2023 දෙසැම්බර් 30 වන සෙනසුරාදා

රහසේ දරු සුරතල් බලන නායකයා

 2023 දෙසැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00 705

දේශපාලන සන්තෑසි රැසක් කෙළවර වසරක අවසානය සනිටුහන් විය. උදාවීමට නියමිතව ඇත්තේ හකුලා දැමුණු මැතිවරණ සිතියම, නැවත දිගහැරෙන වසරකි. වර්ෂ අවසාන සතියේ දේශපාලනය තරමක් නිද්‍රාශීලී වූයේ, සුපුරුදු පරිදි වර්ෂ අවසාන නිවාඩුව ගතකරනු රිසියෙන් දේශපාලනඥයන් රැසක් විදේශගතවීමද තවත් පිරිසක් ගම්බිම් බලා පැමිණීමද හේතුවෙනි.

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණාත්මක දේශපාලන වසර වෙනුවෙන් පිඹුරුපත් ඇඳීමට ගෙවී ගිය සති කිහිපයම යොදාගත් බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේය. පසුගිය සතියේ බදුල්ලේ පාසලක සියවස් සැමරුම් උත්සවයකට සහභාගි වූ ජනපති අපූරු දේශපාලන ඉඟියක් පෑවේය.

රට තුළ ස්ථාවර ආර්ථිකයක් ගොඩනැගීම සහ ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් සෙවීම අද රට හමුවේ ඇති ප්‍රධාන වගකීම් බව ජනපති කීය.

''රටේ ආර්ථිකය ගොඩනැගීමට අපට සහාය ලබාදෙන්න කියා දේශපාලන පක්ෂ ඇතුළු සියලු දෙනාගෙන් මම ඉල්ලා සිටියා. නමුත් අප බලාපොරොත්තු වූ ප්‍රතිචාරය ලැබී නැහැ. අද මේ රටේ විසඳාගත යුතු ප්‍රධාන ප්‍රශ්න දෙකක් තිබෙනවා. කුමන පක්ෂයකට අයත් වුවත් එම ප්‍රශ්න විසඳා ගැනීමට අපත් සමඟ එක්වන ලෙස මම එම සියලු දෙනාගෙන් නැවත ඉල්ලා සිටිනවා.''

මේ අතර ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට නොයන බවට කැට තබා කීමට විපක්ෂයේ ඇතැම් දේශපාලන පක්ෂ උත්සුක වන බව පෙනී ගියේය. ජනපති පාර්ශ්වයෙන්ද ඉකුත් සතියේ මෙම ප්‍රකාශයන්ට යම් ප්‍රතිචාරයක් දැක්වීය. මෙම සිදුවීම වී තිබුණේ නත්තල් නිවාඩුවට පෙර ආණ්ඩුවේ ඉහළ මැති ඇමැති කිහිපදෙනකු හමුවේ කොළඹදී සිදුකළ සාකච්ඡාවකදීය. මෙම සාකච්ඡාව පිළිබඳ මාධ්‍ය වාර්තා කිහිපයක්ද පළවිය.

''සර්, මේ පාර ජනාධිපතිවරණයට එන්නේ නෑ කියන කතාව ඇතැමුන් කියනවා. මොකක්ද මේකේ ඇත්ත නැත්ත.''

මෙම සාකච්ඡාව අතරේදී ඇමැතිවරයෙක් මෙසේ විමසා ඇත්තේ සිය සැක සංකා දුරුකර ගැනීමේ අටියෙනි.

''මම තවම එනවා කියලත් නෑ. එන්නේ නෑ කියලත් නෑ. කොහොම වුණත් රටේ ආර්ථිකය ගොඩගන්න තව වැඩකටයුතු බොහොම කරන්න තියෙනවා.''

මෙහිදී ජනාධිපතිවරයා තමන් ඉදිරි ආර්ථික කටයුතුවලට වැඩි බරක් ලබා දී තිබෙන බව ඇමැතිවරුන් හමුවේ පවසා ඇතැයි කියැවේ.

''ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන අවසන් කළ යුතුව තිබෙනවා. අලුත් ආර්ථිකයක් නිර්මාණය කළ යුතුව තිබෙනවා. ඊට කාලය අවශ්‍යයි.''

