සතිය පුරා ඇද වැටුණු මහ වැස්සෙන් දේශපාලන උණුසුම තරමක් පහව ගියේය. එහෙත් පක්ෂ කඳවුරු නායයාම් පිළිබඳ අනතුරු හැඟවීම් ඒ ලෙසම පැවතුණි. අයි.එම්.එෆ්. විජ්ජුලතා ආකාසය ඒකාලෝක කළ අතර බදු සහ ගාස්තු අකුණු මෙන් පුපුරා යෑමට නියමිත විය.
චීන ජාතික දින සැමරුම සැප්තැම්බර් 28 වැනිදාට යෙදී තිබුණි. ඒ වෙනුවෙන් චීන තානාපති කාර්යාලය කොළඹ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේ විශේෂ උත්සවයක් සංවිධානය කළේය. මෙම උත්සවය සඳහා හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද එක්ව සිටියහ.
ජනාධිපතිවරයා ජර්මානු සංචාරය හේතුවෙන්ද, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹින් බැහැර ගොස් සිටි නිසාවෙන්ද, මේ සඳහා සහභාගී නොවූහ. කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ශ්‍රී ලංකාවේ රජය නියෝජනය කළේය. මෙරට ප්‍රධාන පෙළේ තවත් දේශපාලනඥයෝ රැසක් මෙහි පැමිණ සිටියහ.
අග්‍රාමාත්‍යවරයා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු පිරිස එක මේසයක අසුන්ගෙන සිටියහ. ඉදිරියේදී පැවත්වීමට නියමිත මැතිවරණ සම්බන්ධව සහ තවත් දේශපාලන කාරණා පිරිස සාකච්ඡා කරන අතරේ අයහපත් කාලගුණය පිළිබඳවද පිරිස කතාබහ කළෝය.
මේ අතර ඒ අසල මේසයක හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, හිටපු ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා සහ ඔහුගේ බිරිඳ, චීන තානාපතිවරයාගේ බිරිඳ සහ ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහෝදරයකු වන චන්න වික්‍රමසිංහ ඇතුළු පිරිසක් අසුන්ගෙන සිටියහ. පිරිස කතාබහ කරමින් සිටියදී මෙම මේසය අසලට පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක පැමිණියේය.
''ආ මැඩම්, මැඩමුත් ඉන්නවා නේද?''
ආරංචි මාර්ග සඳහන් කළ පරිදි විහිළුවට මෙන් චම්පික යොමුකළ පැනයට හිටපු ජනපතිනියගෙන් ලැබුණේ තරමක් රළු පිළිතුරකි.
''ඉන්නවා... ඉන්නවා... අපි ඉන්නවා. මැරිල නෑ තාම.''
එහෙත් ඊළඟ අදියරේදී චම්පික රණවක හිටපු ජනපතිනිය සනසාලුවේය.
''අනේ නෑ මැඩම්, මම එහෙම නෙවෙයි ඇහුවේ. ඔබතුමිය හම්බවෙන්න උවමනාවක් තියෙනවා. මම එන්නයි ඉන්නෙ...''
කෙසේ හෝ එම සංවාදය දුරදිග ගියේ නැත. එහෙත් තවත් රසවත් සංවාද මෙම සම්භාෂණය අතරතුර සිදුවිය. මෙම අවස්ථාවට අමුත්තන් දහසක් පමණ එක්ව සිටි අතර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රධාන දේශනය පැවැත්වීය.
පසුගිය සතියේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අසනීපයෙන් පසුවන බව දේශපාලන කරළියේ කටකතාවක් ලෙස පැතිර ගියේය. කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතා උත්සව කිහිපයක් සඳහාම ඉකුත් සතියේ සහභාගී වී සිටියේය. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නායකත්වය සම්බන්ධව පැතිර යමින් තිබූ කතා සම්බන්ධ ප්‍රතිචාර දැක්වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළේය. මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ප්‍රකාශ කළේය.
''මට නම් එහෙම ආරංචියක් නැහැ. වෙනසක් වෙන්න ඕනෑ. හැමදාම එකම විදිහට තියෙන්නත් බෑනෙ.''
