2023 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා

මැතිසබය තර්ජනයට ලක්වූ හැටි ජනපති රනිල් ලෝක නායකයන්ට කියයි

 2023 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00 202

පාස්කු බෝම්බයේ දෝංකාරය විල මැද මැඳුරේ සභා ගැබ තුළ ප්‍රතිරාව නංවන්නට විය. ඒ අතර ක්‍රිකට් සාංකාව ද හිත කම්පා කළේය. එතෙර ගිය ජනපති මිතුරු සරණ පතන්නට වූයේය. කුමන්ත්‍රණ කතා අතරේ සන්ධාන කතාද නොඅඩුව අසන්නට ලැබුණි.

තම කියුබානු නිල සංචාරය නිම කළ ජනපති රනිල් වික්‍රමසිංහ නිව් යෝර්ක් වෙත පියාසර කළේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සැසිවාරය වෙත සහභාගිවීමේ අටියෙනි. ඇමෙරිකාවේදී ජනපති සමඟ එක්වීමට පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන සහ ප්‍රේම්නාත් සී. දොළවත්ත යන අයද ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියෝය. මෙම පිරිසට අමතරව විපක්ෂයේ සිට ආණ්ඩුවට සහාය දක්වන සජබ මන්ත්‍රී වඩිවේල් සුරේෂ් සහ බදියුදීන්ගේ පක්ෂයෙන් පාර්ලිමේන්තු පැමිණ ආණ්ඩුවට සහාය දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.එම්. මුෂාරෆ් ද මෙම සංචාරයට එක්වූහ.

මීට අමතරව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද ජනපති සමඟ සංචාරයට එක්ව සිටියහ.

ජනපති රනිල් වික්‍රමසිංහ ඇමෙරිකාවේදී රාජ්‍ය තාන්ත්‍රිකයන් රුසක් මුණගැසුණේය. ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ලෝක බැංකුවේ සභාපති අජේ බංගා අතර විශේෂ හමුවක් සැප්තැම්බර් 18 වැනිදා පැවැත්විණි. ලෝක බැංකු සභාපතිවරයා පෙර සිටම ශ්‍රී ලංකාව පිළිබඳව පැහැදිලි අවබෝධක් සහිතව සිටි අයකු බව කියැවේ.

මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ලෝක බැංකු සභාපතිවරයාට ආරාධනා කළ බවද වාර්තා වේ. ලෝක බැංකු සභාපතිවරයා ද එම ආරාධනාව පිළිගෙන ඇත. එසේම අවශ්‍ය උපදේශන සේවා හෝ අනෙකුත් තාක්ෂණික සහාය සඳහා ඕනෑම අවස්ථාවක තමා හෝ ජාත්‍යන්තර මෙහෙයුම් පිළිබඳ ප්‍රධානී සම්බන්ධ කර ගන්නා ලෙස මෙහිදී ලෝක බැංකු සභාපතිවරයා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙත දැනුම් දී තිබේ.

සමුද්‍රීය ජාතීන් සඳහා වන 3 වැනි ඉන්දු - පැසිෆික් දූපත් රාජ්‍යයන් අතර සංවාදයට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම සංවාදයේ ප්‍රධාන දේශනය පවත්වා තිබුණි. මේ අතර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරය සැප්තැම්බර් 19 වැනිදා නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ආරම්භ විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස ද ඊට එක්වූහ. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් (Antonio Guterres) විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු සියලු රාජ්‍ය නායකයන් පිළිගනු ලැබීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා, දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල්, නේපාල අග්‍රාමාත්‍ය පුෂ්ප කමල් දහාල්, එක්සත් ජනපද නියෝජිත ආයතනයේ පරිපාලක සමෙන්තා පවර්, Meta සමාගමේ ගෝලීය සම්බන්ධතා අංශයේ සභාපති ශ්‍රීමත් නික් ක්ලෙග් ආදී රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ ජාත්‍යන්තර ආයතන නියෝජිතයන් ද හමුවීමට කටයුතු කර තිබුණි.

