2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා

ගෝඨාභය නාමල්ට කී පැරැණි රස කතා

 2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 997

► පිරිසිදු දේශපාලනඥයන් සොයාගත්තාදැයි මහින්ද මාර්තු 12 ව්‍යාපාරයෙන් විමසයි
► හිරුණිකා නැවතත් රන්ජන් වෙනුවෙන් පෙරට එයි
► සජිත් ප්‍රේමදාස ශ්‍රීලනිපයටත් අත වනයි
► ආණ්ඩුව දින සීයේ දී පොරොන්දු කඩකළ බවට චෝදනා
► රවුෆ් හකීම්ගේ කතාවට ජ.වි.පෙ.න් ගෝරියක්
► රේගු ලොක්කා හැටියට හමුදා නිලධාරියකු ගෙන ආ හේතුව ජනපති පහදයි

ජනාධිපතිවරයාට පැවරී තිබෙන ව්‍යවස්ථානුකූල බලතල අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හෙට දින (මාර්තු 02දා) සිදුවනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. මැතිසබය විසුරුවා හැරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුබ නැකැත් ගණනාවක් ගැන විමසා බැලීය. ජනාධිපතිවරයාට මේ සඳහා ජ්‍යොතිෂ උපදෙස් සපයන ප්‍රකට ස්වාමින් වහන්සේ නමක විසින් මුලින් මැතිසබය විසුරුවා හැරීම පිණිස ලබා දුන්නේ මාර්තු මස 02, 03 සහ 06දා නැකැත්ය. එහෙත් 06දා නැකැතට පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය අප්‍රේල් 25දා තැබීමට හැකියාවක් ලැබෙන්නේ නැත. ඒ අතර පොහොට්ටු සන්ධානයේ පක්ෂ නායකයන්ගේ ද මතය වී තිබුණේ සිංහල අවුරුදු උත්සවය මැතිවරණ ප්‍රචාරක කාලයේ පැවැත්වෙන නිසා ඡන්ද ප්‍රචාරයට ලැබෙන දින ගණන සීමාවන බවය. ඒ හේතුවෙන් එක් දිනක් හෝ පසුපසට නොදමා මැතිසබය විසුරුවන්නට සුබ නැකැතක් ලැබෙන මුල්ම දිනයේ එම විසුරැවා හැරීම කරන්නැයි පක්ෂ නායකයෝ අගමැතිවරයාගෙන් සහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ. ඒ අනුව මාර්තු 02දා උදාවන සුබ නැකැතකින් විසුරැවා හැරීම සිදු කිරීමට ඉඩ ඇති බව වාර්තා වෙයි.

ඒ සමඟ පොහොට්ටුවේ පක්ෂ සමඟ සාකච්ඡා කොට සන්ධාන ගිවිසුම අනුව අපේක්ෂක ධූර බෙදාගැනීම සිදු කෙරේ. නාමයෝජනා මණ්ඩල සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මේ සම්බන්ධව බැසිල් රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කොට සැලසුමක් සකස් කර ඇතැයි දැනගන්නට ඇත. පසුගියදා මැතිවරණ කොමිසමේ ලියාපදිංචි කළ සන්ධානයට අතුරලියේ රතන හිමිගේ “විජයධරණීසභාව පක්ෂය”, තොණ්ඩමන්ගේ ලංකා වතු කම්කරු කොංග්‍රසය සහ අතාවුල්ලා මහතාගේ නැෂනල් කොංග්‍රසය, අත්සන් කර නොතිබිණි. ඊට හේතු වූයේ මෙම අයැදුම්පත මැතිවරණ කොමිසමට බාරදෙන දිනයේ ඔවුන් කොළඹ නොසිටි බැවින් අත්සන් ලබාගත නොහැකි වීම බව පොහොට්ටුව කියයි. නමුත් මෙම පක්ෂ නායකයන් තිදෙනාම ඒ ආකාරයට තමන්ගේ පක්ෂ නොමැතිව සන්ධාන අයැදුම්පත බාරදීම ගැන මහින්ද රාජපක්ෂ මහතා වෙත සිය කනස්සල්ල පළ කර තිබිණි. ඉන් අනතුරුව කළ සාකච්ඡාවලදී මේ අය පසුව සන්ධානයට එක්කර ගැනීමට තීන්දු විය. එහෙත් රතන හිමිගේ විජයධරණීසභාව තවමත් පිළිගත් දේශපාලන පක්ෂයක් නොවන නිසා එය වෙනම කණ්ඩායමක් ලෙස සන්ධානයට එක් කරගනු ඇති බව කියැවෙයි.

