2022 සැප්තැම්බර් 11 වන ඉරිදා

රාජ්‍ය ඇමැති පත්වීමට පෙර බැසිල් - රනිල් හමුවක්

 2022 සැප්තැම්බර් 11 වන ඉරිදා, පෙ.ව. 08:00 244

  • මෛත්‍රීපාලයි දයාසිරියි අතර ගැටුම් ?
  • මහින්ද අමරවීරගෙන් අලුත් පක්ෂයක්
  • ගෙවිඳු පක්ෂ නායකයන්ට දුක කියයි
  • ජනපති රනිල් වාසුට දෙන්න යන දේ
  • රාජ්‍ය ඇමැති පත්වීම්වලට සජබෙහි විරෝධය
  • ජාතික සභාව නම් කරද්දී විරෝධතා ගණනක්
  • දිවුරැම් දුන් රාජ්‍ය ඇමැතිලා මහින්ද - ගෝඨාභය හමුවෙති
  • අලුත් පක්ෂ සහ සන්ධාන ගණනාවක් එයි

ගෙවී ගියේ ජනතාවගේ බලාපොරොත්තු කෙසේ වෙතත් කලක් තිස්සේ හැඬූ කඳුළින් සිටි දේශපාලනඥයන් පිරිසකගේ බලාපොරොත්තු ඉටුවූ සතියකි. රාජ්‍ය ඇමැතිවරු දිවුරුම් දුන්හ. පාර්ලිමේන්තුව උණුසුම් වූයේ මන්දපෝෂණය සම්බන්ධ විවාදයකිනි. සමහරුන්ට කට පැටලෙද්දී තවත් සමහරුන්ගේ හොට බිම ඇනී තිබුණි.

සතියේ ප්‍රධානතම දේශපාලන සිදුවීම වූයේ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ දිවුරුම් දීමයි. දිවුරුම් දීම පසුගිය සතිය තුළ සිදුවන බවට වූ ආරංචි නිසාවෙන්ම ආණ්ඩුවේ අභ්‍යන්තරයේ කලබලකාරී ස්වභාවයක් දක්නට ලැබුණි. කලක පටන් හිටපු රාජ්‍ය අමාත්‍යවරු තමන්ට තනතුරු ඕනෑ බවට ජනාධිපතිවරයාට ඇවිටිලි කරමින් සිටියහ. එහෙත් අමාත්‍ය ධුර පිරිනැමීමට යන බව ඇසූ සැණින් බොහෝ දෙනෙක් කලබල වූහ. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයන් වෙත කැබිනට් තනතුරු ප්‍රදානය කිරීම සම්බන්ධව සහ රාජ්‍ය අමාත්‍යවරුන් පත්කිරීම සම්බන්ධව පොහොට්ටුවේ යෝජනා දිවුරුම් දීම පමාවීමට හේතු වූ බව කියැවුණි.

පොහොට්ටුවේ ඇතැම් දිස්ත්‍රික් නායකයන් සම්බන්ධව ජනාධිපතිවරයාගේ එතරම් ප්‍රසාදයක් නොවීය. කෙසේ වෙතත් පොහොට්ටුවේ පුත්තලම් දිස්ත්‍රික් නායක සනත් නිශාන්ත මන්ත්‍රීවරයාට කැබිනට් අමාත්‍ය ධුරයක් වෙනුවට රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලබා දීමට ජනාධිපතිවරයා එකඟ විය. 

රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම බදාදා හෝ බ්‍රහස්පතින්දා සිදුවන බවට මන්ත්‍රීවරු දැන සිටියහ. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පැමිණෙන අවසන් දුරකථන ඇමතුම ඔවුහු බලාපොරොත්තුවෙන් සිටියහ. කෙසේ වෙතත් එම ඇමතුම තරමක් පමා විය. ඊට හේතු වූයේ රාජ්‍ය අමාත්‍ය ධුර පිරිනැමීම සම්බන්ධ අවසන් තීරණයකට එළැඹීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවන්ය.

ඒ අනුව ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර සුවිශේෂී සාකච්ඡාවක් මෙදින පවත්වා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. රාජ්‍ය අමාත්‍ය ධුර පිරිනැමීම සම්බන්ධව අවසන් තීරණයන්ට එළැඹීම මෙම සාකච්ඡාවේදී සිදුව ඇතැයි කියැවේ. මෙම පත්වීම් කළ දාට පසුදා බැසිල් රාජපක්ෂ ඇමෙරිකාව බලා පිටත්ව ගියේය.

