2023 දෙසැම්බර් 16 වන සෙනසුරාදා

ජනපතිගේ ඡන්ද සටන මෙහෙයවීමට ඇමැතිවරුන් තිදෙනෙක්

 2023 දෙසැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00 450

කුණාටුවකට පෙර සහ පසු රුලි නොනඟන සයුර පරිද්දෙන් සතියේ දේශපාලනය ද ක්‍රමයෙන් සන්සුන් වන බවක් පෙනී ගියේය. තීරණාත්මක මැතිවරණ වසර අභිමුව වර්ෂ අවසාන සති කිහිපය ගෙවී යමින් තිබුණි. සියලු දේශපාලකයන් මෙන්ම දේශපාලන පක්ෂ ද සිය අනාගත පිඹුරුපත් සකසමින් සිටියේය. සිකුරාදාව තරමක් සංකීර්ණ දිනයක් වූයේ පොහොට්ටුව අළු ගසා නැගිටීමට දැරෑ උත්සාහය නිසාවෙනි.

බදාදා අයවැය තෙවැනි වර කියැවීමේ ඡන්ද විමසීම අනාගත දේශපාලනය සම්බන්ධ සංකා උපදවන සුළු ඡන්ද විමසීමක් විය. අයවැයට පක්ෂව ඡන්ද 122ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 81ක් පමණි. ඒ අනුව වැඩි ඡන්ද 41 කින් අයවැය තෙවැනි වර කියැවීම සම්මත විය.

නාමල් රාජපක්ෂ අයවැය ඡන්දය මගහැර යෑම පොහොට්ටුවේ අභ්‍යන්තර දේශපාලනය පිළිබඳ ඉඟියක් පළ කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ ද ඡන්දය විමසන මොහොතේ පාර්ලිමේන්තුවේ නොසිටියේය. ඒ අසනීප නිසාය. ඇමැති ධූරයෙන් නෙරපූ මන්ත්‍රී රොෂාන් රණසිංහ අයවැයට විරුද්ධ වීමට තීරණය කොට තිබුණි.

පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව අයවැය තෙවැනි වර කියැවීමෙන් අනතුරුව කතානායකවරයා විසින් පවත්වනු ලබන සාදය මෙවර සංවිධානය නොවුණි. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තු වියදම් කප්පාදු කිරීමට ගත් තීරණය හේතුවෙන් මෙම සාදය අහෝසි වී ගියේය.

කෙසේ වෙතත් අයවැය සම්මත කිරීමට පෙරාතුව අග්‍රාමාත්‍යවරයාගේ සාම්ප්‍රදායික සාදය අරලියගහ මන්දිරියේ දී පැවැත්වුණි. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සංවිධානය කළ මෙම සාදය සඳහා ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී වී සිටියහ. කෙසේ වෙතත් තවත් පිරිසක් හදිසි වැඩ කටයුතු හේතුවෙන් ඊට සහභාගි නොවුණි.

කෙසේ වෙතත් ආග්‍රාමාත්‍යවරයාගේ සහ ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ මූලිකත්වයෙන් ඉකුත් සතියේ අවස්ථා කිහිපයකදීම ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම සහ ආණ්ඩුවේ පක්ෂ නායකයන් කැඳවා තිබුණි. ඉකුත් සඳුදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වැට් පනත් කෙටුම්පත හා මුදල් පනත් කෙටුම්පත පිළිබඳ හදිසි සාකච්ඡාවක් කැඳවූයේ ආණ්ඩු පක්ෂ සංවිධායක කාර්යාලය මන්ත්‍රීවරුන්ට හදිසි වට්ස් ඇප් පණිවිඩ යවමිනි. 

ආන්දෝලනාත්මක වැට් බදු කතාව සහ අයවැය සම්බන්ධව තීරණාත්මක සාකච්ඡා ඉකුත් සතියේ දේශපාලනය කෙරෙහි තීරණාත්මක වූ බව පෙනී ගියේය. ආණ්ඩුවේ නායකයන්ට අවශ්‍ය වී තිබුණේ බාධාවකින් තොරව අයවැය සම්මත කර ගැනීමට බව පැහැදිලි විය.

මේ අතර ජනාධිපතිවරණයට පිඹුරුපත් සැකසීම සඳහා වසර අවසාන සති කිහිපය වෙන්කර ගැනීමට පාර්ශ්ව කිහිපයක්ම කටයුතු කළ බවට තොරතුරු වාර්තා විය. ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීම සඳහා වූ තීරණාත්මක සාකච්ඡා කිහිපයක්ම පසුගිය සතියේ පැවති බව ආරංචි මාර්ග සඳහන් කළේය.

