2024 ජනවාරි 27 වන සෙනසුරාදා

ආණ්ඩුවේ පොහොට්ටුවේ ලොක්කෝ දෙන්නෙක් රහසේ හමුවෙති

 2024 ජනවාරි 27 වන සෙනසුරාදා, ප.ව. 02:00 3485

මැතිවරණයට මුහුදු හතක් නොව, මුහුදු දාහතරක්ම තබා අමුඩ ගැසිය යුතු බව මෙවර දේශපාලනඥයෝ අවබෝධ කරගෙන සිටිති. එබැවින් තම දේශපාලන ස්ථානගත වීම පිළිබඳ සියල්ලන්ගේම උනන්දුව කැපී පෙනුණි. සතිය මැද හදිසියේම සිදුවූ ආන්දෝලනාත්මක දේශපාලන මරණයත් ඇති කළේ මහත් කැළඹීමකි. සැබැවින්ම වැරදිකරුවන් පිළිබඳ සාක්ෂි දීමට නිවැරදිකරුවන් සිටීද? දේශපාලකයාගේ ස්වාමියා මහජනයා නොවේද? සති අග දේශපාලනයේ ප්‍රමුඛ මාතෘකාව පිළිබඳ පැන නැගුණු පැන රැසකි.

සතරකන් මන්ත්‍රණ රැසක් පැවැති සතියක් ලෙස ගෙවී ගිය දේශපාලන සතිය සනිටුහන් කළ හැකිය. ආණ්ඩුවේ ඉහළම පෙළේ තරුණ දේශපාලන චරිතයක්, ආණ්ඩුවේ ප්‍රධානියකුගේ කැඳවීම මත මුහුණට මුහුණ සාකච්ඡාවකට එළැඹි බව ආරංචි මාර්ග සඳහන් කළේය.

“රටේ අනාගත දේශපාලන සිතියම සකස් කිරීම සම්බන්ධ තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්විලා තියෙනවා. මෙහිදී ඉදිරි මැතිවරණ කාලසටහන පිළිබඳව පවා සාකච්ඡා වෙලා ඇති බව කියැවෙනවා"

ආරංචි මාර්ග සඳහන් කළ පරිදි මෙම සාකච්ඡාව තරමක බරපතළ එකකි. මෙහිදී ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග සහ මැතිවරණ ක්‍රමෝපායන් පිළිබඳව ද සාකච්ඡා වී ඇති බව කියැවෙයි.

“ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම පිළිබඳ තීරණය ගන්නේ, අප්‍රේල් මාසේ අන්තිමට" 

ආණ්ඩුවේ ප්‍රධානියා තම තීරණය පිළිබඳ, තරුණ නායකයා වෙත මෙවන් දැනුම්දීමක් සිදුකර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

“අපේ පැත්තේ තීරණයත් අප්‍රේල් මාසේ වගේ ගන්න අපි අදහස් කරගෙන ඉන්නෙ"

පොහොට්ටුවේ තරුණ නායකයාද ප්‍රධානියාට සමපාත පිළිතුරක් ලබා දී තිබේ. කෙසේ වෙතත් තිබෙන වන් ටු වන් සාකච්ඡාව දේශපාලන රසායනයේ පැරුණි සහ නව සංයෝග දෙකක් එකිනෙක මුසු වූ තීරණාත්මක අවස්ථාවක් ලෙස සලකුණු කළ හැකිය.

ජනාධිපතිවරණ අපේක්ෂකයන් පිළිබඳව කුතුහලය සමස්ත දේශපාලන භූමිය පුරාවටම ක්‍රමයෙන් වර්ධනය වෙමින් තිබුණි. පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුද? එය තවදුරටත් ප්‍රශ්න සහගත විය.

“අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරනවද?  නැද්ද? මොකක්ද දැන් කරන්නේ?"

පක්ෂයට පිටතින් මෙන්ම ඇතුළතින් ද නිතර නැගුණේ මේ හා සමාන ප්‍රශ්නය. මේ දේශපාලන තීන්දුව වටා වර්තමාන දේශපාලනඥයන් බොහෝ දෙනකුගේ අනාගතය තීරණය වීම, මෙම ප්‍රශ්නය නිතර නැගී ඒමට හේතුව වූයේය.

