2024 මැයි 18 වන සෙනසුරාදා

මහින්දගෙන් ආණ්ඩුවට රතු එළියක්

 2024 මැයි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00 356

ගස් මාරු පෙති තෝරු යනු මීට කලකට පෙර කුඩා දරුවන් අතර ප්‍රකටව පැවැති ක්‍රීඩාවකි. එහෙත් නූතන දරුවන් කෙරෙන් එම ක්‍රීඩාව අමතකව යද්දී එහි නූතන ක්‍රීඩකයන් බවට පත් වී සිටින්නේ දේශපාලනඥයන්ය. මේ දිනවල සිය ඉතිරි දේශපාලන ජීවිතයේ පැවැත්ම වෙනුවෙන් දේශපාලන ගසක් තෝරා ගැනීමට ඔවුන් උත්සුක වෙමින් සිටින්නේ එබැවිනි. පෙර මාරු වූ ගස් දෙස බලන විට තමා කුමන ගසකට අයත් වූවකුද යන්නවත් ඇතැම් දේශපාලනඥයන්ට අමතකව ඇති සෙයකි.

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම පිළිබඳ තවමත් නිල ප්‍රකාශයක් සිදුව නොමැත. එහෙත් ජනපතිගේ ජනාධිපතිවරණ මෙහෙයුම වෙනුවෙන් රුස්වෙන දේශපාලන කමිටුව පසුගිය සතියේ ද රුස්විය. ඉහත අවස්ථාවල මෙම කමිටුව රුස්ව තිබුණේ වජිර අබේවර්ධන ඇතුළු එක්සත් ජාතික පක්ෂ ඇමැතිවරුන්, ජනපති හිතෛෂී ප්‍රසන්න රණතුංග ඇතුළු පොහොට්ටුවේ මැති ඇමැතිවරුන් සහ නිමල් ලංසා කණ්ඩායම එකතු කර ගනිමිනි. 

“ජනාධිපතිවරණ මෙහෙයුම සම්බන්ධව තීරණ ගන්නවා නම් එතැන බැසිල් රාජපක්ෂ ඉන්නම ඕනෑ."

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ වජිර අබේවර්ධනගේ ඉල්ලීම අනුව මෙවර මෙම කමිටු රැස්වීම සඳහා බැසිල් රාජපක්ෂ වෙත ආරාධනා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කොට තිබූ බවකි. 

නිමල් ලංසා, අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රමුඛ නව සන්ධානයේ කණ්ඩායම මෙම කැඳවීම පිළිබඳ සතුටු වූයේ නැත.

“මේ වැඩවලට රාජපක්ෂල සම්බන්ධ කරගන්න එපා. අපි එතැන ඉඳලා ආවේ ඒගොල්ලොත් එක්ක වැඩ කරන්න බැරි නිසා."

බැසිල්ට කළ ආරාධනාවට විරෝධය දක්වමින් ලන්සා සහ අනුර යාපා ප්‍රමුඛ කණ්ඩායම මෙම කමිටුව වර්ජනය කිරීමටද කටයුතු කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ දැනගැනීමට ලැබුණි.

කෙසේ වෙතත් මෙම රැස්වීම ඔවුන් නොමැතිව පැවැත්වුණු අතර ඒ සඳහා බැසිල් රාජපක්ෂ ද සහභාගී වී ඇතැයි කියැවේ. 

“රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ කැම්පේන් එක කරනව නම් එතැන බැසිල් රාජපක්ෂ මහත්මයා ඉන්න ඕනෑ. එතුමා නැතුව කරන්න බැහැ."

පැතිර යන ආරංචි අනුව වජිර අබේවර්ධන වෙතින් එවැන්නක් මතුවන විට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කර ඇත්තේ තවත් අපූරු යෝජනාවකි.

“එහෙනම් අපි මෙතුමට කමිටුවේ සභාපතිකම දෙමු."

කෙසේ වෙතත් බැසිල් රාජපක්ෂ එම යෝජනාව උපක්‍රමශීලීව බැහැර කර ඇතැයි කියැවේ. එහෙත් ඔහු ජනපති වෙත පවසා ඇත්තේ ඔබතුමා ජනාධිපතිවරණයට එනවා නම් ඒ බව රටට දන්වන දිනය ප්‍රකාශ කරන්නට යැයි කියාය.

