2024 ජනවාරි 20 වන සෙනසුරාදා

රාජිතට - චම්පිකට - තලතාට ජනපතිගෙන් මැතිසබේ තනතුරු?

 2024 ජනවාරි 20 වන සෙනසුරාදා, ප.ව. 02:00 542

ශ්‍රී ලාංකීය දේශපාලන රසායනය ගතවූ දෙවසර තුළ කොතරම් වෙනස් වීද යත් කියවා ගැනීමට මහජන මතය උරගා බැලිය යුතුමය. ඒ බව දැන සිටින්නෝ අපිම පමණක් නොවෙමු. දේශපාලන කරළියේ රුඟුම් පාන මොළේ ඇති නැති සියල්ලෝම එය දනිති. එබැවින් ඓතිහාසික මහජන මත උරගා බැලීමක් අභිමුව සිය ඉරණම සකසා ගැනීමට දේශපාලකයන් වෙහෙස වී වැඩ කරන්නට පටන්ගෙන තිබේ. 

ඇමැති ගරු නාම, නිල නාම, වගකීම් පසෙක තබා දේශපාලනික ස්ථානගතවීම් සහ මහජන ආකර්ශනය ලබාගැනීම කාගේත් අභිප්‍රාය වී ඇති බව පෙනෙන්නට තිබේ. ගෙවී ගියේ මෙම සත්‍ය තවදුරටත් අප හමුවේ ප්‍රත්‍යක්ෂ කරවන දේශපාලන සතියකි. 
පසුගිය සතියේ පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට සූදානම් වන බවට දේශපාලන ආරංචි ලැබෙමින් පැවතුණි. මේ පිළිබඳ දේශපාලන කරළියේ බොහෝ තැන්වල සංවාද ඇති විය.

“ජනාධිපතිතුමා ජනවාරි 24 රෑ හරි 27 හරි පාර්ලිමේන්තුව වාර අවසාන කරලා පෙබරවාරි 7 වැනිදා පටන් ගන්න යන්නේ."

පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම වාර අවසාන කිරීම පිළිබඳ තරමක් කුතුහලයකින් කතාබහ කරන බව දැකගත හැකි විය. ඊට හේතු වූයේ පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමඟ කෝප්, කෝපා ඇතුළු පාර්ලිමේන්තු කාරක සභා පනහකට අධික සංඛ්‍යාවක නිලතල අහෝසි වී යාමයි. ඒ අනුව පාර්ලිමේන්තුව නැවත කැඳවීමේදී මෙම තනතුරු සඳහා නැවත මන්ත්‍රීවරුන් පත් කළ යුතුව තිබේ. මැතිවරණ වසරේ එය තීරණාත්මක දේශපාලන තීන්දුවක් වනු ඇතැයි බොහෝ පාර්ලිමේන්තු මැති ඇමැතිවරු සංකා පළ කරති.

මේ මොහොතේ දේශපාලන වටපිටාව ද සලකා බලමින් ඉහළ තනතුරු කිහිපයක් සඳහා පත්විය හැකි අය පිළිබඳ පසුගියදා අනාවැකි ද පළ වී තිබුණි.

“රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, තලතා අතුකෝරළ වගේ අයට ජනාධිපතිතුමා අවස්ථාවක් හදලා දෙන්න ඉඩ තියෙනවා. පහුගිය කාලේ ප්‍රශ්න වුණු කෝප්, කෝපා කාරක සභා දෙකට නම් අනිවාර්යෙන්ම අලුත් මුහුණ පත්වෙයි."

පසුගිය සතියේ දින කිහිපයක්ම ස්විට්සර්ලන්ත නිල සංචාරයක් වෙනුවෙන් වෙන් කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ කටයුතු කළේය. ජනපති වික්‍රමසිංහ ස්විස් ගියේ ලෝක ආර්ථික සමුළුවට සහභාගි වීමේ අදහසිනි. වර්තමාන ශ්‍රී ලංකාවේ ආර්ථික වටපිටාව හමුවේ ජනපතිගේ මෙම සංචාරය මුළු රටටම තීරණාත්මක එකක් වූ බව පැහැදිලි විය.

