2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා

බැසිල් දිනාදුන් 20 සටන

 2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 384

  • ඇයි හාමුදුරුවනේ අපට බණින්නෙ: මොකක්ද අපි කළ වරද?
  • වාසු, විමල්, උදයගෙන් ප්‍රශ්න පිට ප්‍රශ්න
  • අමුතු සැරසිලි පැළඳ විපක්ෂය මැතිසබය අවුලයි
  • සජිත්ලාට පක්ෂය දුන් ඩයනා ආණ්ඩුවට පනී
  • ආණ්ඩුවට නොආ ‍විපක්ෂ මන්ත්‍රීන් තිදෙනා
  • ඇමැතිකම් ඉල්ලූ දිගාට රාධාටත් ආණ්ඩුව දොර වසයි

 

 

 

 

විස්සෙන් උදම් වූ දේශපාලන රැලි පෙරැලි මතින් තීරණාත්මක දේශපාලන සතියක් නිමාව දුටුවේය. මැතිසබයේ දේශපාලන ආරෝවන් රුසක් වූ අතර නඩු හබ නිසා ද පුවත් නිර්මාණය විය. තවද කොරෝනාව විසින් මහජනතාව වෙත බර අවි ප්‍රහාරයක් දියත් කළේය. මාකඳුරේ මදුෂ්ගේ මරණය ද මෙරට දේශපාලනයේ තවත් පැතිකඩක් පිළිබඳ කතිකාවක් නිර්මාණය කරන්නට විය. 

තැන තැන විසිරී ගිය මත විස්ස සම්මත කර ගැනීම වෙනුවෙන් එකතු කර ගැනීමේ කටයුත්ත සතියේ මුල් දිනවල සිටම සිදුවිණි. ඒ අනුව පසුගිය ඉරිදා සවස පහට පමණ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුවේ පක්ෂ නායකයන් සිය විජේරාම මාවතේ නිවෙසට කැඳවීය. වාසු, දිනේෂ්, විමල්, ගම්මන්පිල, අමරවීර, දයාසිරි, බැසිල්  ආදී කොටගත් ආණ්ඩුවට සහාය දක්වන පාර්ශ්ව රැසක් මෙම සාකච්ඡාවට සහභාගි වූ අතර මීට සහභාගි නොවූ පක්ෂ නායකයා වූයේ මෛත්‍රීපාල සිරිසේන මහතා පමණි. 

මෙහිදී පළමුව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සතියේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව පැහැදිලි කරන්නට විය. විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට ආණ්ඩුවට තුනෙන් දෙකක බහුතරයක් ලබාගත හැකි බවද ඔහු කීවේය. එවිට අමාත්‍ය විමල් වීරවංශ මතු කළේ පැනයකි. මතයක් තියෙනවා රිෂාඩ්ගේයි හකීම්ගෙයි අයගේ සහයෝගය ගන්නවා කියලා. ඒක ඇත්තද? යනුවෙන් ඔහු විමසුවේය. එවිට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පිළිතුරු දීමට ඉදිරිපත් විය. අපි කාටවත් කියලා නෑ සහයෝගය දෙන්න කියලා. කැමැති කෙනකුට  විපක්ෂයේ ඉඳන් සංශෝධනයට පක්ෂව ඡන්දය දෙන්න පුළුවන් යනුවෙන් අග්‍රාමාත්‍යවරයා පැවසුවේය.

මෙම සංවාදය මෙසේ ඉදිරියට ඇදෙන විට ටිරාන් අලස් මහතා සංවාදයට එක් විය. ඒ අය පක්ෂව ඡන්දෙ දුන්නොත් ආණ්ඩුව අපහසුතාවයට පත්වෙන්න පුළුවන් යනුවෙන් ඔහු කීය. එවිට නැවත මහින්ද රාජපක්ෂ මහතා  කතා කළේය. ආණ්ඩුවට ඒ අයව ගන්නෙත් නෑ. අපි එයාලා පස්සේ යන්නෙත් නෑ. කැමැති නම් ඕන කෙනෙකුට පුළුවන් ඡන්දෙ දෙන්න යනුවෙන් මහින්ද පැවසුවේය. විමල් වීරවංශ නැවත 150 හදාගන්නෙ කොහොමද? අපිට කතානායකතුමා ඇරුණාම 149යි නේ ඉන්නේ යනුවෙන් විමසීය. අනතුරුව විමල් නැවතත් උපහාසයෙන්  කීවේ ඕනෑ නම් අපි සති දෙකකට කතානායකකම දෙමු. ජවිපෙයට හරි සජිත්ලාට හරි එතකොට හරිනේ යනුවෙනි. 