එම සාකච්ඡාවට අමතරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා සහ ජනාධිපති ලේකම්වරයා ද  එදින රාත්‍රිය වනතුරු සාකච්ඡාවල නිරත වූ බව කියැවේ. කෙසේ හෝ මෙම සාකච්ඡා අවසානයේ බදාදා රාත්‍රියේ දී බ්‍රහස්පතින්දා උදෑසන දිවුරුම් දීම සිදුවන බව ස්ථීර කරමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ දුරකථන ඇමතුම මන්ත්‍රීවරුන් හට ලැබුණි.

ඒ අනුව උදෑසනම රාජ්‍ය අමාත්‍ය ධුර හිමිවන මන්ත්‍රීවරු පිරිස ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියෝය. දිවුරුම් දීම අතරතුරදී විශේෂ සිදුවීම් කිහිපයක් සිදුවිය. මෙහි සුවිශේෂීම සිදුවීම වූයේ ඩී.වී. චානක මන්ත්‍රීවරයා සම්බන්ධවයි. ඔහුට වෙන්කොට තිබුණේ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශයයි. එම අමාත්‍යාංශයට අදාළ කැබිනට් අමාත්‍යාංශය මහින්ද අමරවීර මහතා සතු විය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන් දෙපළක් වන මේ දෙදෙනා අතර පැවතියේ ආරෝවකි. 

ඒ අනුව මෙම අමාත්‍යාංශයේ දිවුරුම් නොදී සිටීමට ඩී.වී. චානක මන්ත්‍රීවරයා පළමුව අදහස් කළේය. නමුත් එම අවස්ථාවේ පැවති තත්ත්වය සැලකිල්ලට ගෙන ඔහු අවසන් මොහොතේ එම අමාත්‍යාංශයේ දිවුරුම් දීමට තීරණය කළේය. එහෙත් දිවුරුම් දීමත් සමඟ ඔහු කඩිනමින්ම ජනාධිපතිවරයාට සිය අකැමැත්ත දන්වා සිටියේය. 

“සර් මට වැඩ කරන්න වෙලා තියෙන්නේ මගේ මුහුණවත් බලන්නෙ නැති කෙනෙක් එක්ක. ඒ නිසා මේ අමාත්‍යංශය මට කරන්න බෑ." 

උද්ගත වූ තත්ත්වය යටතේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාටද ඔහුට පිරිනැමීමට අමාත්‍යංශයක් සොයාගැනීම ගැටලුවක් විය. අවසානයේ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා මෙම ගැටලුව විසඳීමට ඉදිරිපත් විය. ඒ වන විටත් ඔහුගේ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඉන්දික අනුරුද්ධ මහතාව පත් කර තිබුණි. එහෙත් කාංචන විජේසේකර, ඩී.වී. චානක ඇමතුවේය.

“මට එක ඇමැති කෙනෙක් ඉන්නවා. ඒත් මේකේ දෙන්නෙක්ට දෙන්න තරම් වැඩ තියෙනවා. එහෙනම් උඹ වරෙන් මේකට. මම වැඩ බෙදලා දෙන්නම්. දෙන්නා එකතු වෙලා වැඩ කරන්න." 

අමාත්‍ය කාංචන විජේසේකරගේ පරිත්‍යාගශීලී ඉදිරිපත් වීම ජනාධිපතිවරයාට ද අස්වැසිල්ලක් විය.

මේ අතර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය නියෝජනය කරන එකම සිංහල මන්ත්‍රීවරයා වන කපිල අතුකෝරළ මහතාට තනතුරක් නොලැබීම සම්බන්ධව පොහොට්ටුවේ පිරිසක් අසතුටින් පසු වූහ. ත්‍රිකුණාමලයේ ආණ්ඩුවට සහාය දක්වන ජනතාව අපහසුතාවට පත්වන බව පොහොට්ටුවේ නායකයන්ට පවසමින් ඔවුන් කරුණු පැහැදිලි කොට තිබුණි.

