2024 ජනවාරි 06 වන සෙනසුරාදා

ඩලස් තනිවෙයි: ජා.ජ.බ.ට පනියි?

 2024 ජනවාරි 06 වන සෙනසුරාදා, ප.ව. 02:00 6014

වසරක් ගෙවී නව වසරක් උදාවිය. උදාවූ වසර සුබද අසුබද යන්න තීරණය කිරීමේ අයිතිය ඔබ සතුය. එහෙත් තීරකයා ඔබම පමණක් නොවේ. හිතමිතුරු කතිරපතිවරුද බොහෝ දෑ තීරණය කරමින් සිටිති. කෙසේ වෙතත් මේ වසරේ තිත්තයාගේ වාරය එළඹෙනු ඇති බව කියැවේ. කොකාට කොකා පෙන්වීම හෝ නොපෙන්වීම තිත්තයන්ගේ කාර්යයකි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව වසරේ පළමුවරට ජනතාව අමතමින් සුවිශේෂී ප්‍රකාශයක් සිදුකළේය. 2024 වසරේ රටේ ආර්ථිකය පිළිබඳ ජනපතිගේ දර්ශනය මෙහිදී හෙළිවිය.

''රටේ ආර්ථිකය ගොඩනැගීමට අවශ්‍ය අසීරු තීරණ මම දැන් ගෙන අවසන්. ඒ ගැන දෝෂාරෝපණය කළ හැක්කේ මට පමණයි. ඒ නිසා මම අනෙකුත් දේශපාලනඥයන්ට කියනවා රට රුකගැනීමට ඔබටත් යුතුකමක් තිබෙනවා. එසේනම් රටේ ආර්ථිකය ගොඩනැගීමට අපි එකතුවෙමු. අපි සියලුදෙනා එකතුවෙලා කටයුතු කළහොත් 2024 පසුව රට තුළ ඉතා සීඝ්‍ර සංවර්ධනයක් ඇතිකරගත හැකි බවට කිසිදු සැකයක් නැහැ. ඒ සමග එකතුවෙන්න කියා මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා.''

ජනපති මේ බව කියා සිටියේ ජනවාරි පළමුවැනිදා බත්තරමුල්ල අකුරේගොඩ හමුදා මූලස්ථානයේ ස්ථාපනය කෙරුණු නව ගුවන් හමුදා මූලස්ථානය විවෘත කිරීමේ උත්සවයට එක් වෙමිනි. මෙම වසරේ රටේ ආර්ථික වර්ධන වේගය 3%ක් බවට පත්කර ගැනීමට බලාපොරොත්තු වන බවද ජනපති මෙහිදී ප්‍රකාශය කළේය.

''මෙම වැඩපිළිවෙළ සමග ඉදිරියට ගියහොත් 2026-2027 වනවිට ආර්ථික වර්ධන වේගය 5%ක් කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. එවිට අප සාමාන්‍ය තත්ත්වයකට පත්වෙනවා. ඉන්පසුව තවත් සීඝ්‍රයෙන් ඉදිරියට යා යුතුයි. අපට සහාය වීමට රටවල් බොහොමයක් මේ වනවිට එකඟ වී තිබෙනවා. ඒ වගේම ඔවුන් ඊළඟට අහන ප්‍රශ්නය වන්නේ අනාගතයේදී මේ ණය ගෙවීමට හැකියාව තිබේද යන්නයි. ඒ සඳහා අප නව ආදායම් මාර්ග උත්පාදනය කරගත යුතුයි.''

ජනපතිගේ ආර්ථික අභිප්‍රාය මෙලෙස පැහැදිලි වන අතරේ දේශපාලන අභිප්‍රාය පිළිබඳ ඉඟි සපයන සිදුවීමක්ද නව වසරේ දැකගත හැකි විය. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මෙම සිදුවීම සිදුව ඇත්තේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදීය.

