2023 දෙසැම්බර් 23 වන සෙනසුරාදා

ජනවාරියේ සිට යූ.එන්.පි.ය අලුත් ගමනක

 2023 දෙසැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00 292

වසර පිළිබඳ ඇත්තේ බලාපොරොත්තුවක් ද බියක් ද යන්න ගැටලු සහගතය. ඉතිහාසය පුරා ලබාගත් වැරදි දේශපාලන තීන්දු තීරණවලට නූතත සහ අනාගත පරපුර වෙතින් වන්දි අයකිරීම ඇරුඹී තිබේ. රටම අඳුරේ ගිල්වා ඇති ආර්ථික කළු වලාවේ රිදී රේඛාවක් වන රිබන් පටියක් හෝ දැකගත හැකි නම් සතුටකි.

වර්ෂාවසාන දින තීරණාත්මක දේශපාලන සංවාද විසංවාදවලින් ගහණ විය. පක්ෂ සහ විපක්ෂ ජනාධිපතිවරණ සූදානම සේම සන්ධාන සාකච්ඡා සහ දිය යට ගිනි ද උඳුවප් සීතල මකා දැමුවේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අනාගත දේශපාලන විසංවාදයකට හේතු විය හැකි තීරණාත්මක දේශපාලන නිවේදනයක් නිකුත් කළේය. පසුගිය බදාදා මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් බදු බර අඩු කිරීම මැයෙන් මෙම මාධ්‍ය නිවේදනයක් නිකුත් විය.

“මා නායකත්වය දෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවේ කොටසක් වූවත්, වත්මන් ආණ්ඩුවේ ප්‍රධානියා මෙන්ම රාජ්‍ය නායකයා වන්නේද අපට වඩා වෙනස් ප්‍රතිපත්තියක් අනුගමනය කරන වෙනත් දේශපාලන පක්ෂයක නායකයෙකි."

වර්තමාන ආණ්ඩුවේ තීරණ පිළිබඳ අනියම් විවේචනයක් මෙම නිවේදනයේ අන්තර්ගත වීම සුවිශේෂී තත්ත්වයක් විය. පොහොට්ටුවේ සමුළුවෙන් පසු පක්ෂ ස්ථාවරය මේ හරහා නිරූපණය විය.

“අනාගතයේ දී සෑම ඡන්ද දායකයකුම තමන් ඡන්දය දෙන පක්ෂයේ බදු ප්‍රතිපත්තිය සහ අතීත ආර්ථික භාවිතයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතුය. මැතිවරණ ළං වන විට, නොයෙක් ප්‍රචාරක උපක්‍රම හා සමාජ මාධ්‍ය මෙහෙයුම් හරහා ජනතාව කුලප්පු කර ඔවුන් කිසිදු වග විභාගයකින් තොරව කඩිමුඩියේ අන්ධ ලෙස කිසියම් දිශාවකට රුගෙන යෑමේ උත්සාහයක් නැවත වරක් අපි දකිමු."

කෙසේ වෙතත් මේ මොහොතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලික යුතුකම වන්නේ ඉදිරි ජාතික මැතිවරණය තෙක් ස්ථාවර ආණ්ඩුවක් තහවුරු කිරීම බව මහින්ද රාජපක්ෂ මහතා මෙම නිවේදනය හරහා පවසා තිබුණි.

පසුගිය සතියේ ජනාධිපතිවරයා කැබිනට් හමුවේ දී විශේෂ ප්‍රකාශයක් කළ බව දේශපාලන වාර්තා පළ විය.

“මම ජනාධිපතිවරණයට එනවා"

යන්න හැඟවෙන පරිදි ජනාධිපතිවරයා එම ප්‍රකාශය ඉකුත් සඳුදා කැබිනට් මණ්ඩලය හමුවේ සිදු කළ බව කියැවේ. එසේම අමාත්‍ය මණ්ඩලයේ සහාය ද ජනපති බලාපොරොත්තු වූ බව එම වාර්තා සඳහන් කරයි.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ ආගමනය ස්ථිර කෙරෙන ප්‍රකාශයක් පසුගිය සතියේ දැකගත හැකි විය. ඒ අනුව ජනාධිපතිවරණය සඳහා වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා නිර්පාක්ෂික අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන බව පවසා තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ උප නායක හිටපු අමාත්‍ය රවී කරුණානායකය.

