2024 ජනවාරි 13 වන සෙනසුරාදා

ඡන්ද උණුසුමේ ජනපති උතුර පීරයි

 2024 ජනවාරි 13 වන සෙනසුරාදා, ප.ව. 02:00 250

රොටිය පුච්චා ගැනීම වෙනුවෙන් තැටිය රත් කිරීමට සියලු දේශපාලකයෝ සැදී පැහැදී උන්හ. තීරණාත්මක දේශපාලන වසරක ඇරුඹුමේම සිය දේශපාලන පිඹුරුපත් සැකසීම කාගේත් පළමු රාජකාරිය විය. විවිධ තැන්වලට ඒකරාශී වූ දේශපාලකයෝ තම තමන්ගේ දේශපාලන ස්ථානගත වීම් පිළිබඳව සාකච්ඡා කරමින් සිටියෝය. තවත් සමහරු කල් ඇතිව ලියාගත්  තිර පිටපත් අනුව සිය දේශපාලන රංගයට අවතීර්ණ වී සිටියහ.

නව වසර ආරම්භයේදී ජනපති උතුරේ සංචාරයක් බලා පිටත්ව ගියේ බොහෝ බලාපොරොත්තු පෙරදැරිවය. එය තීරණාත්මක දේශපාලන සංචාරයක් ද වූ වග බොහෝ දෙනෙක් සඳහන් කළහ. කෙසේ වෙතත් මේ උතුර කරා සංවර්ධන අරුණලු උදා කරන තීරණාත්මක සංචාරයක් වන බව පෙනී ගියේ ජනපති උතුරේ කළ කී දෑ නිසාවෙනි.

මෙම සංචාරය අතරතුරදී යාපනය සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කවල සංවර්ධනය පිළිබඳ විමසා බැලෙන විශේෂ දිස්ත්‍රික්‌ සම්බන්ධීකරණ කමිටු රැස්වීම් ජනාධිපතිවරයා විසින්‌ කැඳවා තිබිණි. මෙහිදී 2025 වසර වන විට අවතැන්‌ වූ ජනතාව නැවත පදිංචි කිරීම්‌ සියල්ල සිදු කර අවසන්‌ කරන ලෙස ජනාධිපතිවරයා උතුරේ රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්‌ දුන්නේය. අදාළ දිස්ත්‍රික්කවල දේශපාලන අධිකාරිය මෙන්ම රාජ්‍ය නිලධාරීන්‌ගේ ද සහභාගීත්වයෙන් මෙම රැස්වීම් සංවිධානය කොට තිබුණි. 
මෙහිදී මතුවූ ඇතැම්‌ ගැටලුවලට එම අවස්ථාවේදීම විසඳුම්‌ ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගනු ලැබීය. මෙම සංචාරය අතරතුරදී උතුරේ ඉඩම්‌ ගැටලුවට කඩිනමින්‌ විසඳුම්‌ ලබාදීමට ඉඩම්‌ අමාත්‍යාංශයේ නිලධාරීන්‌ උතුරට එවන බවද ජනාධිපතිවරයා පැවසීය.

උතුරේ බොහෝ ප්‍රදේශවලට ගිය ජනපති විශේෂ නිරීක්ෂණ චාරිකා රුසකටම එක් වූයේය. ඒ අතර මේ දිනවල අතිශය ජනාදරයට පත්ව සිටින ඉන්දියානු රියැලිටි කිරුළක් දිනූ කල්මිෂා දියණිය ද යාපනයේ දී හමුවීමට ද ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අමතක නොකළේය.