මේ අතර ලන්සා ප්‍රමුඛ පිරිස එදින ජනාධිපතිවරයා පැවැත්වූ රාත්‍රී භෝජන සංග්‍රහයට ද නොපැමිණි බව ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

පසුගිය සතියේ සමගි ජනබලවේගයේ අභ්‍යන්තර කණ්ඩායමක් විසින් පවත්වන ලද සාකච්ඡාවක් පිළිබඳ තොරතුරු කිහිපයක්ද දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ දැනගැනීමට ලැබුණි. සමගි ජන බලවේගය සමඟ නිතර ගැටුම් ඇතිකර ගන්නා අභ්‍යන්තර "ඉඟුරු" කල්ලියක් පසුගිය සතියේදී මන්ත්‍රී කාර්යාලය සහ මන්ත්‍රී නිවෙසකදී එක්ව මෙම සාකච්ඡාව පවත්වා ඇතැයි කියැවෙයි.

මෙම පිරිස මෙහිදී සාකච්ඡා කොට ඇත්තේ පක්ෂයේ අනාගතය පිළිබඳවයි.

“පහුගිය කාලෙ පක්ෂයට එක එක චරිත ආවා. නාලක ගොඩහේවා, ජී.එල්. පීරිස් වගේ අයට දැන් ලොකු තැනක් ලැබිලා තියෙනවා. ඉදිරියේදී මේ අයටත් කැබිනට් පත්වීම් ලැබෙයිද දන්නෑ."

පක්ෂයට අලුතෙන් එකතු වූ පිරිසට ලැබෙන සැලකිලි පිළිබඳව වද වූ මෙම කණ්ඩායම තම කණ්ඩායමේ පිරිස්වලට ඉදිරියේදී සජබ ආණ්ඩුවක් යටතේ තනතුරු ලැබීම පිළිබඳව ද කුකුසක් ඇතිකොටගෙන තිබේ.

“එහෙනම් අපි වෙනම ස්වාධීන වෙලා ඉමු" 

ආරංචි මාර්ග සඳහන් කරන පරිදි එක් මන්ත්‍රීවරයකු හෝ දෙදෙනකු වෙතින් මෙවන් යෝජනාවක් ඉදිරිපත් වුවද අනෙක් පිරිස එයට එතරම් අනුකූලත්වයක් නොදැක්වූ බව කියැවේ.

“අපි සජිත් ප්‍රේමදාස මහත්මයා හම්බවෙලා අපේ ආණ්ඩුවක් ආවම අපිට ලැබෙන ඇමැති ධූර මොනවද කියලා අහලා දැනගමු."

පක්ෂයට අලුතින් එකතු වූ පිරිස්වලට කැබිනට් අමාත්‍ය ධූර ලැබේ යන අනිසි බියක් මෙහිදී ජනිත වී ඇතැයි කියැවේ. පැතිර යන ආරංචි අනුව මෙම සාකච්ඡා සඳහා ප්‍රමුඛත්වය ගෙන කටයුතු කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා බව කියැවෙයි.

මේ අතර සජිත් අනුර විවාදය පිළිබඳවද සතිය පුරා විවිධ කතාබහ දක්නට ලැබුණි. අදාළ සංවාදය සඳහා සජිත් ප්‍රේමදාස යෝජනා කරන ඕනෑම දිනයක තමන් සූදානම් බවත් ඒ වෙනුවෙන් සුදුසු දිනයක් නියම කර මැයි 20 වැනිදාට පෙර දන්වන ලෙසත් ජාතික ජන බලවේගය සති කිහිපයකට ඉහතදී දන්වා තිබිණි. එහෙත් අදාළ දිනය තීන්දු කර ගැනීම පසුගිය සතිය වන විටත් පමා වෙමින් පැවතුණි.

මේ අතර ආණ්ඩුවේ ඇතැම් පිරිස් ද මෙම විවාදය පිළිබඳ අදහස් දක්වන්නට වූහ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ගේ විවාදය ජනතාවට දැකබලා ගැනීම සඳහා එදින රජයේ නිවාඩු දිනයක් කළ යුතු බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

“අපි ප්‍රධාන අනිත් අපේක්ෂකයන් දෙදෙනාගෙන් එක ඉල්ලීමක් කරන්න කැමැතියි. කරුණාකරලා අර විවාදය තියන්න. මොකද මේ විවාදයට දෙන්නම හැංගෙන ගතියක් පේන්න තියෙනවා. මම ඇත්තටම ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමකුත් කළා රජයේ නිවාඩු දිනයක් නම් කරලා, මේ විවාදය ලංකාවේ මිනිස්සුන්ට බලන්න කියන්න. මේ දෙන්නාගේ රට හදන හැටි විවාදය බලන්න කියන්න. මොකද අභියෝග බාරගන්න බැරි මිනිස්සු කොහොමද රට හදන්නේ කියන එක ඉස්සෙල්ලාම බලන්න ඕනෑ. මේක තනිකර ගේමක් යන්නේ. දෙපැත්තම දන්නවා මේක කරගන්න බෑ කියලා."

