2024 පෙබරවාරි 24 වන සෙනසුරාදා

රහස් හමුවේදී එළියට පැන්න කතාව

 2024 පෙබරවාරි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00 360

මෙරට දේශපාලනය කුමන වේගයකින් භ්‍රමණය වන්නේද කා වටා පරිභ්‍රමණය වන්නේද යන්න අවබෝධ කර ගැනීම පහසු කටයුත්තක් නොවේ. ඒ කවරක් වෙතත් මේ සියලු භ්‍රමණයන් පරිභ්‍රමණයන් හේතුවෙන් පීඩාවට පත්ව සිටින්නේ මහජනයාය.

ත්‍රෛනිකායික මහනාහිමිවරුන් පසුගිය සතියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුවිශේෂී ලිපියක් එවා තිබුණි. රාජ්‍ය සම්පත් පෞද්ගලීකරණය කිරීම හේතුවෙන් මහජන සේවාවන් බිඳවැටී සමාජ අනාරක්ෂිතතාවක් නිර්මාණය වීමේ අවදානම පිළිබඳ ජනපතිගේ අවධානය යොමු කිරීම නාහිමිවරුන්ගේ අවශ්‍යතාවය විය.

“රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමට වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ සමාජය තුළ දැඩි විවේචනයක් පවතී. එම ක්‍රියා පටිපාටිය තුළ විනිවිදභාවයක් නොතිබීම මෙන්ම මහජන අදහස් හා යෝජනා පිළිබඳ අවධානය යොමු නොකොට ප්‍රතිව්‍යුහගත කිරීමේ ව්‍යාජයෙන් රාජ්‍ය සම්පත් විකුණා දැමීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවත් ඒ තුළින් මහජන සුබසාධනය, ජාතික හා සමාජ ආරක්ෂාව පිළිබඳ දැඩි අවිනිශ්චිතතාවක් උද්ගත වන බවත් මහජනතාවගේ අදහසයි." යනුවෙන් අරඹා තිබුණු මෙම ලිපිය රාජ්‍ය ආයතන විදේශයන් වෙත විකුණා දැමීම පිළිබඳව කරුණු සහිත ප්‍රබල විරෝධයක් ගොනු කර තිබුණි. ඒ නිසාවෙන්ම විජාතිකකරණය නමින් ප්‍රබල දේශපාලන සංවාදයක් කෙමෙන් නිර්මාණය වන්නට පටන් ගත්තේය. මෙම සංවාදයේ දිගුවක් ලෙස පැවැති රහස් සාකච්ඡාවක් පිළිබඳව තොරතුරු අප වෙත අනාවරණය විය.

අප ආරංචි මාර්ග තහවුරු කරන පරිදි මෙම හමුව පවත්වා ඇත්තේ කොළඹ අවට පිහිටි විහාරස්ථානයකය. කොළඹ අවට ප්‍රදේශ රුසක ජාතික වශයෙන් කීර්තියක් උසුලන නාහිමිවරුන් දස නමක් මෙම විහාරයට වැඩම කොට තිබේ. එම හිමිවරුන් විසින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, සාගර කාරියවසම් ඇතුළු පොහොට්ටුවේ ප්‍රධානීන් පිරිසක් තමන් අභිමුවට කැඳවා ඇතැයි කියැවේ.

කෙසේ වෙතත් මෙම සාකච්ඡාව රහසිගතව පැවැත්වීමටත්, මාධ්‍ය වෙත තොරතුරු වාර්තා නොකිරීමටත් මෙම පාර්ශ්ව ප්‍රවේසම් වූ බව පෙනී යයි. ඒ අනුව මෙම හමුවේ නිශ්චිත තොරතුරු අනාවරණය නොවන නමුත් මහ නාහිමිවරුන්ගේ ප්‍රකාශය පදනම් කරගෙන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තීන් පිළිබඳ මෙහිදී සාකච්ඡා වී ඇතැයි කියැවේ.

“එක්සත් ජාතික පක්ෂයේවත්, රනිල් වික්‍රමසිංහ මහත්තයගෙවත් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ජනවරමක් නැහැ. ලක්ෂ 69 ක් දෙනා ඡන්දෙ දුන්නේ මේ විජාතිකකරණයට එරෙහිව. ඒ නිසා කරුණාකරලා මේ කටයුත්ත නවත්තන්න"

කටුනායක, රත්මලාන, මත්තල ගුවන් තොටුපොළවල් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ඇතුළු ආයතන විදේශීය පෞද්ගලික අංශය වෙත ලබාදීමට ඉඩ නොතබන ලෙස මෙහිදී භික්ෂු පිරිස පොහොට්ටුවේ නායකත්වයට දැඩි ලෙස අවධාරණය කොට ඇතැයි දැනගන්නට ලැබේ.

