2024 මාර්තු 02 වන සෙනසුරාදා

පොලිස්පති පත් කිරීම: ව්‍යවස්ථා සභාව ඇතුළේ මොකද වුණේ?

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00 239

ශ්‍රී ලංකා දේශපාලනයේ පත්කිරීම් සහ ඉවත් කිරීම් යනු චීනපටස් සහ අහස්කූරු මෙන් සංදර්ශනාත්මක පිපිරීම් ඇති කරන ප්‍රපංචයන් ද්විත්වයකි. ගෙවී ගිය සතියේ දේශපාලන සංදර්ශනය විෂයෙහිද ආනුභූතිය වී තිබුණේ පත් කිරීම් සහ ඉවත් කිරීම්ය. දේශපාලන අහුමුළු කන්කොන් සිසාරා කතාබහට ලක්වූ පත්කිරීම පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ පත් කිරීමයි.

අප දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ මෙම පත්වීම සම්බන්ධ තොරතුරු කිහිපයක්ම දැන කියා ගැනීමට ලැබුණි. පසුගිය අඟහරුවාදා දිනට පොලිස්පතිවරයාට ලබා දී තිබූ තාවකාලික පත්වීමේ කාලය අවසන් වීමට නියමිත විය. ඒ අනුව ව්‍යවස්ථා සභාව සඳුදා රුස්වූයේම පොලිස්පති ධූරය සඳහා අදාළ නිර්දේශය ලබාදීම පිළිබඳ කථිකා කර ගැනීමේ අරමුණ පෙරදැරිවය.

ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් අට දෙනකු මෙම හමුවට සහභාගි වී ඇති අතර, මෙහි සාමාජිකත්වය දැරෑ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් රැස්වීම සමඟ එක්ව ඇත්තේ සූම් තාක්ෂණය ඔස්සේ බව කියැවේ. කෙසේ වෙතත් මෙහිදී පොලිස්පති ධූරයට දේශබන්දු තෙන්නකෝන් පත් කිරීමට විරෝධය පාමින් කබීර් හෂීම් සිය ඡන්දය භාවිත කර ඇත. ඊට අමතරව පත්කිරීමට විරෝධය පළ කර ඇත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාය.

අප දේශපාලන ආරංචි මාර්ග සහ දේශපාලන කරළියේ සංසරණය වන තොරතුරු අනුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, මන්ත්‍රී සාගර කාරියවසම් සහ එම පක්ෂය නියෝජනය කරමින් ව්‍යවස්ථා සභාවට එක්වූ  වෛද්‍ය අනුලා විජේසුන්දර පොලිස්පති පත්කිරීමට පක්ෂව සිය ජන්දය ප්‍රකාශය කළෝය.

ඒ අනුව යෝජනාවට විපක්ෂව ඡන්ද දෙකකුත් පක්ෂව ඡන්ද හතරකුත් ලැබුණු අතර ව්‍යවස්ථා සභාවේ සිවිල් සංවිධාන නියෝජනය කළ ආචාර්ය දිනේෂා සමරරත්න සහ ආචාර්ය ප්‍රතාප් රාමනුජාම් ඡන්දය ප්‍රකාශය කිරීමෙන් වැළකී සිටියහ. මේ අනුව නිර්මාණය වූයේ අවුල් සහගත තත්ත්වයකි. පොලිස්පති යෝජනාව සම්බන්ධයෙන් විපක්ෂව දෙකක්, පක්ෂව හතරක් සහ ප්‍රකාශ නොකළ ඡන්ද දෙකක් සභාව හමුවේ විය.

මෙහිදී යම් සංවාදයක් හටගෙන ඇතැයි කියැවේ.

“මේ පනතේ හැටියට පක්ෂ නම් පක්ෂයි. විපක්ෂ නම් විපක්ෂයි. අතරමැදි අවස්ථාවක් නැහැ."

පොහොට්ටුවේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මෙහිදී එවැන්නක් සඳහන් කොට ඇතැයි ද දැනගැනීමට ලැබේ. 

