2021 දෙසැම්බර් 11 වන සෙනසුරාදා

ජනපති - අගමැති - චමල් විශේෂ හමුවක

 2021 දෙසැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 278

  • ආණ්ඩුවේ තීන්දුවකට එරෙහිව උසාවියට ගිය ඇමැතින් තුන්දෙනා
  • ශ්‍රීලනිපයේ සංවිධාන වැඩ ශීඝ්‍රගාමී කරයි
  • මැති සබයේ ගෙරවිලි ගැන කරුගේ කනස්සල්ල
  • ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන් කැළඹූ මනූෂගේ ප්‍රකාශය
  • රනිල්ගෙන් මැතිසබයේ කැපී පෙනෙන කතාවක්
  • ඇමැති බන්දුලගේ කතාවට අගමැතිගෙන් පැසසුම්
  • සජබ පාර්ලිමේන්තුවේ හර්තාලයක
  • ජවිපෙ ගන්න යන අලුත්ම තීන්දුව
  • පොහොට්ටු රැස්වීමේදී ගීතා හැඟීම්බර වෙයි

වාද විවාද මත ගැටුම් පමණක් නොව ගුටිකෙළි පවා සිදුවන දේශපාලන සතියක් ගෙවී ගියේය. එක අවස්ථාවක සමගි ජනබලවේගය පාර්ලිමේන්තුව වර්ජනය කළේය. තවත් අවස්ථාවක පාර්ලිමේන්තු සභා ගැබ එකම කාලගෝට්ටියක් බවට පත්වුණි. පාර්ලිමේන්තුවේදී පමණක් නොව ඉන් පිටතදීද දේශපාලනයේ ගැටුම් බහුල විය.

පසුගිය සති අන්තයේ පොදුජන පෙරමුණ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබුණි. අගමැති මහින්ද රාජපක්ෂ මහතා හා ආණ්ඩුවේ පොහොට්ටු කණ්ඩායමේ මැති ඇමැතිවරුන් අතර පසුගිය සෙනසුරාදා සවස මෙම විශේෂ සාකච්ජාව පැවැත්විණ. මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා සමඟ වෙනම සාකච්ඡා කිරීමේ වුවමනාවක් පොහොට්ටුවේ මැති ඇමතිවරුන්ට ඇතිවූයේ මීට සති කිහිපයකට ඉහත සිටය. අගමැතිවරයාගේ ඇතැම් ප්‍රකාශ ඔවුන් තුළ එම අදහස ඇතිවීමට බලපෑ බව දේශපාලන ආරංචි අනුව කියැවුණි.

ඉකුත් සෙනසුරාදා පැවති මෙම සාකච්ජාවට අගමැතිවරයාට අමතරව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද සහභාගී වී සිටියේය. එදින සන්ධ්‍යාවේ හයට පමණ අරලිය ගහ මන්දිරයේදී ආරම්භ වූ මෙම සාකච්ජාව මධ්‍යම රාත්‍රිය දක්වාම පවත්වා තිබුණි. දේශපාලන ආරංචි මාර්ග අනුව මෙහිදී පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන් රුසක් තමන්ට ඇති ප්‍රශ්න අගමැතිවරයාගේ අවධානයට යොමුකර ඇත. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද විනාඩි හතළිහක පමණ දීර්ඝ කතාවක් පවත්වා ඇති බව කියැවේ. ආණ්ඩුව හමුවේ ඇති අභියෝග, තමාට විරුද්ධව ආණ්ඩුවේ විවිධ පාර්ශ්ව සිදුකරන චෝදනා, ආණ්ඩුවේ සමගිය පවත්වාගෙන යෑම ආදී දෑ පිළිබඳ බැසිල් රාජපක්ෂ මහතා දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකොට ඇත.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙදින පැමිණ සිටි සියලුම දෙනාට රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පිරිනැමීමට පියවර ගත්තේය. මෙම රුස්වීමේදී කාගේත් අවධානය දිනාගත් චරිතයක් පිළිබඳවද දේශපාලන කරළියේ කතා පැතිර ගියේය. ආරංචි මාර්ග අනුව එම චරිතය පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියයි. තමන්ට අමාත්‍ය ධූරයක් හිමි නොවීම සම්බන්ධයෙන් ඇය කනස්සල්ලෙන් කතා කළ බව කියැවේ. එවැන්නක් පිළිබඳ කිසිවකු කතා නොකළ පසුබිමක ඇගේ කතාව කාගේත් අවධානයට යොමු වූ බවද කියැවේ. වැඩිදුරටත් වාර්තා වන පරිදි සාකච්ඡාව අවසානයේ ගීතා කුමාරසිංහ මහත්මිය රාත්‍රී භෝජන සංග්‍රහයට පවා සහභාගී නොවී පිටව ගොස් තිබේ.