“ඔබතුමා යුද්දේ ඉවර කරලා මේ රට බේරගත්තා. අපි ඔබතුමා ගැන විශ්වාසය තියල තමා මේ ජනවරම දුන්නේ. වික්‍රමසිංහ මහත්මයාගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න දෙන්න බැහැ."

මේ ආදී විවේචන හමුවේ පොහොට්ටුවේ නායකයන් අටදෙනා ද විවිධ කරුණු දැක්වීම් සිදුකර ඇතැයි කියැවේ. කෙසේ වෙතත් මෙම සිදුවීම ඉදිරි දේශපාලනය කෙරෙහි තීරණාත්මක ලෙස බලපානු ඇතැයි පැහැදිලිය.

මෙම සාකච්ඡාවෙන් දින කිහිපයකට පසුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මුණගැසුණේ පාර්ලිමේන්තුවේදීය. මේ වන විටත් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට මෙම සාකච්ඡාව පිළිබඳ කනින් කොණින් දැනගන්නට ලැබී තිබුණි. 

ඒ අනුව ආණ්ඩුවේ ප්‍රතිපත්තිවලට භික්ෂු විරෝධය පිළිබඳ දැන කියාගන්නට ජනපතිට අවශ්‍ය වී ඇත. 

“කොළඹ පන්සලක සාකච්ඡාවක් තිබුණා කියලා ආරංචියි, මොනවද හාමුදුරුවෝ කියන්නෙ?"

ඒ අනුව වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඍජුවම රාජපක්ෂ හිටපු ජනාධිපතිවරාගෙන් විමසා ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මෙහිදී සාකච්ඡාව පිළිබඳ තරමක් දුරට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වර්තමාන ජනාධිපතිවරයාව දැනුවත් කර ඇති බව කියැවේ.

මේ අතර පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ සතියේ ආසන්න දිනක ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුණි. කෙසේ වෙතත් පොහොට්ටු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ බැසිල් රාජපක්ෂගේ ආගමනය තරමක් පමා විය හැකි බවකි.

“ජනාධිපතිවරණයද මහ මැතිවරණයද පවත්වන්නේ කියන කාරණාව පිළිබඳ කොහෙවත් එකඟතාවයක් නැහැ. එතුමා ආවොත් මේ ගැන කතා කරල තීරණයක් ගන්න වෙනවා."

බැසිල් රාජපක්ෂගේ ප්‍රමාදය පිළිබඳ සංවාදයේදී දේශපාලන කරළියේ ඇතැම් තැනක එවන් කතාද කියැවුණි. ඒ අනුව බැසිල් පමා වන්නේ මෙම සාකච්ඡා සම්බන්ධ යම් ඇල්මැරීමක් වෙනුවෙන් බව ඇතැමෙක් සඳහන් කළහ. කෙසේ වෙතත් දිනෙන් දින කවර හෝ මැතිවරණයකට දින ළං වන බැවින් ආණ්ඩුවේ අභ්‍යන්තර දේශපාලන උණුසුම එන්න එන්නම වර්ධනය වෙමින් තිබේ.

මේ අතර සමගි ජනබලවේගය ද පුළුල් පරාසයක් තුළ තම දේශපාලන ක්‍රියාකාරකම් සිදු කරමින් සිටියේය. දේශපාලනයෙහිලා භික්ෂු සාධකය හැසිරවීම පිළිබඳ සමගි ජනබලවේගයේ කැපීපෙනෙන ප්‍රයත්නයක් පසුගිය සතියේ දැකබලා ගත හැකි විය. ඒ අනුව "විනයගරුක සමාජයක් උදෙසා" යන තේමාව යටතේ මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් ක්‍රියාත්මක ‘භික්ෂු උපදේශක සභාවේ’ තුන්වැනි අදියර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සංවිධානය විය. මේ සඳහා භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් එක්ව සිටියහ.

මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තම පියාණන් පිළිබඳව ද සිහිපත් කරමින් කතාවක් කළේය.

“දළදා හාමුදුරුවන්ට බෝම්බ ගහපු කණ්ඩායම්වලට අපේ රට ගොඩනගන්න පුළුවන්ද? පවුල්වාදය කේන්ද්‍ර කරගත් ගජමිතුරු දේශපාලනය තුළින් ආර්ථික ත්‍රස්තවාදීන් පිරිසක් අද රටම ලියාගෙන. ඒ නිසා මේ රට ආර්ථික ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීමේ මානුෂිය මෙහෙයුම සංඝරත්නයේ මූලිකත්වයෙන් කිරීමට අපි අදහස් කළා."

