2022 මැයි 29 වන ඉරිදා

තාත්තාට ඇමැතිකම ගන්න එපා කියූ පුතා

 2022 මැයි 29 වන ඉරිදා, පෙ.ව. 10:00 412

  • තනතුරු නොලැබුණු අයගෙන් රහසේ විවේචන
  • පවිත්‍රාටත් ළඟදීම ඇමැති පදවියක්?
  • මට ඇමැතිකමක් එපා කියූ හිටපු ඇමැති!
  • නලීන් ප්‍රනාන්දුට ඇමැති පදවියක් ලැබුණේ කොහොමද?
  • සජබ පිරිසක් ඇරියුම එපා කියති
  • නිමල් සිරිපාලගේ තීන්දුවෙන් ශ්‍රීලනිපය අමාරුවේ
  • අලි සබ්රි පවුලේ ඉල්ලීමට අවනත වෙයි
  • මහින්ද කොළඹ පැරණි මිතුරන් සමඟ
  • ජවිපෙ මහ මැතිවරණයක් ඉල්ලයි

ආර්ථික කලියුගයේ තවත් එක් දේශපාලන සංක්‍රාන්ති සතියක් ගෙවී ගියේය. ඇමැති පත්කිරීම්, ව්‍යවස්ථා සංශෝධන, පක්ෂ අභ්‍යන්තර අර්බුද පිළිබඳ කතා කරළියේ ඉහළ අවධානයක් දිනා ගත්තේය. ඒ අතර රටපුරා පෝලිම් නොනැවතී පසුපසට දික් ඇදුණි. අරගලය දැහැනට සම වැදුණෝ ඒ තුළම ගිලී උන්හ. මහජන වේදනා විටෙක බිහිසුණු ලෙස පුපුරා ගිය අතර තවත් විටෙක රහසේ කඳුළු ලෙස ගලා ගියේය.

ඉකුත් සතියේ අන්තර්වාර ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධූර බෙදිල්ල දේශපාලන කරළියේ ඉහළ අවධානයක් දිනූ සිදුවීමක් විය. කැබිනට් දිවුරුම් දීමේ තෙවැනි වටය ඉකුත් මැයි 23 වැනිදා රඟදැක්වුණි. එදින නව අමාත්‍යවරු අට දෙනෙක් දිවුරුම් දුන්හ. පොදුජන පෙරමුණ නියෝජන කරමින් පාර්ලිමේන්තු පැමිණි පස්දෙනෙක් ඒ අතර සිටියහ. කෙසේ වෙතත් මෙම ඇමති ධූර බෙදිල්ල පිළිබඳ පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් රුසක් සිටියේ අමනාපයෙනි. කැබිනට් ඇමැති පදවි සඳහා ලියාපදිංචි වී සිටි පොහොට්ටුවේ නම් දැරෑ ජ්‍යෙෂ්ඨයෝ අන්තර්වාර කැබිනට්ටුව රහසේ විවේචනය කළෝය.

ඇමැතිකම් ලැබෙතැයි සිතූ නමුත් නොලැබුණ පිරිස අතර එස්.එම්. චන්ද්‍රසේන, එස්.බී. දිසානායක, ගාමිණී ලොකුගේ, දිලුම් අමුණුගම, කනක හේරත්, විමලවීර දිසානායක, පවිත්‍රා වන්නිආරච්චි වැනි පොහොට්ටු ප්‍රබලයන්ගේ නම්ද අන්තර්ගත විය. නව කැබිනට්ටුව තුළ කිසිදු කාන්තා නියෝජනයක් නොවීමත්, දිස්ත්‍රික්ක එකොළහක් සඳහා කිසිදු අමාත්‍ය ධූරයක් හිමි නොවීමත් පිළිබඳ තිරය පිටුපස කතාබහ ඇතිවිණි.

විශාල මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් ඇති කුරුණෑගල දිස්ත්‍රික්කයටද  කිසිදු ඇමැතිකමක් නොලැබීම වඩාත් කැපී පෙනුණි. ඒ අතර කල් ඇතුවම පොහොට්ටුවේ චෝදනා ලැබූ අයගේ නම් ලැයිස්තුවක් ඇමැතිධූර ප්‍රදානය සඳහා නොසලකා හැරීමටද තීරණය වී තිබූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. මේ ආදී දේශපාලනික ආරංචි සහ හේතූන් මත පොහොට්ටුවේ දේශපාලන යාන්ත්‍රණය මෙහෙයවන ප්‍රබලයෝද ඇමැතිකම් බෙදිල්ල සම්බන්ධව නොරිස්සුම් සිතින් පසු වූ බව කියැවුණි.