කෙසේ වෙතත් ජනපති හිතවාදී පාර්ශ්ව කිහිපයක්ම ජනවාරියේදී සිය මැතිවරණ මෙහෙයුම දියත් කිරීමේ විලාශයෙන් පසු වන බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේය.

''සම්පූර්ණ සැලැස්මක් හදලා තියෙනවා. ජනවාරි ඉඳලා ඒ සැලැස්ම ක්‍රියාත්මක කරනවා.''

ජනපතිවරයාගේ නිසි පිළිතුරක් නොලැබුණද ජනාධිපතිවරයා වෙනුවෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතු ජනවාරියේදී ආරම්භ කරන බව එම පාර්ශ්වය තහවුරු කළේය.

මේ අතර කලක් දරුවන් අපේක්ෂාවෙන් පසු ප්‍රධාන දේශපාලනඥයකු රහසේ දරු සුරතල් බලමින් සිටින බවටද ආරංචි පැතිර යමින් තිබුණි. ඒ අනුව මෙම දරු උපත සිදුව ඇත්තේ මීට මාස හයකට පමණ පෙරය. මෙම දරුවා දියණියක් බව කියැවෙන අතර මෙම දේශපාලනඥයාගේ හිතවත් දෛවඥායන් හා නාහිමිවරුන් ඇතුළු ඉතාම සමීපතමයන් කිහිපදෙනකු පමණක් මෙම උපත පිළිබඳ දැන සිට තිබේ.

කෙසේ වෙතත් පසුගිය සතියේ මෙම දරුවාගේ හිස කෙස් කැපීම සුභ මුහුර්තියකින් සිදුව ඇති බව කියැවේ. මෙම පුවත හෙළිදරව් කරමින් මාධ්‍යය මෙම දේශපාලනඥයා වෙත සුබපැතුම් එක්කරන බවද කියා තිබුණි. කෙසේ වෙතත් දේශපාලනඥයා කවුරුන්ද යන්න පිළිබඳ කිසිදු තොරතුරක් හෙළිදරව් නොවීය. මේ අතර සමගි ජනබලවේගයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු වෙතින් මෙම පුවත විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පිළිබඳව වූවක් බවට ඉකුත් සතියේ ඉඟි පළව තිබුණි. කෙසේ වෙතත් මේ හා සම්බන්ධ නිශ්චිත තොරතුරක් තවදුරටත් හෙළිව නොමැත.

කිසිම දෙයක් සිදු නොවූ පරිදි ගෙවී ගිය සති කිහිපය තුළ සජිත් ප්‍රේමදාස මහතා පියානෝව වයමින් විවිධ ගී තනු ඉදිරිපත් කරනු දැකගත හැකි විය. නත්තලට සුභ පැතීම වෙනුවෙන්ද ''කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ'' ගීතය සිය පියානෝවෙන් වයා මුහුණු පොත වෙත උඩුගත කිරීමට විපක්ෂ නායකවරයා කටයුතු කර තිබුණි.

මේ අතර සමගි ජන බලවේගය දොළොස් පාර්ශ්වයක් සමඟ එක්වීම සමඟ බිහිවෙන සන්ධානය පිළිබඳවද විවිධ කතා පැතිර ගියේය.

''සන්ධානය සම්බන්ධ සියලුම තීරණ ගැනීමේ වගකීම නායකතුමාට පැවරුවා...''

ඉකුත් සෙනසුරාදා පැවැති සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රුස්වීමෙන් පසුව ප්‍රකාශකයකු එලෙස සඳහන් කොට තිබුණි.

''ඩලස්ගේ කණ්ඩායමත් ඍජුවම සමගි ජනබලවේගයත් එක්ක සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවකින් ඉන්නවා...''

මේ අතර එවන් ප්‍රචාරයක්ද පැතිර ගියේය. ඩලස් පාර්ශ්වයේ දහ දෙනකු සෘජුවම සජබ සංවිධායක ධුර ලබා එම පක්ෂය සමඟ එක්වනු ඇතැයි ඒ අනුව කියැවුණි.