මේ අතර සමගි ජනබලවේගය අභ්‍යන්තරයේ ජනපති රනිල් වික්‍රමසිංහ හිතෛෂී පාර්ශ්ව පිළිබඳ දැඩි විවේචනයක් නිර්මාණය වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේය. මේ අතර සමගි ජනබලවේගයෙන් පාර්ලිමේන්තු පැමිණි නමුත්, පසුව වෙනත් අදහස් දරමින් තවදුරටත් විපක්ෂයේ රුඳී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ම පාර්ලිමේන්තුවේ තමන් හට ලැබෙන කාලය පිළිබඳ මැසිවිලි නගන්නට වූහ. 

“අපිත් විපක්ෂ මන්ත්‍රීවරු, විපක්ෂයට ලැබෙන කාලයෙන් අපිටත් පාර්ලිමේන්තුවේ කතා කරන්න කාලය වෙන් වෙන්න ඕනෑ."

සරත් ෆොන්සේකා, පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න, ඒ.එච්.එම්. ෆවුසි, වඩිවේල් සුරේෂ්, ඉෂාක් රහුමාන්, කුමාර වෙල්ගම ආදී චරිත මෙලෙස කාලය නොලැබෙන ලැයිස්තුව අතර කියැවිණි.

මේ පිළිබඳව සමගි ජන බලවේගය පාර්ශ්වයෙන් දේශය විමසීමක් කළේය.

“අපි පාඨලී චම්පික රණවක මැතිතුමාට වෙලාව දෙන්න හිතාගෙන ඉන්නවා. රාජිත සේනාරත්නටත් වෙලාව ලබා දෙනවා. හැමෝටම එහෙම වෙලා නෑ. ඒත් පක්ෂයේ නායකත්වයක් විනයක් තකන්නෙ නැතුව කටයුතු කරන අයට පක්ෂයේ වෙලාව ලබාදෙන එක සාධාරණ ද කියලා ප්‍රශ්නයක් තියෙනවා."

කලකිරීමෙන් සිටින සමගි ජනබලවේගයේ ෆොන්සේකා, රාජිත, තලතා, කබීර් ඇතුළු කිහිප දෙනා පිළිබඳ සමගි ජනබලවේගය මේ දිනවල දැඩි උනන්දුවෙන් කටයුතු කරන බවද කියැවේ. කෙසේ වෙතත් ඔවුන්ගේ ඉදිරිය පිළිබඳ පැහැදිලි නොමැති බව සජබ ජ්‍යෙෂ්ඨයෝ සඳහන් කරති.

“ඒ අය මුකුත් කියන්නෙත් නෑ. වෙන්නේ මොකක්ද කියලා දන්නෙත් නෑ."

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමඟ අහෝසි වූ කමිටු අනූ හතරක් වෙත නැවත සාමාජිකයන් පත් කිරීම දිගින් දිගටම කල් යමින් තිබේ. මෙම තනතුරු සඳහා පිරිස් පත් කිරීම ඉකුත් සතිය තුළ ද සිදු නොවීය.

“අපි හිටපු සාමාජිකයන්ව පත් කරන්න කියලා ලැයිස්තු යවලා තියෙන්නේ."

පොහොට්ටුව පාර්ශ්වයෙන් මේ පිළිබඳව කියැවෙන්නේ එවන් කතාවකි. කෙසේ වෙතත් ඇතැම් චරිත නැවත පත්කිරීම පිළිබඳ යම් මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත් හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා මෙවර ගැටලුවකින් තොරව මුදල් කමිටුවට යෝජනා විය.

එහෙත් කෝප් කෝපා කමිටුවල තත්ත්වය තරමක් බරපතළ බව ආරංචි මාර්ග සඳහන් කරයි. එහි සභාපතිවරුන් පත්කිරීම සම්බන්ධව යම් ගැටලුවක් නිර්මාණය වීමට ඇති ඉඩකඩ බොහෝය. කෙසේ වෙතත් මෙම පත්කිරීම් සම්බන්ධව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙවන් අදහසකි.

“මේ කමිටුවල මන්ත්‍රීවරුන් තෝරාගන්නෙ බහුතර සාමාජිකයන්ගේ කැමැත්තෙන්. ඒකට කාටවත් බලපෑම් කරන්න බෑ."