“ජනාධිපතිතුමා ලබන මාසේ දෙවැනි සතියේ එතුමගේ ජනාධිපතිවරණ කැම්පේන් එක පටන් ගන්න යනවා."

ජනපති පාර්ශ්වය ආරංචි මාර්ග එසේ සඳහන් කරන අතරේ ඒ සඳහා නායකත්වය ලබා දෙන ආණ්ඩුවේ ඉහළ නිලතල දරන කිහිප දෙනකු පිළිබඳව ද තොරතුරු වාර්තා විය.

“කාංචන විජේසේකර, දිලුම් අමුණුගම, ෂෙහාන් සේමසිංහ තමා කැම්පේන් එකේ ප්‍රධාන භූමිකාව නිරෑපණය කරන්නෙ. කැම්පේන් මැනේජර් සාගල රත්නායක."

ජනපතිගේ ජනාධිපතිවරණ මෙහෙයුමේ පුරෝගාමී චරිත පිළිබඳ නම් මෙලෙස හෙළිදරව් වී තිබුණ ද ඒ පිළිබඳව නිල තහවුරු කිරීමක් නොවීය. කෙසේ වෙතත් දේශපාලන කරළියේ පැතිර ගිය ආරංචිය අනුව සාගල රත්නායක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරෙන් ඉවත් වී ඉදිරි වසරේ දී පූර්ණ කාලීනවම ජනාධිපතිවරණ මෙහෙයුමට අවතීර්ණ වන බව කියැවුණි.

කෙසේ වෙතත් එළඹෙන වසරේ පළමුව පවත්වනු ලබන්නේ මහ මැතිවරණයක් ද ජනාධිපතිවරණයක් ද යන්නපිළිබඳ තවදුරටත් අපැහැදිලි විය. මේ පිළිබඳ දෙපිල බෙදුණු තර්ක විතර්ක දේශපාලන කරළියේ බොහෝ සෙයින් හුවමාරු විය. 

“කොහොම වුණත් මොනවා හරි මැතිවරණයක් ලබන අවුරුද්දෙ එනවා. අපි ලෑස්තිවෙලා ඉන්න ඕනෑ."

බහුතරයක් දේශපාලකයන් එළැඹ සිටියේ එවන් අදහසකය.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය ලැබීම සිය ජයග්‍රහණයක් කොට සලකමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව ඇමතීම ද සුවිශේෂී විය.

“රට යළි ගොඩනැංවීමේ විස්තීරණ ණය පහසුකමේ දෙවැනි වාරිකය අනුමත කළ බව මීට සුළු මොහොතකට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා. දැන් අපි බංකොළොත් රාජ්‍යයක් කියන ලේබලය ගලවා ගැනීම සඳහා තීරණාත්මක පියවර ගෙන තියෙන බව ඔවුන් පිළිගත්තා. ඒ ගමනේ සංධිස්ථානයකට අප පැමිණ ඇති බව ඔවුන් ප්‍රකාශ කළා. මේ අභියෝගාත්මක ජයග්‍රාහී ගමනට නායකත්වය දීමට ලැබීම ගැන මා තුළ ඇත්තේ නිහතමානී සතුටක්.

මම ගිය අවුරුද්දේ බාරගත්තෙ බංකොලොත් රටක්. මේ රටේ කිසිදු දේශපාලන පක්‍ෂ නායකයෙක් මේ බංකොලොත් රට බාරගන්න ඉදිරිපත් වුණේ නෑ. මේ අභියෝගය බාරගන්න හැමෝම බය වුණා. දැන් පාර්ලිමේන්තුව අමතන වීරයෝ, නායකයෝ කිසි කෙනකුට ඉස්සරහට එන්න ධෛර්යයක් තිබුණේ නෑ."

කෙසේ වෙතත් ලබන වසරේ තවත් බදු වැඩිවීමක් සිදුවන බවට ද ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

“අපි ඉලක්ක කළ ආකාරයට ලංකාවේ බදු ආදායම සම්පූර්ණ වෙලා නෑ."

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කර ඇති මෙම අදහස පෙරදැරිව ලබන වසරේ මාර්තු මාසයේ දී පමණ බදු සංශෝධනයක් පැමිණීමේ හැකියාවක් ඇතැයි කියැවේ.

