2022 ඔක්තෝබර් 23 වන ඉරිදා

රනිල්- ගෝඨා විශේෂ හමුවක්

 2022 ඔක්තෝබර් 23 වන ඉරිදා, පෙ.ව. 08:00 271

ආණ්ඩුවේ අභ්‍යන්තර බල අරගලයේ තීරණාත්මක සන්ධිස්ථානයක් සලකුණු කළ සතියක් ගෙවී ගියේය. පක්ෂ විපක්ෂ කාගේත් අවධානය යොමු වී තිබුණේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වෙතයි. පාර්ලිමේන්තුව උණුසුම් මුහුණුවරක් ගත් අතර තිරය පිටුපස කල්ලි ගැසීම්, නව සන්ධාන පිළිබඳ කතිකා බොහෝ විය.

පසුගිය ඉරිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට ඔහුගේ නිල නිවෙස වෙත පැමිණියේය. මෙම ගමනේ අරමුණ වූයේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා පොහොට්ටුව පාර්ශ්වයේ සහයෝගය ලබාගැනීමට ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිගේ යම් මැදිහත්වීමක් ලබාගැනීමයි.

“22 වැනි සංශෝධනය සම්මත කර ගන්න පොහොට්ටුවේ පිරිස්වල සහයෝගය අරගෙන දෙන්න."

දේශපාලන ආරංචි අනුව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් සිදුකර ඇත්තේ මෙවන් ඉල්ලීමක් විය යුතුය.

කෙසේ වෙතත් හුදෙක්  22 වැනි සංශෝධනය පිළිබඳ කතාවකට මෙම සාකච්ඡාව සීමා නොවූ බව කියැවේ. ආණ්ඩුවේ ඉදිරි තීරණ සහ වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් දෙදෙනා සාකච්ඡා කර තිබේ.

විශේෂයෙන්ම ආරක්ෂක ප්‍රධානීන්ගේ විශ්‍රාම යාම් සහ නව පත්කිරීම් පිළිබඳව ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කළ බව ආරංචි මාර්ග තහවුරු කළේය.

මේ අතර තවත් එක් නොනිල ආරංචියකට අනුව කියැවුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සමඟ ද ඉකුත් සතියේ සාකච්ඡාවක් පැවැත්වූ බවයි. එහිදීද ආණ්ඩුවේ ඉදිරි කටයුතු සහ මැතිවරණ සූදානම පිළිබඳව සංවාදයක් ඇතිවූ බව කියැවේ. සංශෝධන ක්‍රියාවලිය පිළිබඳ මෙහිදී ද යම් අවධානයක් යොමුව ඇති බව දැනගන්නට ලැබේ.

මේ අතර තීරණාත්මක සතියේ දී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට ද ජනපති අමතක නොකළේය. පාර්ලිමේන්තු පරිශ්‍රයේදී දෙදෙනා හමුවී ඇති බව කියැවේ. සතියේ අවස්ථා කිහිපයකදීම විවිධ සාකච්ඡාවලදී එකිනෙකා හමු වූ මෙම දෙපළ සතියේ තීරණාත්මක දේශපාලන තීන්දුව පිළිබඳ සාකච්ඡා කර ඇතැයි ආරංචි මාර්ග අනාවරණය කරයි. 

ඉකුත් සතියේ ආරම්භයේ සිටම 22 වැනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය සඳහා පොහොට්ටුවේ සහයෝගය ලබාගැනීම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ප්‍රමුඛ අපේක්ෂාව වී තිබුණි. ඒ අනුව පසුගිය සතිය තුළ අවස්ථා දෙකකදීම පොහොට්ටුවේ පාර්ලිමේන්තු කණ්ඩායම සමඟ ජනපති සාකච්ඡා කළේය. 

ජනපති සහ පොහොට්ටුවේ පිරිස හමුවූ පළමු අවස්ථාවේ සිදු වූ දෑ පිළිබඳ ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ අප වෙත තොරතුරු ගලා ආවේය.

“මේ සංශෝධනයට පොහොට්ටුව පක්ෂ වෙනවා නම් හොඳයි. හැමෝම එකතුවෙලා පොදු තීරණයකට එන එක තමා හොඳ." 

