිබඳව ඉන්දීය රජයට වාර්තාවක් සපයා ඇතැයි දේශපාලන කරළියේ කතා පැතිර යමින් තිබේ.

මෙවන් කලබලකාරී වටපිටාවක් තුළ පසුගිය සතියේ ජනාධිපතිවරණය සම්බන්ධව සිදුවූ තවත් තීරණාත්මක සිදුවීම් පෙළක් වූයේ අපේක්ෂක ප්‍රතිපත්ති ප්‍රකාශ එළි දැක්වීමයි. ඒ අනුව පළමුව ජාතික ජන බලවේගය ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ නමින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීය.
ජාතික ජන බලවේගයේ නායක, ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීම සිදු විය. ඩිජිටල් ක්‍රමයට පොල්තෙල් පහන දල්වමින් මෙම උත්සවය ආරම්භ කිරීම කැපීපෙනෙන සිදුවීමක් විය. මෙහිදී අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය ගිවිසුමක් බවයි.

“මැතිවරණයෙන් පස්සේ ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර ගැනීමට කිසිදු අවස්ථාවක් ජනතාවට හිමි නොවී නිකම්ම නිකම් කොළ කෑලි බවට පත් වෙනවා. ජාතික ජන බලවේගය පිවිසෙන්නේ මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්නයි. ජනතාවට, පුරවැසියන්ට ගරු නොකරන මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම අපට ඉතාම අවශ්‍යයි. ජාතික ජන බලවේගයේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දක්වන්නේ එවැනි පසුබිමකයි. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය නිකම්ම නිකම් කොළ කැබැල්ලක් නෙවෙයි. වචන ටිකක් නෙවෙයි. මේ රටේ ජනතාව එක්ක අපි එළැඹෙන සමාජ ගිවිසුම මේකයි.”

මේ අතර ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ‘රනිල් සමඟ රට දිනවන වසර පහක්’ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීම කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී සිදු විය. ඔහු ප්‍රතිපත්ති ප්‍රකාශය රැගෙන ඒමේ සිට සියලු කටයුතු වීඩියෝ තාක්ෂණය ඔස්සේ සජීවීව ජනතාවට දැක බලා ගැනීමට සැලැස්වීම සුවිශේෂී සිදුවීමක් විය.

තරුණයන් පිරිසක් වේදිකාවට කැඳවා ගනිමින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.

“අනෙක් අපේක්ෂකයන් වසර ගණනක් ගතවන ප්‍රතිපත්ති ඉදිරිපත් කර තිබෙනවා මම දුටුවා. නමුත් මේ අවස්ථාවේ දී අපට අවශ්‍ය වහාම ක්‍රියාත්මක කළ හැකි යෝජනා බව කිව යුතුයි. අප සිටින්නේ ආර්ථික වශයෙන් අර්බුදකාරී යුගයකයි.

2022 වසරේ රටේ සිදු වූ අර්බුදය නිසා ආණ්ඩුව බාරගැනීමට කිසිවකු ඉදිරිපත් වුණේ නැහැ. මෙහි සිටින්නේ එම අභියෝගය බාරගත් පිරිසයි. අප 2023 වසර වන විට මේ රටේ ආර්ථික ස්ථාවරත්වය ඇති කර තිබෙනවා. ඒ වගේම එම ආර්ථික ස්ථාවරත්වය තවදුරටත් ඉදිරියට ගෙනැවිත් තිබෙනවා. එම ස්ථාවරත්වය තවදුරටත් තහවුරු කරල ආරක්ෂා කිරීමට අප අපනයන ආර්ථිකයකට යොමු විය යුතුයි. එම රාමුව තුළ අප වැඩ කරනවා. විවිධ පොරොන්දු ලබා දී නැවත ආර්ථිකය බිඳ දැමීමට අපට අවශ්‍ය නැහැ.”

