2023 මැයි 21 වන ඉරිදා

මහින්දගේ අගමැති කතාවට පොහොට්ටුවෙන් සී. අයි. ඩී වැඩක්

 2023 මැයි 21 වන ඉරිදා, පෙ.ව. 06:00 315

පිරිසකගේ බලාපොරොත්තු ඉටු වූ තවත් පිරිසකගේ බලාපොරොත්තු බිඳීගිය දේශපාලන සතිය ගෙවී ගියේය. පැහැදිලි දේශපාලන කරණමක් දැකගත හැකි වූ අතර තවත් කරනම් කිහිපයක් පිළිබඳව ඉඟිද ලැබුණි. ආගමික සහ ජාතිකවාදී කඳවුරු නැගීම්ද කැපී පෙනෙන සිදුවීම් වූයේය. එසේම යුධ ජයග්‍රහණයේ සංවත්සරය සැමරුමත් ගෙවී ගිය දිනට යෙදී තිබීම සුවිශේෂී විය.

සතියේ දේශපාලන කරළියේ ප්‍රධානතම සිදුවීම වූයේ කලක් තිස්සේ දික් ඇදෙමින් පැවැති ආණ්ඩුකාරවරුන්ගේ පත්වීම් සිදුවීමයි. අප දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළ පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලාපොරොත්තුවෙන් සිටියේ ආණ්ඩුකාරවරුන් සිව්දෙනෙකු පත් කිරීමටය. ඒත් අවසානයේදී පත්වූයේ ආණ්ඩුකාරවරුන් තිදෙනකු පමණි. ඒ අනුව පිළිවෙළින් උතුරු, නැගෙනහිර සහ වයඹ පළාත් සඳහා නව ආණ්ඩුකාරවරු පත් වූහ.

සබරගමු පළාත් ආණ්ඩුකාරවරයාද අලුතින් පත් කිරීමට නියමිතව සිටියේය. එහෙත් එය සිදු නොවූයේ ඇයි? ආණ්ඩුකාර පත්වීම් පිළිබඳව අවධානයෙන් සිටි බොහෝ දෙනකු තුළ ඇතිවූයේ කුකුසකි. එහෙත් අප තහවුරු කරගත් පරිදි සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා මසක නිවාඩු ලබා විදෙස්ගතව සිටීම එම පත්වීම කල්යාමට හේතුවිය. කොබ්බෑකඩුව මහතා තම දියණියගේ උපාධි ප්‍රදානෝත්සවයට සහ පුත්‍රයාගේ විවාහ ගිවිස ගැනීමට සහභාගි වීමේ අරමුණෙන් මෙලෙස නිවාඩු ලබා ඇමෙරිකා එක්සත් ජනපදයට බලා ගොස් සිටියේය. ඔහු නැවත ලංකාවට පැමිණීමට නියමිතව ඇත්තේ ජූනි මස 4 වැනිදායි.

ඒ අනුව ආණ්ඩුවේ ආරංචි මාර්ග තහවුරු කළේ කොබ්බෑකඩුව මහතාගේ පැමිණීමෙන් පසුව නව පත්කිරීම නියත වශයෙන්ම සිදුවන බවකි. බොහෝදුරට සබරගමු පළාත් ආණ්ඩුකාර ධූරයට නවීන් දිසානායක හෝ පාලිත රංගේ බණ්ඩාර යන දෙදෙනා අතරින් එක් අයෙක් පත්වනු ඇතැයිද ආරංචි මාර්ග තහවුරු කරයි.

කෙසේ වෙතත් ඉකුත්දා ආණ්ඩුකාරවරු පත්කිරීමට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ජනාධිපතිවරයා වෙත ලැයිස්තුවක් ලබා දී තිබුණි. උතුරු පළාත් ආණ්ඩුකාර ධූරයට පත්වූ පී.එස්.එම්. චාල්ස් මහත්මියගේ නම හැරෙන්නට අනෙක් සියලු දෙනාගේ නම් ඊට ඇතුළත් වී තිබූ බව පොහොට්ටුවේ දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේය. එසේම මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් ගමගේ, දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, උෟව පළාත් ආණ්ඩුකාර මුසම්මීල් යන අය එම තනතුරුවලින් ඉවත් නොකරන ලෙසටද, පොහොට්ටුවේ ප්‍රධානීන් ජනපතිගෙන් ඉල්ලා තිබිණි. ඒ අනුව ආණ්ඩුකාරවරුන් මාරු කිරීමේ ක්‍රියාවලිය තුළදී මෙම පිරිසට තවදුරටත් තනතුරු රුක ගැනීමට අවකාශය උදා වී ඇත.
මේ අතර තනතුරු අහිමි වූ ආණ්ඩුකාරවරුන් අතරින් ඇතමුන් එම තනතුරුවලින් ඉවත් නොවන බවට ඉකුත් සතියේ වාර්තා ලැබී තිබුණි. එහෙත් ජනපතිගේ ප්‍රසාදය අහිමිවීම මත තනතුරුවලින් ඉවත්කරන බවට ලිපියක් ඔවුන් අතට පත්වීමත් සමඟ එම ආණ්ඩුකාරවරුන්ට තනතුරු අතහැර යාමට සිදුවූයේ නිතැතිනි. ඒ අනුව වසන්ත කරන්නාගොඩ ඇතුළු ආණ්ඩුකාරවරුන් තිදෙනා සිය බඩුබාහිරාදිය පළාත් ප්‍රධාන ලේකම්වරයාට බාර දී නිහඬවම පසු බැස ගියහ. මෙහිදී යම් ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙතැයි දේශපාලන කරළියේ වූ සැකයද ඒ අනුව පහව ගියේය.