මේ අතර සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු වර්ජනය ඉකුත් සතියේ පුවත් මවන සිදුවීම විය. මෙම සිදුවීමට පාදක වූයේ සමගි ජනබලවේගයේ මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශයකි. දකුණේ ඇමතිවරයෙකු සම්බන්ධ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් මනූෂ නානායක්කාර මහතා සිදුකොට තිබුණි. වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන එම හිටපු මන්ත්‍රීවරයාගේ පුත්‍රයා මෙම ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වීමට යෑම හේතුවෙන් මෙම ගැටුම හට ගත්තේය. සජබය කියා සිටියේ පාර්ලිමේන්තු පිවිසුම අසල සහ පාර්ලිමේන්තු ලොබියේ මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයාට පහර දීමට ආණ්ඩුවේ පිරිසක් සැලසුම් කළ බවයි.

මේ හා සම්බන්ධ කතානායකවරයාට පැමිණිලි කිරීමට සජබ මන්ත්‍රීවරුන් කටයුතු කර තිබුණි. ආණ්ඩුවේ පාර්ශ්වයෙන් කියා සිටියේ මෙම පිරිස කතානායකවරයාට තර්ජනය කර ඇති බවයි. කෙසේවෙතත් සජබ කණ්ඩායම කතානායකවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් සතුටු නොවුණි. මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලමින් ඔවුන් සටනට අවතීර්ණ වූයේ මේ සමඟය. පළමුව පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවක් පවත්වමින් ඇරඹි සටන පාර්ලිමේන්තු වර්ජනයක් දක්වා දික් ඇදුණි.

මෙම වර්ජනයට එකතු වන ලෙස සජබය සෙසු විපක්ෂයේ පක්ෂ වෙතද ආරාධනා කළේය. එහෙත් ජනතා විමුක්ති පෙරමුණ සහ ද්‍රවිඩ සංධානයෙන් ඔවුනට බලාපොරොත්තු වූ සහයෝගය නොලැබුණි. සුමන්තිරන් ඇතුළු ද්‍රවිඩ සංධානයේ මන්ත්‍රීවරුන්ගේ සහයෝගය නොලැබීම සම්බන්ධව සජබ මන්ත්‍රීවරු සිත් අමනාපකමක්ද ඇතිකරගත් බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. විපක්ෂයේ සමූහික වගකීම ඉටු නොකිරීම සම්බන්ධ සජබ කණ්ඩායම සුමන්තිරන් ඇතුළු පිරිසට දොස් පවරා ඇති බවද දැනගන්නට ලැබුණි. තත්ත්වය එසේ වූ නමුත් සජබ තනිව සිය වර්ජනය ක්‍රියාත්මක කළේය. සතිය ආරම්භයේම සියලු දෙනාගේ අවධානය ඒ වෙත යොමුවිය.