ලෝක ආර්ථික සමුළුවට සමගාමීව ස්විට්සර්ලන්තයේ පැවැති සංවාද මණ්ඩපයකට එක්වෙමින් ජනපති තරමක සුවිශේෂී කතාවක් කියා තිබුණි. ආර්ථිකය සම්බන්ධ දැඩි නීති රීති අනුගමනය නොකළහොත් රාජ්‍යයන් සම්පූර්ණයෙන්ම කඩා වැටීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පැවසීය. දැඩි නීති රීති මැද ජනතාව තෘප්තිමත් කිරීමට සිදුවීම අභියෝගයක් බවත් ජනපති කියා තිබුණි.

ණය අර්බුදය නිසා බිඳවැටීමේ අවදානමට ලක්වූ ආර්ථිකයන් ප්‍රකෘතිමත් කිරීම මැයෙන් පැවැති සංවාදයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ ආර්ථික අභිප්‍රායන් සහ වර්තමාන තත්ත්වය පිළිබඳව පැහැදිලි කළේය.

“මම කිව යුතුයි, අපි ද්විපාර්ශ්වික ණය සාකච්ඡා සම්බන්ධයෙන් හොඳ ස්ථාවරයක සිටින බව. පළමුවරට අපට ධනාත්මක වර්ධනයක් ළඟා කර ගැනීමේ අවස්ථාව ද උදා වුණා. මම මේ වසරේ 2% ක ආර්ථික වර්ධන වේගයක් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ලබන වසරේදී 4% ක හෝ 5% ක වර්ධනයක් අපේක්ෂා කරනවා." 

“අපිට ඇති ප්‍රධාන ගැටලුව මෙය නැවත පියවීම පිළිබඳයි. අපගේ ගෙවුම් ශේෂයේ ප්‍රශ්න පවතිනවා. ඒ වගේම ආදායමත් වියදම් සඳහා ප්‍රමාණවත් නැහැ." 

ස්විට්සර්ලන්තයේ නිල සංචාරය අතරතුර දී තවත් විශේෂ සාකච්ඡා රුසකට ජනපති එක්විය. පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර සමුළු දෙකකට සහභාගි වීම සඳහා උගන්ඩාවට පිටත්ව ගියේය. නොබැඳි ජාතීන්ගේ සමුළුවේ 19 වැනි රාජ්‍ය නායක සමුළුවට හා G77 සහ චීනය, තෙවැනි දකුණු සමුළුව සඳහා සහභාගි වීමට ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත විය.

කලකින් හාවක් හූවක් නොමැතිව සිටි හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගැන ද පසුගිය සතියේ දේශපාලන කරළියේ කතාබහක් නිර්මාණය වෙමින් පවතින බව පෙනී ගියේය. පොහොට්ටුවේ දේශපාලන අනාගතය පිළිබඳ නිශ්චිත අදහසක් නොමැති පසුබිමක ඇතැම් දේශපාලනිකයන් හිටපු ජනාධිපතිවරයා පිළිබඳව ද කතාබහ කර තිබුණි. ඒ පිළිබඳව ලැබුණේ මෙවන් දේශපාලන ආරංචියකි.

“ගෝඨාභය මහත්තයට පාර්ශ්ව කිහිපයකින්ම ආයෙත් දේශපාලනයට එන්න කියලා ආරාධනා කරලා. ඔය එක එක සංගම් කිහිපයකුත් එතුමා හම්බවෙන්න ගිහිල්ලා. ඒත් ගෝඨාභය මහත්තයා නම් කැමැති වෙලා නැහැ."

පොහොට්ටුවේ ප්‍රධානියකු ද සිටි තැනක පොහොට්ටු මන්ත්‍රීවරුන් ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳ කතා කර ඇතැයි කියැවේ

“එතුමා එන්නේ නැහැ කියලා තියෙනවා. ඒක තමයි හොඳ"

ඉහළින් ලැබී ඇත්තේ එවන් ප්‍රතිචාරයකි.