මෙහිදී අයි.එම්.එෆ්. වාරිකය පමාවේද යන්න පිළිබඳවත් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේය.
''ඒ ගොල්ලො දැනගන්න ඕන ඒක ලබාගන්න ක්‍රමය. අපේ කාලේ එහෙම ප්‍රශ්න තිබුණෙ නෑනේ...''
මේ අතර පසුගිය සතියේ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිරීක්ෂණ කණ්ඩායමද පැමිණියේය. නිරීක්ෂණ අතර ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය පිළිබඳ ඔවුන් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබුණි. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදුන් ණය මුදලේ දෙවැනි වාරිකය ශ්‍රී ලංකාවට ලබාදෙන නිශ්චිත කාලයක් නොමැති බවත් ඒ සඳහා ශ්‍රී ලංකාව පියවර දෙකක් සම්පූර්ණ කළ යුතු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෲවර් සඳහන් කළේය.
මේ සමඟම වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අයි.එම්.එෆ්. සම්බන්ධ විශේෂ පැහැදිලි කිරීමක් සිදුකොට තිබුණි.
''ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම සමඟ තීරණාත්මක සාකච්ඡාවක් සිදුකරනු ලැබුවා. ඔවුන් ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව විශේෂ ඇගයීමක් සිදුකළා. කාර්ය මණ්ඩල එකඟතාව ලබාගැනීමේ සාකච්ඡා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජර්මන් සංචාරය නිමාකර මෙරටට පැමිණීමෙන් පසුව සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඔවුන් සමඟ තවදුරටත් සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධව ධනාත්මකව දකින බවද'' ඔහු සඳහන් කළේය.
''ශ්‍රී ලංකාවේ වත්මන් මූල්‍ය තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම ධනාත්මක සමාලෝචනයක් සිදුකර තිබෙනවා. කාර්යමණ්ඩල එකඟතාවකට පැමිණීමෙන් පසුව ඉදිරි වැඩකටයුතු ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට හැකිවනු ඇතැයි කියා අප විශ්වාස කරනවා.''
මේ අතර විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ඉකුත් බ්‍රහස්පතින්දා සඳහන්කර තිබුණේ, ආණ්ඩුවේ දූෂණ ප්‍රතිපත්තිය ගැන IMF එකත් කනස්සල්ලෙන් පසුවන බවයි.
''අද අපෙන් අහනවා අයි.එම්.එෆ්. ණය වාරිකය කල්දාලා තියෙන්නෙ ඇයි කියලා. අපි උත්තර දෙන්න ඕනෙ නැහැ. අයි.එම්.එෆ්. එකම කියනවා ආණ්ඩුව අපොහොසත් වෙලා තියෙනවා රාජ්‍ය ආදායම් ඉලක්කවලට යන්න කියලා....''
ආණ්ඩුව 'අස්වැසුම' නමින් විද්‍යාත්මක නොවන අකාර්යක්ෂම වැඩසටහන් ක්‍රියාත්මක කර දුගී දුප්පත් ජනතාව පවා අනාථ කර ඇති බවත්, වකුගඩු හා පිළිකා රෝගයෙන් පෙළෙන ආබාධිත හා වැඩිහිටි ප්‍රජාවට ලබාදෙන සහන පවා ලබාදීමට නොහැකි වී ඇති බවත්, මීට හේතුව ආණ්ඩුවේ පවතින දූෂණය බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය. පවත්නා තත්ත්වය ගැන අයි.එම්.එෆ්. එක පවා කනස්සල්ලෙන් කතාකර ඇති බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.
මේ අතර පසුගිය සතියේ සමාජ මාධ්‍ය වාරණය කිරීමට ආණ්ඩුව රුගෙන ඒමට නියමිත පනත පිළිබඳවද විශාල සංවාදයක් හටගෙන තිබුණි. ජාතික ජන බලවේගය පාර්ශ්වය ඒ හා සම්බන්ධ විශාල විවේචනයක් එල්ල විය. අනුර කුමාර දිසානායක මහතා පවසා තිබුණේ මෙය ආණ්ඩුවේ වංචා දූෂණ අනාවරණය වීම වළක්වා ගැනීමට සිදුකරන කටයුත්තක් බවයි.