''ජී.එල්. අගමැති කරන්න කියලා ආපු යෝජනාවට නම් පිරිස කැමැති වුණේ නැහැ...''

සමගි ජනබලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස වනවිට, අග්‍රාමාත්‍ය අපේක්ෂකයා ජී.එල්. වියයුතු බවට ඉදිරිපත් වූ යෝජනාවක් මේ අනුව ප්‍රතික්ෂේප වී ඇතැයිද දේශපාලන කරළියෙහි කටකතා පැතිර ගියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් ධූරයෙන් ඉවත් කරන දයාසිරි ජයසේකර තරමක නිහඬියාවකින් පසුව පසුගිය සතියේ හඬ අවදි කළේය. ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් පක්ෂ ගණනාවකින් තමන්ට ආරාධනා ලැබී තිබුණත් තවම කිසිවකු හා බැඳී නොමැති බව ඔහු කීය. මෙහිදී මාධ්‍යවේදීන් ජනාධිපතිවරණය අපේක්ෂකත්වය ලැබුනහොත් බාරගන්නේද යන්න පිළිබඳවද දයාසිරි ජයසේකර මහතාගෙන් විමසීය.

''ඒ අවස්ථාව අපිට දුන්නොත් අවශ්‍ය කරන කටයුතු ටික මම කරන්න සූදානම්. මොකද මේ රට ඉගෙන ගත්තු උගත් බුද්ධිමත් මිනිස්සුන්ට දැන් ඇතිවෙලා තියෙනවා. එහෙම නැතිනම් ප්‍රජාතන්ත්‍රවාදීව මේ රට ගොඩගන්න පුළුවන් නායකයකු වෙනුවෙන් ඒ කැපවීම කරන්න මම සූදානම්.''

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තම සාමාජිකත්වය අත්හිටුවා තිබුණත් තමන් තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයකු බැවින් එම පක්ෂය ගන්නා ඕනෑම තීන්දුවකට මේ මොහොතේ සහයෝගය ලබාදෙන දයාසිරි ජයසේකර මෙහිදී සඳහන් කර සිටියේය.

මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් සිව් දෙනකු සලකා බලන බවට ප්‍රකාශ කොට තිබේ.

''එක්කෙනෙක් තමා ධම්මික පෙරේරා...''

ඒ අතරින් එක් අයෙක් ධම්මික පෙරේරා බව පොහොට්ටුව තහවුරු කර ඇති අතර රනිල් වික්‍රමසිංහ මහතාද මෙම සිව්දෙනා අතර සිටින බව කියැවෙයි. කෙසේ වෙතත් අනිත් අපේක්ෂකයන් දෙදෙනා කවුරුන්ද යන්න පැහැදිලි නොමැත.

''කවුරු ජනාධිපති වුණත් ජනතාවට බලපාන ප්‍රධාන ප්‍රශ්න ටික විසඳන්න ඕනෑ. අපි අපේ ජනාධිපති කරන අපේක්ෂකයන්ට ජනතාවට බලපාන ප්‍රශ්න ඉදිරිපත් කරලා, ඒවා විසඳන ආකාරය පිළිබඳ විමසලා බලමු...''

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුගියදා මෙවන් තීරණයකට පැමිණ ඇති අතර, ඒ අනුව ඔවුන් සිය ජනාධිපතිවරණ අපේක්ෂකයන් ලෙස සලකන අයට කොන්දේසි දහයක් ඉදිරිපත් කර තිබේ. පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ මෙම ප්‍රශ්න පිළිබඳ තොරතුරු අනාවරණය වූයේ ධම්මික පෙරේරා වෙතිනි.