කෙසේ වෙතත් වීරවංශ මහතා ඇතුළු පිරිසට තුනෙන් දෙක පිළිබඳ ඇතිවී තිබූ කුතුහලය නිමා නොවිණි. එතකොට සුළු පක්ෂවලින් ද ඔය තුනෙන් දෙක ගන්නේ යනුවෙන් ඔවුහු නැවත විමසූහ. මෙවර පිළිතුරු ලබා දුන්නේ බැසිල් රාජපක්ෂ මහතාය. අපි ඉල්ලා නෑ. දෙනවා නම් දෙයි. අපි එපා කියන්නෙත් නෑ යැයි ඔහු පැවසීය. පසුව උදය සහ වාසු කතාවට මැදිහත් වූහ. රටේ මතයටත් අපි ඇහුම්කන් දෙන්න ඕනෑ යනුවෙන් උදය කියද්දී වාසු කීවේ මට සංශෝධනය ගැන ප්‍රශ්නයක් නෑ. හැබැයි ජනාධිපති කාර්යාලය, අගමැති කාර්යාලය විගණනය නොකළොත් හිතයි ආණ්ඩුව හොරකම් කරන්න යනවා කියලා. ඒ නිසා විගණනයට අවස්ථාව දෙන්න යන්නය. බැසිල් මීට ද පිළිතුරු බැන්දේය. සමහර රාජ්‍ය සමාගම් කොටස් වෙළෙඳපොළට කොටස් දාද්දී විගණකාධිපතිගේ බලපෑමට යටත් වෙන්න ආයෝජකයෝ කැමැති නෑ යනුවෙන් බැසිල් කීය.

මෙම ප්‍රකාශයත් සමඟම වාසුදේව අමාත්‍යවරයා තරමක් සැර කතාවක් කීවේය. එනම් ඔය හැම එකටම ඡන්දේ දෙන්නම්. හැබැයි ද්විත්ව  පුරවැසිභාවයට නම් ඡන්දේ දෙන්න මට අමාරුයි හෘද සාක්ෂියට එකඟව යන්නය. වාසුගේ කතාවට එවර කිසිවකු පිළිතුරු බැඳීමට ගියේ නැත. මේ අතර අමාත්‍ය බන්දුල ගුණවර්ධන වෙනම කතාවක් කියන්නට විය. දැන් පාර්ලිමේන්තුව අවුරුදු දෙකහමාරකින් විසුරුවන්න පුළුවන් කියලා තියෙනවා. ඒක හරි නෑ. හතරහමාරෙන් විසුරුවන්න කියන්න කලින් තිබුණා වගේ. එතකොට තමා ආයෝජකයන්ගේ විශ්වාසය ඇතිවෙන්නේ. යැයි බන්දුල පැවසීය. මෙම ප්‍රකාශයත් සමඟ නැවත මහින්ද රාජපක්ෂ මහතා කතාබහට සම්බන්ධව විය. නෑ නෑ ඒක හරි යන්නේ නෑ. ‍ශ්‍රේෂ්ඨාධිකරණය කියලා තියෙනවා අවුරුදු දෙකහමාර හරියි කියලා. අපි ඒ  තීන්දුවට අනුව වැඩ කරමු යැයි මහින්ද පැවසූ කතාව විමල් වීරවංශ මහතා ද අනුමත කළේය.

තවත් කතාබහ රුසක් මෙහි ඇතිවූ අතර ඉරිදා රැස්වීම නිමාවන විට ආණ්ඩුවට හිතවත් පක්ෂ නායකයන් තුළින් යම් එකඟතාවක් ගොඩනැගෙමින් තිබුණි. රැස්වීම අවසානයේ ඉතිරි වූ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අමතමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක් කරුණක් සපථ කළේය. කවුරු හරි ආණ්ඩුවේ පොදු තීන්දුවට පිටින් ගිහිල්ලා 20 වැනි සංශෝධනයට විරුද්ධව ඡන්දේ දුන්නොත් ඒකට විරුද්ධව අපිට පියවර ගන්න වෙනවා. මහින්ද රාජපක්ෂ මහතා කීවේය. මේ අතර මෙම රැස්වීමට පැමිණීමට පෙර බන්දුල ගුණවර්ධන මහතා පී.සී.ආර්. පරීක්ෂණයකට මුහුණ දීම නිසාවෙන් රැස්වීමේ ඇතිවූ අලකලංචියක් පිළිබඳව ද තොරතුරු වාර්තා විය.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුව පැවැත්වූයේ පසුගිය සඳුදාය. විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා හැරෙන්නට සියල්ලෝම පාහේ ඊට සහභාගි වූහ. කණ්ඩායම් රැස්වීමේ දී සුවිශේෂී සැමරුමක් සංවිධානය විය. ඒ ලසන්ත අලගියවන්න මහතාගේ උපන් දිනය වෙනුවෙනි. විස්ස පිළිබඳ සංශෝධන තුනක් පිළිබඳව ද මෙහිදී කතාබහ ඇති විය. මේ අතර කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නීතිපතිට ලිපියක් යවා තිබුණි. කථානායකවරයා එම ලිපිය හරහා නීතිපතිවරයාගෙන් විමසා සිටියේ පාර්ලිමේන්තුවේ වර්තමාන මන්ත්‍රී සංඛ්‍යාව 223ක් වන බැවින් ඡන්ද විමසීමේ දී තුනෙන් දෙකක් ලබාගත යුත්තේ 223න් ද 225න් ද යන්නය. නීතිපතිවරයා කතානායකවරයාට පෙරළා පිළිතුරු ලියා එවා තිබුණි. ඊට අනුව කියවුණේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් යනු ව්‍යවස්ථාවට අනුව මන්ත්‍රීවරුන් 150ක් බවය. එම නිසා එම මන්ත්‍රී ප්‍රමාණයේ කැමැත්ත තුනෙන් දෙකක බහුතරය ලෙස සැලකෙන බවය.