''මෙතරම් කාලයක් මේ පාලකයෝ වසාගෙන සිටි බොහෝ දේවල් මේ සමාජ මාධ්‍ය හරහා එළියට එන්න පටන්ගත්තා. වංචා දූෂණ පිළිබඳව, අපරාධ පිළිබඳව, නාස්තිකාරකම් සමාජ මාධ්‍ය හරහා හෙළිදරව් වෙන්න පටන් ගත්තා. දැන් රනිල් වික්‍රමසිංහට ඕනෑ මේක නවත්වන්න.''
අලුත් පනත හරහා සමාජ මාධ්‍ය හැසිරීම් පාලනය කිරීමට උත්සාහ දරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කොට තිබුණි.
''අලුතින් පනතක් ගේන්න උත්සාහ ගන්නවා, ලියන්න ඕනෙ කමෙන්ටුව මොකක්ද කියලා කියා දෙන්න. ඒ ලියන කමෙන්ටුව හරිද වැරදිද කියා සොයා බලන්න කොමිසමක් පත් කරනවා. රනිල්ට අප්සෙට් නම් දාපු එකා අප්සෙට්. හිරේ දාන්නත් හදනවා. ජනතාව අතරට සත්‍ය ගලාගෙන යන එක නතර කරන්නයි මේ සූදානම.''
මේ අතර පසුගිය සතියේ දේශපාලන කරළියේ විශේෂ අවධානයක් යොමු වූ අවමංගල්‍ය උත්සවයක් පැවැත්වුණි. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ රාජකීය දෛවඥයා ලෙස ප්රකටව සිටි සුමනදාස අබේගුණවර්ධන මහතාගේ බිරිඳ වන චන්ද්‍ර අබේගුණවර්ධන මහත්මිය අභාවප්‍රාප්ත වීම එම අවමංගල්‍ය උළෙල විය. මෙරට දේශපාලඥයන් රැසක් තවමත් සුමනදාස අබේගුණවර්ධන මහතාගේ සේවය ලබාගන්නා බැවින් මෙම අවමංගල්‍යය සඳහා විශාල පිරිසක් සහභාගී වූහ.
ඒ අතර සුමනදාස අබේගුණවර්ධන මහතා මේ දිනවල විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ සමීපව කටයුතු කරන බවද බව කියැවුණි. ඒ අනුව චන්ද්‍රා අබේගුණවර්ධන මහත්මිය අසනීප වූ අවස්ථාවේදී පවා විපක්ෂ නායකවරයා සුමනදාස මහතාට උදව් උපකාර කර ඇතැයි කියැවේ.
''බොහෝම අත්‍යවශ්‍ය රාජකාරි කටයුත්තකට අක්කරේපත්තුවට ආවා. සෙනසුරාදා අනිවාර්යයෙන්ම මම යනවා...''
ආරංචි මාර්ග සඳහන් කරන පරිදි විපක්ෂ නායකවරයා සුමනදාස මහතා අමතා පවසා තිබේ. කෙසේ වෙතත් විපක්ෂනායකයා නියෝජනය කරමින් පවුලේ පිරිස මෙම අවමංගල්‍ය සඳහා සහභාගි වී ඇත.
චන්ද්‍රා අබේගුණවර්ධන මහත්මියගේ ඉල්ලීම පරිදි අවසන් කටයුතු සිකුරාදා සිදුකිරීමට කටයුතු යොදා තිබුණි. ආණ්ඩුවේ මැති ඇමතිවරුන් විශාල පිරිසක් ද පළාත් ආණ්ඩුකාරවරයාද මේ සඳහා සහභාගී වූ බව කියැවේ. මේ අතර මනූෂ නානායක්කාර වැනි චරිත කැපී පෙනුණි.
ගෙවීගිය සතියේ සිදුවූ අපූරු මත ගැටුමක් පිළිබඳ අපට දැන ගැනීමට ලැබුණි. මෙම ගැටුම හටගෙන තිබුණේ පැෆරල් සංවිධානය මගින් පැවැත්වූ සාකච්ඡාවක් අතරතුරය. හිටපු මැතිවරණ කොමිෂන් සභාපති මහින්ද දේශප්‍රිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් යන මහත්වරුන් දෙදෙනා මෙලෙස ගැටුණි.