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පොහොට්ටුවේ පිරිස් කැඳවා ජනපති එලෙස යෝජනා කර තිබේ. මෙම සංශෝධනයේ අවශ්‍යතාවය පැහැදිලි කරමින් ජනපති පිරිස අමතා තිබිණි. කෙසේ වෙතත් පොහොට්ටුවේ පිරිස් මීට එතරම් අනුකූලතාවයක් දක්වා නොමැත.

මෙහිදී ජනපතිගේ සහායට පෙරට පැමිණියේ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සහ විදේශ අමාත්‍ය අලි සබ්‍රි යන යන ආණ්ඩුවේ ප්‍රධානීන්ය.

“ජාත්‍යන්තර වශයෙන් අපිට ඉල්ලීම් තියෙනවා මේ සංශෝධනය ගෙනල්ලා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න කියලා. ඒ අනුව තමයි අපි මේ ව්‍යවස්ථා සංශෝධනය ගේන්නෙ. ඒ නිසා කවුරුත් එකතුවෙලා මේකට සහයෝගය ලබා දෙන එක හොඳයි."
ඇමැති විජයදාස සහ අලි සබ්‍රි මෙසේ කියන විට පොහොට්ටුවේ පිරිස් පෙරළා ප්‍රශ්න කළහ.

“දැන් ජාත්‍යන්තරයේ කවුද ඔහොම කියන්නේ?" 

පොහොට්ටුවෙන් එලෙස ප්‍රශ්න කරන විට එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තු පැමිණි වජිර අබේවර්ධන මහතා ද සාකච්ඡාවට සම්බන්ධ වී තිබිණි.

“දැන් මේ සංශෝධනය ගේන්න කියලා මානව හිමිකම් කොමිසමත් කියනවද?”

ඊට පිළිතුරු දුන්නේ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂයි.

“ඔව් ඒ අයත් කියනවා." 

එවර පොහොට්ටුවේ පිරිසේ මතයට හානි නොකරමින් වජිර අබේවර්ධන මෙසේ කියා තිබිණි. 

“මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශ විස්සක් දීලා තියෙනවා. හැබැයි ඒ එකකවත් මේ වගේ යෝජනාවක් නෑ. මම ඒ ඔක්කොම කියෙව්වා." 

මේ කරුණ පිළිබඳ වාද විවාද ඇතිවන්නට වූ අතරතුර අලි සබ්‍රි අමාත්‍යවරයා කියා සිටියේ "මේක අයි.එම්.එෆ් එකේ යෝජනාවක්" බවයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ යෝජනාවකට අනුව 22 වැනි සංශෝධනය ඉදිරිපත් වන බවට වූ අදහසට ද පොහොට්ටුවේ පිරිස් එකඟ වූ බවක් නොපෙනිණි. 

පොහොට්ටුවේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් සහ සරත් වීරසේකර ජනපති ඇතුළු පිරිසෙන් පෙරළා ප්‍රශ්න කරන්නට වූහ.

“කලින් ව්‍යවස්ථා සංශෝධනයේදී ජනාධිපති බලතල අඩුකිරීමට විරුද්ධව මම පෙනී හිටියා. ඡන්දෙ දුන්නෙත් නෑ. ඒ නිසාම මේකට ඡන්දෙ දෙන්නෙත් නෑ."
එලෙස කියා ඇත්තේ සරත් වීරසේකර ය. 

මෙහිදී සාගර කාරියවසම් ප්‍රශ්න කර සිටියේ "අයි.එම්.එෆ් එක කියන විදිහට කළාම ඔය ඔක්කොම ප්‍රශ්න විසඳෙයිද? මේ කෑල්ලෙන් කෑල්ල සංශෝධනය කරනවට වඩා අපි අලුත් ව්‍යවස්ථාවක් ගේමු." යනුවෙනි.

පසුගිය සමයේ දී ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම පිළිබඳ කමිටුවේ වාර්තාව සැලකිල්ලට ගත යුතු බව සාගර කාරියවසම් පවසා තිබිණි. එම වාර්තාව රැගෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කොට නව ව්‍යවස්ථාව සකස් කරගත යුතු යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය ලබා දීම ප්‍රතික්ෂේප කරමිනි.

