2021 මාර්තු 27 වන සෙනසුරාදා

මහින්ද බංග්ලාදේශයේ ඡන්දය දිනාගත්ත හැටි!

 2021 මාර්තු 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 279

  • රැස්වීමක් තියන්න ජනාධිපති වැලිපාක් ගිය හේතුව
  • ජනපතිගේ ඇමතුමට මෝදි දුන් පිළිතුර
  • ආණ්ඩුව රකින මැති ඇමැතිවරු මදි බවට චෝදනා
  • ජවිපෙට අලුත් හිසක්
  • ආණ්ඩු පක්ෂ රැස්වීම රත්කළ බඩු මිල
  • දෙතුන් දෙනෙක් සහල් මිල නටවනවලු
  • සජබ ආණ්ඩු විරෝධය එක මිටට ගන්න යයි

ජාතික ජාත්‍යන්තර දේශපාලනය හරහා හමාගිය සුළි කුණාටුවකින් ශ්‍රී ලංකාව පීඩාවට පත්වූ සතියක් ගෙවී ගියේය. ජීනීවාවල මානව හිමිකම් යෝජනා, කොළඹ පරිසර විරෝධතා සහ උත්සව සමයේ බඩු මිල ඇතුළු බොහෝ කරුණු ආණ්ඩුවට අසුභඵල රැගෙන ආවේය. විපක්ෂයට කතාකරන්නට මාතෘකා රුසක් වූයෙන් සැබවින්ම ගෙවුණු සතිය ඔවුන්ට සුභ විය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාදයේ ආබාධයක් හේතුවෙන් සුළු සැත්කමකට භාජනය වී නවලෝක රෝහලේ නැවතී සිටියේය. එමනිසා ගෙවුණු සතියේ ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රුස්වීම පැවැතියේ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් ප්‍රධානත්වයෙනි. පාර්ලිමේන්තු කටයුතු ආදීය සම්බන්ධව සාම්ප්‍රදායිකව සිදුවන සාකච්ඡාවලින් අනතුරුව මැති ඇමතිවරු කිහිපදෙනක් විශේෂ ප්‍රශ්නයක් සභාවට ගෙන ආහ. නිමල් ලංසා, ප්‍රසන්න රණතුංග, සාගර කාරියවසම්, උදයන කිරිඳිගොඩ යන මැති ඇමතිවරු මෙම සංවාදයට මුල් වූහ.

ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ආණ්ඩුවට එරෙහිව එන චෝදනාවලදී ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටීමේ මදිකමක් ඇතැයි ඔවුහු කියා සිටියහ. එවිට සභාවේ සිටි මැති ඇමතිවරුන් අවධාරණය කළේ තමන් ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින බව සහ ආණ්ඩුව ආරක්ෂා කරන බවයි. මෙම සංවාද අවසානයේ සියල්ලෝම එකාවන්ව ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිට ප්‍රශ්න ගැටලුවලට පිළිතුරු ලබාදිය යුතු බව පිළිගත්හ. එසේ පෙනී සිටීමට පොදු එකඟතාවක්ද ගොඩනගා ගත්හ.

උත්සව සමයේ බඩු මිල පිළිබඳවද මෙහිදී සංවාදයක් ඇතිවිය. සරත් වීරසේකර, ලලිත් එල්ලාවල, ජගත් කුමාර යන මැති ඇමැතිවරු මෙහිදී පෙරමුණට පැමිණියහ. උත්සව සමයේ බඩුමිල අඩුවෙන් තබා ගතයුතු බවත් ජනතාව බඩුමිල හේතුවෙන් අපහසුතාවයට පත්වන බවත් ඔවුහු කියා සිටියෝය. මෙම කතා හමුවේ වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන පිළිතුරු බැඳීමට ඉදිරිපත් විය. අපි බදු එහෙම අඩුකරලා තියෙන්නේ ඒ නිසා ජනතාවට සහනයක් ලැබේවී.* යනුවෙන් ඇමති බන්දුල කියන විට බදු නෙවෙයි අඩුකරන්න ඕනෑ බඩුමිල. බදු අඩුකරාට බඩුමිල අඩු වෙන්නේ නෑ දැන්. හාල් වෙළෙන්දෝ තුන් හතර දෙනෙක් හාල් මිල නටවනවා. ඒ නිසා රටින් හාල් ගේන්න වහාම ආණ්ඩුව අවසර දෙන්න ඕනෑ* යනුවෙන් සෙසු පිරිස කීහ. මෙහිදී බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ තමා මේ පිළිබඳ කැබිනට්ටුවේදී සාකච්ඡා කරන බවයි