මෙම කටයුතු සිදුවන අතරතුර බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඡන්දයේ ප්‍රචාරක සැලසුම, මහජන රැස්වීම් ආදිය ගැන තීරණ ගැනීම සිදුවිය. ලංකාවේ දිස්ත්‍රික්ක කොටස් තුනකට වර්ග කර ඒ ඒ දිස්ත්‍රික්කවල මන්ත්‍රීන් ගණන සලකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගි වන ප්‍රචාරක රැලි පවත්වන දිස්ත්‍රික්ක සහ ස්ථාන තීන්දු කළේය. අප වෙත ලැබෙන තොරතුරු අනුව ජනාධිපතිවරයා දීපව්‍යාප්තව මහජන රැලි 60 ක් පමණ අමතන අතර අගමැති ඊට වැඩි ප්‍රමාණයක් ඇමතීමට සැලසුම් කර තිබේ.

පොහොට්ටුව ඡන්ද ප්‍රචාරක සැලසුම සකස් කරද්දීත් එ.ජා.පයට තමන්ගේ දේශපාලන සන්ධානය ස්ථාපිත කර ගැනීම අර්බුදයක් බවට පත්ව තිබේ. පසුගිය සතියේ සිකුරාදා ඉන්දියාවට ගිය එ.ජා.ප. නායක රනිල් ඉන්දියාවේ පැවති මාධ්‍ය සම්මන්ත්‍රණයක දේශනයක් පැවැත්වීය. එයට පෙර ඔහු එරට සුප්‍රකට “ගුරුවායුර්” කෝවිලේ විශේෂ ආරක්ෂක දේව පූජාවකට එක්වූ බවද දැනගන්නට තිබේ.

සමගි ජාතික බලවේගයේ ප්‍රධානී සජිත් ප්‍රේමදාස මහතා සහ රන්ජිත් මද්දුමබණ්ඩාර ඇතුළු ජ්‍යෙෂ්ඨයෝ පක්ෂයේ ලකුණ පිළිබඳ ප්‍රශ්න නිරාකරණය කර ගැනීම සඳහා සූදානම් වෙති. යම් හෙයකින් හංසයා ලකුණ නොලැබෙන්නේ නම් ඒ වෙනුවට විකල්ප ලකුණක් යොදාගන්නට මේ අය ක්‍රියා කරමින් සිටිතැයි දැනගන්නට ඇත. නමුත් තවමත් හංසයා ලකුණ හිමි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂය සමඟ සාකච්ඡාව පවත්වාගෙන යයි. පසුගියදා එම පක්ෂයේ නායකයා ලෙස හඳුන්වන මන්ත්‍රී රවි කරුණානායක, පක්ෂ මහලේකම් ශ්‍යාමිලා පෙරේරා සහ පක්ෂ සභාපති ශලීල මුණසිංහ යන අය සමඟ සජිත් සහ රන්ජිත් ඇතුළු පිරිස සාකච්ඡා කළහ. මෙම සාකච්ඡාව සුහද ලෙස අවසන් වුවද අන්තිම තීන්දුවක් ගෙන නැත. රවීලා දැඩි කොන්දේසි දැනට ඉදිරිපත් කර නැතත් ඉදිරියේ දී කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කිරීමට යන බව ආරංචි මාර්ග කියයි.