කෙසේ වෙතත් මෙවන් සංකීර්ණ දේශපාලන වටපිටාවක් තුළ එළඹෙන කුමන මැතිවරණයක් හෝ තීරණාත්මක වනු ඇති බව පැහැදිලිය. ආණ්ඩුවට ජනතාවට සහන ලබා නොදී මැතිවරණ ජයග්‍රහණයක් පිළිබඳ බලාපොරොත්තු තබාගත නොහැකිය. එහෙත් ජනතාවට සහන දී ආර්ථික ස්ථාවරත්වයක් ඇතිකිරීම සඳහා ජාත්‍යන්තර සහයෝගය ලබාගැනීමට ද නොහැකිය. 

පසුගිය සතියේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසීමට කලාකරුවන් රැසක් විජයරාම නිල නිවෙස වෙත පැමිණීම ද සුවිශේෂී සිදුවීමක් විය. මෙම හමුව සංවිධානය කිරීම සඳහා ගීතා කුමාරසිංහ, පියල් නිශාන්ත, සනත් නිශාන්ත සහ රෝහිත අබේගුණවර්ධන ආදී මැති ඇමැතිවරුන් කටයුතු කොට තිබුණි.

මෙම හැමදෙනා අතරේදී කලාකරුවන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා රට වෙනුවෙන් කළ කී දෑ නැවත සිහිපත් කරමින් සුහද සාකච්ඡාවක නිරත වී තිබේ. මහින්ද රාජපක්ෂ මහතා ද තම පැරණි සබඳතා, ආ ගිය තොරතුරු කතා කරමින් මෙම කාලය සුහදව ගත කළ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ කලාකරුවන් එක්ව සිටින අයුරු දැකගත හැකි විය. ඒ අතර  පාලිත සිල්වා, රොජර් සෙනෙවිරත්න,  කුමාරි මුණසිංහ, අනූෂා දමයන්ති  ආදී පිරිස කැපී පෙනුණි. ඒ අනුව මෙම පිරිස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවේ ගී ගයමින් විනෝද වී ඡායාරෑප ලබාගෙන තිබේ.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය සංවත්සර සැමරුම සාර්ථක කර ගැනීමේ අරමුණින් විවිධාකාර දේශපාලන ව්‍යාපෘති මෙහෙවනු ලැබීය. දිවයින පුරා බොහෝ ප්‍රදේශවල සිය පක්ෂ ධජ ඔසවමින් දින කිහිපයක් මුළුල්ලේම විශාල ප්‍රචාරණ ව්‍යාපෘතියක නිරත වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කොට තිබුණි.

අයවැයට පක්ෂව ඡන්දය ලබාදෙමින් ජනපති දෑත් ශක්තිමත් කිරීමට වෙනම සන්ධානගත වී සිටින ලංසා කඳවුර දෙසින් ද විවිධාකාර දේශපාලන ආරංචි ලැබුණි. අයවැය සම්මත වීමෙන් අනතුරුව මන්ත්‍රී භෝජනාගාරයේ ආ ගිය තොරතුරු කතාබහ කරමින් ලන්සා කඳවුරේ මැති ඇමැතිවරුන් අතර සිදුවූ සංවාදයක් පිළිබඳ තොරතුරු වාර්තා කළේ එම සන්ධානයේම පිරිසකි.

මෙදින පාර්ලිමේන්තු භෝජනාගාරයේ මහින්ද අමරවීර, නලින් ප්‍රනාන්දු, ලසන්ත අලගියවන්න, අනුර යාපා, නිමල් ලන්සා, දුමින්ද දිසානායක, චන්න ජයසුමන ඇතුළු පිරිසක් අයවැය පිළිබඳ කතාබහ කරමින් සිට ඇත.

“දැන් සජිත් කියන්න ගනී, අයවැයේ ඡන්ද ගාණ 122 ට අඩුවෙලා කියලා"

අයවැය සම්මත වූ සැණින් සිදුවිය හැකි දෑ පිළිබඳ පුරෝකථනය කර ඇත්තේ අමාත්‍ය මහින්ද අමරවීරයි.

“ඔව් ඒක නම් ඇත්ත, හැබැයි ඉතින් බැරි වෙලාවත් රහස් ඡන්දයක් තිබුණා නං සජිත්ට බලාගන්න තිබුණා ඇත්ත ගාණ, එහෙම වුණා නං මේ ගාණ 134ක් විතර වෙනවා. මාත් එක්ක සජබ කිහිප දෙනෙක්ම කතා කළානේ."
සමගි ජන බලවේගයෙන් ජනපති හා එක්වීමට බලාපොරොත්තු වන පිරිස පිළිබඳ මතක් කර දෙමින් නිමල් ලන්සා එසේ සඳහන් කොට තිබේ.

මේ අතර විපක්ෂ නායකවරයාගේ ක්‍රියා කලාපය පිළිබඳ විවේචනය කොට ඇත්තේ දුමින්ද දිසානායක ය.

