2023 නොවැම්බර් 04 වන සෙනසුරාදා

පොහොට්ටුවේ ලොක්කන් හතර දෙනෙක් ජනපති කාර්යාලයේ

 2023 නොවැම්බර් 04 වන සෙනසුරාදා, ප.ව. 02:00 338

පැණිවරකා ගසට හෙණ ගසන්නට හැකි බව කියැවුණෙන්, අකුණු සන්නායක අතැතිව පිම්මක් දෙකක් පැනීමට බලා සිටියේ මන්ත්‍රී රංචුවකි. පොහොට්ටු ජනපති නෝක්කාඩුව හබන් කුකුළන්ට රජමඟුලක් වී තිබුණි. ඒ අතරේ පොලිස්පති නාටකයේ තවත් ජවනිකාවක්ද වේදිකා ගත විය. ගෙවී ගියේ අලකලංචි සපිරි දේශපාලන සතියකි.

කැබිනට් විෂය මාරුව හේතුවෙන් ජනපති සහ පොහොට්ටුව අතර යම් විරසකයක් ඇති බව පෙනී ගියේ, පොහොට්ටුවේම ඇතැමුන්ම කී කතා නිසාවෙනි. කෙසේ වෙතත් ජනපති සුපුරුදු නිහඬ පිළිවෙත රුක්කේය. මේ අතර පොහොට්ටුව, ජනපති රනිල් වික්‍රමසිංහ වෙත සහයෝගය පල නොකොට ජනාධිපතිවරණයට වෙනත් අපේක්ෂකයකු නම් කිරීමට සූදානම් වන බවට ආරංචියක් පැතිර ගියේය. පොහොට්ටුවේ අපේක්ෂකයා ධම්මික පෙරේරා විය හැකි බවද ඇතැමෙක් සඳහන් කළහ.

මෙවන් වටපිටාවක් තුළ ජනපතිට හිතෛෂි පාර්ශ්වද සිය අනාගතය වෙනුවෙන් පිඹුරුපත් සැකසීම ආරම්භ කර තිබුණි. ඒ අනුව ජනපති වෙත පොහොට්ටුවේ සෙසු මන්ත්‍රීවරුන්ගේ සහාය ලබාගැනීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවද කියැවුණි. ජනාධිපති ලේකම් කාර්යාලය මෙම වැඩසටහන මෙහෙයවන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. මේ පිටුපස සිටින්නේ ලන්සා කණ්ඩායම බවද ඒ අනුව කියැවුණි.

පසුගිය සතියේ නිමල් ලන්සා මන්ත්‍රීවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡාවක්ද සිදුකර ඇත. ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධව මෙහිදී වැඩිදුරටත් අවධානය යොමු වී ඇතැයි කියැවේ.

''තරග කරනවාද නැද්ද? මොකක්ද ක්‍රියාත්මක කරන්න ඕනෑ කරන දේශපාලන උපාය?''

මේ අතරවාරයේම පොහොට්ටුවේ දිස්ත්‍රික් නායකයන් හතර දෙනෙකුද ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා තිබුණි. වෙන වෙනම කැඳවීම් ලද මෙම පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධානියකු හමුවී ඇතැයි කියැවේ.

''මොනවද දිස්ත්‍රික්කයේ කරන්න තියෙන වැඩ?''

''ඉදිරියෙදී මොකක්ද කරන්න බලාපොරොත්තු වෙන්නෙ?''

මෙවැනි ප්‍රශ්න මෙම පොහොට්ටු ජ්‍යෙෂ්ඨයන්ට ඉදිරිපත් වී ඇතත්, මෙම පිරිස කැබිනට් ඇමැති ධූර නොලැබූ අය වූයෙන් ඔවුන් ඉදිරිපත්වූ යෝජනා කෙරෙහි  හිතෛෂී බවක් පළ නොකළ බව කියැවේ.

''පක්ෂයෙන් ගන්න තීරණයට අනුව තමයි අපි වැඩ කරන්නේ...''

''කොහොම නමුත් ජනාධිපතිතුමාගේ සංවර්ධන වැඩකටයුතුවලට අපි සහයෝගය ලබා දෙනවා.''

