2022 ජුලි 17 වන ඉරිදා

ජනපති ගෝඨාභය රටින් පිටවූ හැටි

 2022 ජුලි 17 වන ඉරිදා, පෙ.ව. 08:00 268

  • ඉන්දීය ආරක්ෂක උපදේශකගෙන් දුරකථන ඇමතුමක්
  • රනිල් වාළුකාරාමයේදී  දිවුරැම් දෙයි
  • ඉල්ලා අස්වීමේ ලිපිය ගැන කතානායකට අවුලක්
  • ජන ගඟ ගලද්දී 11.45ට ජනපති මැඳුරෙන් පිටවෙයි
  • ගජබා නැවෙන් ත්‍රිමලේ නාවික කඳවුරකට යයි: යළි රත්මලානට එයි
  • මාලදිවයින් ජනපති සෝලි ගුවන්තොටට එයි

රාජ්‍ය දරා සිටින්නේ එම රාජ්‍යයේ ජනයාය. ඔවුන්ගේ පරමාධිපත්‍යය හමුවේ සියලු පාලකයන් දණ නැමිය යුතුමය. අවසන නූතන ලෝකය එම පාඩම අපෙන්ම උගත්තේය. ගෙවී ගියේ ලාංකීය දේශපාලන ඉතිහාසයේ රහස් සපිරි සතියකි. සිදුවූයේ කුමක්ද යන්නත් සිදුවීමට නියමිතව ඇත්තේ කුමක්ද යන්නත් තවදුරටත් කිසිවෙක් නොදනිති. පසුගියදා ශ්‍රී ලාංකීය දේශපාලනයේ සිදු වූ ඓතිහාසික සිදුවීම් දාමයේ මෙතෙක් අනාවරණය නොවූ පැතිකඩක් අපි ඔබට අනාවරණය කරමු. 

ජූලි 9 වැනිදා සිදුවීම් දාමය පිළිබඳව විශ්වාස කටයුතු දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ හෙළිදරව් වන කතාවයි. ජූලි 9 වැනිදා කොළඹ දස දහසකට අධික පිරිසක් පැමිණිය හැකි බව බුද්ධි අංශ කල් ඇතුවම දැනගෙන සිටියේය. ඒ අනුව බුද්ධි අංශ පාලකයන්ට දැනුම් දී තිබුණේ මේ සඳහා උපරිම වශයෙන්  රැකවල් යොදාගන්නා ලෙසයි. එහෙත් එම ඓතිහාසික දිනයේ සියලු ගණනය කිරීම් වැරදී ගියේය. දස දහස් සංඛ්‍යාත පිරිසක් කොළඹට ළඟා වූහ. ජීවිතේ අන් කවරදාවත් අත්නොවිඳි පීඩාවන්ගෙන් මිරිකී සිටි පිරිස් එය අවසන් සටන ලෙස සැලකූහ. අවසන ගාලු මුවදොර සිට පිරිස කෙමෙන් ජනාධිපති මන්දිරය දෙසට පා ගමනින්ම පැමිණියෝය. 

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළ පරිදි බොහෝ දෙනකු නොදැන සිටිය ද මේ අවස්ථාව වන විටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රැඳී සිටියේ කොළඹ ජනාධිපති මන්දිරයේය. කෙසේ වෙතත් දහවල් වනවිට තත්ත්වය දරුණු අතට පෙරළුණි. කඳුළු ගෑස් ප්‍රහාර හරහා නැවතිය නොහැකි තරම් ජන ගඟක් ජනාධිපති මන්දිරය ඉදිරිපිටට ආහ. තත්ත්වය බරපතළ බවත් ජනාධිපති මන්දිරයෙන් ඉවත් විය යුතු බවත් ආරක්ෂක අංශ ජනාධිපතිවරයාට පැවසීය. ඒ අනුව පෙරවරු එකොළහයි හතළිස් පහ පමණ වනවිට ජනපතිවරයා සහ ආර්යාව හනික සිය ඇඳුම් පැළඳුම් හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පමණක් රැගෙන ජනාධිපති මන්දිරයෙන් බැහැරවීමට සූදානම් වූහ. මේ වනවිට බැසිල්  රාජපක්ෂ ද ඔවුන් සමඟ එකතුව සිටි බව අප වෙත ලැබුණු තවත් දේශපාලන ආරංචියක් අනුව කියවුණි.

