2023 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා

රනිල්ගේ ඇරියුමට සජබ විරෝධය...

 2023 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00 251

කුණාටු පහව ගියේය. ජනපති රට ගියේය. ගෙවී ගිය සතියේ දේශපාලන කරළිය තරමක් සන්සුන් විය. එහෙත් නෞකාව යාත්‍රා කරමින් සිටියේ ගැඹුරු මුහුදේය. ජල කාන්දු මුළුමනින් වසා දැමීමට නැවියෝ අසමත් වූහ. කපිතාන් තැන ආධාර ඉල්ලා එහේ මෙහේ දුවන්නට වූයේ එබැවිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බදාදා අලුයම දිවයිනෙන් පිටත්ව ගියේ කියුබාවේ හවානා නුවර පැවැත්වෙන ''ජී 77 සහ චීනය'' රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීමේ අරමුණිනි. මෙම සමුළුව මෙම මස 15 සහ 16 යන දෙදින පැවැත්වීමට නියමිතය. මෙම සමුළුවෙන් අනතුරුව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීමට නියමිතය.

කියුබාව බලා පිටත්ව යන අතරතුරදී ඩුබායි ගුවන් තොටුපළේදී ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ මහ ඇමතිනී මම්තා බැනර්ජි මහත්මිය හමුවිය. ඉන්දියාවේ ප්‍රකට ප්‍රබල දේශපාලන චරිතයක්ද වන මම්තා බැනර්ජී සහ ශ්‍රී ලංකා ජනපති රනිල් වික්‍රමසිංහ හමුව තරමක් විශේෂිත එකක් විය. මෙහිදී අපූරු සංවාදයක් හට ගත්තේය. මෙම සංවාදයට මුලපිරුවේ ජනපති රනිල් වික්‍රමසිංහ මහතායි.

''මම එක ප්‍රශ්නයක් අහන්න ද?''

බැනර්ජි මහත්මිය ඊට කැමැත්ත පළ කළාය.

''ඔව් අහන්න....''

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඇසුවේ අපූරු පැනයකි.

''ඔබ ඉන්දියාවේ විපක්ෂ සංධානය මෙහෙයවීමට සූදානම් ද?''

එය තරමක් බරපතළ පැනකි.

''ඕ මයි ගුඩ්නස්...'' බැනර්ජි ජී මහත්මියට කියැවුණි. බැනර්ජි මහත්මිය ඇතුළු සියලු දෙනාම මොහොතක් සිනහා වූහ. එහෙත් අනතුරුව ඇය පැහැදිලි පිළිතුරක් ලබාදුන්නාය.

''ඒක තීරණය වෙන්නේ පුද්ගලයන් අනුව. ඔබ දන්නවා...''

මේ දිනවල ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය සන්ධානයක් ගොඩනැගීමේ කටයුතු කඩිමුඩියේ සිදුකරමින් සිටී. එය තරමක් භාරදූර රාජකාරියක් වී ඇත. බැනර්ජිද එහි ප්‍රබල චරිතයකි. ඊට විශාල මාධ්‍ය අවධානයන් ලැබී ඇත. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඇසුවේ කාලෝචිත පැනයකි.

''විපක්ෂයේ ඒ හා සම්බන්ධව ස්ථාවරයකට එළඹිලා ඉන්නෙ.''

බැනර්ජි මහත්මිය ඒ පිළිබඳ මෙලෙස කරුණු පැහැදිලි කර තිබුණි. මේ අතර ජනාධිපති වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසට බැනර්ජි මහත්මියට ඇරයුම් කිරීමටද අමතක නොකළේය. කොල්කටා නුවර පැවැත්වෙන 2023 බෙන්ගාලි ගෝලීය ව්‍යාපාරික සමුළුව සඳහා පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බැනර්ජි මහත්මියද ආරාධනා කළාය.

පසුගිය බදාදා තවත් විශේෂිත සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී සංවිධානය වී තිබුණේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ මහජන එක්සත් පෙරමුණ අතර පැවති සාකච්ඡාවක් ලෙසින් සංවිධානය විය.