ජනවාරි පළමුවැනිදා සිරිකොත වැඩ අරඹෙන මොහොතට ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාද එක්ව තිබේ. පාලිත රංගෙ බණ්ඩාර ඇතුළු පක්ෂයේ තවත් ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙක් මෙම සභාවේ සිටියහ. සිරිකොත කාර්ය මණ්ඩලය අමතමින් සාගල රත්නායක මහතා පවසා ඇත්තේ මෙවැන්නකි.

''මේක අපිට වැදගත් වර්ෂයක්. මැතිවරණ දෙකක් පවත්වන්න යන වර්ෂයක්. රටේ ප්‍රධානම මැතිවරණය ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය.''

ජනපති වික්‍රමසිංහ මහතා අර්බුදකාරී මොහොතක රට පිළිබඳ අභියෝගය බාරගත් බවද ඔහු සඳහන් කළේය. කෙසේ වෙතත් මෙම කතාවේ සුවිශේෂී දේශපාලන ඉඟිය වූයේ නිශ්චිතවම මෙම වසරේ මැතිවරණ දෙකක් කරා ගමන් කිරීමට ජනපති තීරණය කර ඇති බවයි.

සමගි ජනබලවේගය නව වසර ආරම්භ කළේ තීරණාත්මක දේශපාලන සිදුවීමක් සමගිනි. සමගි ජනබලවේගයට සෑම අතින්ම සුභ වූ මෙම සිදුවීමේ, කතා නායකයා වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වූ ශාන් විජයලාල් ද සිල්වා මහතායි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දීර්ඝකාලීන සාමාජිකයකු මෙන්ම ජ්‍යෙෂ්ඨයෙක්ද වූ ශාන් විජයලාල් ද සිල්වා මහතා ශ්‍රීලනිප හැරයාමට තීරණය කළේය.

ජනවාරි පළමුවැනිදා ශාන් විජයලාල් මහතා විපක්ෂනායක කාර්යාලය වෙත පැමිණයේය. එහිදී ඔහු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අතින් සජබ සාමාජිකත්වය ලබා ගත්තේය. ඒ අනුව අලුත් අවුරුද්ද වෙනුවෙන් වැඩ ඇල්ලූ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා තම පක්ෂය සමඟ එක්වූ ෂාන් විජයලාල් ද සිල්වා මහතාට අම්බලන්ගොඩ ආසනයේ සංවිධායක ධුරය පිරිනැමීය.

''අද මේ තීන්දුව ගත්තේ පක්ෂයෙන් කිසිම මදිපුංචිකමක් සිද්ධවුණු නිසා නෙවෙයි. නායකත්වයෙන් කිසිම අඩුපාඩුවක් සිද්ධවුණ නිසා නෙවෙයි. අද රටේ ඉටුකළ යුතු කාර්යභාරය පිළිබඳ දැනුමක් අවබෝධයක් තිබුණු නිසා අපි කල්පනා කළා. 2024 එකට එකතුවෙන්න පුළුවන් අදහස් දරන අය පොදු අරමුණකට එකතු විය යුතුයි කියලා. සජිත් ප්‍රේමදාස මහත්මාගේ වැඩපිළිවෙළ තුළට එකතු වීම යුගයේ අවශ්‍යතාවයක් සහ ජාතියේ කාර්යභාරයක්.''

තමන්ගේ දේශපාලන තීන්දුව ශාන් විජයලාල් ද සිල්වා මහතා පැහැදිලි කළේ ඒ අයුරිනි. විපක්ෂනායක කාර්යාලයේ පළමුවැනිදා කැවිලි මේසය වෙත ශාන් විජයලාල් මහතාද කැටුව යාමට විපක්ෂ නායකවරයා තීරණය කළේය.

මේ අතර එදින පැවැති වැඩසටහන් කිහිපයකටද විපක්ෂ නායකවරයා සමඟ සජබ නව සාමාජික ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් මහතා සහභාගී විය.

