2024 පෙබරවාරි 10 වන සෙනසුරාදා

ඉන්දීය නායකයන් මුණගැසීමට පොරකන අපේ දේශපාලන ලොක්කෝ

 2024 පෙබරවාරි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00 231

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය  ආරම්භ කිරීම ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවූයේ පෙබරවාරි 07 වැනිදාය. නව වසරේ සුවිශේෂී දේශපාලන පරිච්ඡේදයක් ආරම්භය එහිදී සනිටුහන් විය. මෙවර සැසිය ආරම්භ කිරීමේදී සිදුවූ සුවිශේෂී සිදුවීම වූයේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම ආරම්භ කරන විට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් සමඟ සභාගැබෙන් පිටව යෑමයි.
කෙසේ වෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරමින් ආර්ථිකය පිළිබඳව වැදගත් කරුණු රැසක් හෙළි කළේය.

“දිගුකාලීන වේදනා හා දුෂ්කරතාවයකින් තොරව අප රටේ ආර්ථිකය ප්‍රතිසාධනය කරගන්න හැකි වුණා. ග්‍රීසියට දිගු කලක් වේදනා විඳින්නට සිදුවුණා. ඔවුන්ට ආර්ථිකය ප්‍රකෘතිමත් කරගන්නට වසර දහයක් ගත වුණා. අපට කෙටි කලකදී සුවිශේෂ ජයග්‍රහණ ලබාගන්නට හැකිවීම ලෝක වාර්තාවක්.

එය අහම්බ සිද්ධියක් නොවේ. ඉතා පරිස්සමෙන් සැකසූ සියුම් ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමෙන් ඒ තත්ත්වය උදාකර ගත්තා. අපට අවාසි වුණත් රටට හිතකර තීන්දු ගැනීමට අප පසුබට වුණේ නැහැ. පෞද්ගලික අභිලාෂ පසෙකලා රට වෙනුවෙන් තීරණ ගත්තා."

ඉදිරියේදී ජනතාවට හිමිවන සහන පිළිබඳව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. අඩු ආදායම්ලාභී ජනතාවට සහනයක් වශයෙන් එක් පවුලකට සහල් කිලෝ විස්සක් ලබන උත්සව සමයේදී ලබා දෙන බව ජනාධිපති කීය.

මේ වර්ෂයේ අස්වැසුම හරහා ලක්ෂ 24ක ජනතාවට ප්‍රතිලාභ ලබාදීමට අපේක්ෂා කරන බවද මෙමගින් රටේ පහළම තලයේ වෙසෙන ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට හැකියාව ලැබෙන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
විපක්ෂ නායකවරයා ඇතුළු සමගි ජන බලවේගයේ පිරිසක් මෙම කතාවට ඇහුම්කන් නොදී පිටව ගියද රාජිත සේනාරත්න, කුමාර වෙල්ගම, ෆිල්ඩ් මාර්ෂල්  සරත් ෆොන්සේකා, ඉෂාක් රහුමාන්, වඩිවෙල් සුරේෂ්, ඒ.එච්.එම්. ෆවුසි සහ  ෆයිසල් කාසිම් ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්  දස දෙනෙක්  සභා ගර්භයේ දිගටම රුඳී සිටියහ.

මෙහිදී සිදුවූ තවත් අපූරු සිදුවීමක් පිළිබඳ දේශපාලන ආරංචියක් ලැබුණි. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගයේ පිරිස සමඟ නික්ම නොයාම පිළිබඳව බුද්ධික පතිරණ මන්ත්‍රීවරයාට ගැටලුවක් මතුව තිබේ.

“අපි යමු.. අපි යමු.. අපේ කට්ටිය ඔක්කොම යනවා" 

බුද්ධික පතිරණ සරත් ෆොන්සේකා හට දිගින් දිගටම ඇවටිලි කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත් ෆොන්සේකා ඊට අනුකූලතාවක් දක්වා නොමැත. බොහෝ වෙලා පෙරුත්ත කිරීම සිදුවුවත් අවසානයේ සරත් ෆොන්සේකාගේ පිළිතුර තරමක් රළු කෙටි පිළිතුරක් වූ බව කියැවේ.