ආරක්ෂක අංශ උපදෙස් මත ජනාධිපති මන්දිරය අල්ලපු වැටේ පිහිටි නාවික හමුදා මූලස්ථානය වෙත පිරිස ගමන් කළෝය. සෙසු පිරිස් ද මේ සමඟම ජනාධිපති මන්දිරයෙන් ඉවත්වීමේ ක්‍රියාවලියට අවතීර්ණ වූහ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිස දැඩි රැකවල් මැද නාවික හමුදා මූලස්ථානයේ රැඳී සිටියහ. මේ වන විටත් ජනාධිපතිවරයාව හදිසි ඉවත් කර ගැනීමක් වෙනුවෙන් "ගජබා" සහ "සයුරළ" යන නාවික හමුදාවට අයත් නෞකාවන් නාවික හමුදාවට අයත් වරාය ජැටියේ නැංගුරම්ලා තිබුණි.

මිනිත්තු පහළොවක විස්සක පමණ කෙටි කාලයක් තුළ ජනාධිපතිවරයා ඇතුළු සියලු පිරිස් නාවික හමුදා ජැටිය වෙත ළඟා වූහ. හෙලිකොප්ටර් පවා ප්‍රවාහනය කිරීමට පහසුකම් ඇති නාවික හමුදාවට අයත් ප්‍රධානතම නෞකාවක් වන "ගජබා" වෙත ජනාධිපතිවරයා, ආර්යාව ඇතුළු ප්‍රධානීහු ගොඩවූහ. සෙසු පිරිස  “සයුරළ" නෞකාවට ගොඩවූහ. මේ වන විටත් නාවික හමුදා යාත්‍රාවකට ප්‍රභූන් පිරිසක් ගොඩවූවාය යන ආරංචිය ක්‍රමයෙන් රට තුළ පැතිර යමින් තිබුණි.

යාත්‍රා දියත් කෙරිණි. ඒ වන විටත් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා මුහුදේ රැඳී සිටින බවට ඉන්දියාව, මාලදිවයින ඇතුළු අසල්වැසි රාජ්‍ය දැනුවත් කිරීමට නාවික හමුදාව පියවර ගෙන තිබුණි. සෙසු රාජ්‍යයන් ද අවධානයෙන් පසුවූයේ ශ්‍රී ලංකාව නම් කුඩා දිවයිනේ සිදුවූ දෙය පිළිබඳ මවිතයෙනි. මේ අතර යාත්‍රා ඉන්දියානු මුහුදු සීමාව ආසන්නයට ගමන් කළ බව කියවුණි. කෙසේ වෙතත් මෙම යාත්‍රා වෙනත් රටක මුහුදු සීමා වෙත ඇතුළත් නොවූ අතර නැවත දිවයින දෙසට හැරිණි. පිරිස සෙමින් නැවත ත්‍රිකුණාමලය වෙත පැමිණියහ. ඒ අනුව ජනාධිපතිවරයා නැවතත් ත්‍රිකුණාමලයෙන් රටට ඇතුළු විය. අනතුරුව ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරට අයත් දූපතක ආරක්ෂිත ස්ථානයක අවසානයේ පිරිස නවාතැන් ගත්හ. නාවිකයෝ දැඩි රුකවල් ලා සිටියහ. 

දින දෙකකට ආසන්න කාලයක් ජනාධිපතිවරයා මෙලෙස ත්‍රිකුණාමලය ආරක්ෂිත නිවස්නේ රැඳී සිටියේය. අවශ්‍ය වුවහොත් හදිසි පිටව යාමක් වෙනුවෙන් "ගජබා" සහ "සයුරළ" යාත්‍රා ද්විත්වය ද ත්‍රිකුණාමලයේ නැංගුරම්ලා තිබුණි. කෙසේ වෙතත් මේ අතරවාරයේ නැවතත් කොළඹ පැමිණිය යුතු බවට ජනපති තීරණය කළේය. ඒ අනුව ත්‍රිකුණාමලයෙන් හෙලිකොප්ටර් මගින් නික්මුණු ජනාධිපතිවරයා ඇතුළු පිරිස ළඟා වූයේ රත්මලාන ගුවන් හමුදා කඳවුර වෙතයි. ජනපති රත්මලානට පැමිණෙන මොහොතේ ඡායාරෑපයක් ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණි. අප ලද තොරතුරු අනුව එය සත්‍ය සේයාරුවකි.

මුලින්ම නාවික හමුදාවට අයත් බංගලාවක රැඳී සිටිමින් සිය ඉල්ලා අස්වීම සිදුවන ආකාරයත්, ඊට අදාළ කටයුතු සකස් විය යුතු ආකාරයත් ජනපති කාර්ය මණ්ඩලයට අවසන් වශයෙන් පැහැදිලි කළේය. ඒ අනුව ගාමිණී සෙනරත් ජනාධිපති ලේකම්වරයා ඇතුළු පිරිසට ද අවශ්‍ය උපදෙස් ලැබුණි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ,  කතානායකවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමඟ දුරකථන මාර්ග ඔස්සේ සාකච්ඡා පැවැත්වීය. එහෙත් ඒ වන විටත් ජනාධිපතිවරයා රැඳී සිටින ස්ථානය පිළිබඳ බොහෝ දෙනකුට අවබෝධයක් නොතිබුණි. 

