2024 මාර්තු 09 වන සෙනසුරාදා

රනිල් මහින්ද බැසිල් හමුවේදී මතු වූ තීරණාත්මක ප්‍රශ්නය

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 300

ගුවනින් බැසිල් ආවේ පොහොට්ටුවේ විසිල් මැදය. පඳුරක් පඳුරක් ගාණේ සන්ධාන ගතවීම් දැකගත හැකි විය. පාර්ලිමේන්තුවේ කාරක සභා තනතුරු නිලතල හබය යම් කෙළවරක් කරා පැමිණ තිබුණි. දකුණේ මෙන්ම උතුරේ දේශපාලනය ද යම් කෝලම් සහගත ස්වභාවයක් ඉසිලීය. මැතිවරණ කසුකුසුව නිසාමදෝ කාලගුණය ද දැඩි උණුසුමකින් යුක්ත විය.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය විසින් සකස් කරන්නට යෙදුණු විශ්වාසභංග යෝජනාව ද ඉකුත් සතියේ පාර්ලිමේන්තුව වෙත භාරදුන්නේය. විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 44 දෙනකු අත්සන් කළ මෙම විශ්වාසභංග යෝජනාව භාර දී තිබුණේ පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න මහතා වෙතය.

“මේ විශ්වාසභංගය ඉක්මනින් විවාදයට ගන්න අවශ්‍යයි"

යෝජනාව භාරදීම සමඟම විපක්ෂය සඳහන් කර සිටියේය. කතානායකවරයා ද තමාට එරෙහිව නැගුණු විශ්වාසභංගයට මුහුණ දීමට තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කර සිටියේය. 

“ඉක්මනට ඔය යෝජනාව විවාදයට අරගන්න කටයුතු සකස් කරන්න" 

කතානායකවරයා ද විශ්වාසභංගය කඩිනමින් විවාදයට ගැනීමට විරෝධය නොපෑවෙන්, පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තක පරිපූරකයට විශ්වාසභංග යෝජනාව එක්විය. සාමාන්‍ය පරිදි න්‍යාය පුස්තක පරිපූරකයට අදාළ යෝජනාව ඇතුළු වූ පසු දින පහක් ගතවූ තැන එම යෝජනාව විවාදයට ගැනීමට හැකියාවක් පවතී.

“අපිට මේ විවාදය සඳහා දින දෙකක් අවශ්‍යයි"

විවාදය සම්බන්ධයෙන් විපක්ෂයේ ඉල්ලීම එලෙස ඉදිරිපත් වන අතරේ, විවාදයට එක් දිනයක් පමණක් ලබාදීමට ආණ්ඩුව සූදානම් වන බවටද පාර්ලිමේන්තු ආරංචි මාර්ග ඔස්සේ දැනගැනීමට ලැබුණි.

බොහෝ විට විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම මාර්තු 19, 20 දින දෙකේ දී හෝ ඉන් එක් දිනයකදී සිදුවනු ඇතැයි කියැවේ. ඒ හා සම්බන්ධ තීරණය ගනු ලබන්නේ  පාර්ලිමේන්තු කාරක සභාව විසිනි.

පොලිස්පති පත්කිරීමේ සිදුවීම කතානායකවරයා පිළිබඳ විපක්ෂයේ දැඩි විවේචන මතුවන්නට හේතුවක් විය. ව්‍යවස්ථාදායක සභාවේදී කතානායකවරයා ඡන්දය භාවිත කළ ආකාරය විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ දෝෂදර්ශනයට ලක් විය.

මේ අතර ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව, රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වන පළමු මහජන රුස්වීම එළඹෙන දහ වැනිදා සවස දෙකට කුලියාපිටියේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය වෙමින් තිබුණි. හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මෙම ජනහමුව සංවිධානය කිරීම සඳහා මූලිකත්වය ගෙන වැඩ කළේය.

