2024 ජුනි 22 වන සෙනසුරාදා

ලන්සා බැසිල්ට ඔරවයි: බැසිල් ලන්සාට ගොරවයි

 2024 ජුනි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00 382

අඹ පැනය ඥාති පැනය විමසා නුවණැති බව සිතා මිහිඳු මහ රහතන් වහන්සේ එදවස රජුන්ට දම් දෙසූහ. එහෙත් මෙදවස පාලකයන්ගෙන් එවන් පැන විමසන්නට තබා, පවතින සැබෑ ගැටලුවකට විසඳුම් ලබාගන්නට ද අපට වරම් නැත. එසේම අසන පැනයකට නිසි පිළිතුරක් ගලපා ලබා දෙන්නට ද මෙරට බොහෝ පාලකයන්ට පැසුණු බුද්ධියක් නොවේ. එළැඹෙමින් ඇති මැතිවරණ සමයේ එය රටට හොඳින්ම අවබෝධ වනු ඇත.

ගෙවී ගියේ තවත් කලබලකාරී දේශපාලන සතියකි. සතරකන් මන්ත්‍රණ, රහස් සාකච්ඡා බොහෝ තැන්වල පැවති බව දැනගැනීමට ලැබුණි. මැතිවරණයක් ළං වෙමින් ඇති පසුබිමක ක්‍රමිකව සියලු දේශපාලන චලනයන් වේගවත් වන ලකුණු පෙනී ගියේය.

තීරණාත්මක දේශපාලන සාකච්ඡා රැසක් පැවති පසුගිය සතියේ ජනාධිපතිවරයාගේ දේශපාලන කමිටුවේ සහ මාධ්‍ය කමිටුවේ රැස්වීම් සුවිශේෂී විය. දේශපාලන කමිටුව රැස්වීමට පෙර රැස්වන මාධ්‍ය කමිටුව ජනාධිපති හිතෛෂී පාර්ශ්ව නියෝජනය කරයි. ඒ අනුව පසුගිය සතියේ මෙම රැස්වීම සඳහා නිමල් සිරිපාල ද සිල්වා, ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලුත්ගමගේ, නිමල් ලන්සා, අනුර ප්‍රියදර්ශන යාපා, දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
මෙහිදී චෝදනාවක් එල්ල වූයේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා හටය.

“ඇයි මේ ඔබතුමා අපි ප්‍රතික්ෂේප කරන, බැසිල් රාජපක්ෂ සහභාගි වන ප්‍රධාන දේශපාලන කමිටුවට යන්නේ"

ලන්සා පාර්ශ්වය වෙතින් මෙම චෝදනාව එල්ල වී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

“නැහැ.. නැහැ මට කතා කරන්නෙ ජනාධිපතිතුමා. ජනාධිපතිතුමා කතා කළාම නොගිහින් ඉන්න බැහැ"

කෙසේ වෙතත් මෙම පැහැදිලි කිරීමෙන් ලන්සා කණ්ඩායමේ පිරිස සෑහීමකට පත් වූයේ නැත. ආරංචිවලට අනුව දෙපසට විවිධ අදහස් මෙම සභාවේදී මතුව තිබේ.

“අපිට බෑ ආයෙ රාජපක්ෂලත් එක්ක වැඩ කරන්න. අපි එයාලව ප්‍රතික්ෂේප කරලයි ආවේ"

වාදය තරමක් දුරදිග ගියද ප්‍රතිඵලයකින් තොරව මාධ්‍ය කමිටුව විසිර ගොස් ඇතැයි කියැවේ.

මෙම සාකච්ඡාවෙන් පැය කිහිපයකට පසුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන දේශපාලන කමිටුව රැස්ව තිබේ. සුපුරුදු පරිදි මෙම අවස්ථාවට ලන්සා කඳවුරේ පිරිස් සහභාගී වී නොමැත. කෙසේ වෙතත් මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් බැසිල් රාජපක්ෂ එක් විය.

දේශපාලන කරුණු කාරණා සාකච්ඡා කරන අතරේ මාධ්‍ය කමිටුවේදී සිදුවූ සිදුවීම පිළිබඳ තොරතුරු මෙම සභාවට ඉදිරිපත් කරන්නට වූයේ අමාත්‍ය ප්‍රසන්න රණතුංග ය.