පොහොට්ටුවේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් ඇතුළු පක්ෂ දෙකේම ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනෙක්ද මේ සඳහා එක්ව සිටියහ. විවිධ දේශපාලන සංවාද අවසානයේ ආර්ථිකය නඟා සිටුවීමේ වැඩසටහනේ වර්තමාන තත්ත්වය පිළිබඳ අගමැති ඇතුළු පිරිස සාකච්ඡා කරන්නට වූහ.

''නොවැම්බර් මාසය අලුත් අය-වැය එන්න තියෙනවා අපි යෝජනා කිහිපයක් ඉදිරිපත් කරමු.''

දෙපිරිසම ඊට එකඟ විය. ඒ අනුව ප්‍රධාන යෝජනා හතරක් මෙවර අයවැය වෙනුවෙන් ඉදිරිපත් කිරීමට පොහොට්ටුව සහ මහජන එක්සත් පෙරමුණ සූදානම් විය.

''සමාජ සුභසාධන වැඩසටහන් තවදුරටත් පවත්වාගෙන යන්න ඕනෑ. අස්වැසුම කියලා කියන්නේ තාවකාලික වැඩසටහනක්. සමෘද්ධි තියෙන්න ඕනෑ. නතර කරන්න බෑ...''

''පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කරනකොට මිනිස්සුන්ගෙ රස්සාවල් නැති කරන්න බෑ. ඒ අයට වෙනත් විකල්පයක් ලබාදෙන්න ඕනෑ...''

''කලින් වගේම අපේ මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත අරමුදල්වලින් වැඩකරන්න ප්‍රතිපාදන ලබාදෙන්න ඕනෑ...''

අගමැති දිනේෂ් ගුණවර්ධන සහ බැසිල් රාජපක්ෂ එම යෝජනා පිළිබඳ එකඟතාව පළ කළේය. ඒ අනුව ජනපති ශ්‍රී ලංකාවට පැමිණි පසු, මුදල් අමාත්‍යවරයා වන ජනාධිපතිවරයා වෙත මෙම ඉල්ලීම් කිරීමට පිරිස තීරණය කළහ.

මේ දිනවල මහලේකම් අර්බුදය හේතුවෙන් කැළඹී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවද පසුගිය සඳුදා රුස්විය. මෙහිදී ප්‍රධාන වශයෙන්ම දයාසිරි ජයසේකර මාතෘකාව බවට පත්වූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. දයාසිරි ජයසේකර ඉවත් කිරීම මධ්‍යම කාරක සභාවේ අනුමත කර ගැනීමටද මෙහිදී මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළ බව කියැවේ.

''අපි මේ තීරණය ගන්න හදිස්සි නොවී ඉන්න තිබ්බේ. තව ටිකක් බලන්න තිබුණා.''

මෙවන් අදහසක්ද මන්ත්‍රීවරුන් අතරින් මතු වූ බව ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත් මහලේකම් ධුරයේ කටයුතු පිළිබඳ සොයා බැලීමේ වගකීම දුෂ්මන්ත මිත්‍රපාල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට පවරා ඇති බවද කියැවේ. ඔහු දයාසිරි ජයසේකර මහතාගේ සමීපතමයෙක්ව සිටි අයෙක් බවද ආරංචි මාර්ග සඳහන් කරයි.

දයාසිරි ජයසේකර මහතා හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීම් තුනක් සිදුකර ඇති බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

''මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයා එම තනතුරින් ඉවත් කළ යුතුයි...''

''පක්ෂ ප්‍රචාරක ලේකම්වරයාද එම තනතුරෙන් ඉවත් කළ යුතුයි...''

''ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ මේ දිනවල එක්ව කටයුතු කරමින් සිටින, අපි ශ්‍රී ලාංකිකයෝ නම් සංවිධානයද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කටයුතුවලින් ඉවත් කළ යුතුයි...''