ජනාධිපතිවරණය පෙනි පෙනී ජනපති උතුරේ කළ මෙම සංචාරය සැබෑවට තීරණාත්මක බව කා හටත් පැහැදිලි විය. මේ සංචාරයේ දී උතුරේ බොහෝ ප්‍රදේශවල, බොහෝ ගැටලුවලට සාධනීය විසඳුම් ලබාදීමට ජනපති කටයුතු කිරීමත් සුවිශේෂී වූයේය. මේ අතර උතුරේ එක්සත් ජාතික පාක්ෂිකයන් බලමුළු ගැන්වීමේ කටයුතුවලද ජනපති නිරත වූ බව කියැවුණි. එසේම උතුරේ දේශපාලනය සමඟ තම සබඳතා තර කර ගැනීමට ද ජනපති එම සංචාරය භාවිත කළ බව පෙනී ගියේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද සිය නව දේශපාලන පිඹුරුපත අනුව අලුත් වැඩකට අතගැසීමට සූදානම් විය. අප දේශපාලන ආරංචි මාර්ග අනුව මෙම වැඩසටහන නම්කොට ඇත්තේ "හිරු සඳු සහ සත්‍ය සැඟවිය නොහැක" යනුවෙනි. පොහොට්ටුව පසුගිය කාලය පුරාවට මුහුණ දුන් බොහෝ අභියෝගවලට හේතුව, තම කණ්ඩායම පිළිබඳ රටේ පැතිර ඇති අසත්‍ය බව පොහොට්ටුවේ ප්‍රබලයෝ විශ්වාස කරති. ඒ අනුව මහජනතාව තුළ පොහොට්ටුව පිළිබඳ පවතින දුර්මත දුරුකිරීමේ අදහසින් මෙම නව වැඩසටහන ඇරඹීමට ඔවුහු සූදානමින් සිටිති.

“නොයෙක් කටකතා, බොරු ප්‍රචාර පොහොට්ටුව ගැන පැතිරිලා ගියා. සංවිධානාත්මකව සමාජ මාධ්‍යයත් භාවිත කළා. අරගලයට පවා මේක බලපෑවා. ඒ නිසා සමහර අය පක්ෂයෙන් ඈත් වුණා. මිනිස්සු බය වුණා. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 631 කගේ ගෙවල් ගිනි තිබ්බා. අගමැතිතුමා ඇතුළු මන්ත්‍රීවරු 76 දෙනකුගේ ගෙවල් ගිනි තිබ්බා. ඒ නිසා තමයි මිනිස්සු බය වුණේ. ඒකයි පාක්ෂිකයන් දැනුවත් කිරීම සඳහා මේ වගේ වැඩසටහනක් ආරම්භ කරන්නෙ."

නව වැඩසටහන පිළිබඳ පොහොට්ටුව දෙසින් අසන්නට ලැබුණේ මෙවන් පැහැදිලි කිරීමකි. ආරංචි මාර්ග සඳහන් කරන පරිදි මෙම "හිරු සඳු සහ සත්‍ය සැඟවිය නොහැක" වැඩසටහන රට පුරා ක්‍රියාත්මක කිරීමට පොහොට්ටුව සූදානමින් සිටියි. පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂගේ උපදෙස් පරිදි ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මෙම වැඩසටහන සංවිධානය කරයි.

පළමු අදියරේදී මෙම වැඩසටහන සඳහා තුන්සිය දෙනකු තෝරාගෙන ඇතැයි කියැවේ. ඔවුන් වෙත පුහුණු වැඩමුළුවක් පක්ෂය විසින් පැවැත්වීමට කටයුතු කරමින් සිටියි. මෙහිදී පොහොට්ටුව සම්බන්ධයෙන් පැතිර ගිය කටකතාවල වන උගන්ඩා සල්ලි, ඩුබායි හෝටල්, ලැම්බෝගිනි කාර් ආදී කතාවලට පිළිතුරු බැඳීමට මෙම පිරිස පුහුණු කරනු ඇතැයි කියැවේ.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීම පසුගිය සතියේ ඉහළ අවධානයක් දිනාගත් සිදුවීමක් විය. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයකු වූ චමින්ද විජේසිරි මෙසේ ඉවත්ව යාමට හේතුව පිළිබඳ බොහෝ දෙනකු තුළ වූයේ කුකුසකි.

කෙසේ වෙතත් සිය ඉල්ලා අස්වීමට පෙර පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට ද ඔහු කටයුතු කර තිබුණි.