අඟහරුවාදා වන විට 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ පැහැදිලි කිරීම් ද නිල වශයෙන් කරළියට පැමිණියේය. විවිධ මත කරළියට පැමිණි අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට %ත්‍රී ලයින් විප්^ යනුවෙන් ලිපියක් ලැබුණි. ඒ ඡන්දය භාවිත කිරීම අනිවාර්ය කිරීම පිළිබඳ ලිපියයි. එහෙත් වාසු, විමල්, උදය ඇතුළු පිරිස තවදුරටත් ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ කරුණු පිළිගැනීමට සූදානමින් සිටියේ නැත. මේ අතර අඟහරුවාදා උදෑසන බන්දුල ගුණවර්ධන, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල ඇතුළු පිරිසකට මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් නාරාහේන්පිට අභයාරාමයට ආරාධනා කර තිබුණේ උදෑසන ආහාරය ගැනීම පිණිසය.  මෙම ඇරුයුමේ අරමුණ 20 වැනි සංශෝධනය පිළිබඳ සාකච්ඡාවක් ඇතිකර ගැනීම විය.

මෙම අවස්ථාවට මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්, ඇල්ලේ ගුණවංශ හිමියන්, බෙන්ගමුවේ නාලක හිමියන් සහ මැදගොඩ අභයතිස්ස හිමියෝ වැඩම කර සිටියහ. 20 වැනි සංශෝධනය පිළිබඳව හිමිවරු ඇමැතිවරුන්ගෙන් විමසන්නට වූහ. එහිදී වැරදි තියෙනවා නම් හදාගන්න පුළුවන්. අපිට මේවා තනියම කරන්න ඕනෑ නැහැ හාමුදුරුවනේ යනුවෙන් දිනේෂ් ගුණවර්ධන මහතා කීය. අගමැතිතුමාව මම එක්කන් එන්නම්. ඔබවහන්සේලා මුණගැහෙන්න යනුවෙන් ද ගුණවර්ධන මහතා පැවසීය.  ඒ අනුව දිනේෂ් ගුණවර්ධන මහතා දිවා කාලයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද කැඳවාගෙන අභයාරාමයට පැමිණියේය. මෙහිදී ද වැඩි අවධානය යොමු වූයේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව පැන නැගී ඇති ගැටලුව පිළිබඳවය. හිමිවරුන් සිය විරෝධය ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ කරුණට යොමු කළ අතර අවසානයේ නැවත ඒ හා සම්බන්ධව අවධානය යොමු කිරීමට රාජපක්ෂ මහතා ඇතුළු පිරිස අවසානයේ එකග වූහ. 

බදාදා දිනය උදාවන විටත් විසි වැනි සංශෝධනයේ සමහර කොටස් සඳහා විරුද්ධ වුණු පිරිස් සිය මතය මුළුමනින්ම වෙනස් කර නොතිබුණි. මෙය යම් සංකීර්ණ තත්ත්වයක් විය. විමල්, උදය, වාසු සමඟ බන්දුල ගුණවර්ධන ද මෙම පිරිසට එකතු වී සිටීම කැපී පෙනිණි. අවසානයේ ප්‍රශ්නය විසඳීමේ වගකීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය දෙවුර මතට ගත්හ. තත්ත්වය බරපතළ වූයේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්, ඇල්ලේ ගුණවංශ හිමියන්, බෙන්ගමුවේ නාලක හිමියන්, මැදගොඩ අභයතිස්ස හිමියන් ඇතුළු මහා සංඝරත්නය ද්විත්ව පුරවැසිභාවයට එරෙහිව එල්ල කළ විවේචන නිසාවෙනි. ජනාධිපතිවරයා මුලින්ම මෙම සටනට නායකත්වය ලබා දෙමින් සිටි ඇල්ලේ ගුණවංශ හිමියන් ඇමතූහ. 

ඇයි හාමුදුරුවනේ මට බණින්නේ. මං රට පාවා දීලා තියෙනවාද? රටට වැරුද්දක් කරලා තියෙනවාද? ජාතියට වැරැද්දක් කරලා තියෙනවාද? මොකද මේ අපිට දොස් කියන්නේ. ජනපති ඇල්ලේ ගුණවංශ හිමියන් ඇමතූ සැණින් කීවේ එලෙසය. අනතුරුව හෙතෙම ඇල්ලේ ගුණවංශ හිමියන්ට සහ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට ජනාධිපති කාර්යාලයට ඇරැයුම් කළේය. ඒ අනුව හමුවී කතා කිරීමට ජනපති කළ ඇරුයුම හිමිවරු භාරගත්හ. මේ අතර මෙම හමුවට පැය භාගයකට පෙර ජනාධිපතිවරයා තවත් හමුවක් පැවැත්වීමට තීරණය කළේය. ඒ විස්සේ දොස් දකින ආණ්ඩුවේ ප්‍රබලයන් වෙනුවෙනි. වාසු, උදය, විමල්, තිස්ස විතාරණ ආදී පිරිසට ඊට සහභාගි වන ලෙසට දන්වනු ලැබීය. සාකච්ඡා දෙක වෙන වෙනම පැවති අතර දෙපිරිසටම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කීවේ එකම කතාවකි. 

