2022 ඔක්තෝබර් 29 වන සෙනසුරාදා

අයවැයටත් ගේම් ගොඩක්

 2022 ඔක්තෝබර් 29 වන සෙනසුරාදා, ප.ව. 04:00 216

බොහෝ දෙනකු බලාපොරොත්තු වූයේ විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය උදම් රළක් වනු ඇති බවයි. නමුත් එම රළ එතරම් උස්ව නොනැගුණි. කෙසේ නමුත් දේශපාලන කුණාටුවේ සලකුණු මැකී නොගියේය. දේශපාලන සාගර පතුලේ බොහෝ දෑ සිදුවෙමින් පැවතුණි.

22ක සම්මතවූ සිකුරාදාවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රට නොදත් බොහෝ දෑ සිදුවූයේය. සංශෝධනයට පූර්වයේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තු පරිශ්‍රයේදී විශේෂ හමුවකට එක්විය. මෙහිදී පොහොට්ටුවේ පිරිස අතරින් විවිධ අදහස් ඉදිරිපත් වූ බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

''අපි මේ සංශෝධනයට ඡන්දය දෙන්නම ඕනෑ.'' යනුවෙන් දැඩි ස්ථාවරයක  සිට කරුණු පැහැදිලි කර ඇත්තේ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාය.

''මේ වෙලාවේ අපි සංශෝධනයක් නිසා පක්ෂයේ ඇතුළේ ගැටුම් ඇතිකර ගන්න ඕනේ නැහැ.'' මුලසිටම සියලු රුස්වීම්වලදී විසි දෙකට දැඩිව විරෝධය පෑ එස්.බී. දිසානායකගේ අවසාන පැහැදිලි තරමක් නම් නම්‍යශීලී වූ බවද ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම විශේෂ හමුවේදීම චමල් රාජපක්ෂ මහතා දැක්වූ අදහසක් කාගේත් අවධානයට යොමු වූ බව කියැවෙයි. දේශපාලන ආරංචි අනුව ඔහු පළ කර ඇත්තේ මෙවන් අදහසකි.

''කවුරු හරි මේකට ඡන්දය දෙන්නෙ නැත්තං ඒකට හේතුව ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ කාරණාවනෙ. ඒක ගණන් ගන්න එපා. ඒක පවුලෙ ප්‍රශ්නයක්නෙ. මම ඒක බලා ගන්නම්...'' දේශපාලන ආරංචි මාර්ග අනුව එම මැදිහත් වීම තීරණාත්මක වී ඇතැයි කියැවේ.

මේ අතර පොහොට්ටුවේ  ඇතැමුන් විදේශගත වී සිටියේ සියල්ලෙන්ම ගැලවීමේ අපේක්ෂාවෙනි. තවත් පිරිසක් අවසාන මොහොතේ අසනීප බව පවසා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි. කෙසේවෙතත් සෘජුව ජන්දය නොදෙන බව නම් කී කිහිප දෙනෙකි.

පොහොට්ටුවේ ප්‍රධන ලේකම් සාගර කාරියවසම්, ජයන්ත කැටගොඩ, සංජීව එදිරිමාන්න මේ අතර ප්‍රධාන වූහ. මේ පිරිස අතරේ ආරම්භයේදී නාමල් රාජපක්ෂද සිටියේය. එහෙත් ඔහු අවසාන තීරණය කුමක්ද යන්න අපැහැදිලි විය. ඔහු සිටියේ තීරණයක් ගැනීම පිළිබඳ ගැටලුවකය.

''අපි මේකට ඡන්දෙ දෙන්නෙ නෑ. ඔබතුමාට යම්කිසි අවාසියක් තියෙනවා නම්, ඔබතුමාට කැමති තීරණයක් ගන්න.'' කාරියවසම්, කැටගොඩ, එදිරිමාන්න ඇතුළු කණ්ඩායමෙන් ''අවසාන තීරණය'' පිළිබඳ නාමල් රාජපක්ෂ ප්‍රශ්න කළ විට ඊට ලැබී ඇත්තේ ඉහත පිළිතුර බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් අවසානයේ නාමල් රාජපක්ෂ 22ට පක්ෂ වීමට තීරණය කර තිබුණි. ඒ සඳහා චමල් රාජපක්ෂ මතවාදය යම් හේතුවක් වූ බව දේශපාලන කරළියේ කියවේ.

