2024 පෙබරවාරි 17 වන සෙනසුරාදා

චන්ද්‍රිකා යළිත් පාර මාරු කරයි!

 2024 පෙබරවාරි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00 394

මුහුද හත්ගව්වක් තබා අමුඩය ගසාගත් ඇත්තෝ දැන් කිසිදු තදියමකින් තොරව හීන්සීරුවේ නාකියා ගන්නට වෙරළ වෙත ඇදෙන්නෝය. ජනාධිපතිවරණය පිළිබඳ වූ අපේක්ෂාවන් තරමක් ප්‍රශ්නගත විය. ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් පැමිණේදැයි සැකයක් දේශපාලන කරළියේ ඇතැම් තැනක ඇතිව තිබුණි. කෙසේ නමුත් පෙර සතිවලට සාපේක්ෂව ගෙවී ගිය සතිය තරමක් දේශපාලනික සන්සුන් බවක් ඉසිලුවේය.

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳ මතභේදය කෙමෙන් වැඩිදියුණු වෙමින් පවතින බවක්  ඉකුත් සතියේ පෙනී ගියේය. පොහොට්ටුවේ යාවජීව සාමාජිකත්වයද ආරක්ෂා කර ගනිමින් ජනපතිට ළං වී කටයුතු කරන මැති ඇමැතිවරුන් සහ ඍජුවම පොහොට්ටුවට පමණක් පක්ෂපාතී මන්ත්‍රීවරුන් අතර කෙමෙන් අර්බුදයක් දලුළා වැඩෙන්නට විය.

“පොහොට්ටුව ජනාධිපතිතුමාට සහයෝගය ලබා නොදුන්නොත්, පාර්ලිමේන්තුව විසුරුවලා මහ මැතිවරණයක් කැඳවන්න ඕනෑ"

ජනපති හිතෛෂී පොහොට්ටුවට ද සම්බන්ධ පිරිසක් එවන් යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි දේශපාලන කරළියේ ආරංචි පැතිර යමින් තිබුණි. 

මෙවන් පසුබිමක ජනාධිපතිවරණය කල් දැමීමට ආණ්ඩුවේ කිසිදු සූදානමක් නොමැති බව ප්‍රකාශ කරමින් කරළියට පැමිණියේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගය.

“අද තියෙන්නේ රටේ ආර්ථික අර්බුදයක්. මේක භාරගන්න කාටවත් කොන්දක් තිබුණේ නැහැ. පාර්ලිමේන්තුවේ තනි මිනිහා වුණු රනිල් මහත්තයා ඇවිත් මේක භාර ගත්තා. කොන්දේසි විරහිතව අපි එතුමට උදව් කළා. ආපස්සට හැරිලා බලද්දි අපිට සතුටු වෙන්න පුළුවන්. රට වෙනුවෙන් හරි දේ හැමදාම අපේ නායකයෝ කරලා තියෙනවා. මේ වෙලාවෙත් පොහොට්ටුවේ නායකයෝ නිවැරදි තීන්දුව නිවැරදි මොහොතේ ගනිවි”

පසුගියදා ඔස්ට්‍රේලියානු සංචාරය අතරතුරදී ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි මැතිවරණ පිළිබඳ මාධ්‍යයට ස්ථිර පිළිතුරක් ලබා දී තිබුණි.

“මේ වසරේ මැතිවරණ පැවැත්වෙනවද?”
“ඔව්.. ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය යන මැතිවරණ දෙකම"
“කොතරම් සුබවාදීද? ඔබ නැවත තරග වැදීමට සූදානම්ද?”
“මම නැවත පැමිණීමට නම් තරග වැදිය යුතුයි"
“තරග වැදීමට සැලැස්මක් තිබෙනවාද? කුමක්ද ඔබේ සැලැස්ම?"
“මම ආවේ ආර්ථිකය නැවත යහපත් මට්ටමකට ගැනීමට. මගේ පළමු වගකීම වෙන්නෙ බංකොලොත්භාවයෙන් මිදීමට අවධානය ලබා දීම"