සජබ වර්ජනය ප්‍රමුඛ මාතෘකාව බවට පවත්වෙද්දී දේශපාලන කරළියේ කාගේත් අවධානය යොමු නොවූ ඉසව්වලද විශේෂ සිදුවීම් වාර්තා විය. ඉකුත් බදාදා යුගදනවි විරෝධයේ පරිච්ඡේදයක් ලියැවුණි. කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරයේ රජයට අයත් සියයට හතළිහක කොටස් නිව් ෆෝට්‍රස් එනර්ජි නැමැති ඇමෙරිකානු සමාගමකට ලබාදීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා මීට ඉහතදී පාර්ශ්ව කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකර තිබුණි. මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ ඇල්ලේ ගුණවංශ හිමි, සමගි ජනබලවේගය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් මීට පෙරමුණ ගෙන සිටියේය. ඉකුත් අඟහරුවාදා මෙම කටයුත්තට තවත් පිරිසක් එක්විය.

බලාගාරයට එල්.එන්.ජී. සැපයීමේ කොන්ත‍්‍රාත්තුව ලබාදීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට පක්‍ෂව අමාත්‍යවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ හා වාසුදේව නානායක්කාර යන මහත්වරු මෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විරෝධතා ගොනුකළහ. ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරුන් තිදෙනෙක් සිදුකළ මෙම ක්‍රියාව පිළිබඳ සැලකිය යුතු තරමේ අවධානයක් යොමු නොවුණේ මේ දිනවල දේශපාලන කතිකාව වෙනම දිශානතියකට යොමුවීම හේතු කොටගෙනය. එහෙත් ආණ්ඩුවේ ඉහළම ස්ථරය වෙත මෙම ක්‍රියාව බලපෑම් සහිත වූ බව දේශපාලන ආරංචි අනුව කියැවුණි. එසේම මෙම අමාත්‍යවරුන් තිදෙනා එම මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටියදීම පෙත්සම්වලට පක්‍ෂව විරෝධතා ඉදිරිපත් කිරීම ද සුවිශේෂී කරුණක් විය.

ආණ්ඩු අභ්‍යන්තරය මේ ආකාරයෙන් උණුසුම් වුවද පොදුජන පෙරමුණ නිර්මාතෘ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ සහ අමාත්‍යවරු වන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර එකිනෙකා හමුවූ අවස්ථාවක් පිළිබඳවද ඉකුත් සතියේ වාර්තා විය. පසුගිය බදාදා පාර්ලිමේන්තු කාමර අංක එකේ දී පෙරවරුවේ පැවැත්වුණු සාකච්ඡාවකදී මෙම පිරිස එකිනෙකා හමුවී තිබුණි. එහෙත් එය පක්ෂ දේශපාලනය සම්බන්ධ කරුණක් පිළිබඳ වූ සාකච්ඡාවක් නොවුණි. එය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ජීවනෝපාය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ජාවකි. මෙහිදී ඉදිරියේදී ජනජීවිත නගා සිටුවීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව බැසිල් රාජපක්ෂ මහතා අමාත්‍යවරුන් සමග සාකච්ජා කර ඇති බවද දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේය.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව බදාදා පස්වරුවේ පැවැති තීරණාත්මක සාකච්ඡාව පිළිබඳ තොරතුරක්ද දැනගන්නට ලැබුණි. මෙම සාකච්ඡාව පවත්වා තිබුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ නිවසේදීය. එය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අමාත්‍ය චමල් රාජපක්ෂ යන රාජපක්ෂ පවුලේ ප්‍රධානීන් අතරේ පැවති සාකච්ඡාවකි. මෙම සාකච්ඡාවට සම්බන්ධ නිශ්චිතව තොරතුරු හෙළිදරව් නොවූ නමුත් දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ දැන ගන්නට ලැබුණේ 2022 වසරේ ආණ්ඩුවේ සිදුකළයුතු වෙනස්කම් පිළිබඳව රාජපක්ෂවරුන් සාකච්ඡා කර ඇති බවකි. ඉදිරි වසරේදී ඇමැති තනතුරුවල සේම ඉහළ පෙළේ නිලධාරීන්ගේ තනතුරුවලද සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳ මෙහිදී සාකච්ඡා වී ඇති බව කියැවේ.