මේ අතර  අමාත්‍ය ධුර පිරිනමන අවස්ථාවේදී ජනාධිපතිවරයා සහ ඇතැම් රාජ්‍ය අමාත්‍යවරුන් අතර සිදු වූ සුහද කතාබහ පිළිබඳවද දේශපාලන කරළියේ ආරංචි පැතිර ගියේය. එම එක් ආරංචියකට අනුව මහා මාර්ග රාජ්‍ය අමාත්‍යාංශය හිමිවුණු සිරිපාල ගම්ලත් මහතාට ජනාධිපතිවරයා සිනාසෙමින් පවසා ඇත්තේ "ආණ්ඩුවේ සල්ලිත් නෑ. අමාත්‍යංශයේ සල්ලිත් නෑ. ඔන්න ඔබතුමාගේ අතින් තමයි මේ වැඩ කරන්න වෙන්නෙ." යනුවෙනි.

මේ අතර ඩයනා ගමගේ මන්ත්‍රීවරියට සංචාරක රාජ්‍ය අමාත්‍ය ධුරය පිරිනමන අවස්ථාවේදී ඇය සමඟ සුහදව කතාබහ කළ ජනාධිපතිවරයා ඇයටම මෙම අමාත්‍යංශය ලබා දුන්නේ රටට ඩොලර් රුගෙන ඒමට බව සිනාසෙමින් පවසා ඇතැයි කියැවේ. කෙසේ වෙතත් ඩයනා ගමගේ මන්ත්‍රීවරියට මෙම අමාත්‍යංශය හිමිවීම සම්බන්ධව ආණ්ඩුවේ සෙසු මන්ත්‍රීවරියන් අසතුටට පත් වූ බව කියැවේ. වෙනත් පක්ෂයක සිට ආණ්ඩුවට පැමිණි අයකුට මෙතරම් හොඳ අමාත්‍ය ධුරයක් පිරිනැමුවේ ඇයිද යන්න ඔවුන් ප්‍රශ්න කර තිබිණි.

මේ අතර විමලවීර දිසානායක මහතාට රාජ්‍ය අමාත්‍යාංශයක් නොලැබුණේ ඔහුට කැබිනට් අමාත්‍යාංශයක් නිර්දේශ වී ඇති නිසාවෙන් බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ''යුතුකම'' සංවාද කවයේ සිටි අනූප පැස්කුවල් මන්ත්‍රීවරයාට රාජ්‍ය අමාත්‍යංශයක් ලැබුණේ වර්තමාන ජනාධිපතිවරයා තෝරාගැනීමට පෙර දිනයේ දී සිදු කළ මාධ්‍ය සාකච්ඡාව හේතුවෙන් යැයි ද දේශපාලන කරළියේ කතා පැතිර යයි.

දිවුරුම් දීමෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට ගොස් තිබේ. මෙහිදී මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය අමාත්‍යවරුන් හට සුබ පතමින් උපදෙස් ලබා දී ඇතැයි කියැවේ. එසේම ඔවුන්ට හිමිවූ රාජ්‍ය අමාත්‍යංශවලට අදාළ කැබිනට් අමාත්‍යවරුන් පිළිබඳව ද මහින්ද රාජපක්ෂ මහතා ඇතැම් අයට පෞද්ගලිකව කරුණු පහදා දී තිබේ. ඩී.වී. චානක මන්ත්‍රීවරයාට සිදු වූ දේ පිළිබඳව ද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් විමසා තිබේ. එම ගැටලුව විසදා ගැනීමට හැකිවූ බව ඩී.වී. චානක මහතා මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දී තිබිණි.

මේ අතර රාජ්‍ය අමාත්‍යවරුන් අතරින් පහළොස් දෙනකුගෙන් පමණ සමන්විත පිරිසක් එදිනම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද හමුවී ආශිර්වාද ලබාගත් බව කියැවේ.