“අද මාධ්‍ය කමිටුවේදී බැසිල් රාජපක්ෂ මහත්මයාගේ පැමිණීම සම්බන්ධව අරගොල්ලෝ විරෝධතාව පළ කළා"

සිදුවූ දෑ පිළිබඳ අමාත්‍ය රණතුංග දේශපාලන කමිටුව හමුවේ පැහැදිලි කරන්නට විය. කෙසේ වෙතත් පෙර සාකච්ඡාවේදී චෝදනාවට ලක් වූ නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා කිසිවක් පැවසීමට උනන්දු වූයේ නැත. එහෙත් මෙම තොරතුරු ඇසීමෙන් බැසිල් රාජපක්ෂ තරමක් කිපුණු බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේය.

සාමාන්‍යයෙන් කේන්ති ගත් විටදී රැස්වීම්වල කතා කිරීමෙන් වැළකී සිටින බැසිල් රාජපක්ෂ මෙදින එම රීතිය ද බිඳ දමා තිබුණි.

“ජනාධිපතිතුමා මම මේ රැස්වීමට එන්නේ ඔබතුමා කියන නිසා. අපිට මේ එක එක අයගෙන් පාච්චල් වෙන්න උවමනාවක් නෑ. රාජපක්ෂල එහෙම පාච්චල් වෙන අය පිරිසකුත් නෙවෙයි" 

ජනාධිපතිවරයාගේ වචනයට ගරු කොට තමා මෙම සාකච්ඡාවට සහභාගී වන බවත්, තමාට අකමැති මන්ත්‍රීවරුන් සිටී නම් නැවත රැස්වීමට සහභාගි වීමට අවශ්‍යතාවයක් තමාට නොමැති බවත් බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කොට තිබේ. 
මෙම තත්ත්වය සමනය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

“නැහැ.. නැහැ ඔබතුමා යන්නෙ මොකටද? මමයි ඔබතුමාට එන්න කිව්වේ" 

“බලන්න නිමල් සිරිපාල ඇමැතිතුමාටත් බැණල තියෙනව, මාත් එක්ක රැස්වීම්වලට එනවා කියලා"

“නිමල් සිරිපාල ඇමැතිතුමාට එන්න කිව්වෙ මම මගේ නියෝජිතයෙක් විදිහට. ඒගොල්ලන්ට මට කිව්වා මේක ඔබතුමා එක්ක කතා කරලා සමථයකට පත් කර ගන්න කියලා"

ජනාධිපතිවරයා බැසිල් රාජපක්ෂට දිගින් දිගටම මෙම රැස්වීම සඳහා සහභාගී වන ලෙසට දන්වා සිටියේය.

කෙසේ වෙතත් ලන්සා පාර්ශ්වය ද රාජපක්ෂ කඳවුර සමඟ ගනුදෙනුවට කිසිදු නම්‍යතාවක් නොදක්වන බව ඉතා පැහැදිලිය.

සමගි ජන බලවේගයෙන් ජනාධිපති අපේක්ෂකත්වය බලාපොරොත්තු වී එය නොලැබී යාමෙන් කනස්සල්ලට පත්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා තවදුරටත් කෝපයට පත් කරන සිදුවීමක් පසුගිය සතියේ සිදුවිය. 
පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කිරීමට බලාපොරොත්තු වූ හෙතෙම විපක්ෂ සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වෙත ගොස් ඒ සඳහා කාලය ඉල්ලා තිබේ.

“ජනාධිපතිවරණයේදී ඔබතුමා අපේ පක්ෂ නායකයා දිනවන්න කතා කරනවා නම් කාලය දෙන්න පුළුවන්. නැත්නම් මට උපදෙස් ලබා දීලා තියෙන්නේ කාලය දෙන්න එපා කියලා"

කිරිඇල්ලගේ පිළිතුරෙන් ෆොන්සේකා කේන්ති ගත් බව ආරංචි මාර්ග සඳහන් කරයි.

