2022 ජුලි 24 වන ඉරිදා

රනිල් දිනපු මෙහෙයුම

 2022 ජුලි 24 වන ඉරිදා, පෙ.ව. 08:00 499

  • කිහිප දෙනකුට මහින්දගෙන් දුරකථන ඇමතුම්
  • ඩලස් හදිසියේ ලියූ සටහන
  • හරින්ට මහින්දගෙන් අමුතු සුබ පැතුමක්
  • සජබ මන්ත්‍රිලා රනිල්ට ඡන්දය නොදුන් බව සජිත් කියයි
  • තනතුරු කිහිපයකට එකඟතාත් හදාගෙන
  • ගෝල්ෆේස් ප්‍රහාරය ගැන තානාපති අංශ කැළඹෙයි
  • මහින්ද තමන්ගේ රහස් ඡන්දය හෙළි කරයි

තවත් ඉතිහාසගත සතියක් ගෙවී ගියේය. අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් පත්විය. රහස් කතා, ගනුදෙනු පිළිබඳ විවිධාකාර ආරංචි පැතිර ගියේය. සියල්ල අවසානයේ සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳ බහුතරයක් තුළ ජනිත වූයේ විශ්මයකි. මෙය අවසානයද, නැති නම් මේ කතාවට තවත් අවසානයක් ඇද්ද යන්න මතු වූයේ සැකයකි.

පසුගිය සතියේ තීරණාත්මක දිනය වූයේ 20 වැනිදාය. අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාගැනීම වෙනුවෙන් සියලු කටයුතු ලකලෑස්ති වෙමින් තිබුණි. අවසන් මොහොතේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනපති සටනින් ඉවත්ව ගියේ ඩලස් අලහප්පෙරුමට සහාය පළ කරමිනි. මෙම හවුල ගොඩනැගීම සඳහා ඩලස් වෙනුවෙන් ඩිලාන් පෙරේරා ඇතුළු කණ්ඩාමක් සජබ කණ්ඩායම සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා වට පවත්වා තිබුණි. අවසානයේ එකඟතාව ගොඩනැගී තිබුණේ ඩලස් ජනාධිපති වූ සැණින් සජිත් අගමැති කිරීමටයි.

මේ අතර හරීන්, මනූෂ, වජිර, රුවන් ඇතුළු පිරිසක් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් රුසක් සමඟ පෞද්ගලික සාකච්ඡා වට පවත්වන්නට වූහ. සරත් ෆොන්සේකා ඇතුළු කණ්ඩායමක් රනිල් වික්‍රමසිංහ හට සහයෝගය දැක්වීමට යම් පමණකට එකඟ කරවා ගැනීමට ඔවුහු සමත් වී සිටියහ. සමගි ජන බලවේගයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දක්වන පිරිස් සඳහා අසාධාරණයක් නොවීමට වගබලා ගන්නා බවට ඔවුන් පොරොන්දු වූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ මොහොතේ දක්වන සහයෝගය වෙනුවෙන් අවශ්‍ය ඕනෑ පරිමාවක උපකාරයක් කරන්නට සූදානම් යැයි වජිර අබේවර්ධන කී බව සජබ අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ දැනගැනීමට ලැබුණි. එසේම නැවත එක්සත් ජාතික පක්ෂය ගොඩනැගිය හැකි බවත් එහි දේශපාලන රුකවරණය ඔවුනට ඇති බවත් මෙම සාකච්ඡාවලදී වික්‍රමසිංහ පාර්ශ්වය සජබ මන්ත්‍රීවරුන්ට පෙන්වා දී තිබේ. මේ අතර තනතුරු කිහිපයක් වෙනුවෙන් ද පූර්ව එකඟතා ගොඩනැගුණු බව දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ කියැවේ.
ද්‍රවිඩ ජාතික සන්ධානයේ ඡන්ද තීරණාත්මක බව දෙපාර්ශ්වයම දැන සිටියේය. ඒ අනුව රනිල් වික්‍රමසිංහ පාර්ශ්වයත් ඩලස් අලහප්පෙරුම පාර්ශ්වයත් ඒ සඳහා සාකච්ඡාවල නිරත විය. දෙමළ ජාතික සන්ධාන (TNA) නායක ආර්. සම්පන්දන්ගේ කොළඹ නිවෙසේ දී සුවිශේෂී සාකච්ඡාවක් පැවැත්වුණි. ඩලස් අලහප්පෙරුම, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මහාචාර්ය ජී.එල්. පීරිස් සහ ඩිලාන් පෙරේරා යන මන්ත්‍රීවරු ඊට සම්බන්ධ වූහ.