හාමුදුරුවනේ මං අර පිරිසටත් කිව්වේ මේ කතාවයි. මේක තමා මගේ ස්ථාවරය. 19 වැනි සංශෝධනය ගෙනාවේ අපේ පවුල ඉලක්ක කරගෙන. ද්විත්ව පුරවැසිකමේ නීතිය ඇතුළත් කළේ ප්‍රජාතන්ත්‍රවාදය නගා සිටුවන්න නෙවෙයි. ගෝඨාභය රාජපක්ෂ ඡන්දය ඉල්ලන එක නවත්වන්න. නැත්නම් බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු එන එක නවත්වන්න. ඕක තමා අරමුණ. යහපාලන අරමුණක් තිබුණේ නෑ එතැන. ඒක තමා ඇත්ත. ඔබවහන්සේලත් දන්නවනේ. ඒ නිසා විසි වැනි සංශෝධනය ගෙන එනකොට අපිට ඒ කරපු හානියට අපි ප්‍රතිකර්ම කරන්න ඕනෑ. ඒ නිසා ද්විත්ව පුරවැසිභාවය තියෙන්න අරින්න. මේ පාර ඒකට ඉඩ හරින්න. ඔබවහන්සේලා කියපු සියලු සංශෝධන මම දැන් කරලා තියෙන්නේ. විගණනය, කැබිනට්ටුවේ ප්‍රමාණය, විසුරුවා හැරීමේ කාලය, ඔය ඔක්කොම දේවල් අපි දීලා තියෙන්නේ. මේක තියෙන්න අරින්න. මං ඕනකමින් ඉල්ලීමක් කරනවා. ඒ විතරක් නෙවෙයි. අලුත් ව්‍යවස්ථාවේ දී ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ කාරණය අපි ඉවත් කරනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සංඝයා වහන්සේ අමතමින් එසේ කීය. 

එහිදී ඇල්ලේ ගුණවංශ හිමියෝ ඊට පිළිතුරු සපයන්නට වූහ. අපි ගස්වලට ගල් ගහලා වෙන කාටවත් ගෙඩි අහුලගන්න ඉඩ තියන්නේ නෑ. ජනතාවගෙන් මහා සංඝරත්නයට එල්ල වෙලා තියෙන පීඩනය තමා අපි නියෝජනය කරන්නේ. මෙච්චර කරලා අන්තිමට ඔබතුමා අපෙන් කරන ඉල්ලීම අපිට අහක දාන්න බෑ. අපි ඔබතුමාට මේ අවස්ථාව දෙන්නම්. අපිත් එක්ක ඉන්න මන්ත්‍රීවරුන්, ජාතික සංවිධානත් අපි දැනුවත් කරන්නම්. හැබැයි අලුත් ව්‍යවස්ථාව ඇතුලේ මේ සංශෝධනය කරන්න ඕනෑ. ඇල්ලේ හිමියන්ගේ ප්‍රකාශයට මුරුත්තෙට්ටුවේ හිමියෝ ද එකඟ වූහ. 

මේ අතර බන්දුල ගුණවර්ධනගේ 20 විරෝධය පිළිබඳව ද අගමැති, ජනාධිපති සැලකිලිමත් වූහ. තමාට ලැබුණු ඇමැතිකම පිළිබඳවත් ඔහුට පැනයක් නැගී තිබුණි. වෙළෙඳ ඇමැතිවරයා ලෙස ඔහුට හිමි විය යුතු ආයතන සමහරක් වෙනත් ඇමැතිවරුන් හට පැවරීම ගුණවර්ධන මහතාට ගැටලුවක් වී තිබුණි. මහින්ද රාජපක්ෂ මහතා බන්දුල ගුණවර්ධන මහතාව අස්වසාලීමට කටයුතු කළේය. ඔයාට අපි අසාධාරණයක් වෙන්න ඉඩ තියන්නේ නෑ. අපි ඔයාට සාධාරණයක් කරනවා. ඔවුහු පැවසූහ. 

තීරණාත්මක බදාදා දින විශේෂ ලිපියක් ජනපතිට සහ අගමැතිට ලැබුණි. ඒ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගෙනි. එයින් කියැවුණේ තමා 19 වැනි සංශෝධනය ගෙන ඒමට මූලික වූ පුද්ගලයා මෙන්ම එහි නිර්මාතෘවරයා බවය. එ නිසාම හෘද සාක්ෂියට එකඟව තමන්ට 20 වැනි සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා දිය නොහැකි බව හිටපු ජනාධිපතිවරයා දන්වා තිබුණි. එසේම ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් තමන් කැමැති තීරණයක් ගනු ඇතැයි ද හෙතෙම එහි සඳහන් කර තිබුණි. මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා මෙම ලිපිය දෙස බලා කියා තිබුණේ උපේක්ෂා සහගත කතාවකි. ඔව් ඉතින් එයාට සදාචාරාත්මක අයිතියක් තියෙනවා. තමන්ම ගෙනාපු එකට විරුද්ධව අත උස්සන්න අමාරුයිනේ අගමැතිවරයා පවසා තිබුණි.