අනතුරුව සරත් ෆොන්සේකා මහතා කාලය ඉල්ලා ඇත්තේ ආණ්ඩු පක්ෂයෙනි. ඒ අනුව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මිනිත්තු 16 ක කාලයක් ඔහු හට ලබා දී තිබේ. ඒ අනුව මෙම කාලය තුළදී ඔහු සජිත් ප්‍රේමදාස ඉලක්ක කරගත් දැඩි වාග් ප්‍රහාරයක් පාර්ලිමේන්තුවේ දී දියත් කළේය.

“අපි වැදගත් විදිහට දේශපාලනය කරනවා. අපි අරක්කු දීලා දේශපාලනය කරන්නේ නෑ. අපි පගා ගහලා නෑ. මම කොළඹ ඉන්න කැසිනෝකාරයන්ගෙන් සල්ලි අරගෙන පාසල්වලටයි ඉස්පිරිතාලවලටයි බඩු බෙද බෙදා යන්නේ නෑ. මම අරක්කු වීදුරුවක්වත් දෙන්නේ නැතිව දේශපාලනය කළා. ඒක හින්දා අපිට මේ වරප්‍රසාදය ලැබෙන්න ඕනෑ.''

මෙම ප්‍රකාශය මත ක්‍රියාකාරකම්වලින් කිපුණද සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයන් තීරණය කොට ඇත්තේ සරත් ෆොන්සේකා සම්බන්ධව විනය පියවර ගැනීම මැතිවරණයෙන් පසු සිදු කිරීමටයි. මැතිවරණ සමයේ වාරණ නියෝග ඇතුළු විවිධ ගැටලුවලට මැදිවීමට පක්ෂය අකමැති වීම ඊට හේතුව බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර දේශපාලන කමිටුව රැස්වූ දිනට පසුදා නැවතත් බැසිල් රාජපක්ෂ සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මෙහිදී ජනාධිපතිවරයා රාජපක්ෂලාගේ දේශපාලන සහයෝගය බලාපොරොත්තු වන බව පවසා තිබේ. එහෙත් ඊට පෙර ජනාධිපති අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කරන ලෙස නැවතත් බැසිල් රාජපක්ෂ ජනාධිපතිවරයාට දන්වා ඇතැයි කියැවෙයි. එසේම සිය පක්ෂයෙන් වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කරන ලෙසට ඉල්ලීම් ඉදිරිපත්ව ඇතැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කොට තිබේ.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතිය තුළදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද හමුවී ඉදිරි දේශපාලන සැලසුම් පිළිබඳ සාකච්ඡා කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. 

“දැන් ඔබතුමාල මොකක්ද කරන්න යන්නේ?”

“අපි තාම දිනන්න පුළුවන් අපේක්ෂකයෙක් හොයමින් ඉන්නේ. ඒත් තාම තීරණය කරලා නෑ"

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වර්තමාන ජනාධිපතිවරයාට ඇඟට පතට නොදැනීම මෙවැන්නක් කී බවක් දේශපාලන කරළියේ පැතිරෙන ආරංචි අනුව දැන ගැනීමට ලැබේ.

මේ අතර පසුගිය සතියේදී පොහොට්ටුවේ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ හමුවක් පොහොට්ටුව විසින් සංවිධානය කොට ඇත. කෙසේ වෙතත් මේ සඳහා ජනාධිපතිවරයා යටතේ රාජ්‍ය අමාත්‍ය ධූර දරන ෂෙහාන් සේමසිංහ, ලොහාන් රත්වත්ත, ගීතා කුමාරසිංහ, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ආදී රාජ්‍ය අමාත්‍යවරුන් සහභාගී නොවූ බව කියැවේ.

“අපි ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවද? මොකක්ද ගත යුතු තීරණය?"

මෙහිදී රාජ්‍ය අමාත්‍යවරුන් වෙත ජ්‍යෙෂ්ඨයන් විසින් මෙම ප්‍රශ්නය ඉදිරිපත් කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

“අපි අපේක්ෂකයෙක් දාල අපේ අනන්‍යතාවය බේරගමු"