“අපි තේරීම් කාරක සභාවක් පත් කරමු. එහෙම නැතිව එක් එක්කෙනා ඉලක්ක කරගෙන සංශෝධන ගෙනල්ලා මේ වැඩේ කරන්න බෑ."

සාගර කාරියවසම් ඇතුළු පොහොට්ටුවේ පිරිස් මෙලෙස විරෝධය ගෙනහැර පාන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිරිසට කරුණු පහදා දීමට උත්සාහ කළේය.

“මේක පටන් ගත්තෙ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා. අපි කළේ මේක ඉස්සරහට අරගෙන ගිය එක."

ජනපති මෙලෙස කරුණු පහදන අතරතුර අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසා තිබුණේ දැනටමත් මෙම සංශෝධනය සම්මත කර ගැනීමට පක්ෂ නායකයන් සහයෝගය ලබා දී ඇති බවකි.

“කවුද ඒ පක්ෂ නායකයෝ.. මොකක්ද පක්ෂ නායකයෝ තෝරාගන්න නිර්ණායකය.. ගෙවිඳුල වගේ අයත් පක්ෂ නායකයෝද?”

සුපුරුදු ලෙසම සාගර කාරියවසම් මෙහිදී විජයදාස රාජපක්ෂගෙන් විමසා තිබිණි.

“එක එක්කෙනා කිව්වට බැහැ. අපි පක්ෂයක් විදියට පොදුවේ තමයි තීරණ ක්‍රියාත්මක කරන්නෙ." 

කාරියවසම් මහතා සංශෝධන ක්‍රියාවලිය සඳහා කිසිදු අනුකූලතාවක් නොදක්වන බව කැපී පෙනුණි. මෙම සියලු සංවාද දෙස බලා සිටියද පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුනිවත රැකීම විශේෂිත කරුණක් බව ආරංචි මාර්ග සඳහන් කරයි. 

මේ අතරේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් එකොළොස් දෙනකු විදේශගත වී ඇති බැවින් එම පිරිස සිකුරාදා ඡන්ද විමසීමට නොපැමිණෙන බව දැනගත් පොහොට්ටුවේ මැති ඇමැතිවරුන් එකිනෙකාට කොඳුරමින් සිය තීරණ පිළිබඳ රහසේ සාකච්ඡා කළ බව කියැවේ.

මේ අතර පොහොට්ටුව සහ ජනපති අතර පැවති සාකච්ඡාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 'අපි සමගි ජන බලවේගයේ සහාය අපේක්ෂා කරනවා, මේ සංශෝධනය සම්මත කර ගන්න.' යනුවෙන්ද පවසා තිබිණි.

එහිදී පොහොට්ටුව වෙනුවෙන් පෙරට පැමිණි ජයන්ත කැටගොඩ කියා ඇත්තේ 'ඔබතුමාගේ පරණ පක්ෂයනෙ, ඔබතුමා ඒ අයට හරියට උගන්නලා නෑ ඒ ගැන.' යනුවෙනි.

මේ අතර පොහොට්ටුවේ පිරිස නැවතත් ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කර සිටියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය පිළිබඳවයි.

'දැන් මේ සංශෝධනය සම්මත වුණාට පස්සේ, මාර්තු වගේ වෙනකොට ඔබතුමාට බලය හම්බවෙනවා පාර්ලිමේන්තුව විසුරුවා හරින්න. ඔබතුමා පාර්ලිමේන්තුව විසුරුවා හරිනවාද?' එය ජනපති වෙත එල්ල වූ ඍජු පැනයකි.

'නෑ, මං ඒ වගේ වැඩ කරන්නේ නෑ. ඔයගොල්ලෝ එක්ක නියමිත කාලයට පාර්ලිමේන්තුව අරගෙන යන්න තමයි මගේ බලාපොරොත්තුව.' ජනපතිගෙන් ලැබුණේ පොරොන්දුවකි. එහෙත් විවිධ කතා, මත ගැටුම් අතරේ විසඳුමකින් තොරව මෙම සාකච්ඡාව අවසන් වී තිබිණි.

