2024 මාර්තු 16 වන සෙනසුරාදා

ඕමල්පේ හිමියන්ට ගෝඨාගේ හිටපු ලේකම්ගෙන් සැර පිළිතුරක්

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00 327

කාලගුණය තරම්ම දේශපාලනය ද උණුසුම් වෙමින් තිබේ. මැතිවරණ පිපාසිත මහජනයා දිනෙන් දින විජලනයට පත්වෙමින් සිටිති. එළඹෙන මැතිවරණය කුමක්දැයි ඇති සැක සංකා හේතුවෙන්ම දේශපාලකයන්ගේ ද ඉහ මොළ රත් වී ඇත. පිරිසක් ජයග්‍රහණය පිළිබඳ පාරම් බාන අතරේ, තවත් පිරිසක් දෙලොවක් අතර තනි වී සිටිති. 

සතියකට ඉහතදී හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ විසින් එළි දක්වනු ලැබූ 'කුමන්ත්‍රණය' කෘතිය හේතුවෙන් දේශපාලන කරළිය ගිනියම් වී තිබුණි. ඇගයුම් පැසසුම් අතරේ බොහෝ දෝෂාරෝපණ ද නැගෙන්නට විය. මේ අතර රාජපක්ෂ පවුලේ අය ද මෙම කෘතිය කියවා තිබුණි.

මේ අතර මෙම කෘතිය කියැවූ රාජපක්ෂ පවුලේ ඥාතියකු වන උදයංග වීරතුංග යූටියුබ් සංවාදයකට එක්වී ආන්දෝලනාත්මක ප්‍රකාශ රුසක් සිදු කළේය

“මහින්ද අයියට කෘතිය ගිහින් දුන්නා"
“බැසිල් අයියට දෙන්න ගියා.. බය හිතුණා"

මෙම කෘතිය පිළිබඳ රාජපක්ෂ පවුල එතරම් සතුටින් පසු නොවන බව හැඟවෙන ප්‍රකාශ රුසක් ඔහු මෙහිදී සිදු කළේය. පොතේ කියන ජාත්‍යන්තර කුමන්ත්‍රණය පිළිබඳවද වැඩිදුරටත් අදහස් දැක්වීමට උදයංග වීරතුංග කටයුතු කර තිබුණි.
උදයංගගෙන් පොත ලබාගත් නමුත් ඔහුගේ සම්මුඛ සාකච්ඡාව පිළිබඳ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා එතරම් සතුටකින් පසු නොවන බව ආරංචි මාර්ග තහවුරු කළේය.

“උදයංග කතා කරලා තියෙන්නේ කතා කළ යුතු දෙයක් නෙවෙයි

ගෝඨාභය රාජපක්ෂගේ කෘතිය පිළිබඳ ඊළඟ සටන ඇවිලී ගියේ ඕමල්පේ සෝභිත හිමි සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර අතරය. මෙම කෘතිය අනුකම්පාව දිනා ගැනීමේ අරමුණින් රචනා කරන ලද්දක් බව ඕමල්පේ සෝභිත හිමියෝ කීහ.

“එදා අවසාන මොහොතේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට රටින් බැහැරව යන්න ඕනෑ වුණු මොහොතේ, ජීවිත බයක් ගැන ප්‍රශ්නයක් ආවා. ඒ වෙලාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පිටත්වීමේ පර්යන්තයේ පහසුකම් සලසන්න මම මැදිහත් වුණු බව ඔබතුමා දන්නවා. සුගීෂ්වර බණ්ඩාර මහතා ඇතුළු ආසන්නම කාර්ය මණ්ඩලය ඒ තොරතුරු දන්නවා."

තමන්ගේ නම ද ඈඳා ගනිමින් සිදු කරනු ලැබූ නව ප්‍රකාශයට පිළිතුරු බැඳීමට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර කටයුතු කළේය.

“අග්‍රාමාත්‍ය ධූරයෙන් මහින්ද රාජපක්ෂ මහත්මාව අයින් කරලා, කරෑ ජයසූරිය මහත්මාව පත් කරන්න කියලා මැයි 9 වැනිදා සිදුවීමත් එක්ක උන්වහන්සේ ඉල්ලීම් කළා. 