උග්‍ර රනිල් වික්‍රමසිංහ විරෝධියකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසපුත්‍රම් මෙහිදී සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ බව කියැවුණි. අවසානයේදී දෙමළ සන්ධානය ඩලස් අලහප්පෙරුම වෙත සහයෝගය ලබාදීමට එකඟ විය. කෙසේ වෙතත්  මෙම තීන්දුවත් සමඟ දෙමළ සන්ධානය අභ්‍යන්තරයේද විශාල ගැටුමක් නිර්මාණය විය. රඝු බාලචන්ද්‍රන් ට්විටර් සමාජ ජාලය තුළ මෙම තීන්දුව දැඩිව විවේචනය කොට තිබුණි. කෙසේ වෙතත් මේ වන විටත් රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය පෞද්ගලිකව මන්ත්‍රීවරුන් කිහිප දෙනකු සමඟ එකඟතා නිර්මාණය කර ගැනීමට සමත්ව සිටියේය.

මේ අතර ඩලස් අලහප්පෙරුම මහතා පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් රුසකට පෞද්ගලිකවම දුරකථන ඇමතුම් දුන්නේය. ප්‍රසිද්ධියේ පක්ෂයට විරුද්ධ වීමට නොහැකි නමුත් ඩලස් හට සහයෝගය දැක්වීමට කැමැති බව ඇතැමුන් පවසා තිබුණි. කෙසේ වෙතත් පොදුජන පෙරමුණු ප්‍රධානීහු සිය මැතිවරණ මෙහෙයුම ඉතා සියුම් ලෙස සිදු කළහ. දේශපාලන ආරංචි අනුව පොහොට්ටු පාර්ශ්වයෙන් නැවත මේ කටයුතු මෙහෙයවනු ලැබුවේ බැසිල් රාජපක්ෂ මහතා විසිනි. අවසන් උපාය ලෙස මහින්ද රාජපක්ෂ මහතා ලවා සැක සහිත මන්ත්‍රීවරුන් කිහිප දෙනකුට දුරකථන ඇමතුම් ලබාදීමට ඔවුන් කටයුතු කළ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

ජූලි 19 වැනිදා සවස වන විට බැලූ බැල්මට රනිල් වික්‍රමසිංහ මහතා හට මන්ත්‍රීවරුන් එකසිය විස්සකගේ පමණ සහයෝගය හිමි වී තිබුණි. ඒ අනුව නිසැක වශයෙන්ම ජනාධිපති වන්නේ රනිල් බව කීමට සාක්ෂි පොහොට්ටුවේ ප්‍රධානීහු සිය මන්ත්‍රී කණ්ඩායමට ඒත්තු ගැන්වූහ. රනිල් වික්‍රමසිංහ පොහොට්ටුවේ පිරිසක් වෙත හානි වූ දේශපාලන ප්‍රතිසංස්කරණ කර දීමටත් ආරක්ෂාව සැපයීමටත් පොරොන්දු වූ බව මේ අතර කියැවුණි. ඒ අනුව ජූලි 19 වැනිදා වන විටද වැට උඩ සිටි ඇතැම්හු නැවත සිය තීරණය ගැන සිතා බැලූහ. සුළු පක්ෂ මන්ත්‍රීවරු ඍජුවම රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධ කර ගනිමින් සිය එකඟතා පිළිබඳ සාකච්ඡා කළහ.

කෙසේ වෙතත් ඩලස් පාර්ශ්වය පොහොට්ටුවේ පිරිසක් රහස් ඡන්දයේ දී රහසේ සහයෝගය දක්වනු ඇතැයි අපේක්ෂා කළේය. එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා සිටියේ පූර්ණ විශ්වාසයෙනි. අවසානයේ තීරණාත්මක දිනය උදා විය. සියලු දෙනාම පාර්ලිමේන්තු පැමිණියහ. අවසන් මොහොතේ පවා පාර්ලිමේන්තු පරිශ්‍රයේ සාකච්ඡා සිදුවෙමින් තිබුණි. තම කණ්ඩායමක් රනිල් වික්‍රමසිංහ වෙත සහයෝගය දක්වන බව සජිත් ප්‍රේමදාස මහතා හට පැහැදිලි වී තිබුණි. තම සමීපතමයන් හරහා එය වළක්වා ගැනීමට ඔහු උත්සාහ දැරෑ බව ද පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