(1) ජනාධිපතිවරණයේදී 51%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීම සඳහා අනෙකුත් දේශපාලන පක්ෂ, කණ්ඩායම්, සිවිල් සංවිධාන සමග සන්ධානගත වීමේ වැඩපිළිවෙළ.
(2) ලෝකයේ අනෙකුත් රටවල් සමඟ තරග කළහැකි ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයක් රටේ සිසු පරපුරට ලබාදීමට අදාළ වැඩපිළිවෙළ.
(3) කෘෂිකර්මාන්තය සංවර්ධනය කරමින් ස්මාර්ට් කෘෂිකර්මාන්තයක් බිහිකිරීමේ වැඩපිළිවෙළ.
(4) ග්‍රාමීය ප්‍රදේශවල සහ නාගරික ප්‍රදේශවල දිළිඳුකම තුරන් කිරීම සඳහාත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දියුණු කිරීම සඳහාත් එම ප්‍රදේශවලට මුදල් ගලාඑන වැඩපිළිවෙළ.
(5) ආර්ථික වර්ධන වේගය 7% දක්වා වැඩි කළයුතු අතර ආර්ථිකය ප්‍රසාරණය කිරීමේ වැඩපිළිවෙළ.
(6) බඩු මිල සහ ජීවන වියදම ජනතාවට දරාගත හැකි මට්ටමක් දක්වා අඩු කිරීමේ වැඩපිළිවෙළ.
(7) රජය සතු ව්‍යාපාර හෝ රාජ්‍ය දේපළ පෞද්ගලීකරණය නොකොට පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාර ලාබ ලබන තත්ත්වයට පත්කිරීම සඳහා වැඩපිළිවෙළ.
(8) ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල 17ම අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීමේදී පළමු 1000 අතරට ගෙන ඒම සඳහා එම විශ්වවිද්‍යාල සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ.
(9) සංචාරක කර්මාන්තය නඟා සිටුවීම සඳහා ශ්‍රී ලංකාවට වසරකට සංචාරකයින් ලක්ෂ 50ක් ගෙන්වා ගැනීමේ ඉලක්කය සහිතව ඊට අදාළ සැලැස්ම.
(10) ශ්‍රී ලංකාවට යළි විදේශ විනිමය අර්බුදයකට මුහුණදීමට සිදු නොවන පරිදි ඩොලර් ඉපැයීමේ උපාය මාර්ග සහිත නිශ්චිත නව වැඩපිළිවෙළ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂත්වය හිමිවන්නේ මෙම සියලුම කොන්දේසි සම්පූර්ණ කළ හැකි අපේක්ෂකයකුට පමණක් බව සඳහන් කර තිබේ. ඒ අනුව ධම්මික පෙරේරා ඉහත කොන්දේසි සැපිරිය හැකි විසඳුම් පත්‍රිකාවද මේ වනවිට පොහොට්ටුව වෙත යවා ඇතැයි කියැවේ. 

පසුගිය සතියේ ලංසා කඳවුර දෙසින්ද ජනාධිපතිවරණ සූදානම පිළිබඳ දේශපාලන ආරංචි ලැබුණි. නව සන්ධානයේ ජනාධිපතිවරණ මෙහෙයුම් ජනවාරි මස පළමුවැනිදා පෙරවරුවේ ආරම්භ කිරීමට ඔවුන් සූදානම් වන බව ඒ අනුව කියැවුණි. රාජගිරිය ලේක් ඩ්‍රයිව්හි පිහිටි පක්ෂ කාර්යාලයේදී මෙම පිරිස සුභ මොහොතින් එම කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කොට තිබේ.

''නව සන්ධානයේ මෙහෙයුම් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා සහ නිමල් ලංසා මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඒ කටයුතු ආරම්භ වෙනවා...''

ලැබී ඇති ආරංචි අනුව නව සන්ධානයට එකතුවී සිටින සියලු වෘත්තීය සමිති නියෝජිතයන්ට මෙම උත්සවය සඳහා පක්ෂ කාර්යාලය විසින් ආරාධනා කර ඇත.

මේ අතර මෙම කඳවුර සිය පාර්ශ්වයේ ශක්තිය වැඩිකර ගැනීම සඳහා පසුගිය කාලය පුරාවටම සාද සැමරුම් සංවිධානය කරන අයුරු දැකගත හැකි විය. ඒ අනුව නත්තල වෙනුවෙන් රාජගිරිය නව සන්ධාන පක්ෂ කාර්යාලයේ කාර්ය මණ්ඩලය සඳහා විශේෂ නත්තල් සාදයක් පසුගිය බදාදා පවත්වා ඇතැයි කියැවේ. විදේශගත වී සිටින නිමල් ලංසා මන්ත්‍රීවරයා විසින් එවන ලද නත්තල් කේක් කමින් සුගීශ්වර බණ්ඩාර, සිරිපාල අමරසිංහ යන අයගේ ප්‍රධානත්වයෙන් මෙම සාදය පැවැති බව එම සන්ධානයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය සතියේ අධ්‍යාපනික වෙළෙඳ ප්‍රදර්ශනක් නැරඹීමට ගිය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් මාධ්‍යවේදීහු පිරිසක් තීරණාත්මක ඉදිරි මැතිවරණ වසර පිළිබඳ විවිධ ප්‍රශ්න අසන්නට වූහ.