“දැන් විදුලි බිල අඩු කරමින්, ඉදිරි කාලයේදී ඉන්ධන මිලත් අඩු කරමින් මිනිසුන්ට සහන සලසා දෙමින් යනවා. ඒ යන ගමනට ජනතාව විදිහට සහාය දෙන්න අපට යුතුකමක් තිබෙනවා. එසේ නැතිවුණොත් අපේ ආර්ථිකය විශාල කඩා වැටීමකට ලක්වෙලා මේ ප්‍රශ්න නැවතත් උඩට මතුවෙලා එයි.

ඒ නිසා මේ ගෙන යන වැඩපිළිවෙළට සහාය වී ශක්තිය දී දේශපාලන වැඩ කටයුතුවලින් තොරව රට ගැන හිතලා කටයුතු කිරීමේ වගකීම සියලු දෙනාට තිබෙනවා. ඒ නිසා තමයි අපි එළඹෙන මාර්තු 10දා කුලියාපිටියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රථමයෙන් ජනතාව අමතන ජන රැලියේදී ‘සැබෑව’ කියන තේමාව අප තෝරාගත්තේ."

ඔය අතර මාර්තු 6 වැනිදා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළේය. 2022 තුන්වැනි කාර්තුවේ සිට රටේ ආර්ථිකය යළි පිබිදීම ඇරුඹුණු බවත් 2024 දී 2% - 3% ක ආර්ථික වර්ධනයක් ලබාගත හැකි බවට ජාත්‍යන්තර මූල්‍ය සංවිධාන පුරෝකථනය කර ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ප්‍රකාශ කළේය.

මෙම ප්‍රකාශයෙන් අනතුරුව මාර්තු 7 වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් මෙරටට පැමිණි බව වාර්තා වීමද සුවිශේෂී සිදුවීමක් විය. මෙලෙස පැමිණි නියෝජිතයන් පිරිස එදිනම ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසුණහ.

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන නිසි ලෙස ක්‍රියාත්මක වන බව පෙන්නුම් කරමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්වීම ආරම්භ වීම සතුටට කරුණක්"

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී  පීටර් බ_වර් ජනපති හමුවේ එලෙස සඳහන් කළ බවක් ද මාධ්‍ය වාර්තා කළේය. ඒ අනුව මූල්‍ය අරමුදලේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා බලධාරීන්ගේ කැපවීම සම්බන්ධයෙන් ද බ_වර් මහතා  ස්තූතිය පළ කර තිබුණි.

පොහොට්ටුවට සෑම අතින්ම මෙම සතිය ප්‍රීතිමත් සතියක් විය. පළමුව පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ඇමෙරිකාවේ සිට මෙරටට පැමිණියේය.

මාස කිහිපයක් ඇමෙරිකා එක්සත් ජනපදයේ සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා මාර්තු 5 වැනිදා පෙරවරුවේ එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානාවකින් කටුනායක ගුවන් තොටුපොළට ගොඩ බැස්සේය.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන හා රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක ගුවන් යානයටම ගොස් බැසිල් රාජපක්ෂ පිළිගත්හ. මෙහිදී සිදුවූ සිදුවීම් පෙළ පිළිබඳව ද දේශපාලන ආරංචි ලැබී තිබුණි. මෙහිදී ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා බැසිල් රාජපක්ෂ සමඟ බොහොම සුහදව කතාබස් කොට ඇති බව කියැවේ. 

“කොහොමද ප්‍රසන්න?” 

“වැඩ ටික කර‍ගෙන ඉන්නව සර්.. දැන් ඉස්සරහට වැඩ ටික කරගෙන යමු සර්”  

රෝහිත සහ චානක තරමක් එහා මෙහා වූ අවස්ථාවකදී බැසිල් රාජපක්ෂ හා ප්‍රසන්න රණතුංග දෙපළ කෙටි වේලාවක් සුහද සාකච්ඡාවක නිරත වූ බව ඒ අනුව කියැවේ.