තීරණාත්මක බ්‍රහස්පතින්දා සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ද රැස් විය. ආණ්ඩුවේ වර්තමාන වැඩපිළිවෙළ සම්බන්ධව විරෝධතා ගොනු කළ යුතු ආකාරය පිළිබඳ මෙහිදී සාකච්ඡා වී ඇතැයි කියැවේ. 22 වැනි සංශෝධනය සහ ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගෙන ඒමට බලාපොරොත්තු වන අණ පනත් සම්බන්ධව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ද මෙහිදී කතිකාවක් නිර්මාණය වූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රුස් වූ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් අති විශාල  රාජ්‍ය ඇමැති මණ්ඩලයක් පත්කිරීම පිළිබඳව සිය විරෝධතාව ඒකමතික යෝජනාවක් ලෙස සම්මත කර ගැනීමට කටයුතු කෙරිණි. අතිශය බරපතළ ලෙස රට බංකොලොත් වී ජීවන වියදම අහස උසට නැග ඇති මොහොතක, ආණ්ඩුව විසින්  අත්තනෝමතික ලෙසත්, සදාචාර විරෝධී ලෙසත් රාජ්‍ය ඇමැතිවරුන් 37ක් තරම් විශාල ප්‍රමාණයක් පත් කිරීම කිසි ලෙසකින්වත් සිදු නොවිය යුත්තක් බව සජබය කියා සිටියි.

කෙසේ වෙතත් ගෙවී ගිය සතියේ සමගි ජන බලවේගයේ විශේෂ අවධානය යොමු වී තිබුණේ මන්දපෝෂණය සම්බන්ධව සිදු වූ පාර්ලිමේන්තු විවාදය වෙතයි. මෙම විවාදය සඳහා යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ සමගි ජන බලවේයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රිනී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය විසිනි. එම නිසාම මෙම විවාදයේ දී සමගි ජන බලවේගය තොරතුරු සන්නද්ධව පැමිණ සිටිනු දැකගත හැකි විය. කෙසේ වෙතත් ආණ්ඩුව පාර්ශ්වයෙන් විවාදය සඳහා ප්‍රමාණවත් සහභාගිත්වයක් නොවූ බව පෙනී ගියේය.

මේ අතර පසුගිය අයවැය ඡන්ද විමසීම සිදුවූ දා රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාගේ දියණියගේ මංගල උත්සවය වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ පැවැත්වුණි. මෙහිදී දැකගත හැකි වූ අපූරු දසුනක් වූයේ වර්තමාන පාර්ලිමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨතම පුද්ගලයන් වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, කතානායක මහින්ද යාපා අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර යන පිරිස සමඟ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එකම මේසයක අසුන්ගෙන සිටීමයි.
දේශපාලන ආරංචි මාර්ග අනුව පිරිස මෙලෙස අසුන්ගෙන සිටින අතර එහිදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සාකච්ඡා පිළිබඳව යම් සංවාදයක් ඇතිවී තිබේ. මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිනහ සෙමින් අපූරු කතාවක් කියා තිබිණි.“අයි.එම්.එෆ් එකත් එක්ක ඉදිරි සාකච්ඡාවට අපි වාසුදේව ඇමැතිතුමාවත් යවන්න බලාපොරොත්තු වෙනවා." 

වාසුදේව නානායක්කාර මහතා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පිළිබඳ දැඩි විරෝධාකල්පයකින් සිටින තැනැත්තෙකි. එසේම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කෙරෙහි ද ඔහු තුළ වන්නේ පැහැදුණු සිතක් නොවේ. ජනාධිපතිවරයා උස් හඬින් සිනාසෙමින් කී කතාවට වාසුගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොවිණි. සිය ජංගම දුරකථනය දෙස බලාගෙන නිහඬව සිටියේය.

මෙහිදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ද "ඔව් ඔව් ඒක හොඳයි" වැනි ප්‍රකාශයක් සිදු කර ඇති බව කියැවේ. කෙසේ වෙතත් එම විහිළුවට වාසුදේව නානායක්කාර මහතා කැමැති වූ බවක් නොපෙනුණි.

අයවැය ඡන්දය විමසීමට පෙර මෙම සාදයට සහභාගි වූ ජනාධිපතිවරයා සහ මහින්ද රාජපක්ෂ මහතා එම ස්ථානයෙන් නික්ම යන අතරේ ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයාට තවත් අපූරු කතාවක් කියා තිබිණි. ජනාධිපතිවරයා පිටවෙන විට පසු ගමන් ආ ප්‍රේමලාල් ජයසේකරට ජනපති මෙලෙස පවසා ඇතැයි කියැවේ.