''විපක්ෂනායක ධූරය ගන්න ඔබතුමා සූදානම් වෙනවා කියලා කතාබහක් යනවා. ඒක ඇත්තද?''

මාධ්‍යවේදීහු ඇසූ ප්‍රශ්නයකට මහින්ද රාජපක්ෂ මහතා පිළිතුරු ලබා දුන්නේය.

''තාම එහෙම කතාවක් නැහැ. අපේ බලාපොරොත්තුව ඊළඟ මැතිවරණයේදී  බලය ලබාගැනීමයි. විපක්ෂයට යන්න බලාපොරොත්තුවක් නැහැ.''

මහින්ද රාජපක්ෂ මහතා මෙලෙස පැවසීමත් සමඟ පොහොට්ටුවේ පිරිසක් විපක්ෂයේ බලය තහවුරු කර ගැනීම අරමුණු පෙරදැරිව කටයුතු කරන බවට වූ චෝදනාවටද පිළිතුරු ලැබුණි. මෙම සංවාදයේදී රජය මේ වනවිට ක්‍රියාත්මක කරන මත්ද්‍රව්‍ය ජාවාරම් වැටලීමේ වැඩසටහනද රාජපක්ෂ මහතා අගය කළේය. එසේම නව බදු ප්‍රතිපත්තිය පිළිබඳවද ඔහු මෙලෙස සඳහන් කළේය.

''ඉදිරියේදී බදු අඩුකරනවද? වැඩි කරනවද?''

''බදු නැතිකරන්න බැහැනේ. බදු තියේවි. මම කියන්නේ මිනිස්සුන්ට සාධාරණ බදු ක්‍රමයක් හඳුන්වා දෙන්න ඕන...''

වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පසුගිය සතියේ ජනතා විරෝධයකට මැදි විය. ඒ මහියංගනය ප්‍රදේශයේ පාසල් හතරක සිසුන් සඳහා අභ්‍යාස පොත් හා පාසල් උපකරණ බෙදාදීමේ උත්සවයකදී මෙම සිදුවීම සිදුවූයේය.

''කරන දෙයක් හරියට කරන්න බොරු වැඩ කරන්න එපා...''

අමාත්‍යවරයා උත්සවය සඳහා පැමිණෙන විට දෙමව්පියෝ විවිධ අවලාද නගමින් ඔහුට බැණ වදින්නට වූහ. දඹාන, ඉඹුලපොළ ඇතුළු මහියංගන කලාපයේ ගම්මාන කිහිපයක දරු දැරියන් පිරිසක් මෙම වැඩසටහනට සහභාගි කරවාගෙන සිටියහ. මෙහිදී උත්සවය සංවිධාන කළ පුද්ගලයන් මේ දරුවන් බොහෝ වේලා රස්තියාදු කර ඇතැයි කියැවෙයි. එසේම බොහෝ දුර ගෙවා සූදානම් වී පැමිණි දරුවන්ට ඇමැතිවරයා අතින් පිටු 40ක අභ්‍යාස පොතක් පමණක් ලබාදුන් බව කියමින් මවුපියන් මේ විරෝධය පළකර තිබිණි.

අවසානයේදී සිදුවීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාටද පිළිතුරු බැඳීමට සිදුවිය. ඒ අනුව පොත් බෙදාදීම ඇතුළු පාසල්වල උත්සව සංවිධානය කළ යුතු ආකාරය පිළිබඳව විදුහල්පතිවරුන්ට චක්‍රලේඛ මඟින් දැනුවත් කර ඇතැයි ලේකම්වරයා පවසා තිබුණි. එසේම පාසල්වල උත්සවවලට දේශපාලන අධිකාරිය සහභාගි කරවා ගැනීමේ අනුගමය කළ යුතු කරුණු උපදෙස් සහිතව ලබාදී තිබෙන බවද ලේකම්වරයා සඳහන් කර තිබේ.