“පොහොට්ටුවේ නිල නොවන එකඟතාවයක් තියෙනවා ධම්මික පෙරේරා සමඟ" 

පසුගිය දිනවල පොහොට්ටුව සම්බන්ධ මෙවන් දේශපාලන කසුකුසුවක් ද නිර්මාණය විය. ධම්මික පොහොට්ටුවේ අපේක්ෂකත්වය බලාපොරොත්තු වන බව එළිපිටම කියා ඇති පසුබිමක මෙම කතිකාව නිර්මාණය විය.

ඒ අනුව කියැවුණේ පොහොට්ටුව සහ ධම්මික පෙරේරා අතර නිල නොවන එකඟතාවක් නිර්මාණය වී ඇති බවකි. එය දීර්ඝ සාකච්ඡා කිහිපයකට පසු ලබාගත් තීන්දුවක් බව තහවුරු නොකළ ආරංචි මාර්ග සඳහන් කළේය.

“නිල වශයෙන් ජනාධිපතිවරණ අපේක්ෂකයා ප්‍රකාශයට පත් කළ යුතුයි. දැන්ම කිසිම දෙයක් කාටවත් කියන්න එපා" 

ලද ආරංචි අනුව සිය අපේක්ෂකයා පිළිබඳ පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ පළ කර ඇත්තේ එවන් අදහසකි. 

ජනාධිපතිවරණය ආසන්නයේදී අපේක්ෂකයා හෙළිකිරීම වඩාත් වාසිදායකය යන අදහසේ බැසිල් රාජපක්ෂ පසුවන බව කියැවේ.

“බැසිල් ධම්මිකට කතා කරලා තියෙන්නෙ"

පැතිර යන ආරංචි අනුව මාර්තු අග, අප්‍රේල් මුල වන විට ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරුන්ද යන්න ප්‍රකාශයට පත්වනු ඇත. කෙසේ වෙතත් ධම්මික පෙරේරා පිළිබඳ පක්ෂයේ පූර්ණ එකඟතාවයක් තිබේද නැද්ද යන්න අප්‍රකාශිතය.

දේශපාලනඥයකු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කළ යුතුය යන අදහසේ ද ඇතැමුන් එළැඹ සිටින බව කියැවෙයි.

කෙසේ වෙතත් ඉදිරි ජනාධිපතිවරණයට, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන බව, ආණ්ඩුවේ ප්‍රධානීන් මෙන්ම එක්සත් ජාතික පක්ෂය ද වරින් වර සඳහන් කර තිබේ. එහෙත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ සම්බන්ධව පළ කර ඇත්තේ විවෘත අදහසකි. ඔහු සිය ඉදිරිපත් වීම තවමත් සහතික කොට නොමැත.

මේ අතර වික්‍රමසිංහ මහතාගේ දෑත් සවිමත් කිරීමට විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් එක්වන බව, ජනපති හිතෛෂීහු කලක පටන් කියා සිටිති. කෙසේ වෙතත් මේ වනතුරුත් එවැන්නක් දැකගත නොහැකි විය. ජනපති හා පළමුව එකතු වූ කිහිප දෙනා හැරෙන්නට සමගි ජන බලවේගයෙන් කිසිවෙක් එක් නොවුණි.

එහෙත් මේ වන විට ලැබෙමින් පවතින නවතම දේශපාලන ආරංචි අනුව ඉදිරි මාසය තුළදී විපක්ෂයේ ප්‍රධාන චරිත කිහිපයක් වික්‍රමසිංහ මහතා සමඟ එක්වෙතැයි කියැවේ.

“විපක්ෂයේ කිහිප දෙනෙක්ම නිහඬව ඉන්නවා. මුකුත්ම කතා කරන්නේ නෑ. ඒ අය තමා මේ පැත්තට එන්නේ"
ජනපති වික්‍රමසිංහ පාර්ශ්වය දෙසින් අසන්නට ලැබෙන්නේ එවන් කතාවකි. මේ වන විටත් රාජිත සේනාරත්න වැනි ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිය අදහස් ප්‍රකාශයට පත්කොට තිබේ.