කවුරුත් අග්‍රාමාත්‍ය ධූරය බාරගත්ත නැති වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්මාට අග්‍රාමාත්‍ය ධූරය ලබා දෙන්න සූදානම් වෙද්දී, විපක්ෂ නායකවරයාට අග්‍රාමාත්‍ය ධූරය ලබා නොදුන්නොත් ජනාධිපති මන්දිරය ළඟට භික්ෂූන් වහන්සේලාත් එක්ක ඇවිල්ල කලබලයක් ඇති කරන බවත් සඳහන් කළා."

පසුව මේ හා සම්බන්ධ විස්තරාත්මක මාධ්‍ය නිවේදනයක් ද සුගීෂ්වර බණ්ඩාර විසින් නිකුත් කරනු ලැබුවේය. ඒ ඔහු යම් රුස්වීමකදී සිදු කළ ප්‍රකාශයක් උපුටා දක්වමිනි. 

2022 ජූලි මස 12 වැනි දින තමා ඇමතූ ඕමල්පේ සෝභිත හිමියන් හත්වැනි ජනාධිපතිතුමාට ධූරය හැර යන ලෙසට බල කරන බවත්, එසේ ධූරය හැර යන බවට වන ලිපිය තමා සන්තකයට ලබාගෙන තහවුරුවක් උන්වන්සේට ලබා දුන් පසු ගෝඨාභය රාජපක්ෂ මහතාට අරගලකරුවන්ගෙන් බාධාවකින් තොරව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් නික්ම යාමට අවශ්‍ය කටයුතු සූදානම් කර දීමට උන්වහන්සේට හැකි බවටත් වන පණිවිඩය හත්වැනි විධායක ජනාධිපතිතුමාට දන්වන ලෙසට උද්දාමයෙන් උන්වහන්සේ තමා වෙත කියා සිටි බව සුගීෂ්වර බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

ඒ වන විටත් රාජ්‍ය බලය හෙබවූ හත්වැනි විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට එසේ ඕමල්පේ සෝහිත හිමියන්ගේ බහට අවනත වීමට කාරණා නොතිබූ බවත්, කටුනායක ගුවන් තොටුපළ භාවිත කිරීම සඳහා ඕමල්පේ සෝහිත හිමියන්ගේ සහාය ලබා ගැනීමට කිසිදු අවශ්‍යතාවක් එතුමාට ඒ අවස්ථාවේ නොතිබූ බවත් සුගීෂ්වර බණ්ඩාර මහතා ඉතා වගකීමෙන් ප්‍රකාශ කරන බව එහිදී පැවසුවේය. 

පසුව ඔහු ප්‍රකට යූටියුබ් සංවාදයකට එක්වූ අතර ගෝඨාභය හිටපු ජනාධිපතිවරයා ධූරය හැර යන තැනට කටයුතු කළ ඉහළ රාජ්‍ය නිලධාරීන්ගේ සහ ආරක්ෂක ප්‍රධානීන්ගේ ද නම් ගම් හෙළි කළේය.

ඉදිරියේදී පවත්වනු ලබන්නේ කුමන මැතිවරණය ද යන්න පිළිබඳවද පසුගිය සතියේ වාද විවාද බොහොමයක් ඇතිව තිබුණි. ඒ අතරින් පොහොට්ටුව අභ්‍යන්තරයේ වූ මත ගැටුම පිළිබඳ තොරතුරු කරළියට පැමිණෙන්නට වූයේය.

“මුලින්ම තියන්න ඕනෑ මහ මැතිවරණය. එහෙම තිබ්බොත් අපිට යම් වාසියක් තියෙනවා"

පිරිසක් මෙසේ අදහස් දක්වන අතරතුර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ද පළමුව මහ මැතිවරණය පැවැත්වීම පිළිබඳ කැමැත්තකින් පසුවන බව දේශය වෙත වාර්තා විය. 

“මගේ පෞද්ගලික කැමැත්ත මහ මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධව. දෙකම එකම එක අවස්ථාවේ තියන්න බෑ. මහ මැතිවරණය තියලා ජනාධිපතිවරණයකට යාම වඩා වාසිදායකයි."