“මම වී එයිට් එකක පාර්ලිමේන්තු ආවේ. අද මට වී එයිට් එකක් නැහැ. ජන සමාජයේ මේ වෙලාවේ තියෙන ප්‍රශ්නෙදි මගේ දරුවන්ටත් සමහර වෙලාවට සාප කරනවා. 225 දෙනාගේ දරුවන්ටත් සාප කරන තැනට මේ රට පත්වෙලා තියෙනවා. ඒක ඔබේ අපේ වැරදි වෙන්න ඇති. ඒ නිසා මේවා ඉවසාගෙන මේ දේශපාලනය තුළ තවදුරටත් ඉදිරියට යනවද නැද්ද කියන එක පිළිබඳ පෞද්ගලිකව බරපතළව මට ප්‍රශ්නයක් ඇති වුණා. ගරු කතානායකතුමනි, ඒ නිසා නවවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් විදියට ඉල්ලා අස්විය යුතුයි කියන ලිපිය මම ඔබතුමාට භාර දුන්නා."

චමින්ද විජේසිරි මන්ත්‍රීවරයාගේ අවසන් ප්‍රකාශය අතරතුරදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පියකු වීම පිළිබඳ කතාව ද ජනගත කිරීමට ඔහු කටයුතු කළේය. ඒ අනුව එම කතාව ද හැන්සාඩ් ගත විය.

“අද පීතෘත්වය ලබාගත්ත පියෙක් විදිහට තමන්ගෙ දරු සුරතල් බලන නායකයෙක්. ඒ නිසා මට ලොකු විශ්වාසයක් තියෙනවා ඔබතුමා අපේ දරුවෝ සහ මේ රටේ දරුවෝ අනාගතයේදී බලාගනියි කියලා. මේ ගෞරවය මම දෙන්නේ, ඔබතුමා දැන් පහ හය හත වෙනකොට නැහැ. ඒ කාරණය හොයලා බලද්දි, දරුවන් නළවන දරු සුරතල් බලන්න පුළුවන් පියෙක් හැටියට අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමා ගොඩනැගිලා තියෙනවා."

පාර්ලිමේන්තුවේ සමගි ජන බලවේගය වෙනුවෙන් ඉදිරිපෙළ කථිකයකු වූ චමින්ද විජේසිරිගේ නික්ම යාම පිළිබඳ විවිධාකාර පුවත් වාර්තා වන්නට විය.

මේ පිළිබඳ බරපතළම ප්‍රකාශය කර තිබුණේ ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේය.

“මන්ත්‍රීවරු සියලු දෙනා හෑල්ලු කරමින් මාධ්‍ය ඒක හුවා දක්වලා තියෙනවා. නමුත් අපිත් පාරේ යනවා, මිනිස්සු අතර ඉන්නවා, අපිට එහෙම ප්‍රශ්නයක් නැහැ.

හැබැයි මේ මන්ත්‍රීවරයා ඉල්ලා අස්වීමෙන් පසුව ඊළඟට පාර්ලිමේන්තු එන්නේ ද්විත්ව පුරවැසියෙක්. මේ මන්ත්‍රීවරයා ඉල්ලා අස්වුණේ ලක්ෂ 900 ක් අර‌ගෙන කියලා පත්තරේ තියෙනවා. මේ ප්‍රකාශය අපිට හොඳ නැහැ."

මෙම ඉල්ලා අස්වීම පිටුපස ඇති හේතුව ඔස්ට්‍රේලියාවේ පදිංචියට යාමේ අවශ්‍යතාවය බවද මේ සමඟම කියැවුණි. 

කෙසේ වෙතත් පාර්ලිමේන්තුව තුළදී ද මෙය සංවාදයට මතු විය. එහිදී චමින්ද විජේසිරි වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පෙරට පැමිණීම විශේෂිත තත්ත්වයකි.

“මේ සභාවේ කියැවුණා ලැයිස්තුවේ ඊළඟට ඉන්න පුද්ගලයාගෙන් මිලියන නමසීයක් අරගෙන එතුමා ඉල්ලා අස්වෙනවා කියලා. මම මේ සභාවට කියන්න ඕනෑ එතුමා කවදාවත් මුදල්වලට දේශපාලනය කළේ නැහැ. එතුමා වී එයිට් එකකින් දේශපාලනයට ඇවිල්ලා දැන් ඇල්ටෝ කාර් එකකින් යන මිනිහෙක්."