විජයදාස රාජපක්ෂ මහතාගේ තීරණය පිළිබඳව බදාදා වන තුරුත් කිසිදු පැහැදිලි කිරීමක් නොවුණි. කැබිනට් අමාත්‍ය ධූරයක් නොලැබීමෙන්  අමනාප වූ ඔහු ලැබුණු රාජ්‍ය අමාත්‍ය ධූරය ද බාරගත්තේ නැත. එතැන් පටන් ආණ්ඩුවේ ප්‍රධානීන් සමඟ ඔහුගේ යහපත් සම්බන්ධයක් නොවුණි. එහෙත් බදාදා ජනාධිපතිගෙන් වේලාවක් වෙන් කරගත් විජයදාස රාජපක්ෂ මහතා ඔහු හමුවීමට පැමිණියේය. මේ වන විට ආණ්ඩුවේ බොහෝ දෙනා විජයදාස රාජපක්ෂ මහතාගේ ඡන්දය පිළිබඳව බලාපොරොත්තු අතහැර තිබූ අතර ඔහුව ප්‍රසිද්ධියේ විවේචනය කරන්නට ද පටන්ගෙන තිබුණි. එසේ නමුත් ජනපති සහ විජයදාස මහතා අතර සාකච්ඡාව සාර්ථක වන ලකුණු පහළ විය. ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ගැටලු ආදිය පිළිබඳ ඔහු මතු කළ ප්‍රශ්නවලට ජනපති සිය ස්ථාවරය පැවසුවේය. ස්ථිරසාර විසඳුම්, ගැටලුවලට ලැබෙන්නේ නම් ඔහු ඡන්දය ලබාදීමට පොරොන්දු වූ අතර නැවත ආණ්ඩුව සමඟ සම්බන්ධතාව අලුත් කර ගැනීමට ඔහු සමත් විය.

මේ අතර බදාදා උණුසුම් පුවතක් නිර්මාණය වූයේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී විමල් වීරවංශ සහ ජයන්ත කැටගොඩ අතර ඇතිවූවා යැයි කියවෙන ආරවුලක් පිළිබඳවය. මෙම සිදුවීමට හේතු වී ඇත්තේ ද්විත්ව පුරවැසි බාධකය ඉවත් කෙරෙන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අදාළ වගන්තියට විරුද්ධව කටයුතු කරන ජා.නි.පෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහාය එයට ලබාගැනීමට ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ ගත් උත්සාහය නිසාවෙනි. එම උත්සාහය පිළිබඳව ඔහු ඉදිරියේම අගමැති මහින්ද රාජපක්ෂ මහතාට පැමිණිලි කිරීමට ජා.නි.පෙ නායක,  විමල් වීරවංශ මහතා කටයුතු කර තිබේ. එහිදී  ජයන්ත කැටගොඩ මහතා  වීරවංශ මහතාට පහර දීමට උත්සාහ කර ඇති බවත් එම ගැටුම එම ස්ථානයේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් වළක්වා ඇති බවත් වාර්තා විය. මෙම සිදුවීම විවිධ කෝණයෙන් මාධ්‍ය වාර්තා කරනු දක්නට ලැබුණි. 

බ්‍රහස්පතින්දා දහවල් වාසුදේව නානායක්කාර,  විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු පිරිස ද මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් විස්ස පිළිබඳව සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කළහ. ඔවුන් කියා සිටියේ ජනපති සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව නව තීරණයක් ගත් බවය. ලබන වසර ඇතුළත ගෙන එනු ලබන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේදී ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවේ මෙන්ම විධායක මට්ටමේ වෙනත් තනතුරු දරන්නට ඇති අයිතිය අහිමිවන ආකාරයේ වගන්තියක් නිසැක වශයෙන්ම ඇතුළත් කරන බවට ජනාධිපතිවරයා ලබා දුන් පොරොන්දුව මත පදනම්ව මෙම තීරණයට එළැඹි බව ඔවුහු මෙහිදී ප්‍රකාශ කළහ.

ගෙවුණු සතියේ ආණ්ඩුව විසින් දියත් කළ විස්ස සම්මත කර ගැනීමේ මෙහෙයුමට සාපේක්ෂවම විපක්ෂය ද විස්සට එරෙහිව සටනට අවතීර්ණ වී සිටියේය. සතිය ආරම්භයේදීම විස්ස විරෝධයේ ප්‍රමුඛයා වූ සමගි ජන බලවේගය විශේෂ නිවේදනයක් නිකුත් කළේය. පාර්ලිමේන්තු විවාදය පිළිබඳ පූර්ව කලකිරීම එයින් ඔවුහු ප්‍රකට කරන්නට වූහ. ලක්ෂ්මන් කිරිඇල්ල, රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරුන්ගේ අත්සනින් නිකුත් වූ මෙම නිවේදනය මගින් ඔවුන් ප්‍රකාශ කර සිටියේ ශ්‍රේෂ්‍ඨාධිකරණයේ නඩු තීන්දුව දැනගැනීමට ලැබෙන්නේ ගරු කථානායකවරයා විසින්  අඟහරුවාදා දින ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව බැවින් 21 දින සංශෝධනය විවාදයට ගතහොත් එය අධ්‍යයනය කිරීමට කාලයක් නොමැති වන බවය. 

මේ අතර සඳුදා සිදුවූ රිෂාඩ්  බදුයුදීන් අත්අඩංගුවට ගැනීම ද කාගේත් අවධානයට ලක් විය. මන්ත‍්‍රීවරයා දෙහිවල නගර සභාව ඉදිරිපිට සුඛෝපභෝගී මහල් නිවාසයක සැඟවී සිටියදී අලුයම පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඒ අනුව අදාළ නිවෙසේ හිමිකරු වන වෛද්‍යවරයකු සහ ඔහුගේ බිරිඳ පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේය. 