එහිදී ඔවුන් දෙදෙනා කතාබහ කළේ කුමක්ද යන්න පිළිබඳ පැහැදිලි නොමැත. 

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ධූරය රනිල් වික්‍රමසිංහ වෙත පිරිනැමීමේ අභිප්‍රායෙන් කටයුතු කරන ප්‍රසන්න රණතුංග, බැසිල් සමඟ සුහද වීම පොහොට්ටුවේ බොහෝ දෙනකුගේ සතුටට හේතු නොවූ බව පැහැදිලිය.

රාජපක්ෂ පිළිගැනීමට තවත් මන්ත්‍රීවරුන් රුසක් පැමිණ සිටි අතර  නාමල් රාජපක්ෂ, සංජීව එදිරිමාන්න, කෝකිලා හර්ෂණී ගුණවර්ධන, මහාචාර්ය රංජිත් බණ්ඩාර, ජයන්ත කැටගොඩ, ඉන්දික අනුරුද්ධ, අරුන්දික ප්‍රනාන්දු, තිස්ස කුට්ටිආරච්චි ඇතුළු මන්ත්‍රීවරුන් 25 කට ආසන්න පිරිසක් මෙලෙස ගුවන්තොටට පැමිණි බව කියැවේ.

ශ්‍රී ලංකාවට පැමිණි බැසිල් රාජපක්ෂ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද සහ යෝෂිත රාජපක්ෂ සමඟ පසුගිය බ්‍රහස්පතින්දා සවස 6.30 ට පමණ ජනපතිගේ පැජට් පාරේ නිවෙසට ගොඩවූහ. 

“අපි කාලෙකින් හම්බවුණේ නෑ. ඔබතුමා ලංකාවට ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා පොඩ්ඩක් හම්බවෙලා කතා කරමු"

සාකච්ඡාව සඳහා ආරාධනය ලැබී තිබුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වයෙනි. 

මෙහිදී දේශපාලන ආර්ථික කටයුතු පිළිබඳ සාකච්ඡා නිර්මාණය වී තිබේ. කෙසේ වෙතත් ඉදිරි මැතිවරණය පිළිබඳ සැලකිය යුතු පරිමාවක සාකච්ඡාවක් සිදුවූ බවට සාක්ෂි නොමැත. 

පොහොට්ටුව ආණ්ඩුවේ වර්තමාන ක්‍රියාකාරකම් පිළිබඳ සිය අදහස් ජනපති හමුවේ තැබූ බව කියැවේ.

“අපිට ජනවරමක් හම්බවුණා අවුරුදු තුනකට ඉස්සෙල්ලා. හැටනම ලක්ෂයක් දෙනා අපිට ඒ ජනවරම ලබාදුන්නේ රාජ්‍ය සම්පත් විකුණන්නවත් බලය බෙදන්නවත් ජනතාව පීඩාවට පත් කරන්නවත් නෙවෙයි. ඒ ජනවරමට පටහැණිව රජය ක්‍රියා කරනවා නම් අපිට ඒවට එකඟ වෙන්න බැහැ." 

කලක පටන් විටින් විට මතුවෙමින් යට යමින් පැවැති පොහොට්ටුවේ මෙම විරෝධය මෙවර ජනපති අභිමුවේදීම ගොනු වූ බව ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත් පොහොට්ටුවේ ප්‍රකාශවලට ජනපති ද ප්‍රතිචාර දක්වා තිබේ.

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිට නොයෙක් දේවල් කරන්න කියලා තියෙනවා, රාජ්‍ය දේපළ විකිණීම සහ ආදායම් සෙවීම ගැන."

ජනපතිගේ කරුණු පැහැදිලි කිරීම හමුවේ පොහොට්ටුව පවසා ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කොට තත්ත්වය කළමනාකරණය කරගැනීම ජනාධිපතිවරයා විසින් සිදු කළ යුතු බවකි.