මේ ආදී වූ සිදුවීම් රුසක් දේශපාලන කරළියේ තිරය පිටුපස සිදුවෙමින් තිබුණද කරළිය මත රංගගත වූ පාර්ලිමේන්තු වර්ජනය දේශපාලන රසිකයන්ගේ ප්‍රධාන අවධානය දිනාගෙන තිබුණි. සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට පිවිසෙන පරිශ්‍රය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීමට පියවර ගත්හ. ඊට අමතරව ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංගමය, පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය ඇතුළු ආයතන ගණනාවක් දැනුවත් කිරීමට එම පක්ෂය පියවර ගෙන ඇති බව හෙළිදරව් විය. මේ අතර විකල්ප පාර්ලිමේන්තුවක් පැවැත්වීමට සමගි ජනබලවේගය කටයුතු කළේය. පාර්ලිමේන්තුවේ සමගි ජනබලවේගයේ නිල කාර්යාලය තුළ මෙම විකල්ප පාර්ලිමේන්තු රුස්වීම පැවැත්විණි. ඒ අනුව ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තු සභා ගැබ තුළ සිදුකරන ප්‍රකාශයන්ට එම අවස්ථාවේදීම මෙම කාර්යාලය තුළ හිඳිමින් පිළිතුරු ලබාදීමට සජබ මන්ත්‍රීවරු කටයුතු කළහ.

සජබ වර්ජනය නිසාවෙන් පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ සෙසු පක්ෂවලට අය-වැය විවාදයේ හිමිවූයේ වැඩි ඉඩකි. ආණ්ඩුවේ පාර්ශ්වයද සජබ වර්ජනය සම්බන්ධ පාර්ලිමේන්තුවේදී මෙන්ම ඉන් පිටතදීද අදහස් දක්වන්නට වූහ. නිවාස ඇමැතිවරයා ලෙස සිදුකර ඇති වංචා දූෂණ හෙළිවීම වැළැක්වීම සඳහා නිවාස අමාත්‍යාංශ වැය ශීර්ෂය මඟහැරීමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා උපක්‍රමශීලීව කටයුතු කළ බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මේ අතර විදේශ ගතවී සිට මෙරට පැමිණි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තනිව පාර්ලිමේන්තු ආවේය. ඔහු සිදුකළේ කැපී පෙනෙන කතාවකි. තමන් පාර්ලිමේන්තු පක්ෂ නායක කමිටුව නියෝජනය නොකරන බවත් විපක්ෂය වෙනුවෙන් කතා කිරීමට නොහැකි බවත් වික්‍රමසිංහ මහතා පැවසීය. රටේ ආර්ථිකය පිළිබඳ දීර්ඝ වශයෙන් පැහැදිලි කළ වික්‍රමසිංහ මහතා අය-වැය විවාදයට මුදල් ඇමතිවරයා සම්බන්ධ නොවීම් පිළිබඳ මෙන්ම මුදල් ඇමතිවරයාගේ ඉන්දියානු සංචාරය පිළිබඳවද විමසා සිටියේය. රනිල් වික්‍රමසිංහ මහතාගේ කතාව අතර ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු විවිධ අදහස් දැක්වූහ.

මම විපක්ෂයේ නෙවෙයි, මම පාර්ලිමේන්තු පක්ෂ නායක කොමිටියෙත් නෑ. මම ආවේ මේ ප්‍රශ්නේ ගැන අහලා යන්න. ඒත් මම කථානායකතුමාට කියනවා පත්කරන කොමිටියේ නම් ටික දීලා, ඊට පස්සේ පක්ෂ නායකයන් මෙහෙට කැඳවල සාකච්ඡාවක් කරන්න. මට බෑ විපක්ෂය වෙනුවෙන් කතාකරන්න. මට පුළුවන් මං වෙනුවෙන් කතාකරන්න විතරයි. මමත් රට ගිය නිසා අද ආවේ මොකක්ද වෙන්නේ කියලා බලන්න.