“මම කැමැතියි වික්‍රමසිංහ මැතිතුමා වගේ නායකයෙක් එක්ක වැඩ කරන්න"

මෙවන් අදහස් පළවන්නේ සහේතුකව නොවන බව බොහෝ පැහැදිලිය. සියල්ල පිටුපස විශාල යාන්ත්‍රණයක් වේ.

මේ වන විට සමගි ජන බලවේගයේ තලතා අතුකෝරළ, ජේ.සී. අලවතුවල, රෝහිණී කවිරත්න ආදී ප්‍රධාන චරිත කිහිපයක් නිහඬ වී සිටින්නේ ඇයිදැයි, බොහෝ දෙනකුට ප්‍රශ්නගතව ඇත. ඇතැම්විට ජනපති සමඟ ඉදිරියේදී මේ අතරින් කිහිප දෙනකු එක්වනු ඇතැයි සැක සංකා පහළ වී තිබේ. 

මීට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක්ද ජනපති සමඟ ඉතා සමීපව කටයුතු කරමින් සිටිති. එහෙත් මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිටින්නේ වෙනම ස්ථාවරයක බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

“මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා"

හිටපු ජනාධිපතිවරයා මෙම අදහස පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට පවසා ඇති බවත්, ඒ වෙනුවෙන් යම් ප්‍රචාරක ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මක බවත් කියැවේ. මෙය ද නව සංකීර්ණතාවකි.

තම පක්ෂයේ බිම් මට්ටමේ ශාඛා තුළ පවතින ඡන්ද පදනම ආරක්ෂා කරගැනීමේ අරමුණෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණය ඉදිරිපත් වීමට ද යම් ඉඩකඩක් පවතී.

එහෙත් පැතිරෙන ආරංචිය අනුව පක්ෂයේ පිරිසක් මීට එකඟත්වය පළ කර ඇතත්, තවත් පිරිසක් ඊට විරෝධය පා ඇති බව කියැවේ. 

මේ අතර මහින්ද අමරවීර, දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් මේ වන විට ඉතා සමීපව නිමල් ලංසා සන්ධානය සමඟ කටයුතු කරමින් සිටින බව පෙනී යයි. ලංසා ප්‍රමුඛ පිරිසේ අභිප්‍රාය ජනපති රනිල් වික්‍රමසිංහ නැවත ජනාධිපති ධූරයට පත්කිරීම බව, ප්‍රසිද්ධ රහසක්ව තිබේ.

කෙසේ වෙතත් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන, වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ කෙරෙහි එතරම් මනාපයක් නොදක්වයි. එය යහපාලන ආණ්ඩු අභ්‍යන්තරයේ හටගත් අර්බුදයේ ප්‍රතිඵලයකි. මෙම සියලු තත්ත්වයන් සැලකීමේදී, ඉදිරියේදී එළඹෙන සංකීර්ණ දේශපාලන වටපිටාව තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය ද පුවත් නිර්මාණය කරනු ඇත. 
“දයාසිරි ජයසේකරත් ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් වෙන්න පුළුවන්"

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකරව පක්ෂයෙන් නෙරපීමට පක්ෂය ලබාගත් තීන්දුවෙන් පසු මෙවන් කතා ද පැතිර යමින් තිබේ. කෙසේ වෙතත් දයාසිරි ජයසේකර ඊට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත. දැන් ඔහුගේ දේශපාලන ස්ථානගත වීම පිළිබඳ බොහෝ දෙනෙක් බලා සිටිති. දයාසිරිට ආණ්ඩු පාර්ශ්වයේ සිටගැනීමට ඇත්තේ අල්ප අවස්ථාවක් බව කියැවේ.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ කණ්ඩායම, තරමක බරපතළ නීතිමය ක්‍රියාමාර්ගයක් දයාසිරි ජයසේකරට එරෙහිව ලබාගැනීමට සූදානම් වන බව ආරංචි මාර්ග සඳහන් කරයි. එය සත්‍යයක් නම් මෙම තත්ත්වය ඉතා සංකීර්ණ වනු ඇත. ශ්‍රීලනිප - දයාසිරි අර්බුදය තවත් සංකීර්ණ විය හැකිය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතාගේ නිහඬ බව පිළිබඳව ද දේශපාලන කරළියේ ඇතැම් තැන සංවාද හටගෙන තිබේ. 