“ජයසේකර මන්ත්‍රීතුමා ඔබතුමායි නෝනයි අද හනිමුන් යන්නේ නෑනෙ. ඒ නිසා කරුණාකරලා හවසට ඇවිල්ල අයවැයට ඡන්දෙ දීලා යන්න."

පසුගිය සමයේ කතාබහට ලක්වුණු ''ජාතික සභාව'' පිළිබඳ කතිකාව පසුගිය සතියේ නැවත ඇරඹුණි. ඊට හේතුවූයේ පසුගිය බදාදා අගමැති දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති පක්ෂ නායක රැස්වීමයි. මෙම රැස්වීමේ අරමුණ වූයේ රට තුළ මතුව ඇති ආර්ථික හා සමාජ අර්බුදය සමනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් “ජාතික සභාව” පිහිටුවීමට අවශ්‍ය එකඟතා නිර්මාණය කරගැනීමය.

දැනට ප්‍රකාශයට පත් වී ඇති තොරතුරු අනුව පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වන සියලු පක්ෂ නියෝජනය වන පරිදි නිල බලයෙන් සාමාජිකයන් වන නියෝජිතයන්ද ඇතුළු “ජාතික සභාවේ” සම්පූර්ණ සාමාජික සංඛ්‍යාව 37කි. කථානායකවරයා ජාතික සභාවේ මූලාසනය දරන අතර අගමැතිවරයා, විපක්ෂ නායකවරයා, සභානායකවරයා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා නිල බලයෙන් එහි සාමාජිකයෝ වෙති. මීට අදාළ යෝජනාව කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මෙම හමුවේදී පක්ෂ නායකයන් එකඟ වී ඇතැයි කියැවේ.

කෙසේ වෙතත් දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ අපට දැන ගැනීමට ලැබුණේ මෙම හමුවේදී සිදුවූ ආරෝවක් පිළිබඳවය. ජාතික සභාවට පත්වන මන්ත්‍රීවරුන්ගේ තාවකාලික නම් ලැයිස්තුවක් මෙහිදී ප්‍රකාශයට පත්වී ඇත. ගැටලු මතු වී ඇත්තේ එම අවස්ථාවේදීය.

පළමුව මෙම ලැයිස්තුවේ ඇතුළත් නම් සඳහා විරෝධය පළකළේ සමගි ජනබලවේගයේ ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා සහ රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයාය. මුස්ලිම් කොංග්‍රසයෙන් මෙම ලැයිස්තුවට ඇතුළු වූ නසීර් අහමඩ් මන්ත්‍රීවරයාට සහ අහිල ඉලංගෙයි මහජන කොංග්‍රසයෙන් පත්වූ එස්.එම්.එම්. මුෂාරෆ් මන්ත්‍රීවරයාට මෙහිදී විරෝධය පළවිය. ඔවුන් දෙදෙනා ආණ්ඩුව නියෝජනය කරමින් මෙම පත්වීම සඳහා යෝජනා වී තිබීම ඊට හේතුවය.

මෙම පත්කිරීම සඳහා හේතු වී තිබුණේ ඔවුන් දෙදෙනා සිය පක්ෂය නියෝජනය කරමින් සෘජුව පසුගිය මහමැතිවරණයේදී පාර්ලිමේන්තුවට තේරී පත්වීමයි. එම පක්ෂ දෙක අනෙකුත් දිස්ත්‍රික්කවල සමගි ජනබලවේගය හා එක්ව තරග කළෙන් ඔවුන්ගේ සෙසු මන්ත්‍රීවරු සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු වූහ. එමනිසා ආණ්ඩු පාර්ශ්වයෙන් මොවුන් දෙදෙනාව වෙනම සලකා පත්වීම් ලබාදීම සිදුකළ යුතු බවට තර්ක කළේය. තත්ත්වය උණුසුම් වූ අවස්ථාවේ රිෂාද් බදියුදීන්ද අදහස් දක්වා තිබුණි.

මෙයට අමතරව ගෙවිඳු කුමාරතුංග මෙම ලැයිස්තුවට අන්තර්ගත වීම සම්බන්ධව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විරෝධය පෑවේය. ගෙවිඳු කුමාරතුංග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලැයිස්තු මන්ත්‍රීවරයකු බවත් වෙනම කණ්ඩායමක අයකු ලෙස සලකා මීට ඇතුළත් කිරීම අසාධාරණ බවත් ඔවුහු කීහ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙම ලැයිස්තුවට ඔහුගේ නම ඇතුළත් නොකරන බව පොහොට්ටුවේ පිරිස් අවධාරණය කර සිටියහ.