''පිටිය සකස් කිරීම සහ ජජ් කිරීම අපි පිළිගන්න මූලික දෙයක්. හැබැයි මැතිවරණ කොමිෂන් සභාව ප්ලේයර් වෙන්න ගියොත් ඒ තරග අසාර්ථක වෙනවා...''
මෙසේ අදහස් දක්වන්නට වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත්ය. මෙම අදහස් දැක්වීම් අතරතුර ඊට විරෝධය පාමින් නැගී සිටියේ හිටපු මැතිවරණ ලොක්කා මහින්ද දේශප්‍රියයි.
''නෑ...නෑ... ප්ලෙයර් වෙන එක නෙවෙයි. ඒ දීපංකර බුදුහාමුදුරුවන්ගේ කාලෙ ඉලෙක්ෂන් කමිෂන් එක. දැන් ඉන්දියාවේ කොමිෂන් තීරණයත් වෝට්ස් ඉස් යුවර් රයිට් කියන එකයි, වෝට් ඉස් එඩියුකේෂන් කියන එක දැන් ඉලෙක්ෂන් කමිෂන්වල වැඩක්.''
දේශපාලන පක්ෂ නියෝජිතයන්, මැතිවරණ සංවිධාන ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන්, සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළු පිරිසක් ඉදිරියේ මෙම උණුසුම් තත්ත්වය නිර්මාණය විය. මහින්ද දේශප්‍රිය මහතා දිගින් දිගටම කරුණු පැහැදිලි කරමින් මැතිවරණ කොමිෂන් සභාව පාර්ශ්වයෙන් කරුණු දක්වන්නට විය. දේශපාලන පක්ෂවල ඇතැම් ක්රියාකාරීත්වයන්ද විවේචනය කළේය.
ලංකාවේ ප්රජාතන්ත්රවාදය තීරණය කරන්නේ ඩාලි පාරේ සිට බත්තරමුල්ල දක්වා ඇති කාර්යාල පහකින් යැයි හිටපු මැතිවරණ ප්‍රධානී මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය. දේශපාලන පක්ෂ තුළ කිසිදු ප්රජාතන්ත්රවාදයක් නැති බවද ඔහු පැවසීය.
පසුගිය සතියෙහි ඉන්දු කැනඩා රාජ්‍යතාන්ත්‍රික අර්බුදයට මැදිහත් වීමට ශ්‍රී ලංකාවද කටයුතු කළේය. කල දුටු කල වළ ඉහ ගන්නා සේ පසුගිය සමයේ ශ්‍රී ලංකාව පිළිබඳ කැනඩා ජනපති කී කතාවලට ප්‍රතිචාර දැක්වීමට ශ්‍රී ලංකා විදේශ අමාත්‍යා අලි සබ්රි මෙය අවස්ථාවක් කර ගත්තේය.
''අගමැති ජස්ටින් ට_ඩෝ කිසිදු සාක්ෂියක් නොමැතිව අභූත චෝදනා ඉදිරිපත් කරන පුද්ගලයකු වීම හේතුවෙන් ඉන්දියාවට එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් අපි පුදුමයට පත්වෙන්නෙ නැහැ...''
අමාත්‍ය අලි සබ්රි මේ හා සම්බන්ධ අදහස් දක්වා තිබුණේ ඉන්දීය මාධ්‍ය හමුවේය.
“සමහර ත්රස්තවාදීන් කැනඩාවේ ආරක්ෂිත තෝතැන්නක් සොයාගෙන ඇත. කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා සිදුකරන්නේ කිසිදු සහායක සාක්ෂියක් නොමැතිව සාහසික චෝදනා කිහිපයක් ඉදිරිපත් කිරීම පමණි.''
ඉන්දීය මාධ්‍ය වාර්තා අනුව ශ්‍රී ලංකාවේ ජන සංහාරයක් සිදු වූ බවට එවැනිම අසත්‍ය චෝදනාවක් අගමැති ජස්ටින් ට_ඩෝ කළ බවත් ශ්‍රී ලංකාවේ ජන සංහාරයක් සිදු නොවූ බව සැවොම දන්නා කරුණක් බවත් අමාත්‍යවරයා පවසා තිබිණි.