පසුගිය සතියේ කැබිනට් විෂය මාරුව සමඟ තරමක් කලබලයට පත්වූ රාජ්‍ය අමාත්‍යවරයෙක් තරමක අඩව්වක් ඇල්ලුවේය. මෙසේ කලබලයට පත්ව සිටියේ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තය. රමේෂ් පතිරණ අමාත්‍යවරයාගෙන් වැවිලි කර්මාන්ත විෂය ගැලවීම සමඟ එම විෂයෙහි රාජ්‍ය අමාත්‍ය ධූරය දැරෑ ලොහාන් රත්වත්තේ හට පැවරී තිබූ සීනි කර්මාන්තය සම්බන්ධ වගකීම අභියෝගයට ලක්විය.

ඒ අතර සීනි කර්මාන්තශාලා සම්බන්ධ වගකීම දිලුම් අමුණුගම වෙත ලැබෙන්නට යන බවට කතාවක් පැතිර යමින් තිබුණි. එසේම මෙම විෂය වගකීම ජනාධිපතිවරයා තමා වෙතම පවරා ගනු ඇතැයිද ඇතැමෙක් කීහ. මේ පිළිබඳව පැතිර ගිය තෙවැනි ආරංචියට අනුව කියැවුණේ රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයාට මෙම වගකීම පැවරෙනු ඇති බවකි. කෙසේ වෙතත් මෙම සියලු ප්‍රචාර ලොහාන් රත්වත්තේ හට යහපත් ආරංචි නොවීය. ඒ අතර ජනාධිපති ලේකම් කාර්යාලය දෙසින් ඔහු ලැබී තිබුණේ වෙනත්ම ආරංචියකි.

''පොහොට්ටුව තමා අපිට කිව්වෙ, මේක ලොහාන්ගෙන් ගලවලා දිලුම්ට දෙන්න කියලා...''

ලොහාන් රත්වත්තේගේ කලබලය මේ හරහා තවත් තීව්‍ර විය. ඔහු පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් ඇමතූ බව ආරංචි මාර්ග සඳහන් කළේය.

''මගේ විෂය ගලවලා දිලුම්ට දෙන්න කියලාම කිව්වාද?''

''අපි නම් එහෙම දෙයක් කියලා නැහැ.''

පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් ඔවුන්ගේ ස්ථාවරය ලොහාන් රත්වත්තේ හට එලෙස පැහැදිලි කර තිබේ. දිලුම් අමුණුගම සිය දිස්ත්‍රික්කයේම මහජන නියෝජිතයෙක් වූයෙන් ලොහාන්හට මෙය බලා සිටීම සුදුසු තත්ත්වයක් නොවීය. ඔහු ජනාධිපතිවරයා අමතා සිය දුක් ගැනැවිල්ල ඔහු හමුවේ තැබීය.

''ජනාධිපතිතුමා ඇයි මේ මගේ විෂය ගැලෙව්වේ? ඒක හරි නැහැ...''

මෙම කතාව නිශ්ශබ්දව අසා සිටි ජනපති කීවේ එවන් ගැටලුවක් නැති බවකි.

''නෑ... නෑ... මට මේක කාගේ ළඟ තිබුණත් එකයි.'' ජනපති පැවසීය.

ඒ අනුව මෙතෙක් කිසිවෙක් අතට පත්ව නොතිබූ, කතා රුසක් මැවුණු සීනි කර්මාන්තය පිළිබඳ වගකීම ලොහාන් රත්වත්තේ හටම පවරන බවට ආරංචියක් ගියේය.

පොලිස්පතිවරයා වෙත ලබාදුන් සති තුනක සේවා දිගුව අවසන් වීමත් සමඟම නව පොලිස්පතිවරයා පත්කිරීම පිළිබඳ සංවාද නැවත ඇතිවිය. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ ජනාධිපතිවරයා සහ ව්‍යවස්ථාදායක සභාව අතර මේ පිළිබඳ මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී ඇති බවකි.

