2024 ජුනි 01 වන සෙනසුරාදා

රංගේ ගේ දේශපාලන බෝම්බය

 2024 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 02:00 214

දේශපාලන අහුමුළුවල කල්ලි ගැසී කථිකා කරමින් සිටි ඇත්තෝ සිය සන්ධාන කරළියට ගෙන ඒමට කටයුතු කරමින් සිටියෝය. පැත්තක් සොයාගත නොහැකිව අතරමංවූවෝ තවදුරටත් ආතබූත වී සිටියෝය. තමන්ගේම දේශපාලන පැල්කොට අටවාගත් තවත් පිරිසක් මැතිවරණ බත ඉදීමට පෙරම කා කොටා ගැනීම් අරඹන්නට වූහ. මේ අතර ගස් මාරු පෙතිතෝරු කියා අලුත් පැත්තට පැන්න ඇත්තෝ, අලුත් තනතුරුවල රස බලන්නට වූහ.

වෙනදාට එනවාද යනවාද කියා ඇසූ රංගේ මෙවර වටපිට නොබලාම දේශපාලන බෝම්බයක් පුපුරවා ඇරියේය.

“දැන් කළ යුතු වන්නේ මැතිවරණයක් පැවැත්වීම නොවෙයි. සජිත් ප්‍රේමදාස මහත්මයා මැදිහත් වෙලා හෝ අනුර කුමාර දිසානායක මහත්මයා මැදිහත් වෙලා තවත් අවුරුදු දෙකක කාලයකට මේ ජනාධිපතිවරයාගේ පාලන කාලය දීර්ඝ කළ යුතුයි කියලා ප්‍රකාශ කරන්නට කැමැතියි. පාර්ලිමේන්තුවේ ඉන්න සියලු‍ම මන්ත්‍රීවරුන් එකතුවෙලා මේ තීරණය ගත යුතු වෙනවා. ඒ නිසා තවත් අවුරුදු දෙකකට මැතිවරණය කල් දමමින් පාර්ලිමේන්තුව තුළ යෝජනාව සම්මත කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බවට පත්වෙලා තිබෙනවා. ජනමත විචාරණයකට ගිහිල්ලා එය තහවුරු කර ගැනීම ඉන්පසු සිදු කරගත යුතු වෙනවා."

මේ එසේ මෙසේ ප්‍රකාශයක් නොවේ. ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ බොහෝ පාර්ශ්වද මෙයින් කලබලයට පත්වූහ. ජනපතිගේ ළඟ හිතවතෙක් වන එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මෙම ප්‍රකාශය සිදු කිරීම තත්ත්වය බරපතළ කළේය.

ආරංචි අනුව දැනගැනීමට ලැබුණේ මේ හා සම්බන්ධව පළමුව ජනාධිපතිවරයාගෙන් විමසා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා බවයි. ඔහු ජනාධිපතිවරයාව දුරකථනයෙන් අමතා ඇතැයි කියැවෙයි.

“සර් මොකක්ද මේ රංගේ බණ්ඩාර කියලා තියෙන්නේ. අපි ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවයි කියලා ඇවිල්ල මෙහෙම කතා කරන එක හරිද?”
“නෑ නෑ මම දන්නෙ නෑ, මේක රංගේ බණ්ඩාරගේ පෞද්ගලික අදහසක් වෙන්න ඇති."
“එහෙනම් සර් අපි ස්ටේට්මන්ට් එකක් දෙනවා."
“එහෙනම් ස්ටේට්මන්ට් එකක් දෙන්න මේක එයාගේ පෞද්ගලික අදහසක්, ආණ්ඩුවේ මතය නෙවෙයි කියලා."

මේ අතර මෙම ප්‍රකාශය නිසා පොහොට්ටුවේ පිරිස්ද කලබලයට පත්වූහ. ඒ අතර කැපීපෙනෙන චරිතයක් වූයේ නාමල් රාජපක්ෂයි.

“මේක සම්පූර්ණ වැරදි වැඩක්. මෙහෙම කළොත් අපි ආණ්ඩුවට විරුද්ධව වැඩ කරනවා."

මේ අතර දෙමළ ජාතික සංවිධානය දෙසින් සුමන්තිරන් මන්ත්‍රීවරයා ද රංගේ බණ්ඩාරගේ ප්‍රකාශයට විරුද්ධව අදහස් දක්වන්නට වූයේය.