පාර්ලිමේන්තු භෝජනාගාරය ද මෙදින බොහෝ කතාබහ සිදුවූ තැනකි. පාර්ලිමේන්තු සභා වාරය ආරම්භ වීමට පෙර මන්ත්‍රීවරු බොහෝ දෙනෙක් භෝජනාගාරයට වී කණ්ඩායම් වශයෙන් සාකච්ඡා කරමින් සිටියහ. ඒ අනුව උදෑසන භෝජනාගාරයේදී ජනාධිපති අපේක්ෂක ඩලස් අලහප්පෙරුම මහතා මන්ත්‍රීවරුන් අසුන් ගෙන සිටි මේසයෙන් මේසයට ගොස් ඔවුන් සමඟ කතාබහ කළේය. මනමාලයකු සිය මංගල දිනයේදී සිදුකරන්නාක් මෙන් ඩලස් අලහප්පෙරුම මහතා සිදු කළ මෙම ක්‍රියාව ඔහුට විරුද්ධ පිරිස් උපහාසයට ලක් කළ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා අවසාන වශයෙන් තමාට ඡන්දය ලබා දෙතැයි අපේක්ෂා කරන පිරිසගේ ලැයිස්තුව සකසා තිබේ. පාර්ලිමේන්තු ආරංචි අනුව ඔහු මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු වෙන වෙනම තමන් වෙත කැඳවා කතාබහ කර ඇත. ඒ අනුව අවසානයේදී තමන් ලබාගන්නා ඡන්ද ප්‍රමාණය පිළිබඳව ද එහි සංයුතිය පිළිබඳව ද උදෑසනම වික්‍රමසිංහ මහතා දැනුවත් කර ඇතැයි ද කියැවේ.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත සහ ඩලස් අලහප්පෙරුම මහතා අතර සිදුවූ සංවාදයක් පිළිබඳව ද දේශපාලන කරළියේ කතාබහට ලක්වේ. උදෑසන පාර්ලිමේන්තුවේදී මුණගැසුණු සනත් නිශාන්ත හට ඩලස් අලහප්පෙරුම පවසා ඇත්තේ "මල්ලි, මම ඔයාට කිහිප පාරක්ම කතා කළා. ෆෝන් එක ආන්සර් කළේ නෑනෙ" යනුවෙනි. ඒ අනුව සංවාදය අතර දේශපාලන පෞද්ගලික හිත මිත්‍රකම් පවත්වා ගැනීමට බාධාවක් නොවන බව අලහප්පෙරුම මහතා සනත් නිශාන්තට පැහැදිලි කොට තිබේ. 

දේශපාලන කරළියේ කියැවෙන පරිදි  සනත් නිශාන්ත මෙහිදී කියා ඇත්තේ අලහප්පෙරුම මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඉල්ලා අස්වන ලෙස පෙර යැවූ ලිපිය තමාගේ ඡන්දය ඔහුට අහිමිවීමට හේතුව බවයි. කවර තත්ත්වයක් යටතේ වුවද අලහප්පෙරුම මහතාට ඡන්දය භාවිත නොකරන බව සනත් නිශාන්ත ඔහුගේ මුහුණටම කියා ඇතැයි කියැවේ. කෙසේ වෙතත් උදෑසනම හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඩලස් අලහප්පෙරුම මහතාව මුණගැසුණු මොහොතේ දී "ඩලා මං ආවේ ඔයා හින්දමයි" යනුවෙන් පවසා ඇති බවක් ද දේශපාලන කරළියේ රස කතා අතර කියැවේ.

මෙම නාටකීය සිදුවීම් අවසානයේ සියලු දෙනාම පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණෙමින් සිටියහ. මෙහිදී සිදු වූ අපූරු කතාවක් පිළිබඳව ද අපට දැනගැනීමට ලැබුණි. ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තු පැමිණියේ විශේෂ ලිපි ගොනුවක් තම අතෙහි රඳවාගෙනය. ඔහු සුපුරුදු ලෙසින් පොදුජන පෙරමුණේ රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයාගේ යාබද අසුනේ අසුන් ගත්තේය. ඔහු අසුන්ගත් මොහොතේ සිට යම් සටහනක් සකසමින් සිටි බව රෝහිත අබේගුණවර්ධන නිරීක්ෂණය කර තිබේ. "මොකක්ද ඔබතුමා ඔය කරන්නේ" යනුවෙන් රෝහිත ඩලස්ගෙන් විමසා සිටියේ එබැවිනි. "රෝහිත, තව පැය තුනකින් ජනාධිපති වුණාට පස්සේ කරන්න තියෙන කතාව හදනවා" ඩලස් පිළිතුරු දුන්නේය. ඒ අනුව එම පිළිතුරට යම් සිනහවක් පෑ රෝහිත ඩලස් අලහප්පෙරුම වෙත සුබ පැතුම් එක්ක කර තිබුණි. මේ ආදී තවත් කතා රැසකි.