“මේ අය කියනවා නම් මම ඉල්ලා අස්වෙන්නම්. හැබැයි මගෙත්, මගේ පවුලේ අයගේත් ආරක්ෂාව සහතික වෙන්න ඕන." යනුවෙන් ජනාධිපතිවරයා කතානායකවරයා සහ අග්‍රාමාත්‍යවරයාට දැන්වූ බව මෙම දේශපාලන ආරංචි ඔස්සේ දැනගැනීමට ලැබුණි. කෙසේ වෙතත් තමාගේ ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කරන්නේ තමා රටෙන් ඉවත් වී ස්ථිර ස්ථානයකට ගිය පසුව බව ජනපති ඔවුන්ට දැනුම් දී තිබුණි. ඒ අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන්  ජනාධිපතිවරයා රටින් පිට වී යන බවට අසල්වැසි ඉන්දියාව දැනුවත් කිරීමට කටයුතු කළේය.

මේ අතර දැනගන්නට ලැබුණු තවත් තොරතුරකට අනුව ඉන්දීය රජයේ ආරක්ෂක  උපදේශක අජිත් දොවාල් ජනපති ගෝඨාභය රාජපක්ෂ ඇමතුවේය. ඔහු පිටව යාමට අවශ්‍ය ගමන් මාර්ගය ඇතුළු පහසුකම් පිළිබඳ තොරතුරු විමසා සිටියේය. කෙසේ වෙතත් ජනාධිපතිවරයා ඉන්දියාවට යාමේ සූදානමක් හෝ ඉන්දියාවෙන් ජනාධිපතිවරයාට එරටට පැමිණෙන ලෙස ආරාධනාවක් නොවුණි. ජනපති මුල සිටම සැලසුම් කොට තිබුණේ මාලදිවයිනට යාමටයි. ඉන්දියාව අවසන් මොහොතේ අසල්වැසියාගේ පවා රාජ්‍ය තාන්ත්‍රික භූමිකාව නිරෑපණය කළේ අපක්ෂපාතීවය.

තමා නායකත්වය සැපයූ ශ්‍රී ලංකාව නම් රාජ්‍යයෙන් පිටවීම අරභයා ජනපතිගේ අවසාන ගමනාන්තය කටුනායක ගුවන්තොට විය. මේ වන විටත් සමාජ මාධ්‍යයේ බොහෝ තොරතුරු පැතිර යමින් තිබුණි. හිඟුරක්ගොඩින් රත්මලානෙන් ජනපති පිටවූ බව ඇතැම්හු කීහ. අප ලද තොරතුරු අනුව ඒ කිසිවක් සැබෑවක් නොවුණි. කෙසේ වෙතත් මහජන විරෝධය හමුවේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ හත්වැනි විධායක ජනාධිපතිවරයා මව්බිම හැර යන අවසන් හෝරා කිහිප එළඹෙමින් තිබුණි. මතු මතුත් මේ දිවයින පාලනය කරන සියලු පාලකයන් උගත යුතු ඉතිහාස පාඩම් වංශකතාවේ ලියැවෙන්නට විය.

මේ අතර ජනාධිපතිවරයා මාලදිවයිනට පැමිණීම පිළිබඳ දැන්වීමට අග්‍රාමාත්‍යවරයා මාලදිවයින් ජනපති සහ මාලදිවයින් කතානායකවරයා ඇමතුවේය. මාලදිවයින ජනපති පැමිණීම පිළිබඳ විරෝධයක් පළ නොකළ අතර ජනාධිපතිවරයාගේ පැමිණීම පිළිබඳව දන්වා ලිපියක් කල් ඇතිව තමන් වෙත ලැබීමට සලස්වන ලෙස කියා සිටියේය. ඒ අතර කඩිනමින් ජනාධිපති ලේකම්වරයා එම ලිපිය සකස් කළේය. දින කිහිපයක් සඳහා ජනාධිපතිවරයාට මාලදිවයිනට පැමිණීමට අවශ්‍ය බව මාලදිවයින් මහ කොමසාරිස්ට දන්වා යැවීමට ශ්‍රී ලංකා රජය කටයුතු කළේය. ඒ අනුව මෙම ගමනට අනුමැතිය හිමි විය.