පසුගිය සතිය පාර්ලිමේන්තු සතියක් වූ බැවින් සමගි ජන බලවේගය ද සිය පාර්ලිමේන්තු කණ්ඩායම රුස් කළේය. කෙසේ නමුත් මෙම රැස්වීම තරමක සුවිශේෂී  එකක් විය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇතිවූ ආන්දෝලනය හේතුවෙන් ඒ පිළිබඳව සිය මන්ත්‍රී කණ්ඩායම දැනුවත් කිරීමට විශේෂ වැඩමුළුවක් විපක්ෂ නායකවරයා සංවිධානය කර තිබුණි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන වාර්තාව සහ චැනල් 4 වාර්තාව ඇතුළු තවත් ප්‍රකාශ සහ සිදුවීම් පිළිබඳව මෙහිදී මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සිදුව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම දැනුවත් කිරීම සඳහා පිටතින් ද කිහිප දෙනකු පැමිණි බව කියැවේ. පැය තුනකට අධික කාලයක් මෙම වැඩමුළුව පවත්වා ඇත. පාස්කු ප්‍රහාරය සම්බන්ධ පාර්ලිමේන්තු විවාදයට විපක්ෂ මන්ත්‍රීවරුන් සූදානම් කරවීම විපක්ෂ නායකවරයාගෙන් ආරම්භ වූ බව ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
මේ අතර පාස්කු ප්‍රහාරය ගැන පාර්ලිමේන්තු විවාදයට පෙර ආණ්ඩු පක්ෂ මැති ඇමැතිවරුන්ගේ විශේෂ කණ්ඩායම් රැස්වීමක් සැප්තැම්බර් 19 වැනිදා පෙරවරුවේ පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 01 දී පවත්වා ඇතැයි දැනගැනීමට ලැබිණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදේශගතව සිටින නිසා අගමැති දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පවත්වා ඇතැයි ආරංචි මාර්ග පවසයි.

මේ සඳහා ආණ්ඩු පක්ෂ මැති ඇමැතිවරුන්ගේ පැමිණීම අනිවාර්ය කර ඇත.

මේ අතර විපක්ෂයේ ඉල්ලීමක් අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධව දැනුවත් කිරීම සඳහා තවත් වැඩමුළුවක් පාර්ලිමේන්තු පරිශ්‍රයේ සංවිධානය වී තිබුණි. අමාත්‍ය ටිරාන් අලස්ගේ ආරාධනයෙන් රජයේ විවිධ නිලධාරීන් මේ සඳහා එක්වූ බව කියැවේ. ඒ අනුව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය නියෝජනය කරමින් උසස් නිලධාරීන් කිහිප දෙනෙක් ද මේ සඳහා සහභාගි වූහ. මෙහිදී මන්ත්‍රීවරුන් නිලධාරීන්ගේ ගෙවුම් ප්‍රශ්න කරමින් තොරතුරු විමසා ඇතැයි කියැවේ.

කෙසේ වෙතත් පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීම සඳහා එම ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ලවූවන් යොදාගැනීමෙන් සිදුවන්නේ, පාර්ලිමේන්තුව හෑල්ලුවට ලක් කිරීමක් බව සිරිල් ගාමිණී පියතුමා පසුගියදා ප්‍රකාශ කර තිබිණි.

පසුගිය සතියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධූරය පිළිබඳව ද විවිධ ආරංචි පැතිර යමින් තිබුණි. මහ ලේකම් තනතුරට ලොකු තරගයක් නිර්මාණය වී ඇති බව ඒ අනුව කියැවිණි. ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මහ ලේකම් සරත් ඒකනායක සහ පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක අතරේ මෙම තරගය නිර්මාණය වී ඇතැයි කියැවේ.

දේශපාලන කරළියේ පැතිර යන කතා අනුව සරත් ඒකනායක තමන්ගේ ජ්‍යෙෂ්ඨත්වය මත මහ ලේකම් තනතුරට තරග කරමින් සිටියි. දුමින්ද දිසානායක සිය පළපුරුද්ද පිළිබඳ නායකත්වය පැහැදිලි කරමින් සිටින බව කියැවේ. මේ අතර සරත් ඒකනායක මහතා පසුගියදා විශේෂ ප්‍රකාශයක් ද සිදු කර තිබුණි.

''හිටපු ලේකම්තුමා කියන විදියට ඔය ලක්ෂ ගණන් ඔට්ටු අල්ලපු කතා පක්ෂය පාවා දෙන කතා නිකම්ම කතා විතරයි. ඒ මහතාට දක්ෂ ලෙස කතා කරන්න පුළුවන්. සින්දු කියන්න පුළුවන්. ඒක නම් අපි දන්නවා. රටේ පවතින තත්ත්වය අනුව කිසිම කෙනකුට, පක්ෂයකට තනි ගමනක් ගිහින් ආණ්ඩුවක් හදන්න බෑ කියන මතයේ තමයි මම ඉන්නේ. මම පක්ෂයේ මහ ලේකම් වුණොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති පිළිගන්න සියලු දෙනා එකතු කරගෙන අපේ ආණ්ඩුවක් පිහිටුවන්න කටයුතු කරනවා.”