මේ අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳ සංවාදයට තුඩු දුන් තවත් සිදුවීමක් වූයේය. අරගලය අවස්ථාවේදී ජනාධිපති මන්දිරයේ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල කාමරයෙන් හමු වූ රුපියල් එක් කෝටි හැත්තෑ අට ලක්ෂ පනස් දහසක මුදලට අදාළව පසුගිය අඟහරුවාදා අල්ලස් කොමිසම අධිකරණය වෙත වාර්තාවක් ඉදිරිපත් කළේය.

මෙම මුදල පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග නොගැනීමට තීරණය කර ඇති බවත් ඊට අදාළව සිදු කළ විමර්ශනය අවසන් කළ බවත් අල්ලස් කොමිසම වාර්තාවක් ඉදිරිපත් කරමින් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ ප්‍රකාශ කොට තිබුණි. විමර්ශනයට අවශ්‍ය මූලිකාංග පැමිණිල්ලේ අන්තර්ගතව නැති බවත් පැමිණිල්ලට අදාළව වත්කම් විමර්ශන සිදුකිරීමට ප්‍රමාණවත් සාක්ෂි නැති බවත් අල්ලස් කොමිසම මගින් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේය.

මේ අතර එදිනම ලැබුණු තවත් නඩු තීන්දුවකට අනුව, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වී මරණ දඬුවම නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දෙන ලද ජනාධිපති සමාව අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ කටයුතු කිරීම ද සුවිශේෂී විය.

මේ අතර සමගි ජන බලවේගය මාර්තු මාසය වන විට දිස්ත්‍රික් සමුළු පහළොවක් පවත්වා අවසන් කිරීමේ ඉලක්කයක් නිර්මාණය කොට ඇතැයි පසුගිය සතියේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. පසුගියදා මාතර සමගි ජන බලවේගයේ දිස්ත්‍රික් සමුළුවට සමගාමීව මෙම ඉලක්කය එම පක්ෂය විසින් නිර්මාණය කර ඇතැයි කියැවේ. දිස්ත්‍රික් සමුළුවලට අමතරව සිය පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ විවිධ පිරිස් සහභාගි වන වැඩසටහන් රුසක් රට පුරා සංවිධානය කිරීමට සජබ මේ වන විටත් පිඹුරුපත් සකසා අවසන් බව කියැවේ.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සක්වල වැඩසටහන සමඟ රට පුරා යමින් සිටියි. සක්වල සුහුරු පන්ති කාමර ලබාදීමේ වැඩසටහනේ 69 වැනි අදියර යටතේ අනුරාධපුර ශ්‍රී දුටුගැමුණු මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබාදීමේ වැඩසටහනකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මැතිවරණය පිළිබඳ විශේෂ අදහසක් මතු කළේය.

“පළාත් පාලන මැතිවරණය හෝ පැවැත්වීමට කොන්දක් නොමැති මේ ආණ්ඩුව මහ මැතිවරණය සහ ජනාධිපතිවරණය ගැන පුරසාරම් කතා දොඩනවා." 

මේ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය සුරකින ඕනෑම මැතිවරණයකට සමගි ජන බලවේගය සූදානමින් සිටින බවය.

මේ අතර සමගි ජන බලවේගයේ ආර්ථික චින්තනය මුළුමනින්ම කරට ගැනීමට හර්ෂ ද සිල්වා මහතා සැදී පැහැදී සිටින බව පසුගිය සති කිහිපයේ දී පෙනී ගියේය. ඔහු සජබ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳ අවස්ථා කිහිපයකදීම අදහස් දැක්වූයේය. පසුගිය සතියේ දී ඔහු ණය ගෙවීම සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් නිසාවෙන් යම් කලබගෑනියක් ද ඇතිවිය.