කෙසේ වෙතත් පොහොට්ටුවේ නොහොඳ නොහොක්කඩු සමනය වන පසුගිය සතියේ ලැබුණු තවත් අපූරු ආරංචියක් වූයේ කෝප් කමිටුවේ සභාපති ධූරය පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා වෙත ලැබීමයි. කමිටුවේ බහුතරය අනුව එම ධූරය ඔහු වෙත හිමි වුවද, ඒ හා සම්බන්ධ විවිධාකාර දේශපාලන කතා පසුගිය සතිය පුරා අසන්නට ලැබුණි.

එළඹෙන මාර්තු 10 වැනිදා වන විට සමගි ජන බලවේගය නියෝජනය කරන විශාල පිරිසක් එක්සත් ජාතික පක්ෂයට එක්වන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් නිතර නිතර ප්‍රකාශ කිරීම සමගි ජන බලවේගයට එතරම් ඉවසුම් නොදුන්නේය.

“මේ වෙලාවේ විපක්ෂයේ ගොඩක් අය අපිත් එක්ක එකතු වෙනවා. ඊළඟට ආණ්ඩුව පිහිටුවන්නේ අපි. මේ වගේ අවස්ථාවක එජාපයට එකතු වෙන්නේ කවුද?”

එක්සත් ජාතික පක්ෂයේ රැලිය තමන් එතරම් නොතකන බව ප්‍රදර්ශනය කිරීමට සමගි ජන බලවේගය උත්සුක වූයේය. 

සිකුරාදාට යෙදුණු කාන්තා දිනය වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ඒ මහතාගේ බිරිඳ සහ දියණිය විසින් කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලට වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් සිදුකිරීමට කටයුතු කරනු දැකගත හැකි විය. සමගි ජන බලවේගයේ "හුස්ම" වැඩසටහනට සමගාමීව මෙම පරිත්‍යාගය සිදුවිය.

මේ අතර සමගි ජන බලවේගය සම්බන්ධව තවත් විශේෂිත කතාවක් දේශපාලන කරළියේ පැතිර යමින් තිබුණි. ඒ සමගි ජන බලවේගයේ පාර්ශ්වයකින් ජනපති පාර්ශ්වය වෙත ලැබුණු යෝජනාවක් පිළිබඳවය.

ආරංචි මාර්ග නිල වශයෙන් තහවුරු කර නොමැති නමුත්, සමගි ජන බලවේගය තුළ සිටිමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට සමීපව ඇසුරු කරන පිරිසක් මෙම යෝජනාව රුගෙනවිත් ඇතැයි කියැවේ.

“ඉස්සෙල්ලම මහ මැතිවරණය තියන්න. සජිත් අගමැති වුණාම විධායකය අහෝසි කරලා ජනාධිපතිතුමා නාමමාත්‍රික ජනාධිපතිවරයා විදිහට කටයුතු කරනවා."

මෙම යෝජනාවේ දිග පළල පිළිබඳව පැහැදිලි නැතත්, එය ද ඉදිරියේදී විකල්පයක් ලෙස සලකා බැලිය හැකි යෝජනාවක් බව ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත් මෙම යෝජනාවට ජනපති පාර්ශ්වයේ ප්‍රතිචාරය කුමක්ද යන්න තවමත් හෙළිදරව් වී නොමැත. එසේම මෙම යෝජනාව පිළිබඳ සජිත් ප්‍රේමදාස ඇතුළු සජබ ජ්‍යෙෂ්ඨයන්ගේ මතය ද ගැටලු සහගතය.

මෙවන් අදහස් පැතිර යමින් පවතින පසුබිමක, සමගි ජන බලවේගයේ සුජීව සේමසිංහ පසුගියදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් මැතිවරණය පිළිබඳ අදහස් දැක්වූයේය. ජනාධිපතිවරණය මගහැරිය නොහැකි බව ඔහු එහිදී සඳහන් කළේය. 