හිටපු ජනපතිවරයා මෙවන් අදහසක් පළ කර ඇති බව හෙළිදරව් වේ. කෙසේ වෙතත් අවසන් මැතිවරණ තීරණය පක්ෂය සමඟ සාකච්ඡා කොට ගත යුතු බව මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කොට තිබේ.

මේ අතර ප්‍රසන්න රණතුංග, කාංචන විජේසේකර ඇතුළු අමාත්‍යවරුන් පිරිසක් පළමුව ජනාධිපතිවරණය පැවැත්විය යුතුය යන අදහසකට එළැඹ සිටින බවද ආරංචි මාර්ග සඳහන් කරයි. 

“දිස්ත්‍රික්කය පුරා විශාල මැතිවරණයක් මෙහෙයවනවට වඩා ජනාධිපතිවරණයකට යාම මේ වෙලාවේ වඩාත් පහසුයි"

කෙසේ වෙතත් තවමත් කිසිදු අදහසක් පළ නොකොට සිදුවන දේ බලා සිටින පිරිසක් ද පොහොට්ටුවේ සිටිති.

මේ ආදී විවිධාකාර මත පොහොට්ටු අභ්‍යන්තරයේ මතු වුවද ඇමෙරිකාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි බැසිල් රාජපක්ෂ මේ වන විට වෙනත් දේශපාලන මෙහෙයුමක් ක්‍රියාත්මක කොට ඇති බව දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ අපට දැනගන්නට ලැබේ. 

“මොකද කරන්නේ.. අපි ආයේ එකතුවෙලා වැඩ කරමු"

පොහොට්ටුවේ සිට පොහොට්ටුව හැර ගිය දේශපාලනඥයන්, වෘත්තීය සමිති නායකයන් ඇතුළු පිළිගත හැකි බලපෑම් සහගත චරිත නැවත පක්ෂය වෙත කැඳවා ගැනීමේ මෙහෙයුමක බැසිල් රාජපක්ෂ නිරතව සිටින බව කියැවේ. බැසිල් රාජපක්ෂ පෞද්ගලිකව මෙම මෙහෙයුම දියත් කර තිබීම සුවිශේෂීය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය කුරුණෑගලින් තැබූ පළමු වෙඩි මුරය ද දේශපාලන කරළියේ කාගේත් අවධානයට ලක් විය. සැලකිය යුතු ජනකායකගේ සහභාගීත්වයෙන් පැවති මෙම ජන හමුවේදී කලකට පසුව දේශපාලන වේදිකාවේ කතාවක් පැවැත්වීමට ජනපති රනිල් වික්‍රමසිංහ කටයුතු කළේය. වීඩියෝ පට පෙන්වමින් ජනාධිපතිවරයා මෙවර සිදු කළේ තරමක් වෙනස් කතාවකි. 

“අද එක්සත් ජාතික පාක්‍ෂිකයන්ට සමගි ජනබලවේගයේ තැනක් නැහැ. එම පක්‍ෂය ගොඩපෙරකදෝරුවන්ටයි සට්ටඹිරාළලාටයි යටවෙලා. එක්සත් ජාතික පක්‍ෂයේ දර්ශනය සජබය තුළ නැහැ. ඒ නිසා මම සියලු එක්සත් ජාතික පාක්‍ෂිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ නැවත අප පක්‍ෂය සමඟ එක්වන්න."

සැබෑවටම ජන රැලිය ඇමතූ ජනාධිපතිවරයා සජිත් ප්‍රේමදාස අරගලය හමුවේ ප්‍රතික්ෂේප වූ බවත්, වගකීම් බාරගැනීමට බිය වූ බවත් කියා සිටියේය. ජාතික ජන බලවේගය පිළිබඳව ද ජනාධිපතිවරයා ඉදිරිපත් කළේ දැඩි විවේචන කිහිපයකි.

“ගෝල්ෆේස් අරගලයේදි සජිත් ප්‍රේමදාස මහතාට ගෝල්ෆේස් පිටියට යන්න බැරි වුණා. එදා ඔවුන් ගෝල්ෆේස් පිටියට ගිය වෙලේ විරෝධතාකරුවන් එළවන විට මම හිටියේ ෂැන්ග්‍රිලා හෝටලයේ, රංජිත් සියඹලාපිටිය ඇමැතිතුමාගේ දියණියගේ මංගල උත්සවයට සහභාගි වෙමින්. මම මේ සියල්ල දෙස බලා සිටියා. එදා ගාලුමුවදොරට යන්න බැරිවුණු කෙනා අගමැතිකම කොහොමද බාරගන්නේ."