සියල්ල අතරතුර  කථානායකවරයා මෙම ඓතිහාසික ඡන්ද විමසීම වෙනුවෙන් කටයුතු සූදනම් කරන්නට විය. සියලු කටයුතු විනිවිදභාවයකින් යුතුව ව්‍යවස්ථානුකූලව සිදු කළ යුතු බව කථානායකවරයා නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබුණි. මෙම පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී තීරණාත්මක පුද්ගලයා බවට පත්වූයේ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා බැවින් ඔහු වෙතද බොහෝ දෙනාගේ අවධානය යොමු වූයේය. කෙසේ වෙතත් කල් ඇතිවම ව්‍යවස්ථානුකූලව සියලු කටයුතු සිදුකිරීමට පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සූදානම් වී සිටියේය.

වෙනදාට සාපේක්ෂව පාර්ලිමේන්තුවේ මෙම ඡන්ද විමසීම ඉතා සාමකාමී විය. හෝරාවකට අධික කාලයක් ගත කළ තීරණාත්මක ඡන්ද විමසීම නිමාවට පත්වූයේය. මුලදී කථානායකවරයා එපා කීවද ඇතැමුන් ඡන්ද පත්‍රිකා ප්‍රදර්ශනය කිරීමට උත්සාහ දැරෑ බවක් ද පසු වාර්තාවල සදහන් විය. 

අවසානයේ ඡන්ද විමසීමේ තේරීම් භාර නිලධාරියා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් දෙදෙනෙක් ඡන්ද ලබාදීමෙන් වැළකී සිටියහ. ඒ අනුව භාවිත කළ ඡන්ද ගණන 223 කි. ඉන් ඡන්ද හතරක් ප්‍රතික්ෂේප වී තිබුණි. රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්ද 134 ක්, ඩලස් අලහප්පෙරුම මහතාට ඡන්ද 82 ක් සහ අනුර කුමාර දිසානායක මහතාට ජන්ද 3 ක් ලැබී තිබුණි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස පත්වීමට රනිල් වික්‍රමසිංහ මහතා සුදුසුකම් ලැබුවේය. පාර්ලිමේන්තුව අමතමින් ඔහු කියා සිටියේ සියලු පාර්ශ්ව වෙත තමා ස්තූතිවන්ත වන බවයි. එසේම තමාට පාර්ලිමේන්තුවේදී දිවුරුම් දීමට අවස්ථාව සලසා දෙන ලෙස ද ඔහු කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය. ඩලස් අලහප්පෙරුම, අනුර කුමාර දිසානායක යන අපේක්ෂකයෝ ද සභාව ඇමතූහ. රටේම පුරවැසියෝ එම සියලු තතු සජීවීව බලා සිටියහ.

පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිටතට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබ පැතුම් ගලා එන්නට විය. මේ අතර කලකින් පාර්ලිමේන්තු පැමිණි මහින්ද රාජපක්ෂ මහතාට ද ප්‍රතිචාර බොහෝ විය. පොහොට්ටුවේ මන්ත්‍රීවරු පිරිසක් මහින්ද රාජපක්ෂ මහතා වෙත ගොස් ඔහුට වැඳ ආශිර්වාද ලබා ගත්හ. මේ අවස්ථාවේදී අසල සිටි හරින් ප්‍රනාන්දු හට කතා කළ මහින්ද රාජපක්ෂ මහතා "වෙල් ඩන් පුතා" යනුවෙන් පිටට තට්ටුවක් දමා පැවසූ බව ද දැනගන්නට ලැබුණි.

මෙහිදී කාගේත් වැඩි අවධානයක් දිනාගත්තේ මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවෙන් පිටවී යන අවස්ථාවේදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට ලබාදුන්  අපූරු පිළිතුරයි. "අපි ඩලස් ඉදිරිපත් කළා. අපි ඡන්දෙ දුන්නා. ඔහු පැරදුණා ඉතිං", යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ ජනපතිවරණ ඡන්දයෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවසීය.