අවසන් වතාවේදී ජනාධිපතිවරයා, පොලිස්පති ලෙස සී.ඩී. වික්‍රමරත්න මහතාගේ නම නිර්දේශ කළ අවස්ථාවේ ව්‍යවස්ථාදායක සභාව එය ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කොට තිබුණි. එම මත ගැටුම හටගත්තේ එම අවස්ථාවේදීය. මෙවර තත්ත්වය තවත් බරපතළ කරමින් පොලිස් විෂය භාර අමාත්‍යාංශය වෙත ව්‍යවස්ථාදායක සභාව ලිපියක් යොමුකර තිබුණේ පොලිස්පති පත්කිරීම සඳහා සුදුසු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකුගේ නම් දන්වා එවන ලෙසය.

කෙසේ වෙතත් පොලිස්පති පත්කිරීමේ බලය ජනපති සතුවූයෙන් ජනාධිපතිවරයා මේ හා සම්බන්ධ දැඩි ප්‍රතිචාරයක් පළකර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

''ඕගොල්ලන්ට සලකා බලන්න පුළුවන්, මම නිර්දේශ කරන නම් විතරයි. එහෙම මිස වෙන නම් ඉල්ලන්න බැහැ...''

ජනාධිපතිවරයා මේ පිළිබඳ කථානායකවරයාව දැනුවත් කිරීමට කටයුතු කර ඇත.

''ජනාධිපතිතුමා, මෙයාව දෙපාරක් නිර්දේශ කරල තියෙනවනෙ. අනෙක හිටපු පොලිස්පති. අපෙන් විමසීමක් වැඩක් නෑ. ජනාධිපතිතුමා කැමැති තීරණයක් ගන්න.'' එලෙස කතානායකවරයා ජනපතිවරයාට දන්වා ඇතැයි සඳහන්ය.
පසුගිය සතියේ ඉන්දීය මුදල් අමාත්‍යවරිය වන නිර්මලා සීතාරාම් මෙරට නිල සංචාරයක නිරත වූවාය. කෙසේ වෙතත් ඇගේ සංචාරයට පෙර පැතිර ගිය ආරංචිකට අනුව කියැවුණේ චීන පර් යේෂණ නැව ලංකාවට පැමිණීම හේතුකොටගෙන මෙම සංචාරය සිදුනොවන බවකි. කෙසේ වෙතත් පසුගිය නොවැම්බර් පළමුවැනිදා ඉන්දීය මුදල් අමාත්‍යවරිය මෙරටට පැමිණියාය.

මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මියගේ සහ ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉන්දීය නිවාස වැඩසටහනේ පළමු අදියර යටතේ යටතේ කොටගල, දිඹුල ප්‍රදේශයේ නිවාස 10,000ක් සඳහා ඩිජිටල් ක්‍රමය හරහා මුල්ගල් තැබීමද පසුගිය සිකුරාදා සිදුවිය. වැවිලි ප්‍රජාව සඳහා වසර 200ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය වූ මෙම උත්සවයේදී කඳුකර වතු ජනතාව සඳහා පර්චස් 10 බැගින් ඉඩම් ඔප්පු ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීමද සුවිශේෂී කරුණක් විය. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් මෙම උත්සවය සඳහා එක්ව සිටියහ.

වතුකරයේ ජනතාව මෙරටට පැමිණ වසර 200ක් සම්පූර්ණය වීම හේතුවෙන් පැවති උත්සවයට සහභාගී වීම මෙම සංචාරයේ ප්‍රමුඛ අරමුණ විය. මෙම දෙදින නිල සංචාරයක් අතරතුරදී නිර්මලා සීතාරම් මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් රුසක් හමුවීමට කටයුතු කළේය. එසේම ඇය මහනුවර, නුවරඑළිය, අනුරාධපුරය, ත්‍රිකුණාමලය, යාපනය ආදී ප්‍රදේශවල සංචාරය කළේය.