කෙසේ වෙතත් පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කාන්තා කටයුතු අමාත්‍ය ධූරය භාර දීමට ජනපති සැලසුම් කොට තිබූ බව පසුව දැනගන්නට ලැබුණි. එහෙත් මැයි 9 වැනිදා සිදුවීම සම්බන්ධව ඇයගෙන්ද ප්‍රකාශ සටහන් කර ගනීමක් සිදුව ඇති බැවින් අදාළ නීතිමය කටයුතු අවසන් වනතෙක් අමාත්‍ය ධූරය භාර නොගන්නා ලෙස ජනපති ඇයට උපදෙස් ලබාදී ඇතැයිද කියැවේ. තිරය පිටුපස මේ ආදී කතා රුසකි. කෙසේ වෙතත් තවදුරටත් ඉතිරිව ඇති කැබිනට් ආසනයක් ඉදිරියේදී පවිත්‍රාට ලැබීමට හැකි බවද අනාවැකි පළවේ.

මේ අතර ජනපතිගේ දෑත් ශක්තිමත් කිරීමට නිරන්තරව ඉදිරිපත් වන මහින්දානන්ද අලුත්ගමගේ &මට ඇමතිකම් එපා* යැයි ජනපතිට කී බවක්ද කරළියේ කතා අතර කියැවේ. තවත් ආරංචියකට අනුව දිලුම් අමුණුගමහට කැබිනට් අමාත්‍ය ධූරයක් ලබාදීමට ජනපතිට උවමනා වූයේය. එහෙත් මහනුවර දිස්ත්‍රික්කයෙන් ඒ වනවිටත් කෙහෙළිය රඹුක්වැල්ලට කැබිනට් පදවියක් ලබාදීමට සියලු කටයුතු සූදානම් කොට තිබුණි. එම නිසාම මහනුවරට ඇමැතිකම් දෙකක් ලබාදීම සම්බන්ධ සෙසු ජ්‍යෙෂ්ඨයන් අතර වූයේ  අමනාපයකි. එමනිසාම ජනපති තරුණ දක්ෂයකු ලෙස විශ්වාස කරගෙන සිටින දිලුම්ට මෙවර කැබිනට් පදවියක් නොලැබුණි.

කැබිනට් නාමාවලියේ බොහෝ දෙනකු පුදුමයට පත්කළ නමක් වූයේ නලීන් ප්‍රනාන්දුය. ඔහු කොහේ සිට පැමිණයේද? කෙසේ කැබිනට් අමාත්‍ය ධුරයක් ලැබුවේද? දේශපාලන කරළියේ වූයේ කුහුලකි. නලීන් ප්‍රනාන්දුට කැබිනට් අමාත්‍ය ධුරයක් ලැබීමද පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන්ගේ කලකිරීමට ප්‍රබල හේතුවක් විය. නලින් ප්‍රනාන්දු පසුගිය 2020 මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ අයෙකි. මෙවර ඔහුට ලැබුණේ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය ධූරයයි.

එම ඇමති පදවිය පිටුපස වූයේ වෙනස්ම කතාවකි. ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමෙන් නිමල් ලන්සා මන්ත්‍රීවරයාට මෙම අමාත්‍ය ධූරය ලබාදීමට කටයුතු සූදානම් කොට තිබූ බව කියැවේ. එක්තරා දේශපාලන ආරංචියකට අනුව ලන්සා කියා ඇත්තේ &මට මේ ඇමති ධූර එපා, මේක නලින් ප්‍රනාන්දුට දෙන්න* යනුවෙනි. සැබවින්ම මෙය තරමක් මවිතය දනවන පිරිනැමීමකි. එහෙත් මේ පිටුපස තවත් දේශපාලන කරුණු කාරණා ඇති බව තතුදත්තෝ කීහ.