ජනපතිගේ මැතිවරණ ව්‍යාපෘතියේ සියුම් තැන් කෙමෙන් විද්‍යමාන වන්නට පටන්ගෙන තිබුණි. දැනට රෝගාතුරුව පසුවන හිටපු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ සුවදුක් විමසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගියේ ඉකුත් ඉරිදාය. ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ කටුගම්පොළ පිහිටි නිවෙසට ගිය ජනාධිපතිවරයා හිටපු අමාත්‍යවරයාගේ සුවදුක් විමසමින් කෙටි කතාබහක නිරත වූයේය.

මෙම ගමනේ ප්‍රතිඵල දැනගැනීමට ලැබුණේ තවත් දින කිහිපයක ඇවෑමෙනි. ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ පුතණුවන් වන අසංක පෙරේරා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ප්‍රාදේශීය සභාවට සහ වයඹ පළාත් සභාවට මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් වූ අයෙක් විය. එහෙත් ඔහු පසුගිය කාල වකවානුවේ සමගි ජන බලවේගයට එක්ව සිටියේය. ඒ අනුව සමගි ජන බලවේගයේ කටුගම්පොළ ආසනයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කරමින් සිටියේ ඔහුය.

එහෙත් ජනපතිගේ ගමනින් පසු අසංක පෙරේරා යළිත් ජනාධිපතිවරයාට සහාය දක්වමින් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී නැවත පක්ෂ සාමාජිකත්වය ලබා ගත්තේය.

“නැවත මා මගේ මහ ගෙදර වන සිරිකොතට ඇවිත් පක්ෂ සාමාජිකත්වය ගත්තා. එජාපය කියන්නේ මගේ පියා වන ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා කලින්ම දේශපාලනයට එක් වූ පක්ෂය. අවුරුදු එකහමාරකට ඉස්සර තිබුණු තත්ත්වය අද වෙනස් කරලා මේ රට බංකොලොත්භාවයෙන් මුදාගෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ යන ගමනට අපි සහාය දිය යුතු වෙනවා."

පසුගිය සතිය වන විට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද දේශපාලන වශයෙන් කෙමෙන් සක්‍රීය වෙමින් සිටින බව දැකගත හැකි විය. කෙසේ වෙතත් ඉකුත් සතියේ වාර්තා වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛව පිහිටවූ පොදුජන එක්සත් පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ නායකත්වය බාර ගැනීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ කාර්යාලය නිවේදනය කළේය.

“පසුගිය දින කිහිපය පුරා ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ජනපති අපේක්ෂකවරුන්ට තමා ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය ලබාදීමට තීරණය කර ඇති බවට ජනමාධ්‍යවල පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එතුමිය ප්‍රකාශ කර සිටියි. මේ වනතුරු කිසිදු අපේක්ෂකයකුට සහාය ලබා දීමට එතුමිය තීරණය කර නොමැත.

තවද පොදුජන එක්සත් පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ නායකත්වය එතුමිය භාර ගන්නා බවට වාර්තා පළ වුවත්, ඒ සම්බන්ධයෙන් ද එතුමිය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවද අවධාරණය කර සිටිමු."

මේ අතර ජනාධිපතිවරණය කල් දැමීමේ කුමන්ත්‍රණයක් පිළිබඳව ද ඉකුත් සතියේ තොරතුරු වාර්තා වන්නට විය. ඒ බව හෙළි කළේ පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ය. කිසිවිටෙකත් කල් දැමිය නොහැකි බවට ප්‍රකාශ වන ජනාධිපතිවරණය ද කල් දැමීම සඳහා උප්පරවැට්ටියක් ක්‍රියාත්මක බව ඔහු කීවේය.