කෙසේ වෙතත් සමගි ජන බලවේගය ඉකුත් සතිය වන විට සිය දේශපාලන මෙහෙයුම් තවත් වර්ධනය කර ඇති බව පෙනී ගියේය. සතියේ සෑම දිනකම පාහේ කුමන හෝ තේමාවක් යටතේ ජන හමුවක්, බඩු බාහිරාදිය බෙදා දීමක් සිදු කිරීමට සජබ නායකත්වය කටයුතු කළේය. ඒ අතර ජනපතිගේ ප්‍රකාශයට ද පිළිතුරු ලබාදීමට ඔහු අමතක කළේ නැත.

“එක හාදයෙක් පහුගිය දවසක වේදිකාවක් උඩ නැගලා වීඩියෝ පට පෙන්න පෙන්න මට පහර ගහනවා. මම වගකීම් බාරගත්තෙ නැතිලු. ඔව්.. මම කොහොමද වගකීම් බාරගන්නේ හොරු රුලක් එක්ක. මම බාරගත්ත නම් මාත් රුකෙන්නේ රට විනාශ කරපු පොහොට්ටු හොරු එකසිය තිස් හතර දෙනා මතයි."

රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ හොරු රුල රකින්න කටයුතු කළත් සජිත් කවදාවත් රාජපක්ෂ හොරු රුල රකින්න කටයුතු නොකරන බවත් තමා හොරු අල්ලා ඔවුන්ගෙන් රටට හිමිවිය යුතු වන්දි නැවත ලබාගන්නා බවත් විපක්ෂ නායකවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

මේ අතර සමගි ජන බලවේගය විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම පිළිබඳව ද ඉකුත් සතියේ තීරණයක් ලැබුණි. ඒ අනුව කතානායක මහින්ද යාපා අබේවර්ධන  මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව ලබන 19 සහ 20 දෙදින තුළදී විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.

“අපිට මේ විවාදය සඳහා දවස් තුනක කාලයක් ඕනෑ"

සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ මෙම විභාගය සඳහා තෙදිනක් ඉල්ලා සිටියෙන් යම් අර්බුදයක් පැන නැගුණි. මේ අනුව කතානායකවරයා හමුවටද මෙම ප්‍රශ්නය ගමන් කළේය.

“දවස් තුනක් නෙවෙයි, මාසයක් වුණත් කමක් නෑ ඔය විවාදයට අවස්ථාව ලබා දෙන්න. මට ගැටලුවක් නැහැ."

තමාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංගය පරාජය වන බවට ස්ථිර හැඟීමක් සහිතව කතානායකවරයා මෙවන් අදහසක් පළ කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිබඳ ජාතික ජනබලවේගයේ මතය ප්‍රකාශයට පත්වීමද සිදුවූ සුවිශේෂී සිදුවීමක් විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ප්‍රධානී පීටර් බ_වර් ඇතුළු නියෝජිතයන් සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් මාර්තු 14 දා පෙරවරුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්විණි. පැය එකහමාරක පමණ කාලයක් පැවති මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ වංචා දූෂණ වැළැක්වීමට අදාළ ක්‍රියාවලින්හි ප්‍රගතිය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇති බව කියැවේ.

මෙහිදී සාකච්ඡා වූ කරුණු පිළිබඳව පසුව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ජනතාව දැනුවත් කළේය.

මේ අතර මාධ්‍යවේදියකු විමසා සිටියේ ඊළඟ ණය වාරිකය ලැබීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය කරුණු දැක්වීම ගැටලුකාරී විය හැකිද යන්න පිළිබඳවයි.