පසුගිය සතියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද යම් ගැටලුවකට මැදිව සිටි බව අසන්නට ලැබුණි. ඊට හේතු වූයේ විටින් විට සමාජ මාධ්‍ය සහ ඇතැම් වෙබ් අඩවි තුළ පළවන පුවතකි. ''හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නැවත අගමැති කිරීමට පොහොට්ටුවේ පිරිසක් සැරසෙයි'' යන සිරස්තලය යටතේ සති කිහිපයකට වරක් කරළියට පැමිණෙන පුවත පොහොට්ටුවට හිසරදයක් විය.

පොහොට්ටු දේශපාලන පක්ෂයක් ලෙස එවන් බලාපොරොත්තුවකින් පසු නොවන බවත් ඒ සඳහා උත්සාහයක් නොදරන බවත් එම පක්ෂයේ ඉහළ පුටුවල සිටින පිරිස් සපථ කර කීහ.

ඒ කෙසේ වෙතත් මෙම පුවත පසුගිය සතියේද නැවත කරළියට පැමිණීමත් සමඟ ඊට පිළිතුරු බැඳීමට ගියේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂයි. කොළඹ ආරක්ෂාව තරකිරීමත් සමඟ මෙවර එම පුවත කරළියට පැමිණ තිබුණි.

''ඊයේ පෙරේදා දිනවලත් අද උදෑසනත් අපේ දුරකථනවලට කතාකරලා අහන්නෙ මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති වෙනවාද කියලා. එහෙමනෙ අහන්නෙ? දැන් මගෙන් වාඩිවෙච්ච ගමන් නීතීඥ රවීන්ද්‍ර මැතිතුමාත් ඇහුවා. ඇයි කියලා ඇහුවාම කියනවා මේ කොළඹට හුඟක් හමුදාව ගෙනැල්ලා කියලා. කොළඹට හුඟක් පොලීසියෙන් ගෙනැල්ලා කියලා. මගේ ආදරණීය අම්මේ... තාත්තේ, මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍යකමෙන් අයින් වුණෙත් මහජනතාව එක්ක. නැවත වතාවක් මේ රටේ නායකත්වයට එනවා නම් එතුමා නායකත්වයට එන්නෙත් මහජනතාවගෙන් කියන එකත් තමුන්නාන්සෙලාට මතක් කරන්න ඕනෙ. ඒකට පොලීසියෙන් හමුදාවෙන් 10,000ක් කොළඹට ගේන්න ඕනෙ නෑ.''

මේ අතර පොහොට්ටුවෙන් ලැබුණු තවත් දේශපාලන ආරංචියකට අනුව කියැවුණේ, එම දේශපාලන පක්ෂය පවත්වාගෙන යන බව කියන තොරතුරු සේවාවක් හරහා මහින්ද රාජපක්ෂ අගමැති කිරීම සම්බන්ධ නිතර පළවන පුවත පිළිබඳ ඔවුන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවකි.

''මේක හිතාමතාම අපේ පක්ෂයත්, මහින්ද රාජපක්ෂ මහත්මයාත් අපහසුතාවයට පත් කරන්න කරන වැඩක්. මේක එන්නේ කොහෙන්ද කියලා අපි හරියටම හොයාගන්නවා.''

කෙසේ වෙතත් කොළඹ ආරක්ෂාව හදිසියේ තරකිරීම පිළිබඳවද පසුගිය සතිය ආරම්භයේ ආන්දෝලනාත්මක තත්ත්වයක් නිර්මාණය කළේය. මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතාගෙන් විමසීමක් සිදුකර තිබුණි.