කෙසේ වෙතත් දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධූරයෙන් ඉවත් කර වැඩබලන මහ ලේකම්වරයා ලෙස නියෝජ්‍ය ලේකම් සරත් ඒකනායක මහතා පත් කරනු ලැබුවද එම තනතුරේ වැඩ බැලීම අධිකරණය විසින් පසුගියදා වළක්වනු ලැබීය. ඒ අනුව එම කාරක සභාවේ තීරණයකට අනුව එම ධූරයේ වැඩ ආවරණය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල මහතාව මේ වන විට පත් කර තිබේ.

ගෙවී ගිය සතියේ වාර්තා වූ ආන්දෝලනාත්මක සිදුවීම වූයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ගමන් ගත් වාහනයට කිසියම් පිරිසක් විසින් වෙඩි තැබීමයි. අනුරාධපුර ගුවන් තොටුපළ පාරේ පිහිටි ඔහුගේ පියාගේ නිවෙස අසලදී මෙම වෙඩි තැබීම සිදුවිය. කෙසේ වෙතත් ඉන් මන්ත්‍රීවරයාට හෝ වෙනත් කිසිවකුට අනතුරක් නොවීය. මන්ත්‍රීවරයාගේ වාහනය පසුපසින් පැමිණි වෑන් රියකින් පැමිණි පිරිසක් මෙම වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා තමන්ට එල්ල වූ ප්‍රහාරය පිළිබඳව පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීමක් ද සිදු කළේය. 

"පවතින ක්‍රමය විසින් තමා මට ඒ ප්‍රහාරය එල්ල වෙන්න ඇත්තේ. මෙහි පාර්ලිමේන්තුවම දන්නවා, අපි හැමෝම විශ්වාස කරනවා මේ ක්‍රමය වැරදියි කියලා. අපේ රටේ පවතින සමාජ ක්‍රමයත් වැරදියි. දේශපාලන ක්‍රමයත් වැරදියි. ඒ ක්‍රමය නිසා තමා අපේ රට මේ තත්ත්වයට පත්වෙලා තියෙන්නෙ."

මේ අතර පසුගිය සතියේ බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10ට පමණ ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතීය. ජාතික සහ ජාත්‍යන්තර ප්‍රජාවේ සහාය ඇතිව සැමට සාමය සහ සෞභාග්‍ය සහතික කරමින් තිරසාර සංවර්ධනයක් කරා ශ්‍රී ලංකාව මෙහෙයවීමට කැපවන බවට ජනපති එක්සත් ජාතීන් හමුවේ සඳහන් කළේය. 

“පසුගිය වසරේ මෙම කාලය වන විට ඇතිවී තිබූ බහුවිධ ගෝලීය අර්බුදයන් මධ්‍යයේ ශ්‍රී ලංකාව මෑත කාලයේ මුහුණදුන් සමාජයීය, ආර්ථික හා දේශපාලනික වශයෙන් වඩාත් අභියෝගාත්මක කාල පරිච්ඡේදය අත්විඳිමින් සිටි අතර එය ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජන ජීවිතයට විනාශකාරී බලපෑමක් එල්ල කරනු ලැබුවා.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීමට දරන ලද උත්සාහයන් නිසා අප සතුව පැවති ප්‍රජාතාන්ත්‍රික සම්ප්‍රදායන්ටද තර්ජනාත්මක තත්ත්වයක් රට තුළ උද්ගත වුණා.

කෙසේ වූවත්, අප සතුව පැවති ගැඹුරින් මුල් බැසගත් සහ ඔරොත්තු දෙන ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන බල හුවමාරුවක් සිදු කිරීමට අප සමත් වුණා."

එක්සත් ජාතීන් හමුවේ වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ එම ඉලක්කය කරා ළඟාවීමට ශ්‍රී ලාංකීය ජනතාවගේ සේම ජාත්‍යන්තර ප්‍රජාවගේ ද විශ්වාසය සහ සහාය හිමිවනු ඇතැයි අපේක්ෂා කරන බවය. “2030 න්‍යාය පත්‍රය වෙනුවෙන් සාමය, සෞභාග්‍යය, ප්‍රගතිය සහ තිරසාරභාවය මත පදනම්ව තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීමේ ක්‍රියාමාර්ග වේගවත් කිරීම සඳහා විශ්වාසය යළි ගොඩනැංවීම සහ ගෝලීය සහයෝගීතාව යළි ඇති කිරීම” යන තේමාව යටතේ මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාර සංවිධානය වී තිබුණි.