''ඉතාමත් කීර්තිමත් දේශපාලන නායකයකුගේ අත්වැල් බැඳ ගැනීමත් සමඟයි මෙවර අපි අලුත් අවුරුද්ද සමරන්නේ. ඒ පිළිබඳව ශාන් විජයලාල් ද සිල්වා මැතිතුමාට ස්තූතිවන්ත වෙනවා. එතුමාගේ කළ පුරුද්ද දැක පුරුද්ද සියල්ලම එකතු කරගෙන ජාතික මෙහෙවරකට ආරාධනා කරනවා.''

කෙසේවෙතක් සමගි ජනබලවේගයෙන් ලැබුණු දේශපාලන ආරංචි අනුව ශාන් විජයලාල් මහතා සජබ සමඟ එකතුවීම සම්බන්ධ සියලු සාකච්ඡා සෘජුවම විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මෙහෙයවා ඇතැයි කියැවේ. දකුණේ ප්‍රබල සජබ සාමාජිකයකු වන ගයන්ත කරුණාතිලක ආදී නායකයන් මෙම තීන්දුව සඳහා කැමති කරවා ගැනීමද විපක්ෂ නායකවරයා විසින්ම සිදුකරනු ඇතැයි කියැවේ. කෙසේ වෙතත් මේ සඳහා දේශපාලන කපුකම කිරීමට මෑතකාලීනව සමගි ජනබලවේගය සමඟ එක්වූ චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයාද හවුල් වී ඇතැයි දැනගැනීමට ලැබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම හිටපු අමාත්‍යවරයකු වූ දයාශ්‍රිත තිසේරා මහතා පසුගිය සතියේ සමගි ජනබලවේගය සමග අත්වැල් බැඳගත්තේය. ඊට අමතරව සමගි ජනබලවේගයට තවත් තීරණාත්මක ගැටලුවකටද මුහුණපෑමට සිදුවිය. ඊට හේතු වූයේ සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක කොළඹ දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ආර්. පීරිස් මහතා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීමයි.

මේ අතර ඩලස් පිලේ දෙදෙනා විපක්ෂ නායක කාර්යාලයට යාමද නව වසරේ උණුසුම් දේශපාලන පුවතක් විය. ජනවාරි පළමුවැනිදා විපක්ෂ නායක කාර්යාලයේ පැවති අලුත් අවුරුදු සාදය සඳහා සහභාගි වීමට ජී.එල්. පීරිස්, ඩිලාන් පෙරේරා ආදී ඩලස් සාමාජිකයන්ගේ පැමිණීම කැපී පෙනුණි. එහෙත් දින කිහිපයක සිටම ඩලස් අලහප්පෙරුම නිහඬ ව්‍රතයක එළඹ සිටියේය.

මේ අතර ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයාගේ සමාජ මාධ්‍ය සංවාදයක් අලලා සජබ සහ ඩලස් පිල අතර ඇතිවූ සාකච්ඡා පිළිබඳ තොරතුරු අනාවරණය වන්නට විය. මෙම සාකච්ඡා සන්ධානය සඳහා ව්‍යවස්ථාවක් සකස් කිරීම,  ආර්ථික අර්බුදය සඳහා විසඳුම් සෙවීම, මැතිවරණය ජයගැනීමට දේශපාලන උපක්‍රම යෙදීම යන මූලික තේමා ත්‍රිත්වය යටතේ සිදුව තිබේ.

මෙම සාකච්ඡාවල එක්තරා සන්ධිස්ථානීය අවස්ථාවකදී නාලක ගොඩහේවා, ජී.එල්. පීරිස් ඇතුළු කිහිප දෙනෙකු සිදුකර ඇත්තේ මෙවන් යෝජනාවකි.

''අපි ඉදිරි සතියේ සන්ධානය හදමු.''

එහෙත් ඩලස් පලකර ඇත්තේ මෙම වෙනත් අදහසකි.

''අපි මැතිවරණයක් ප්‍රකාශ කරනකම් ඉඳල සන්ධානය හදමු.''

මෙම මතවාදය සමපාත නොවීමත් සමඟ දැනට නිර්මාණය වී ඇති ඩලස් පාර්ශ්වයේ අභ්‍යන්තර අර්බුදය වර්ධනය වී ඇතැයි කියැවේ.