“ඔවුන් ක්‍රියාමාර්ගය වෙනස් කරනවා කියලා කිව්වෙත් නෑ, අපි එහෙම කරන්න කියලා කිව්වෙත් නෑ. අපි වාරිකය දෙන්න එපා කියල කිව්වෙත් නෑ. ලංකාවෙ අද තියෙන තත්ත්වයත් එක්ක කොහෙත්ම වාරිකය දෙන්න එපා කියලා කියන්න අපි කැමැති නෑ."

ආරංචි මාර්ග සඳහන් කරන පරිදි පැය එකහමාරක පමණ කාලයක් පැවති මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ වංචා දූෂණ වැළැක්වීමට අදාළ ක්‍රියාවලින්හි ප්‍රගතිය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇති අතර ජනතාවට මෙතෙක් ලබා දී නොමැති තාක්ෂණ සහායක වාර්තාව පිළිබඳව ද ජාතික ජන බලවේගයේ නියෝජිතයන් විසින් විමසීම් සිදු කර තිබේ.

“ඔවුන් සමහර කරුණු දැනගෙන හිටියා. සමහර කරුණු දැනගෙන හිටියේ නෑ. කෝප් කමිටුවේ සභාපති විදිහට පත් වුණේ කවුද කියලා දැනගෙන හිටියේ නෑ."

කෙසේ වෙතත් ඇතැම් මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබුණේ රටේ ණය අර්බුදය විසඳීම සඳහා තම ආණ්ඩුවක් යටතේ ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරන බව ජාතික ජන බලවේගය සඳහන් කළ බවකි.

පසුගිය සතියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙසින් ද සුවිශේෂී දේශපාලන ආරංචියක් ලැබුණි. මේ අතර ශ්‍රීලනිපය සමඟ එක්ව කටයුතු කිරීමට දේශපාලන ප්‍රබලයන් 14ක් සාකච්ඡා කර තිබෙන බවට වූ එම ආරංචිය ලැබුණේ පක්ෂයේම අභ්‍යන්තරයෙනි. ඒ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයන් මෙන්ම සජබයේ මේ වන විට සිදුවී ඇති අසාධාරණය නිසා කලකිරුණු කිහිප දෙනකු ද සිටින බව කියැවේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියා සිටින්නේ මීට පෙර ශ්‍රීලනිපය සමඟ කටයුතු කළ නායකයකු වූ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලනඥයකු ද යළිත් ශ්‍රීලනිපය සමඟ එක්වීමට සාකච්ඡා කර ඇති බවකි. බොහෝ විට ඔවුන්ගේ ප්‍රකාශවලට අනුව ඒ හිටපු ප්‍රබලයා පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම විය හැකිය.

මේ අතර ශ්‍රීලනිප කළුතර දිස්ත්‍රික් නායක ලෙස පත්වූ පුද්ගලයාත් පසුගියදා පත්වූ ශ්‍රීලනිප කළුතර ආසන සංවිධායකවරුන් අතරත් ගැටලුවක්ද නිර්මාණය වී ඇතැයි කියැවේ. පසුගිය සතියේ කළුතර දිස්ත්‍රික් ආසන සංවිධායකවරුන්ගේ රුස්වීමක් ශ්‍රීලනිප වැඩබලන මහ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කැඳවා තිබේ. මෙහිදී පිරිසක් එම රුස්වීම වර්ජනය කර ඇතැයි කියැවේ. ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයට දේශපාලනයේ ඇත්දැකීම් ඇති ප්‍රබල චරිත සිටියදී කළුතර දිස්ත්‍රික් නායකත්වය සඳහා පත් කර ඇති පුද්ගලයාට විරෝධය පළ කරන බවකි.

මේ අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ "කුමන්ත්‍රණය" කෘතිය හේතුවෙන් තවදුරටත් දේශපාලන කරළිය උණුසුම් වන්නට විය. එම කෘතිය කියැවූ හිටපු ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න ද තවත් කෘතියක් සම්පාදනය කිරීමට සූදානම් වන බව කියැවේ. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කෘතියේ ඔහු පිළිබඳවද යම් යම් කරුණු සඳහන්ව ඇති බැවින් ඊට ප්‍රතිචාරයක් ලෙස මෙම කෘතිය සම්පාදනය වන බව ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම කෘතිය එළඹෙන මැයි මාසයේ දී ජනගත වනු ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

I චමිඳු නිසල් ද සිල්වා