මේ සඳහා සහභාගි වූ රාජ්‍ය අමාත්‍යවරුන් බහුතරයකගේ අදහස එය වී ඇති අතර, කිහිප දෙනකු නිහඬ බව ආරක්ෂා කළ බව කියැවේ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා පසුගිය සතියේ මෙරට කළ සංචාරය ද ඉතා තීරණාත්මක දේශපාලන සලකුණු කිහිපයක් තැබුවේය. ඉන්දීය විදේශ අමාත්‍යවරයා පළමුව හමුවූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාය.ඉන්දීය නව රජය යටතේ ශ්‍රී ලංකාවේ සිදුවන ආයෝජන ව්‍යාපෘති, ඉදිරි දේශපාලන සැලසුම් ආදිය පිළිබඳ මෙහිදී සාකච්ඡා වූ බව කියැවේ. ඊට අමතරව ඉදිරියේ දී සිදුවීමට නියමිත ඉන්දීය අග්‍රමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී තිබේ. මේ අතර ඉන්දීය ආධාර යටතේ සකස් කෙරුණු නිවාස යෝජනා ක්‍රමයක් මාර්ගගත ක්‍රමයට විවෘත කිරීමට ද විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා කටයුතු කළේය.

අනතුරුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හා විදේශ අමාත්‍ය අලි සබ්රි යන මහත්වරුන්ද හමුවීමට ඉන්දීය විදේශ අමාත්‍යවරයා කටයුතු කළේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඔහුගේ කාර්යාලයේදී හමුවීමට එහිදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා කටයුතු කර ඇත. රටේ වර්තමාන දේශපාලන තත්ත්වයක් පිළිබඳ සාකච්ඡා වී ඇතැයි කියැවේ.

“ඔබතුමාගෙ පැමිණීම මෝදි අග්‍රාමාත්‍යතුමා බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ නිසා ඔබතුමා කරුණාකරලා ඉන්දීය නිල සංචාරයකට එකතු වෙන්න"

සාකච්ඡාව අවසානයේ නිල වශයෙන්ම ශ්‍රී ලංකා විපක්ෂ නායකවරයාට බලාපොරොත්තුවෙන් සිටි ඉන්දීය ආරාධනාව ලැබී තිබී.

මෙම සාකච්ඡාව අවසානයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට ඉන්දීය විදේශ අමාත්‍යවරයා ඔහුගේ විජේරාම නිවෙසටම පැමිණ තිබේ. 

“ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහත්මාටත් සාකච්ඡාවට එකතු වෙන්න කියන්න"

විජේරාම නිල නිවෙසට පැමිණීමටත් පෙරාතුවම එම පාර්ශ්වයෙන් එවන් පණිවිඩයක් ද ලැබී ඇතැයි කියැවේ.

ඒ අනුව මෙම සාකච්ඡාවේදී දේශපාලන කරුණු කාරණා රැසක් පිළිබඳ ඉන්දීය විදේශ අමාත්‍යවරයා අවධානය යොමු කොට ඇතැයි කියැවේ.

“දැන් දේශපාලන තත්ත්වය මොකක්ද?"

“ඉදිරියේ එළඹෙන්නෙ මැතිවරණයක්. අපි ඒ සඳහා සූදානම් වෙනව"

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කරුණු පැහැදිලි කොට ඇතැයි කියැවේ. පොහොට්ටුව අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම පිළිබඳව ඉන්දියාව පාර්ශ්වයෙන් මෙහිදී විමසීම් සිදුව තිබේ.
“අපි දිනන්න පුළුවන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා"

කෙසේ වෙතත් මෙහිදී තවත් ගැඹුරු දේශපාලන කාරණා සාකච්ඡා වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ දැනගැනීමට ලැබේ.

එදින සන්ධ්‍යාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ දී බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් හමුවීමටද ඉන්දීය විදේශ අමාත්‍යවරයා කටයුතු කර තිබේ. අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම පිළිබඳ පැනය එහිදී ඔහු විසින් බැසිල් රාජපක්ෂ වෙත ඉදිරිපත් කොට තිබේ.

“අපි ඒ පිළිබඳ ගැඹුරින් සිතා බලනවා"

මීට අමතරව ඉන්දීය විදේශ අමාත්‍යවරයා තවත් ශ්‍රී ලාංකීය සුළු පක්ෂ නියෝජිතයන් රැසක් මෙදින සංචාරය අතරතුරදී හමුවූ බව ආරංචි මාර්ග තහවුරු කරයි.