පසුගිය සතියේ ජාතික ජනබලවේගය සුපුරුදු දේශපාලන ක්‍රියාකාරකම්වලම නිරත වී සිටියේය. ඒ අතර ජාතික ජනබලවේගය සමඟ සමීපව සිටින නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති නීතිඥ ධූරයක් ලබාදීම පිළිබඳ සැලකිය යුතු ආන්දෝලනයක් ඇති විය. උපුල් කුමාරප්පෙරුම මහතා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණවලදීද එම පක්‍ෂයේ ජාතික ලැයිස්තුවද නියෝජනය කළේය. එම නිසාම සමාජ මාධ්‍ය තුළත්, යූටියුබ් විචාරකයන් තුළත් මේ පිළිබඳ මත ගැටුම් නිර්මාණය විය.

''උපුල්ට මේක ලැබුණට අවුලක් නෑ. ඒ උපුල් පහුගිය කාලේ මේ වෘත්තියේ හැසිරුණ විදිහ, ජීවත්වුණ විදිහ නිසා.''

ඇතැමුන් එලෙස පවසන අතරේම තවත් පිරිසකගේ සිත මෙම තනතුර ලබාගැනීම නිසාවෙන් රිදී තිබුණි. කෙසේ වෙතත් මේ හා සම්බන්ධව ජාතික ජනබලවේගය දෙසින් කිසිදු ප්‍රතිචාරයක් නොවීය. ජාතික ජන බලවේගය සිය සමුළු සහ සංවිධාන ව්‍යුහය පුළුල් කිරීමේ අරමුණ සහිතව කටයුතු කරමින් සිටින බව පෙනී ගියේය. ''ගැහැනු අපි එක මිටට මාලිමාවට'' කියන මාතර දිස්ත්‍රික් කාන්තා සමුළුව දෙසැම්බර් 30 වැනි ඉරිදා පැවැත්වීමට ඔවුහු ලහි ලහියේ සූදානම් වෙමින් සිටියහ.

මේ අතර කලකට පසුව කරළියට ආ බත්තරමුල්ලේ සීලරතන හිමියන් පසුගියදා අපූරු කතාවක් කියා තිබුණි. පසුගිය දිනවල දැඩි ආන්දෝලනයක් ඇති කළ නුවරඑළිය තැපැල් කාර්යාලය නිරීක්ෂණය කිරීමට ගිය බත්තරමුල්ලේ සීලරතන හිමි මෙම ප්‍රකාශය සිදු කළහ.

''රනිල් වික්‍රමසිංහට කියන්නේ සල්ලි නැත්නම් කියන්න, මේ රටේ මහා සංඝරත්නය එකතුවෙලා සම්මාදම් කරලා සල්ලි හොයලා දෙන්නම් රටේ සම්පත් විකුණන්න එපා! අම්පාර පැත්තේ පූජනිය සිද්ධස්ථානවල ඉඩම් කොටස් කරලා දෙනවා එක එක්කෙනාට. ඒවා ගැන කියන්න කෙනෙක් නෑ. මහා සංඝරත්නය පාරට බැස්සොත් ඔබතුමාට අරගලයට වඩා දෙයක් සිදුවෙනවා.

සුද්දෝ මේවා හැදුවේ මේවගෙන් ප්‍රයෝජනය අරන් රට දියුණු කරන්න මිසක් විකුණන් කන්න නෙවෙයි, රනිල් වික්‍රමසිංහ ඔබට ජනාධිපතිකම කරන්න බැරිනම් මට දෙන්න...''

නුවරඑළිය ප්‍රධාන තැපැල් කාර්යාලය ඇතුළු ඓතිහාසික ස්ථාන පිටරට පෞද්ගලික ආයතන වෙත විකිණීම පිටුපස විශාල හස්තයක් ඇති බවද සීලරතම හිමියන් වැඩිදුරටත් පවසා තිබුණි.

I චමිදු නිසල්