මෙම අර්බුදය වර්ධනය වනවිට සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සහ ඩලස් අලහප්පෙරුම වෙනම සාකච්ඡා වටයක් ආරම්භ කර ඇත. ඔවුන් දෙදෙනා පාසල් සගයන් වීම හේතුවෙන් අර්බුදය කළමනාකරණය කර ගැනීමේ අවස්ථාව ඔවුනට ලබාදුන් බව ඩිලාන් පෙරේරා කියා තිබේ.

කෙසේ වෙතත් මෙම සාකච්ඡා කෙළවර නව සන්ධාන ව්‍යුහයේ තනතුරු බෙදීයාම පිළිබඳ ගැටලුවක් උද්ගතව තිබේ. පෙරදී යෝජනා වී තිබූ පරිදි නායකත්වය සජිත් ප්‍රේමදාස වෙතත්, සභාපතිත්වය ඩලස් වෙතත් හිමිවීම ඔවුන් ප්‍රතික්ෂේප කොට ඇත. මේ අනුව සාකච්ඡා වෙනත් විකල්පයන් කරා ගමන් කළද ඩලස් එම විකල්පයන්ටද කැමති නොවූ බව කියැවේ.

මේ අනුව ඩිලාන් පෙරේරා මතුකළ තවත් සුවිශේෂී කරුණක් වූයේ, ඩලස්ව තනිව භාර ගැනීමට ජාතික ජනබලවේගය අකමැති නොවන බවයි. කෙසේ වෙතත් මේ වනවිට ඩලස් ජාතික ජනබලවේගය සමග එක්වනු ඇති බවට දේශපාලන කටකතා රුසක් පැතිර යමින් පවතියි.

ඉදිරි මැතිවරණ වසරේ කටයුතු පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙසින්ද ඉකුත් සතියේ පූර්ව සූදානමක් දැකගත හැකිවිය. වසර ආරම්භයේදීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ විවිධ දේශපාලන ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡා කිහිපයක්ම සිදුව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේය.

ඉදිරියේ එළඹෙන්නේ කවරාකාරයක මැතිවරණයක්ද ඒ සඳහා සූදානම් විය යුත්තේ කෙලෙසද යන්න පිළිබඳ පොහොට්ටුවේ ප්‍රධානීන් රුස්ව සාකච්ඡා කොට ඇතැයි කියැවේ. මේ අතර පසුගිය ජනවාරි හතරවැනිදා පැවැති සාකච්ඡාවක් අවසානයේ මාධ්‍යය නැගූ පැනයකට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ලබා දී තිබුණේ මෙවන් පිළිතුරකි.

''අපි ලෑස්ති වෙනවා ඕනෑම මැතිවරණයකට මුහුණ දෙන්න.''

''ක්ෂණිකව පාර්ලිමේන්තුව විසිරෙව්වත් අපි මැතිවරණයකට සූදානම්...''

මේ අතර ඉදිරි මැතිවරණය සඳහා යෝජනා වී ඇති අපේක්ෂකයන් පිළිබඳවද මාධ්‍ය කළ විමසීමට හිටපු ජනාධිපතිවරයා පිළිතුරු ලබාදී තිබුණි.

''මම නම් නෙවෙයි. බලමු බලමු. නම් ගොඩක් තියෙනවා මම හැර. ඒ වෙලාවට බලමු...''

මේ සමඟම ජනාධිපතිවරණයට පූර්වයෙන් පාර්ලිමේන්තු මැතිවරණයක් පැමිණේදැයි සැකසංකා දේශපාලන කරළියේ මතුවන්නට විය.

මේ අතර නිමල් ලන්සා ප්‍රමුඛ සන්ධානයද නව වසර වෙනුවෙන් වැඩ අල්ලා තිබුණි. ජනවාරි පළමුවැනිදා නව සන්ධානයේ දේශපාලන පක්ෂ කාර්යාලයේ කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීමට මෙම කණ්ඩායම කටයුතු කළේය. ඒ වෙනුවෙන් රාජගිරිය ලේක් ඩ්‍රයිව්හි පිහිටි එම සන්ධානයේ මූලස්ථානයේදී උත්සවයක්ද සංවිධානය විය.