මාලදිවයින් ජනාධිපති මොහොමඩ් සෝලි මහතාද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව ඇමතුවේය. ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට සිය රාජ්‍යයට පැමිණිය හැකි බවත්, ආරක්ෂාව ඇතුළු සියලු පහසුකම් සැපයීමට සූදානම් බවත් ඔහු ප්‍රකාශ කළ බව දේශපාලන ආරංචි මාර්ග අනුව දැනගන්නට ලැබුණි. ඒ අනුව සිය මිතුරු රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙය සිදු කළ හැකි බව මාලදිවයින් ජනපති පවසා තිබුණි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පවසා තිබුණේ තමා දින දෙකක කාලයක් පමණක් මාලදිවයිනේ රුඳී සිටින බවයි. අනතුරුව තමා සිංගප්පූරුව බලා පිටත්ව යාමට සැරසී සිටින බවද ඔහු මාලදිවයින් ජනාධිපතිවරයාට පැවසීය.

පළමුව ජනාධිපතිවරයා බලාපොරොත්තුව සිටියේ ශ්‍රීලංකන් ගුවන් යානයක් සිය පියාසැරිය වෙනුවෙන් භාවිත කිරීමටයි. බැසිල් රාජපක්ෂ දිවයිනෙන් පිටව යාමට දැරෑ උත්සාහයේදී ගුවන් කාර්ය මණ්ඩලය සහ ගුවන් මගීන් දැක්වූ විරෝධය හමුවේ ජනපති සිය අභිප්‍රාය වෙනස් කළේය. 

මේ අතර සිංගප්පූරු දේශපාලනයේ ප්‍රබල චරිතයක් වන එරට ස්වදේශ කටයුතු අමාත්‍ය කේ. ශන්මුගම් මහතාව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා දුරකථනයෙන් ඇමතුවේය. ඇතැම් වාර්තාවලට අනුව කේ. ශන්මුගම්ගේ මුතුන් මිත්තන්  ශ්‍රී ලංකාවේ උපන් අයයි. තවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන පරිදි ඔහු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පෞද්ගලික මිත්‍රයෙකි. මාලදිවයිනට ගොස්, අනතුරු සිංගප්පූරුව පැමිණීම පිළිබඳ ජනපති ඔහු හා සාකච්ඡා කර ඇතැයි කියැවේ. තමා මාලදිවයිනට ගොස් දින කිහිපයක් ගතකොට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා සිංගප්පූරුවට පැමිණීමට බලාපොරොත්තු වන බව ජනපති ඔහුට දන්වා තිබේ. ඒ අනුව මවුන්ට් එලිසබත් රෝහලේ වෛද්‍ය ප්‍රතිකාරද ලබාගනිමින් මාසයක පමණ කාලයක් සිංගප්පූරුවේ නවාතැන් ගැනීමට අවශ්‍ය කටයුතු පිළියෙළ කරදීමට කේ. ශන්මුගම් මහතා පොරොන්දු වී ඇත.

ශ්‍රී ලංකන් ගුවන් යානයකින් පිටව යාමේ බලාපොරොත්තුව ජනපති සහමුලින්ම අත්හැරියේය. ඒ අනුව පිටව යාම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඇන්ටනොව් යානයක් ලබාගැනීමට ජනපතිට අවශ්‍ය විය. ඒ සඳහා ජනාධිපතිවරයා ගුවන් හමුදාපතිවරයාව ඇමතුවේය. ඒ අනුව ගුවන් හමුදාපතිවරයා ඇන්ටනෝ 27 වර්ගයට අයත් යානාවක් ජනපතිට මාලදිවයින බලා පියාසර කිරීම වෙනුවෙන් සූදානම් කළේය. 

කටුනායක ගුවන් තොටුපලේ ආගමන විගමන අංශය වෙත නියමිත පරිදි පැමිණි ජනපතිගේ නිලධාරීහු ජනාධිපතිවරයා ඇතුළු පිටව යන පිරිසේ ගුවන් ගමන් බලපත්‍ර මුද්‍රා තබා අවශ්‍ය කටයුතු නියමිත පරිදි කළහ. මේ අතර අප වෙත ලැබුණු තවත් දේශපාලන ආරංචියකට අනුව ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා වෙත මෙම රාත්‍රියේ විශේෂිත දුරකථන ඇමතුමක් ලැබී තිබුණි. එම ඇමතුම ලැබුණේ අරගලයෙහි ඉදිරිපෙළ ක්‍රියාකාරී චරිතයක් නිරෑපණය කළ ඕමල්පේ සෝභිත හිමියන්ගෙනි.