“එස්.බී. - සමගි ජන බලවේගය රහස් සාකච්ඡා පවත්වලා තියෙනවා" 

නිල තහවුරු කිරීමක් නොමැතිමුත් පැතිර යමින් පවතින්නේ මෙවන් කතාවකි. තමා හට ක්‍රීඩා අමාත්‍ය ධූරය ලැබෙනු ඇතැයි බලාපොරොත්තුවක් ද පසුගිය සමයේ වූ බව දේශපාලන වාර්තා සඳහන් කොට තිබුණි. ඒ අනුව ආසන්න හේතුවක් නිසා ඔහු කලකිරීමෙන් පසුවන බව කියැවේ.

මේ අතර ආණ්ඩුවේ නම් දැරෑ කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනකුද සමගි ජන බලවේගය සමඟ රහස් සාකච්ඡා පවත්වා ඇති බවට ආරංචි පැතිර යමින් තිබේ. කෙසේ වෙතත් මෙම සියලු ආරංචි පිළිබඳ සත්‍යතාව පැහැදිලි කිරීමට අපහසු වන තරමටම, ශ්‍රී ලාංකීය දේශපාලනය මැතිවරණය ඉලක්ක කොට ගනිමින් සංකීර්ණ වෙමින් තිබේ.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ මරණය ඉකුත් සතිය කැළඹූ පුවත විය. මෙම මරණය පිළිබඳ විචාර, විවේචන, වෛරී ප්‍රකාශ අපමණ සමාජ මාධ්‍ය තුළ දැකගත හැකි විය. කවරක් වෙතත් ඔහු වචනයේ පරමාධිපත්‍ය මතින් බිහිවූ දේශපාලන නායකයකු බව අමතක කළ නොහැකිය. 

සනත් නිශාන්ත අමාත්‍යවරයාගේ මරණයෙන් පසු නිර්මාණය වූ දේශපාලන වටපිටාව වෙනත් එකකි.

“ලැයිස්තුවේ ඊළඟට ඉන්න එක්කෙනා පොහොට්ටුවට සහයෝගය දක්වාවිද?” 

ආණ්ඩුවේ දේශපාලනඥයන් අතර කසුකුසුවක් නිර්මාණය වී තිබුණි.

මේ අතර අමාත්‍යවරයාගේ මරණයේ කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩි උනන්දුවක් දැක්වූයේය. බ්‍රහස්පතින්දා වන විට ජනාධිපතිවරයා දෙවරක්ම එම කටයුතු සොයාගැනීමට රාජ්‍ය අමාත්‍යවරයාට අයත්ව තිබූ කොළඹ නිවෙසට පැමිණ තිබුණි. 

සිය අමාත්‍යවරුන් සහ ආණ්ඩුවේ සාමාජිකයන් පිළිබඳව ජනපතිගේ උනන්දුව කැපීපෙනෙන එකක් වී ඇති බව ඇතැම් තැනක කතාබහට ලක්විය. මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් මෙම වියෝවෙන් බොහෝ තැවුලට පත්වූ වග දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටියේය. බොහෝ දේශපාලනඥයෝ රාජ්‍ය අමාත්‍යවරයාගේ වියෝව පිළිබඳව ශෝකය පළ කළහ. එහෙත් සමාජ මාධ්‍යයේ තත්ත්වය ඊට ඉඳුරා වෙනස් විය.

පසුගිය සතියේ ජාතික ජන බලවේගයේ කැපීපෙනෙනම චරිතය බවට පත්වූයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් කාන්ත මහතාය. සමාජ මාධ්‍ය සංවාදයකට එක්වෙමින් ඔහු කී අමුතු කතා කිහිපයක් වයිරල් වී තිබුණි. 