පසුගිය සතියේ කොළඹ වරාය පරිශ්‍රයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මැති ඇමැතිවරුන් සහභාගී වූ සාදය ද විශාල දේශපාලන ආන්දෝලනයක් ඇති කළේය. මෙම සාදයේ වීඩියෝ පට සමාජ මාධ්‍ය තුළ සංසරණය වීමත් සමඟ තත්ත්වය බරපතළ විය. වරාය සහ සිවිල් ගුවන් සේවා රාජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර මෙම සාදය සංවිධානය කිරීමේලා ප්‍රධානත්වය ගෙන තිබුණි. 

වරාය සංවර්ධන කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා පැමිණෙන ලෙස මැති ඇමැතිවරුන් පනස් දෙනකුට රාජ්‍ය අමාත්‍යවරයා විසින් ආරාධනා කර ඇතැයි කියැවෙයි. මාධ්‍ය වාර්තා කළ පරිදි මෙම සාදය සඳහා අවශ්‍ය අනුග්‍රහය වරාය අධිකාරිය වෙතින් ලබාගැනීමට රාජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරිය කටයුතු කර තිබේ.

පනස් දෙනකුට ආරාධනා කළ ද දහතුන් දෙනකු පමණ මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා සහභාගී වී ඇත. ඒ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, පවිත්‍රා වන්නිආරච්චි, සනත් නිශාන්ත ආදි මැති ඇමැතිවරුන් පිරිසක් සිටි බව කියැවේ. නිරීක්ෂණ චාරිකාව අතරේදී "දියකාවා" සහ "හංසකාවා" යන මුහුදේ මඩ ඉවත් කරන බෝට්ටු දෙකක් මගින් පිරිස වරාය ආශ්‍රිතව සහ ඒ ආසන්න මුහුදු තීරයේ සංචාරය කර තිබේ.

මේ අතර වරාය අධිකාරියේ වෘත්තිය සමිති සහ සේවකයන් පිරිසක් මෙම දසුන් වීඩියෝගත කොට සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමට කටයුතු කර තිබුණි. පසුව වරාය වෘත්තීය සමිති මේ පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවක් පවා පැවැත්වීමට කටයුතු කළේය.
“මෙම සංචාරය අතරතුරදී මැති ඇමැතිවරුන්ට අවශ්‍ය ආහාරපාන, සංගීත කණ්ඩායම්, විස්කි ද බ්‍රුන්ඩි ද සියල්ල ලබා දීලා තියෙනවා. මේවා වරායේ වැලි මඩ පිරුණම ඉවත් කරන යාත්‍රා. මගී යාත්‍රා නෙවෙයි."

කෙසේ වෙතත් වරාය අධිකාරිය නිවේදනයන් නිකුත් කරමින් පවසා තිබුණේ මේ සම්බන්ධයෙන් කිසිදු වියදමක් වරාය අධිකාරිය මගින් දරා නොමැති බවය. පසුව රාජ්‍ය අමාත්‍යවරයා ද මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් මේ පිළිබඳ පැහැදිලි කළේය.
“කුහකයන් කන්නෙ බොන්නෙ නැතිවුණාට අපි කනවා බොනවා.” 

රාජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර මාධ්‍ය සාකච්ඡාවේදී කීවේ එවන් කතාවකි. මෙය නිරීක්ෂණ චාරිකාවක් බවත් ඒ සඳහා සියලු වියදම් දැරුවේ තමා බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය. රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය වෙත බිල්පත් ඉදිරිපත් කිරීමට ද කටයුතු කොට තිබුණි. රන්ජිත් මද්දුමබණ්ඩාර සහ විජිත හේරත් යන විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ද මේ සඳහා ආරාධනා කළ බව ඔහු වැඩිදුරටත් මෙහිදී සඳහන් කළේය.

පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳ සංවාදය ද විටින් විට දේශපාලන කරළිය තුළ ඉස්මතු වන බව පෙනී ගියේය. ධම්මික පෙරේරාගේ නම නිරන්තරයෙන් කියැවුණු අතර පසුගිය සතිය වන විට නාමල් රාජපක්ෂ නාමය ද ජනාධිපතිවරණ අපේක්ෂකයන් අතර සංවාදයට ලක්වන බවක් පෙනී ගියේය.

“කොහොමත් එකයි. නාමල් දැම්ම නම් හරි."

යන අදහස පෙරදැරිව කටයුතු කරන මන්ත්‍රීවරුන් සහ පොහොට්ටු ක්‍රියාකාරීන් පිරිසක් සිටින බව ඒ අනුව අනාවරණය විය.

“අපි බොහොම පැහැදිලිව කිව්වා, තාමත් කිසිම ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් අපි නම් කරලා නැහැ."

රූපවාහිනී සංවාදයකට එක්වෙමින් පොහොට්ටුවේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මෙලෙස අවධාරණය කළේ මේ අතරවාරයේදීය. 

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වේ නම් ඔහුට නිශ්චිත වශයෙන්ම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහයෝගය ලැබිය යුතු බව ආණ්ඩුවේ ප්‍රබලයන් කිහිප දෙනකු සඳහන් කර ඇතැයි කියැවෙයි. 

“රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට මහින්ද මහත්තයාගෙ සහයෝගය ගන්න එක එච්චර අපහසු නෑ."

ඇතැම් දේශපාලන වාර්තාවන්ට අනුව, ජනපති හිතෛශීන් මහින්ද රාජපක්ෂ මහතාගේ සහයෝගය වික්‍රමසිංහ ජනාධිපතිවරයා වෙත ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව කියැවේ.

කෙසේ වෙතත් මේ වන විට එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව තහවුරු කොට හමාරය. එහෙත් ජනාධිපති වික්‍රමසිංහ මහතා ඒ පිළිබඳ ප්‍රකාශයක් තවමත් සිදුකර නොමැත. එහෙත් ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපය ඉහළ නැංවන ප්‍රකාශ සහ සිදුවීම් වාර්තා වීම දිනෙන් දින ඉහළ ගොස් තිබේ. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නොබෙල් ත්‍යාගය දිය යුතු යැයි පසුගියදා පවසා තිබුණේ රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේය. රට ආර්ථික අර්බුදයෙන් මුදාගැනීම සම්බන්ධයෙන් වික‍්‍රමසිංහ මහතාට මෙම සම්මානය හිමිවිය යුතු බවත් ඇය කියා තිබුණි.
මේ අතර පසුගිය සතියේ ජාතික ජන බලවේගය පිළිබඳ සුවිශේෂී අවධානයක් යොමුවූයේ එහි නායකත්වය චීනයේ සිදු කළ සංචාරයක් හේතුවෙනි. මෙම සංචාරය සිදුව තිබුණේ පසුගිය දෙසැම්බර් මාසයේදීය. කෙසේ වෙතත් මෙම සංචාරය පිළිබඳව කිසිදු යාවත්කාලීන තොරතුරක් මාධ්‍ය වාර්තා අතර නොවීම ද සුවිශේෂි තත්ත්වයකි. 

අප දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළ පරිදි චීනයෙන් ලද ආරාධනාවක් අනුව දේශපාලන පක්ෂ අතර සංවාදයකට සහභාගිවීම සඳහා ජාතික ජන බලවේගයේ පිරිසක් මෙලෙස චීනය බලා පිටත්ව ගොස් තිබුණි. මෙම චීන සංචාරය ආණ්ඩු පක්ෂය හා විපක්ෂයේ දේශපාලකයන්ගේ වැඩි අවධානයක් දිනාගත්තේ හේතු සහිතවය.

“අනුර නොකියම චීනෙ ගිහින් ඇවිත්. එහෙන් තමයි ඔක්කොම ස්පොන්සර් කරලා තියෙන්නේ."

පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් අතරේ අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසේ චීන සංචාරය පිළිබඳ සංවාදයක් ඇතිව තිබේ.

“චීනය පැත්තෙ සපෝර්ට් එක ජනාධිපතිවරණයේදී අනුරට ලැබෙන්න පුළුවන්. පසුගිය දවස්වල චීන තානාපතිත් හම්බවුණා."