“මේ වෙලාවේ සජිත් පිස්සු කෙලිනවා කියල සජබේ සමහර මන්ත්‍රීවරු කියනව. හැබැයි ඉතින් ඡන්දයක් ළඟ පාත නැති නිසා කරන්න දෙයක් නෑනේ, එතැනම ඉන්නවා, ඡන්දයක් ආවම බලාගන්න පුළුවන් ඇත්තටම සජිත් ළඟ ඉන්නේ කවුද කියල"
මේ අතර සජබ අභ්‍යන්තර කලකිරීම සිය වාසියට පෙරළා ගැනීමට මෙම පිරිස සැලසුම් කර ඇතැයි කියැවේ.

මේ අනුව ලන්සා ඇතුළු පිරිස ජනපති සමඟ එක්වී දැනට සමගි ජන බලවේගයෙන් ජනපති සමඟ එක්ව සිටින පිරිස ද එකතු කොටගෙන සජබ මන්ත්‍රීවරුන් බිලී බෑමේ වැඩසටහන එළඹෙන ජනවාරියේදී දියත් කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර සමගි ජන බලවේගය සහ ඩලස්ගේ නිදහස ජනතා සභාව අතර ජනවාරියේ නිර්මාණය වීමට යන නව සන්ධානය පිළිබඳ විවිධාකාර කටකතා දේශපාලන කරළියේ පැතිර යමින් තිබුණි.

“සන්ධාන ගතවීම නතර කරලා පිරිසක් ඍජුවම සමගි ජන බලවේගයට යන්න හදනවා. ඩලස් තනිවෙන පාටක් තියෙන්නෙ"

දේශපාලන කරළියේ අසන්නට ලැබුණු මෙම කතාවට අනුව රනිල් – රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධව සජබ පමණක් නොව, ජාතික ජන බලවේගය ද එකතු කරගත් දැවැන්ත සන්ධානයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව ඩලස් හට ඇති නමුත්, සජබ සමඟ එක්ව යාමේ අවශ්‍යතාව බහුතර මන්ත්‍රීවරුන්ට ඇතැයි එම ආරංචිය අනුව කියැවේ.

“නිදහස ජනතා සභාව කැඩිලා විසිරිලා යන්න ලොකු අවස්ථාවක් තියෙනවා. ඊළඟ මාසය තීරණාත්මකයි."

මේ අතර ගොඩනැගීමට බලාපොරොත්තු වන සමගි ජන බලවේගයේ ඒකාබද්ධ සන්ධානයේ ඉහළ තනතුරක් ඩලස් වෙත ලබාදීම සම්බන්ධයෙන් යම් මත ගැටුමක් නිර්මාණය වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 

අයවැය ඡන්ද විමසූ දා පාර්ලිමේන්තුවේදී තවත් විශේෂ හමුවක් පැවැති බවට ද වාර්තා කිහිපයක් හමුවේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අතර මෙම හමුව පැවැති බව කියැවේ. පාර්ලිමේන්තු ආරංචි මාර්ග සහ තවත් වාර්තාව උපුටා දක්වන පරිදි පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයාගේ නිල කාමරයේ පැවති සාකච්ඡාව සැලකිය යුතු කාලයක් පුරා පැවැති බව කියැවේ.

මේ අතර පාර්ලිමේන්තුවේදී සරත් ෆොන්සේකා සහ වජිර අබේවර්ධන අතර සිදුවූ සංවාදයක් ද අනාගත දේශපාලන වෙනසක් පිළිබඳ ඉඟි පළ කරයි.

“එහෙනම් සුබ අලුත් අවුරුද්දක් වේවා! අපි ලබන අවුරුද්දේ හම්බවෙමු"

අයවැය ඡන්දය අවසන් කොට පැමිණෙන අතරේ සරත් ෆොන්සේකා මහතා අබේවර්ධන මහතා හට මෙලෙස පවසා ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

“සුබ අලුත් අවුරුද්දක්. හැබැයි ලබන අවුරුද්දෙ නෙවෙයි මේ අවුරුද්දේම අපි ආයේ හම්බවෙන්න ඕනෑ"

මේ අනුව ඉදිරි මැතිවරණ වසරේ නව දේශපාලන ව්‍යාපෘති රුසක පිඹුරුපත් කෙමෙන් එළිදකිමින් තිබෙන බව පැහැදිලි වේ.

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර රහස් සාකච්ඡා සිදුවෙමින් ඇතැයි පැතිර ගිය දේශපාලන කතාවකට ද පසුගිය සතියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රතිචාර දැක්වීය.