“දළදා පෙරහර නවීකරණය කරලා වැඩක් නැහැ. ඕනෑ නම් නවීකරණය කරලා මෙහෙම එකක් කළ හැකි නම්, අපි ඉඳියි ද දන්නෙ නෑ කියලා තියන්න ඕනෑ, ලෝකෙම තියෙන ඔය වගේ නැටුම්? අපි හිතමු අප්‍රිකාව වගේ රටවල තියෙන වෙන වෙන ලස්සනම නැටුම්? අපේම හින්දු සංස්කෘතිය, ඔහොම තියෙන ඔක්කොම සංස්කෘතිවල කෑලි කෑලි දාපු, බටහිර තියෙන නවීන ඒවත් දාපු ඔය ඔක්කොම දාපු පෙරහරක් අපි කළොත් මාසයක්, ගාල්ලෙ ඉඳන් කොළඹට ලෝකෙම ගෙන්නන්න පුළුවන්. රසවතුන් එයි සංචාරක කර්මාන්තයට.

සමහර ඒවා තියෙයි පියයුරු එළියෙ දාගෙන යන ඒවා. පොඩියට ඇඳපු ඒවා. අරවා මේවා. ඒ වගේම අපේ ඒවත් යයි. ලස්සන නැද්ද ඒ විවිධත්වය. එක එක පාට පාට මාලයක් එකට ඇමිණුවා වගේ.

"හැබැයි අර අනන්‍යතාව තියෙන නුවර පෙරහර වෙනස් කරන්න නම් එපා!"

මෙම කතාවේ සමස්ත හරය මෙයම නොවුණත්, මෙම කොටස බොහෝ සමාජ මාධ්‍ය තුළ සංසරණය වන්නට විය. මේ අතර ජාතික ජන බලවේගය සමාජ මාධ්‍ය මර්දනයට එරෙහිව නැගී සිටීමට ද ඉකුත් සතියේ උත්සාහ දැරුවේය. එහිදී සිය විදේශ සබඳතා තර කරගැනීමේ යාන්ත්‍රණයේ තවත් අදියරක් ලෙස, ඉන්දීය මහ කොමසාරිස්වරයා ඇතුළු පිරිසක්ද ඉකුත් සතියේ මුණගැසී තිබුණි.

සමගි ජන බලවේගය අභ්‍යන්තරයේ යම් ගැටලුවක් ඇතිවී ඇති බව පෙනී ගියේ සජබ ආර්ථික විශේෂඥයන්ගේ හැසිරීම් හේතුවෙනි. මෙම ගැටලුවට හේතු වී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා සමගි ජන බලවේගයට එකතුවීම බව ආරංචි මාර්ග සඳහන් කරයි.

සජබ ආර්ථික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මැදිහත්වන හර්ෂ ද සිල්වා ඇතුළු මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධයක් නාලක ගොඩහේවා වෙත එල්ල වී ඇතැයි කියැවේ. ඊට හේතුව වී ඇත්තේ ගොඩහේවා ඇතැම් තැන්වල සිදු කළ ප්‍රකාශයන්ය.
රනිල් වික්‍රමසිංහ මහතාගේ වැරදි ආර්ථික ප්‍රතිපත්තිවලට සමගි ජන බලවේගය හා සජිත් ප්‍රේමදාස මහතා රුගෙන යාමේ වැරදි ක්‍රියාවලියක පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා නිරත වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා පසුගියදා සඳහන් කර තිබුණි. 

මේ අනුව පසුගිය සතියේදී සජබ ජ්‍යෙෂ්ඨයන් මෙම ගැටලු විසඳීමට ඉදිරිපත් වී තිබුණි. පක්ෂය ආරක්ෂා කරගනිමින් කටයුතු කළ හර්ෂ ඇතුළු පිරිසට අවලාද නොනගන ලෙස මෙම ජ්‍යෙෂ්ඨයන් නාලක ගොඩහේවා වෙත අනතුරු හඟවා ඇතැයි දේශපාලන ආරංචි සඳහන් කරයි.

I චමිඳු නිසල් ද සිල්වා