“අපි සීට්ටුවක් දැම්මත් ඒක අපිට ගෙවන්න වෙනවා. අපි අතිශය සංකීර්ණ ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් ඇතුළෙ ඉන්නේ. මම පෞද්ගලිකව කිසි කෙනෙක්ව විවේචනය කරන්නේ නෑ. එහෙම කරන්න බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. මම ළඟදි ට්විටර් පණිවිඩයක් ගහලා තිබුණා. ඒකට සමහරු පෞද්ගලිකවම උරණ වෙලා මට ගහනවා මම දැක්කා. කමක් නෑ. ඒ හැමෝටම මගේ ගරුත්වය තියෙනවා."

පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳ කතාව ද දිගින් දිගටම දේශපාලන කරළියේ ප්‍රබල සංවාදයක් බවට පත් වී තිබුණි. පොහොට්ටුවේ මේ වන විටත් අපේක්ෂක ලැයිස්තුවේ කැපීපෙනෙන චරිතයක් බවට ව්‍යාපාරික ධම්මික පෙරේරා පත් වී සිටිය ද, එය තහවුරු කිරීමට පක්ෂයේ කිසිවකු හදිසි නොවන බව පෙනී ගියේය. පොහොට්ටු නායක මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර තිබුණේ ජනාධිපති අපේක්ෂකයාගේ නම ලබන අප්‍රේල්වලදී නිල වශයෙන් ප්‍රකාශ කරන බවයි.

මේ අතර පසුගියදා පැවති සාදයක දී පොහොට්ටුවේ ප්‍රධානියකු කී කතාවක් මාධ්‍ය කිහිපයක්ම වාර්තා කර තිබුණි.

“ධම්මික හොඳයි, ඒත් ව්‍යාපාරිකයකුට වඩා ගැලපෙන්නේ දේශපාලනඥයෙක්. මම මේ ගැන හරියට දන්නේ නෑ. බැසිල් ආවම කතා කරන්න ඕනෑ." 

මෙම සංවාදය තරමක් දීර්ඝ වූවක් බව එම වාර්තා සඳහන් කළේය. කෙසේ වෙතත් බැසිල් රාජපක්ෂ මේ මස අවසානයේ ශ්‍රී ලංකාවට පැමිණි පසු මෙම ප්‍රශ්නය නිරාකරණය වනු ඇතැයි පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයෝ අපේක්ෂා පළ කළහ.
මේ අතර පොහොට්ටුවේ පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබා දීම සඳහා "දේශපාලනඥයෙක් තමා ගැලපෙන්නේ" යන තර්කය ඉදිරිපත් කරමින් සිටින බවද ඇතැම් තැනක කියැවේ. කෙසේ වෙතත් පසුගියදා පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයකු වන රෝහිත අබේගුණවර්ධන ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පිළිබඳ අපූරු කතාවක් කියා තිබුණි. 

“එක්සත් ජාතික පක්ෂයට, එහි නායකයා තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එතුමන්ලාට අයිතියක් තියෙනවා තමන්ගෙ පක්ෂය වෙනුවෙන් අපේ වෙන්න ඉන්න අපේක්ෂකයා කියලා කියන්න. හැබැයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපේ අපේක්ෂකයා කියන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෑස්තියක් නෑ. 

ඒක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා, අපේ පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මැතිතුමා ඇතුළු අපේ දේශපාලන මණ්ඩලය විසින් ගන්න ඕනෑ තීන්දුවක්. ඒ මණ්ඩලය ගත්තොත් ඒකට සමහර වෙලාවට එක එක නම් එනකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නමත් අපේ එකට එයි.”

මේ අනුව පොහොට්ටුව තවමත් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මුළුමනින්ම අතහැර දමා නොමැති බවත්, ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු ඔහු වෙත පක්ෂය ඈඳීමට දරන උත්සාහය සත්‍යයක් විය හැකි බවත් පැහැදිලි විය.