“විපක්ෂ නායකතුමා මීට මාස කිහිපයකට කලින් ප්‍රකාශ කළා, අපි විධායක ජනාධිපති ධූරය අහෝසි කරනවට පක්ෂයි, හැබැයි ඒ හරහා ජනතාවට ආණ්ඩුව පෙරළීමට තියෙන අවස්ථාව නැතිවෙන නිසා පාර්ලිමේන්තුවත් ඒ එක්කම විසුරුවා හරින්න ඕනෑ කියලා. දැන් විපක්ෂයේ අවශ්‍යතාවය ආණ්ඩුව දන්නවා" 

“විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ පනතෙම දානවා අන්තර්කාලීන විධිවිධානයක්, විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ සංශෝධන යෝජනාව නීතියක් බවට පත්වන මොහොතේම පාර්ලිමේන්තුව විසුරුවා හරී කියලා"

මේ අනුව ජනාධිපතිවරණය වෙනුවට මහ මැතිවරණය පැවැත්විය හැකි පසුබිමක් නිර්මාණය විය හැකි බවද උදය ගම්මන්පිල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළේය.

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම පිළිබඳ වූ සංවාදයට මැදිහත් වීමට පසුගියදා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සිදුවූයේ මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේය. 

''විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕනෑ කියලා කියනවා. ඔබතුමාගේ මතය කොහොමද?'' 
“අවුලක් නෑ. මම හිටපු එකනේ. මම දැන් ඒක භුක්ති විඳලා ඉවරයි. හැබැයි ඉතින් ඒක නැති කළොත් හොඳයි. අද රටම කියන්නෙ ඒක නැති කරන්න කියලනෙ”
''මේක ජනාධිපතිවරණය කල් දාගන්න කරන උගුලක් කියලා විපක්ෂයෙන් කියනවා?''
“වෙන්නත් පුළුවන් ඉතින්. රනිල්ව අඳුනනවානෙ අපි. ඒක වෙන්නත් පුළුවන්''
''සර් ඉදිරි මැතිවරණ කොහොමද?''
''මොන මැතිවරණය ආවත් අපි දිනනවා. ජනාධිපතිවරණය ආවත් අපේ අපේක්ෂයා දිනනවා, මහ මැතිවරණය තිබුණත් ඒත් අපේ අපේක්ෂකයො දිනනවා”

මෙම සංවාදයේදී මාධ්‍යවේදීන් පොහොට්ටුවේ අපේක්ෂකයා පිළිබඳවද හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේය. 

“ඒක අපි වෙලාවට නම් කරන්නම්කො. ඉන්නකො”

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ ඉන්දියානු සංචාරකට එක්වීම ඉතා හොඳ බවද හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය. එසේම ජාතික ජන බලවේගයට තිබූ රැල්ල මේ වන විට බිඳී ඇතැයිද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරයා පළ කළ මෙම අදහස් මේ වන විටත් දේශපාලන කරළියේ සංවාදයට ලක්වෙමින් පවතී. මේ හරහා ඉදිරි දේශපාලනය පිළිබඳ ඉඟි කිහිපයක්ම ලැබෙන බව ඇතැම් පාර්ශ්ව සඳහන් කරති.

පසුගිය සතිය සමගි ජන බලවේගයට සුවිශේෂී වූයේ සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ දේශපාලන දිවියට 35 වසරක් සම්පූර්ණ වීම හේතුවෙනි. රංජිත් මද්දුමබණ්ඩාර මහතා පළමුවරට පාර්ලිමේන්තු පැමිණියේ 1989 වසරේ පෙබරවාරි 16 වැනිදාය. අඛණ්ඩව ජාතික දේශපාලනයේ රුඳී සිටින මද්දුමබණ්ඩාර මහතා අභියෝග රැසක් මැද දේශපාලනය සිදු කළ පුද්ගලයෙකි.