“මම එන්නෙ නැහැ"

මේ අතර පසුව තහවුරු වූ පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය අරඹමින් කළ කතාවෙන් අනතුරුව සරත් ෆොන්සේකා සහ ජනපති අතර හමුවක් සිදුව ඇත.

ජනාධිපතිවරයා සහ සරත් ෆොන්සේකා මහතා අතර හමුව විනාඩි විස්සකට ආසන්න කාලයක් පැවැති බව කියැවේ. මෙම හමුවේදී සාකච්ඡා වූ කරුණු මෙතෙක් අනාවරණය වී නොමැති නමුත්, ෆොන්සේකා සජබයෙන් ඉවත් කර තමා වෙත ළං කර ගැනීමට වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉක්මන් නොවනු ඇති බව දේශපාලන තලයේ අහුමුළු කතා අතර කියැවේ. සජබ අභ්‍යන්තර ගැටුම් වර්ධනය කිරීමට ෆොන්සේකා සජබය තුළම රුඳවීමට ජනපති කටයුතු කරනු ඇති බවට අනාවැකි පළ වේ. 

දේශපාලන කරළියේ උණුසුම අනපේක්ෂිත ලෙස ඉහළ යෑම හේතුවෙන් පොහොට්ටුවේ අභ්‍යන්තර දේශපාලන සංවාදය කෙමෙන් බරපතළ වන්නට විය. ඉකුත් සතියේ ජනපති හා පැවැති සාකච්ඡා ඊට හේතුවක් විය. මේ අතර පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ සිය ඇමෙරිකානු නිවාඩුව තරමක් කෙටි කර ගැනීමට තීරණය කළ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

“එතුමා එන්න හිටියේ මාර්තු මාසේ. ඒ වුණාට මේ තියෙන තත්ත්වය එක්ක පෙබරවාරි විසි ගණන්වල ලංකාවට එනවා" 

පොහොට්ටුව දෙසින් අසන්නට ලැබුණේ එවන් කතාවකි. බැසිල් රාජපක්ෂ නැවත පැමිණි පසු පොහොට්ටු සන්ධානය ශක්තිමත් කිරීමේ කටයුතු අරම්භ වනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

“බැසිල් ආවට පස්සේ ජනාධිපති අපේක්ෂකයා සූදානම් කරන එකයි, ජනාධිපතිවරණයට අවශ්‍ය කටයුතු මෙහෙයවන එකයි සිද්ධ වෙයි"

මෙවන් වටපිටාවක පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම්ගේ අදහස අනුව පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ නොවන බව කියැවේ.

කෙසේ වෙතත් මේ වන විටත් පොහොට්ටුව සඳහන් කර ඇති පරිදි ජනාධිපතිවරණ අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීම අප්‍රේල් මාසයේදී සිදුවනු ඇත. ජනපති සිය තීරණය දැනුම් දීම අප්‍රේල් මාසය දක්වා කල් දමා ඇත. මේ අතර පොහොට්ටුවේ නිල නොවන අපේක්ෂකයා ලෙස ව්‍යාපාරික ධම්මික පෙරේරා සිය මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපෘතිය සීරුවට අරඹා ඇතැයි කියැවේ.

“පොඩි සමීක්ෂණයක් කරගෙන යනවා ගමේ ජනතාව වෙනුවෙන් සම්පූර්ණ කළ යුතු මූලික අවශ්‍යතා මොනවද කියලා. ඒ අවශ්‍යතා හඳුනාගෙන වැඩපිළිවෙළක් සකස් කිරීම තමා අරමුණ"

ආරංචි මාර්ග අනුව මෙම සමීක්ෂණය හරහා ලබාගන්නා තොරතුරු අනුව ධම්මික පෙරේරා පාර්ශ්වය යම් වැඩපිළිවෙළක් සකසනු ඇත. මේ හා සම්බන්ධව දැනට සකසා ඇති වැඩපිළිවෙළ මූලික කාරණා විසි පහකින් සමන්විත බව කියැවේ. එම වැඩපිළිවෙළ පක්ෂය වෙතත් සමාජ සංවාදයටත් විවෘත කිරීමට ධම්මික පෙරේරා සූදානමින් පසුවන බව ආරංචි මාර්ග තහවුරු කරයි.