මෙම තොරතුරු අනුව අන්තර්කාලීන ආණ්ඩුවේ කැබිනට් පත්කිරීම් සිදුකිරීම ලෙහෙසි පහසු කාර්යයක් නොවූ බව පැහැදිලිය. ආණ්ඩුවට ඇතුළත් වීමට කැමැත්ත පළකළ කණ්ඩායම් අතරද එකඟතා ගොඩනගා ගැනීම ඉතා අපහසු විය. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා කල් ඇතුවම විපක්ෂයෙන් කිහිප දෙනෙකු කැබිනට්ටුවට රුගෙන එන බවට පොරොන්දු දී තිබුණි. එහෙත් එයද හිතූ තරම් පහසු නොවුණු අතර ඔහුට රුගෙන ඒමට හැකිවූයේ හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර පමණි. හර්ෂ, එරාන්, මරික්කාර් තමන් වෙත ලැබී තිබූ ආරාධනා විවිධ හේතු මත ප්‍රතික්ෂේප කළෝය. එහෙත් ඉදිරි සතියේ දිවුරුම් දීමට නියමිත රාජ්‍ය අමාත්‍යවරු අතරට සජබ මන්ත්‍රීන් කිහිප දෙනෙක්ද ඇතුළත් විය හැකි බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි.
සමගි ජන බලවේගය අභ්‍යන්තරයේද කැබිනට් හබය හේතුවෙන් හටගත් මතභේදයන් දික් ගැසී ගියේය. ඒ හරහා තරමක ව්‍යාකූල තත්වයක් නිර්මාණය වූ බව කියැවුණි. පක්ෂය සිය මතවාදයන් නියෝජනය නොකරන්නේ නම් පක්ෂය තුළම රුඳෙමින් ප්‍රතිසංස්කරණවාදී අරගලයක නිරත වීමට පිරිසක් උත්සුක වන බව සජබ ආරංචි මාර්ග තහවුරු කළේය. ඔවුන් වෙනම සංවිධානය විය හැකි බවද කියැවුණි.

හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයාගේ නම මෙහිදී ප්‍රධානත්වයෙහි ලා ඉස්මතු වීම සුවිශේෂී කරුණක් විය. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ සිට පැමිණි සාම්ප්‍රදායික මත දරන ජ්‍යෙෂ්ඨයන් පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දෑත් ශක්තිමත් කිරීම සඳහා පෙරමුණ ගනිමින් සිටියහ. ඉදිරියේදී පාර්ලිමේන්තුවට රුගෙන එන අණ පනත් ආදිය පිළිබඳ අදහස් දැක්වීමේදී සජබ මතවාදී ගැටුම තිරය ඉදිරිපිට රඟදැක්වෙනු ඇතැයි තතු දත්තෝ අනාවැකි කියති.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද කැබිනට් තනතුරු හරඹය හේතුවෙන් අභ්‍යන්තර පුපුරා යාමක් සිදුවිය. මෙම ගැටුමේදී මෛත්‍රීපාල සිරිසේන, දයාසිරි ජයසේකර, ශාන් විජයලාල්, රංජිත් සියඹලාපිටිය ඇතුළු කණ්ඩායමක් එක් පාර්ශ්වයක් නියෝජනය කළෝය. මුල සිටම රනිල් වික්‍රමසිංහ අන්තර්වාර පාලනයේ කැබිනට් අමාත්‍ය ධුර භාර නොගත යුතු බව මෙම පිරිසගේ ස්ථාවරය විය. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා කෙරේ මුලසිටම අප්‍රසාදයෙන් පසුවූයේය.

කෙසේ වෙතත් මෛත්‍රීපාල සිරිසේන මහතාට පමණක් දෙවැනි වන ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨතමයා නිමල් සිරිපාල ද සිල්වා මහතා අන්තර්වාර ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයාට සහයෝගය දැක්විය යුතු බව විශ්වාස කළේය. මෙම මත ගැටුම්වල ක්‍රමික විකාශනයේ ප්‍රතිඵලය වූයේ නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර, චාමර සම්පත් ඇතුළු පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ වෙනම කඳවුරක් නිර්මාණය කර ගැනීමය.