මේ දිනවල කුප්‍රකට පරිසර කතාවද කණ්ඩායම් හමුවේදී ඇදී ආවේය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තරම් පරිසරය රකින්නට පරිසරය ලස්සන කරන්නට වැඩ කළ නායකයෙන් මේ රටේ නොමැති බව පිරිස කීහ. එතුමා ඉලක්ක කරගෙන සැලසුම් සහගත ප්‍රචාරයක් මේ සිද්ධවෙන්නේ. අනිත් එක මේ හුඟක් පරිසර චෝදනා බොරු. පිටරටවල කැලෑ කපාපුවා ලංකාවේ වගේ පෙන්නනවා. මේවාට පිළිතුරු දෙන්න වැඩපිළිවෙළක් ලෑස්ති කරන්න ඕනෑ*යැයි අදහස් පළවිය.

ගෙවුණු සතියේ කැබිනට් මණ්ඩල හමුවද බඩුමිල හේතුවෙන් උණුසුම් විය. විශේෂයෙන්ම පාලනයෙන් තොර සහල් මිල ප්‍රශ්නය මෙහි සංවාදයට ලක්විය. මෙහිදී හාල් මිල පිළිබඳ කතාවට පිළිතුරු දීමට සිදුවූයේ වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතාටය. මැති ඇමතිවරු කියන විදිහට පිටරටින් සහල් ගෙන්වීම සුදුසු බවත් නැතිනම් මේ ප්‍රශ්නය තවත් උග්‍රවනු ඇති බවත් ඔහු කීවේය. මෙම කතාව නිසා අවුල් වූයේ කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතාය. එහෙම කරන්න එපා. වී මෙට්‍රික් ටොන් මිලියන 2කට වැඩි ප්‍රමාණයක් අපි මිලට ගන්නවා. ඒවා සහල් කරලා අපිට පුළුවන් සතොසට කිලෝව රුපියල් 94 ගානේ දෙන්න* යනුවෙන් අලුත්ගමගේ ඇමතිවරයා කීවේය. එවිට ඇමැති බන්දුල ඔබතුමාලා රුපියල් 94ට අපිට දෙනවා නම්  රුපියල් 97ට අපි ජනතාවට දෙනවා* යනුවෙන් කීවේය.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙවුණු සතියේ පොහොට්ටුවේ අනුබද්ධ සංවිධානවල නායකයන්ගේ රුස්වීමක් කැඳවා තිබුණි. එය ජනාධිපති කාර්යාලයේ පැවැත්වීමට නියමිතව තිබුණත් ජනාධිපතිවරයා විශේෂ යෝජනාවක් කළේය. අපිට හරියට මේ දවස්වල චෝදනා කරනවා පරිසරය විනාශ කරනවා කියලා. ඒ නිසා අපි මේ රුස්වීම කොළඹ අවට පරිසරය ලස්සනට සංවර්ධනය  කරපු තැනක තියමු* ජනපතිගේ මෙම යෝජනාවට අනුව රැස්වීමට නුගේගොඩ වැලි පාක් නම් ස්ථානය තෝරා ගැනිණි. උණපඳුරක් යට ජනපතිට මේසයක් පුටුවක් තබා මේ රුස්වීම පැවැත්විණි. ඇමතිවරු මෙන්ම මීට සහභාගී වූ වෘත්තීය සමිති ඇතුළු අනුබද්ධ සංවිධාන ක්‍රියාකාරීහු තුරු සෙවණේ අසුන් ගත්හ.

නීතීඥවරුන්ගේ සිට ශාන්තිකර්ම ශිල්පීන් දක්වා විවිධ ක්ෂේත්‍ර නියෝජය කරන සංවිධානවල නායකයෝ මීට සහභාගී වූහ. ඔවුන්ගේ ප්‍රශ්න වෘත්තීය ගැටලු ආදිය පිළිබඳ මෙහිදී සාකච්ඡා විය. ඒ අතර බැංකු ක්ෂේත්‍රය නියෝජනය කරන වෘත්තීයවේදීහු විශේෂ කරුණක් ජනපති හමුවේ තැබූහ.