නවතම දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන පරිදි පක්ෂ මාරු වැඩසටහන එතරම් සාර්ථක නොවුණද ආණ්ඩුවේ ඉහළ පෙළේ ලොකු ලොක්කන් කිහිප දෙනකු තවමත් වැඩසටහන අතහැර නොමැත. ඒ අනුව මෙම පිරිස විපක්ෂයේ ප්‍රබල මන්ත්‍රීවරුන්ට විවිධ යෝජනා ඉදිරිපත් කරමින් සිටින බව කියැවේ. මෙවන් එක්තරා උත්සාහයක් පිළිබඳ අපූරු කතා පුවතක් දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ අපට දැන ගැනීමට ලැබුණි.

අපට අසන්නට ලැබුණු තොරතුරු අනුව කෑගල්ල ප්‍රදේශයේ ආසනයක් නියෝජනය කරන විපක්ෂයේ මන්ත්‍රීවරයකුට ආණ්ඩුවෙන් යෝජනාවක් පැමිණ තිබේ. මෙම චරිතය සමගි ජන බලවේගයේ ද කැපීපෙනෙන චරිතයක් බව කියැවේ.
“ආණ්ඩුවට එනව නම් ඉඩම් අක්කර දහයක් තෑගි ලැබෙනවා"

නිල තහවුරු කිරීම් නොමැතිමුත් ලැබී ඇති ආරංචිය අනුව ආණ්ඩුවේ යෝජනාව වී ඇත්තේ එවැන්නකි.

කෙසේ වෙතත් මෙම යෝජනාව සජබ ප්‍රබලයාගේ අසතුටට හේතු වී තිබේ. ඇති පමණ දේපළ වතුපිටි උරුමකම් ඇති මෙම චරිතය මෙම යෝජනාවෙන් බොහෝ කිපුණු බව කියැවේ. 

“ඉඩම් අක්කර දහයකට මගේ තත්ත්වය හෑල්ලු කරලා දාලා. ඔය වගේ දේවල්වලට නම් මම කැමති නෑ" 

තමාව ඉඩම් දී නම්මාගත හැකි අයකු නොවන බව මෙම මන්ත්‍රීවරයා කෝපයෙන් පවසා තිබේ. අසන්නට ලැබෙන පරිදි ඔහු එයින් ද නොනැවතී සමගි ජන බලවේගයේ ප්‍රබලයන් හමුවී මෙම පුවත සැල කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. 
“බලන්න මෙයාලා ඉඩම් අක්කර දහයකට මාව ගන්න හැදුවා"

ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරමින් ඇති මෙවන් දේශපාලන ව්‍යාපෘති අතරේ සමගි ජන බලවේගය ද සිය පාක්ෂිකයන් සහ නායකයන් ආරක්ෂා කර ගැනීමේ නව වැඩපිළිවෙළකට අවතීර්ණ වන බව කියැවේ. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන පරිදි මේ වැඩපිළිවෙළේ ප්‍රධානියාව කටයුතු කරන්නේ සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාය.

“පහුගිය කාලෙ පක්ෂයත් එක්ක ටිකක් අමනාප වෙලා වගේ හිටපු අය ඔක්කොම එක්ක ලේකම්තුමා වෙන වෙනම සාකච්ඡා කරන්න යන්නේ"

දේශපාලන වාර්තා සඳහන් කරන පරිදි ගෙවුණු පොසොන් පොහොය දිනයෙන් පසු මෙම සති අන්තයේ පටන් මෙම නව වැඩසටහන ලේකම්වරයා විසින් දියත් කරනු ඇතැයි කියැවෙයි.
කෙසේ වෙතත් මේ අතරේ සමගි ජන බලවේගයේ තරමක කලහකාරී චරිත ඉතා ඉක්මනින් මෙල්ල කරගත යුතුයි යන අදහස ද ජ්‍යෙෂ්ඨයන් විසින් ඉදිරිපත් කර ඇතැයි කියැවෙයි. 
“ඒත් පක්ෂය ඇතුළෙ බොරුවට නටන උඩ පනින අයගේ තටු කපලා දාන්න ඕනෑ" 