මේ අතර ලැබුණු ඡන්ද පිළිබඳව සේම අවලංගු වූ ඡන්ද පිළිබඳවත් දේශපාලන කරළියේ තිරය පිටුපස වූයේ කුකුසකි. අප ලද තොරතුරු අනුව අවලංගු වූ ඡන්ද අතරෙන් දෙකක් රනිල් වික්‍රමසිංහ මහතා නමින් සටහන් වී තිබූ ඡන්ද බව කියැවුණි. තවත් ඡන්ද දෙකක් හිතාමතාම අවලංගු කර තිබූ බව නිරීක්ෂකයන් හඳුනාගෙන තිබේ. තිරය පිටුපස කියවුණු කතා අනුව මෙලෙස ඡන්ද අවලංගු කොට තිබුණේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දෙපළක් බව පෙනී ගියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශ්වයේ අභ්‍යන්තර සාකච්ඡා අතරේ රනිල් වික්‍රමසිංහ මහතාට ලැබුණු ඡන්දවල සංයුතිය පිළිබඳ තොරතුරු හෙළිදරව් විය. ඒ අනුව එම පාර්ශ්වය  සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 101 දෙනකු වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබා ලබා දී ඇති බවයි. ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 7 දෙනකු, සමගි ජන බලවේග මන්ත්‍රීවරුන්  14 දෙනකු රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කර ඇතැයි කියැවුණි.

මේ අය අතර ඊපීඩීපී මන්ත්‍රීවරුන්  දෙදෙනකු, ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු, මහජන එක්සත් පෙරමුණු මන්ත්‍රීවරුන් තිදෙනකු, මුස්ලිම් මන්ත්‍රීවරුන් තිදෙනකු, දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් දෙදෙනකු, ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරයකු, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ  මන්ත්‍රීවරයකු රනිල් වික්‍රමසිංහ මහතා වෙත  ඡන්දය ලබා දී ඇති බව මෙහිදී හෙළිදරව් විය. මෙම කණ්ඩායමට අමතරව සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලයාන්), අරවින්ද් කුමාර්, සී.වී. විග්නේෂ්වරන්, ඒ. එල්.එම්. අතාවුල්ලා යන අය ද වික්‍රමසිංහ මහතාට සහාය පළ කළ බව කියැවේ.

ඒ අතර ජනාධිපතිවරයා ලෙස සුදුසුකම් ලැබීමට රනිල් වික්‍රමසිංහ මහතා සමත් වූ රාත්‍රියේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාගේ නිවෙසේ  සාදයක් පැවැත්වුණු බවට ද දේශපාලන කරළියේ කතබහට ලක්විය. විශාල මන්ත්‍රීවරුන් පිරිසක් සහ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන ක්‍රියාකාරී දේශපාලන කණ්ඩාමයක් මෙහි පැමිණ සිටි බව කියැවේ. රනිල් වික්‍රමසිංහ මහතා ද මෙම අවස්ථාවට සහභාගි වූ බව ඇතැම් දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි. ඒ අනුව බොහෝ දෙනකු මැදියම් රූ පසුවන තුරුත් මෙහි රුදී සිටිමින් සතුටු වූ බව කියැවේ.

බොහෝ සිදුවීම්වල අවසාන ප්‍රතිඵලය ලෙස පසුගිය 21 වැනිදා රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තු පරිශ්‍රයේදී දිවුරුම් දුන්නේය. මෙම අවස්ථාවට ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිය දෙනෙක් පමණ සහභාගී වී සිටියහ. සම්පූර්ණ පිරිස තුන්සියයකට පමණ ආසන්න විය. කෙසේ වෙතත් නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත්තේ මෙම දිවුරුම් දීම වෙනුවෙන් වැයවන සියලු වියදම් තමා පෞද්ගලිකව දරන බවයි.
මෙම මොහොතේ දී රෑපවාහිනී සජීවී විකාශය අතරමග ඇණහිටීම කාගේත් අවධානය යොමු වූ සිදුවීමක් විය. ජනාධිපතිවරයා රතු පලස මතින් පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුළු වීමෙන් පසු එම සජීවී විකාශය නැවතී ගිය අතර විදුලිය බිඳවැටීමක් නිසා සජීවී විකාශය නතර වූ බවට පසුව ප්‍රකාශ විය. පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලිය බිඳවැටීමක දී සාමාන්‍යයෙන් විනාඩි දෙකක් වැනි ඉතා කෙටි කලකදී විදුලි ජනක යන්ත්‍ර නැවත ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන නමුත් ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබුණි. 