ලංසා කඳවුර ද නව වසරේ  වැඩ ඇල්ලීමට සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේය. නව සන්ධානයේ මංගල මහජන රුලිය ලබන 27 වැනිදා ජාඇල නගර මධ්‍යයේ දී පැවැත්වීමට සියල්ල සූදානම් කර ඇති බව ඒ අනුව කියැවුණි. සන්ධානයේ ගම්පහ දිස්ත්‍රික් නායක අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මෙම රුස්වීම සංවිධානය කිරීම සඳහා මූලිකත්වය ගෙන ඇතැයි කියැවේ.

ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට පක්ෂයේ මෙහෙයුම් නායකත්වය භාරව කටයුතු කරන අනුර ප්‍රියදර්ශන යාපා, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, පියංකර ජයරත්න සහ නිමල් ලංසා යන මැති ඇමැතිවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් මේ සඳහා එක්වීමට නියමිතව තිබේ.

මෙම සන්ධානය වාර්තා කරන පරිදි මීට සමගාමීව නව සන්ධානය එළිදැක්වීමේ කටයුතු ද මේ මස අවසන් වීමට ප්‍රථම අවසන් කිරීමට නිමල් ලංසා මහතා ඇතුළු මන්ත්‍රී කණ්ඩායම ඉතා යුහුසුළුව කටයුතු කරමින් සිටිති. ඒ අනුව මේ දිනවල එම නව සන්ධානය සෙසු පක්ෂ සමඟ එක්වීමට අදාළ නීතිමය කටයුතු සහ නව සන්ධාන ව්‍යවස්ථාවේ කටයුතු සිදුකරමින් තිබේ.

පසුගියදා රාජගිරිය පක්ෂ මූලස්ථානයේදී අනුර යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් සුළු පක්ෂ සහ කණ්ඩායම් 20ක් සමඟ සාකච්ඡාවක් පැවැත්වූ බවට ද තොරතුරු වාර්තා වේ. මෙම අවස්ථාවට එම කණ්ඩායම් නියෝජනය කරමින් විධායක සභිකයන් 100 කට ආසන්න පිරිසක් සහභාගි වී ඇත. ජාතික ජනතා පෙරමුණ, දමිළ ජනතා ප්‍රගතිශීලී පක්ෂය, මව්බිම සංවර්ධන පෙරමුණ, ශ්‍රී ලංකා එක්සත් පෙරමුණ, මඩකලපුව මහජන සංගමය, පොදුජන එක්සත් දේශීය පක්ෂය, මුලතිව් සිවිල් ක්‍රියාකාරී සංගමය ඇතුළු කණ්ඩායම් කිහිපයක් මීට එක්වූ බව ලංසා සන්ධානය තහවුරු කර සිටියි.

මෙම පිරිස තම සන්ධානයට තම විශ්වාසය ආරක්ෂා කිරීමට හැකිදැයි ප්‍රශ්න කර තිබේ. එහිදී අනුර ප්‍රියදර්ශන යාපා පවසා ඇත්තේ මෙවන් කතාවකි.

“ඔබතුමාල අපි ගැන විශ්වාසය තියන්න, අපේ කණ්ඩායමේ කිසිවෙක් ආයෙත් නමක් දිනවන්න වැඩ කරන්නෙ නෑ, අපි දිනවන්නෙ වැඩපිළිවෙළක්"