“මේක ව්‍යවස්ථා විරෝධී කතාවක්. ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි."

ඔහු කීවේ මෙය ප්‍රජාතන්ත්‍රවාදය හැකිලීමක් බවය. 

මේ අතර ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාද රංගේ බණ්ඩාරගේ ප්‍රකාශය පිළිබඳ අදහස් දැක්වූයේය.

“ජනමත විචාරණය ජයග්‍රහණය කරන්න පුළුවන් නම් ඔහු ජනාධිපතිවරණය තියෙනවා. ජනාධිපතිවරණය සම්බන්ධව අනික් කණ්ඩායම් පෙළගැසිල කටයුතු කරමින් ඉන්නවා. මෙය ඔවුන් ව්‍යාකූල කරන්න ගත් උත්සාහයක්." 

මේ පැරණි උපායක් බවත් තවදුරටත් මෙවන් උපායන් වලංගු නොවන බවත් අනුර කුමාර දිසානායක මහතා පවසා තිබුණි.

“මේ ප්‍රකාශය පිටිපස්සේ කපුටෙක් ඉන්නවද කියල සැකයි."

එලෙස ප්‍රශ්න කර තිබුණේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා ය. හනුමා ලංකාව ගිනි තැබූ වෙසින් රංගේ බණ්ඩාර ද ලංකාව ගිනි තැබීමට උත්සාහ දරන බව ඔහු කීවේය. 

මෙම ප්‍රකාශය හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ද උපහාසාත්මකව හෙළා දැක තිබුණි. ඒ අතර උදය ගම්මන්පිල, ජී.එල්. පීරිස්, රවුෆ් හකීම් ඇතුළු පාර්ලිමේන්තුවේ විශාල පිරිසක් මෙම ප්‍රකාශය හෙළා දකිමින් කතා කළහ. 
මෙම ප්‍රකාශයට පක්ෂව කතා කළේ ඉතාම සීමිත පිරිසකි. ඒ අතර සී.වී. විග්නේෂ්වරන් කැපී පෙනුණි.

“මේ යන වැඩපිළිවෙළ වෙනස් කරලා අලුත් නායකයෙක් පත් කරන එක මේ වෙලාවේ සුදුසු නෑ."

ජනාධිපතිවරයාට අවස්ථාවක් ලැබිය යුතු බව විග්නේෂ්වරන් කීවේය.

මේ අතරේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ආශු මාරසිංහ ද රංගේ බණ්ඩාර ආවරණය කිරීම සඳහා ඉදිරිපත් වූයේය.

“විසඳුම් දෙකයි තියෙන්නේ. ඔක්තෝබර් මාසයේ ජනාධිපතිවරණය තියලා මේ ජනාධිපතිවරයාම පත්විය යුතුයි මේ රට ඉදිරියට යන්න නම්. වෙන කෙනෙක් ආවොත් මේ රට ඉවරයි. ඒක තමයි පළවෙනි විසඳුම. දෙවැනි විසඳුම අවුරුදු දෙකක් විතර මේ ජනාධිපතිවරයාට කාලය ලබාදීලා මේ රටේ ආර්ථික ප්‍රශ්නය විසඳුණාට පස්සේ මැතිවරණයකට යන එක තමයි ඊළඟ හොඳම විසඳුම."

පසුගිය සතියේදී අලුතින් කරළියට ආ සන්ධානය වූයේ විමල් උදය ඇතුළු පිරිසේ සහයෝගයෙන් ගොඩනැගුණු ජනාධිපතිවරණ අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් කටයුතු කරන දිලිත් ජයවීර ද සම්බන්ධ වූ නව සන්ධානයයි. විවේචන වෙනුවට විසඳුම්ද පොරොන්දු වෙනුවට උපාය මාර්ගික වැඩපිළිවෙළක් ද අරමුණු මූලික කරගෙන ‘සර්වජන බලය’ නමින් මෙම නව දේශපාලන සන්ධානය පිහිටුවා ඇත.

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ප්‍රජාතාන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ලේකම් වාසුදේව නානායක්කාර, ජාතික නිදහස් පෙරමුණ නායක විමල් වීරවංශ,  ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ, යුතුකම ජාතික සංවිධානයේ ගෙවිඳු කුමාරතුංග, මව්බිම ජනතා පක්ෂ නායක දිලිත් ජයවීර හා පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන යන මහත්වරු මෙම සන්ධානයේ සම්මුතිය සඳහා අත්සන් තැබූහ.

