2024 පෙබරවාරි 03 වන සෙනසුරාදා

විනිසුරු පත්වීම් මතගැටුම උග්‍ර වෙයි

 2024 පෙබරවාරි 03 වන සෙනසුරාදා, ප.ව. 02:00 283

කඹ ඇදීම්, ගුඩු පැනීම්, කල්ලි ගැසීම් අලුත් අවුරුද්ද එළැඹීමට මත්තෙන්ම දේශපාලන ක්‍රීඩා බවට පත්ව තිබේ. එකම පැත්තේ සිටි පිරිස් දෙපිල බෙදී මෙම ක්‍රීඩාවන්හි නිරත වීම දැන් සුලභ දසුනක්ව ඇත. මේ අතර සැඟවුණු අමුත්තන් සහ හැංගිමුත්තන් සෙල්ලම් ද ප්‍රිය කරන්නෝ සිටිති. අවසන් රේඛාව ළඟ බව දන්නා ඇතැම් තරගකරුවෝ කකුල් මාට්ටු දමා ප්‍රතිවාදීන් බිම හෙලීමට උස්සුක වෙති. ඒ අතර තනිව ජයගත නොහැකි බව දත් පිරිස් කරට අද දමා ගනිමින් කල්ලි ගැසෙන අයුරු ද දැකගත හැකිය.

සති කිහිපයකට ඉහත සිටම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවකට පැමිණෙන ලෙසට ඇරයුම් ලැබිණි. අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්  කිහිප දෙනෙක් මෙම රැස්වීම සංවිධානය කිරීම සඳහා පෙරමුණ ගෙන සිටියෝය. කෙසේ වෙතත් පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ විදෙස් ගත වී සිටීම හේතුවෙන් හමුව තරමක් පමා විය.

“පක්ෂය ජනාධිපතිතුමා සමඟ සාකච්ඡාවක් පවත්වන්න ඕනෑ. ඔබතුමා ඒකට වැඩ කටයුතු සලසා දෙන්න"

අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඍජුවම බැසිල් රාජපක්ෂ අමතා මේ පිළිබඳ සාකච්ඡා කර ඇතැයි ආරංචි මාර්ග තහවුරු කළේය. ඒ අනුව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට මෙම රැස්වීමට සහභාගි වීමට බැසිල් රාජපක්ෂ අනුමැතිය ලබා දුන්නේය.

“මේ රැස්වීමට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් අරගෙන යන්න"

බැසිල්ගේ නියෝගය ලැබුණේ පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් වෙතය. ඒ අනුව මහලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන්, පවිත්‍රා වන්නිආරච්චි, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, එස්.එම්. චන්ද්‍රසේන, සංජීව එදිරිමාන්න ඇතුළු පිරිසක් මෙම කණ්ඩායම සඳහා බැසිල් රාජපක්ෂ නම් කොට තිබුණි. කටයුත්ත සම්බන්ධීකරණය කළ ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා ද මෙම පිරිසට ඇතුළත් විය.

මෙම සාකච්ඡාව පැවතියේ පැජට් පාරේ පිහිටි ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවෙසේය. පොහොට්ටුවේ පිරිස මීට සහභාගි වූයේ මෙම සාකච්ඡාව ජනපති සහ පොහොට්ටුව අතර වන ද්විපාර්ශ්වික සාකච්ඡාවක් බව සිතාය. එහෙත් ජනපතිගේ පෞද්ගලික නිවෙසට යන විට තවත් පිරිස් එහි පැමිණ සිටිනු දැකීමෙන් පොහොට්ටු කණ්ඩායමේ සිත නරක් විය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහජන එක්සත් පෙරමුණේ නායකයා ලෙස මෙහි පැමිණ සිටි අතර, නව සන්ධානය වෙනුවෙන් නිමල් ලංසා, අනුර ප්‍රියදර්ශන යාපා, නලින් ප්‍රනාන්දු යන අයට ද ආණ්ඩුවේ හවුල්කාරයන් වන මහින්ද අමරවීර, නිමල් සිරිපාල ද සිල්වා, දුමින්ද දිසානායක යන පිරිස් ද මෙහි පැමිණ සිටියහ. මීට අමතරව ටිරාන් අලස් ද මෙහි පැමිණ සිටීම සුවිශේෂී විය. ජනපති මෙහි පැමිණ සිටියේ සිය උපදේශක සාගල රත්නායක සමඟිනි.