මේ අතර පුංචි ඡන්දය කල් දැමීම පිළිබඳ කතිකාවේ දිගුවක්ද ගෙවුණු සතියේ දැක බලාගත හැකි විය. නිදහසේ ජාතික සභාව විසින් ඉහත සතියක දී විපක්ෂයේ සියලු පාර්ශ්ව මැතිවරණය කල් දැමීමට එරෙහිව පෙළගැස්වීය. ඒ අනුව පාර්ලිමේන්තුවේ කමිටු අංක 7 ශාලාවේ රුස්වූ විපක්ෂයේ ක්‍රියාකාරීහු පසුගිය බ්‍රහස්පතින්දා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබූහ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු විපක්ෂය නියෝජන කරන බොහෝ පක්ෂ නායකයෝ මේ සඳහා එක්වූහ. දේශපාලන ආරංචි අනුව පළමුව පැමිණි පිරිස පිළිගත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතාය.

'සාමූහික ප්‍රයත්නයකින් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය රුකගැනීම සඳහා අපි කළ යුතු ව්‍යායාමය, අනාගත සැලැස්ම එලාගැනීම සඳහා සියලු දෙනා පිළිගන්නවා.' යනුවෙන් පැවසූ වාසු, මෙය සාම්ප්‍රදායික පිළිගැනීමක් නොවන බවත් ඓතිහාසික මොහොතක් බවත් පැවසීය.

අනතුරුව අවබෝධතා ගිවිසුම එළිදැක්වූයේ ශ්‍රීලනිප සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය. ඉංග්‍රීසි භාෂාවෙන් ගිවිසුම එළිදැක්වීම විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට භාර විය. දමිළ බසින් ගිවිසුම ඉදිරිපත් කරනු ලැබුවේ දෙමළ ජාතික සන්ධානයේ එම්.ඒ. සුමන්තිරන් මහතා විසිනි.

ගිවිසුම අස්සන් තැබීමට පිරිසට ආරාධනා කළේ ඩිලාන් පෙරේරාය. ඔහු මෙහි සංවිධාන කටයුතු කරට ගෙන සිටි බව ආරංචි මාර්ග සඳහන් කළේය. සියලු දෙනා මෙම ගිවිසුමට අත්සන් තැබූ අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුවද මේ අවස්ථාවට සහභාගීවීම විශේෂිත සිදුවීමක් විය. පෙරටුගාමීන් පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පක්ෂයකි. ඒ අනුව විපක්ෂයේ කණ්ඩායම් විස්සක් අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූ බව කියැවේ.

මුලදී මෙම කණ්ඩායම් එකමුතුවට සම්බන්ධ නොවූ ජනතා විමුක්ති පෙරමුණ පසුව මෙම ප්‍රකාශයට අත්සන් තැබීමට සිය පූර්ණ එකඟතාවය දැනුම් දී තිබුණද අවසානයේ ඔවුහු මෙම කටයුතු මගහැරියහ. ඔවුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙදින පාර්ලිමේන්තු නොපැමිණීම හේතුවෙන් කටයුත්ත මගහැරුණු බව පසුව ඔවුන් පවසා තිබුණි.

කෙසේ වෙතත් ඩිලාන් පෙරේරා ජවිපයේ සහයෝගය පිළිබඳ මෙහිදී කියා තිබුණේ මෙවන් කතාවකි.

'ජනතා විමුක්ති පෙරමුණ නායකයා අනුර කුමාර දිසානායක මැතිතුමා මේ දැන් දුරකථනයෙන් දැනුම් දුන්නා, එතුමාලත් අනිවාර්යෙන්ම මේ ඒකාබද්ධ නිවේදනයට අත්සන් කරනවා. ඒ විතරක් නෙවෙයි මේ එකාබද්ධ වැඩපිළිවෙළ එක්ක ඉන්නවා.'
මේ අතර කොළඹ පදනම් ආයතනයේදී 'ඡන්දෙට බය මාමයි බෑණයි' යනුවෙන් සම්මන්ත්‍රණයක් ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළේය. මෙහිදී අනුර කුමාර දිසානායක මහතා විපක්ෂයේ එකමුතුව පිළිබඳවද කතා කළේය.