ජනාධිපතිවරයාට රටින් පිටව යාමට අවශ්‍ය නම් එහි ඉටිහාඩ් ගුවන් සේවයට අයත් යානාවක් අළුයම දෙකට කටුනායකින් පිටත් බව හිමියෝ කීහ. ඊට අමතරව ජනපති පිටව යන්නේ නම් එය සඳහා කිසිදු බාධාවක් ඇති නොකරන බවද ඕමල්පේ සෝභිත හිමියන් මෙහිදී පවසා ඇතැයි කියැවේ. නිලධාරීන්ට සහ අදාළ අංශ වෙත දන්වා ජනපතිට බාධාවක් ඇති නොකොට රටින් පිටව යාමට අවකාශය සලසා දිය හැකි බව සෝභිත හිමි වැඩිදුරටත් අවධාරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. කෙසේ වෙතත් ජනාධිපතිවරයා ශ්‍රී ලාංකික ගුවන් මගීන් සමග එකම යානාවක පියාසර කිරීමට තවදුරටත් අකමැති වූ බව කියැවෙයි.

මේ වනවිටත් ගුවන් හමුදාවට අයත් යානය ඉන්ධන පුරවා ජනපති කැටුව පියාසර කිරීමට සියලු කටයුතු සූදානම් වෙමින් පැවතුණි. ඒ අතරේ ගුවන් ගමන් පාලකවරු කියා සිටියේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් යානයක් වෙනත් රටක් බලා පියාසර කිරීමට අවසර ලබාදිය නොහැකි බවයි. ඔවුහු මෙම ගුවන් ගමනට විරෝධය පෑමට විවිධ හේතු ගෙනහැර දක්වන්නට වූහ. මේ හරහා තවත් වියවුල් සහගත තත්ත්වයක් නිර්මාණය වෙමින් පැවතුණි. මේ මොහොතේදී ජනාධිපතිවරයා වෙනුවෙන් ඒකාබද්ධ හමුදා ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා නීතිඥ සංගමය සංගමයේ සභාපති සාලිය පීරිස් මහතා ඇමතූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

සිදුවෙමින් පවතින බාධා කිරීම නෛතික නොවන බවත්, එය මේ මොහොතේ සිදුවිය යුත්තක් නොවන බවත් හමුදාපතිවරයා නීතීඥ සංගමයේ සභාපතිවරයාට පවසා ඇතැයි කියැවේ. ඒ අනුව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් සාලිය පීරිස් මහතාගෙන් ඉල්ලා ඇත්තේ නෛතික තත්ත්වය පිළිබඳව අදාළ ගුවන් ගමන් පාලන නිලධාරීන් දැනුවත් කරන ලෙසයි. අප වෙත ලැබුණු ආරංචි අනුව මෙහිදී නීතීඥ සංගමයේ සභාපති සාලිය පීරිස් මහතා අදාළ නිලධාරීන් දැනුවත් කර ඇතැයි කියැවේ. ඒ අනුව ජනාධිපතිවරයාට නීත්‍යානුකූලව රටින් පිටවීමේ හැකියාවක් ඇති බව ඔහු එම නිලධාරීන්ට පැහැදිලි කර දී තිබේ.

මේ අනුව අළුයම එකයි දහය පමණ වනවිට ඇන්ටෝ නොවේ 27 ගුවන් යානයක් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට රැගෙන යෑමට සූදානම්ව තිබුණි. බාධා කිරීම් යම් පමණකට පහව ගියේය. ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් මවුබිමෙන් නික්මුණි. අවසානයේ අළුයම තුනයි හතට පමණ මාලදිවයිනේ වෙලෙනා ගුවන් තොටුපළට ඇන්ටෝ නොවේ 27 යානය ළඟාවිය. මේ වනවිටත් මාලදිවයිනට අයත් මෙම කුඩා ගුවන්තොටුපළ වටා එරට ආරක්ෂක අංශ දැඩි රුකවල්ලා තිබුණි.
ගුවන් තොටුපොළෙන් පිටතට ජනාධිපතිවරයා රුගෙන යෑමට වෙඩි නොවදින වාහන සහිතව ආරක්ෂක විධිවිධාන රුසක් මාලදිවයින් රජය ක්‍රියාත්මක කළේය. මේ මොහොත පිළිබඳ මොනයම් හෝ ක්‍රමයකින් ආරංචි ලද ශ්‍රී ලාංකිකයන් යැයි සැලකිය හැකි කිහිපදෙනෙකු මෙහි පැමිණ සිටි බව කියැවේ. ඔවුන් කෙරෙන් ඒ මොහොතේ කිසිදු විරෝධතාවක් ප්‍රකාශයට පත් නොවූ නමුත්, කිහිප දෙනෙකු අදාළ සිදුවීම ඡායාරෑප ගතකොට තිබුණි. මේ අතර මාලදිවයින් ජනාධිපතිවරයා ආරක්ෂිත දූපතක පිහිටි තරු පන්තියේ හෝටලයක් වන Waldorf of Astoria Maldives නම් හෝටලය ශ්‍රී ලංකා ජනපතිට නවාතැන් ගැනීමට සූදානම් කර තිබුණි. හෝටලයට පැමිණි පසු මාලදිවයින් කතානායක මොහොමඩ් නෂීඩ් මහතාද පැමිණ ජනපතිවරයා හමු වූයේය.