“අපි හිතුවා අපිට තනියම සාකච්ඡාවක් තියෙනවා කියලා. මේ මොකක්ද මේ?"

පොහොට්ටුවේ නියෝජිතයන් තරමක් වික්ෂිප්ත වී සිටිය ද සාකච්ඡාව ඇරඹුණි. ආරංචි මාර්ග සඳහන් කළ පරිදි ජනපති සීරුමාරුවට කාරණා වෙත එළැඹියේය.

“අපි ඉදිරි මැතිවරණවලට ඉදිරිපත් වන ආකාරය පිළිබඳ සාකච්ඡා කරන්න ඕනෑ. කොහොමද මේක සැලසුම් කරගන්නෙ" 

ජනපතිගේ කතාව අවසන් වන විට ඊළඟට මයික්‍රොෆෝනය බාරගත්තේ පොහොට්ටුවේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම්ය.

“අපි හිතුවෙ මේ සාකච්ඡාවට එන්න කියල තියෙන්නෙ පොහොට්ටුවට විතරයි කියලා. අපි ලෑස්තිවෙලා ආවේ පොහොට්ටුවත් ජනාධිපතිතුමත් අතර සාකච්ඡාවක් කරන්න. දැන් වෙන කණ්ඩායමුත් මෙතැන ඉන්නවා, එහෙම වුණාම අපිට අපේ ප්‍රශ්න කතා කරන්න අමාරුයි"

ජනාධිපතිවරණය සම්බන්ධව සකස් විය යුතු කොන්දේසි සිය කණ්ඩායමට තීරණය කළ නොහැකි බවත්, පක්ෂය සාකච්ඡා කොට ගත යුතු තීරණයක් බවත් පොහොට්ටුවේ ප්‍රධාන ලේකම්වරයා තවදුරටත් පැවසීය. 

මේ අතර අමාත්‍ය මහින්ද අමරවීරගේ කතාව අතරේ  තරමක් වෙනස් කතාවක් ද කියැවුණි.

“ජනතා විමුක්ති පෙරමුණ පහුගිය දවස්වල රටේ ලොකු ජන මතයක් ඇති බව පෙන්නුවා. ලොකු රැස්වීම් තිබ්බා. ඒත් නිමල් ලංසා මන්ත්‍රීතුමා පහුගිය දවස්වල සෙනඟ ගෙනල්ලා ජාඇල ලොකු රැස්වීමක් තියලා ඒ රුල්ල එහෙන් පිටින්ම කඩා බිඳ දැම්මා"
මෙය සෙසු පිරිසගේ එතරම් සිත් නොගත්තේය. ජනපති ද එය එලෙසම පිළිගැනීමට මැලිකමක් දැක්වුවේය.

“ලංසා මන්ත්‍රීතුමාගේ රැස්වීම නිසා නෙවෙයි, සනත් නිශාන්ත රාජ්‍ය ඇමැතිතුමාගේ මරණය නිසා තමා ජේ.වී.පී මතය බොරු වුණේ. මම එතුමා මියගිය එක හොඳයි කියලා කියනවා නෙවෙයි, එතුමගෙ අවමංගල්‍ය උත්සවයට ඇවිල්ල ජනතාව දක්වපු ප්‍රතිචාරය ජනතා විමුක්ති පෙරමුණ හදන්න හදපු මතයට වඩා විශාල එකක්"

මෙහිදී ජනපතිගේ මතය වූයේද ජාතික ජන බලවේගයට පෙන්වන තරමේ ජනමතයක් නොමැති බවය. මහින්ද අමරවීරගේ මතය ජනපති අනුමත නොකිරීමද තරමක් විශේෂ සිදුවීමක් වූ බව ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර පොහොට්ටුව වෙනුවෙන් මෙහි පැමිණි සංජීව එදිරිමාන්න ද කල් යල් බලා අවස්ථාව උදා කර ගත්තේය.