“මේ සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා අනුරාධා යහම්පත් විය හැකියි."

මෙසේ නව දේශපාලන සන්ධානය පිළිබඳ දේශපාලන කරළියේ පැතිර යමින් තිබුණේ එවන් කතාවකි. කෙසේ වෙතත් පක්ෂ හතකින් සැදුම්ලත් මෙම සන්ධානයේ පිරිස් අතරින් කිහිප දෙනකු එම අපේක්ෂකයා පිළිබඳ කතාව ප්‍රතික්ෂේප කොට තිබුණි. එම කණ්ඩායම අපේක්ෂකයකු ඉදිරිපත් කරනු ඇතැයි කියැවේ. කෙසේ වෙතත් ඔවුන්ගේ දේශපාලනික භාවිතය පිළිබඳව තවදුරටත් පැහැදිලි නොමැත. 

සමගි ජන බලවේගය ද පසුගිය සතියේ විශේෂ දේශපාලන තීන්දු කිහිපයකට එළැඹුණි. දීර්ඝ කාලයක් පුරා සාකච්ඡා පවත්වමින් සිටි ඩලස් අලහප්පෙරුම සමගි ජන බලවේගයට එක් කර ගැනීමට ඔවුහු කටයුතු කළහ. ඒ අනුව ඩලස් හට මාතර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක ධූරය පිරිනැමීමට සමගි ජන බලවේගයේ නායකත්වය කටයුතු කළේය.  

මෙම පත්කිරීමට සමගාමීව සමගි ජන බලවේගය පොහොට්ටුවෙන් වෙන් වී ස්වාධීන වී සිටි තවත් කිහිප දෙනකුට සිය පක්ෂයේ තනතුරු ලබාදෙමින් තමන් සමඟ එක් කර ගත්තේය. කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල හට ලැබී තිබුණේ පානදුර ආසනයේ සංවිධායක ධූරයයි. පාර්ලිමේන්තු මන්ත්‍රී තිලක් රාජපක්ෂ අම්පාර සම සංවිධායක ධුරයටත්, පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් කුලියාපිටිය සංවිධායක ධූරයටත් පත් කිරීමට සජබ කටයුතු කළේය. අජිත් ගලප්පත්ති මන්ත්‍රීවරයාට ලැබී තිබුණේ තිස්සමහාරාම සංවිධායක ධූරයයි.

මේ අතර සමගි ජන බලවේගයේ සාමාජිකත්ව ප්‍රවර්ධනය සඳහා තවත් සුවිශේෂී ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. සජබ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ වී ඇති මෙම වැඩසටහන යටතේ දින 10 කින් සමගි ජන බලවේගයට සාමාජිකයන් ලක්ෂ 20ක් බඳවා ගැනීමට අපේක්ෂා කරන බව කියැවේ. මෙම වැඩසටහන ජූනි 07 වැනිදා සිට ක්‍රියාත්මක වනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර තවදුරටත් හුදෙකලාවේ සිය දේශපාලන ගමන යමින් සිටින කැපීපෙනෙන චරිත ද්විත්වයකි. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරයි. මේ අතර රොෂාන් රණසිංහ ජනාධිපතිවරණයට කාර් එක ලකුණෙන් ඉදිරිපත් වන බවටද දේශපාලන කරළියේ ආරංචි පැතිර ගියේය. දයාසිරි ජයසේකර වෙත බොහෝ පාර්ශ්වයකින් ආරාධනා ලැබී තිබුණද ඔහු තවමත් කිසිවක් පිළිබඳ තීරණයක් ගෙන නොමැති බවද මේ අතර දැනගැනීමට ලැබුණි.

විමල්, උදය, දිලිත් ඇතුළු පිරිස එක්ක ගොඩනැගූ සන්ධානයට  අතුරලියේ රතන හිමි එකතු නොවීම තරමක පුදුම සහගත සිදුවීමක් විය. රතන හිමි වෙනත්ම දේශපාලන ගමනක් සඳහා සැලසුම් සකස් කරමින් සිටින බව ආරංචි මාර්ග සඳහන් කළේය. විපක්ෂයේ සියලු පාර්ශ්ව තරහ කොට නොගෙන තීරක බලවේගයක් ගොඩනැගීම තමන්ගේ අභිප්‍රාය බව රතන හිමියෝ පසුගියදා අන්තර්ජාල සංවාදයක දී සඳහන් කළහ.