දේශපාලන කරළියේ පැතිර යමින් පවතින කතා අනුව දයාසිරි ජයසේකර මහතා විසින් ඉදිරිපත් කර ඇත්තේ මෙවන් ඉල්ලීම් ත්‍රිත්වයකි.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට පෙර පැවති තවත් වැදගත් සාකච්ඡාවක් පිළිබඳ තොරතුරු අනාවරණය වෙමින් තිබේ. එම සාකච්ඡාව සංවිධානය වී ඇත්තේ බැසිල් රාජපක්ෂ සහ ජනාධිපතිවරයා අතරයි. වෙනත් කිසිවකු සහභාගී නොවූ මෙම සාකච්ඡාව පිළිබඳ නිල වශයෙන් කිසිදු තොරතුරක් මෙතෙක් අනාවරණය වී නොමැත.

කෙසේ වෙතත් පසුගිය සති අන්තයේ පැවැති මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ මැතිවරණ සිතියම පිළිබඳ පුළුල් සාකච්ඡා ඇතිවී ඇති බව පොහොට්ටුවේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

''ඊළඟට මැතිවරණ තියෙන පිළිවෙළ සම්බන්ධව තීරණයක් අරගෙන තියෙනවා.''

පැයක පමණ කාලයක් පැවැති මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ ඉදිරි මැතිවරණ පැවැත්විය යුතු ආකාරය පිළිබඳව ඔවුන් දෙදෙනා දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇතැයි මේ අනුව කියැවේ. ඊට අමතරව ආණ්ඩුවේ දේශපාලන සංගණනය පිළිබඳවද මෙහිදී අවධානය යොමුව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

''මොනවා කතා කළත් මෙම සාකච්ඡාවේදී කැබිනට් පත්වීම් සම්බන්ධව දෙදෙනාම වචනයක්වත් කතා කරල නෑ...''

මෙම සාකච්ඡාව පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශ්වයෙන් කතාවක්ද අසන්නට ලැබේ.

ජනපතිගේ ඇමරිකානු සංචාරයට පසුගිය දිනවල පොහොට්ටුවේ අරගල කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනද කැටුව එන බව මේ අතර වාර්තා වී තිබුණි. ඊට අමතරව මහින්දානන්ද අලුත්ගමගේ සහ මුෂාරෆ් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද මෙම සංචාරය සමඟ එකතු වීමට නියමිතය.

මේ අතර මොණරාගල දිස්ත්‍රික් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මසේන මහතාට ජනපති සමඟ සංචාරයට ආරාධනා කර ඇතැයි කියැවේ. කෙසේ වෙතත් සමගි ජනබලවේගය එම ගමනට විරෝධය පා තිබේ.

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පසුගිය සතියේ විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබුණි. සමගි ජන බලවේගය රටේ සෑම මැතිවරණ කොට්ඨාසයකම බල මණ්ඩල පවත්වා අවසන් බව ඔහු පැවසීය.

''රනිල් වික්‍රමසිංහ මහත්මයා ජනාධිපති බවට පත්වෙච්ච වෙලාවෙ ඉඳල කියන්න පටන් ගත්තා සමගි ජන බලවේගයෙන්, එක්සත් ජාතික පක්ෂයට මෙච්චර එනවා අච්චර එනවා කියලා. එහෙම ගියපු මිනිහෙක් නෑ. යන්න කියලා කවුරුහරි කල්පනා කළා නම් දැන් ඒකත් බ්‍රේක් ගහලා තියෙන්නෙ.''

සමගි ජන බලවේගය ඕනෑම වෙලාවක මැතිවරණයකට සූදානම් බවත් රටේ වගකීම බාර ගැනීමට සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජන බලවේගය සූදානම් බවත් සජබ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවැසීය. සමගි ජන බලවේගයේ මැතිවරණ ව්‍යාපාරය 16 වැනිදා (සෙනසුරාදා) මාතරින් ආරම්භ කරන බවද ඔහු සඳහන් කළේය. ඒ අනුව සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන ''දිනන ඇරඹුම'' තේමාව යටතේ සැප්තැම්බර් 16 සහ 17දා මාතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ වීමට නියමිතය.