මේ අතර DP Education ව්‍යාපෘතිය හරහා ගම්මාන වෙත සමීප වීමටත්, එහි අධ්‍යාපනය හදාරන දරුවන්ට රුකියා අවස්ථා සලසා දීමටත් ඔහු කටයුතු කරමින් සිටින බව කියැවේ. මේ අනුව පොහොට්ටුවේ ජනපති අපේක්ෂක ධූරය තමා වෙත ලබාගැනීමේ ඉහළ අපේක්ෂාවක් ධම්මික සතුව ඇති බව පෙනී යයි.

පසුගිය සතියේ තවත් ඉහළ අවධානයක් දිනාගත් සිදුවීමක් වූයේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ඉන්දියානු සංචාරයයි. අනුර කුමාර දිසානායක ඇතුළු කණ්ඩායම ඉන්දීය සංචාරයක් සඳහා පෙබරවාරි මස 05 වැනිදා (අද) අලුයම ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් තිබුණි.

ඉන්දීය රජයෙන් කරනු ලැබූ විශේෂ ආරාධනයකට අනුව නිරත වන මෙම සංචාරය පිළිබඳ මෙරට දේශපාලනඥයන්ගේ මෙන්ම ඉන්දීය මාධ්‍යවලද විශේෂ අවධානයක් යොමුව තිබුණි. නවදිල්ලිය බලා පැමිණි ජාතික ජන බලවේගයේ (NPP) නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් අතර සිදුවූ හමුව ඉහළ අවධානයක් දිනා ගත්තේය.

ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා සිය X ගිණුමේ සඳහනක් තබමින් පවසා සිටියේ ද්විපාර්ශ්වික සම්බන්ධතා පිළිබඳ මෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් හුවමාරු කරගත් බවයි.

අනුර කුමාරගේ ඉන්දියානු සංචාරය පිළිබඳ ශ්‍රී ලංකාව තුළ වූ විචාර විවේචන මෙතෙකැයි කිව නොහැකි විය. ජනාධිපතිවරණ අපේක්ෂකයන් අතරින් ඉදිරියෙන් සිටින්නේ අනුර කුමාර දිසානායක බව ඉන්දියානු මාධ්‍ය උපුටා දක්වමින්, ජාතික ජන බලවේගය සනාථ කිරීමට උත්සාහ දරමින් සිටියේය. මේ අතර අනුර කුමාර දිසානායකට සහ ජාතික ජන බලවේගයට එරෙහි පිරිස් ද මෙම සංචාරය පිළිබඳ විවේචනාත්මක අදහස් මතු කළහ.

“ජනතා විමුක්ති පෙරමුණ වෙනත් මතයකට ඇවිත්. පන්ති පහේ ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන කතා කරපු ජවිපෙ මේ වන විට ඉන්දියානු සංචාරයක ගිහින් උදම් අනමින් කතා කරනවා"

මෙලෙස පවසා තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂය. පසුගිය කාලයේ ජනතා විමුක්ති පෙරමුණේ ඉන්දියානු විරෝධය නිසා බොහෝ සංවර්ධන ව්‍යාපෘති රටට අහිමි වූ බවත් ජනතා විමුක්ති පෙරමුණ මැදිහත් වී අහිමි කළ සාම්පූර් බලාගාරය ඊට හොඳම නිදසුනක් බවත් ඔහු කීය.  

මෙම සංචාරයෙන් පසුව ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද ඉන්දීය රජයේ සම්බන්ධීකරණයෙන් ඔස්ට්‍රේලියා සංචාරයක් සඳහා පිටත්ව ගියේය. මෙම සංචාරයේ අරමුණ වූයේ 07 වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගී වීමයි. මෙම සමුළුව පෙබරවාරි 09 සිට 10 දින දක්වා ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී පැවැත්වීමට නියමිතය.

ඉන්දියානු සාගර සමුළුවේ ප්‍රධාන දේශනය සිදු කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නමින් වෙන්ව තිබූ අතර, ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මෙම සමුළුව සඳහා ජනපතිට ආරාධනා කර ඇති බව කියැවුණි. ඒ අනුව මෙම සංචාරය අතරේදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර විශේෂ සාකච්ඡා පැවැත්වෙනු ඇතැයි කියැවේ.