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය ද පසුගිය සතියේ තවත් තිව්ර වෙමින් පැවතියේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මෛත‍්‍රී පාර්ශ්වය විසින් ශ‍්‍රීලනිප සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා හා නීතිඥ කීර්ති උඩවත්ත මහතා එම පක්ෂයේ මහලේකම් ලෙස පත් කිරීමට කටයුතු කිරීමෙන් පසුව මහින්ද අමරවීර ඇතුළු අනෙක් පාර්ශ්වය උරණ වී සිටියේය.

අදාළ පත්වීම් වළක්වමින් වාරණ නියෝගයක් පනවන්නැයි ඉල්ලමින් ඔවුන් අධිකරණය වෙත ගියේ එබැවිනි. පසුගිය බ්‍රහස්පතින්දා වාරණ නියෝගය නිකුත් කිරීම කොළඹ දිසා අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය. මෙම පැමිණිල්ල ප්‍රතික්ෂේප කරමින් විනිසුරුවරයා කියා සිටියේ පැමිණිලිකරුට පැමිණිල්ල නැවත සංශෝධනය කර වාරණ නියෝගයට අවශ්‍ය කරුණු තහවුරු කිරීමට අවස්ථාවක් ඇති බවය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ චන්ද්‍රිකා පාර්ශ්වයේ වැඩ බලන මහලේකම් දුමින්ද දිසානායක මහතා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගැටුම මෙයාකාරයෙන් දෙපසට දෝලනය වෙමින් පවතිද්දී එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තවත් ගැටලුවකට මැදි විය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබිණි.

මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විකුණා ලබාගත් අත්තිකාරමකින් පාස්කු වින්දිතයන්ගේ වන්දිය ගෙවා ඇති බවක් පෙනෙන්නට ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු විධායක සභිකයකු වන මොන්ටේගු සරච්චන්ද්‍ර මහතා අල්ලස් කොමිසමට ලිපියක් යොමු කරමින් සඳහන් කොට තිබුණි. එම නිසා අදාළ මුදල් උපයා ගත්තේ කෙසේද? යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඔහු මෙම පැමිණිල්ල ඔස්සේ ඉල්ලා සිටියේය.

පොහොට්ටුව එක් පසෙකින් ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ජනපති සමඟ සන්ධානගත වන බවක් පෙන්නුම් කළද, තවත් පසෙකින් ආණ්ඩුව පිළිබඳ විරෝධයක් පොහොට්ටුව තුළ ගොඩනැගෙමින් තිබුණි. එම විරෝධයේ සුවිශේෂී සංධිස්ථානයක් ඉකුත් සතියේ සලකුණු කළේ පොහොට්ටුවේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසිනි. තම පක්ෂයේ ස්වාධීනත්වය ආණ්ඩුවට පාවා දී නොමැති බවත් රට වෙනුවෙන් අවශ්‍ය නම් ආණ්ඩුවෙන් ඉවත්වීමට වුවද සූදානම් බවත් මාධ්‍ය ප්‍රශ්න කිරීමකට පිළිතුරු ලබා දෙමින් ඔහු පැවසීය.

ප්‍රශ්නය – ඔබතුමා ජාතික සම්පත් විකිණීම ගැන තරයේ ලියුමක් දාලා තිබුණා?

“ඔව් ඉතින් ඒක එහෙම තමයි අපි ඉස්සර ඉඳන්ම. මං හිතන්නෙ මම විතරක් නෙවෙයි, අපේ පක්ෂයේ වැඩි දෙනා, 99% ක් ඉන්නෙ ඒ මතයේ.”

ප්‍රශ්නය – ඒ කියන්නෙ මේ ආණ්ඩුව ගෙනියන වැඩපිළිවෙළ අනුමත කරන්නෙ නෑ?

“අනුමත කරන්නෙ නෑ”

ප්‍රශ්නය – දැන් චෝදනාවක් තියෙනවා ඔබතුමාලත් ආණ්ඩුවෙම ඉන්නවා, එහෙම ඉන්න ගමන් මෙහෙම කියන්නෙ ඇයි කියලා?

“නෑ, ඉතින් ඒකෙ අයිතිය තියෙනවනෙ අපිට. අපේ ස්වාධීනත්වය පාවා දීලා නෑ ආණ්ඩුවට. අපේ මතය ප්‍රකාශ කරන්න අපි ඕනෑම වෙලාවක සූදානම්.”