මේ අතර සජබ කොළඹ නගරාධිපති අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් නැවත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය ලබාදෙන ලෙස ඉල්ලීමක් සිදුකර ඇතැයිද වාර්තා පළවන්නට විය. දැනටමත් එම යෝජනාව වත්මන් ජාතික ලැයිස්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතාට දැනුම් දී ඇති අතර ඔහු පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කර ඇති බවද මාධ්‍ය වාර්තා කිහිපයකම පළව තිබුණි.

කෙසේ වෙතත්  සමගි ජන බලවේගය පාර්ශ්වයෙන් මේ පිළිබඳ තහවුරු කිරීම සිදුකරන්නේ නැත. පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු මේ පිළිබඳ කීවේ මෙවැනි අදහසකි.

''එතුමාට අපි සාධාරණයක් කරන්න ඕනෑ. පක්ෂය වෙනුවෙන් විශාල කැපවීමක් කරන කෙනෙක්. අවස්ථාවක් ලැබුණොත් සාධාරණයක් කළ යුතුයි කියන අදහසේ අපිත් ඉන්නවා.''

පසුගිය සතියේ ආසන බලමණ්ඩල පිහිටුවීමට සහ දිස්ත්‍රික් මට්ටමින් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහික නිර්මාණ කිරීමට ජාතික ජන බලවේගය වැඩි බරක් ලබා දී තිබුණි. මේ අතර ඩලස් පිල සහ ජාතික ජන බලවේගය පැවැත්වූ සාකච්ඡා පිළිබඳ පළමුවරට ජාතික ජන බලවේගය පාර්ශ්වයෙන් අදහස දැකීමක් සිදුවිය.

''ව්‍යවස්ථාවට සංශෝධන ගෙන එන අවස්ථාවේ 18,19,20 හා 21 යන සියලු සංශෝධනවලට පක්ෂව අත් එස වූ අය එම කණ්ඩායමේ ඉන්නෙ.''

මෙලෙස සඳහන් කර තිබුණේ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරියයි. ඒ අනුව රටේ දූෂණ හා වංචාවලට සම්බන්ධ වූවන් මෙන්ම ඒවා නතර කිරීමට උනන්දුවක් නොදැක්වූවත් මේ අතර සිටින බැවින් ඩලස් පිල හා සන්ධාන ගතවීමේ හැකියාවක් ජාතික ජන බලවේගයට නැතැයිද ඇය පවසා තිබුණි. ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සංචාරයක් සදහා චීනය බලා පිටත්වීමද දේශපාලන කසුකුසුවක් නිර්මාණය කළේය.

''චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනවකටලූ ගිහිල්ලා තියෙන්නෙ. දැන් ඒ ගොල්ලන්ටත් චීනෙ හොඳයි.''

ආණ්ඩුවේ මන්ත්‍රීන් අතර මෙවන් කතාවක් පැතිර ගිය බවට තොරතුරු වාර්තා පළවිය. මෙම සංචාරය පිළිබඳව ඇතැමුන් තුළ කුතුහලයක් වන බව පෙනී ගියේය.

කෙසේ වෙතත් ජාතික ජනබලවේගයේ ආරංචි මාර්ග සඳහන් කළේ සැප්තැම්බර් 12 ඇරඹෙන දේශපාලන පක්ෂ අන්තර්ජාතිකව ප්‍රවර්ධනය සහ අන්තර් අවබෝධය ගොඩනැගීම සඳහා වන විශේෂ වැඩසටහනක් සඳහා සහභාගි වීමට එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායක වරුණ දීප්ත රාජපක්ෂ සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මෙලෙස චීනය බලා පිටත්ව ගොස් ඇති බවයි.