මහනුවර දළදා මාලිගාවේදී සහ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැක අවස්ථාවේදී මුදල් අමාත්‍යවරිය විශේෂ ඇගයුමට ලක්වුණි. මල්වතු අස්ගිරි මහනාහිමිවරු කොවිඩ් වසංගත අවස්ථාවේදී සහ ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට කළ උපකාර පිළිබඳ ඇයට ස්තුතිවන්ත වූහ. ඒ අනුව නාහිමිවරු සහ දියවඩන නිලමෙතුමන් ඇය වෙත බුද්ධ ප්‍රතිමා ඇතුළු තිළිණ ප්‍රදානය කොට තිබුණි.

ඉන්දීය මුදල් අමාත්‍යවරිය සමඟ කොංග්‍රස් පක්ෂයට සම්බන්ධ ප්‍රධන දේශපාලන චරිතයක් වන, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජ්‍ය මහ ලේකම්වරයකු ලෙස කලක් කටයුතු කළ ශෂී තරෑර් මහතාද එම සංචාරයට එක්වීම කැපී පෙනුණි. සංචාරයේ කෙළවර යාපනය ගුවන් තොටින් ඉන්දීය දූත පිරිස පිටත්ව යාමට නියමිත විය.

පසුගිය සතියේ ආන්දෝලනයක් ඇතිකළ සමගි ජනබලවේගයේ කළමණාකරණ කමිටුවෙන් පත්කළ, සරත් ෆොන්සේකා සමඟ සාකච්ඡා කිරීමේදී අතුරු කමිටුව කළ කී දෑ පිළිබඳ දේශපාලන ආරංචි ලැබෙමින් පැවතුණි. ඒ අනුව සමගි ජනබලවේගයේ ජ්‍යෙෂ්ඨයන් පාර්ලිමේන්තුවේදී සජබ සභාපති සරත් ෆොන්සේකා සමඟ සාකච්ඡා කොට තිබේ. ඒ අනුව එම සාකච්ඡාව නිමා වී ඇත්තේ මෙවන් එකඟතාවයක් ඇතිකර ගනිමිනි.

''අපි විපක්ෂ නායකතුමා ඉන්න තැනක එකට ඉඳගෙන එකතුවෙලා මේ ගැන කතා කරමු.''

ආරංචි මාර්ග සඳහන් කරන පරිදි ආන්දෝලනාත්මක සාකච්ඡාව කෙළවර සරත් ෆොන්සේකා සහ සජිත් ප්‍රේමදාස මුහුණට මුහුණ හමු වී මෙම ගැටලුව නිරාකරණය කරගත යුතු බව තීරණය වී ඇතැයි වාර්තා වේ. ඒ අනුව ඉදිරි සති දෙක තුළ එම සාකච්ඡාව පැවැත්වෙනු ඇතැයි සජබ ආරංචි මාර්ග තහවුරු කරයි.

මේ අතර ඉදිරි මැතිවරණවලට විපක්ෂයේ පොදු දේශපාලන සන්ධානයක් පිහිටුවා තරඟ කිරීමේ සාකච්ඡාද තීරණාත්මක අඩියකට එළඹ ඇතැයි සමගි ජනබලවේග ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේවෙතත් නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු දේශපාලන සන්ධානය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය සමග වෙන වෙනම සාකච්ඡා කිරීම නිසා ගැටලු මතුව තිබේ. ඒ අනුව එය කණ්ඩායමේ සමගියට බාධාවක් බැවින්, මෙම සාකච්ඡා ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට තීරණය එම කණ්ඩායම තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ දිනවල සමගි ජන බලවේගය ඉදිරි අයවැය පිළිබඳ විශේෂ අවධානයකින් පසුවන බවද දැන ගැනීමට ලැබේ. ඒ අනුව අයවැයේදී රාජ්‍ය සේවා වැටුප් වැඩිකළ යුතුය යන සටන් පාඨය කරළියට රුගෙන ඒමට සජබ මන්ත්‍රී කණ්ඩායම තීරණයක කොට ඇත.

''අය වැයෙන් හරි වැටුප් වැඩිකරලා සහන ලබාදෙනවා අපි ඒවලට සහයෝගය ලබා දෙනවා කියමු...''