ශ්‍රී ලංකා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම හෝටලයට පැමිණ නවාතැන් ගත්තේය. මේ අතර කාලයේ මෙරට තුළ ජනාධිපතිවරයා ඉල්ලාගේ අස්වීමේ දිනය ප්‍රකාශයට පත්ව තිබුණි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේද අරමුණ වූයේ සිංගප්පූරුවට ගිය පසුව ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කිරීමයි. ඒ අනුව පසුදින මාලදිවයිනින් සිංගප්පූරුව බලා පිටත්ව යන ගුවන් යානයක් විය. ජනාධිපතිවරයා, ජනාධිපති ආර්යාව සහ ආරක්ෂකයන්ට දෙදෙනාට අවශ්‍ය ආසන හතර එම ගුවන් යානයේ වෙන්කර ගැනීම නොහැකි වූයේ ඒ වනවිටත් එම යානය ගුවන් මගීන්ගෙන් පිරී තිබූ නිසාවෙනි. මේ අනුව ගුවන් ගමන පසුදිනට කල් ගියේය.

සිංගප්පූරුව වෙත ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා ලෙසම ගමන් කිරීම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අවශ්‍යතාවය විය. මන්ද ඔහුහට අවශ්‍ය ආරක්ෂක විධිවිධාන එරට තුළදී ලබා ගැනීමට හැකිවන්නේ රාජ්‍ය නායකයකු ලෙස ගොඩ බටහොත් පමණි. එහෙත් මේ අතර කාලයේ ශ්‍රී ලංකා අරගලකරුවන් ජනපතිගේ ඉල්ලා අස්වීමේ ලිපිය බලාපොරොත්තුවෙන් පසුවූහ. තත්ත්වය නැවත උණුසුම් වෙමින් පැවතීම හේතු කොටගෙන වැඩබලන ජනාධිපතිවරයෙකු පත් කිරීමට ජනපති අවසානයේ තීරණය කළේය.

කතානායකවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කොට අදාළ එකඟතාවන්ට පැමිණ ලිපිය සකස් කළ මුත් ජනපති රුඳී සිටි හෝටලයේ ෆැක්ස් පහසුකම් නොතිබුණි. ඒ අනුව අදාළ ලිපිය ශ්‍රී ලංකාව වෙත එවීම සඳහා ජනපතිගේ ආරක්ෂක නිලධාරියාට වෙනත් දූපතකට ගොස් හුලුලේ ගුවන් තොටුපළ ආසන්නයේ පවතින මධ්‍යස්ථානයක් භාවිතා කිරීමට සිදුවිය. මෙම පමාව ශ්‍රී ලංකාවේ තත්ත්වය තවත් බරපතළ කළේය. වික්‍රමසිංහ මහතා තමා වැඩබලන ජනාධිපතිවරයා ලෙස ප්‍රකාශ කරමින් හදිසි නීතිය පැන වූයේය. එහි නීත්‍යානුකූලභාවය පිළිබඳ පිරිසක් ප්‍රශ්න කර සිටියහ.

කෙසේ වෙතත් පසුව අදාළ ලිපිය කතානායකවරයා වෙතත්, ජනාධිපති ලේකම්වරයා වෙතත් ලැබුණි. එහෙත් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත්කිරීම සම්බන්ධව අරගලයේ නියුතු මහජනයා සතුටු නොවූහ. ඔවුහු රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව නැවත දැවැන්ත විරෝධතාවක් සංවිධානය කළහ. අග්‍රමාත්‍ය කාර්යාලයද වටලෑම සිදුවිය. මේ අතර කාලයේ පෞද්ගලික සංචාරයක් සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවට ඇතුළුවීමට අවසර දී ඇති බවට සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කළේය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා දේශපාලන රුකවරණ ඉල්ලා නොමැති බව ඔවුන් වැඩිදුරටත් එම නිවේදනයේ සඳහන් කර තිබුණි. ඒ අනුව මාලේ තීරණාත්මක දින දෙකක් ගත කිරීමෙන් පසු ජනපතිගේ සිංගප්පූරු ගමන සූදානම් විය.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සඳහා මෙම ගුවන් ගමනට අවශ්‍ය කටයුතු සංවිධානය කරදීම වෙනුවෙන් මාලදිවයින් ජනාධිපති ඉබ්‍රහිම් මොහොමඩ් සෝලි සෘජුව මැදිහත් විය. සෞදි අරාබි ගුවන් සේවය අමතා ඔහු ආරක්ෂා සහිතව ගමන් කිරීම සඳහා ව්‍යාපාරික පන්තියේ අසුන් ජනපති ඇතුළු සිව්දෙනා වෙනුවෙන් වෙන් කළේය. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මාලදිවයිනෙන් පිටත්ව යන මොහොතේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට පෞද්ගලිකවම සමුදීමට මාලදිවයින් ජනපති වෙලේනා ජාත්‍යන්තර ගුවන් තොටුපලටද පැමිණියේය. අනතුරුව ජනපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිස රුගත් සෞදි අරාබි ගුවන් සේවයට අයත් SV788 දරන යානයක ගුවන් ගමන ඇරඹිය. අවසානයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිස සිංගප්පූරුවේ චැංගි ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත රාත්‍රි හතයි දාහතරට පමණ ගොඩ බැස්සෝය. මාධ්‍ය ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාව දැකබලා ගැනීමට පැමිණ සිටියෝය. එහෙත් විකල්ප මාර්ගයක් භාවිතා කරමින් සිංගප්පූරු රජයේ ආරක්ෂාව යටතේ ආරක්ෂිත හෝටල් පරිශ්‍රයක් වෙත ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ගමන් කළේය. මෙම ගුවන් ගමන වාර්තාගත ගුවන් ගමනක් බවට පත්වූයේ ඒ වනවිටත් ලොව වැඩිම පිරිසක් නිරීක්ෂණය කරමින් සිටි ගුවන් ගමන මෙය වූ බැවිනි. 