මේ අතර විපක්ෂයෙන් නම් කරන කමිටු සාමාජිකයන් පිළිබඳව ද යම් යම් ගැටලු නිර්මාණය වී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. විශේෂයෙන්ම පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාට කමිටු සභාපති ධූරයක් අහිමිවීම පිළිබඳ උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි කියැවේ.

එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු වූ කැබිනට් අමාත්‍යවරයකු මෙන්ම පළාත්  මහාමාත්‍යවරයකු ලෙසද කටයුතු කළ ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ දිවි ගමනට සමුදීම ගෙවී ගිය සතියේ කාගේත් අවධානය දිනාගත් සිදුවීමක් විය. 
මෙම ආරංචිය ලැබුණු විගස ජනපති පළාත් ආණ්ඩුකාර ලෂ්මන් යාපා අබේවර්ධන අමතා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

“අවමංගල්‍ය සඳහා අවශ්‍ය සියලු පහසුකම් පළාත් සභාවෙන් සපයන්න. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඒ ගැන බලාගනියි."

ආරංචි මාර්ග සඳහන් කරන පරිදි ජනපතිගේ උපදෙස් අනුව පළාත් සභාව විසින් මෙම අවමංගල්‍ය සඳහා අවශ්‍ය පහසුකම් සපයා දී තිබේ.

ජනපති රනිල් වික්‍රමසිංහගේ සමකාලීනයකු වූ ගාමිණී ජයවික්‍රම පෙරේරා 1977 සිට වික්‍රමසිංහ මහතා සමඟ පාර්ලිමේන්තුවේ කටයුතු කොට තිබේ. එසේම හෙතෙම මෙරට පළාත් සභා විෂයෙහි කාර්යශූර මහ ඇමැතිවරයකු ලෙසද ප්‍රකටය. ඒ අනුව මෙම අවමංගල්‍ය උත්සවය සඳහා ජනපති, විපක්ෂ නායක ඇතුළු ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෝ රුසක් සහභාගි වූහ. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද ක්‍රමයෙන් දේශපාලන වශයෙන් සක්‍රීය වීමට උත්සාහ දරන බව ඉකුත් සති කිහිපය පුරාවටම පෙනී ගියේය. කෙසේ වෙතත් මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛව ගොඩනැගීමට සූදානම් වන සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව ගැටලුවක් නිර්මාණය වී ඇති බව ආරංචි මාර්ග පවසයි.

“ජනාධිපති නීතිඥ  විජයදාස රාජපක්ෂ මහත්මාට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබාදීම සුදුසුයි."

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ සැලකිය යුතු පිරිසක් පළමු අදියරේදී මෙම යෝජනාවට කැමැත්ත පළ කර ඇතැයි කියැවේ. කෙසේ වෙතත් නැවතත් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබා දිය යුතු බවට ද පසුව යෝජනා වී ඇත. 

“මට තමයි අත්දැකීමයි පළපුරුද්දයි කියන්නෙ. ඒ නිසා මට අපේක්ෂකත්වය ලැබිය යුතුයි."

මෙම සන්ධානයේ ආරංචි මාර්ග පවසන පරිදි හිටපු ජනාධිපතිවරයා මෙවන් ආකල්පයක සිටින බවද කියැවේ. ඒ අනුව සන්ධානයේ නායකත්වය සහ අපේක්ෂකත්වය පිළිබඳ තවමත් අවසන් විසඳුමක් ලැබී නොමැත.

මේ අතර පසුගිය සතියේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක බී.බී.සී සිංහල සේවය සමඟ ද සාකච්ඡාවකට එක්විය. රට ගොඩනැගීමට ඉදිරිපත් කරන වැඩපිළිවෙළ, ඒ සඳහා ජාතික ජන බලවේගය වටා සිටින කණ්ඩායම, විදේශ ප්‍රතිපත්තිය, ආර්ථික උපාය මාර්ග ආදී ක්ෂේත්‍ර ගණනාවක් ගැන ඔහු මෙම සංවාදයේදී අදහස් පළ කර තිබුණි.