එම සන්ධානයේ මෙහෙයුම් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ සහ කඳවුරේ නිර්මාතෘ නිමල් ලන්සා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පවත්වා තිබුණි. මෙහිදීද මැතිවරණය පිළිබඳ සිදුවූ සංවාදයක් එම පක්‍ෂයේ ආරංචි මාර්ග මෙලෙස වාර්තා කළේය. එම සංවාදය ආරම්භ කර ඇත්තේ සන්ධානයේ නායකයා ලෙස පෙනී සිටින අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයාය.

''අපි කරන්නේ ජනතාවට නායකත්වය දෙන එක. එහෙම නැතුව නායකත්ව වන්දනාවේ ගිය යුගය දැන් ඉවරයි. ජනතාවට ඒ දේශපාලනය එපා වුණ නිසා තමයි ගෝඨාභය මහත්තයට පස්ස දොරෙන් යන්න වුණේ.''

නිමල් ලන්සා මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා සමග සමීපව කටයුතු කරන බව කියැවෙන නිසාවෙන් රුස්ව සිටි පිරිස මැතිවරණ කුතුහලය පිළිබඳ ඔහුගෙන් තොරතුරු විමසා තිබේ.

''මන්ත්‍රීතුමා හැමෝම කියනවා පාර්ලිමේන්තු විසුරුවන්න හදනවා කියලා ඒ කතාවේ ඇත්තක් තියෙනවද?''

මෙම පැනය විමසා ඇත්තේ හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකි. එයට නිමල් ලන්සා ලබාදී ඇති ස්ථිර පිළිතුරකි.

''නෑ නෑ ඉස්සරවෙලාම එන්නේ ජනාධිපතිවරණය. ජනාධිපතිතුමා ඒකට සූදානම් වෙලා ඉන්නේ.''

පසුගිය සතියේ අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන සහ හිටපු මහ ඇමැති එස්.එම්. රංජිත් සමරකෝන් හට තඹුත්තේගම කෝන්වැව ප්‍රදේශයේදී බාලදියක් පෙරළිණි. ජල ෆිල්ටර් බෙදාදීම පිළිබඳව සාකච්ඡාවකට තඹුත්තේගම කෝන්වැව ප්‍රදේශයට ආ මෙම දෙපළට ජනතාවගෙන් එල්ල වූයේ දැඩි විරෝධයකි.

පැමිණ සිටි පිරිස ඇමතීමට නැගී සිටි හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතාට ජනතාව හූ තබා ඊට බාධා කළහ.

''මේ ගොල්ලෝ සල්ලි වෙන්කළා කියලා කියනවා. ඒ කාගේ සල්ලිද? මේ ගොල්ලන්ගේ පෞද්ගලික සල්ලිද?''

රජයේ ප්‍රතිපාදන තමන්ගේ ප්‍රතිපාදන සේ ජනතාවට ලබාදීමට උත්සාහ කිරීම සම්බන්ධව මෙහිදී පිරිස විරෝධය පා තිබේ. නාවික හමුදාවේද මැදිහත් වීමෙන් සිදුකළ කටයුත්තක් සඳහා මොවුන් දෙදෙනා සහභාගී වීම සම්බන්ධයෙන් විරෝධතා මතු වූ බව ප්‍රදේශවාසීහු කියා සිටියහ. කෙසේ වෙතත් එම විරෝධය හමුවේ අමාත්‍යවරයා ඇතුළු පිරිස එම ස්ථානයෙන් පිටව ගොස් ඇත.

පසුගිය වසර අවසානයේ ජාතික ජනබලවේගයේ මාතර කාන්තා රුස්වීම කාගේත් අවධානය දිනා ගත්තේය. එහිදී ජාතික ජනබලවේගයේ අනුර කුමාර දිසානායක උදාවන වසර පිළිබඳ අනාවැකි කීවේය.