ජාතික ජන බලවේගය ද සිය ප්‍රචාරක යාන්ත්‍රණය වඩාත් කාර්යක්ෂම කර තිබෙන බව පසුගිය සතිය වන විට පෙනී ගියේය. ඒ අතර ජාතික ජන බලවේගයේ නායකයන් සුවිශේෂී සංවාද කිහිපයක් සඳහාම එළැඹ තිබුණි. ඒ අනුව ඉකුත් බ්‍රහස්පතින්දා ජාතික ජන බලවේගය සාකච්ඡා කොට තිබුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟයි. එහෙත් එම සාකච්ඡාවේ අන්තර්ගතය පිළිබඳ තොරතුරු අනාවරණය නොවීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා මෙහෙයුම් ප්‍රධානී පීටර් බ_වර් (Peter Breuer) ඇතුළු කණ්ඩායමක් සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් පැවතියේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් පීටර් බෲවර් මහතාට අමතරව මූල්‍ය අරමුදලේ නේවාසික නියෝජිත සර්වත් ජහාන් මහත්මිය සහ මානවී අබේවික්‍රම යන අය ද ඊට සහභාගි වූහ. මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය, ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය නියෝජනය කරමින් සුනිල් හඳුන්නෙත්ති ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මේ වන විට ජාතික ජන බලවේගය ද සිය දිස්ත්‍රික් සමුළු සහ සංවිධාන තර කිරීමේ කාර්යය වේගවත් කර තිබේ. ඒ අනුව ජාතික ජන බලවේගය මේ දිනවල කාන්තා සමුළු සඳහා ප්‍රමුඛත්වයක් ලබා දී ඇති බව පෙනී යයි. ‘ගැහැනු අපි එක මිටට’ මැයෙන් පසුගියදා පැවැති ජාතික ජන බලවේගය, හම්බන්තොට කාන්තා සමුළුවක් පවත්වනු ලැබීය.

මෙහිදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක හම්බන්තොට දේශපාලනය පිළිබඳ මතුකර තිබුණේ මෙවන් අදහසකි.

“මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ටිකිරි ගිණුම්, මහන මැෂිං, පිරිත් පොත්, මළගෙයක් වුණොත් හාල් මිටි එවන කප්පිත්තෙක් හිටියා. මේ බෙදන දේශපාලනය නැවැත්විය යුතුයි. අපේ රටේ මිනිසුන් යාචක තත්ත්වයට පත් කරලා, තමන්ගේ ජීවිතය පවත්වාගෙන යෑමට අවශ්‍ය ආදායම නැති, ගෙයක් හදාගන්න, දරුවට රස්සාව ගන්න, ආදායම් මාර්ගයක් උපයා ගන්න බැරි තත්ත්වයක් හදලා, එයාලා උඩින් ඉඳගෙන බෙදන සිටුවරු බවට පත් වුණා. ඒ දේශපාලනයේ අන්තිම අවස්ථාවට අපේ රට ඇවිත් තිබෙනවා. දැන් බෙදන්න එනකොට හූ කියන තත්ත්වයක් ඇතිවෙලා."

පසුගිය සතියේ අප සඳහන් කළ පොහොට්ටුවේ අමුතු වැඩසටහන් ද ඉකුත් ජනවාරි 15 වැනිදා ආරම්භ වූ බව දැනගැනීමට ලැබුණි. “සද් ජන රළ ඉර හඳ සත්‍ය වසන් කළ නොහැක” යන මැයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2024 දී ගමට නායකයන් ගොඩනගන වැඩබිමක් ලෙස මෙම වැඩසටහන නම් කොට තිබුණි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තලවතුගොඩ, ග්‍රෑන්ඩ් මොනාච් හෝටල් පරිශ්‍රයේ දී මෙහි සමාරම්භය සනිටුහන් විය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී තරමක් ආන්දෝලනාත්මක දේශපාලන කතාවක් කියා තිබුණි.

”පක්ෂය ඉදිරියට ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අවධානය යොමුකර තිබෙනවා. එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂයා සම්බන්ධයෙන් ඉදිරියේ දී දැනුම් දෙනවා. ගමේ තත්ත්වය දෙස අවධානය යොමුකර ගමෙන් වැඩි වශයෙන්ම ඉල්ලන අපේක්ෂකයා සම්බන්ධයෙන් සැලකිලිමත් වෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා. අපේ අපේක්ෂකයා තීන්දු කර නැහැ. ඇතැම් විට අපේ පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්. බිම් මට්ටමේ තවදුරටත් සාකච්ඡා කරගෙන යනවා.”

මේ අනුව සමස්ත දේශපාලන භූමියම ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් එකම වැඩබිමක් බවට පත්වෙමින් තිබෙන බව සතිය අවසානයේ පෙනී ගියේය

I චමිඳු නිසල් ද සිල්වා