ජනපති සිංගප්පූරුවේ හෝටලයට පැමිණෙන විට එම ස්ථානයට සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ශෂිකලා ප්‍රේමවර්ධන මහත්මිය පැමිණ සිටියාය. ජනාධිපතිවරයා  ඇය සමග රාත්‍රී භෝජනය ගනිමින් දේශපාලන කරුණු ගැන සාකච්ඡාවක්ද කළේය. මෙහිදී ජනපතිගේ පළමු රාජකාරිය වී ඇත්තේ සිය ඉල්ලා අස්වීම් ලිපියට අත්සන් තැබීමයි. එය ඉතා කලබලකාරී පසුබිමක් තුළ සිදුව තිබේ. දේශපාලන ආරංචි අනුව මෙහිදීද තරමක පැටලැවිලි සිදුව ඇත. ජනාධිපතිවරයා වරක් කියවා හදිසියේම අත්සන් තැබුවේ ජනාධිපති කාර්යාලයෙන් එවා තිබූ ඉල්ලා අස්වීමේ ලිපියේ කෙටුම්පතකටය.

අනතුරුව ජනපති විද්‍යුත් තැපෑල හරහා කතානායකවරයා වෙත අදාළ ලිපිය ලැබීමට සැලසුවේය. මෙම ලිපියේ වරදක් ඇති බවත් මෙය නිත්‍යානුකූලව නිවේදනය කිරීමට නොහැකි බවත් කතානායකවරයා එම අවස්ථාවේදී පවසා ඇතැයි කියැවේ. එම ලිපිය ජනාධිපතිවරයා විසින් සකස් කරන ලද්දක් නොවන බවටද කතානායකවරයාට සැකයක් මතුවී ඇතැයි කියැවේ. ඉල්ලා අස්වීමේ ලිපියක සඳහන් නොකළ යුතු දෑ එහි සඳහන්කර ඇති බව කතානායකවරයා වැඩිදුරටත් මෙහිදී පවසා ඇතැයි දැනගන්නට ලැබේ. මේ අතර තවත් ලිපියක් ජනපතිගේ ඉල්ලා අස්වීමේ ලිපිය ලෙස සමාජ මාධ්‍යයේ හුවමාරු වෙමින් තිබුණි. මේ සමඟම නිර්මාණය වූයේ ලිපි අර්බුදයයි.