“රනිල් වික්‍රමසිංහ නිර්පාක්ෂික දේශපාලන ජනාධිපතිවරයෙක් වශයෙන් කටයුතු කිරීම අනිවාර්යයන්ම වෙනවා. සියලු පක්ෂවල එකතුවක් වශයෙන් තමා මේක කරන්නේ. නොයෙක් අය තරග කරන්න කැමැතියි. නමුත් අමාරු අවස්ථාවක රටක අරාජිකත්වයට නායකත්වය දෙන එවැනි ස්වරූප තියෙන පුද්ගලයන් බොහෝම සීමිතයි."

මේ අතර එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ ජනවාරියේ සිදුවීමට යන වෙනසක් පිළිබඳව ද දේශපාලන කරළියේ ආරංචි පැතිර යමින් තිබේ. ඒ අනුව පක්ෂයේ තීරණාත්මක නායකත්වයේ බලතල නායකත්ව මණ්ඩලයකට පැවරෙනු ඇති බව කියැවේ. දැන පවතින තොරතුරු අනුව මෙම නායකත්ව මණ්ඩලයට පත්වන්නේ රුවන් විජේවර්ධන, රවී කරුණානායක, අකිල විරාජ් කාරියවසම්, සාගල රත්නායක, හරින් ප්‍රනාන්දු, නවීන් දිසානායක යන අයයි.

මෙම ක්‍රමවේදය යටතේ පක්ෂයේ ඇතැම් තනතුරු අහෝසි වී යනු ඇතැයි ද වාර්තා පළ වේ. එසේම ඉදිරියේ එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තනතුර ද වෙනස් වීමට නියමිත බව එම වාර්තා සඳහන් කරයි.

ජාතික ජන බලවේග‍යේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය එහි නායක අනුර කුමාර දිසානායක වෙත ලබා දෙන බවට මේ වන විටත් විවිධාකාර තහවුරු කිරීම් සිදුකොට තිබේ. කෙසේ වෙතත් ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන්, හරිනි අමරසූරිය මන්ත්‍රීවරිය පිළිබඳ සංවාදයක් නිර්මාණය වී තිබේ.

“ඔයා එනව නම් අපි බොක්කෙන්ම සහයෝගය ලබා දෙනවා"

දේශපාලන ආරංචි අනුව පසුගියදාක පාර්ලිමේන්තුවේදී හරිනි අමරසූරිය මන්ත්‍රීවරියට මෙසේ පවසා ඇත්තේ ප්‍රියංකර ජයරත්න මන්ත්‍රීවරයාය. ඇය ඊට සිනහවකින් ප්‍රතිචාර දක්වා ඇතැයි කියැවේ.

“හරිනිට අනුරට වඩා ඡන්ද ගන්න පුළුවන්. ජේවීපියට කැමති නැති මැද තැන්වල ඉන්න අය හරිනිට උදව් කරයි"

ආණ්ඩුවේ ඇතැමුන් මෙවන් ප්‍රකාශ සිදුකරමින් සිටින බවට ද දැනගැනීමට ලැබේ.

කෙසේ වෙතත් සිය පක්ෂයේ ජනප්‍රියත්වය වර්ධනය වීමත් සමඟ ඊට එරෙහිව ක්‍රියාත්මක වන කුමන්ත්‍රණවල එක් කොටසක් ලෙස ජනතා විමුක්ති පෙරමුණු ජ්‍යෙෂ්ඨයෝ මෙම සිදුවීම් අර්ථකථනය කරති.

මේ අතර ජාතික ජන බලවේගය පසුගිය සතියේ ආසන සමුළුව පැවැත්වීම කඩිනම් කර තිබුණි. එසේම දිස්ත්‍රික් මට්ටමින් සිය වෘත්තීය සංසදය බලගැන්වීම සහ නව සංසද ඇති කිරීමට ද කටයුතු කරමින් සිටියේය. ඒ අනුව ජාතික ජන බලවේගයේ මැතිවරණ සූදානමේ මූලික අදියරේ වැඩසටහන් යාන්ත්‍රණය 2023 අවසාන මාසයේ පූර්ණ වශයෙන් නිරීක්ෂණය විය.

පසුගිය අඟහරුවාදා රාජ්‍ය නාට්‍ය උළෙලේ සිදුවූ සිදුවීමක් දේශපාලන පාර්ශ්වයේ අවධානයට යොමුවිය.  ඊට හේතුව වූයේ 50 වැනි රාජ්‍ය නාට්‍ය උළෙලේ දී සභාව ඇමතු රාජ්‍ය නාට්‍ය උපදේශක සභාවේ සභාපති පරාක්‍රම නිරිඇල්ල මහතා විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා දැඩි ලෙස විවේචනය කිරීමයි.