පසුව පළ වූ මාධ්‍ය වාර්තාවලට අනුව දිවුරුම් දෙන අවස්ථාවේ දී පාර්ලිමේන්තු සංකීර්ණයේ අනපේක්ෂිතව විදුලිය විසන්ධි වීම සම්බන්ධව පරීක්ෂණ සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇතැයි දැනගන්නට ලැබේ.

අනුප්‍රාප්තික ජනාධිපති තේරීමේ සමස්ත සිදුවීම සම්බන්ධව පැහැදිලි කිරීමට සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා සිය පක්ෂයේ සියලු සංවිධායකවරුන් සූම් තාක්ෂණය ඔස්සේ රුස්වීමක් සඳහා කැඳවීය. මෙහිදී ඔහු ජනාධිපති සටනට ඉදිරිපත් වීමට සූදානමින් සිටි ආකාරයත්, පක්ෂයෙන් ගත් තීරණයක් අනුව එම තීන්දුව වෙනස් කොට ඩලස් අලහප්පෙරුම මහතාට අපේක්ෂකත්වය ලබා දීමට තීරණය කළ ආකාරයත් පිළිබදව පැහැදිලි කිරීමක් සිදු කොට ඇත. මේ අතර තවත් දේශපාලන ආරංචියකට අනුව කියැවුණේ පක්ෂයේ ඇතැමුන්ගේ විරෝධතා මැද විපක්ෂ නායකවරයා ජනපති සටනින් ඉවත් කිරීමට මූලිකත්වය ගත්තේ රාජිත සේනාරත්න මහතා බවයි.

එහෙත් මෙම හමුවේදී ප්‍රේමදාස මහතා සජබ මන්ත්‍රීවරුන් වික්‍රමසිංහ මහතාට සහාය දී ඇති බවට පළව ඇති වාර්තා ප්‍රතික්ෂේප කොට ඇත, කිසිදු සජබ මන්ත්‍රීව‍රයකු වික්‍රමසිංහ මහතාට ඡන්දය භාවිත කොට නොමැති බවද ප්‍රකාශ කොට තිබේ. මෙය පරාජයක් නොවන බව පෙන්වා දී ඇති විපක්ෂ නායකවරයා මේ හරහා මන්ත්‍රීවරුන් 50ක් පමණක් සිටි විපක්ෂය මන්ත්‍රීවරුන් 80 දක්වා ඉහළ ගිය බවත් පවසා ඇතැයි දැනගන්නට ලැබේ. එසේම නව ආණ්ඩුවේ  තනතුරු බාරනොගන්නා ලෙස සංවිධායකවරුන් විපක්ෂ නායකවරයා වෙත දන්වා ඇති බව ද දැනගන්නට ලැබේ.

මේ අතර 22 වැනි සිකුරාදා අලුයම තවත් විශේෂිත සිදුවීම් පෙළක් සිදුවූයේය. පූර්ව දැනුම් දීමකින් තොරව ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අභියස අරගලකරුවන් වෙත ආරක්ෂක අංශ ප්‍රහාරයක් දියත් කළේය. අලුයම එකහමාරත්, දෙකත් අතර කාලය තුළ ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයට ඇතුළු වීමෙන් අනතුරුව මෙම මෙහෙයුම දියත් කර තිබේ. ඒ අනුව සිද්ධියේදී පුද්ගලයන් 08 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර එක් අයකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි වාර්තා විය. 

මෙම මෙහෙයුමත් සමඟම ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට බාලදක්ෂ මාවත මංසන්ධිය දක්වා වූ සියලු කූඩාරම් ඉවත් කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ. සිකුරාදා උදෑසන වන විට අදාළ ප්‍රදේශයන්හි බලය ආරක්ෂක හමුදා විසින් තහවුරු කර තිබුණි. එසේම ගාලුමුවදොරට ඇතුළු වීමට හැකි සියලු මාර්ග ද වසා දැමීමට පියවර ගෙන තිබුණි. මේ අතර බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය, ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ඇතුළු පාර්ශ්ව රුසක් මෙම ප්‍රහාරය සම්බන්ධව නිවේදන නිකුත් කළේය.
මෙම සියලු කලබගෑනි අතරේ සිකුරාදා දිනයේ දී නව අග්‍රාමාත්‍යවරයා දිවුරුම් දීම ද සිදුවිය. ඒ අනුව අන්තර්කාලීන ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. අනතුරුව කැබිනට් මණ්ඩලය ද දිවුරුම් දීම සිදුවිය. 

 චමිදු නිසල් ද සිල්වා

 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00