“වර්තමාන ජනාධිපතිතුමා උපරිම උත්සාහයක යෙදෙනවා. එක එක අදහස් ඉදිරිපත් කරලා, ජනමත විචාරණයක් ගැන අදහස් ඉදිරිපත් කරනවා, පළාත් සභා මැතිවරණයක් පිළිබඳ අදහස් ඉදිරිපත් කරනවා, මහ මැතිවරණයක් පිළිබඳ අදහස් ඉදිරිපත් කරනවා. ඔව් අපිට ව්‍යවස්ථානුකූලව මහ මැතිවරණයක් පවත්වන්න අවස්ථාව තියෙනවා. අපි ලෑස්තියි එකටත්. අපි එතුමාට අභියෝගයක් ඉදිරිපත් කරනවා. එතුමට යම් කණ්ඩායමක් පොහොට්ටුවේ හෝ ඉන්නව නම් ඒ අයත් එකතු කරගෙන මහ මැතිවරණයටත් එන්න අපි සූදානම්. ඒ වගේම ඊටත් වැඩිය අපි ජනාධිපතිවරණයට සූදානම්."

මේ අතර පසුගිය සතියේ ජාතික ජන බලවේගය සම්බන්ධව ද දේශපාලන වාර්තා කිහිපයක්ම ලැබී තිබුණි. ඒ අතරින් සුවිශේෂීම කතාව වූයේ පසුගිය සතියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනකු සමඟ කතාබහේදී ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්ට කියූ බව කියැවෙන කතාවකි.

“අපේ කැබිනට් මණ්ඩලය 25 යි. නියෝජ්‍ය අමාත්‍යවරුත් 25 යි."

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක සංයුතිය සකස් වන ආකාරය පිළිබඳ මන්ත්‍රීවරුන් ප්‍රශ්න කරන විට විජිත හේරත් මෙලෙස පිළිතුරු ලබාදී ඇතැයි කියැවේ. මේ අතර දේශපාලන වාර්තා සඳහන් කරන පරිදි, රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සම්බන්ධව විජිත හේරත් මන්ත්‍රීවරයා මේ දිනවල වෙහෙස වී වැඩ කරන බැවින් ඔහු ජාතික ජන බලවේගයේ විදේශ කටයුතු අමාත්‍යවරයා වනු ඇතැයි ඇතැමකු අනාවැකි පළ කර තිබේ.

“එහෙම එකක් නෑ. හැබැයි ඔයාලගේ ආණ්ඩුවේ ඇමැතිවරු වගේ නම් නෙවෙයි අපේ ඇමැතිවරු. ඇමැතිවරුන්ට ඕනෑ ඕනෑ විදිහට වැඩ කරන්න බැහැ. අපි හැම අමාත්‍යාංශයකටම කවුන්සිල් එකක් පත් කරනවා. ඒකට ප්‍රායෝගික වගේම තියරි දන්න අයත් පත්වෙනවා. ඒ අය එකතුවෙලා ගන්න තීරණ ක්‍රියාත්මක කිරීම තමා අමාත්‍යවරයා කරන්න ඕනෑ."

මේ අතර පසුගිය සතියේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා හමුවීමට රටවල් හයක තානාපතිවරුන් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයට පැමිණීම ද වාර්තාගත සිදුවීමක් විය. 

තුර්කි ජනරජයේ තානාපතිනි ඩෙමෙට් සීකර්සිඔග්ලු, පලස්තීන රාජ්‍යයේ තානාපති ආචාර්ය ෂුහයිර් එම්.එච්. දාර් ශයිඩ්, බංග්ලාදේශ ජනරජයේ මහ කොමසාරිස් අරිෆුල් ස්ලාම්, ඉන්දුනීසියානු ජනරජයේ තානාපති ගුස්ටිනා ටොබින්, මැලේසියානු මහ කොමසාරිස් හිෂාම් බීන් ඇඩම් සහ මාලදිවයින් ජනරජයේ වැඩබලන තානාපතිනි ෆාතිමාත් ජීනා යන මහත්ම මහත්මීහු මෙලෙස ජාතික ජන බලවේගය හා සම්මුඛ වූහ.