පසුගියදා පැවති සාකච්ඡාවකදී සජබ මන්ත්‍රී කණ්ඩායමෙන් පිරිසක් එවන් අදහසක්ද මතුකළ බව කියැවේ.

කෙසේ වෙතත් සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පසුගියදා රාජ්‍ය සේවක වැටුප් සටන් පාඨ කරළියට ගෙන ඒමට කටයුතු කළේය.

''ලක්ෂ 14කට වැඩියෙන් සිටින රාජ්‍ය සේවයේ නිලධාරීන් හා රාජ්‍ය සේවකයන් වැඩි පඩි ඉල්ලලා පාරට බැහැලා තිබෙනවා. රාජ්‍ය සේවකයන් සාධාරණ ඉල්ලීමක් කරලා තියෙනවා අවම වශයෙන් 20,000 කින් පඩිය වැඩි කරන්න කියලා. 2016 වනවිට පෙට්‍රල් ලීටරය තිබ්බේ 117ට අද පෙට්‍රල් ලීටරය 361 ක් වෙලා. ඩීසල් ලීටරයක් තිබ්බේ රුපියල් 92ට අද 341 ක් දක්වා වැඩිවෙලා තිබෙනවා. හාල් කිලෝවක් 68 තිබුණේ. අද 220ක් වෙලා තිබෙනවා. අවම බස් ගාස්තුව තිබුණේ රුපියල් 9ට අද වෙද්දී රුපියල් 30ක් දක්වා වැඩිවෙලා තිබෙනවා. මේ වනවිට විදුලිබිල 4 ගුණයකින් වැඩිවෙලා. ජලබිල වැඩිවෙලා. ගෑස් තුන්ගුණයකින් පමණ වැඩිවෙලා. අවම වශයෙන් රාජ්‍ය සේවකයන්ගේ පඩිය තුන්ගුණයකින්වත් වැඩි වෙන්න ඕන.''

එළඹෙන නොවැම්බර් 6 වැනිදා සමගි ජනබලවේගය විසින් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට අයවැය පිළිබඳ විශේෂ වැඩමුළුවක්ද පැවැත්වීමට සූදානම් වන බව කියැවේ.

තවද සමගි ජනබලවේගය නායක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට ඇමෙරිකා එක්සත් ජනපදය, ජපානය ඇතුළු රටවල සිටින සිය පාක්ෂිකයන්ගෙන් විශේෂ ඇරයුමක් ලැබී ඇතැයි දැනගන්නට ලැබේ. එම ඇරයුම ලැබී ඇත්තේ ජපානයට සහ ඇමරිකාවට පැමිණ පක්ෂ ශාඛා පිහිටවීම සඳහාය. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට හෙක්ටර් අප්පුහාමි ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් දැනටමත් විදේශීය ශාඛා පිහිටුවීමේ කාර්යයේ නිරතව සිටිති. අයවැය විවාදයෙන් පසුව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාද මෙම කටයුත්ත සඳහා එක්වීමේ බලාපොරොත්තුවෙන් ඇමරිකාවේ සහ ජපානයේ සංචාරය කරනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය සතියේ ඇමරිකානු නිල සංචාරයක නිරත වූ ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ලොස්ඇන්ජලීස් ජනහමුවේදී සිදුකළ කතාව විශාල ආන්දෝලනයක් ඇති කළේය.

''අපේ ඇස් ඉදිරිපිට අධිකරණයෙන් අපරාධකරුවන් ලෙස දඬුවන් ලබන අය, අධිකරණයෙන් මරණ දඬුවම් හිමිවූ අය, බරපතළ අපරාධ කළ අය, අපරාධවලට හවුල් වූ අය, රටක් පාලනය කරනවා. නීතියේ විධානයේ ආධිපත්‍යය නැති රටක් බවට අපේ රට පත්වී තිබෙනවා. අපරාධ ගහන රාජ්‍යයක් බවට පත්වී තිබෙනවා. එහෙම රටක් අපිට ඕනෑද? මේක වෙනස් කරන්න වුවමනා නැද්ද? මීට පෙර සිටියේ පාලකයාට බයේ, ඇකිලුනු ජනතාවක්. ඇමැතිවරයා එනකොට කාණුවට බහිනවා. ගමේ දේශපාලන අධිකාරිය විසින් බලය ගත්ත චණ්ඩි ටිකක් හිටියා. ගම්මු බිය වැද්දුවා. අද පළමු වතාවට ඇමැතිවරයා ජනතාවට බිය වී තිබෙනවා...''