'දැන් අපිට කියනව. ඔයගොල්ලො තනියම යන්නේ. අනිත් අයත් එක්ක එකතු වෙන්නෙ නෑනෙ. බලන්නකෝ ඩලස් අලහප්පෙරුම කැඳෙව්වා. ලොකු සාකච්ඡාවක්, කෝ ඔයගොල්ලෝ නෑනේ. මේ පැත්තෙ සටන් කණ්ඩායමක් කැඳෙව්වා, ඒකෙත් ඔයගොල්ලෝ නෑනේ. ඔයගොල්ලෝ අධි තක්සේරුවකද ඉන්නෙ. තනියම ගමනක් යන්නද හදන්නෙ.'

තමන් වෙත මේ වනවිට එල්ල වී ඇති චෝදනා එලෙස හෙළිදරව් කරන්නට අනුර කුමාර දිසානායක විසින්ම කටයුතු කළේය. එහෙත් සමගි ජනබලවේගයටද ඔහු මෙහිදී චෝදනා එල්ල කළේය.

'රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තිය දිනවීම සඳහා සැලසුම් හදන සජබය අපිට කියනවා ඡන්දෙ ඉල්ලන්න බැරිද එකට කියල. එතකොට ඒගොල්ලන්ගේ ආර්ථික ප්‍රතිපත්ති අනුමත කරලා, ඡන්දෙ කල් දානවට විරුද්ධව අත්සන් කරන්න බැරිද අහනවා. අත්සන් නම් ගහන එක ඔහේ කමක් නෑ. ඡන්දෙ කල් දානවට විරුද්ධව අපි අත්සන් කරන්නම්. අපේ විරෝධයක් නෑ.'

ගෙවී ගිය සතියේ විශේෂිත වූ ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම් විභාගයක් පිළිබඳව ද කාගේත් අවධානය යොමු විය. අරගලකරුවන් ඉලක්ක කොටගෙන ආණ්ඩුව ඉදිරිපත් කළ පුනරුත්ථාපන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා මෙම පෙත්සම ගොනු කර තිබුණි. ඒ අනුව අවසානයේදී පෙත්සම් විභාගයෙන් ජයග්‍රහණය කිරීමට පෙත්සම්කාර පාර්ශ්වය සමත් විය.

මෙම පෙත්සම් විභාගය සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් කතා කළේ උද්දාමයෙනි.

'ප්‍රජාතන්ත්‍රවාදය මර්දනය කරලා විරෝධතාකරුවන්ව මර්දනය කිරීමේ අරමුණෙන් තමයි මේ පනත ගෙනාවේ. ඒ නිසා මේ පනතේ තියෙන භයංකාරකම සමගි ජන බලවේගය විදිහට අපි දැක්කා. මේ හරහා කරන්න යන ප්‍රචණ්ඩත්වය, මේ හරහා කරන්න යන මර්දනය, මිනිසුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, භාෂණයේ නිදහස, රැස්වීමේ නිදහස සම්පූර්ණයෙන් පාලනය කරන්න යන ආකාරය අපි දැක්කා.'

'ඒ අනුව අපි විශේෂයෙන්ම සමගි ජන බලවේගය නියෝජනය කරමින් මීට සුමාන තුනකට කලින් මම අධිකරණයට ගියා. අද එහි නඩු තීන්දුව ලැබුණා පාර්ලිමේන්තුවට. කතානායකතුමා කිව්වා ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය. ඒ අනුව අපි ශ්‍රේෂ්ඨාධිකරණයට හිස නමා ආචාර කරනවා, මේ රටේ ජනතාවගේ කතා කිරීමේ අයිතිය, භාෂණයේ අයිතිය, මත ප්‍රකාශ කිරීමේ අයිතිය, රැස්වීමේ නිදහස නැවත සුරක්ෂිතව ලබාදීම පිළිබඳව.'