කොටස් වශයෙන් විකාශය වන මෙගා ටෙලිනාට්‍යයක් බඳු වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අර්බුදය ගෙවී ගිය සතියේ තවත් එක් අදියරක් සලකුණු කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් බදාදා පක්ෂ විධායක සභාව රැස් කිරීමට සූදානම් විය.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව අනුව නිමල් සිරිපාල ද සිල්වා, දුමින්ද දිසානායක  - වැඩ බලන සභාපති හා වැඩ බලන ලේකම් ධූර නීති විරෝධීයි"

මෙලෙස සඳහන් කරමින් මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වයේ කිහිප දෙනෙක් ඉදිරියට පැමිණියහ. නිමල් සිරිපාල, දුමින්ද දිසානායක යන අය මෙම තනතුරුවල පෙනී සිටිමින් විධායක සභාව කැඳවීම නීතිවිරෝධී බවට ප්‍රකාශයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා ඔවුහු අධිකරණය හමුවට ගියහ.

එහෙත් බදාදා කැඳවා තිබෙන පක්ෂ විධායක සභා රැස්වීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් නොකිරීමට කොළඹ දිසා අධිකරණය කටයුතු කළේය. ඒ අනුව විත්තිකරුවන්ට නොතීසි පමණක් නිකුත් කිරීමට තීරණය කළ අධිකරණය, නඩුව නැවත ජූලි මස 03 වැනිදා කැඳවන ලෙසද එහිදී දැනුම් දුන්නේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරයකු වන හෙක්ටර් බෙත්මගේ මහතා ඇතුළු පිරිසක් ගොනු කළ පැමිණිල්ලක් අනුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් විය.

මේ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක කමිටුව බදාදා රැස්විය. මෙහිදී පිරිස තීරණය කොට තිබුණේ මෙතෙක් පැවති වැඩබලන තනතුරු ස්ථීර තනතුරු බවට පත් කිරීමටයි. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ මහ ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ඒකමතිකව තේරී පත්ව සිටිති. කෙසේ වෙතත් පැතිරෙන තවත් ආරංචියකට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් පාර්ශ්වයක් සමගි ජන බලවේගය සමඟ එක්වීමට සූදානමින් සිටින බව කියැවේ. 

රට පුරා විශාල ආන්දෝලනයක් ඇතිකළ ගෝල්ෆේස් අරගලය කෙමෙන් අමතක වෙමින් යන පසුබිමක, නැවතත් අරගලයේ ක්‍රියාකාරීන් පිරිසක් දේශපාලන වශයෙන් එක්ව සන්ධානයක් නිර්මාණය කිරීම ඉකුත් සතියේ සිදුවූ තවත් වැදගත් සිදුවීමක් විය. අරගලය කළ ක්‍රියාකාරීන් සැලකිය යුතු පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම නව සන්ධානය නිර්මාණය කිරීම විජේරාම මාවතේ, සිංහ සමාජ ශාලාවේදී සිදුවිය.

නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතාගේ මූලිකත්වයෙන් සංවිධානය කරන අලුතෙන් හිතමු ජාතික සංවිධානයේ මෙවර සම්මන්ත්‍රණය කළුතර දිස්ත්‍රික්කය මූලික කරගෙන පානදුරේ වයිට් හෙවන් හෝටලයේ දී පවත්වා තිබේ.
“ජනතා විමුක්ති පෙරමුණෙන් සිදු කරපු ඝාතන පිළිබඳ හෙළිදරව් කරන ඡායාරෑප ප්‍රදර්ශනයක් කරමු"

එහිදී මෙවන් යෝජනාවක් ඉදිරිපත්ව ඇතැයි කියැවෙයි. ඒ අනුව මෙම වැඩසටහන ඉදිරියේදී කුරුණෑගල සංවිධානය වීමට ඉඩ ඇතැයි ආරංචි මාර්ග සඳහන් කර සිටී.

පසුගිය සතියේ මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙලට අමාත්‍ය බන්දුල ගුණවර්ධන හා විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම එක්ව සහභාගි වී සිටියහ. බන්දුල පාර්ශ්වයෙන් දැනගැනීමට ලැබුණේ අලහප්පෙරුම මන්ත්‍රීවරයා පොදුජන පෙරමුණු ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයට ගිය පසු ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරයකු සිටින වැඩසටහනකට එක් වූ පළමු අවස්ථාව මෙය බවයි.

•   චමිඳු නිසල් ද සිල්වා