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස පවසන විට මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කතාව වෙනතකට යොමු කළේය. සජබ එජාප ගැටුමද කතාවට ඈඳීමේ අපේක්ෂාවන් මෙන් ඔහු මෙසේ පැවසීය.

මට දැන් දුරකථන ඇමතුමක් ආවා සජබ මන්ත්‍රී කෙනෙක්ගෙන්. ප්‍රේමදාස මහත්තයා හොඳටම බයවෙලා සමහරවිට අදම කථානායකතුමා හම්බවෙලා, අදම එන තත්ත්වයක් තියෙන්නේ, ඔබතුමාගේ පැමිණීම නිසා. ඊටත් වැඩිය බයවෙලා තියෙන්නේ, ඔබතුමා පිටරට ඉඳලා ඉක්මනින් පැමිණීම නිසා. එතුමාගේ විපක්ෂ නායකකම නැතිවෙයි කියලා බයවෙලා තියෙනවා.

මේ ආදී වූ විවිධ කතිකාවන් ඉදිරියට ඇදුණු සජබ පාර්ලිමේන්තු වර්ජනය අවසන් වූයේ ඉකුත් බදාදාය. අවසානයේ පාර්ලිමේන්තු සභා ගර්භය තුළ සිදුවූ සිදුවීම් සොයාබලා නැවත එවැනි සිදුවීම් ඇති නොවීමට ගතයුතු නිර්දේශ කවරේද යන්න ලබාදීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් කථානායකවරයා විසින් පත්කරනු ලැබුවේය. නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ සභාපතීත්වයෙන් යුතුව එම කමිටුව පත්කොට තිබුණි.

චමල් රාජපක්ෂ, බන්දුල ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, සුසිල් ප්‍රේම්ජයන්ත්, ගයන්ත කරුණාතිලක, රවුෆ් හකීම්, අනුර ප්‍රියදර්ශන යාපා, විජිත හේරත්, රංජිත් මද්දුමබණ්ඩාර, එම්.ඒ. සුමන්තිරන් යන පිරිස මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස පත්වීම් ලැබූහ. කතානායකවරයා විශේෂ ප්‍රකාශයක්ද කළේය.

“සියලු මන්ත්‍රීවරුන් හට ආරක්ෂාව සැලසීම සඳහා අවශ්‍ය සෑම පියවරක්ම මා විසින් මේ වනවිටත් ගෙන ඇති බව ගරු සභාවට දැනුම් දෙන්නෙමි. කෙසේ වුවද පසුගිය දිනවල ඇති වූ අවාසනාවන්ත සිදුවීම් නැවත ඇති නොවන ලෙස මනා සංයමයකින් යුතුව පාර්ලිමේන්තුවේ සභා ගර්භය තුළ වැඩකටයුතුවල නිරතවීමටත් විශේෂයෙන් කතා කිරීමේදී ආවේගශීලිව හා පෞද්ගලිකව අපහාස කිරීමෙන් වැළකී සිටීමේ අවශ්‍යතාවයද දැඩි ලෙස අවධාරණය කරමි.”

මේ අතර සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කතානායක කරු ජයසූරිය මහතා විසින් විසින් අඟහරුවාදා මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබුණි. මෑත වකවානුවේදී පාර්ලිමේන්තුව තුළ සිදුවන, සිදුවූ සහ අදටත් සිදුවන ඇතැම් ක්‍රියාකාරකම් දකින විට තමා බලවත් කම්පාවට පත්වන බව ඔහු එහි සඳහන් කළේය. කරු ජයසූරිය මහතා මෙහිදී දීර්ඝ වශයෙන් අදහස් දක්වා තිබුණි.