“දැන් නොයෙක් නොයෙක් දේවල් නිසා පොහොට්ටුව පිබිදුණා කියලා කියන්න පුළුවන්. නමුත් පොහොට්ටුවට ගමට යන්න බැරුව මිනිස්සු බය වෙලා හිටපු කාලයක් තිබුණා. අපි තමයි ගිහිල්ලා ගම්වලට ශාඛා සමිති සන්ධාන පිහිටුවලා මේ තත්ත්වය නිර්මාණය කළේ. රෝහිත මන්ත්‍රීතුමා කළුතර රැස්වීමක් තිබ්බා. ඒකට විශාල සෙනඟක් ආවා. මමත් තිබ්බා, මෙතැන ඉන්න අයත් තිබ්බා, විශාල සෙනඟක් ඒවාටත් ආවා. නිමල් ලංසා මැතිතුමා නිසා මේවා වුණා කියලා අපි නම් පිළිගන්නේ නෑ"

මෙම සාකච්ඡාවේදී අළු යට තිබූ ගිනි පුපුරු ද එහේ මෙහේ විසිර ගියේය. 

“කොහොම නමුත් මේ වැඩේ ප්‍රමාද කරන්න බැහැ, අපි ඉක්මනටම තීරණයක් ගන්න ඕනෑ" 

නිමල් සිරිපාල, ප්‍රසන්න රණතුංග සහ නිමල් ලංසා ඇතුළු බොහෝ දෙනෙක් ඉදිරි මැතිවරණය පිළිබඳ තීරණය කඩිනම් කිරීමට උත්සාහ දැරෑහ. 

එහෙත් නැවත මෙහි අවසාන අදහස ඉදිරිපත් කළේ පොහොට්ටු මහ ලේකම්වරයා ය.

“මැතිවරණයට ඉදිරිපත් විය යුතුයි කියන අදහස හැම පක්ෂයටම තියෙනවා. අපේ කණ්ඩායම රුස්වෙලා කතා කරලා කොන්දේසි මොනවද කියලා ඉදිරිපත් කරන්නම්. කොහොම නමුත් ඊට කලින් ජනාධිපතිතුමා සමඟ ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වකරුවා වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වෙනම සාකච්ඡාවක් අවශ්‍යයි. ඒ සාකච්ඡාවේ ප්‍රතිඵල අනුව අපි ඉදිරියට යනවද නැද්ද කියන එක තීරණය කරමු"

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ මරණයෙන් පසුව ඔහුගේ ජල සම්පාදන අමාත්‍ය ධූරය කාට හිමිවේද යන්න පිළිබඳ ද යම් ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය විය. 

“ඒ අමාත්‍ය ධූරය පුත්තලම දිස්ත්‍රික්කයටම හිමිවිය යුතුයි"

අශෝක ප්‍රියන්ත සහ චින්තක මායාදුන්නේ යන පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙම අදහස පෙරදැරිව ජල සම්පාදන අමාත්‍ය ධූරය බලාපොරොත්තුවෙන් සිටියහ. කෙසේ වෙතත් ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු නොවිණි.

මේ අතර ලොහාන් රත්වත්තේ හට තවත් රාජ්‍ය අමාත්‍ය විෂය පථයක් එක්වීමද පසුගිය සතියේ සිදුවූ සුවිශේෂී සිදුවීමක් විය. එහෙත් මෙම විෂයේ කොටසක් ශෂීන්ද්‍ර රාජපක්ෂ රාජ්‍ය අමාත්‍යවරයාට අයත්ව තිබුණු එකකි. මේ සමඟම තවත් ගැටලුවක් පැන නැග්ගේය.

“මොකක්ද මෙතැන සිද්ධ වුණේ"

යන්න විමසමින් හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා ජනපති වෙත මේ හා සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කළේය. ඒ සමඟම ජනාධිපති ලේකම් කාර්යාලයේ තත්ත්වය සමනය කරමින් රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ වෙත නැවතත් විෂය පථයක් එක් කළේය. ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා වාරිමාර්ග හා ජල සම්පාදන  රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ පසුගියදා දිවුරුම් දුන්නේය. ඒ අනුව ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට සනත් නිශාන්ත මහතා දැරෑ ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ධූරය හිමිවිය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සහ ජනාධිපතිවරයා අතර මත ගැටුම් නිර්මාණය වීම ඇරඹුණේ ඉකුත් වසරේදීය. පළමුවැනි අදියරේ ගැටුම් සමනය වුවද, දැන් එහි ද දෙවැනි අදියර ආරම්භ වී තිබේ. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙවර ගැටුමේ නිමිත්ත ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චකාර පත්වීමක් බවය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු වී ඇති විනිශ්චකාර ධූරයක් සඳහා, අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතාගේ නම ව්‍යවස්ථාදායක සභාව වෙත නිර්දේශ කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාය. ආරංචි මාර්ග පවසන පරිදි මෙම නිර්දේශය ජනාධිපතිවරයා විසින් මීට මාස දෙකකට පමණ පෙර ව්‍යවස්ථාදායක සභාව වෙත යොමුකොට තිබුණි.