මෙම පනතේ සමහර වගන්ති 2/3ක බහුතරයකින් සහ ජනමත විචාරණයකින් යන කරුණු දෙකින්ම අනුමත කරගත යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දන්වා තිබුණි.

මෙම සියලු කතන්දර අතරතුර සතියේ ප්‍රධාන මාතෘකාව වූ 22 වැනි සංශෝධනය පිළිබඳ තවත් සාකච්ඡාවක් ඉකුත් බදාදා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් කැඳවා තිබුණි. කෙසේ වෙතත් මේ සඳහා සහභාගි වූයේ පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන් පනස් දෙනකුට ආසන්න පිරිසකි.

සාගර කාරියවසම් වැනි පොහොට්ටුවේ ප්‍රධානීන් ඊට සහභාගි වූ නමුත් 22 වැනි සංශෝධනයට මූලිකත්වය ගත් විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා ඊට සහභාගි නොවීම කැපී පෙනුණි. මහින්ද රාජපක්ෂ මහතා මෙම අවස්ථාවට සහභාගි වූ නමුත් සුපුරුදු ලෙසම නිහඬ ප්‍රතිපත්තියක් ඔහු අනුගමනය කළේය.

මෙහිදී ජනපති නැවතත් 22 වැනි සංශෝධනයට සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින් කරුණු පැහැදිලි කළේය. මෙහිදී පොහොට්ටුව වෙනුවෙන් පෙරට ආවේ එස්.බී. දිසානායක මහතාය.

'විධායක ජනාධිපති බලය අඩු කරනවට මම මුල ඉඳලම විරුද්ධයි. හිටපු ජනාධිපතිවරුන් වන ජේ.ආර්. ජයවර්ධන මහතා, රණසිංහ ප්‍රේමදාස මහතා වගේම මහින්ද රාජපක්ෂ මහත්මයාත් රටේ ප්‍රශ්න විසඳන්න භාවිත කළේ විධායක ජනාධිපති බලය. ඒ බලය නැති වුණා නම් ඒ ප්‍රශ්නවලට මුහුණ දෙන්න ඒ නායකයන්ට අමාරුයි. විධායක ජනාධිපති ක්‍රමය නැතිව මේ රට යහපත් ලෙස පාලනය කරන්න බෑ කියන එකයි මගේ මතය.'

මේ ආදී වශයෙන් දීර්ඝ කරුණු පැහැදිලි කිරීමක් සිදු කළ එස්.බී. දිසානායක, ස්වාධීන කොමිෂන් සභාවලට පත් කරන පුද්ගලයන් සැබැවින්ම ස්වාධීන දැයි තවදුරටත් ප්‍රශ්න කළේය.

'මේ අය විවිධ න්‍යාය පත්‍රවලට වැඩ කරනවා. ස්වාධීන නෑ. අපිට පත් කරන්න පුළුවන්. පත් කළාට පස්සේ අස් කරන්නත් බෑ.'

සාකච්ඡාවේදී පොහොට්ටුවේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් අවධාරණය කළේ සිය පක්ෂය ප්‍රතිපත්තියක් ලෙස මෙම සංශෝධනයට විරුද්ධ වන බවයි.

'මම එදා කිව්ව දේ තමයි කියන්නේ. රොමේෂ් ද සිල්වා කමිටුවේ වාර්තාව පදනම් කරගෙන අලුත් ව්‍යවස්ථාවක් ගේන්න.'

එහෙත් මීට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ 'පොදු ප්‍රතිපත්තියක් විදියට මේ අවස්ථාවේ අපි මේකට එකඟවෙලා ක්‍රියා කරමු. එක තමයි හොඳම දේ...' යනුවෙනි.

මේ සමඟම පොහොට්ටුවේ මැති ඇමැතිවරු විවිධ අදහස් ප්‍රකාශ කරන්නට වූහ. ඒ අනුව ස්ථිර තීන්දුවකින් තොරව 22 වැනි සංශෝධනය පිළිබඳ බදාදා සාකච්ඡාවද නිමාවට පත් විය.

සමගි ජන බලවේගය කියා සිටියේ කොන්දේසි කිහිපයක් යටතේ සංශෝධනය සඳහා සහාය දැක්වීමට සිය පක්ෂ සූදානම් බවයි.