මේ අතර ඉන්දියාව ශ්‍රී ලංකාව පිළිබඳ මේ දිනවල විශේෂ අවධානයකින් කටයුතු කරන බව පැහැදිලි වන තවත් ආරංචි කිහිපයක්ම ලැබුණි. ඒ අනුව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන්, ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ ආරාධනාවක් පරිදි එළැඹෙන මාසයේ මුල් සතියේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ඉන්දීය සංචාරයක නිරත වනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. ඊට අමතරව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ දේශපාලනඥයන් කිහිප දෙනකුම ඉන්දියාව වෙත කැඳවා සබඳතා තර කරගැනීමේ සූදානමක් ඉන්දීය රජය සතු බව දැනගැනීමට ලැබේ.

සමගි ජන බලවේගය අභ්‍යන්තරයේ ක්‍රමයෙන් ඔඩුදුවමින් පවතින අර්බුදයක් පිළිබඳ ඉඟි ඉකුත්දා පැවැති විරෝධතාව අතරතුර දකින්නට ලැබුණු බව දේශපාලන කරළියේ වූ කතාන්දර අතර අසන්නට ලැබුණි.

“එදා සජබ ප්‍රධාන චරිත පහ හයක්ම පේන්න හිටියේ නැහැ"
“සරත් ෆොන්සේකා හිටියේ වික්ටෝරියා පාක් එකේලු. වැඩේ ඇතුළ දැක්කේ නෑ"
“ගයන්තලා එහෙම කොහේ හිටියද දන්නේ නෑ"

සමගි ජන බලවේගය තුළ ජනපති හිතෛශී පාර්ශ්ව සිටින බවත්, ඔවුන් ජනපති පාර්ශ්වය සමඟ සාකච්ඡා කරන බවත් පසුගියදා පැවැති සම්මුඛ සාකච්ඡාවකදී සජබ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා යම් පමණකට පිළිගෙන තිබුණි. මෙවන් ආරංචි පැතිර ගියේ එවන් පසුබිමකය.

කෙසේ වෙතත් සමගි ජන බලවේගය සමඟ හිටපු ආරක්ෂක අංශ ප්‍රධානීන් එක්වීම රුල්ලක් වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. හිටපු හමුදාපති දයා රත්නායක මහතාගේ එක්වීමෙන් පසු විශ්‍රාමික නාවික හමුදාපති දයා සඳගිරි මහතා ද පසුගියදා සමගි ජන බලවේගය සමඟ එක්විය. තවත් හමුදා ජ්‍යෙෂ්ඨයන් රැසක් සජබ සමඟ එක්වෙනු ඇතැයි කියැවේ. කෙසේ වෙතත් මෙම තත්ත්වය පිළිබඳ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා එතරම් සතුටු සිතකින් පසු නොවන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර පසුගිය සතියේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා මෙම අර්බුදකාරී තත්ත්වය පිළිබඳ පළමු වරට ප්‍රසිද්ධ ප්‍රතිචාරයක් දක්වා තිබුණි. 

“මම තොත්ත බබෙක් නෙවෙයි. මම වසර ගණනාවක් දේශපාලනයේ අත්දැකීම් ලබපු පුද්ගලයෙක්. ඒ නිසා අරයව ගන්න එපා, මෙයාව ගන්න එපා, අරයව ගත්තොත් මම යනවා කියන්න එපා. යන්න ඕනෑ නම් යන්න. මොකද, බලාගෙන ඉන්නවා පෝලිමේ එන්න"

කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීන්දු තීරණ විවේචනය කරන අයට විරුද්ධව තරාතිරම නොබලා විනය පරීක්‍ෂණ පවත්වන බවත්, ඍජු තීන්දු තීරණ ගැනීමේදී තමා කාටවත් බය නොමැති බවත් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පවසා තිබුණි.
පසුගිය සතියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධානව ගොඩනගන, පුටුව ලකුණෙන් එන පොදුජන එක්සත් පෙරමුණ සන්ධානය පිළිබඳව තොරතුරු කිහිපයක්ම අනාවරණය විය. පොදුජන එක්සත් පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ නායකත්වයට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පත් කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවේදනය කළේය.