පසුගිය සතියේදී පොහොට්ටුව සිය ආසන බල මණ්ඩල පිහිටුවීමේ කාර්යය අරමුණු කරගනිමින් පළමු රුස්වීම පැවැත්වූයේ තලාව ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමිනි. පොහොට්ටුවේ ආරංචි මාර්ග සඳහන් කළ පරිදි අපේක්ෂිත ප්‍රමාණයේ සහභාගිත්වයක් ඊට වූයේය. ඒ අනුව ලබන දෙවැනි දා බියගමත් පසුව පිළිවෙළින් රත්තොට සහ දෙනියායේත් ආසන බල මණ්ඩල පිහිටුවීමට පොහොට්ටුව සැලසුම් කර ඇතැයි කියැවුණි.

“අපි හැම සති අන්තයකදීම ආසන බල මණ්ඩල පිහිටුවන්න කටයුතු කරනවා. මේ සමඟම ග්‍රාමීය මට්ටමේ ශාඛා බලගන්වන්නත් සැලසුම් සකස් කරලා තියෙන්නේ."

පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන්ට අනුව දැන ගැනීමට ලැබුණේ එවන් තොරතුරකි. මෙම කාර්යයේදී පොහොට්ටුවේ නව ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පෙරමුණ ගෙන සිටින බව දැකගත හැකි විය. පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ, සාගර කාරියවසම්, සංජීව එදිරිමාන්න, රෝහිත අබේගුණවර්ධන ඇතුළු පිරිසක් මෙහිදී පෙරමුණ ගෙන සිටියහ. 

“අපි මේ කටයුතු ඉදිරි ජනාධිපතිවරණයටත් මහ මැතිවරණයටත් පෙර අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා."

ආරංචි මාර්ග අනුව මෙම ඇතැම් රුස්වීම් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගී වීමට නියමිතය. ජනතාව දිරිමත් කිරීමේ අරමුණෙන් මහින්ද රාජපක්ෂ මහතා එම රුස්වීම් සඳහා සහභාගි වුවද ඔහු එම රුස්වීම්වලදී කතා නොකරන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

එළැඹෙන අටවැනිදා නිමල් ලංසා ප්‍රමුඛ නව සන්ධානය හම්බන්තොට, අම්බලන්තොට නගරයේදී මැතිවරණ ඉලක්ක කරගත් සිය සන්ධානයේ පළමු රැලිය පැවැත්වීමට සූදානමින් සිටී. මෙම රුස්වීම සංවිධානය කිරීමේදී මූලිකත්වය ගෙන සිටින්නේ මහින්ද අමරවීර මහතාය.

මෙම සන්ධානයේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට පසුගිය බදාදා ඔවුන් කොළඹ හෝටලයකදී රුස්ව රුස්වීම සංවිධානය කරන ආකාරය සහ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කොට තිබේ.

“ඔව් ඔව් අපි මේකෙදි පෙන්නන්න ඕනෑ අමරවීර ඇමැතිතුමාගෙ දිස්ත්‍රික්කයේ හයිය වගේම අපේ සන්ධානයේ හයිය."

මෙලෙස සඳහන් කර ඇත්තේ සුගීෂ්වර බණ්ඩාරය. මෙම රුස්වීම සඳහා දිස්ත්‍රික්කයෙන් පිටත පිරිස් රුගෙන ඒමෙන් වැළකිය යුතු බව පිරිස මෙහිදී තීරණය කර ඇතැයි කියැවේ. එසේම මෙහිදී රංගේ බණ්ඩාර සිදු කළ ප්‍රකාශය පිළිබඳවද සාකච්ඡාවක් ඇතිව ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. සන්ධානයේ බොහෝ දෙනකු එම ප්‍රකාශය විවේචනය කර ඇති අතර එහිදී ජනාධිපතිවරයාගේ අදහස පිරිස හමුවේ නිමල් ලන්සා දීර්ඝව පැහැදිලි කර ඇතැයි කියැවේ.