මේ අතර විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විපක්ෂ වන බව ජනාධිපතිවරයාට කෙටි පණිවිඩයක් තබා දැන්වීමට පොහොට්ටුවෙන් සංජීව එදිරිමාන්න මන්ත්‍රීවරයා කටයුතු කර ඇති බවද කියැවේ. කෙසේ වෙතත් පසුව ජනපති ඔහුව ඇමතූ බවද තිරයේ පිටුපස අසන්නට ලැබේ.

ඡන්ද විමසීමට නොපැමිණි මන්ත්‍රීවරු හතළිස් හතර දෙනා අතරින් 26 දෙනකු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුය. ඒ අතරින් අට දෙනෙක් එදින පාර්ලිමේන්තු පැමිණ සිටියද ඡන්දය භාවිතා කිරීම සඳහා සභාවට නොපිවිසියහ. ජන්දය භාවිත නොකළ පිරිස් අතරට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද ඇතුළත් වීම සුවිශේෂී විය. මෙදින පාර්ලිමේන්තුවේ සිදු වූ වචන හුවමාරු මත ගැටුම් අතරේ, සාගර කාරියවසම් සහ මහින්දානන්ද අලුත්ගමගේ අතර පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිදු වූ වචන හුවමාරුවක් පිළිබඳවද කතාවක් පැතිර ගියේය.

සියලු දේශපාලන විපර්යාසයන් අතරේ විදේශ සංචාරයක නිරත වී සිටි ආණ්ඩු පක්ෂ සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉකුත් සතියේ අපූරු දේශපාලන ජවනිකාවක් රඟ දැක්වූයේය. ඔහු ආරම්භයේදීම විදේශගත වී, පසුව කියා සිටියේ තමා විදේශ ගතවූයේ ජනපතිගේ අවසරය සහිතව බවයි.

මේ අතර ප්‍රසන්න රණතුංග,  ඔහුගේ හිතවතුන් පිරිසක් මාර්ගයෙන් මිනුවන්ගොඩ දේශපාලන බල මණ්ඩලයේදී රහස් ඡන්දක් පැවැත්වීමට කටයුතු කොට තිබුණි. ප්‍රසන්න රණතුංගගේ ඉදිරි දේශපාලන තීන්දුව පිළිබඳ සිය ආධාරකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම මෙහි අරමුණ වූයේය.

''ප්‍රසන්න රණතුංග අභියෝග බාර භාරගත් නායකයා සමග ඉදිරියට යා යුතු ද ?''

''තවදුරටත් පොහොට්ටුවේ දේශපාලනය කළ යුතු ද ?''

දේශපාලන ආරංචි මාර්ග පවසන පරිදි මිනුවන්ගොඩ බල මණ්ඩලය වෙත ලැබී තිබුණු මෙම ප්‍රශ්න ද්විත්වය එයයි. පිරිස එක් ඡන්ද රහසින් සලකුණු කොට ඡන්දය දමා තිබුණි.

''ප්‍රසන්න යූ.එන්.පී. යන්න බලාගෙන තමයි ඔය වැඩේ කරන්නේ.''

ඒ මොහොත වනවිටත් දේශපාලන කරලියේ පැතිරෙමින් තිබූ ආරංචිය එයයි. මේ සමඟම විදේශ ගතවී සිටි ප්‍රසන්න රණතුංග ඇමතීමට පොහොට්ටුවේ ප්‍රධානීන් සහ ආණ්ඩුවේ ප්‍රධානීන් කිහිප දෙනකුම කටයුතු කොට ඇති බව කියැවේ.
''මොකක්ද මේ වෙන්නේ...'' සියලු දෙනාගේම පොදු ප්‍රශ්නය වී ඇත්තේ එයයි.

''මම ලංකාවට ආපු ගමන් විශේෂ ප්‍රකාශයක් කරන්නං ඒ ගැන.''

ප්‍රසන්න රණතුංග මේ ආදී දේ ප්‍රකාශ සිදුකරමින් ඇඟ බේරා ගැනීමට සමත් වී ඇතැයි කියැවෙයි. කෙසේ වෙතත් ප්‍රසන්න එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වීමට යන බවට වූ කථිකාව එන්න එන්නටම බරපතළ විය. ඔහු පෞද්ගලිකවම ගොස් ජනාධිපති මුණගැසුණු බවටද ආරංචි ලැබුණි.