කෙසේ වෙතත් කතානායකවරයාගෙන් මේ හා සම්බන්ධව ගත යුතු පියවරක් ප්‍රකාශයට පත්වූ බව ද අදාළ ආරංචි මාර්ග කියා සිටියි.

“අපි මේ ගැන බලලා සුදුසු පියවරක් ගමු"

මේ අනුව ව්‍යවස්ථා සභාව විසිර යාමෙන් පසු කතානායකවරයා නීති විශාරදයන් කිහිප දෙනකුම අමතා ඇති බව කියැවේ.

අවසානයේදී කතානායකවරයා විසින් ව්‍යවස්ථාදායක සභාවේ අදාළ නිර්දේශය සම්බන්ධ ලිපිය ජනාධිපතිවරයාට යොමු කර තිබේ. එය තරමක් සුවිශේෂී ලිපියකි.

“2024 පෙබරවාරි මස 29 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්.ඩී. තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයට පත් කිරීම සඳහා උක්ත ලිපිය මගින් ඔබතුමන් විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශය අද දින පැවැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේ දී සලකා බලන ලදී. එහිදී ඔබතුමන් විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශය අනුමත කරමින් සාමාජිකයන් සිව් දෙනකු ද, එම නිර්දේශය අනුමත නොකරමින් සාමාජිකයන් දෙදෙනකු ද ඡන්දය ප්‍රකාශ කරන ලද අතර අනෙකුත් සාමාජිකයන් දෙදෙනා ඡන්දය ප්‍රකාශ කිරීමෙත් වැළකී සිටින ලදී.

 ඒ අනුව, ඔබතුමන් විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශය අනුමත කිරීම හෝ අනුමත නොකිරීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(ඉ)(4) ව්‍යවස්ථාවේ දක්වා ඇති පරිදි අවම සාමාජිකයන් පස්දෙනකු විසින් සනාථ නොකරන ලදී.

කෙසේ වුවද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(ඉ) ව්‍යවස්ථාව අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමක දී ඡන්දය දීමෙන් වැළකී සිටීමක් සම්බන්ධයෙන් ප්‍රතිපාදන සලසා නොමැති බැවින් නීතිය ඉදිරියේ ඡන්දය දීමෙන් වැළකී සිටීම විපක්ෂ වීමක් ලෙස සලකනු ලබන්නේ නම් හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(ඉ)(5) ව්‍යවස්ථාව අනුව උක්ත ප්‍රශ්නය සම්බන්ධයෙන් සම සමව ඡන්දය ලැබුණා සේ සලකන්නේ නම් සභාපතිවරයා වශයෙන් මාගේ තීරක ඡන්දය ද පක්ෂව ලබා දෙන බව කාරුණිකව දන්වමි."
අප වෙත ලැබුණු තොරතුරු අනුව මෙවන් ප්‍රකාශයක් ඇතුළත් වූ අදාළ ලිපිය ජනාධිපතිවරයා කඩිනමින් නීතිපතිවරයා වෙත යොමු කර ඇත. නීතිපතිවරයා සාපේක්ෂව කතානායකවරයාගේ ප්‍රකාශය අනුමත කරන්නකු හා සමාන වූ බව කියැවේ. ඒ අනුව එදින සවසම ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකෝන් පත්කරනු ලැබීය. අභිනව පොලිස්පතිවරයා වෙත පත්වීම් ලිපිය භාර දී තිබුණේ ජනාධිපති ලේකම්වරයා විසිනි.

කෙසේ නමුත් මෙම පත්කිරීම ආන්දෝලනාත්මක පත්කිරීමක් වූයේය. පත් කිරීමෙන් පැය කිහිපයක් ගත වූ තැන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය X ගිණුමේ සටහනක් තැබුවේය. 

“ව්‍යවස්ථාදායක සභාව පොලිස්පතිගේ පත්වීම අනුමත කළේ නැහැ. ඡන්ද 6ක් ප්‍රකාශ වුණා. ජන්ද 4ක් පක්ෂව සහ ඡන්ද දෙකක් එරෙහිවයි. තීරණයක් ගැනීම සඳහා අවම වශයෙන් ඡන්ද 5ක් අවශ්‍ය වේ. කතානායකවරයාට ඡන්දයක් ඇත්තේ ඡන්දය සම වූ විට පමණි. ජන්ද 4/2 සමවීමක් නොවේ. දෙවැනි වරටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කිරීමක්. ලැජ්ජයි කතානායකතුමනි!"