''අප රට පාලනය කළ යුත්තේ කෙසේදැයි කිසිවකු උපදෙස් ලබාදිය යුතු නැහැ. අනෙක් රටවල අභ්‍යන්තර කටයුතුවලට කැනඩාව මැදිහත් නොවිය යුතුයි.''
මෙම කතාව හේතුවෙන් මෙරට දේශපාලනයේ අභ්‍යන්තර සංවාදයක්ද හටගත්තේය. ඉන්දියාව සහ කැනඩාව අතර ඇති ගැටුමකට විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා මැදිහත් වීම ඔලමොට්ටල කටයුත්තක් බවත්, ඒ හරහා ලංකාවේ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය බරපතළ අර්බුදයකට පත්ව ඇති බවත් සජබ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පැවසීය.
''එතුමා අර එක්සත් ජාතීන්ගේ සංවිධානයට යන වෙලාවේ සහායට හා උදව්වට අරගෙන ගියේ එතුමාගේ පුතා. එයා උපදෙස් දුන්නද දන්නෙ නැහැ මෙහෙම දෙයක් කියන්න කියලා. මේ ඔලමොට්ටල කතාවක් එතුමා මේ කියලා තියෙන්නේ. අපි දන්නවා කැනඩාවේ ශ්‍රී ලාංකිකයන් ලක්ෂ දෙකකට වඩා ඉන්නවා.''
මේ අතර දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ 64 වැනි ගුණ සමරුව ඉකුත් අඟහරුවාදා පෙරවරුවේ හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අබියසදී පැවැත්විණි. පෙර වසරේදී එය සැමරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පාර්ශ්වය වෙන් වෙන්වය.
එහෙත් මෙවර සැමරුමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද එක්ව සිටිනු දැකගත හැකිවිය. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැමිණ සිටීමද සුවිශේෂී විය.
මේ අතර බණ්ඩාරනායක ගුණ සමරුවට එක්වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උප සභාපතිවරයකු වන ශාන් විජේලාල් මහතා අපූරු කතාවක් කියා තිබුණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, ලේකම් ගැටුම්වල ඉතිහාසය සිහිපත් කරමින් ඔහු කීවේය.
''මෙම පක්ෂය හොඳ චේතනාවකින්, යහපත් නැකතකින්, ශක්තිමත් අඩිතාලමකින් පිහිටෙව්වත්, හදපු නැකත හැමදේටම හොඳ වුණත්, සභාපතිටයි ලේකම්ටයි එකට වැඩ කරන්න බැරි නැකතක් කියලයි මටනම් හිතන්නෙ.''
ඇමරිකානු නිල සංචාරයෙන් දින කිහිපයක් ඇතුළත ජනපති රනිල් වික්‍රමසිංහ මහතා තවත් නිල සංචාරයක් සඳහා විදෙස්ගත විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා ජර්මනිය බලා පිටත්ව ගොස් තිබේ. පසුගිය බ්‍රහස්පතින්දා අලුයම ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් පිටත්ව ගියහ.
සිව්දින නිල සංචාරයක් වූ මෙම සංචාරයට ජනපති සමඟ දූත පිරිස ලෙස තවත් 12 දෙනෙක් එක් වී සිටියහ. පිරිස කටාර් ගුවන් සේවයේ කිව්.ආර්. - 659 දරන ගුවන් යානයෙන් කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ වෙනත් ගුවන් යානයකින් ජර්මනිය බලා ළඟා විය. ජර්මනියේ පැවැත්වෙන බර්ලින් ග්ලෝබල් සකච්ඡාවට සහභාගී වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙම සංචාරයේ අරමුණ වී තිබිණි. මෙම සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජර්මන් චාන්ස්ලර් ඔලාෆ් ෂෝල්ස් ඇතුළු එරට දේශපාලන සහ ව්‍යාපාරික නායකයන් හමුවී සාකච්ඡා පැවැත්වීමටද සැලසුම් කර ඇත.
I චමිඳු නිසල් ද සිල්වා