මේ ආණ්ඩුව විද්වතුන් වැඩිපුර කිට්ටු කරගත්තා රාජ්‍ය පාලනයට. බොහෝ රාජ්‍ය ආයතවල ප්‍රධානීන් විදිහට ඉන්නේ විද්වතුන්. නමුත් ඒ ගොල්ලන්ගෙන් බලාපොරොත්තු වුණ සේවය නම් සිද්ධවෙන්නේ නෑ. දැන් ඒ ආයතනවල තිබ්බ ටිකත් නෑ. සමහරු ආයතන අවුල් කරගෙන. මේවායින් වෙන්නේ ජනතාව පීඩාවට පත්වෙන එක විතරයි. උගත්කම තිබ්බාට බුද්ධිමත්කම නැත්නම් ආයතනයක් පාලනය කරන්න බෑ.* යනුවෙන් කී වෘත්තීයවේදීහු මෙම ආයතන ප්‍රධානීන්ට ආණ්ඩුවේ දේශපාලනය හා සංවේදීව වැඩ කරන ලෙසට උපදෙස් ලබාදෙන්න යැයි ජනපතිගෙන් ඉල්ලා සිටියහ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බංග්ලාදේශ නිල සංචාරයේ සිදුවූ විශේෂ සිදුවීම් පිළිබඳවද දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබුණි. බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මියගේ ආරාධනයකට අනුවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම රාජ්‍යතාන්ත්‍රික සංචාරයට සහභාගී වූයේය. සෞඛ්‍ය ආරක්ෂක ආදී හේතු නිසාවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තුළ මුලදී මෙම සංචාරය සම්බන්ධව පැහැදිලි අදහසක් නොවිණි. එහෙත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ජෛව බුබුලක් ලෙස සංචාරය කිරීම ගැටලුවක් නොමැති බව කීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරකට එකඟ විය.  අජිත් කබ්රාල්, දයාසිරි ජයසේකර රාජ්‍ය ඇමැතිවරුද අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් මහතාද ඊට එක්වූහ. මෙම දෙදින නිල සංචාරයේදී එරට නිදහස් ස්වර්ණ ජයන්ති සැමරුමට සහ බංග්ලාදේශයේ නිර්මාතෘ බංගබන්දු ෂෙයික් මුජිබර් රහ්මාන් ජන්ම ශත සංවත්සර උත්සවයටත් අග්‍රාමාත්‍යවරයා සහභාගී විය.

ද්විපාර්ශවික ගිවිසුම් රුසක් අත්සන් කිරීම ඇතුළු රාජ්‍යත්‍රාන්තික කටයුතු රුසක් මෙම සංචාරය තුළදී සිදු වූයේය. මේ අතර මහින්ද රාජපක්ෂ මහතා ෂෙයික් හසීනා මහත්මිය ගෙන් විශේෂ ඉල්ලීමක් කළේය. ජීනීවා නුවරදී ශ්‍රී ලංකාවට පක්ෂ ජන්දය පාවිච්චි කරන ලෙස අග්‍රාමාත්‍යවරයා ඉල්ලා සිටියේය. කෙසේ වෙතත් ඒ වනවිට ජීනීවා ඡන්දයේදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට බංගලාදේශය තීරණය කර තිබුණි. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා බංගලාදේශ අග්‍රාමාත්‍යවරියට කරුණු පැහැදිලි කළේය. දේශපාලන ආරංචි අනුව එවිට බංගලදේශ අග්‍රාමාත්‍යවරිය කියා ඇත්තේ විශේෂ කතාවකි. ශ්‍රී ලංකාවට විරුද්ධව ඡන්දය පාවිච්චි කරන ලෙස විශාල බලපෑමක් තම රටට ඇති බව ඇය කියා තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජතාන්ත්‍රික අංශ ඔස්සේ මෙම බලපෑම් පැමිණ තිබේ

අපි ලෝකයේ හොඳම ඇඟලුම් නිෂ්පාදනය කරන රටක්. ඇමෙරිකාව අපේ ප්‍රධාන ගනුදෙනුකරුවා. ලංකාවත් එක්ක හිටගත්තොත් අපේ ඇඟලුම් ගන්නේ නෑ කියලා තර්ජනයකුත් තියෙනවා* යැයි බංගලාදේශ අග්‍රාමාත්‍යවරිය කියා ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. එසේ නමුත් කොතරම් අපහසුතා තිබුණද සාක් රටක් ලෙසත් ලෙස ශ්‍රී ලංකාව වෙනුවෙන් කළහැකි උපරිමය සිදුකරන බව ඇය කියා තිබේ. ඒ අනුව බංග්ලාදේශයේ ඡන්දය පිළිබඳ මහින්ද රාජපක්ෂ මහතා බලාපොරොත්තු ඇතිකරගෙන සිටියේය. කෙසේ හෝ අවසානයේ බංග්ලාදේශය ශ්‍රී ලංකාවට පක්ෂව ජන්දය ලබාදුන්නේය. 