පොදුජන එක්සත් පෙරමුණේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා පැවැති එහි විධායක සභා රුස්වීමේදී මේ තීරණයට එළඹ ඇති බව කියැවේ. පොදුජන පෙරමුණු ව්‍යවස්ථා සංශෝධනය යටතේ නායකත්ව මණ්ඩලයේ 25% ක නියෝජනයක් හා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ 50% ක බලයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිවනු ඇත. ශ්‍රීලනිප ආරංචි මාර්ග තහවුරු කරන පරිදි පොදුජන එක්සත් පෙරමුණේ නව නිලධාරී මණ්ඩලය ලබන 22 වැනිදා පත් කිරීමට නියමිතය.

ජනපති ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ කල් තැබීමේ විවාදයක් ද පැවැත්වුණි. පාර්ලිමේන්තුව තුළදී මෙන්ම පාර්ලිමේන්තුවෙන් පිටතදී ද ජනපතිගේ ප්‍රකාශය සම්බන්ධ විවිධ දේශපාලනඥයන් සහ පක්ෂ නායකයෝ ප්‍රතිචාර දැක්වූහ.
මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතා ජනපතිගේ ප්‍රකාශය පිළිබඳ කියා තිබුණේ මෙවන් කතාවකි.

“රට ගොඩගැනීම සඳහා හැම දෙනාම එකතු විය යුතුයි කියන යෝජනාව ජනාධිපතිතුමා අවංකවම කරනව නම්, එතුමා විපක්ෂ නායකවරයා සහ අනෙකුත් පක්ෂ නායකයන් සමඟ මේ කාරණාව සුහදව සාකච්ඡා කළ යුතුයි"

සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තු පැමිණි රාජිත සේනාරත්න මහතා ධනාත්මක ප්‍රවේශයකින් ජනපතිගේ කතාවට ප්‍රතිචාර දැක්වූයේය.

“විනාශ කරපු රටේ යම් ගොඩනැගීමක් දැන් සිද්ධ වෙනවා. ඒක තමා අපි පිළිගන්න ඕනෑ යථාර්ථය. මෙතැනදි අපි ඒක කඩාකප්පල් කිරීමට ලෑස්ති නෑ"

ඔහුගේ මෙම ප්‍රකාශය හේතුවෙන් පක්ෂය දැඩි තීන්දු ගනීදැයි මාධ්‍යවේදීන් රාජිත සේනාරත්න මහතාගෙන් පෙරළා ප්‍රශ්න කළේය.

“ඒක ප්‍රශ්නයක් නෑ. මම පක්ෂ කීයකට විරුද්ධව ක්‍රියා කළාද? මට එක ප්‍රතිපත්තියක් තියෙනවා. මම ඒ ප්‍රතිපත්තිය තුළ ඉදිරියට යනවා"

මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ජනපතිගේ ප්‍රකාශය ඉතා ඉහළින් අගය කොට තිබුණි.

“සුරංගනා කතා මුකුත් නෑ. ඒ දත්ත මත පදනම් වෙලා අපි අනාගතය ගැන කතා කරනවා"

සජබය පාර්ලිමේන්තුව වර්ජනය පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නොදැන්වූ බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබුණි.

“අපිට ඒ ගැන පණිවිඩයක් දුන්නේ නැහැ. මටවත් ලේකම්තුමාටවත්, අඩු වශයෙන් කෝල් එකක්වත් ආවේ නෑ මෙහෙම ක්‍රියාමාර්ගයක් ගන්නව කියල"

සමගි ජන බලවේගයේ තිස්ස අත්තනායක, එස්.එම්. මරික්කාර් ඇතුළු පිරිස් මෙම ප්‍රකාශය පිළිබඳ ප්‍රබල විවේචන එල්ල කර තිබුණි. ඒ අතරම කුමාර වෙල්ගම, විග්නේෂ්වරන් ආදී විපක්ෂ මන්ත්‍රීවරුන් යම් සාධනීය ප්‍රවේශයකින් ජනපති ප්‍රකාශය පිළිබඳ අදහස් දක්වා තිබුණි.