ඔවුහු ආණ්ඩුවට සම්බන්ධ වීමට සහ අමාත්‍යධුර භාර ගැනීමට කැමැත්ත පළ කළෝය. නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර යන ජ්‍යෙෂ්ඨයෝ එහිලා පෙරමුණ ගත්හ. ඒ අනුව මෙම හය දෙනාගේ කණ්ඩායම කැබිනට් අමාත්‍ය ධූර තුනකුත් රාජ්‍ය අමාත්‍යධුර තුනකුත් ඉල්ලා සිටියහ. නමුත් ඔවුනට හිමිවූයේ කැබිනට් අමාත්‍ය ධූර දෙකක් පමණි. දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා හටද කැබිනට් අමාත්‍ය ධුරයක් ඉල්ලා තිබූ නමුත් අවසන් මොහොතේදී එය ඔහුට නොලැබී ගියේය.

ඒ අනුව හයදෙනාගේ කණ්ඩායමේ සිව්දෙනකු ඉතුරු විය. එහෙත් ඔවුන් වෙත ලැබීමට නියමිතව ඇත්තේ රාජ්‍ය අමාත්‍යධුර තුනක් පමණි. දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර යන අයට එම රාජ්‍ය අමාත්‍ය ධූර ලැබීමට නියමිත බව කියැවේ. එවිට ඌවේ හිටපු මහ ඇමැති වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක හට ඇමතිකමක් නොලැබී යන තත්ත්වයක් නිර්මාණය වී ඇත. පැතිර යන දේශපාලන ආරංචි අනුව ඔහු තමන්ට සිදුවීමට යන දේ පිළිබඳව දැඩිව කනස්සල්ලට පත්ව සිටින බව කියැවේ.

මුදල් අමාත්‍ය ධූර කිරුළද අවසානයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවිය. වික්‍රමසිංහ මහතා ඉකුත් මැයි 25 වැනිදා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේය. ඇමති ධූරය බාරගත් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ජූනි අවසන් සතිය වනවිට සහන අයවැයක් පාර්ලිමේන්තුවට රුගෙන ඒමට කඩිනම් සැලසුම් සකසමින් සිටියේය. 

කෙසේ වෙතත් මුදල් අමාත්‍ය ධූරය සම්බන්ධ මුල සිටම දේශපාලන කරළිය තුළ වූයේ කුතුහලයකි. එමනිසාම මුදල් ඇමතිකම නම් වූ කටු ඔටුන්න පිළිබඳ තිරය පිටුපස කතා බොහෝ විය. මුදල් ඇමති ධූරය සම්බන්ධ හිටපු ඇමැති අලි සබ්රි සමඟ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිගින් දිගටම සාකච්ඡා කළ බව ඉන් එක් කතාවකට අනුව කියැවුණි. ජනපතිට අමතරව ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද මුදල් ඇමතිකම බාරගන්නා ලෙස හිටපු ඇමති අලි සබ්රි මහතාගෙන් නිරන්තරයෙන් ඉල්ලා ඇති බව කියැවේ.

කෙසේ වෙතත් සබ්රි පවුලේ පුතුගෙන් එකම ඉල්ලීම වී ඇත්තේ මුදල් ඇමතිකම යළි බාර නොගන්නා ලෙසය. සෙසු නෑසියන්ගෙන්ද අලි සබ්රි මහතාට මෙම තනතුර භාර නොගන්නා ලෙස බලපෑම් එල්ල වී ඇතැයි කියැවේ. ඒ අනුව මුදල් ඇමති ධූරය භාර ගැනීම සබ්රි මහතා ප්‍රතික්ෂේප කර ඇත. කෙසේ වෙතත් පෙර අවස්ථාවේදීද මුදල් ඇමති ධූරය අලි සබ්රි මහතා බාර ගත්තේද පවුලේ හිතවතුන්ගෙන් විරෝධතාවක් සහිතවය. එහෙත් අවසානයේ මෙවර ඔහු පවුලේ අයට අවනත විය. ඒ අනුව අවසානයේ අග්‍රාමාත්‍යවරයා වෙතම මුදල් ඇමති කටු ඔට්ටුන්න පැළඳවීමට ජනාධිපතිවරයා තීරණය කළේය.