“ලැබුණු යම්කිසි බුද්ධි තොරතුරක් අනුව ආරක්ෂාව සඳහා ගතයුතු අවශ්‍ය ක්‍රියාමාර්ග තමා අරන් තියෙන්නේ.”

කොළඹ විශ්වවිද්‍යාලය අවට ආරක්ෂාව තර කිරීමත් සමඟ විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තරයේ වන යම් සංවිධානාත්මක කටයුත්තක් මීට හේතු වී ඇතැයිද දේශපාලන කරළියේ කතාබහක් නිර්මාණය විය. එහෙත් හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් කියා තිබුණේ වෙනත්ම කතාවකි.

''ඊයේ දිනයේ පොලීසිය හා යුද හමුදාව කන්ටින්ජන්සි එකක් (අනුඛණ්ඩයක් යෙදවීමක්) තමා කළේ. හදිසි අවස්ථාවකට කොහොමද මුහුණ දෙන්නේ කියලා බලන්න. ඊයේත් හමුදාව හිටියේ ස්ටෑන්ඩ්බයි. පොලීසිය තමා රාජකාරිය කරන්නේ. හමුදාව ඉන්නවා හදිස්සියක් වුණොත් ඒ ගොල්ලන්ට උදව් කරන්න.”

කෙසේ වෙතත් ආරක්ෂාව තර කිරීම සඳහා හේතුවූයේ වැරදි බුද්ධි තොරතුරක් බව සමාජ මාධ්‍ය තුළ තවත් පිරිසක් සඳහන් කර තිබෙනු දැකගත හැකි විය.

ගෙවීගිය සතියේ සමගි ජනබලවේගයේ ඇතුළත ගිනි පිටට දීමට සජබ උප සභාපතිවරයකු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් කටයුතු කළේය. මෙය තවත් දේශපාලන සංදර්ශනයක ආරම්භය බව බොහෝ දෙනෙක් අනාවැකි කියන්නට වූහ.
සමගි ජනබලවේගයේ උපසභාපති ධුරයෙන් සහ එම පක්ෂයේ අනුරාධපුර බටහිර ආසන සංවිධායක ධුරයෙන් තමා ඉවත්වන බව පී. හැරිසන් මහතා කියා සිටියේය. එසේම සමගි ජනබලවේගයේ තවත් මන්ත්‍රීවරුන් 17 දෙනකු ඉදිරි දිනවල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක්වීමට නියමිත බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් මහතා පැවැසීය.

''සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාගේ බුද්ධි සේවයට අහුවුණේ නැතිවට දැන් මේ වෙනකොට සජබයේ බාගෙකට කිට්ටු වෙන්න රනිල් වික්‍රමසිංහ මහතා එක්ක සාකච්ඡා කරලා ඉවරයි. දැනට දාහතක් විතර ස්ථිර වශයෙන් අයින් වෙන්න ලැහැස්තියි. මම පොඩි ඉඟියක් දෙන්නම්. වයඹ පළාතේ පුත්තලම සහ කුරුණෑගලින් තව දෙන්නෙක් එනවා. ඒ වගේම තව අය කොළඹ දිස්ත්‍රික්කයෙන් සහ මධ්‍යම පළාතේ සජබ මන්ත්‍රීවරු ජනාධිපතිවරයා සමඟ එක්වීමට නියමිතයි.''

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් මහතාගේ මෙම ප්‍රකාශය සමගි ජන බලවේගයට තදබල රිදුමක් ඇති කළ බව ආරංචි මාර්ග සඳහන් කළේය. විපක්ෂනායක කාර්යාලයේදී මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් සමගි ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා හැරිසන්ගේ ප්‍රකාශය පිළිබඳ කතා කළේය. හිටපු අමාත්‍ය පී. හැරිසන් මහතාට ආණ්ඩුකාර පදවියක් යෝජනා වී ඇතැයි සිතිය හැකි බව ඔහු සඳහන් කළේය. මේ අතර සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාරද මේ හැරිසන්ගේ දේශපාලන කරණම පිළිබඳ කතා කළේය.

''හැරිසන් ගියා කියලා ඒ එක්ක ඡන්ද යන්නේ නෑ. ඔහුගේ හැකියාව අපි ගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී දැක්කා. හිටපු කැබිනට් ඇමැතිවරයෙක් විදියට මැතිවරණයට ඉදිරිපත් වෙලා ඔහුට පාර්ලිමේන්තුවට එන්න තබා වැට ළඟටවත් එන්න බැරිවුණා. එහෙම කෙනෙක් ගැන මම විවේචනය කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ.''