මව්බිමේ නාමය සටහන් කළ කලාකරුවන් තිදෙනකුට හා කලාකාරියකට ඇගයීම් සම්මාන ලබා දීම සුදුසුයි කියලා ගෙන ආ යෝජනාවක් නොතකා හැරීම මෙම ප්‍රකාශයට නිමිත්ත විය.

“කවුද මෙවැනි ප්‍රතිපත්තියක් හදිසියේම හැදුවේ? මේ ගැන විමසීමේ දී දෙපාර්තමේන්තුවෙන් දැනගන්න ලැබුණේ ඇමැතිතුමාගේ නියෝගයක් අනුව වෙනස සිදු කළ බවයි. මෙවැනි සිද්ධියක් මේ රටේ පමණක් නෙමෙයි, මේ ලෝකේ කොහේදිවත් සිදුවුණා කියලා මම අහලා නෑ. මේක නාට්‍ය කලාවට මෙහෙවරක් කළ කලාකරුවකුට කළ අගෞරවයක්. සදාචාරයට පටහැණි දෙයක්. මකා දැමිය නොහැකි කිලුටක්.

ඇමැතිතුමාටත් අධ්‍යක්ෂවරියටත් ගැලපෙන ආකාරයට තීරණ හිතුමතේ වෙනස් කරන්න පුළුවන් නම් මම සහ අපි, මේ උපදේශක මණ්ඩලයේ සිටීමේ තේරුමක් නැහැ. මේ නිසා මම මේ වේදිකාවෙන් පහළට බසින මොහොතේ සිට රාජ්‍ය නාට්‍ය උපදේශක සභාවේ සභාපතිත්වයෙන් හා එහි සාමාජිකත්වයෙන් ඉවත් වෙනවා."

මෙම නාට්‍ය උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය වීම සහ බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික ඇමැති විදුර වික්‍රමනායක මහතා ද ඊට සහභාගි වීම මෙම ප්‍රකාශයට විශේෂ අවධානයක් ලැබීමට හේතු විය. 
මේ අතර පළාත් සභා විෂය යටතේ සිදුවන සංවර්ධන කටයුතුවලදී පාර්ලිමේන්තු මන්ත්‍රීන් සහ ආණ්ඩුකාරවරු අතර ඇතිව ඇති ගැටුම් පිළිබඳ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධානය යොමුකර ඇති බව පෙනී ගියේය. ඒ අනුව ආණ්ඩුකාරවරුන් සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් ඉකුත් අඟහරුවාදා අරලිය මන්දිරයේ දී හමුවූ අවස්ථාවේ දී මේ පිළිබඳ කතා කොට තිබේ.

“අපේ ප්‍රදේශවල වැඩ කරගෙන යද්දි ආණ්ඩුකාරවරු සහ මන්ත්‍රීවරු අතර ගැටලු මතු වෙනවා"

ඇතැම් පළාත්වල සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමේදී ආණ්ඩුකාරවරුන් සහ මහජන නියෝජිතයන් අතර යම් මත ගැටුමක් නිර්මාණය වීම සම්බන්ධයෙන් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් මෙහිදී අග්‍රාමාත්‍යවරයා වෙත මෙලෙස කරුණු ඉදිරිපත් කර ඇත. 

“ඔව්.. ආණ්ඩුකාරවරුන් සහ දේශපාලන අධිකාරිය අතර ගැටුම් පවතින බවට නිතරම පැමිණිලි ලැබෙනවා"

තමන් වෙත ලැබෙන පැමිණිලි පිළිබඳ සඳහන් කරමින් අග්‍රාමාත්‍යවරයා සියලු දෙනාට අවධාරණය කොට ඇත්තේ, ඇත්තේ බේද නැති කර ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ සමඟ එක්ව කටයුතු කරන ලෙසටයි.

නව අයවැයෙන් ප්‍රකාශයට පත්කර ඇති පරිදි ආණ්ඩුකාරවරුන් සහ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරුන් සම සභාපතිවරුන් ලෙස දිස්ත්‍රික් මට්ටමින් සංවර්ධන කටයුතු මෙහෙයවීම සිදු කළ යුතු බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබේ.