මේ අතර පසුගිය සතියේ 21 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් විය. කඩිනමින් එය සාකච්ඡා කොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කෙරුණු අතර පක්ෂ නායකයන්ගේ අදහස් සහ යෝජනා ලබාගැනීමට කෙටුම්පත ඔවුන් වෙත යොමු කෙරුණි. කෙටුම්පත අධ්‍යයනය කිරීමට සජබ නීතීඥ කමිටුවක් පත්කර තිබූ අතර ජාතික ජනබලවේගයද එය අධ්‍යයනය කරමින් සිටියේය. මෙම සංශෝධනය සම්බන්ධ බර නව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා කරට ගෙන තිබුණි. ඔහුගේ මැදිහත්වීමෙන් පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් සහ අග්‍රාමාත්‍යවරයා සම්බන්ධ කරගනිමින් සිකුරාදා වනවිට විශේෂ සාකච්ඡාවක්ද කැඳවා තිබුණි.

කෙසේ වෙතත් 21 වැනි සංශෝධනය සම්බන්ධ පොහොට්ටුවේ මතය කුමක්ද? එය දේශපාලන කරළියේ බොහෝ දෙනෙකු තුළ වූ පැණයකි. පසුගිය බ්‍රහස්පතින්දා නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබිණි. මැයි 9 වැනිදා කෝලාහලයේදී දේපළ හානි සිදුවූ ජ්‍යෙෂ්ඨයන් විසිපස් දෙනෙක් ඊට සහභාගි වූහ. ඔවුන් තමන්ට සිදු වූ හානි පිළිබඳව සහ පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇත. මේ අතර නව ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳවද සාකච්ඡා නිර්මාණය වූයේය.

මෙහිදී නව ව්‍යවස්ථා සංශෝධනයට සහාය දැක්වීම සම්බන්ධව විවිධ මත පළවිය. 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ පවතින විධිවිධාන වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලයෙන් පසුව ක්‍රියාත්මක විය යුතු බව පිරිසක් යෝජනා කළහ. එහෙත් තවත් පිරිසක් ප්‍රශ්න කර සිටියේ &19 වැනි සංශෝධනය අහෝසි කරන බව කියා බලයට පැමිණි අපි 19ට වඩා බලවත් සංශෝධනයකට සහාය දක්වන්නෙ කෙසේද* යන්නයි. මේ අතර වර්තමාන දේශපාලන අර්බුදය මෙම සංශෝධනය හරහා විසඳෙනවා නම් තමන් ඊට සහයෝගය දිය යුතු බව තවත් පිරිසක් කීහ.

ඒ අනුව පසුගිය සතිය අවසන් වනවිටත් පොහොට්ටුව අභ්‍යන්තරයෙන් 21 පිළිබඳව පැවතියේ මිශ්‍ර මතයකි. කෙසේ වෙතත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ප්‍රතිපත්තිමය එකඟතාවක් නොමැති නමුත් ජනපති සතු විධායක බලතල යම් ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට ලබාදීමට පක්ෂයක් ලෙස පොදුජන පෙරමුණ එකඟ බව පෙනී ගියේය. තවත් කණ්ඩායම් කිහිපයක් කැඳවා දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට අවසන් තීරණයකට එළැඹීමට ඔවුහු සූදානම් වූහ. මේ අතර පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අභියෝගයට ලක්වන ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධව වගන්තිය දෙස කාගේත් අවධානය යොමුව තිබුණි.

බ්‍රහස්පතින්දා පස්වරුවේ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ තවත් වැදගත් සාකච්ඡාවක් පැවැත්වුණි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ පක්ෂ 10යේ කණ්ඩායමේ උදය ගම්මන්පිල, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ ඇතුළු පක්ෂ නායකයන් පිරිසක් මෙම සාකච්ඡාවට එක් වූහ. පෙරදී 17, 19 ආදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනවල සිදුවූවා මෙන් මන්ත්‍රීවරුන්ට ඉදිරිපත් කරන ලද සංශෝධනය කාරක සභා අවස්ථාවලදී වෙනස් කොට සම්මත කර ගැනීමට ඉඩ ලබා නොදෙන බව පක්ෂ නායකයෝ මෙහිදී තරයේ කියා සිටියෝය.

&එහෙන් මෙහෙන් වගන්ති රිංගලා වෙනස් කරන්න බෑ. අන්තිමට අපට පෙන්නන එක ආවෙ නැත්නම් අපි ඡන්දෙ දෙන්නෙ නෑ.* 19 වැනි සංශෝධනයෙන් සිදු කිරීමේදී සිදුවූ අකටයුතුකම් සිහිපත් කරමින් පිරිස මේ බව අවධාරණය කළෝය.