මෙම අවස්ථාවේදී වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා මැදිහත් වී විශේෂ ඉල්ලීමක් කළේය. ගෙවිඳු කුමාරතුංගට පක්ෂ නායකත්ව තත්ත්වය ලබාදී ඔහුව ජාතික සභාවට ඇතුළත් කරන ලෙස වාසු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගෙන් ඉල්ලා සිටියේය. මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් කතා කළ සාගර කාරියවසම් මතු කළේ දැඩි විරෝධයකි.

''මෙතැන පුද්ගලයෝ පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නෙ. ඔබතුමා දැන් අපේ පක්ෂයෙන් ස්වාධීන වුණා කියලා විපක්ෂයේ වාඩිගෙන ඉන්නවා. ඒ නිසා අපේ පක්ෂය නියෝජනය කරමින් ඔබතුමාවත් පත් කරන්න බෑ.'' මේ අවස්ථාවේදී ගෙවිඳු කුමාරතුංග  කඳුළු පිරුණු දෙනෙතින් යුතුව සංවේදී වූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. ගෙවිඳුට හැඬුම් ආවේය.

''මට ඇයි මෙහෙම කරන්නේ.මට ඇයි මෙහෙම කරන්නේ තමුන්සේලා. මහින්ද රාජපක්ෂ මැතිතුමාවත් මට මෙහෙම සැලකුවෙ නෑ.''

අවසානයේ මෙම ගැටලුවට මැදිහත් වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ කියා තිබුණි.

''කලබල වෙන්න එපා අපි මේ ප්‍රශ්නෙ විසඳමු. මට තියෙනවා බලයක් අගමැති හැටියට දෙතුන් දෙනෙක් නම් කරන්න. එයින් එකකට හරි මම ගෙවිඳුව නම් කරන්නම්. එතකොට ප්‍රශ්නෙ ඉවරනේ.''

කෙසේ වෙතත් එම සාකච්ඡාව අවසන් වූයේ පැහැදිලි එකඟතාවයක් තොරව බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

පක්ෂ කඳවුරු නිර්මාණය වීම සම්බන්ධව ගෙවී ගිය සතියෙ සුවිශේෂී එකක් විය. ඉකුත් සඳුදා පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමගේ සභාපතිත්වයෙන් යුත් ''නව ලංකා නිදහස් පක්ෂයේ'' පක්ෂ මූලස්ථානය බත්තරමුල්ලේදී විවෘත කරනු ලැබීය. ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ කටයුතු සිදුවූයේ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංගගේ ප්‍රධානත්වයෙනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන හා ලේකම් දයාසිරි ජයසේකර සමග මතගැටුම් ඇති කරගෙන තිබෙන බවටත් එම පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම නව පක්ෂය සමග එකතු වන බවටත් දේශපාලන කරළියේ ආරංචි පැතිර ගියේය.

දෙසතියකට ඉහත සතියේදී ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පක්ෂ ව්‍යවස්ථාව තවත් ශක්තිමත් කරමින් ව්‍යවස්ථා සංශෝධනයක්ද සිදු කළේය.  ඒ හරහාද මේ වනවිට පක්ෂ ස්ථාවරයට පිටින් යන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් දැඩි තීරණ ගැනීමට හැකියාව සභාපතිවරයාට ලැබී තිබේ. ආණ්ඩුවේ අමාත්‍ය ධුර හොබවන පිරිසට එම නිසාවෙන් එල්ල වී ඇත්තේ දැඩි බලපෑමකි.

මෙම තත්ත්වය යටතේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අලුත් පක්ෂයක් වෙනුවෙන් පිඹුරුපත් සකසමින් ඇතැයිද දේශපාලන කරළියේ ආරංචි පැතිර යයි. කෙසේ වෙතත්  මෙම කණ්ඩායම නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්වීම හෝ එක්සත් ජාතික පක්ෂය සමග එක්වීම සිදුවනු ඇතැයි තවත් දේශපාලන ආරංචි අනුව කියැවේ. 

 චමිදු නිසල් ද සිල්වා