මෙම ප්‍රකාශයෙන් නොනැවතුණු විපක්ෂ නායකවරයා දේශපාලන වේදිකාවේ පවා ඉකුත් දින කිහිපය තුළදී මෙම තීරණය දැඩි ලෙස විවේචනයට ලක් කළේය. මේ අතර සමගි ජන බලවේගය ඇතුළු පාර්ශ්ව කිහිපයක්ම මෙම පත් කිරීමට එරෙහිව අධිකරණය හමුවට යාමට සූදානම් විය.

කෙසේ වෙතත් පොලිස්පතිවරයා වශයෙන් දේශබන්දු තෙන්නකෝන් පත් කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා මීට පෙර කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශ්ව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 7ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීම පසුගිය සතියේ සිදුවිය. 

මෙහිදී පොලිස්පතිවරයා පත්කිරීමට අදාළ සියලු ලිපි ලේඛන හා දත්ත අධිකරණය හමුවේ ගොනු කිරීමට පාර්ශ්වකරුවන්ට අවසර දුන් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල, අදාළ පෙත්සම් සලකා බැලීම සඳහා අප්‍රේල් මස 02 වැනිදා යළි කැඳවන ලෙසට නියෝග කළේය.

සිවිල් සංවිධාන ඇතුළු පාර්ශ්ව රුසක් සමාජ මාධ්‍ය ඇතුළු විවිධ අවකාශයන් භාවිත කරමින් පොලිස්පති පත්වීමට දැඩි විරෝධයක් පළ කරමින් සිටි බව ඉකුත් සතියේ නිරීක්ෂණය විය. මේ අතර ආණ්ඩුවේ සහ පොහොට්ටුවේ ක්‍රියාකාරීන් පොලිස්පති පත්වීම අනුමත කළ බවද පැහැදිලිව දැකගත හැකි විය. 

මේ අතර පසුගිය සතියේ පොහොට්ටු අර්බුදයේ එක්තරා ජවනිකාවක් මාතලේ දිස්ත්‍රික්කයේදී වේදිකාගත විය. අමාත්‍ය ප්‍රසන්න රණතුංග සතියකට හමාරකට ඉහතදී මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ මුලසුන ගත්තේය. ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කරන "කඳුකර දශකය” ග්‍රාමීය සංවර්ධන වැඩසටහනින් මාතලේ දිස්ත්‍රික්කයට ප්‍රතිපාදන වැඩි කිරීම පිළිබඳව දැනුවත් කිරීම ඔහුගේ අරමුණ විය.

“ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මාට සහයෝගය ලබා දිය යුතුයි"

යන අදහස කොළඹින් මාතලේ ගිය ප්‍රසන්න රණතුංග ඇතුළු පිරිස මෙහිදී සභාගත කොට තිබුණි. මෙහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම පළාත් සභා, පළාත් පාලන ආයතන නියෝජනය කර මහජන නියෝජිතයෝ රුඳී සිටියහ. ආණ්ඩුව නියෝජනය කරන නමුත් මෙම බොහෝ දෙනා පොහොට්ටුවට පක්ෂපාතී අයවලුන් වීම හේතුවෙන්, මෙම අදහස පිළිබඳ එතරම් ප්‍රසාදයට පත් නොවුණි.

මෙම සිදුවීම කන වැකීමත් සමඟ පොහොට්ටුවේ නායකත්වය ද මාතලේ යාමට තීරණය කළේය. ඒ අනුව සාගර කාරියවසම්, නාමල් රාජපක්ෂ, සංජීව එදිරිමාන්න ඇතුළු පිරිසක් මාතලේ සේසත හෝටල වෙත සිය පක්ෂ සාමාජිකයන් කැඳවීමට පියවර ගත්හ.