තමා රටට පොරොන්දු වන්නේ ලබා දිය හැකි දේ පමණක් බවත්, කළ නොහැකි දේ පොරොන්දු වී රටේ ආර්ථිකය නැවත බිඳ දැමීමට සූදානම් නොමැති බවත් පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් එසේ පැවසීය.

පසුගිය සතියේ දී සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අස්ගිරි සහ මල්වතු මහානාහිමිවරුන් වෙත පිළිගැන්වීමට කටයුතු කෙරිණි.

“අපි මැතිවරණ වේදිකා තුළ මෙහි අඩංගු දේවල් විවිධ අවස්ථාවල ප්‍රකාශ කරලා තියෙනවා. අපි මේ වැඩපිළිවෙළ ඉතාමත් පිරිසුදුව, යථාර්ථවාදීව, ප්‍රායෝගිකව, සත්‍යවාදීව, පොදු ජනතාවගේත් මාතෘ භූමියේත් සුබසිද්ධිය උදෙසා ක්‍රියාත්මක කරන්නට යෙදෙනවා. මේ ජනතා කේන්ද්‍රීය මාතෘ භූමිය ශක්තිමත් කරන ප්‍රගතිශීලී වැඩපිළිවෙළක්. අපි විශ්වාස කරනවා කාලවකවානු සහිතව මේ වැඩපිළිවෙළ මහ පොළොවේ යථාර්ථයක් බවට පත් කරන්න පුළුවන්  කියලා.”

සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉදිරිපත් කරන ලද ‘සැමට ජය’ ප්‍රතිපත්ති ප්‍රකාශය සැප්තැම්බර් 04 වැනිදා ව්‍යාපාරික ප්‍රජාව සහ මහජනතාව වෙත නිකුත් කිරීමට නියමිතය.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා ද සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට සූදානමින් සිටියේය. ඒ අනුව පළමුව නාමල් රාජපක්ෂ සිය ප්‍රතිපත්ති ප්‍රකාශය සුබ නැකැතින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වෙත පිරිනැමීමට පසුගිය සතියේ කටයුතු කර තිබුණි. එම අවස්ථාවේ දී දේශීයත්වය සහ ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටි ප්‍රධාන පෙළේ භික්ෂූන් වහන්සේලා මෙවර නිහඬ වීම පිළිබඳ කතාවක් ද ඇතිවූ බව ආරංචි මාර්ග පැවසීය. පසුගිය සතියේ මැතිවරණ ප්‍රචාරක වැඩසටහන් රැසකට ඔහු ද සම්බන්ධ වී සිටින අයුරු දැකගත හැකි විය. තමා නිර්මාණය කරන්නේ තරුණ ආණ්ඩුවක් බව කුරුණෑගල, මාවතගම සති පොළ ක්‍රීඩාංගණයේ පැවති ජන රැලිය අමතමින් ඔහු කීය.

“රැකියා ලබාගන්න තවදුරටත් දේශපාලන පක්ෂ හෝ දේශපාලනඥයන් පිටුපස යන්න මේ රටේ තරුණ පරම්පරාව සූදානම් නැහැ. ඒ නිසා අපි විශ්වාස කරනවා අපි හදන්නේ තරුණයන්ගේ ආණ්ඩුවක්. තරුණයන්ගේ ආණ්ඩුවක් තුළ නිපුණතාවයට, හැකියාවට, පුහුණුවට පළපුරුද්දට අභිමානයෙන් යුතුව රැකියාවක් කරන්න පුළුවන් පරිසරය මෙන්ම වපසරිය අපි නිර්මාණය කරනවා.”

මේ අතර ඉදිරි සතියේ තැපැල් ඡන්දය කේන්ද්‍ර කර ගනිමින් සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු දියත් කිරීමට සියලු අපේක්ෂකයන් සූදානම් වන බව පෙනී ගියේය. ක්‍රමයෙන් ජනාධිපතිවරණ වේදිකාව උණුසුම් වෙමින් පැවතුණි.


• චමිඳු නිසල් ද සිල්වා