පාර්ලිමේන්තු නියෝජිතයන්ට ගරු මන්ත්‍රීතුමා වශයෙන් ආමන්ත්‍රණය කරන්නේ ඔවුන් සැබවින්ම ගරුකටයුතු වියයුතු නිසයි. ඔවුන්ගේ දිනචර්යාව ඒ පදවියට ගෞරවයක් ලෙස පැවතිය යුතුයි. ඔවුන්ගෙන් නිරෑපණය විය යුත්තේ රටේ ගෞරවයයි. එබැවින් රටේ ජනතාවට අපහාසයක් සිදුනොවන ආකාරයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැසිරිය යුතුව තිබෙනවා.

අතීතයේදීත් පාර්ලිමේන්තුවේ ඇති වූ සමහර සිද්ධීන් නිසා අප පාර්ලිමේන්තුවේ ගෞරවයට හා කීර්තිනාමයට විශාල හානියක් සිදු වුණා. අදත් එවැනි දේ පුනපුනා සිදුවන බවක් පේනවා. එය කනගාටුවට කරුණක්, එපමණක් නොව භයානක ප්‍රවණතාවයක්.

ආණ්ඩුව සමඟ ඇතිකරගත් ආරෝව හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විටින් විට තරමක් සැර ප්‍රකාශය නිකුත් කිරීම අරඹා තිබුණේ සති දෙක තුනක සිටය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයෙන්ම වාග් ප්‍රහාරයක් එල්ල වීමත් සමඟ මෛත්‍රීපාල සිරිසේන මහතාද සිය නිහඬ බවින් මිදීමට තීරණය කොට ඇති බව පැහැදිලිව පෙනුණි. ඒ අනුව පසුගිය බදාදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයක් අවසානයේ මෛත්‍රිපාල සිරිසේන මහතා නැවතත් හඬ අවදි කොට තිබුණි. රටේ දේශපාලනයෙහි නියුතු අය අතරින් අවංක, දූෂණයෙන් තොර, වංචා නොකරන, රටට ආදරය කරන පිරිස්වල පුළුල් ශක්තිමත් බලවේගයක් සකස් කරගෙන, ඒ තුළින් රටේ අනාගතය සඳහා ක්‍රියා කළයුතු අවස්ථාවක් එළඹ ඇති බව හිටපු ජනාධිපති එහිදී කීවේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වනවිට ඉතාමත්ම කාර්යක්ෂමව සහ වේගවත්ව පක්ෂයේ සංවිධාන කටයුතු දිවයින පුරා කරගෙන යන වෙලාවක්. අපි අලුත් සංවිධායකවරුන් පත් කරලා, අලුත් මුහුණු රාශියකට සංවිධායකවරුන් වශයෙන් පත්වීම් ලබාදීලා මේ වසරේ අපි මේ වනවිට ආරම්භ කරලා තිබෙන වැඩපිළිවෙළ අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි මාස හයක වගේ කාලය තුළ ලංකාවේ ප්‍රබලතම දේශපාලන පක්ෂයක් විදියට ශ්‍රීලනිපය ගොඩනඟන්න.*
මේ අතර පවතින දේශපාලන ආර්ථික වටපිටාව තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව අභ්‍යන්තරයේ සිටම දේශපාලන වාසි ලබාගනිමින් සිටින බව ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් කිහිප දෙනෙක් විසින් ආණ්ඩුවේ නායකයන් වෙත පෙන්වා දී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

අර්බුද රුසක් මැද පැවැති අය-වැය විවාදයේදී සිදු වූ තවත් විශේෂිත සිදුවීමක් වාර්තා විය. වෙළෙඳ අමාත්‍යාංශ වැයශීර්ෂය පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවට බඳුන් වූ අවස්ථාවේදී ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සිදුකළ කතාවක් මෙම සිදුවීමට පාදක විය. මේ රටේ ආර්ථිකය සම්බන්ධ නිලධාරීන්ගේ ක්‍රියා කලාපය පිළිබඳ බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී විවේචනාත්මකව අදහස් දක්වා තිබුණි.