“ප්‍රසන්න ඇමැතිතුමා කියන දේ අපිට පිළිගන්න බෑ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සහයෝගය ලබා දෙන්න කියලා එතුමා කියන්නෙ"

මාතලේ පාක්ෂිකයන්ගේ විරෝධය මෙහිදී ප්‍රසන්න රණතුංගගේ ප්‍රකාශය වෙත ගොනු වූ බව පොහොට්ටුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

“එහෙම තීරණයක් පක්ෂය අරගෙන නෑ. ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුද කියලා පක්ෂය ප්‍රකාශය කරනවා" 

කොළඹින් පැමිණි පොහොට්ටු ජ්‍යෙෂ්ඨයන් මෙසේ කියන අතර මාතලේ පොහොට්ටු පාක්ෂිකයන් අතරින් පැමිණියේ තරමක් ආන්දෝලනාත්මක යෝජනාවකි. 

“කවුරුවත් ඉදිරිපත් වෙන්නෙ නැත්නම් ඔබතුමා ඉදිරිපත් වෙන්න. දිනුවත් පැරදුණත් අපි ඔබතුමාට සහයෝගය දෙනවා."

යනුවෙන් පවසමින් නාමල් රාජපක්ෂගේ නම යෝජනා කළ පිරිස යෝජනාව මාතලේ දිස්ත්‍රික්කයෙන් ස්ථීර කිරීමටද පියවර ගත්හ.

මේ අතර අමාත්‍ය ප්‍රසන්න රණතුංග දිවයින පුරා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවලට එක්වෙමින් විමධ්‍යගත අරමුදල් බෙදා දීම සම්බන්ධව දැනුවත් කරන්නට විය. මේ ගමනේදී කළුතරට පැමිණි ප්‍රසන්න රණතුංග, රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂක කළ යුතුය යන අදහස නොකී බව ආරංචි මාර්ග තහවුරු කරයි. ඊට හේතු වී ඇත්තේ රෝහිත අබේගුණවර්ධන ඇතුළු පොහොට්ටුවේ ප්‍රබල ක්‍රියාකාරීන් කිහිප දෙනකුම එම සභාවේ රුඳී සිටීමයි.

කෙසේ වෙතත් ගාල්ලේ දී ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා, රමේෂ් පතිරණ අමාත්‍යවරයා ද සිටි බැවින් ජනාධිපතිවරයාට සහයෝගය ලබාදීම පිළිබඳ යම් අදහසක් පළ කර ඇති බව කියැවේ. මෙම නවතම සීතල ගැටුම අතරේ නාමල් රාජපක්ෂ ද ඉකුත් සතියේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පිළිබඳ සිය අදහස ප්‍රකාශයට පත්කර තිබුණි.

“ජනාධිපතිවරයා සමඟ කැබිනට් මණ්ඩලයේ සිටින අපේ අය මෙන්ම රාජ්‍ය අමාත්‍ය ධූර උසුලන අයගෙත් අදහසක් තිබෙනවා, රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති අපේක්ෂකත්වය දිය යුතුයි කියා. තවත් අය තවත් නම් ඉදිරිපත් කරනවා. නමුත් ඒ කිසිවකටත් අප කලබල විය යුතු නැහැ."

තම තමන්ගේ පෞද්ගලික මත ඉදිරිපත් කිරීමේ නිදහස තම පක්ෂයේ තිබෙන බවත් වෙනත් පක්ෂවල මේ ආකාරයට ප්‍රතිවිරුද්ධ මත ඉදිරිපත් කළහොත් පක්ෂ සාමාජිකත්වය පවා තහනම් වන බවත් නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

මේ අතර කළුතර සමගි ජන බලවේගයේ ජගත් -  රාජිත ගැටුම බරපතළ වී ඇති බව පසුගිය සතියේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. පක්ෂ මූලස්ථානයේ පැවැති සාකච්ඡාවකදී දැඩි උද්වේගී ලෙස අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ මතුගම ආසන සංවිධායක ජගත් විතාන විශාල කලබගෑනියකට මුල පුරා ඇතැයි කියැවේ.