මෙහිදී ජාතික ජන බලවේගයෙන් අනාගත කැබිනට් මණ්ඩලය පිළිබඳව සංවාදයක් නිර්මාණය වී තිබුණි. එහිදී අනුර කුමාර දිසානායක මහතා විසින් අමාත්‍යංශ කිහිපයක් සඳහා යෝජනා කරන ලද පුද්ගල නාම ද යෝජනා කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය – විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, නලින් ද ජයතිස්ස, මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන

අධ්‍යාපන අමාත්‍යංශය – උපාලි පන්නිල, හරිනි අමරසූරිය, ආචාර්ය අරුණ කරුණාතිලක

මුදල් අමාත්‍යාංශය (ආර්ථික) – මහාචාර්ය අනිල් ජයන්ත, මහාචාර්ය හර්ෂණ, මහාචාර්ය සීතා බණ්ඩාර, සුනිල් හඳුන්නෙත්ති, වසන්ත සමරසිංහ

මේ අතර පසුගිය සතියේ ජාතික ජන බලවේගයද යම් ගැටලුවකට මැදි විය. මැතිවරණ කොමිසම විසින් ජාතික ජනබලවේගය ලියාපදිංචි කර ඇති ආකාරය නීති විරෝධී බව කියා පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගියෝය. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කළ මෝසම කරුණු තහවුරු කිරීම සඳහා මාර්තු මස 04 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 21 වැනිදා නියෝග කර තිබුණි.

විනිවිද පෙරමුණ දේශපාලන පක්ෂයක් වශයෙන් ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කිරීමට මැතිවරණ කොමිසම ගත් තීරණයට එරෙහිව ගොනු කර තිබෙන රිට් පෙත්සමකට අදාළව නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් මෙම මෝසම ඉදිරිපත් කර තිබේ. එම මෝසම තුළින් නාගානන්ද කොඩිතුවක්කු මහතා කියා සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණේ කොටසක් වන ජාතික ජනබලවේගය දේශපාලන පක්ෂයක් වශයෙන් ලියාපදිංචි කිරීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැණි බවය.

මේ අතර සෙනසුරාදා තවත් තීරණාත්මක දේශපාලන සිදුවීමකට ඉඩකඩ වෙන් විය. 

“ශක්තිමත් ආර්ථිකයක් - ජයග්‍රාහී ගමනක්" යන තේමාව යටතේ ලංසා කඳවුරේ නව සන්ධානය විසින් සංවිධානය කරනු ලබන ජන රුලි මාලාවේ දෙවැනි පියවර පෙබරවාරි 24 වැනි දින කොළඹ හයිඩ් පාර්ක් පිටියේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට තිබුණි.

නව සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් නායක අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත්, වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු, මෙහෙයුම් නායක අනුර ප්‍රියදර්ශන යාපා, නව සන්ධාන නිර්මාතෘ නිමල් ලංසා, පියංකර ජයරත්න ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගි වන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මෙම රැලිය සංවිධානය කිරීමෙහිලා පෙරමුණ ගෙන සිටීම සුවිශේෂී විය. මෙහිදී නැගෙනහිර හා කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රබල දේශපාලනඥයන් කිහිප දෙනකු නව සන්ධාන වේදිකාවට ගොඩවීමට නියමිතව ඇති බව නව සන්ධාන ආරංචි මාර්ග සඳහන් කළේය.

කලක පටන් කිසිවකු අත නොගැසූ අවුල් ජාලයක් විසඳීමට ඉකුත් දා ජනපති අතගසා තිබුණි. නිත්‍යනුකූල නොවන ආකාරයට ජාතික සම්මාන සහ ගෞරව නාම පුද්ගලයන් වෙත ලබා දීම, එසේ ගෞරව නාම ලබාගැනීම හෝ භාවිත කිරීමට එරෙහිව නිත්‍යනුකූල පියවර ගැනීමට ජනාධිපති ලේකම් කාර්යාලය සූදානම් විය. ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අදාළ විෂය පිළිබඳ කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ මේ හා සම්බන්ධ නීතිමය පියවර ගන්නා ලෙසය.

එක් එක් නිශ්චිත නිර්ණායක පදනම් කරගනිමින් විධිමත් ක්‍රමවේදයකට අනුව තෝරාගනු ලබන සුවිශේෂී ශ්‍රී ලාංකික පුරවැසියන් වෙත ජනාධිපතිවරයා විසින් පිරිනමනු ලබන ජාතික සම්මාන හා ගෞරව නාම සඳහා යොදාගන්නා නාමයන් භාවිත කරමින් විවිධ පුද්ගලයන් සහ රාජ්‍ය නොවන සංවිධාන මගින් සම්මාන, සන්නස් පත්‍ර හා සහතික ලබා දෙන අවස්ථා ජනාධිපති කාර්යාලයේ නිරීක්ෂණයට ලක්වීමත් සමඟ මෙම ක්‍රියාමාර්ගය ඔවුහු අනුගමනය කිරීමට සූදානම් වෙති.

I  චමිඳු නිසල් ද සිල්වා