මේ අතර පක්ෂ 10 නායකයෝ 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එකතු විය යුතු විශේෂ කරුණක්ද යෝජනා කළහ. ඔවුන්ට අවශ්‍ය වී තිබුණේ පනතක් සම්මත වීමෙන් පසු අධිකරණය හමුවේ විවරණයට ලක් කිරීමේ බලතල මහජනතාව වෙත ලබාදීමටයි. පනත් කෙටුම්පත් හෝ ව්‍යවස්ථා කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ සම්මත වීමට දින දාහතරකට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවෙහි නීත්‍යානුකූලභාවය විමසීමට දැනට බලතල තිබේ. එහෙත් පනත් කෙටුම්පතක් සම්මත වූ පසුව එම පනතේ නීත්‍යානුකූලභාවය විමසීමට කිසිවකුට නොහැක

ඒ අනුව මෙම පක්ෂ නායකයන් යෝජනා කළේ පනතක් සම්මත වී මාසයක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එහි නීත්‍යානුකූලභාවය විමසීමේ හැකියාව ඇති කළ යුතු බවය. ඉන්දියාව වැනි ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යවල දැනට පවතින පනත් පසු විපරම් සම්බන්ධ මෙම ක්‍රමය ශ්‍රී ලංකාව තුළද ඇති කිරීමට අග්‍රාමාත්‍යවරයා අවසානයේ එකඟ වී ඇතැයි කියැවේ. මෙය ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍ය සම්බන්ධ සාධනීය කරුණක් ලෙස ජාත්‍යන්තරය සලකනු ඇත.

මේ අතර මැයි 23 වැනිදා ජනතා විමුක්ති පෙරමුණ පොලිස්පති හමුවීමට ගියේය. පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්වූහ. මැයි 9 වැනිදා කලහකාරී සිදුවීම් සම්බන්ධ පොහොට්ටුවේ මැති ඇමතිවරුන් ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයන් වෙත චෝදනා කිරීම සම්බන්ධව සහ එහි සත්‍යතාව පිළිබඳ කරුණු මෙහිදී සාකච්ඡා වී තිබුණි. පොලීසිය අත්අඩංගුවට ගැනීම් පිළිබඳ තොරතුරු සංඛ්‍යාලේඛන තමන් වෙත ඉදිරිපත් කළ බවත් ඒවාට අනුව පහර දුන් බහුතරය වෙනත් පක්ෂ වලට සම්බන්ධ පිරිසක් බවත් විජිත හේරත් මන්ත්‍රීවරයා පසුව කීය.

මේ අතර මැතිවරණයක් පැවැත්වීම පිළිබඳ සටන් පාඨය ප්‍රබල ලෙස ජනගත කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර ඇති බවක් දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබුණි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට යෝජනාවක් සම්මත කරන තෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ සිරකර ඒ සඳහා බලපෑම් කිරීමට අරගලය මෙහෙය වන බවට ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා ඉකුත්දා එප්පාවලදී සිදුකළ ප්‍රකාශය හරහා එය වඩාත් තහවුරු විය.

සතියේ මුල පැවති සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සම්බන්ධ තොරතුරුද සිකුරාදා වනවිට දැනගන්නට ලැබුණි. ඒ අනුව හරීන් සහ මනූෂ පක්ෂයෙන් ඉවත් කිරීම සම්බන්ධ යෝජනාවක් පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා රුගෙන ආ බවත් එය ස්ථිර වූ බවත් කියැවේ. කෙසේ වෙතත් ඉවත් කිරීමට පෙර විනය පරීක්ෂණයක් සිදුකළ යුතු බව සාකච්ඡා වී ඇත.