ලංසා කඳවුරේ රුස්වීම 8 වැනිදා පැවැත්වීමෙන් අනතුරුව ඊට පසුදා 9 වැනිදා හම්බන්තොට කේන්ද්‍ර කරගනිමින් රුස්වීමක් සංවිධානය කිරීමට පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වෙතැයි අනාවැකි කියැවෙන ව්‍යාපාරික ධම්මික පෙරේරා සූදානමින් සිටින බව දැනගැනීමට ලැබෙයි. ඩී.පී එඩියුකේෂන් ආයතනයේ සහතික පත් ප්‍රදානයක් ලෙසින් මෙම රුස්වීම සංවිධානය කිරීමට ඔහු ඇතුළු කණ්ඩායම සූදානමින් සිටිති. ඒ සඳහා දස දහසකට ආසන්න පිරිසක් සහභාගී වනු ඇතැයි ඔවුහු අපේක්ෂා පළ කරති.

“අගුණකොළපැලැස්සේ මේ වැඩේ සංවිධානය කරන්නේ හම්බන්තොට අවට දහදාහක් දාන්න පුළුවන් තැනක් නැති නිසා."

මෙම රුස්වීමේදී ඩී.පී එඩියුකේෂන් පාඨමාලා හැදෑරෑ දරුවන්ට මිලියන ගණනක් වටිනා සහතික ප්‍රදානය කිරීමට කටයුතු යොදා ඇතැයි කියැවෙයි. කෙසේ වෙතත් මෙය තවත් දේශපාලන රුස්වීමක මුහුණුවරක් ගනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉදිරියේදී එළිදැක්වීමට නියමිත ආන්දෝලනාත්මක කෘතියක් පිළිබඳවද පසුගිය සතියේ දේශපාලන ආරංචි ලැබුණි. මෙම කෘතිය රචනා කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාය. 

“ජූනි 27 තමා වැඩේ සිද්ධ වෙන්නේ. එතුමාගේ දේශපාලන අත්දැකීම් සහ යුද්ධයේ අත්දැකීම් බලලා තමා කෘතිය රචනා වෙලා තියෙන්නේ."

මේ වන විට සමගි ජන බලවේගය සමඟ පවා අමනාපයෙන් සිටින ෆොන්සේකා මහතාගේ මෙම කෘතියෙන් මෙතෙක් හෙළි නොවූ යුධමය සහ දේශපාලන තොරතුරු රුසක් අනාවරණය වනු ඇතැයි කියැවෙයි. මේ අනුව බොහෝ දෙනකු මෙම කෘතිය එළිදැක්වීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර ඇතැයි පෙනී යයි.

මේ අතර ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වෙනු ඇතැයි කියැවුණු විවාදය කොටඋඩ යන ලකුණු දකින්නට ලැබුණි. පළමුව පවත්වන්නේ කුමන විවාදය ද යන කරුණ හේතුවෙන් නිර්මාණය වූ මත ගැටුම තවදුරටත් නිමා වී නොමැත. ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ජන බලවේගය යෝජනා කළ දිනවලින් ආර්ථික කමිටු විවාදයට දෙන දින පිළිබඳව කඩිනමින් දැනුම් දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ජාතික ජන බලවේගයෙන් ඉල්ලීමක් කර ඇතැයි කියැවෙයි.

විවාද දෙක අතරින් ආර්ථික විවාදය පළමුව පැවැත්වීමටත් දෙවනුව නායකත්ව විවාදය පැවැත්වීමත් පිළිබඳ සිය ස්ථාවරය එලෙසම පවතින අතර ආර්ථික කමිටු විවාදයට ලබාදෙන දිනය නොපමාව දැනුම් දෙන ලෙස ස.ජ.බ නලින් බණ්ඩාර විසින් ජ.ජ.බ නලින්ද ජයතිස්ස වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කොට තිබේ.

කෙසේ වෙතත් ජාතික ජන බලවේගය පවසන්නේ පළමුව නායකත්ව විවාදය පවත්වා ඉන් අනතුරුව ආර්ථික කමිටු විවාදය පැවැත්විය යුතු බවකි. ජා.ජ.බ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගියදා මාධ්‍ය විමසීමකට ප්‍රතිචාර දක්වමින් මේ බව තහවුරු කළේය. මෙම වටපිටාව හමුවේ විවාදය අතහැර දැමීමට සිදුවනු ඇතැයි බොහෝ දේශපාලන විචාරකයෝ සඳහන් කර සිටිති.

I චමිඳු නිසල් ද සිල්වා

 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00