පොහොට්ටුවේ ජාතික සමුළුව අවසන් වන විට පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරුන්ද යන ප්‍රශ්නය තවත් තීව්‍ර වූයේය. මේ අතර පැනයට පිළිතුරු ලබා නොදීම පොහොට්ටුවේ නිර්මාතෘ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ වර්ෂ අවසාන නිවාඩුව වෙනුවෙන් සුපුරුදු පරිදි ඇමෙරිකා එක්සත් ජනපදය බලා පියාසර කර තිබුණි.

“බැසිල් රාජපක්ෂ ආපහු එන්නේ පෙබරවාරි මාසේ."

පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් අතරින් අසන්නට ලැබුණේ එවන් කතාවකි. කෙසේ වෙතත් පොහොට්ටු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළ පරිදි බැසිල් රාජපක්ෂ නික්ම යාමට පෙර බොහෝ දෙනකුට වැඩ පවරා තිබේ.

“ලියාපදිංචි කටයුතු සහ පක්ෂයේ වාර්තා ආදිය පිළිබඳ බලාගන්න."

බැසිල් නික්ම යාමට පෙර පොහොට්ටුවේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම්ට පවරා තිබුණේ එවන් කටයුත්තකි. 

“දැන් එතකොට කවුද ජනාධිපතිවරණ අපේක්ෂකයා?" 

මෙම පසුබිම තුළ නැවත නැවතත් එකම ප්‍රශ්නය බොහෝ දෙනෙක් මතු කරමින් සිටියහ. අවසානයේ පොහොට්ටුව මාධ්‍ය සාකච්ඡාවක දී ඊට පිළිතුරු ලබා දුන්නේය.

“අපි හතර දෙනෙක් සලකා බලමින් ඉන්නවා." 

පොහොට්ටුව එසේ කියන විට මේ දිනවල වැඩි කතාබහක් නිර්මාණය වී ඇති ධම්මික පෙරේරා පිළිබඳව ද පිරිස විමසන්නට වූහ.

“ඒ අතර ධම්මික පෙරේරාත් ඉන්නවා."

ඒ අනුව පොහොට්ටුව සලකා බලමින් සිටින ජනාධිපතිවරණ අපේක්ෂකයන් සිව්දෙනාගෙන් එක් අයකු ධම්මික පෙරේරා බව පැහැදිලි විය. ඒත් අනික් දෙදෙනා කවුරුන්ද යන්න පිළිබඳ අනාවරණය නොවුණි.

කෙසේ වෙතත් පොහොට්ටුවේ ආරංචි මාර්ග සඳහන් කර සිටියේ ජනාධිපතිවරණය සම්බන්ධව බැසිල් රාජපක්ෂ නිශ්චිත අදහසක් සිය සංචාරයට පෙර ඉදිරිපත් කළ බවකි.

“මොනව වුණත් අපි අපේක්ෂකයා ඉදිරිපත් කරන්නේ ජනාධිපතිවරණයට මාස තුනක් තියලා. අවසන් මොහොතේ ඉදිරිපත් කරලා අවසන් මොහොතේ කැම්පේන් එක කරනවා."

බැසිල්ගේ අදහස මෙයාකාරයෙන් ඉදිරිපත් වෙද්දී ව්‍යාපාරික ධම්මික පෙරේරා සිය දේශපාලන ව්‍යාපෘතිය වෙනුවෙන් කලඑළි බැස සිටියේය. දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබුණු පරිදි ඔහු පාර්ශ්ව කිහිපයක් වෙත එළැඹ ඉකුත් සතියේ සාකච්ඡා පවත්වා තිබේ.

“පොහොට්ටුවෙන් කලකිරිලා ස්වාධීන වුණා කියන මන්ත්‍රීවරු දහ දෙනෙක් ධම්මික පෙරේරා ළඟදි හම්බවෙලා තියෙනවා."

ඔහුගේ මෙම ක්‍රියාන්විතය පිළිබඳ අසන්නට ලැබුණු අලුත්ම පුවත එයයි. එම තොරතුරු අනුව මෙම සාකච්ඡාව සැලකිය යුතු කාලයක් පවත්වා තිබේ.

මෙම සාකච්ඡා පිළිබඳ කළ සොයා බැලීමේදී ධම්මික පෙරේරා පාර්ශ්වයෙන් සඳහන් කරන්නේ සාකච්ඡාවලට සාධනීය ප්‍රතිචාරයක් පවතින බවකි.