දේශපාලන ආරංචි මාර්ග අනුව මේ සාකච්ඡාවට ඉදිරියට ඇදෙද්දී විනය පරීක්ෂණ කතා අතරේ රාජිත සේනාරත්න මහතා විමසා ඇත්තේ ඩයනාට කරනවා කිව්ව විනය පරීක්ෂණ කෝ? ඒකට මොකක්ද වුනේ?* යනුවෙනි. මෙහිදී පක්ෂ මහලේකම්වරයා පෙන්වා දී ඇත්තේ නීතිඥ කණ්ඩායමකට අදාළ පරීක්ෂණ බාර දී ඇති බවයි. කෙසේ වෙතත් ඩයනා ගමගේගේ හැසිරීම් හා ඇය සිදුකරන ප්‍රකාශ සම්බන්ධව රාජිත සේනාරත්න මහතා දිගින් දිගටම කරුණු දක්වා ඇත. ආරංචි මාර්ග අනුව විනය පරීක්ෂණ පමාවීම සම්බන්ධව ඔහු අදහස් දක්වා ඇත්තේ චෝදනා මුඛයෙනි.

මේ අතර ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ රුඳී සිටි හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නැවත කොළඹ පදිංචියට පැමිණ ඇති බව දැනගන්නට ලැබිණි. පවුලේ අය සමඟ ඔහු කොළඹ හතේ ඇමැති නිවසක රුඳී සිටින බව කියැවේ. මහින්ද රාජපක්ෂ මහතා රුඳී සිටින නිවසට දැඩි ආරක්ෂාවක් යොදවා ඇතැයිද දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි. කෙසේ වෙතත් රාජපක්ෂ මහතාගේ පැරණි මිතුරෝ ඔහු හමුවට වීමට  මෙහි නිතර පැමිණෙති. මේ දිනවල ඔහු පිළිබඳ සොයාබලන පිරිස් අතර විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයන් වන බවද කියැවේ.

ඒ අනුව මාලදිවයේ හිටපු ජනාධිපති මොහොමඩ් නසීඩ් මහතා මහින්ද රාජපක්ෂ මහතා එම නිවෙසට පැමිණ හමුවී සුවදුක් විමසා ඇතැයි කියැවේ. එසේම ඇෆ්ගනිස්තානයේ හිටපු ජනාධිපති හමිඩ් කර්සායි මහතා මහින්ද රාජපක්ෂ මහතා දුරකථනයෙන් අමතා සුහදතාව පළකර ඇත. තවත් රාජ්‍යතාන්ත්‍රිකයන් රුසක් සිය පැරණි මිතුරා පිළිබඳ දුරකතනයෙන් තතු විමසීමට උනන්දු වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. බොහෝ දෙනකු ඔහුට සුහදතාව පළකරන අතරේ ඔහු වෙනුවෙන් සිදුකළ යුත්තේ කුමක්දැයිද විමසා තිබූ බවද ආරංචි මාර්ග අනුව කියවේ.

මේ අතර මැයි 9 වැනිදා සිදුවීම පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් හිටපු අග්‍රාමාත්‍යවරයාගේ නිවසට පැමිණ හමුවී ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගත්තේය. පැය තුනකට අධික කාලයක් අදාළ ප්‍රකාශය සටහන් කරගැනීම සිදුව ඇතැයි කියැවේ. එම නිලධාරීන් ගෝල්ෆේස් පහරදීම සම්බන්ධ තොරතුරු විමසීමේදී තමා උත්සාහ කළේ ජනතාව නිවීමට බවත් පහරදීමට අනුබල නොදුන් බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි.

මේ අතර මැයි 9 වැනිදා ගෝල්ෆේස් පහර සම්බන්ධ අත්අඩංගුවට පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත, මිලාන් ජයතිලක රක්ෂිත බන්ධනාගාර ගත කෙරෙණු අතර ඔවුන්ගේ ඇපද ප්‍රතික්ෂේප විය. මෙම මන්ත්‍රීවරු දෙදෙනා සහ මොරටු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු කොළඹ මැගසීන් බන්ධනාගාරයේ රඳවා ඇතැයි දැනගන්නට ලැබෙයි. දේශපාලන කරළියේ පැතිර යන ආරංචි අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනාගේ බන්ධනාගාර ජීවීතය කටුක වී ඇතැයි කියැවේ. ඇපද නොලැබුණ මෙම පිරිස පිළිබඳ පැතිර යන ආරංචි අනුව  ඔවුහු මැසි මදුරු කරදර මැද බිම නිදති. එසේම ඔවුනට පවුලේ අය හමුවීමද සීමාකර ඇති බව කියැවේ.
 
 චමිදු නිසල් ද සිල්වා