කතානායකවරයා ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා අමතා මෙම ලිපිය ඔබතුමා ඇතුළු කණ්ඩායම විසින් සකසන ලද්දක්දැයි විමසා සිටියේය. එහෙත් පුදුමයකට මෙන් එම ලිපිය ජනපති ලේකම් විසින් සකසනු ලැබූ ලිපිය නොවුණි. ඒ වනවිටත් ලේකම්වරයා ජනාධිපතිවරයාගේ නියෝගයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කෙටුම්පත් කොට විද්‍යුත් තැපෑල භාවිතයෙන් ජනපති වෙත යොමුකර තිබුණි. අයෝමා රාජපක්ෂ ජනාධිපති ආර්යාවටද ලිපියේ කෙටුම්පත වට්ස්ඇප් භාවිතයෙන් යවා තිබුණි. එහෙත් සිංගප්පූරුවට පැමිණි පසුව අදාළ පණිවිඩ බැලීමට මෙම පිරිසට අතපසු වී තිබේ. ඒ අනුව ජනාධිපතිවරයා හදිසියේම කියවා අස්සන් තබා ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයේ වෙනත් අයෙකු විසින් කෙටුම්පත් කර එවනු ලැබූ ඉල්ලා අස්වීමේ ලිපියකි.
ඇතිවූ වියවුල් සහගත තත්ත්වය හේතුවෙන් කතානායකවරයා ජනාධිපතිවරයා වෙත දන්වා සිටියේ මෙම ලිපිය නිවේදනය කිරීමට නොහැකි බවයි. එසේම ඉල්ලා අස්වීමේ නිවේදනය ප්‍රකාශයට පත් කිරීමට නම් අස්වීමේ ලිපිය භෞතිකවම තමන් අතට පත්විය යුතු බව කතානායකවරයා වැඩිදුරටත් පවසා තිබුණි. ඒ අනුව නැවතත් ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා විසින් සකස් කරන ලද ඉල්ලා අස්වීමේ ලිපියට ජනපතිවරයා අස්සන් තැබීය. අනතුරුව එම ලිපියේ සත්‍ය පිටපත මහ කොමසාරිස් ශෂිකලා ප්‍රේමවර්ධන අතට ජනපති ලබා දී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි.

ජනපති කියා සිටියේ මෙම ලිපිය හෙට කොළඹ බලා පිටත්වන ශ්‍රී ලංකන් ගුවන් යානයේ තානාපති තැපැල් මල්ල ඔස්සේ කතානායකවරයා වෙත යවන ලෙසය. ඒ අතර මෙම ලිපියේ පිටපත් විද්‍යුත් තැපෑල සහ වට්ස්ඇප් මාධ්‍ය භාවිතා කරමින් ජනපති කතානායකවරයා වෙත යොමුකර තිබේ. 

සතිය ආරම්භයේදී පක්ෂනායක රැස්වීමේදී තීරණය වූ පරිදි ජූලි 20 වැනිදා නව ජනාධිපතිවරයෙක් තෝරාගැනීම සඳහා පාර්ලිමේන්තු ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත විය. ජූලි 19 වැනිදා ජනාධිපති ධූරය සඳහා නාමයෝජනා භාරගන්නා බවද නිවේදනය කර තිබුණි. ජනාධිපති ධුරය සඳහා තරග කරන පිරිස් ලෙස සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ, ඩලස් අලහප්පෙරුම අයන අයගේ නම් දේශපාලන කරළියේ කතාබහට ලක්විය. සජිත් ප්‍රේමදාස මහතා සහ ඩලස් අලහප්පෙරුම මහතා අතර සමගි සන්ධානයක් ගොඩනඟා ජනපති අගමැති ධුර බෙදාගැනීමට සැලැස්වීම විපක්ෂ බලවේගවල බලාපොරොත්තුව විය.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හට ජනාධිපති ධූරය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහාය හිමිවන බවද කියැවුණි. රනිල් වික්‍රමසිංහ මහතා ද ජනාධිපති වීම සඳහා අවශ්‍ය පාර්ලිමේන්තු ඡන්ද එකතුකර ගැනීමට විවිධ රහස් සාකච්ඡා පවත්වමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. ඊට අමතරව වැඩබලන ජනාධිපතිවරයා ලෙස ඔවුහු අමාත්‍යාංශ සතු ආයතන කිහිපයක්ම තමා වෙත පවරා ගැනීමද සිදුකළේය. මේ අතර හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාද ජනාධිපති ධුරය භාරගැනීමට කැමැත්තෙන් සිටින බව ප්‍රකාශ කර තිබුණි.

සිකුරාදා දිනය තීරණාත්මක දේශපාලන තීන්දු රුසක් වෙනුවෙන් විවර විය. පෙරවරු නමයයි තිහයට පමණ කතානායකවරයා ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීම සිදු වූ බව ප්‍රකාශයට කළේය. ජනාධිපති ධූරයේ කටයුතු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකරන බව ඔහු නිවේදනය කළේය. එසේම ප්‍රජාතන්ත්‍රවාදීව පාර්ලිමේන්තුව තුළින් නව ජනාධිපතිවරයා තෝරා ගන්නා බව කතානායකවරයා ව්‍යවස්ථානුකූලව පවසා සිටියේය. ඔහු ඒ සඳහා සැමගේ සහායද ඉල්ලා සිටියේය.

සිකුරාදා දහවල් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති ලෙස අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. මෙම දිවුරුම් දීම සිදුවූයේ කොල්ලුපිටිය වාලුකාරාම විහාරස්ථානයේදී වීම විශේෂත්වයකි.

 චමිදු නිසල් ද සිල්වා