මෙම ජනහමුවේ මිනිරන් අපනයනය පිළිබඳ කී කතාවක්ද සමාජ මාධ්‍යයේ දැඩි අවධානයක් දිනා ගත්තේය. අනුර කුමාර දිසානායක මහතා ග්‍රුෆීන් වෙනුවට ග්‍රුෆයිට් යන යෙදුම භාවිත කිරීම හේතුවෙන් මෙම තත්ත්වය වාර්තා වුණි.

කෙසේ වෙතත් මෙවර අනුරගේ පිහිටට පැමිණියේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකය. ජාතික ජනබලවේගයේ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ලොස්ඇන්ජලීස් නුවර පැවත්වූ කතාවකදී එතුමා ග්‍රුෆීන් වෙනුවට ග්‍රුෆයිට් යන නාමය භාවිත කිරීම ඔහු අතින් සිදුවූ සුළු අතපසුවීමක් පමණක් බව කතාවේ හරය සලකා බැලීමේදී පැහැදිලි වන බව ඔහු කීවේය.

කෙසේ වෙතත් අනුර කුමාර දිසානායකගේ ඇමරිකානු ප්‍රකාශයේ අන්තර්ගතය පිළිබඳව සජබ ජනබලවේගයේ වැඩ දැඩිව විවේචනය කළේය. ජාතික ජනබලවේගයේ නායකයෝ ඇමෙරිකාවට ගියවිට එක කතාවකුත් ලංකාවට ඇවිත් තවත් කතාවකුත් පවසන බවත් වචන වෙනස් කළාට මිනිස්සුන්ගේ වෙනසක් සිදුව නොමැති බව කියා තිබුණේ සජබ ජාතික සංවිධායක තිස්ස අත්තනායකය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටුවා වසර හතක් සපිරීම නිමිත්තෙන් නෙළුම් මාවතේ ප්‍රධාන කාර්යාලයේ පිරිත් පින්කමක් සූදානම් කරන්නට පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයෝ කටයුතු කළහ. සෙනසුරාදා මෙම පිංකම පැවැත්වීමට කටයුතු සූදනම් කොට තිබුණි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තිදෙනාටම මෙම පිංකම සඳහා ආරාධනා කිරීමට පොහොට්ටුව කටයුතු කළේය. ඊට හේතුව මෙම හිටපු රාජ්‍ය නායකයන් තිදෙනාම පොහොට්ටු සන්ධානයේ කොටස්කාරීත්වය දැරෑවන් වීමයි.

මෙම පිංකම සඳහා මේ වනවිට පොහොට්ටුවෙන් වෙන්ව ගොස් සිටින, ජී.එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම, උදය ගම්මන්පිල, විමල් වීරවංශ ආදී මන්ත්‍රීවරුන්ටද ආරාධනා කිරීමට පොහොට්ටුව තීරණය කළේය. දේශපාලන විරසක කම් කවරක් වෙතත්, පොහොට්ටු සන්ධානයේ සාමාජිකයන් වූ සියලුදෙනාට ඇරයුම් කළ යුතු බව තීරණය කොට තිබුණේ පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයෝය.

මෙම පිංකම සඳහා මල්වතු අස්ගිරි අනුනායක හිමිවරුන් ප්‍රමුඛ කොළඹ අවට විහාරස්ථානවල වෙසෙන නාහිමිවරුන් වැඩමවීමටද පොහොට්ටු සංවිධායකයෝ කටයුතු කළහ. ඉදිරි මැතිවරණ සහ දේශපාලන කටයුතුවල වෙනුවෙන් නව ප්‍රබෝධයක් ඇතිකර ගැනීම මෙම පින්කමේ අරමුණ විය. 

I චමිඳු නිසල් ද සිල්වා