මේ අතර පසුගිය මැයි 16 වැනිදා සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේදී කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වූ අවස්ථාවේදී සුවිශේෂී තීරණ කිහිපයකට සමගි ජනබලවේගය එළඹි බව දැනගැනීමට ලැබුණි. ඒ අනුව සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ එකඟතාවයෙන් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සමගි ජනබලවේගයේ නියෝජ්‍ය භාණ්ඩාගාරික තනතුරටත්, කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සමගි ජනබලවේගයේ නියෝජ්‍ය ලේකම් ධුරයටත් පත්වීම් ලැබූ බව වාර්තා විය.‍

පසුගිය සතියේ පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ සම්බන්ධවද විශේෂිත දේශපාලන ආරංචියක් ලැබුණි. බැසිල් රාජපක්ෂ පසුගියදා ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගිය බවට දේශපාලන කරළියේ කසුකුසුවක් නිර්මාණය විය. එහෙත් දැනගැනීමට ලැබුණේ ඔහු ඩුබායි රුඳී සිටින බවකි. මේ පිළිබඳ දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ, ඩුබායිහිදී බැසිල් රාජපක්ෂ විශේෂ රාජත්‍රාන්තික අමුත්තන් කිහිප දෙනකු මුණගැසී ඇති බවකි.

එහෙත්, එම අමුත්තන් කවුද? කුමන රටවලට අයත්ද? යන්න පිළිබඳ පැහැදිලි කිරීමක් නොවූයේය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට බලපාන තීරණාත්මක ආර්ථික දේශපාලන කාරණා පිළිබඳව මෙම සාකච්ඡා සිදුව ඇති බවට තොරතුරු ලැබෙමින් තිබේ. ඒ අනුව ඇමෙරිකාවට ගමන් නොකොටම බැසිල් රාජපක්ෂ ඩුබායිහි සිට නැවත ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

පසුගියදාක ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාව රුස් වූ බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. ඒ අනුව ඉදිරි මාසයේදී ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සියලු වෘත්තීය සමිති දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් සකස් කිරීමට ජවිපෙ තීරණය කර ඇති බව කියැවේ. එසේම ජාතික ජනබලවේගය ජනාධිපතිවරණය ඉලක්ක කරගත් දේශපාලන වැඩපිළිවෙලකට අවතීර්ණ වීමට සූදානමින් සිටින බවද ආරංචි මාර්ග සඳහන් කරයි.

එම ආරංචි ආරංචි මාර්ග සඳහන් කරන පරිදි ආණ්ඩුව ජනාධිපතිවරණයක් මිස වෙනත් මැතිවරණයක් පැවැත්වීමට සූදානම් නොමැති බව අවබෝධ වීමත් සමඟ ඔවුන් මෙම කටයුත්තට අතගසා ඇත. මේ අතර විශ්‍රාමික හමුදා නිලධාරීන් සම්බන්ධ කරගත් විශේෂ වැඩසටහන් කිහිපයක් දියත් කිරීමටද ජාතික ජනබලවේගය සූදානමින් සිටින බවට වාර්තා පළවෙයි.

මෙය අතර පසුගිය බදාදා සවස ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජෝන් ෆ්‍රාන්සුවා පැක්ටෙට් මහතා සහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක හමුවක් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති බවද දැනගැනීමට ලැබුණි. මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ මේ වනවිට පවතින ආර්ථික හා දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡාව සිදුවූ බව ජාතික ජනබලවේගය ආරංචි මාර්ග සඳහන් කරයි. ආණ්ඩුව ඉදිරිපත් කරන ප්‍රතිත්‍රස්ත පනත සහ මැතිවරණ කල් දැමීම යන ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්ත්වයන් පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට බඳුන් වී තිබේ. මෙම සාකච්ඡාව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්ද එක්ව ඇත.

පසුගිය බ්‍රහස්පතින්දා ජනපති සහ අගමැති සහභාගී වූ පක්ෂ නායකයන නියෝජිත හමුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණි. පළාත් සභා ඡන්දය පැවැත්වීමට නොහැකිව බොහෝ කාලයක් ගතවීම හේතුවෙන් මතුව ඇති ගැටලු සහ ඒවාට විසඳුම් සාකච්ඡා කිරීම මෙහි අරමුණ වූ බව කියැවේ. අග්‍රාමාත්‍යවරයාගේ පාර්ශවයෙන් ලැබෙන දේශපාලන ආරංචි අනුව කියැවෙන්නේ එහිදී දෙමළ ජාතික සන්ධානය දිගටම පළාත් සභා ඡන්දය කඩිනමින් පවත්වන ලෙස ඉල්ලා සිටි බවකි.