ජිනීවාවලදී ඉන්දියාව කුමක් කරයි දැයි පැනය ආණ්ඩුවට තිබුණි. ඒ අතර ජිනීවා නුවර ශ්‍රී ලංකා තානාපති සී.ඒ. චන්ද්‍රප්‍රේම එහි තත්ත්වය වාර්තා කළේය. රටවල් 12 ක් පමණ ශ්‍රී ලංකාවට පක්ෂ වනු ඇතැයි ඔහු කියා තිබුණි. එහෙත් බුර්කා නිකාබ් කතා නිසා මුස්ලිම් රටවල් අමනාප විය හැකි බවත් ඒ පිළිබඳ ආණ්ඩුවේ මැති ඇමැතිවරු ප්‍රවේසම් විය යුතු බවත් ඔහු පැවසීය. එසේම ඉන්දියා බංගලාදේශ ඇතුළු රටවලින් රාජතාන්ත්‍රිකව ඉල්ලීමක් කරන ලෙසද ආණ්ඩුවේ ප්‍රධානීන් වෙත දන්වීය. කෙසේ වෙතත් ජිනීවා තනාපතිවරයා තත්ත්වය කළමනාකරණය කරගැනීමට අසමත් බවත් සෙසු රටවල නියෝජිතයන් හමුවීමට කටයුතු කර නොමැති බවත් මෙරට ඇතැම් මාධ්‍ය වාර්තා කළේය. එහෙත් එය සත්‍ය නොවීය. චන්ද්‍රප්‍රේම මහතා දිවා රාත්‍රි ඡන්දය වෙනුවෙන් වෙහෙසුනි. 

ඒ අතර ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයටත් දන්වා වෙලාවක් වෙන් කරගෙන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වෙත රාජ්‍යතාන්ත්‍රික දුරකථන ඇමතුමක් ගැනීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කළේය. දෙරට කොවිඩ් තත්ත්වය ඇතුළු සමාජ දේශපාලන තොරතුරු කතාබහ කිරීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඉල්ලීම ඉදිරිපත් කළේය. ජිනීවා නුවරදී ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එන යෝජනාවට එරෙහි වෙන ලෙස ඉන්දීය අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය. ඊට අග්‍රාමාත්‍යවරයාගෙන් ලැබුණේ රාජ්‍යතාන්ත්‍රික පිළිතුරකි. ඉන්දියාවේ දේශපාලන වටපිටාව පැහැදිලි කළ අග්‍රාමාත්‍යවරයා සෘජු පිළිතුරක් නොදුන්නේය. එහෙත් ඔහු ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට එක් පොරොන්දුවක් දුන්නේය. ඒ නම් ලංකාවට එරෙහිව කටයුතු නොකරන බවයි. අපි ඔබලාට වරදක් කරන්නේ නැහැ මෝදි මහතා කීය.

මාර්තු 23 වැනිදා ජිනීවා ඡන්දය පැවැත්වුණි. 46/1 යෝජනාව ඉදිරිපත් කළේ බ්‍රිතාන්‍යය ප්‍රමුඛ රටවල් හයකි. යෝජනාවට පක්ෂව බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමය සහ බ්‍රසීලය යන රටවල් අදහස් දැක්වූයේය. චීනය, රුසියාව, පකිස්තානය, පිලිපීනය, වෙනිසියුලාව, බොලීවියාව, කියුබාව යන රටවල් යෝජනාව ප්‍රති‍ක්ෂේප කරමින් අදහස් දැක්වීය. මැදහත් පාර්ශ්වයේ සිට අදහස් දැක්වූයේ ජපානය හා ඉන්දියාව පමණි. ඉන්දීය නියෝජිතයා ශ්‍රී ලංකාවේ 13 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනය ක්‍රියාත්මක කිරීම දෙමළ ජනතාවගේ අයිතීන් ආදිය පිළිබඳ කතා කළේය. ඡන්ද විමසීමට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් අදහස් දැක්වූයේ ජිනීවා නුවර ශ්‍රී ලංකා තානාපති සී.ඒ. චන්ද්‍රප්‍රේම මහතාය. ජාත්‍යන්තරයෙන් එල්ලවන සියලු චෝදනා ඔහු ප්‍රතික්ෂේප කර අතර ශ්‍රී ලංකාව යුද්ධයෙන් පසු සාමකාමීව ඉදිරියට යමින් ඇති බව කීවේය.