රට තුළ පවත්නා දේශපාලන හා ආර්ථික වටපිටාව සහ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිය පිළිබඳව මෙහිදී සාකච්ඡා වී ඇතැයි ජාතික ජන බලවේගය සඳහන් කරයි. මේ අතර ඊළඟ විදේශ සංචාරය වෙනුවෙන් අනුර කුමාර දිසානායක මහතා කැනඩාව බලා පිටත්ව යාමට සූදානමින් සිටින බවට ද ආරංචි ලැබෙමින් තිබේ. ඒ සඳහා වන තානාපති මට්ටමේ සාකච්ඡා මේ වන විටත් පැවැත්වෙමින් ඇතැයි කියැවේ.

මේ අතර උතුරේ දෙමළ ජාතික සන්ධානය දෙසින් ද මැතිවරණ අභිමුව දේශපාලන අර්බුදයක් වාර්තා වෙමින් තිබේ. දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානම දේශපාලන පක්ෂය වන ඉලංකයි තමිල් අරසු පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් මෙම අර්බුදය හටගෙන ඇතැයි ඉකුත් සතියේ දැනගැනීමට ලැබුණි.

මේ අනුව දෙමළ ජාතික සන්ධානයේ ඉලංකයි තමිල් අරසු පක්ෂයේ මධ්‍යම කාරක සභා නියෝජිතයන් අතරේ ඡන්ද විමසුමක් පවත්වා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්තිරන් හා සිවඥානම් ශ්‍රීධරන් අතරේය. ඒ පක්ෂ නායකත්වය තෝරාගැනීමේ අරමුණෙනි. මෙහිදී සිවඥානම් ශ්‍රීධරන් වැඩි ඡන්දයෙන් පක්ෂ නායකත්වයට තේරී පත්වී ඇත. ඒ අනුව පසුගිය සතියේ පක්ෂයේ ජාතික මහා සම්මේලනයේ දී නව නායකයා නිල වශයෙන් පත්කිරීමට ද නියමිතව තිබුණි.

එසේ නමුත් මෙම ක්‍රියාවලිය පක්ෂ ව්‍යවස්ථාවට පටහැණි බවට යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට යොමු වූ නඩුවකට අනුව ලැබුණු තහනම් නියෝගයක් මත පක්ෂයේ ජාතික මහා සම්මේලනය පැවැත්වීමට නොහැකි විය. කෙසේ වෙතත් ඇතිවූ අර්බුදකාරී තත්ත්වය මත  ශ්‍රීධරන් මන්ත්‍රීවරයා ද පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ. 

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක සහ අනුර ප්‍රියදර්ශන යාපා අතර තීරණාත්මක දේශපාලන සාකච්ඡාවක් ඉකුත් සතියේ පවත්වා ඇති බවට ද දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි. නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවති මෙම සාකච්ඡාව ඉදිරි මැතිවරණයක දී සන්ධානගත වීම පිළිබඳව සාකච්ඡා වූ බව ආරංචි මාර්ග තහවුරු කරයි. එහෙත් මේ වන විටත් පාඨලී චම්පික රණවක පාර්ශ්ව රුසක් සමඟ මෙවන් සාකච්ඡා පවත්වා ඇති බවට ද වාර්තා ලැබෙමින් තිබේ.

කෙසේ වෙතත් මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු වන අමාත්‍ය මහින්ද අමරවීර සහ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ඇතුළු පිරිසක් එක්ව සිටියහ. ගොඩනැගෙන නව සන්ධානයේ නායකත්වය ඇතුළු ව්‍යුහය සම්බන්ධව ද ලකුණ පිළිබඳව ද මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් සාකච්ඡා පවත්වමින් සිටින බව ආරංචි මාර්ග තහවුරු කරයි.

I චමිඳු නිසල් ද සිල්වා