විවිධ බාහිර පාර්ශ්ව විසින් මෙන්ම නිලධාරීන් විසින් ඔවුන්ගේ කතිපයාධිකාරය භාවිතා කරමින් දේශපාලකයන්ට විවිධ අදහස් ඉදිරිපත් කරමින් රජයේ යහපත් වෑයම කඩාකප්පල් කරමින් පවතින බවක් පේනවා. එය එසේ විය යුතු නැහැ.* යනුවෙන් පවසමින් ඔහු දීර්ඝ කතාවක් සිදුකළේය. පාර්ලිමේන්තුවේ සිය නිල කාමරයේ සිට මෙම කතාව අසා සිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බන්දුල ගුණවර්ධන මහතාව කතාව අවසානයේ නිල කාමරයට කැඳවා තිබේ. දේශපාලන ආරංචි ආරංචිමාර්ග පවසන පරිදි මෙහිදී බන්දුල ගුණවර්ධනගේ ආන්දෝලනාත්මක කතාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අගය කොට ඇති බව කියැවේ. ආණ්ඩු අභ්‍යන්තරයෙහි සිදුවෙමින් පවතින දේ සම්බන්ධව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී අදහස් දක්වා ඇති බවට තොරතුරු ඇත.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණද විශේෂිත තීන්දුවක් ගැනීමට සූදානමින් සිටින බවට ගෙවුණු සතියේදී තොරතුරු වාර්තා විය. මේ මස විසි වැනිදා පැවැත්වීමට නියමිත ජාතික ජන බලවේගයේ නියෝජිත සමුළුවේදී ඔවුන් මෙම තීරණය ගනු ඇතැයි කියැවේ. ඒ අනුව ඉදිරියටත් ජනතා විමුක්ති පෙරමුණ වෙනුවට ජාතික ජන බලවේගය නමින් දේශපාලන කටයුතුවලදී පෙනී සිටීමට ජවිපය සූදානම් වී සිටින බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි. එසේම ප්‍රධාන පක්ෂවල සාමාජිකත්වය දැරෑ හිටපු දේශපාලනඥයන් කිහිපදෙනෙකු ජාතික ජනබලවේගය සමඟ එකතුවීමට අපේක්ෂාවෙන් සිටින බවට දේශපාලන ආරංචි ලැබෙමින් තිබේ. ඊට අමතරව අමතරව පවතින දේශපාලන වාතාවරණය මත ප්‍රකට ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුගේද සහාය ඔවුන් ලබාගැනීමට බලාපොරොත්තු වන බවට මාධ්‍ය වාර්තා පළවී තිබේ.

ඉකුත් සතියේ සිකුරාදා දිනය දේශපාලන වශයෙන් තීරණාත්මක දිනයක් විය. එදින මුදල් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදී ජාතික ජනබලවේගයේ අනුර කුමාර දිසානායක අන්දෝලනාත්ම හෙළිදරව්වක් සිදුකළ කළේය. ඒ අනුව යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සහ ඇමරිකාවේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම සමඟ අත්සන් කෙරුණු ගිවිසුම දිසානායක මහතා පාර්ලිමේන්තුවේ තැබුවේය. මෙම ගිවිසුම ඉදිරිපත් කරමින් ඔහු පැවසුවේ තමා මේ ඉදිරිපත් කරන්නේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර සඟවාගෙන සිටින ගිවිසුම බවයි. එසේම ශ්‍රී ලංකා රජය එම ගිවිසුම අත්සන් කර ඇත්තේ, අමෙරිකාවේ නිව් ෆෝට්‍රෙස් එනර්ජි සමාගම සමඟ නොව වෙනත් සමාගමක් සමඟ බවද දිසානායක මහතා කියා සිටියේය.