ජනපති ජාත්‍යන්තර හමුවේ පෙනී සිටින අතරේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව පාස්කු බෝම්බයේ දෝංකාරයෙන් නැවත උණුසුම් විය. මෙම විවාදය අතරතුරදී හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අතර උණුසුම් තත්ත්වයක් ඇතිවිය. එමෙන්ම පාස්කු ප්‍රහාරයට දින හතරකට පෙර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉන්දියාවට ගිය අවස්ථාවේදී සුරේෂ් සලේ හමුවූ බවට තමන් විශ්වාස කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පැවසීමත් සමඟ මෙම තත්ත්වය නිර්මාණය වූයේය.

“සලේ හිටියේ කොහෙද? තිරුපති තිබෙන්නේ කොහේද? මම ඉන්දියාවේ ගිහින් තිබෙනවා ඕනෙ තරම්. නමුත් මම සලේව කවදාවත් හමුවෙලා නෑ. එයා ඉන්න තැනක් ගැන දන්නෙත් නෑ. මේ පට්ටපල් බොරු කියන්නේ. හමුදාපති ලෙස ඉන්නකොට මෙයාට තමන්ගේ කාර්යාලයට ඇවිත් පහර දුන්නා." යනුවෙන් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරන විට ඊට හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා දැක්වූයේ දැඩි ප්‍රතිචාරයකි.

“ඒවාට මම උත්තර දෙන්නම්. මේ පිස්සා හැමදාම ඔය කතාව කියනවා. මෙයා හිතාගෙන ඉන්නේ යුද හමුදා මූලස්ථානය සහ හමුදාපති කියන්නේ එහි ආරක්ෂක මුරය භාරව ඉන්න කෙනා කියලයි. මේ වල්ගේ පාගගෙන කතා කරන්නේ. එහි ආරක්ෂාවට වෙනම ජෙනරල් කෙනෙක් හිටියා. ඒකට හමුදාපති වග කියන්නේ නෑ. ප්‍රහාරය එල්ල වෙනකොට සිංගප්පූරුවට දවල් 12යි. එදා 03ට ගුවන් යානයක් ආවා. ඒත් ඒකේ ආවේ නෑ. හැංගිලා හිටියා හෝටලයට වෙලා. ඇඳ යට ඉඳලා තියෙන්නේ. කාමරයට ගෙන්වාගෙන කෑම කාලා තිබෙන්නේ. දැන් ලේ රත්වෙලා කෑගහනවා."

ආසියානු කුසලාන අවසන් තරගය අන්ත පරාජයෙන් පසු ක්‍රිකට් පිළිබඳවද ලොකු කතාබහක් පසුගිය සතියේ නිර්මාණය විය. ලෝක කුසලාන සංචිතය පමාවීම පිළිබඳව වූ කතාවට දේශපාලන කාරණාවක් ද ඇතැමුන් ඈඳාගෙන තිබුණි. ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට අවසන් සංචිතය යවා ඇතිමුත් අමාත්‍යවරයා විදෙස්ගත වී ඇති බැවින් සංචිතය නිවේදනය කිරීම පමාවන බව ඒ අනුව කියැවිණි.

මේ අතර දේශපාලන කරළියේ පැතිර ගිය තවත් කතාවකට අනුව කියැවුණේ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට එම අමාත්‍ය තනතුරින් ඉල්ලා අස්වන ලෙසට ආණ්ඩුවේ ඉහළම තැනකින් බලපෑම් එල්ල වී ඇති බවකි. ඔහු සතු සියලු අමාත්‍ය ධූර තබාගනිමින් ක්‍රීඩා අමාත්‍යාංශය පමණක් අතහරින ලෙස එම ඉල්ලීම ලැබී ඇතැයි කියැවිණි. කෙසේ වෙතත් අමාත්‍යවරයා මේ දක්වා එයට ප්‍රතිචාරයක් දක්වා නොමැති බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට එරෙහිව නඩු දැමීම සඳහා ක්‍රීඩා සංගම් පහකට කෝටි තුනකට වැඩි මුදලක් ලබා දී ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා හෙළිදරව් කොට තිබුණි. ක‍්‍රිකට් ආයතනය ගැන පාර්ලිමේන්තුවේදී විපක්ෂය නැගූ චෝදනා පිළිගත් නිසා රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට පිරිසක් කුමන්ත්‍රණය කළ බවද ඔහු පැවසීය.