“ජඩ ප්‍රචාරක වැඩ කරන ආයතන වගයක් එකට එකතුවෙලා,  ආණ්ඩුවෙන් ද කොහෙද කප්පම් අරගෙන ඒ අය කියාගෙන යනවා, රනිලුයි සජිතුයි එකතු වෙනවා කියලා. රනිල් සජිත් කිසිම දවසක එකතු වෙන්නේ නැහැ කියන ප්‍රකාශය මම මේ පාර්ලිමේන්තුවේ සිදු කරනවා."

මේ අතර මෙම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්, ජනාධිපතිවරයා සමඟ සජිත් ප්‍රේමදාස එකතු වෙන්නේ නැතැයි කියන කතාව අසා තමා ඉතා සතුටට පත් වූ බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංග බණ්ඩාර මහතා පසුගියදා පවසා තිබුණි.
සිරිකොතදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. සජිත් ප්‍රේමදාස මහතා නැවත එක්සත් ජාතික පක්ෂයට එකතු වන්නේ නැතැයි කීම එක්සත් ජාතික පක්ෂයට ද විශාල සහනයක් බව පැවසූ එජාප මහ ලේකම්වරයා සජිත් නැතිවීම යනු එජාපයේ හූනියම අවසන් වීම බව ද කීය. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය සමඟ සබඳතා පවත්වන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට සජිත්ගේ නොපැමිණීම බාධාවක් නොවනු ඇතැයි ද පාලිත රංග බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
පසුගිය සතියේ ජාතික ජන බලවේගයට අලුත් චෝදනාවක් එල්ල කර සිටියේ මිහින්තලේ නාහිමියෝය. තමන්වහන්සේ විසින් ජාතික ජන බලවේගය නායක අනුර දිසානායක මහතාගේ අතේ බඳින ලද පිරිත් නූල පන්සලෙන් එළියට බහින විටම ගලවා විසි කළ බව මිහින්තෙලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ කියා සිටියහ.

අනුර දිසානායක මහතා පක්ෂයේ නායකත්වයට පත්වූ දිනවල මිහින්තලේ විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ මෙම සිදුවීම සිදුවූ බව මිහින්තලේ නාහිමියෝ අනාවරණය කළහ. අනුර කුමාර දිසානායක ආවාසයෙන් එළියට බහින ගමන්ම පිරිත් නූල ගලවා විසිකරනු එහි සිටි පිරිස් දැක තමන්වහන්සේට දැනුම් දුන් බවද උන්වහන්සේ පැවසූහ.

''එයාලගේ හැටි ඔහොම තමයි. එයාල මිත්‍යා දෘෂ්ටිකයෝ. ඒගොල්ලන්ට ආගමක් දහමක් නෑ. එච්චර ගණන් ගන්න එපා.'' යැයි තමන්වහන්සේ ඔවුන්ට පැවසූ බවද නාහිමියෝ කියා සිටියහ.

මේ අතර ඉකුත් සතියේ ජාතික ජන බලවේග කාන්තා සංවිධානය ප්‍රකාශ කළේ පසුගිය 04 වැනිදා කාන්තා හා ළමා අමාත්‍යංශ වැය ශීර්ෂය මගින් ප්‍රතිපාදන කපා හැරීමට විරෝධය පළ කරමින් ජාතික ජන බලවේගය විසින් පාර්ලිමේන්තු වටරවුම අසලදී පැවැත්වූ උද්ඝෝෂණයට පොලිසිය විසින් බාධා කිරීම නිසා මූලික මිනිස් අයිතිවාසිකම් කඩවූ බවට ප්‍රකාශ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ බවය. 

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දෙවැනි ජාතික මහා සම්මේලනය මහත් හරසරින් සිකුරාදා පස්වරුවේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සංවිධානය කොට තිබුණි. කෙසේ වෙතත් මෙදින පොහොට්ටුවේ සම්මේලනයට එරෙහි විවිධ ක්‍රියාකාරකම්ද රටපුරා වාර්තා විය. ඇතැම් තැනක පොහොට්ටුවේ නාමපුවරු ධජ පතාක ඉදිරිපිට විපක්ෂ කණ්ඩායම් තණකොළ පවා එල්ලා තිබුණි.

කෙසේ වෙතත් ආන්දෝලනාත්මක පසුබිම මත වුවද කොළඹ ආරක්ෂාව තර කරමින් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පොහොට්ටු සම්මේලනය පැවැත්වූයේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. 2024 වසර වෙනුවෙන් සිය සැලසුම එළිදැක්වීම මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සිදුකරන්නට යෙදුණි.

I චමිඳු නිසල් ද සිල්වා