''පළාත් සභා පිහිටෙව්ව අරමුණ ඉටුවෙන්නේ නෑ. ඒ නිසා ඒ ඡන්දේ ඉක්මණට පවත්වන්න ඕනේ.''

දෙමළ ජාතික සන්ධානයෙන් සුමන්තිරන් මන්ත්‍රීවරයා සිය ඉල්ලීම් එලෙස ඉදිරිපත් කර තිබේ. එවිට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පිරිසගෙන් පැනයක් විමසා ඇත.

''හරි දැන් ඔය පළාත් සභා මැතිවරණය  තියන්න කියන්නේ, අලුතින් අපි හදපු මිශ්‍ර ඡන්ද ක්‍රමය යටතේද, නැත්නම් පරණ සමානුපාතික ක්‍රමය යටතේද?''

මෙහිදී සුමන්තිරන් මහතා පවසා ඇත්තේ කේවල ක්‍රමය සහ සමානුපාතික ක්‍රමය මිශ්‍ර මැතිවරණ ක්‍රමයකට සියලුදෙනා එකඟත්වය පළකළ බවයි. කෙසේ වෙතත් අනෙක් නියෝජිතයන් මෙය හා සම්බන්ධව විවෘත අදහස් දැක්වීමක් සිදුකර නොමැති බවද දැන ගැනීමට ලැබේ.

''හරි, මම අහන්නේ හැමෝම එකඟයිනේ ඒකට.''

එවිට සුමන්තිරන් මන්ත්‍රීවරයා ඊට එකඟතාව පළකර තිබේ.

''එදා පළාත් සභා සඳහා මිශ්‍ර ක්‍රමය ඇතුළත් නව ක්‍රමය පාර්ලිමේන්තුවට ගෙනාපු වෙලාවේ ටී.එන්.ඒ. මන්ත්‍රීවරුත් ඡන්දය දීලනේ  ඒක සම්මත කරගත්තේ.''

මෙම සංවාදය අතරේදී පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු මැතිවරණ ක්‍රමය පිළිබඳ අවසන් තීන්දුවක් ගැනීම සඳහා සාකච්ඡා පැවැත්වීමේ වගකීම, ජනපති අග්‍රාමාත්‍යවරයා වෙත පවරා තිබේ ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග පවසයි.

''මේ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ කතා කරලා තීරණයකට එමු, ඒක  අගමැතිතුමා කරයි.''

ජනපති එලෙස පවසද්දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන නැවත පිරිසගෙන් නැවත විමසා ඇත්තේ මිශ්‍ර ක්‍රමයට පළාත් සභා මැතිවරණය පවත්වනවාට සියලු සියලුදෙනාම එකඟද යන්නයි පිළිබඳවයි.

එහෙත් ඒ සඳහා නිසි පිළිතුරක් සභාවෙන් ලැබී නොමැත. ඒ අනුව පළාත් සභා ඡන්දය පවත්වනවිට මිශ්‍ර ඡන්ද ක්‍රමය පැවැත්විය යුතු ආකාරය සහ දැනට පාර්ලිමේන්තුවේ ඇතිව ඇති අවුල් සහගත තත්වයන් පිළිබඳව, ඉදිරියේදී පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයන් කැදවා අගමැති දිනේෂ් ගුණවර්ධන සාකච්ඡාවක් සිදුකරනු ඇතැයි මාර්ග සඳහන් කරයි.

මේ අතර පසුගිය සතියට යුධ ජයග්‍රහණය සැමරුමද යෙදී තිබුණි. ඒ අනුව පසුගිය බ්‍රහස්පතින්දා යුධ ගැටුම් අතරතුර මියගිය දමිළ පිරිස් සිහිපත් කරමින් සැමරුමක් පැවැත්වීමට යාම හේතුවෙන් බොරුල්ලේ දී පාර්ශව දෙකක් අතර නොසන්සුන්තාවක් හටගත්තේය. මෙම සැමරුම තුළදී මියගිය එල්.ටී.ටී.ඊ. සමාජිකයන් සිහිපත් කරන බවට වූ චෝදනාව හේතුවෙන් ගැටුම හටගත්තේය. මේ සඳහා ආරක්ෂක අංශවලටද මැදිහත් වීමට සිදු වූ අතර, බොරුල්ල උණුසුම් විය. කෙසේ වෙතත් අවසානයේ දෙපාර්ශවයම එම ස්ථානයෙන් ඉවත් කිරීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබුණි.

I චමිඳු නිසල් ද සිල්වා