මේක රටේ බලශක්ති ක්ෂේත්‍රයත් මේ වනවිටත් රාජ්‍ය ආයතන ගණනාවකට හිමිව තිබෙන කෙරවලපිටිය බලාගාරයත් අමෙරිකානු සමාගමක් වෙත පවරාදීම සඳහා අත්සන් කරනු ලද ගිවිසුමක්. හැබැයි තමුන්නාසේලා දිගින් දිගටම මාස එකහමාරකට වඩා වැඩි කාලයක් මේ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා කිව්වත් මේ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නෑ. ඒ නිසා ගරු කථානායකතුමනි මම ඒ ගිවිසුම සභාගත කරනවා. කැබිනට් මණ්ඩලයෙන් අවසර දෙනවා නිව් ෆෝට්‍රෙස් එනර්ජි සමාගම සමඟ ගිවිසුම අත්සන් කරන්න. හැබැයි තමුන්නාසේලා අත්සන් කරලා තියෙන්නේ එන්.එෆ්.ඊ. ශ්‍රී ලංකා පවර් හෝල්ඩින් කියන සමාගම සමඟ. කැබිනට් මණ්ඩලයෙන් බලය දුන්නේ නිව් ෆෝට්‍රෙස් එනර්ජි සමාගම සමඟ අත්සන් කරන්න. නමුත් අත්සන් කරලා තියෙන්නේ වෙනත් නිව් ෆෝට්‍රෙස් එනර්ජි සමාගමට අනුබද්ධ හෝල්ඩින් සමාගමක් සමඟ. ඒ නිසා සම්පූර්ණයෙන්ම මේක කැබිනට් මණ්ඩලය නොමඟ යැවීමක්.

සති අන්තයේ දේශපාලන කරළිය උණුසුම් වීමට මෙම හෙළිදරව්ව හේතුවන බව පෙනී ගියේය. ඒ අතර 2022 වසර සඳහා වන අයවැය තෙවැනිවර කියවීමේ ඡන්ද විමසීමද සිකුරාදා සිදුවිය. පසුගිය නොවැම්බර් මස 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2021 අය-වැය වෙනුවෙන් පක්ෂ ඡන්ද 157 ලැබුණු අතර විපක්ෂ ලැබුණේ ඡන්ද 64 පමණි. ඒ අනුව තමන් සතුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ඇති බව නැවත ඔප්පු කර පෙන්වීමට ආණ්ඩුව සමත් විය. මෙලෙස අයවැය තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවතියේ දින 28ක දීර්ඝ විවාදවලින් පසුවය. මෙදින අයවැය ඡන්ද විමසීමට පැමිණීම අනිවාර්ය බව ආණ්ඩුව පක්ෂයේ මන්ත්‍රීවරුන්ට කල්ඇතුව දැනුම් දී තිබුණි.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අයවැය අවසන් විවාදයේ විශේෂ කතාවක් කළේය. එය ඉතා උපායශීලී කතාවක් බව දේශපාලන කරළියේ සංවාදයට ලක්විය. රටේ ආර්ථික කඩා වැටීමට හේතු වූ කොවිඩ් වසංගතයම පමණක් නොවන බවට විපක්ෂය කළ චෝදනාවට පිළිතුරු ලබාදෙමින් ඔහු කියා සිටියේ එය සත්‍යයක් බවයි. ඒ අනුව රටේ ආර්ථික අර්බුදයට අනෙක් හේතුව යහපාලන රජය ගත් අනුව තීන්දු බව ඔහු කියා සිටියේය. එසේම රට ගොඩ ගැනීමට සැලැස්මක් ආණ්ඩුව සතුව ඇති බවද හෙතෙම පැවසීය. මේ වනවිටත් ලෝක බැංකු ආධාර ලැබී ඇතැයිද කීවේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට විපක්ෂයේ සාකච්ඡාවක් ලබා නොදීම සම්බන්ධවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

 

 චමිදු නිසල්

 2022 ජනවාරි 01 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2022 ජනවාරි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2022 ජනවාරි 15 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2022 ජනවාරි 22 වන සෙනසුරාදා, පෙ.ව. 10:00