කෙසේ වෙතත් ව්‍යවස්ථාදායක සභාව එම යෝජනාව අනුමත නොකළේය. ව්‍යවස්ථා සභාව අග්‍රවිනිශ්චකාරවරයාගෙන්ද මේ පිළිබඳ තොරතුරු විමසා ඇතැයි කියැවේ. එම තොරතුරු ලැබුණද නොලැබුණද මෙතෙක් අදාළ නිර්දේශය ව්‍යවස්ථාදායක සභාව අනුමත කර නොමැත. ඔවුන් ජනපති වෙත දන්වා ඇත්තේ මේ පිළිබඳව සිය පාර්ශ්වය තීන්දුවක් ගෙන නොමැති බවයි.

“මේ නිර්දේශ පිළිබඳ අපිට තීන්දුවක් නෑ"

“එහෙම නැහැයි කියලා කියන්න බැහැ. අනුමත කරනවද නැද්ද කියලා කියන්න ඕනෑ, ඒ වගේම හේතු දක්වන්න ඕනෑ"

ජනපති සහ ව්‍යවස්ථා සභාව අතර සිදුව ඇත්තේ මෙම අදහස රුගත් ලිපි ගනුදෙනුවකි. ජනපතිගේ දැනුම් දීම ද තරමක් ප්‍රබල එකක් වූ බව කියැවේ.

ඒ අනුව පසුගිය අඟහරුවාදාවක උදෑසන අටට පමණ ව්‍යවස්ථා සභාව රුස්ව ඇත. කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ රුස්වූ ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් 9 දෙනා මෙම ගැටලුව පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇතැයි කියැවේ.

“අපි මේ පත්කිරීම නිර්දේශ කරනවද? මොකද ඒ සම්බන්ධව කරන්නේ?"
“ජනාධිපතිතුමා නිර්දේශ කරලා තියෙනවා. ඒ නිසා අපි ඒකට විරුද්ධ වෙන්න ඕනෑ නෑ"
“නෑ නෑ අපි මේකට විරුද්ධයි"

ආණ්ඩු පක්ෂයේ අග්‍රමාත්‍යවරයා ඇතුළු සාමාජිකයන් යෝජනාවට පක්ෂ වන විට, විපක්ෂයේ සහ සිවිල් සංවිධාන නියෝජනය කරන සාමාජිකයන් ඊට ප්‍රතිපක්ෂ අදහස් දක්වා ඇත. ඒ අනුව එය තරමක විවාදයක් වී තිබේ. අවසානයේ මෙය ඡන්ද විමසීමක් දක්වා දුරදිග ගොස් ඇත.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන පරිදි නම පිළිගැනීමට විපක්ෂව ඡන්ද පහක් ද පක්ෂව ඡන්ද තුනක් ද ලැබී ඇතැයි කියැවේ. කතානායකතුමාගේ තීරක ඡන්දය ප්‍රකාශයට පත් වී නොමැති අතර අවසානයේ ජය විපක්ෂයට ලැබී ඇති බව ආරංචි මාර්ග පැවසීය. අනතුරුව දෙපිරිසටම තීරණයන්ට හේතු දැක්වීමට අවකාශය ලැබීමත් සමඟ තවත් සංවාදය උණුසුම් වූ බව කියැවේ.