සමගි ජන බලවේගය විස්ස සම්බන්ධව විරෝධය ලිපි ගනුදෙනුවක් බවට පරිවර්තනය කර ගත්තේය. සඳුදා දිනය වන විට ඔවුහු තවත් ලිපියක් කතානායකවරයා වෙත යැවූහ. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් යොමු කළ මෙම ලිපියට අනුව කියවුණේ විස්ස පිළිබඳ විවාදයෙන් කොරෝනා සෞඛ්‍ය නීති කඩවන බවය. පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීවරුන් අසුන් ගන්නා ආකාරය රජයේ රෙගුලාසිවලට පරස්පර වේ. සහ රැස්වීම් සීමා කර ඇති අවස්ථාවක පාර්ලිමේන්තුව පැවැත්වීම ද එම නීතිරීතිවලට පටහැනි වේ යනුවෙන් මෙම ලිපියේ දක්වා තිබුණි. ඒ අනුව විවාදය කල් දමන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ. 

කෙසේ වෙතත් ඒ අතරම විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විශ්ලේෂණය කොට වාර්තා කිරීම සඳහා පාඨලී චම්පික රණවක, එරාන් වික්‍රමරත්න, හර්ෂ ද සිල්වා, මුජිබර් රහුමාන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට සමගි ජන බලවේගය පියවර  ගත්තේය. කථානායකවරයාගේ නිර්දේශය, ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග හා ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ අදහස් පිළිබඳව විශ්ලේෂණය සඳහන් වාර්තාවක් අදාළ කමිටුව ඔස්සේ සැකසීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම කටයුතු කළහ.

සමගි ජන බලවේගයේ  පිරිස විසි වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව විශේෂ රථ පෙළපාලියකින් සහ පා ගමනින් 21දා පාර්ලිමේන්තුවට පැමිණියහ. විපක්ෂ නායක සජිත් ‍ෙප්‍ර්මදාස මහතා ප‍්‍රමුඛ සමගි ජන බලවේගය මන්ත‍්‍රීවරු ‘විනාශකාරී 20 එපා’ යැයි සඳහන් කළ මුව ආවරණ සහ අත්පටි පැළඳ පාර්ලිමේන්තුවේ දී සිය විරෝධතාව පළ කළහ. අඟහරුවාදා පාර්ලිමේන්තුවේ දී කොවිඩ්  සෞඛ්‍ය ගැටලුව ද ඇවිලී ගිය අතර සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි කරුණු පැහැදිලි කරන්නට වූවාය. සජිත් ප්‍රේමදාස මහතා ද දෙවැනි පෙළ ආශිතයකු බව පැවසීමත් සමඟ ඇතිවූයේ තරමක් උණුසුම් තත්ත්වයකි. 

ජාතික ජන බලවේගය නිහඬ බව බිඳිමින් ගෙවුණු සතියේ කරළියට පැමිණියේය. එහි නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තු විවාදයේ දී සිදු කළ කතාව කැපී පෙනිණි. ඒ අතර මෙරට කොවිඩ්–19 තත්ත්වය සම්බන්ධයෙන් විවාදයක් ලබා දෙන ලෙස අනුර දිසානායක මහතා 21 වැනිදා පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී තථානායකවරයාට යෝජනාවක් ඉදිරිපත් කළේය.  23 වැනිදා මෙම විවාදය කල් තැබීමේ විවාදයක් ලෙස පැවැත්වීමට තීරණය කෙරුණි.

තීරණාත්මක බ්‍රහස්පතින්දා උදෑසන සමගි ජන බලවේගයේ කණ්ඩායම් හමුවක් පැවැත්විණි. එහෙත් විස්සට පක්ෂ වන්නේ කවුරුන්ද යන්න පිළිබඳව අවබෝධයක් ඔවුන් තුළ නොවීය. එහෙත් විසි වැනි සංශෝධනයට පක්ෂව තම පක්ෂයේ කිසියම් මන්ත්‍රීවරයකු ඡන්දය දුන්නොත් වහාම එවැනි මන්ත්‍රීවරයා පක්ෂයෙන් නෙරපා හැරීමට කටයුතු කරන බව සජිත් ප්‍රේමදාස මෙහිදී පැවසීය. කෙසේ වෙතත් රිෂාඩ් බදුයුදීන්ගේ පක්ෂයේ දෙදෙනකු හා රවුෆ් හකීම්ගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් සිව් දෙනකු විස්සට සහාය දෙමින් එදින පස්වරුවේ ආණ්ඩුවට එක්වීමට නියමිත බවට කසුකුසුවක් මේ වන විටත් නිර්මාණය වී තිබිණි. මෙදින ද සමගි ජන බලවේගයේ පිරිස විස්ස විරෝධී සටහන් සහිත මුඛ ආවරණ පැළඳ පැමිණ සිටියහ. පිරිසක් සිය ජාතික ඇඳුමේ රක්ත වර්ණ පැල්ලමක් නිර්මාණය කරගෙන තිබුණි. මේ අතර හිටපු කථානායක කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කළේය. එය මන්ත්‍රීවරුන්ට දුන් උපදේශයක් විය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හදවතට එකඟව කටයුතු කළ යුතු බව එහිදී දක්වා තිබුණි.