මේ අතර ලංසා කඳවුරේ නව සන්ධානයද සිය දේශපාලන කටයුතු වෙනුවෙන් ඉතා සක්‍රීය බව එම සන්ධානයේ ආරංචි මාර්ග සඳහන් කළේය. ඒ අනුව නව සන්ධානයේ දෙවැනි මහජන රැලිය ලබන 24 වැනිදා කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වීමට මේ වන විට කටයුතු සූදානම් වෙමින් ඇතැයි දැනගන්නට ලැබේ. අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ නායකත්වයෙන් සහ සුගීෂ්වර බණ්ඩාර මහතාගේ සංවිධානත්වයෙන් මෙහි කටයුතු සිදුකරන බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙවර මහජන රැලිය සඳහා අලුත් මුහුණු කිහිපක් එකතු වීමටද නියමිත බවත් ඉන් දෙදෙනකු නැගෙනහිර පළාත නියෝජනය කරන සහ ජන ප්‍රසාදයක් දිනාගත් දේශපාලන නායකයන් බවත් ලංසා කඳවුර අනාවරණය කරයි. ජාතික ජන බලවේගයේ ජනරැලිවලට අභියෝග කිරීම මෙම ජනරැලි මාලාවේ අරමුණ වී ඇති බව ද දැන ගැනීමට ලැබේ.

“මෙච්චර කල් මාලිමාව තනියම පිට්ටනියේ සෙල්ලං කරපු නිසා ඒ අයගේ සෙනග විතරයි පෙනුණේ. දැන් ඒ පිට්ටනියේම අපි සෙල්ලං කරනකොට මාලිමාවේ සෙනග අඩුයි වගේ පේනවා"

ඒ අනුව නිමල් ලංසා පසුගියදා පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට මෙලෙස පවසා ඇත.

පසුගිය පාර්ලිමේන්තු වාර අවසාන කිරීමත් සමඟ අහෝසි වූ පාර්ලිමේන්තු කාරක සභා රුසක තනතුරු නැවත පත්කිරීම සම්බන්ධ ඉදිරි පියවර ඉදිරි සතිවලදී ගත යුතුව තිබේ. මෙම කමිටු සඳහා සභාපතිවරුන් සහ නිලධාරීන් පත් කිරීම සංකීර්ණ කටයුත්තක් වනු ඇත. ආණ්ඩුව සහ විපක්ෂය මීට අදාළ නම් කිරීම් සිදු කළ යුතුය.

ජනපතිගේ පාර්ලිමේන්තු කතාව වර්ජනය නොකළ පිරිස් වෙත මෙම කාරක සභාවල තනතුරු ලබා දෙන්නේද නැද්ද යන්න පිළිබඳ සමගි ජන බලවේගයට ගැටලුවක් නිර්මාණය වී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. 

"මේ තනතුරු ලබා නොදී ඉන්න බෑ, මම ලබා දෙන්න ඕනෑ"
"මෙයාලට එකපාර තනතුරු ලබා දෙන්න අවශ්‍ය නෑ, ටිකක් ප්‍රමාද කරලා ලබා දෙමු"

මෙවන් මත දෙකක් සමගි ජන බලවේගය තුළ ඇතැයි ඇතැම් පාර්ශ්ව සඳහන් කරයි. කෙසේ වෙතත් හර්ෂ ද සිල්වාගේ නම මන්ත්‍රීවරුන් මුදල් කමිටුව සඳහා නම් කර ඇති බව ද එහෙත් එහි සභාපති ධූරය හිමිවේද යන්න පැහැදිලි නොමැති බවද පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. එහෙත් බොහෝ විට කෝප් කමිටුවේ සභාපති ධූරයේ වෙනසක් සිදුවීමට හැකි බව ආණ්ඩු පක්ෂ ආරංචි මාර්ග කියා සිටියි. ඒ අනුව මෙම තනතුරු පත්කිරීම සම්බන්ධව ඉදිරි සතියේ දේශපාලනය උණුසුම් වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

I චමිඳු නිසල් ද සිල්වා