කෙසේ වෙතත් මීට පාදක වී ඇත්තේ පසුගිය සතියේ බේරුවල විහාරස්ථානයකදී පැවැති කළුතර දිස්ත්‍රික් භික්ෂු උපදේශක සභාව පිහිටුවීම පිළිබඳ සාකච්ඡාවකදී නිර්මාණය වූ ගැටුමකි.

“රාජිත ඇමැතිතුමාට නාමයෝජනා ලබා නොදුන්නොත් බලාගමු."

යනුවෙන් අයෙක් පැවසීමත් සමඟ නිර්මාණය වූ ගැටුමට ජගත් විතාන, බුලත්සිංහල සමගි ජනබලවේග සංවිධායක, හිටපු පළාත් සභා මන්ත්‍රී ප්‍රසන්න අමරසේකර ඇතුළු පිරිසක් පැටලී ඇතැයි කියැවේ.

මෙම ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස පළමුව හිටපු පළාත් සභා මන්ත්‍රී ප්‍රසන්න අමරසේකර, පසුව ජගත් විතාන ඇතුළු පිරිසව දැඩිව විවේචනය කර තිබේ. ඒ අනුව පසුගියදා පක්ෂ මූලස්ථානයේ පැවැති රැස්වීමකදී ජගත් විතාන, අගලවත්ත සංවිධායකවරයාට විරුද්ධව විනය පියවර ගන්නා ලෙස ඉල්ලමින්, ඉල්ලා අස්වී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර පසුගිය සතියේ කඩවත සමගි ජන බලවේගය විසින් පවත්වනු ලැබූ ජන රැලිය පිළිබඳවද දේශපාලන ආරංචි ලැබෙමින් පවතී. කඩවත ප්‍රදේශය පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ දේශපාලන ක්‍රියාකාරීත්වය පවතින ප්‍රදේශයක් වූයෙන් රැස්වීම සංවිධානයේදීම යම් යම් ගැටලු මතුව ඇතැයි කියැවේ.

“එයා ඔතැනට එනව නම් මම එන්නෙ නෑ."

අප තොරතුරු වාර්තා අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආරම්භයේදීම මෙවන් මතයක සිට ඇත.

“ඔබතුමා මොකටද නෑවිත් ඉන්නේ. ඔබතුමානෙ පක්ෂ නායකයා. ඔබතුමා ඇවිල්ල කතා කරලා එතැන හසුරවන්න."

සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයන්ගේ පැහැදිලි කිරීමෙන් අනතුරුව සජිත් ප්‍රේමදාස මහතා මෙම රැලිය සඳහා සහභාගි වී තිබේ.

කෙසේ වෙතත් මෙම අවස්ථාවට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ද සහභාගී වී ඇත. රැලිය ආරම්භ වී ටික මොහොතකට පමණ පසු පැමිණි ඔහු ඉදිරිපෙළ අසුනක අසුන්ගෙන තිබේ. 

එහිදී රැලිය සංවිධානය කරන්නට යෙදුණු කඩවත සංවිධායක හසිත් ගුණසේකර තමා වෙත කැඳවා පවසා ඇත්තේ මෙවන් කතාවකි.

“මට කතාවක් දාන්න ඕනෑ."

මේ වන විටත් පක්ෂයට විරුද්ධව නඩු මඟට බැස ඇතත් සරත් ෆොන්සේකා කතාවක් ලබා නොදුනහොත් බලෙන් කතා කරන මට්ටමේ බලපෑමක් සංවිධායකවරයා වෙත සිදුකර ඇතැයි කියැවේ.

කෙසේ වෙතත් මෙම රැලිය සඳහා සහභාගී වූ විපක්ෂ නායකවරයා සහ සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයන් සරත් ෆොන්සේකා සමඟ කතාබහ සිතාමතාම මගහැර තිබේ. ඒ අනුව කතාවක්ද නොලැබුණු ෆීල්ඩ් මාර්ෂල්වරයා එම ස්ථානයෙන් නික්ම ගොස් ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය සතියේ ජාතික ජන බලවේගය වෙනත් පක්ෂ සන්ධාන සකස් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ අවධානය යොමුකොට තිබුණි. මෙම සන්ධානය පිළිබඳ ජාතික ජන බලවේගයේ අදහස ප්‍රකාශ කළේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ය. කිසිදු සන්ධානයකට ජාතික ජන බලවේගය එකතු වන්නේ නැති බවත්, ජනතාව ප්‍රතික්ෂේප කළ පිරිස් පණ ගසා ගැනීම සඳහා සන්ධාන නිර්මාණය කරමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබුණි.