ව්‍යවස්ථාදායක සභාවේ මෙම අලකලංචිය පිළිබඳව ජනපති සතුටු නොවීය. මෙම ගැටලුව හේතු කොටගෙන ජනාධිපති කාර්යාලය නිවේදනයක්ද නිකුත් කිරීමට කටයුතු කළේ එබැවිනි. ජනාධිපතිවරයාට ඔහුගේ ව්‍යවස්ථාපිත කාර්යභාරය ඉටු කිරීමේදී සිදු කරනු ලබන ඕනෑම අවහිරයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව තම කාර්යයන් ඉටු කිරීමට බැඳී සිටින අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(ඇ) ව්‍යවස්ථාව යටතේ පොලිස්පතිවරයා පත් කිරීමට අදාළව සිය කාර්යයන් ඉටු කිරීමෙන් වැළකී සිටින ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නියම කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණිව තමන්ට පැවරී ඇති බලය ක්‍රියාත්මක කරන්නේ නම් ඊට ප්‍රතිකර්ම ව්‍යවස්ථාවෙන්ම සපයා ඇත."
ඉදිරියේදී පොලිස්පති පත්කිරීම සම්බන්ධව නිර්මාණය වීමට යන ගැටලුව පිළිබඳව ද මෙම නිවේදනයේ පූර්ව ඉඟි රැසක් දැකගත හැකි විය. ඒ අතර විනිශ්චකාරවරුන්ගේ පත්කිරීම් නිසියාකාරව සිදු නොවීමට මෙම ආරවුල හේතු වී ඇති බැවින්, විනිශ්චකාරවරුන් මෙම තීන්දු තීරණ පිළිබඳ එතරම් සතුටකින් පසු නොවන බවද ආරංචි මාර්ග සඳහන් කළේය.

පොහොට්ටුව ද නැවත විවිධ වැඩසටහන් ඔස්සේ සිය දේශපාලනය ශක්තිමත් කිරීමේ යාන්ත්‍රණය අරඹා තිබුණි. එළඹෙන මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉතා ශක්තිමත්ව මුහුණ දෙමින් රට ජයග්‍රහණය කරා මෙහෙයවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉකුත් සතියේ පැවසීය.

“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එල්ලවන අසත්‍ය චෝදනාවලට පිළිතුරු සැපයීමට සෑම ග්‍රාමසේවා වසමකින්ම දස දෙනෙක් බැගින් තෝරාගෙන "දස බල සේනාවක්" සූදානම්"

මේ අතර පොහොට්ටුවේ දස බල සේනා සම්බන්ධව තවත් දේශපාලන කතාවක් කරළියේ අසන්නට ලැබුණි. ඒ අනුව කියැවුණේ මෙම වැඩසටහන පිළිබඳ පසුගියදා දිවි ගමන නිමා කළ, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත අවසන් වරට නාමල් රාජපක්ෂ සමඟ කතා කළ බවකි.

“රූත් මාත් එක්ක කතා කළා. දස බල සේනා නැගලා යනවා නේද? කොහොමද මගේ නම කියලා කතා කර කරත් හිටියා"

සනත් නිශාන්තගේ මරණය මහින්දානන්ද අලුත්ගමගේ නාමල්ට දැනුම් දුන් සැණින් ඔහු මෙසේ පැවසූ බව කියැවෙයි.

පසුගිය සතියේ සමගි ජන බලවේගයට හිටපු හමුදාපතිවරයකු වන ජනරාල් දයා රත්නායක මහතා එක්වීමත් සමඟ තවත් දේශපාලන නාටකයක් දිගහැරුණි. අප දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ දයා රත්නායක සමගි ජන බලවේගයට එක් කර ගැනීමේ මෙහෙයුම දියත් කර ඇත්තේ සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයන් දෙදෙනකු බවයි.

“සජිත් ප්‍රේමදාස මහත්මාගේ උපදේශකයකු වන ලක්ෂ්මන් ෆොන්සේකා මහත්මයා සහ තවත් ජ්‍යෙෂ්ඨයෙක් තමා මේ කපුකම කරලා තියෙන්නේ"

මෙම සාමාජිකයා පිළිබඳ බොහෝ සෙයින් කිපුණේ සමගි ජන බලවේගයේ සභාපති හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාය. 

“හිටපු යුද හමුදාපති ජනරාල් දයා රත්නායක මහතා සමගි ජන බලවේගය හා එක්වීම කිසිසේත් අනුමත කළ නොහැකියි"

සරත් ෆොන්සේකා මහතා මාධ්‍යයට පවා මේ පිළිබඳ දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කළේය. දයා රත්නායක මහතා ඔහු දෝෂදර්ශනයට ලක්කොට තිබුණි.