අනතුරුව ඡන්දය පැවැත්වුණි. ශ්‍රී ලංකාවට රටවල් 11 සහාය පළකරන විට යෝජනාවට පක්ෂව රටවල් 22 ඡන්දය පාවිච්චි කළේය. ඉන්දියාව ප්‍රමුඛ රටවල් 14ක් ඡන්දය පාවිච්චි නොකළේය. හිතවත් රාජ්‍යය වූ දකුණු කොරියාව, බහරේන් හා යුක්‍රේනය යෝජනාවට පක්ෂවීම ලක් රජයේ සිත්තැවුල හේතු විය. ඒ අතර මෙම පරාජයේ වගකීම විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත පැවරීමට ආණ්ඩුවේ ඇතැමෙක් කටයුතු කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා සෘජුවම චෝදනා කළේ ඉන්දියාව සම්බන්ධව පූර්ව නිගමන ලබාදීමට විදේශ කටයුතු ලේකම්වරයා කටයුතු කිරීම හේතුවෙන් ඉන්දියාවේ ඡන්දය නොලැබී යන්නට හේතුව විය හැකි බවයි. එහෙත් රජය එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි.

ජාත්‍යන්තරයේ අර්බුදය එසේ දික් ඇදෙන විට ආණ්ඩු විරෝධී විපක්ෂ බලවේග රට අභ්‍යන්තරයේ විවිධ විරෝධතා සංවිධානය කරන්නට විය. දේශපාලන ආරංචි අනුව විපක්ෂයේ ප්‍රධාන බලවේගය වන සමගි ජන බලවේගය සියලු ආණ්ඩු විරෝධී පාර්ශ්ව එකම වේදිකාවට ගැනීමට ප්‍රබල උත්සාහයක් දරමින් සිටියේය. දිගින් දිගටම ඉල්ලීම් කළද ජනතාව විමුක්ති පෙරමුණින් ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණි. ගෙවුණු සතියේ ඒ සම්බන්ධව අභ්‍යන්තර කතාබහ පක්ෂ කණ්ඩායම තුළ නිර්මාණය වී ඇති බව දැන ගන්නට ලැබුණි. ඒ අතර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිචාර එන්න එන්නට යහපත් වන බව පෙනී ගියේය. එහෙත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කියමින් සිටින විපක්ෂයේ පුළුල් පෙරමුණ සම්බන්ධව සජබ ඇතැම් නායකන් තුළ පැහැදීමක් නොවුණි.
දෙමළ ප්‍රගතිශීලී පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා ඒ අතරින් ප්‍රමුඛයෙක් විය. නව සන්ධානයක් බිහිවීම පිළිබඳව තමන් නොදන්නා බවත් එවැන්නක් බිහි කරන්නේ නම් දැනට සමගි ජන බලවේගය සිටින තමන් ඇතුළු සන්ධානගත පක්ෂවල නායකයින් සමග ප්‍රථමයෙන් සාකච්ඡා කළයුතු බව මනෝ ගනේෂන් මහතා කියන්නට විය. දේශපාලන ආරංචි අනුව ඔහු ඒ බව කියා තිබුණේ 23 වැනිදා පාර්ලිමේන්තුවේදී සජබ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙක් හමුවූ අවස්ථාවේදීය.

ජනතා විමුක්ති පෙරමුණට යළි ගොඩ ඒමට නම් කළ යුතු දේ පිළිබඳව විමල් වීරවංශ අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශයක්ද මේ අතර විපක්ෂ කණ්ඩායම් අතර කතාබහට ලක්විය. ජනතා විමුක්ති පෙරමුණේ කඳට බෞද්ධ අධ්‍යාත්මය සහිත හිසක් සවි කළහොත් නැවතත් රටට ආදර්ශමත් ජනතා විමුක්ති පෙරමුණත් දායාද කොට ජයග්‍රහණ ලබා ගැනීමට හැකි බව ඔහු කියා තිබුණි. කෙසේ නමුත් ජනතා විමුක්ති පෙරමුණ ගෙවුණු සතියේ කාර්යබහුල විය. ආණ්ඩු විරෝධී සම්මන්ත්‍රණය මෙන්ම විරෝධතා රුසක් ඔවුන් සංවිධානය කළේය. ආණ්ඩුවේ පරිසර විනාශයට එරෙහිව පෙළගැසෙමු යන තේමා යටතේ කොටුව දුම්රිය ස්ථානයට දක්වා වූ පාගමන කාගේත් අවධානයට යොමුවිය. මෙහි කොළ අතු ඇඳි විරෝධතාකරුවන් කෘතිම ඔක්සිජන් මුව පැළඳි විරෝධතාකරුවන් පිළිබඳ සමාජ මාධ්‍යයේද කතාබහට ලක්විය.

 චමිදු නිසල් ද සිල්වා