හැටේ දශකයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ ඔහුගේ පියා 1964 වසරේ දී ඝාතනය වූ බව කියැවේ. ජේ.ආර්. ආණ්ඩුවේ අමාත්‍යවරයකු වූ ධර්මදාස බණ්ඩා මහතා මද්දුමබණ්ඩාර මහතාගේ බාප්පා කෙනෙකි. 

රංජිත් මද්දුමබණ්ඩාර මහතා දේශපාලනයේ සලකුණුගත ස්ථාන කිහිපයකම සිය නම සටහන් කිරීමට සමත් වූ දේශපාලනඥයෙකි. සමගි ජන බලවේගය නිර්මාණය කිරීම එහිලා ප්‍රමුඛය. 

විටෙක එක්සත් ජාතික පක්ෂයෙන් මැතිවරණයට තරග වදින විට, ඔහුව පරාජය කිරීමට පක්ෂ නායකයන් ඔහුගේ දිස්ත්‍රික්කයටම පැමිණ උත්සාහ දැරූ අයුරු අපට මතකය. කෙසේ වෙතත් එදා මෙදාතුර ඉහළ ජන ප්‍රසාදයක් ලද දේශපාලනඥයකු ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතා තවදුරටත් සක්‍රීය දේශපාලනයේ නියුතුව සිටියි.

“අවුරුදු තිස් පහක් කියන්නේ ලොකු කාලයක්. අපි මේකට ලොකු උත්සවයක් සංවිධානය කරමු"

පසුගිය දිනවල පක්ෂයෙන් මෙන්ම ආධාරකරුවන්ගෙන්ද රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙත විවිධ ඉල්ලීම් ඉදිරිපත්ව තිබිණි.

“ජනතාව අපහසුතාවයෙන් ඉන්න වෙලාවේ ජනතාවට උදව් කරනවා හැරෙන්න ලොකු උත්සව සංවිධානය කරලා තේරුමක් නෑ"

මද්දුමබණ්ඩාර මහතා සැමරුම් පැවැත්වීම ප්‍රතික්ෂේප කළද පසුගියදා ඔහුගේ නිවෙසට පැමිණි පාක්ෂිකයන් ඇතුළු පිරිස් මෙම සුවිශේෂී අවස්ථාව සමරා ඇතැයි කියැවෙයි. 

ජාතික ජන බලවේගය සිය දේශපාලන ප්‍රචාරණ ව්‍යාපෘතිවල ශීඝ්‍රතාවය තවත් වැඩි කරමින් සිටින බව ඉකුත් සතියේ පෙනී ගියේය. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක කෙරෙහි දේශපාලන කරළියේ අවධානය යොමුව තිබුණේ නිතැතිණි.

“අපි සියයට තිහේ තිස්පහේ කවදාවත් නතර වෙන්නෙම නැහැ. එක්කො සියයට දහයට අඩුයි. එක්කො සියයට පනහට වැඩියි"

සමාජ මාධ්‍ය සංවාදයකට එක්වෙමින් අනුර කුමාර දිසානායක කී මෙම කතාව දේශපාලන කරළියේ විවිධ න්‍යායන් ඔස්සේ විග්‍රහ කර ගැනීමට පිරිස් කටයුතු කරමින් සිටියහ.

ජාතික ජන බලවේගයේ ඉන්දීය සංචාරය පිළිබඳව බොහෝ පාර්ශ්ව පළ කළේ අකැමැත්තකි. මෙම සංචාරය පිළිබඳ විවේචන මෙන්ම විග්‍රහයන් ද රැසක් දැකගත හැකි විය. 

ඒ අනුව සංචාරය පිළිබඳ කරුණු දැක්වීමේ විශේෂ මාධ්‍ය හමුවක් ජාතික ජන බලවේගයේ විධායක සභිකයන් වන ජාතික ජන බලවේගයේ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් විසින් පවත්වා තිබුණි.