“ඔබතුමා වගේ කෙනෙක් ඉදිරිපත් වුණොත් අපිත් සලකා බලනවා."

මේ අතර පසුගිය සතියේ දිනෙක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දෙසින්ද ධම්මික පෙරේරාට සාකච්ඡාවක් සඳහා ආරාධනාවක් ලැබී තිබේ.

“අපි ඔබතුමාට සුබ පතනවා. ඔබතුමාගේ පක්ෂයෙනුත් කියලා තියෙනවා සලකා බලන අපේක්ෂකයන් අතර ඔබතුමාගේ නම තියෙනවා කියලා."

“ඔබතුමා කොහෙද ඉන්නේ? මේ දැන් මම එන්නම්."

පසුගිය බදාදා ආරාධනාව ලද සැණින් ධම්මික මෛත්‍රීපාල සිරසේන මහතා හමුවීමට ගොස් ඇතැයි කියැවේ. ධම්මික පෙරේරා පාර්ශ්වය පවසන පරිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙසින් ද ඔහුට සාධනීය ප්‍රතිචාරයක් හිමිව ඇත.

මේ අනුව ජනාධිපතිවරණ අපේක්ෂක සටනට ඍජුව අවතීර්ණ වී ඇති ධම්මික පෙරේරා තවදුරටත් සිය දේශපාලන මෙහෙයුම් දියත් කරනු ඇතැයි පෙනී යයි.

මේ වන විට සිය ප්‍රචාරක ව්‍යාපෘති විපක්ෂය වෙනුවෙන් දියත් කර ඇති විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනවාරියේදී තීරණාත්මක සමුළුවක් සංවිධානය කරනු ඇතැයි සමගි ජන බලවේගය ආරංචි මාර්ග සඳහන් කරයි.

“මේ පක්ෂයේ නායකයා තමයි අපේ අපේක්ෂකයා වෙන්නේ. වෙන පක්ෂ නායකයෙක් දාන්නේ නෑ. කවුරුත් දන්නවා අපේ පක්ෂ නායකයා සජිත් ප්‍රේමදාස."

පසුගියදා පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂිම් මහතාය.

මේ අතර සමගි ජන බලවේගයට සම්බන්ධ වෙතැයි කියවුණු හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ පිළිබඳව ද අපූරු දේශපාලන ආරංචියක් ලැබුණි.

“රොෂාන් ජනාධිපතිවරණයට සූදානම් වෙන්න කාර් එකක ලකුණ තියෙන පක්ෂයක් අරගෙන."

ඒ අනුව මෙම පක්ෂය ඔස්සේ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමේ අපේක්ෂාවෙන් සිය ප්‍රචාරක කටයුතු ජනවාරියේදී රොෂාන් රණසිංහ ආරම්භ කරනු ඇතැයි කියැවෙයි. "දූෂණ විරෝධී සටන" නමින් එළඹෙන ජනවාරි 18 වැනිදා නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයෙන් මෙම වැඩසටහන ඇරුඹෙනු ඇතැයි ආරංචි මාර්ග පැවසීය. 

මේ අතර සමගි ජන බලවේගය සහ පක්ෂ කිහිපයක් එක්ව නිර්මාණය වන සන්ධානයේ අවසන් සාකච්ඡා කිහිපය එළඹෙන සති දෙක තුන තුළ පවත්වනු ඇතැයි කියැවේ. ප්‍රබලතම විපක්ෂයේ දේශපාලන පක්ෂය වන සමගි ජන බලවේගය සමඟ ඉදිරියේදී පොදු වේදිකාවක් ගොඩනගන බව මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ද රූපවාහිනී සාකච්ඡාවකට එක්ව ඉකුත් බදාදා පවසා තිබුණි. කෙසේ වෙතත් ඩලස් - සජිත් සාකච්ඡා තරමක් සංකීර්ණ වී ඇති බවට ද දේශපාලන කරළියේ ආරංචි පැතිර තිබේ.
ඉන්දියානු දුම්කොළ සමාගම කොළඹ ඉදිකෙරෙන ITC හෝටල් පරිශ්‍රය සහ සුපිරි නිවාස සංකීර්ණය එළඹෙන ජනවාරියේදී විවෘත වීමට නියමිතය. මහල් දෙකක් අතර පාලමක් ද ඇති සංකේතාත්මක ගොඩනැගිල්ලක් ලෙස මේ වන විටත් ප්‍රකටව ඇති මෙම හෝටල් පරිශ්‍රය නිරීක්ෂණය කිරීමට ඉකුත් දා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා එක් වූයේය.

මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා ඉඩම ලබාදීමට බොහෝ බාධා එල්ල වූ පසුබිමක මහින්ද රාජපක්ෂ මහතා සිය පාලන සමයේ ඊට සහයෝගය ලබා දී තිබේ. ඒ අනුව විවෘත කිරීමට පූර්වයේ ගොඩනැගිල්ලේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා ඉන්දියානු දුම්කොළ සමාගම පසුගියදා රාජපක්ෂ මහතාට ආරාධනා කර ඇත.

“සාගරත් එන්න මාත් එක්ක යන්න."

සතියකට පමණ ඉහත දිනයක තමන් වෙත ලැබුණු ආරාධනාවට පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම්  කැටුව යෑමට මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කොට තිබේ. 

මෙහිදී සමාගමේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය රාජපක්ෂ මහතා ඉතා ගෞරවයෙන් පිළිගෙන තිබේ.

“ඔබතුමාගේ කාලයේ සිද්ධවුණු වැදගත්ම ආයෝජනයක් මේක. විවිධ විරෝධතා එල්ල වුණා. කොහොම නමුත් අපි ලබන මාසේ මේක විවෘත කරනවා. ඔබතුමාට ස්තුතියි."

රාජපක්ෂ මහතාට ස්තුති කරමින් මෙම පිරිස මෙම විශාල ගොඩනැගිල්ල නිරීක්ෂණ චාරිකාව සඳහා ආරාධිතයන් කැටුව ගොස් තිබේ.

අස්ගිරි මල්වතු පාර්ශ්වයේ මහ නාහිමිවරු පසුගිය සතියේ ජනපතිට ලිපියක් යොමු කළහ. මිහින්තලේ දේශපාලන අර්බුදය මෙම ලිපිය පසුපස වූ හේතු විය. ක්‍රමයෙන් මිහින්තලෙන් රාජ්‍ය අනුග්‍රහය ගිලිහී යාමේ පසුබිමක් නිර්මාණය වී ඇති බව මේ හරහා පැහැදිලි විය.

මිහින්තලය සමස්ත ලෝකවාසී බෞද්ධ මහජනතාවගේ කේන්ද්‍රස්ථානයක් නිසා එහි ඇති පුරාවිද්‍යාත්මක නටඹුන් සුරක්ෂිත කොට මිහින්තලා පුදබිම වන්දනාමාන කිරීමට පැමිණෙන උවැසි උවැසියන්ගේ මෙන්ම දෙස් විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් හා ශ්‍රී ලංකා පොලිසිය නිසි මැදිහත් වීමක් නිරන්තරයෙන් ලබා දිය යුතු බව අස්ගිරි මල්වතු පාර්ශ්වයේ මහ නාහිමිවරුන් මෙම ලිපිය හරහා ජනපතිට අවධාරණය කර තිබුණි.

මේ අතර පසුගිය බ්‍රහස්පතින්දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ උතුරු නැගෙනහිර නියෝජනය කරන ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණි. ජනාධිපතිවරණ දේශපාලනය කෙරෙහි මෙය තීරණාත්මක සාකච්ඡාවක් විය හැකි බවට දේශපාලන කරළියේ ආරංචි පැතිර ගියේය.

උතුරු හා නැගෙනහිර පළාතේ ජනතාවගේ ඉඩම් අයිතිය ලබාදීම, නැවත පදිංචි කිරීම් කටයුතු හා සංහිඳියාවට අදාළ නීති ක්‍රියාත්මක කිරීම, ඉන්දියාවේ සරණාගත කඳවුරුවල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ගැටලු මෙන්ම උතුරු නැගෙනහිර පළාත්වල දිස්ත්‍රික් සංවර්ධනයට අදාළ කරුණු රැසක් පිළිබඳ මෙහිදී අවධානය යොමුව ඇති බව කියැවේ.

උතුරු හා නැගෙනහිර පළාත් නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආර්. සම්පන්දන්, එස්. රාසමාණික්‍යම්, ජී. කරුණාකරන්, ටී. කලෙයි අරසන්, කුලසිංහම් දිලීපන් යන මහත්වරු මීට එක්ව සිටියහ.

I චමිඳු නිසල් ද සිල්වා