අවසානයේදී ලංකාවට පැමිණි පසු සැබෑවටම ප්‍රසන්න රණතුංග විශේෂ ප්‍රකාශයක් සිදු කළේය. මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළ කිරීම ‘අලියාගේ පිටේ’ නැගීමක් නොවන බවත් එලෙස සහය පළ කිරීම පොහොට්ටුව හැරයාමක් නොවන බවත් අමාත්‍යවරයා කීය.

මේ අතර සුවිශේෂී වූ සිදුවීම වූයේ එක්සත් ජාතික පක්ෂයට එක්වීමට සූදානමින් සිටින බවට මත පළවූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉකුත් බ්‍රහස්පතින්දා  පෙරවරුවේ පුත්තලමේ පැවැත්වූ පොහොට්ටුවේ යළි නැගිටිමු රුළියට එක්ව සිටීම විශේෂයකි. බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකාවට පැමිණෙන බවත් ඔහුගේ ද්විත්ව පුරවැසිභාවය ඉවත්කරගන්නා බවට තමන්ට තොරතුරු වාර්තා වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය සතියේ පැවසීය.

''මම කියනව ප්‍රජාතන්තවාදී සාමකාමී ක්‍රමවේදය තුළ මුහුණට මුහුණ තරගයකට ඔබ එන්න. පුළුවන් නම් කොළඹ දිස්ත්‍රික්කයෙන් එන්න. කොළඹ දිස්ත්‍රික්කෙ නෙවෙයි දිස්ත්‍රික්ක 26 යේම ජනතාව බලාගෙන ඉන්නවා හොඳ පාඩමක් උගන්නන්න.'' ඔහු කීය.

මේ අතර පොදුජන පෙරමුණ ආරංචිමාර්ග සඳහන් කළේ බැසිල් රාජපක්ෂ මහතා කඩිනමින්ම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි. එළඹෙන ජනවාරියේ දී පමණ ඔහු පැමිණීමට නියමිතව තිබුණද නව සංශෝධනය සම්මත වීමත් සමඟ දෙසැම්බරයේදී ඔහු ලංකාවට පැමිණෙන බව කියවේ. ඒ අනුව නැවත පක්ෂයේ ප්‍රතිසන්ධාන කටයුතු බැසිල් රාජපක්ෂ විසින් භාර ගනු ඇත.

පසුගිය සතියේ බ්‍රහස්පතින්දා  කාතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා‍ව රුස්විය. මෙහිදී කතාබහ ඇතිවූයේ අය-වැය පිළිබඳවයි. ඒ අනුව නොවැම්බර් 14 වැනිදා අය-වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත්, දෙසැම්බර් 8 අය-වැය අවසන් ඡන්ද විමසීම පැවැත්වීමටත් තීරණය තිබුණි.

අය-වැය කතිකාව නිර්මාණය වීමත් සමගම අය-වැය සම්බන්ධව අනුගමනය කරනු ලබන පක්ෂ ප්‍රතිපත්ති පිළිබඳ සංවාදයක් ඇතිව තිබුණි.

''අයවැය බලලා කරන්න ඕන දේ තීරණය කරමු.''

දේශපාලන ආරංචි මාර්ග අනුව සමගි ජනබලවේගය  අය-වැය සම්බන්ධයෙන් සිටින්නේ එවන් ස්ථාවරයකය. 

කෙසේ වෙතත් කැබිනට් ඇමැතිධුර ලබාදීම තවදුරටත් පමා වුවහොත් පොහොට්ටුවේ ප්‍රබල චරිත කිහිපයක් අයවැයේදී බරපතළ තීරණයක් ගැනීමට ඉඩ ඇතැයි දේශපාලන කරළියේ කියැවේ.

''සංශෝධනය ඉවරයි. දැන් අය-වැයට කලින්, අමාත්‍ය ධුර ලබාදෙන්න.''

දේශපාලන ආරංචි අනුව පොහොට්ටුව පාර්ශ්වයෙන් මෙම ඉල්ලීම නිරන්තරයෙන්ම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් වෙමින් තිබේ.

''ඇමතිකම් පරක්කු වුණොත් අය-වැයටත් ප්‍රශ්නයක් වෙයි.''