“මේ සම්බන්ධයෙන් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාට දැඩි විරෝධය පළ කළා"

මෙම තත්ත්වය සමගි ජන බලවේගයට කරදරයක් වන තරමටම උණුසුම් විය. එහෙත් ඇතැමුන් ෆොන්සේකාගේ විරෝධය නොතැකිය යුතුය යන හැඟීමෙන් ද සිටි බව කියැවේ.

පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයා බවට කතා පැතිර යන ව්‍යාපාරික ධම්මික පෙරේරා පසුගිය මාධ්‍ය වැඩසටහනකට එක්වෙමින් සුවිශේෂී ප්‍රකාශ කිහිපයක් සිදු කර තිබුණි. මෙහිදී ඔහුගේ අපේක්ෂකත්වය පිළිබඳ මාධ්‍යවේදීහු ප්‍රශ්න කළහ.

“ඒක මගෙන් අහන්න ඕනෑ ප්‍රශ්නයක් නෙවෙයි. පක්ෂයෙන් අහන්න. මම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රීවරයෙක්. අපේක්ෂකයා මමද නැද්ද කියලා ඔබතුමාලා අහන්න"

මේ අතර ධම්මික පෙරේරා  තමන්ගේ හැකියාවන් පිළිබඳව ද මෙහිදී මාධ්‍ය හමුවේ විවිධ කතා කියා තිබුණි.

“රටේ ඕනෑම ගමකට ගිහිල්ලා, රාජ්‍ය සම්පත් භාවිත නොකර රුකියා පනහක් ලබා දෙන්න පුළුවන් පුද්ගලයා මමයි"

වෙනත් කිසිවකුට රජයේ උපකාරවලින් තොරව රුකියා දහයක්වත් ලබාදිය නොහැකි බව ඔහු මෙහිදී සඳහන් කර තිබුණි. 

“මගේ ළඟ තියෙන්නේ උත්තර මිසක් ප්‍රශ්න නෙවෙයි"

තමන් ප්‍රශ්න මත ලතවන මිනිසකු නොවන බවත් ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙන්නෙක් බවත් ධම්මික පෙරේරා මෙහිදී සඳහන් කර තිබුණි.

ජාතික ජන බලවේගය ද සිය ප්‍රචාරණ යාන්ත්‍රණය පසුගිය සතියේ වේගවත් කර තිබුණි. ජනතා ආකර්ශනය තවදුරටත් ආරක්ෂා කර ගනිමින් ප්‍රවර්ධනය කිරීම ඔවුන්ගේ අරමුණ විය. සජබ සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය දිස්ත්‍රික් ධීවර සමුළුව සංවිධානය කිරීම අරඹා තිබුණි.

කළුතර පැවැති සමුළුවක් ආමන්ත්‍රණය කරමින් ටිල්වින් සිල්වා කියා තිබුණේ මෙවන් කතාවකි.

එහිදී ප්‍රධාන ලේකම්වරයා මෙසේ ද කීය. 

“ප්‍රතිලාභ සාධාරණව බෙදෙන ශක්තිමත් ආර්ථිකයක් අපි හදන්න ඕනෑ. කොහොමද ප්‍රතිලාභ බෙදෙන්නේ. ප්‍රතිලාභ වැඩිවීමෙන් අධ්‍යාපනයට වෙන්කරන මුදල් ප්‍රමාණය වැඩි කරනවා.

සෞඛ්‍ය සේවයට වැඩිපුර මුදලක් වෙන්කරලා නොමිලේ බෙහෙත් ටික ලබා දෙනවා. පරීක්ෂණ පහසුකම් හදනවා. ඒක තමයි ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිය"

මේ අතර ජාතික ජන බලවේගය සිය තානාපති සබඳතා තර කර ගැනීමේ ව්‍යාපෘතිය අනුව, ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ආචාර්ය ෆීලික්ස් නියුමාන් මහතා සහ ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් පැවතියේය. මෙම හමුව සඳහා ජර්මානු තානාපති කාර්යාලයේ දේශපාලන කටයුතු උපදේශිකා ධරිණි දලුවත්ත මහත්මිය සහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් යන එක්ව සිටියහ.

I චමිඳු නිසල් ද සිල්වා