තිරය පිටුපස සිදුවූ කතා රුසක් ද බ්‍රහස්පතින්දා වන විට දේශපාලන ආරංචි ලැබිණි. ත්‍රෛයි රේඛා නිවේදන හෙවත් ත්‍රී ලයින් විප් ලිපිය පිළිබඳ වූ කතා ඒ අතරින් ප්‍රමුඛ විය. පෙර සඳහන් කළ පරිදි අග්‍රාමාත්‍යවරයා මෙම ලිපිය ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම වෙත කල් ඇතිව යවා තිබුණි. මෙම ලිපිය මගින් ඡන්දය ප්‍රකාශ කිරීම අනිවාර්ය කර, ඊට පිටුපාන මන්ත්‍රීන්ට විරුද්ධව විනය පියවර ගැනීමට හැකියාවක් අග්‍රාමාත්‍යවරයා වෙත ලැබී තිබිණි. එහෙත් විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණු මන්ත්‍රී කණ්ඩායමෙන් මෙම ලිපිය පිළිබඳ පළ වූයේ අසතුටකි. අලුතින් පාර්ලිමේන්තුවට පැමිණි උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයා මෙම ලිපිය බාරගැනීම පවා ප්‍රතික්ෂේප කළේය. 

මේ තොරතුරු පොදුජන පෙරමුණු මන්ත්‍රී කණ්ඩායමට ආරංචි වීම නිසා ඔවුහු තරමක් අවේගයකින් පසු විය. ඔවුහු වෙනම රැස්වී කතාබහ කරන්නට වූහ. විමල්ගේ කට්ටියට ඕනෑ නම් විරුද්ධ වෙන්න කියන්න. විමල් කැබිනට් එකේදීත් මේක අනුමත කරලා තියෙනවා. දැන් මොකද මේ. එයාට ඕනෑ තීරණයක් ගන්න කියන්න. හැබැයි අපි ඊළඟ අයවැයේ දී එයාගේ මිනිස්ට්‍රියේ බජට් එක අනිවාර්යයෙන් පරද්දනවා. යනුවෙන් කියන්නට වූහ. මෙම කතාව විමල්ට ද දැනගැනීමට ලැබුණි. කලබල වූ විමල් ඇතුළු පිරිස සමඟ ජනාධිපති අගමැති හමුවීමට ද හේතුව එය බව කියැවුණි. කෙසේ වෙතත් මුල සිටම ගම්මන්පිල සිටියේ ආණ්ඩුව විනාශ කිරීම නොකළ යුත්තක්ය යන තැනය. 

මේ අතර උද්දික ප්‍රේමරත්න නැවත හදිසියේ පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයට ගොස් ත්‍රෛයි රේඛා ලිපිය ඉල්ලා ඇත. එහෙත් එහි සිටි ලේකම්වරුන් කියා ඇත්තේ ඔයා බාරගත්තේ නෑනේ. දැන් ඒක නෑ අපි යවන්න ඕනෑ තැන්වලට ඒක යැව්වා කියාය. මෙයින් උද්දික තරමක් අවුල් වූ බව කියැවුණි. මෙම ලිපිය බාරගන්නා විට බන්දුල ගුණවර්ධන මහතා සිදුකර තිබුණේ අපූරු වැඩකි. ඔහු තමන්ගේ තීරණය ජනපති, අගමැති හමුවීමෙන් පසු ගන්නා බවට පෙරළා සටහනක් යොදා තිබුණි. 
මෙතෙක් කරළියට නොපැමිණි විපක්ෂයෙන් ආණ්ඩුවට සහයෝගය දීමට සිටි මන්ත්‍රීවරුන් කිහිප දෙනකු පිළිබඳවත් දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේය. ඒ අතර සජිත් ප්‍රේමදාස මහතා සමඟ ගැටලු තිබුණු මන්ත්‍රීවරුන් තිදෙනෙක් වූහ. මේ තිදෙනා පිළිවෙලින් ඌව, සබරගමුව, රජරට යන පළාත්වලට අයත් වූවෝ වෙති.  එහෙත් අවසාන මොහොතේ ඔවුන් ඉදිරිපත් කළ ඉල්ලීම්වලට එකඟ වීමට නොහැකි බව ආණ්ඩුවේ ප්‍රධානීහු දැන්වූහ. ඒ සමඟම ඔවුහු ඉදිරියට තැබූ පියවර පසුපසට ගත්හ. 
කඳුකරයේ දිගම්බරන් ඇතුළු පිරිස ද විස්සට සහාය වීමට කොන්දේසි ඉදිරිපත් කර තිබිණි. දිගම්බරන් හට කැබිනට් ඇමැතිකමක්, රාධ ක්‍රිෂ්ණන් හට රාජ්‍ය ඇමැතිකමක් ඔවුහු ඉල්ලා සිටියහ. ආණ්ඩුවේ ප්‍රධානීන් කීවේ ඔවුනට ලබා දීමට තනතුරු තවත් නොමැති බවය. කැමැති නම් ඡන්දය ලබා දෙන ලෙස ද ආණ්ඩුව පාර්ශ්වයෙන් කියා තිබුණි. ඒ සමඟ එම කණ්ඩායමේම සිටි අරවින්ද කුමාර් නම් මන්ත්‍රීවරයා බැසිල් රාජපක්ෂ හමුවී තමන් ඡන්දය ලබා දීමට කැමැති බව ප්‍රකාශ කළේය. 

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ ඡන්දය පිළිබඳව අදහස මහින්ද රාජපක්ෂ මහතා අතහැර දමා තිබුණි. එහෙත් මේ අතරතුර ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම  මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී හමු වූහ. අග්‍රාමාත්‍යවරයා සිරිසේන මහතා පිළිබඳව විමසා සිටියේය. එහිදී දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර යන අමාත්‍යවරු අපි නැවත එතුමාට කතා කරලා බලන්නම් යනුවෙන් රාජපක්ෂ මහතා හමුවේ කීහ. 