මේ අතර අනුර ප්‍රියදර්ශන යාපා මහතා මෙහෙයුම් ප්‍රධානීත්වය දරන නිමල් ලන්සා ප්‍රමුඛ සන්ධානය කුරුණෑගල දිස්ත්‍රික්කයට වැඩි බරක් තබන බව පෙනී ගියේය. නව සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික් නියෝජිත හමුව පසුගිය සෙනසුරාදා පෙරවරුවේ අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ කුලියාපිටිය නිවෙසේදී පැවැත්වුණි.

එම සන්ධානය ආරංචි මාර්ග සඳහන් කළ පරිදි එම අවස්ථාවට අමාත්‍ය නලින් ප්‍රනාන්දු, නිමල් ලන්සා, හිටපු නියෝජ්‍ය අමාත්‍ය තාරානාත් බස්නායක, හිටපු මහ ඇමැති ධර්මසිරි දසනායක ඇතුළු පිරිසක් එක්ව සිටියහ. නියෝජිත හමුව අවසන් වී පැමිණි සියලු දෙනා වෙනුවෙන් අනුර යාපාගේ නිවෙසේ දිවා භෝජන සංග්‍රහයක්ද පවත්වා ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර නව සන්ධානයට එක්වන ඇතැමුන්ට ආණ්ඩුවේ යම් නාමික තනතුරු ලබාදීමට ලන්සා කණ්ඩායම උත්සාහ දරමින් සිටින බවට පොහොට්ටුව අභ්‍යන්තරයේ චෝදනා එල්ල වෙමින් තිබුණි. මේ අතර මෙම පාර්ශ්වය සමඟ එක්ව වැඩ කරන පිරිස් පිළිබඳව ඉහළ අවධානයකින් සිටීමට පොහොට්ටුවේ බලධාරීන් තීරණය කර ඇතැයි කියැවිණි. 

පළාත් පාලන මැතිවරණ සංදර්ශනය මුළුමනින්ම නිමාවන ලකුණු පසුගිය සතියේ දැකගත හැකි විය. ඒ අනුව පළාත් පාලන මැතිවරණය සඳහා බාරදුන් නාමයෝජනා අවලංගු කිරීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී අනුමැතිය හිමිවී ඇතැයි වාර්තා විය.

අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය  දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය බදාදා රුස්වූ අවස්ථාවේදී මෙම තීරණයට එළැඹ තිබේ. ඊට අමතරව ක්ෂේත්‍ර නිලධාරීන්ට තම බල ප්‍රදේශය තුළ ඡන්දය ඉල්ලීමට ඇති බාධා ඉවත් කිරීම සඳහා අදාළ පනත සංශෝධනය කිරීම පිළිබඳව ද මෙහිදී  සාකච්ඡාවට ලක්ව ඇත.

පසුගිය සතියේ වයඹ පළාතේ පොලිස් ස්ථාන 69කින් 37කට අදාළව ඉඩම් අයිතිය සම්බන්ධ පැවැති ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීමට වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පසුගියදා පියවර ගත්තේය. වයඹ පළාතේ පොලිස් ස්ථානයන්හි ඉඩම් ගැටලුව සම්බන්ධයෙන් වයඹ පළාත් නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා ප්‍රමුඛ උසස් පොලිස් නිලධාරීන් සහ ආණ්ඩුකාරවරයා අතර පැවැති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම විසදුම් ලබාදීම සිදුව තිබුණි.

ආණ්ඩුකාරවරයා පත් කළ කමිටුවක් මාස දෙකක් ඇතුළත විසඳුම් යෝජනා ලබාදුන් අතර වයඹ පළාතේ පුත්තලම සහ කුරුණෑගල දිස්ත්‍රික්කයන්හි පිහිටි පොලිස් ස්ථාන 69න් 37ක පැවැති ඉඩම් මෙලෙස නිරාකරණය විය. වසර 40කටත් එහි දිව ගිය ඉඩම් ගැටලු පැවැති අතර වත්මන් ආණ්ඩුකාරවරයා විසින් ඊට කඩිනම් විසඳුම් ලබාදීම ගැන පොලිස් නිලධාරීන් සිය ප්‍රශංසාව පිරිනමා තිබුණි.

I චමිඳු නිසල් ද සිල්වා