මේ අතර ඇතැමකු අනුරගේ චීන සංචාරය හාස්‍යයට ද ලක් කර ඇතැයි කියැවේ. 

කෙසේ වෙතත් ජාතික ජන බලවේගයේ ජාත්‍යන්තර ගනුදෙනු පුළුල් වීම පිළිබඳ ආණ්ඩුවේ සහ විපක්ෂයේ ඉහළ තැන්වල බොහෝ දෙනකුගේ අවධානය යොමුව ඇතැයි කියැවෙයි. මේ අතර පසුගිය ඇමෙරිකානු සංචාරයේ තරමටම චීන සංචාරය පිළිබඳ තොරතුරු මාධ්‍ය වෙත විවර නොකිරීමට ජාතික ජන බලවේගය කටයුතු කර තිබීම ද මීට හේතුවකි.

ජාතික ජන බලවේගයේ ආරංචි මාර්ග සඳහන් කරන පරිදි පක්ෂ මට්ටමින් සිදු වූ මෙම සංචාරයේදී චීන රජයේ ප්‍රධානීන් කිහිප දෙනකු ද මෙම කණ්ඩායම් විසින් හමුව තිබේ. 

පසුගිය සතියේ අයලක් තමිල් දින උත්සවයට සහභාගි වීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර  සෙන්තිල්  තොණ්ඩමාන් මහතා ඉන්දියාවේ සංචාරය කිරීම ද තරමක සුවිශේෂී සිදුවීමක් විය. ඔහුට දකුණු ඉන්දීය දේශපාලඥයන්ගෙන් ඉහළ පිළිගැනීමක් ලැබුණු බව කියැවිණි.

ඉන්දියාවේ තමිල්නාඩු රජය විසින් සංවිධානය කරන ලද "Emigration Tamil Day 2024” උත්සවයට තොණ්ඩමාන් මහතා එක්විය. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සහ ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති සෙන්තිල් තොණ්ඩමාන්  මහතාට "2024 අයලක් දෙමළ දිනය" උත්සවයේ ප්‍රධාන දේශනයක් පැවැත්වීමට ලැබීම ද වැදගත් සිදුවීමක් බව කියැවිණි.

සෙන්තිල් තොණ්ඩමාන් වෙත ඉන්දීය අනුග්‍රහය ලැබීම පිළිබඳ විවිධ කතා පැතිර යන වකවානුවක මෙම සිදුවීම තරමක් කැපී පෙනුණි. වතුකරයේ දේශපාලනයේ ප්‍රබල චරිතයක් ලෙස මැතිවරණ වර්ෂයේදී සෙන්තිල් තොණ්ඩමාන් ක්‍රියා කරනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. විපක්ෂයට නැඹුරුව සිටින වතුකරයේ දේශපාලන බලවේග අතර මේ වන විට ආණ්ඩුව සමඟ ගනුදෙනු කරමින් සිටින ප්‍රධානම දේශපාලන චරිතය ඔහු වී තිබේ.

පසුගිය සතියේ ඉහළ අවධානයක් යොමු වූ සිදුවීම් අතර ඈන් කුමරියගේ ශ්‍රී ලංකා සංචාරය ද සුවිශේෂී එකක් විය. ඈන් රාජකීය කුමරිය දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ හා පිලිප් කුමරුගේ එකම දියණියයි. නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඈන් කුමරිය මහනුවර  ශ්‍රී දළදා මාලිගාව වෙත ගොස් ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීමට ද කටයුතු කර තිබුණි.

ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍ය අතර 75 වසරක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සැමරීම වෙනුවෙන් ඈන් කුමරිය දිවයිනට පැමිණ සිටින අතර බ්‍රිතාන්‍ය රජ පවුලේ මෙම වසරේ පළමු සංචාරය ද මෙයයි. සංචාරය අතරතුරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට ද කටයුතු කළ ඈන් කුමරිය, යාපනයේ සංචාරයකට ද එක්වුවාය.
 
I චමිඳු නිසල් ද සිල්වා