“මේ හැමදෙනාටම අභියෝගය වී තිබෙන්නේ ජාතික ජන බලවේගය බව එයින් යළි යළිත් තහවුරු වෙනවා. ඒ නිසා අපට සතුටක් දැනෙනවා. අලුත් සන්ධාන හැදුවත්, අලුත් නම් දැම්මත්, ඉන්නේ පරණ මිනිස්සුමයි. ඔවුන් අලුතින් කියාගෙන යන්නේ “මේක අලුත් අත්හදා බැලීම් කරන්න කාලයක් නොවෙයි” කියලා. ඒකෙන් කියන්නේ පරණ කට්ටියම තියාගන්න කියලා. මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස ඇතිවෙන්නම අත්හදා බලලයි තියෙන්නේ. ඒගොල්ලෝ ෆේල්, රට විනාශ කළ අය බව කවුරුත් දන්නවා."

මේ අතර ජාතික ජන බලවේගය වෙත ඉහළ නළු නිළි ආකර්ශනයක් ඇති බව ඉකුත් සතියේ පෙනී ගියේය. බොහෝ නළු නිළියන් කලාකරුවන් ජාතික ජන බලවේගය වෙනුවෙන් වේදිකාවට ගොඩවෙන අයුරු දැක ගැනීමට ලැබුණි. පසුගිය සතියේ ගම්පහ පැවැති ජාතික ජන බලවේගයේ කාන්තා සමුළුවට අලුතින් නිළියන් කිහිප දෙනකුම ඉදිරිපත් වී සිටින අයුරු දැකගත හැකි විය‍.

මෙරට කීර්තිමත් දේශපාලනඥයකු මෙන්ම හිටපු මුදල් අමාත්‍යවරයකු ද වූ රොනී ද මෙල් අඟහරුවාදා පස්වරුවේ අභාවප්‍රාප්ත විය. 98 වැනි වියේ පසු වූ ඔහු කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී දිවි ගමන නිමා කර තිබුණි.
1977 වසරේ සිට 1988 වසර දක්වා වසර 11ක් පුරා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන රජය යටතේ මුදල් අමාත්‍ය ධූරය දැරුවේ රොනී ද මෙල් මහතා විසිනි. ශ්‍රී ලංකා අයවැය ඉතිහාසයේ වැඩිම වාර ගණනක් අයවැය ඉදිරිපත් කළ මුදල් අමාත්‍යවරුන් දෙදෙනාගෙන් රොනී ද මෙල් එක් අයෙකි. අනෙක් අය නම් මහින්ද රාජපක්ෂ ය. ඔවුන් දෙදෙනාම 11 වරක් බැගින් අයවැය ඉදිරිපත් කර ඇත.

සමස්ත දකුණු ලකටම අභිමානයක් වූ රුහුණු විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට පුරෝගාමී චරිතය වූයේ රොනී ද මෙල් මහතාය. සිය අවසන් කටයුතුද රුහුණු විශ්වවිද්‍යාල පරිශ්‍රයේ සිදු කරන ලෙස ඒ මහතා විශ්වවිද්‍යාලය වෙත දැනුම් දී ඇතැයි කියැවේ. එසේම තමන්ගේ දේහය පාර්ලිමේන්තුව වෙත රුගෙන නොයා යුතු බව ද ඒ මහතා සඳහන් කොට තිබේ.

ඒ අනුව පසුගියදා රොනී ද මෙල් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මාතර රුහුණු විශ්වවිද්‍යාල භූමියේදී පැවැත්වුණි.

ඒ මහතාගේ දේහයට ගෞරව දැක්වීමට වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය ඇතුළු මැති ඇමැතිවරුන් විශාල පිරිසක් එක් වූහ.

I චමිඳු නිසල් ද සිල්වා