මේ අදහස තර්ජනාත්මක ස්වරයෙන් මේ වනවිට ආණ්ඩුව අභ්‍යන්තරයේ නිර්මාණය වෙමින් ඇතැයි පොහොට්ටුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

අය-වැය පරාජය කොට ආණ්ඩුව ගෙදර යැවීමේ හැකියාව පිළිබඳ පසුගියදා ඩලස් පාර්ශ්වය පළමුවරට ප්‍රසිද්ධියේ කතා කළේය.

''අයවැය දෙවරක් පරාජය වුණොත් එහෙම ආණ්ඩුව බිඳ වැටෙනවා. ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හරින්න වෙනවා. ඒ කියන්නේ දෙසැම්බර් මාසයේ 8 වැනිදාට පාර්ලිමේන්තුව විසිරුවීම සඳහා බල කරන අවස්ථාවකට එළඹෙන්න පුළුවන්.''
ඒ කතාව කීවේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමනය. ඔහු සිදුකළේ ආණ්ඩුවට අනතුරු හැඟවීමකි. අයවැයෙන් සමාජ සාධාරණත්වය ඉටු නොවුණහොත් විපක්ෂයේ සියලු බලවේග එක්වන බව ඔහු පැවසීය.

මේ අතරේ මැතිවරණ කල් දැමීමට එරෙහිව විපක්ෂ නිර්මාණය කරගත් එකමුතුවද පසුගිය සතියේ තවත් අලුත් තීරණයක් ගැනීමට සූදානම් වන බවට ආරංචි ලැබුණි.

''ආණ්ඩුව මේ තේරීම් කාරක සභාව පත් කිරීමට කටයුතු කරන්නේ පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ අරමුණින්. අපි හැමෝම තේරීම් කාරක සභාව වර්ජනය කරන්න ඕනෑ.''

මෙම අදහස දැනටමත් විපක්ෂය නියෝජනය කරන පක්ෂවල ඉහළ පෙළේ නායකයන් වෙත ඉදිරිපත් වී ඇතැයි දැනගන්නට ලැබේ. මේ සඳහා යහපත් ප්‍රතිචාර ලැබෙමින් ඇතැයිද කියැවේ. ඒ අනුව  විපක්ෂ කණ්ඩායම් කිහිපයක් හෝ තේරීම් කාරක සභාව වර්ජනය කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි.

සියලු අර්බුද ගැටුම් අතරේ රංජන් රාමනායකහට නැවතත් පුවත් මවන්නෙක් වීමට හැකිවිය. එය මේ දිනවල තිරගතවන තම චිත්‍රපටයක දර්ශනයක් පැවැත්වීම වෙනුවෙන් රාමනායක මහතා ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්වීමට දැරූ උත්සාහය හේතුවෙන් ඇතිවූ ගැටලුවකි. ඉකුත් සතියේ දිනක රාත්‍රී 08.15ට කටාර් ගුවන් ගුවන් සේවයේ කිව්.ආර්.- 655 දරන ගුවන් යානයට පිවිසීම සඳහා ඔහු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය. කටුනායක සිට කටාර් රාජ්‍යය වෙත ගොස් එතැන් සිට ඇමෙරිකාව බලා පියාසර කිරීම රාමනායක මහතාගේ සැලසුම විය.

එහෙත් නඩු දෙකකටම අදාළව ඔහුගේ ගුවන් ගමන් තහනම් කිරීම් පිළිබඳ තොරතුරු කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය තුළද ඇතුළත් වී තිබුණි. ඒ අනුව අවසානයේ රන්ජන් රාමනායක මහතා ආපසු හරවා යැවීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීහු පියවර ගත්හ. මේ අනුව ඇමෙරිකාව කැනඩාව සහ තවත් රටවල් කිහිපයකම සංචාරයක නිරතවීමට ඔහු දැරූ උත්සාහය ව්‍යර්ථ විය.

මේ අතර තවත් සුවිශේෂී සිදුවීමක් පිළිබඳ තොරතුරු අසන්නට ලැබුණේ ජනාධිපති ආර්යා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය පිළිබඳවයි. එය මුහුණු පොතේ පළවූ සටහනකි. ඉකුත්දා ඇය යාපනය සරසවියේ සම්මන්ත්‍රණයට සහභාගී වීමට ගියාය. එම සටහනේ වූයේ ඒ පිළිබඳ තොරතුරකි. මේ ගමනට ඇය සහභාගී වන බව දත් සියලුදෙනාම පළමුව විශ්වාස කර තිබුණේ ජනාධිපති ආර්යාව ගුවන් මගින් යාපනය බලා යනු ඇති බවයි. මෙතෙක් සාමාන්‍යයෙන් ජනාධිපති ආර්යාවන් දුර ගමන් ගියේ එලෙසිනි. එහෙත් මෙදින එය එලෙස සිදුනොවූ අතර පාන්දර පහට පමණ ඇය කිසිදු පරිවාර ආරක්ෂාවක් නොමැතිව දුම්රිය ස්ථානයට පැමිණියාය.