''අද ජාතික ජනබලවේගයේ මැදිහත් වීමෙන් හුදු ඡන්දයක් ලබාගැනීමේ ගැහැනිය වෙනුවට සමාජය පරිවර්තනය කිරීම සඳහා අත්වැල් බැඳගන්නා ගැහැනුන් බවට ඔසවා තබා තිබෙනවා. 2024 ජයග්‍රහණය ගැන අපටත් කුකුසක් තිබුණා නම්, අද එය මුළුමනින්ම ඉවරයි. අන් කවරදාටත් වඩා වැඩියෙන් අවදියෙන් සිටිය යුතු, කල්පනා කළ යුතු, ක්‍රියාකාරී විය යුතු, වෙලාවක් මේක. ඔබට දැන් මොනවාද ඉතිරි වී තිබෙන්නේ. අවුරුදු 13, 14 වයසේ දැරිවියන් පවා උපදේශන සේවාවන් ලබාගත යුතු තත්ත්වයට සමාජය බිඳ වට්ටවා අවසන්.''

මේ අතර උදාවූ වසරේ දිවයින පුරා තවත් සාකච්ඡා සංවිධාන රුසක් බිහිකිරීමට ජාතික ජනබලවේගය සූදානමින් සිටියේය. ඒ අනුව පසුගිය සතියේ ආසන කිහිපයකම ජාතික ජනබලවේගය වෛද්‍යවරුන්ගේ හමුව සූදානම් කර තිබෙනු දැකගත හැකි විය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටද නව වසර තීරණාත්මක වසරක් විය. ශාන් විජයලාල්ගේ නික්ම යාමෙන් පසු ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම ආසන දිස්ත්‍රික් සංවිධායකවරුන්ගේ සහභාගීත්වයෙන් හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ රුස්වීමක් පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි.

“පසුගිය 31 වැනිදා ශාන් මට කතා කළා. දේශපාලන තීන්දුවක් ගන්නවා කියලා කිව්වා. පස්සේ මම කිව්වා පොඩ්ඩක් ඉන්න කලබල වෙන්න එපා. මම 3 වැනිදා කොළඹ එනවා ආවම කතා කරමු කියලා. හා මම එහෙනම් 03 වැනිදා හමුවෙන්නම් කියලා ශාන් කිව්වා. ඒත් පළමුවැනිදා එයා සමගි ජනබලවේගයත් එක්ක එකතු වුණා. මම එයාට පක්ෂයෙන් කරන්න ඕන සියලු දේ කළා. මම රට ගියාම පක්ෂයේ වැඩබලන සභාපති කළා. කිසිම අඩුපාඩුවක් අසාධාරණයක් පක්ෂයෙන් හරි මගෙන් හරි ශාන්ට වුණේ නෑ...''

මේ අනුව අම්බලන්ගොඩ ආසනයේ හිටපු ශ්‍රීලනිප සංවිධායක ශාන් විජයලාල් මහතාගේ ඇතිවූ පුරප්පාඩුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා පත්කළ යුතු බව යෝජනා වී ඇතැයි කියැවේ. 

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ සාකච්ඡා රුසක් ආරම්භ කර ඇතැයි කියැවේ. ශ්‍රීලනිප ආරංචි මාර්ග සඳහන් කරන පරිදි එම සාකච්ඡා හිටපු ජනාධිපති පෞද්ගලික ලේකම්, ශ්‍රීලනිප කාර්ය මණ්ඩල ප්‍රධානී මියුරු භාෂිත ලියනගේ සිදුකරගෙන යයි.

ඒ අනුව මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක ඇතුළු පක්ෂයේ ප්‍රබලයින් පිරිසක් හිටපු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡා කිහිපයක් පවත්වා ඇතැයි කියැවේ. ඔවුන් සඳහන් කරන පරිදි පුළුල් සන්ධානයට පිරිස් එක්කර ගැනීමේදී පිරිසිදු දේශපාලනඥයන් එක්කර ගැනීමට බලාපොරොත්තු වේ.

I චමිඳු නිසල් ද සිල්වා