“ඉන්දියානු ආණ්ඩුව මේ ආරාධනය කළේ හදිසියේ නොවෙයි. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ නිල වශයෙන් මේ ආරාධනය කළත්, අපේ දේශපාලන කටයුතු අතරතුර කාලසටහනක් හදාගන්න යම් කාලයක් ගත වුණා. ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය මගින් අප ඉන්දියානු ආණ්ඩුවට පෙබරවාරි මාසයේ මුල ගමනට සූදානම් බව දැන්වුවා. අපට ලැබුණේ දින දහයක ආරාධනයක් වුවත්, අපේ පැත්තෙන් දින පහකට සීමා කිරීමට සිදුවී ඇති බව දැන්වුවා. ඒ නිසා මේ ගමන කිසිසේත්ම හදිසියේ යොදාගත් එකක් නොවෙයි"

මේ අතර ජාතික ජන බලවේගය පිළිබඳ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරන් තවත් අපූරු කතාවක් කියා තිබුණි. ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණයෙන් පසුව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා වීමට වැඩි ඉඩක් ඇති බව ඔහු පැවසීය. කෙසේ වෙතත් ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා නියත වශයෙන්ම ජනාධිපති ධූරයට පත්වනු ඇති බව ද ඔහු කීය. 

“දේශය වෙනුවෙන් එක්වන පියවරක්" පාඨලී චම්පික රණවකගේ නව වැඩසටහන කොළඹ දී එළිදුටුවේ ඉකුත් ආදරවන්තයන්ගේ දිනයේදීය. මෙම වැඩසටහන වෙනුවෙන් දේශපාලන පසමිතුරන් ද එක්ව සිටීම සුවිශේෂී විය.

“දේශය වෙනුවෙන් එක්වන පියවරක්, ප්‍රායෝගික වැඩපිළිවෙළක්. රට සංවර්ධනය කරමින්, ජනතාවගේ ජීවන තත්ත්වය නැංවීමට අවශ්‍ය සැලසුම් එහි අන්තර්ගතයි. එය අතිශය ප්‍රායෝගික වැඩපිළිවෙළක්. ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව සමඟ ඉදිරියේදී සාකච්ඡා කිරීමට ද නියමිතයි. එක්සත් ජනරජ පෙරමුණෙහි ස්ථාවරය වන්නේ, යහපාලන මාර්ගෝපදේශ සහ වෙනත් උපදේශන ද ඇතුළත් වන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා තිරසර ආර්ථික වර්ධනයකට අනුකූල වන පරිදි සංශෝධනය කර, ක්‍රියාත්මක කළ යුතු බවයි"

දත්ත තොරතුරු විග්‍රහ කිරීම් සහ විශ්ලේෂණ සහිත පාඨලීගේ ඉදිරිපත් කිරීම තරමක් සුවිශේෂී විය. මෙහි පැමිණ සිටි සමගි ජන බලවේගයේ ආචාර්ය හර්ෂ ද සිල්වා පවා මෙහි අන්තර්ගතය පිළිබඳ සටහන් තබා ගත්තේය.

මෙම අවස්ථාවට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම, ඩලස් අලහප්පෙරුම, අනුර ප්‍රියදර්ශන යාපා, දුමින්ද දිසානායක, සාරතී දුෂ්මන්ත, මහින්ද අමරවීර, සුසිල් ප්‍රේමජයන්ත, රවුෆ් හකීම්, ලසන්ත අලගියවන්න, හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, කරු ජයසූරිය, පාලිත රංගේ බණ්ඩාර, චරිත හේරත්, තිලංග සුමතිපාල, ඒ.එච්.එම්. ෆවුසි, ෆේරියල් අෂ්රොෆ්, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, අර්ජුන රණතුංග යන මහත් මහත්මීන් ඇතුළු දේශපාලන නියෝජිතයෝ රැසක් සහභාගි වූහ.