කිසිදු කලබලයකින් තොරව සාමාන්‍ය මගියකු මෙන් ඇය දුම්රියට ගොඩ වී ඇත. ඒ අනුව මෙම ගමන සඳහා එක්වී සිටි සෙසු පිරිස් සමඟ ඇය දුම්රියෙන් ගමන පිටත් වී තිබුණි. ජනාධිපති ආර්යා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ මෙම නිරහංකාර හැසිරීම සහ ඇය මවාගත් ප්‍රභූත්වයන් තොරව කටයුතු කිරීම සමාජ මාධ්‍යයේ බොහෝ පැසසුම්වලට ලක්විය.

පසුගියදාක සමගි ජනබලවේගය තම පැරුණි සගයකු නැවත දේශපාලන කරළියට රුගෙන ඒමට උත්සාහ දරන බවටද ආරංචියක් ලැබුණි. මෙලෙස නැවත සමගි ජනබලවේගයෙන් දේශපාලනයට පැමිණීමට සූදානම් වන්නේ සුජීව සේනසිංහ බව කියැවේ. පසුගියදාක ඔහුගේ කොළඹ නිවෙසට ගිය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආරාධනාව ඉදිරිපත් කර ඇතැයි  ආරංචි මාර්ග පවසයි.

''සුජීව දේශපාලනයට එන්න දැන් කාලේ හරි...''

''මට නිකං එන්න බෑ. මොනවා හරි විශේෂ වගකීමක් එක්ක තමා එනවා නම් එන්න වෙන්නෙ.''

යම් තනතුරක් පිළිබඳ අපේක්ෂාවක් ඔහු තුළ වූ බව පැය හතරක පමණ පැවැති මෙම සාකච්ඡාවේදී පැහැදිලි වී තිබූ බව ආරංචි මාර්ග පවසයි. මේ වනවිටත් සමගි ජන බලවේගය ප්‍රධාන තනතුරු ලබාදී අවසන් බැවින්  නව තනතුරක් නිර්මාණය කර හෝ සුජීව සේනසිංහ නැවත දේශපාලනයට රුගෙන ඒමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කරනු ඇතැයි කියවේ.

විසි දෙවැනි සංශෝධනය සම්මත වීමෙන් පසු පාර්ලිමේන්තුවේ සිටින ද්විත්ව පුරවැසියන් කවුද යන්න සොයාගන්නා ආකාරය පිළිබඳව දේශපාලන කරළියේ නිර්මාණය වී තිබුණේ අර්බුදයකි. මේ අතර එක්තරා විශේෂ චරිතයක් ඉලක්ක ගත විය. මෙම චෝදනාව ඉදිරිපත් කළේ සමගි ජනබලවේගයයි.

''එදා ගීතා නෝනට වෙච්ච ඉරණම ඩයනාගෙ ඉඳලා ද්විත්ව පුරවැසිභාවය හංගගෙන ඉන්න මන්ත්‍රී කට්ටියට අත්වෙයි.''

ඩයනා ගමගේගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ප්‍රකාශය සිදුකළේ හේෂා විතානගේය. තලතා අතුකෝරළ ඇතුළු තවත් සමගි ජන බලවේගයේ පිරිස් එම චෝදනාවම නැගූහ. කෙසේ වෙතත් ඩයනා ගමගේ මෙම චෝදනාව ප්‍රතික්ෂේප කළාය.
''මම ද්විත්ව පුරවැසියෙක් නෙවෙයි පුළුවන් නම් ඔප්පු කරන්න.''

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසියකුව සිටිමින් ආගමන විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ගුවන් ගමන් බලපත්‍ර දෙකක් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධ සිදුවීමද කරළියට පැමිණියේය.
මෙම පැමිණිල්ලට අදාළ  විමර්ශනයේ ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා ලබන 10 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට දන්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බ්‍රහස්පතින්දා නියෝග කළේය.

I චමිඳු නිසල් ද සිල්වා