පසුගිය සතියෙහි නිමල් ලන්සා ප්‍රමුඛ නව දේශපාලන සන්ධානයද සිය දේශපාලන ක්‍රියාකාරකම් අරඹා තිබුණි. නව සන්ධානයේ ඉදිරි දැක්ම පිළිබඳ දැනුවත් කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ලෙස දිස්ත්‍රික් මට්ටමින් නියෝජිත හමු මාලාවක් ඔවුහු සංවිධානය කළහ. එම නියෝජිත හමු මාලාවේ කුරුණෑගල දිස්ත්‍රික් හමුව පසුගියදා පැවැත්වුණි. මෙම අවස්ථාවට නව සන්ධානය නියෝජනය කරමින් එහි මෙහෙයුම් නායක අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් ලන්සා, නලින් ප්‍රනාන්දු සහ ශ්‍රීලනිපය නියෝජනය කරමින් මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර ඇතුළු පිරිසක් එක්වූ බව එම සන්ධානේ ආරංචි මාර්ග සඳහන් කළේය.

අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු කිහිප දෙනකුට ඉදිරියේදී ආණ්ඩුවේ ඉහළ තනතුරු ලැබිය හැකි බවද පසුගිය සතියේ ආරංචි පැතිර යමින් තිබුණි. එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සිටින කිහිප දෙනකුද මෙම සන්ධානය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම කැපී පෙනුණි.

''ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙනිහිල්ලා රනිල් වික්‍රමසිංහට හේත්තු කරන්න හදනවා.''

යනුවෙන් පසුගිය සමයේ දයාසිරි ජයසේකර සිදුකළ චෝදනාවට හේතුව වී ඇත්තේ එම සබඳතාව බවද ආරංචි මාර්ග සඳහන් කරයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධව චැනල් 4 අනාවරණය පිළිබඳ අන්දෝලනයද පසුගිය සතියේ ශේෂව තිබුණි. පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජාත්‍යන්තර පරීක්ෂණ කතාව සංවාදයක් ඇති කළේය. කාදිනල්තුමාගේ ඉල්ලීමෙන් පසු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ද පාස්කු ප්‍රහාරයේ සුලමුල හෙළිවන්නේ නිවැරුදි ජාත්‍යන්තර පරීක්ෂණයකින් පමණක් බව කීවේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍යයැයි නොසිතන නමුත් නිවැරදි විමර්ශනයක් කර සත්‍යය හෙළිකරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට කටයුතු කරන බව පොහොට්ටුවේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් කීවේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂද මේ පිළිබඳව ප්‍රකාශයක් කර තිබුණි.

''ටීවී සහ රේඩියෝ චැනල්වලින් පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ පවත්වන්න බැහැ.''  

මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

''රාජ්‍ය නොවන සංවිධාන ටීවී රේඩියෝ චැනල් ගෙන්නලා පරීක්ෂණ කරනවා වෙනුවට ලෝකයේ ත්‍රස්තවාදීන්, අන්තවාදීන් ගැන පරීක්ෂණ පවත්වන රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධ වෙලා පරීක්ෂණයක් කිරීම විශේෂයෙන්ම ඉන්දියාව එංගලන්තය හා ඇමරිකාව වගේ රටවල රාජ්‍ය ආයතන. නැත්නම් හැමදාම මැතිවරණයක් ළංවන වෙලාවට මේක එළියට එනවා ඊටපස්සේ යට යනවා. අපිට මේක දේශපාලන කාරණයක් කරගන්න බැහැ. හරි විදිහට පරීක්ෂණ කරන විදේශීය රාජ්‍ය ආයතනවලට පරීක්ෂණ කටයුතු කරන්න අපි අපේ සහාය ලබාදෙනවා.''

මේ අනුව මෙම සතිය නිමා වනවිට සියලුදෙනාගේ අවධානය ජනපතිගේ විදෙස් සංචාරය වෙත යොමුව තිබුණි. කෙසේ වෙතත් සති අන්තයේ දේශපාලන උණුසුම පරයමින් ක්‍රිකට් උණුසුම දැඩිවන්නට විය.

I චමිඳු නිසල් ද සිල්වා