මෙහිදී ඇතැමකු කියා තිබුණේ "ජාතික ජන බලවේගයේ තර්ජනයට උත්තර දෙන්න පාඨලී වෙනම වැඩපිළිවෙළක් හදනවා." යනුවෙනි. කෙසේ වෙතත් පාඨලී චම්පික රණවක මේ වන විටත් ප්‍රධාන ධාරාවේ පක්ෂ සහ කණ්ඩායම් රැසක් සමඟ පෞද්ගලික මට්ටමින් සාකච්ඡා කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය සතිය වන විට ලංසා කඳවුර, සිය නව සන්ධානය කොළඹ දී පැවැත්වීමට සූදානම් වන ජන හමුව පිළිබඳ වැඩි අවධානයක් යොමුකර ගැනීමේ ව්‍යාපෘතියක අවතීර්ණ වී සිටියේය. ආණ්ඩුවේ ක්‍රියාකාරී පාර්ශ්වය තමන් බව පෙන්වීම ඔවුන්ගේ අභිප්‍රාය වූ බව කියැවුණි. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ හිටපු නගරාධිපතිවරයකු සහ පළාත් පාලන මන්ත්‍රීවරුන් 100 කට ආසන්න පිරිසක් මෙම ජන හමුව සඳහා සහභාගි වන බව රාජගිරිය පක්ෂ මූලස්ථානය කියා සිටියේය.

නව සන්ධානයේ කොළඹ ජන රුලිය සංවිධානය කිරීමේ වැඩි බරක් හිටපු ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර  වෙත යොමුවිය. සති කිහිපයකට ඉහත ඔහු නව සන්ධානය වෙනුවෙන්, හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් ධූරයට ද සමු දුන් බව වාර්තා විය.

එම කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පැවති දේශපාලන මණ්ඩල කමිටුවක් පිළිබඳව රාජගිරිය පක්ෂ මූලස්ථානය හරහා දැන ගැනීමට ලැබුණි. සුසිල් ප්‍රේමජයන්ත්, අනුර ප්‍රියදර්ශන යාපා, නලින් ප්‍රනාන්දු, නිමල් ලංසා, සිරිපාල අමරසිංහ, සුගීෂ්වර බණ්ඩාර ඇතුළු පිරිසක් මේ සඳහා එක්වූහ.

“කොහොමද දැන් රැස්වීමට එන මිනිස්සුන්ට අවශ්‍ය පහසුකම් ටික? අපේ වැඩේ ගැන කතා කළාම මොකද කියන්නේ" නිමල් ලංසා මන්ත්‍රීවරයා එහිදී විමසා තිබේ.

“මේ ටිකේම අපි ආසනවල දුවනවා ඇමැතිතුමා, ජාඇල අපේ පළවැනි වැඩේ හොඳටම තිබුණු නිසා කොළඹ ජනතාවගේ ලොකු උනන්දුවක් තියෙනවා. පළාත් පාලන මන්ත්‍රීවරු බර ගාණක් කතා කරනවා දැනටමත්"

රැස්වීම සංවිධානය සඳහා මූලිකත්වය ගෙන සිටින සුගීෂ්වර එලෙස ලංසාට පිළිතුරු ලබා දී තිබේ. මෙහිදී අමාත්‍ය නලින් පවසා ඇත්තේ මෙවන් කතාවකි.

“ජාඇල වැඩේට මාලිමාවත් හොඳටම බය වුණා. මොකද අපි සෙනඟ ගෙනල්ල පෙන්නුවේ ඒ අය රැස්වීම තිබ්බ තැනටමනේ. වෙන කිසි පක්ෂයකට බැරි වුණා එතැන රැස්වීමක් තියාගන්න"

ඉදිරි සතිය මෙම රැස්වීම හේතුවෙන්ද තවත් උණුසුම් වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. ගෙවී යමින් පවතින්නේ සංක්‍රාන්තික දේශපාලන සමයකි.

I චමිඳු නිසල් ද සිල්වා