ප්‍රශ්නය – ඒ කියන්නෙ ඔබතුමන්ලා අකැමැති දේවල් කළොත් ආණ්ඩුවෙන් ඉවත් වෙන්න වුණත් සූදානම්ද?

“ඕනෑම එකකට අපි සූදානම්, රට වෙනුවෙන්. රට වෙනුවෙන් තීන්දුව ගන්න සූදානම්.”

ප්‍රශ්නය – අපේක්ෂකයා ගැන මොකද වෙන්නෙ? තව කොච්චර කල් යයිද?

“ඉන්නකො, ඉන්නකො. පොඩ්ඩක් ඉවසලා ඉන්නකො අනේ..”

ප්‍රශ්නය – ඔබතුමාගෙ හිතේ කවුද ඉන්නෙ?

“ඉන්නවා, ඉන්නවා, හිතේ නම් ගොඩක් ඉන්නවා.”

මේ අතර දේශපාලන කරළියේ පැතිර ගිය තවත් කතාවකට අනුව කියැවුණේ පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ නම් එය මෙම සති අන්තය තුළ සිදුවිය යුතු බවකි. එහෙත් එවන් විසුරුවා හැරීමක් සිදුවීමට ඇති සම්භාවිතාව ඉතාම අල්ප බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. එසේම ඉදිරි සතිවල පාර්ලිමේන්තු කටයුතු පැවැත්වීම පිළිබඳව ද අවශ්‍ය සැලසුම් සකස් කොට අවසන් බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග ඔස්සේ දැනගැනීමට හැකියාව ලැබුණි.

“ඔය එක එක කතා කිව්වට පාර්ලිමේන්තු මැතිවරණය නෙවෙයි එන්නේ. ජනාධිපතිවරණය."

ආණ්ඩුවේ විශ්වාසවන්ත ආරංචි මාර්ග ඔස්සේ දැනගැනීමට ලැබුණේ එවන් කතාවකි. 

කෙසේ වෙතත් ජ්‍යොතිෂඥයකු විසින් සැප්තැම්බර් 21 වැනිදා ජනාධිපතිවරණය පැවැත්වීමට සුදුසුම දිනය බව පවසා ඇතැයි ද කතාවක් පැතිර ගියේය. කෙසේ වුවද ජනාධිපතිවරණය සැප්තැම්බර් 28 න් පසු දිනෙක පැවැත්වෙනු ඇති බව කියැවුණි. 
මේ අතර පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් වෙනුවෙන් ඉන්දුනීසියාව බලා පිටත්ව ගියේය. ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ මහතාගේ ආරාධනයෙන් මැයි 18 සිට 20 දක්වා ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුව සඳහා සහභාගිවීම ජනාධිපතිවරයාගේ අරමුණයි. මෙහිදී ඉන්දුනීසියානු ජනාධිපති විඩෝඩෝ සමඟ හමුවකටද තවත් ද්විපාර්ශ්වික රැස්වීම් කිහිපයකට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.
කටුනායක ගුවන් තොටුපොළේ ගුවන් මගීන්ගේ ගමන් මලු ප්‍රවාහනය කරන සේවකයකු හෙවත් පෝටර්වරයකුට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පහර දීම සම්බන්ධ පුවත ද පසුගිය සතියේ දේශපාලන කරළිය කැළඹීය. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පසුගිය 14 වැනිදා අලුයම් කාලයේදී සිය බිරිය හා ඇමැති ආරක්ෂකයන්ද සමඟින් කටුනායක ගුවන් තොටුපොළට ගොස් ඇත්තේ සිය බිරිඳ විදෙස්ගත කිරීම සඳහාය.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා ගිනිඅවි සහිත ඇමැති ආරක්ෂකයන්ද සමඟින් ප්‍රධාන දොරටුවෙන් ගුවන් තොටුපොළට ඇතුළුවීමට උත්සාහ දරා ඇත. ඒ අවස්ථාවේදී අමාත්‍යවරයාගේ ආරක්ෂකයන් සතු ගිනිඅවි රැගෙන යාමට ඉඩ දිය නොහැකි බව ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් රාජ්‍ය අමාත්‍යවරයාට පවසා තිබේ. ඒ සමඟ ඔහු ගුවන් තොටුපොළ ආරක්ෂකයන්ට බැණ වැදී ඇති අතර අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයාගේ බිරිඳගේ ගමන් මලු රැගෙන ගිය පෝටර්වරයාට ඔහු පහර දී තිබේ. මීට හේතු වී ඇත්තේ ඔහු ඉල්ලූ මුදල සම්බන්ධ ගැටලුවකි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසා තිබුණේ "ඒ වෙලාවේ කේන්ති ගියා. මම කතා කරලා ඔහුව පැත්තකට අරන් කනේ පාරක් ගැහුවා. ඒක ඇත්ත.’’ යනුවෙනි.