ඒ අනුව දයාසිරි, අමරවීර අමාත්‍යවරු මෛත්‍රීපාල සිරිසේන මහතාව දුරකථනයෙන් ඇමතූහ. ඔවුහු සර් අපි ආණ්ඩුවේ ඉන්නවා නම් මේකට ඡන්දේ දෙන්න ඕනෑ. සර්ට එන්න පුළුවන්ද? යනුවෙන් විමසූහ. එහෙත් හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය යහපත් නොවිණි. මං එන්න බලන්නම්කෝ, මටත් මුකුත් නෑනෙ වැනි පිළිතුරක් ඔහු වෙතින් ලැබී ඇත. එවිට නොපැමිණියහොත් තමන්ට ද යම් බලපෑමක් එල්ල විය හැකි බව අමාත්‍යවරු කියන්නට වූහ. එහෙත් මෛත්‍රීගෙන් ඍජු පිළිතුරක් නොලැබිණි.
මුස්ලිම් කොංග්‍රසයෙන් විස්සට පක්ෂ වීමට සිටි කණ්ඩායමේ නායකයා නසීර් අහමඩ් මන්ත්‍රීවරයාය. ඔහු කථානායකවරයා හමුවට ගොස් තමන්ට කතාවක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කළේය. එහෙත් රවුෆ් හකීම් මහතා ඊට විරෝධය පළ කළේය. කථානායකවරයා හකීම් අමතා මට මන්ත්‍රීවරයෙක් කතාවක් ඉල්ලුවොත් දෙන්න වෙනවා වෙලාවක් තියෙනවා නම්. ඒක මගේ රාජකාරිය යැයි කීවේය. අනතුරුව නසීර් අහමඩ් ඇතුළු පිරිස අග්‍රාමාත්‍යවරයා හමුවට පැමිණ විස්සට පක්ෂ වන බව කීහ. අග්‍රාමාත්‍යවරයා බොහොම හොඳයි. අපේ බේදයක් නෑ. ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්න මම දන්නවා යනුවෙන් කීවේය. අපි තනතුරු ඉල්ලන්නේ නෑ. සර් අපි ගැන බලාගන්න අපේ දිස්ත්‍රික්කවල වැඩ කරනකොට යනුවෙන් ඔවුහු කීහ. ඒ අනුව විවාදයේ ඉඩ නසීර් අහමඩ් හට ද හිමි විය. පසුගිය ආණ්ඩුවට දොස් කී ඔහු ආණ්ඩුවට පක්ෂ වන බව කීවේය.

අවසන් විවාදය උණුසුම් මුහුණුවරක් ගැනිණි. තර්ක විතර්ක මැදින් ගෙවී ගිය හෝරාවන් අවසානයේ රාත්‍රී 7.30ට ඓතිහාසික ඡන්ද විමසීම සිදු විය. ඉලෙක්ට්‍රොනික ක්‍රමයට ඡන්ද විමසීම සිදුවූ අතර රවුෆ් හකීම් මහතා සිය මන්ත්‍රීවරුන්ට බලපෑම් කරන බවට චෝදනාවක් ආණ්ඩුව පාර්ශ්වයෙන් එල්ල විය. ඒ අවස්ථාවේ දී කථානායකවරයා රවුෆ් හකීම් මහතාට නැවත අසුන් ගන්නා ලෙස නියෝග කළේය. 

අවසානයේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2/3 ඡන්දයකින් සම්මත වූ බව කථානායකවරයා නිවේදනය කළේය. ඒ අනුව 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දෙවැනි වර කියැවීම සම්මත වූයේ වැඩි ඡන්ද 91කිනි. පක්ෂව ඡන්ද 156ක් ද, විපක්ෂව ඡන්ද 65ක් ද හිමි විය. මෙහිදී සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන ෆයිසාල් කාසිම්, නසීර් අහමඩ්, අලි සබ්‍රි රහීම්, මොහොමඩ් හාරිස් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ. පසුව කාරක සභා අවස්ථාවේ දී ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ වගන්තියට ද ඡන්ද 157ක් ලැබුණි. අවසානයේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධන සහිතව 03 වැනි වර කියැවීම ද වැඩි ඡන්ද 91කින් සම්මත වූ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන නිවේදනය කළේය.

20 අභියෝගය ජයගන්නා ආකාරය බලන්නට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙදින පාර්ලිමේන්තුවට පැමිණියේය. පාර්ලිමේන්තුවේ සිය කාර්යාලයේ සිට විවාදය සිදුවන ආකාරය බලා සිටියේය. විස්ස සම්මත කර ගැනීමේ මහ මොළකරු වූ බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නොපැමිණියේය. පැය බාගයෙන් බාගයට පාර්ලිමේන්තු තතු ඔහු විසින් දුරකථන මාර්ග ඔස්සේ විමසා සිටි බව දැනගන්නට ලැබුණි. සියල්ල ඔහුගේ අධීක්ෂණය යටතේ සිදු වූ බව ප්‍රසිද්ධ රහසක් වූ අතර ආණ්ඩුව විස්ස සම්මත කර ගන්නා විට බැසිල් ද දිනූ බව බොහෝ දෙනා කීහ. 

 චමිඳු නිසල්

 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 07 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00