'ව්‍යවස්ථාදායක සභාවට සිවිල් සමාජයේ සාමාජිකයන් පත් කිරීමේදී අගමැති සහ විපක්ෂ නායකවරයා එකඟතාවයෙන් තෝරාගැනීම, ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීමේ තහංචිය එලෙසම පැවතීම සහ පාර්ලිමේන්තුව වසර දෙකහමාරකින් විසුරුවීමට ජනාධිපතිවරයා සතු බලය එලෙසම තබාගැනීම යන කරුණු තුන මත පිහිටා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහයෝගය ලබා දීම සූදානම්." විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
බ්‍රහස්පතින්දා සවස සංශෝධනය සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය ආරම්භ විය. පොහොට්ටුවේ විරෝධතාවය පිළිබඳ කතිකාව කෙසේ වෙතත් විවාදය ආරම්භයේදීම මහින්දානන්ද අලුත්ගමගේ මහතා කීවේ වෙනස්ම කතාවකි. ආණ්ඩුව විසින් ගෙන එන මෙවැනි ව්‍යවස්ථා සංශෝධන ආණ්ඩුව තුළ සිට පැරදීමට අවශ්‍ය නැතැයි ඔහු කීවේය. විපක්ෂයේ ලෙස සිදුවනු දැකීමට තමා බලා සිටින බව හෙතෙම අවධාරණය කළේය.

ඒ අතර සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඩලස් අලහප්පෙරුම පාර්ශ්වය, විමල් වීරවංශ පාර්ශ්වය සංශෝධනය සඳහා සහාය පළ කරනු ඇති බවට බ්‍රහස්පතින්දා සවස් වරුවේ තහවුරු කරගත හැකි විය. ජාතික ජන බලවේගයේ තීරණය අවසානය වන තුරුම තරමක් අපැහැදිලි විය.

කෙසේ වෙතත් දෙමළ සන්ධානය වෙනුවෙන් විවාදය ආරම්භයේදී අදහස් දැක්වූ මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා කියා සිටියේ විධායක ජනාධිපති බලය අවසන් කිරීමට මෙම පනත ආරම්භයක් යැයි කීම අසත්‍ය බවය. ජනතාව මෝඩයන් කිරීම සිදු නොකර ජනමත විචාරණයක් පවත්වා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳ තීරණය කළ යුතු බව ඔහු පැවසීය.

මේ අතර ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ කරුණ හේතුවෙන් දෙමළ සන්ධානයේ සහයෝගය වැටඋඩ බව දේශපාලන කරළියේ ආරංචි පැතිරෙමින් තිබුණි.

තීරණාත්මක සිකුරාදාවේ බොහෝ දෙනකු බලා සිටියේ විසි දෙවැනි සංශෝධනය පිළිබඳ පැවති පාර්ලිමේන්තු විවාදය දෙසයි. විසිදෙකට පක්ෂ වන්නේ කවුද? විපක්ෂ වන්නේ කවුද? අවසානය වනතුරුම හඳුනාගැනීම පහසු වූයේ නැත. ඇතැම් අයගේ පාර්ලිමේන්තු කතාවල අන්තර්ගයද තෝරා බේරා ගැනීම අපහසු විය.

අවසානයේ සිකුරාදා පස්වරුවේ ඡන්ද විමසීම ආරම්භ වූයේය. ලැබුණේ ඓතිහාසික තීන්දුවකි. 

විධායක බලතල කප්පාදු කොට ව්‍යවස්ථාදායකයට වැඩි බලයක් ලැබෙන විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනය වැඩි ඡන්ද 179කින් සම්මත විය. විපක්ෂයේ සහාය ඊට ලැබීම සුවිශේෂී කරුණක් වූ අතර ආණ්ඩුවේ කිහිපදෙනකුගේ විරෝධය ඵල නොදැරුවේය. විපක්ෂව ලැබුණේ සරත් වීරසේකර මන්ත්‍රීවරයාගේ ඡන්දය පමණි.

 

I චමිදු නිසල් ද සිල්වා