විටින් විට විවිධ විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ දූත මණ්ඩල හමුවන ජාතික ජන බලවේගය මෙවර හමුවී තිබුණේ ශ්‍රී ලංකාවට පැමිණ සිටින දකුණු සහ මධ්‍යම ආසියානු කලාපය බාර ඇමෙරිකා එක්සත් ජනපදයේ සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ ඇතුළු කණ්ඩායමයි. 

පසුගිය සඳුදා පස්වරුවේ Galle Face හෝටල් පරිශ්‍රයේදී මෙම සාකච්ඡා පැවැත්වුණි. මේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මියද සහභාගි වූවාය. ජාතික ජන බලවේගය නියෝජනය කරමින් එහි ජාතික විධායක සභිකයන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, වසන්ත සමරසිංහ සහ වෛද්‍ය නලින්ද ජයතිස්ස යන අය ද සහභාගි වූහ. 

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත් වීම, නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම සහ ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂාව ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙහිදී දෙපාර්ශ්වයේ අවධානය යොමුවූ බව ජාතික ජන බලවේගය ආරංචි මාර්ග තහවුරු කළේය.

රාජපක්ෂ විරෝධය නිසා ජනපතිගේ දේශපාලන කමිටුව වර්ජනය කළ බව කියැවුණු ලංසා සන්ධානය දෙසින් ද පසුගිය සතියේ දේශපාලන ආරංචි කිහිපයක් ලැබුණි. මෙම සන්ධානයේ ප්‍රධාන සාකච්ඡාවක්  පසුගිය අඟහරුවාදා ජයවර්ධනපුර මොනාක් ඉම්පීරියල් හෝටලයේදී පැවති බව ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක් නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 20 ක් පමණ සහභාගී වූ බව කියැවෙයි.

එම සන්ධාන ආරංචි මාර්ග තහවුරු කරන පරිදි අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල, සුසිල් ප්‍රේමජයන්ත්, මහින්ද අමරවීර, නලින් ප්‍රනාන්දු, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර, සුරේන් රාඝවන්, එස්. වියාලේන්ද්‍රන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් ලන්සා, පියංකර ජයරත්න, දුමින්ද දිසානායක, සුදත් මංජුල, උදයකාන්ත ගුණතිලක, ජගත් පියංකර, එම්.එම්. හාරිස්, ඉශාක් රහුමාන්, එම. මුශාරෆ් ඇතුළු මන්ත්‍රී පිරිසක්ද හිටපු මන්ත්‍රීවරුන් වන වීරකුමාර දිසානායක සහ සිරිපාල අමරසිංහ ආදී පිරිසක්ද මීට එක්ව සිටියහ.

ඒ අනුව නිමල් සිරිපාල සහ නව සන්ධානයේ මෙහෙයුම් නායක අනුර යාපා මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් හමුවේ කටයුතු සිදුව ඇතැයි කියැවේ.

මෙහිදී අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා ඉදිරි මැතිවරණය පිළිබඳ අදහස් දක්වා තිබේ.

“ඔක්තෝබර් මුල සතියේ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ නිසා අපි කරන සාකච්ඡා සියල්ල ජූලි 15 වගේ වෙනකොට අවසන් කරන්න වෙනවා." 

“අපේ පක්ෂයේ තියෙන අර්බුද ටිකත් අපි ඉක්මනින් විසඳ ගන්නවා. අපි හැමෝම එක මතයක ඉඳලා ඉදිරි මැතිවරණවලදි රටේ තීරණාත්මක බලවේගය අපේ මේ කණ්ඩායම වෙන්න ඕනෑ. දැනටමත් ඒක වෙලා තියෙනවා." දුමින්ද දිසානායක පැවසීය.
කඳවුරේ ආරංචි මාර්ග තහවුරු කළ පරිදි මුස්ලිම් සහ සුළු පක්ෂවල සහයෝගය ලබාගැනීම ආදිය පිළිබඳවත් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත. පෙනී යන අන්දමට මෙම කණ්ඩායමට ජනාධිපතිවරයා වෙත සහාය පළ කරන ප්‍රධානතම කණ්ඩායම වීමේ අවශ්‍යතාවය ඉස්මතුව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

I චමිඳු නිසල් ද සිල්වා