සමගි ජාතික බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස් වෙත ඉල්ලීමක් ඉදිරිපත් කරමින් සඳහන් කළේ ශ්‍රී.ල.නි.පයේ විවිධ තාඩන පීඩනවලට ලක්වී කොන් වී සිටින පිරිසට තමන් සමඟ එක්වන ලෙසය. පංච මහා බලවේගයේ පිරිස්වලට මෙන්ම ශ්‍රී.ල.නි.පයේ පහළ මට්ටමේ සිට නායක මට්ටම දක්වා වන සියලු දෙනාට මෙම ආරාධනය විවෘත යැයි ද සජිත් කීය. ඒ අතරම ඔහු මැතිසබා ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේ ආණ්ඩුව ගැන රටේ ජනතාව කලකිරී සිටින නිසා තම කණ්ඩායමට විශිෂ්ට ජයක් අත්පත් වන වගය. ශ්‍රී ලංකා රේගු අධිකාරියට එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මේජර් ජනරාල් විජිත රවිප්‍රිය මහතා පත් කිරීමට ජනාධිපතිවරයා තීන්දු කළේ විශේෂ හේතු ගණනාවක් නිසාය. මෙහි පවත්නා නොයෙක් අකටයුතුකම්, අල්ලස සහ දූෂණය තුරන් කිරීම ප්‍රධාන අරමුණක් විය. එහෙත් රාජ්‍ය නිල ධූරාවලියේ නොම්මර එකේ තනතුර ලෙස හැඳින්වෙන රේගු ප්‍රධානී තනතුරට විශ්‍රාමික හමුදා නිලධරයකු පත් කිරීම ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය අපේක්ෂා කළේ නැත. රාජ්‍ය පරිපාලන සේවයේ ප්‍රබලයන් වන ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතාට සහ අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතාට බොහෝ රේගු වෘත්තීය සංගම් මේ ගැන පැමිණිලි කළ බව වාර්තා විය.

ඒ අනුව ඔවුහු මේ සිද්ධිය ගැන ජනාධිපතිවරයා දැනුවත් කළහ. ප්‍රශ්නය දේශපාලන වශයෙන් සමතයට අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෘත්තීය සමිති කැඳවා ප්‍රශ්නය සාකච්ඡා කළේ ඉන් පසුවය. දින කිහිපයකට මේජර් ජනරාල් රවිප්‍රියගේ පත්වීම අත්හිටුවා රේගු වෘත්තීය සංගම්වලට ජනාධිපතිවරයා සමඟ මේ ගැන සාකච්ඡා කරන්නැයි අගමැතිවරයා දැන්වීය. ජනාධිපතිවරයා සිටියේ රේගුවට ආරක්ෂක අංශයේ දක්ෂයකු පත් කරන්නටය. මෙයට පෙර ඒ සඳහා යෝජනා වී තිබුණේ පසුගියදා විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ මහතාගේ නමයි. ඔහු රාජ්‍ය පරිපාලන සේවයේ ද නිලධරයෙකි. කෙසේ නමුත් වික්‍රමසිංහ මහතා ඔබ්බුඩ්ස්මන් තනතුරට පත් කළ බැවින් රේගුවට තෝරාගත්තේ රවිප්‍රිය මහතාය. ඔහුගේ නම මෙයට පෙර බන්ධනාගාර අධ්‍යක්ෂ ජනරාල් ධූරයට ද යෝජනා විය.

කෙසේ හෝ ගිය සඳුදා සවස ජනාධිපති ගෝඨාභය මේ ගැන සාකච්ඡාවකට රේගු වෘත්තීය සංගම් කැඳවීය. ජනාධිපතිවරයා ඔවුන් කැඳවා මුලින්ම පැහැදිලි කළේ මේජර් ජනරාල් රවිප්‍රිය මෙම තනතුරට තෝරාගත්තේ රාජ්‍ය පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨතාව සහ දක්ෂකම ඇති ප්‍රවීණයකු මේ සඳහා සොයාගන්නට නොහැකි වූ නිසා බවය. එවිට රේගු ප්‍රධානීන් කීවේ එය එසේ නොවන බවත් තම සේවයේ ජ්‍යෙෂ්ඨයන් සිටින වගත්ය. සමහරැන්ට ආචාර්ය උපාධි පවා ඇති බවද රේගු ප්‍රධානීහු කීහ. එවිට ජනාධිපතිවරයා පැහැදිලි කළේ තමන්ට ජනතාව වරමක් දී තිබෙන්නේ ඒ ඒ ආයතනවල පිරිසුදු පාලනයක් ගෙන යාමට බවය. ජනතාව අද රේගුව ගැන කියන දේ ඔබ අසා තිබේදැයි මෙහිදී ජනපතිවරයා ප්‍රශ්න කළේය. රේගු නිලධාරීන් ඒ අවස්ථාවේ ද ඉල්ලා සිටියේ තමන්ගේ සේවාවේ නිලධරයකු පත් කළහොත් වැඩ කිරීම පහසු බවකි. “මම කියන එක අහන්න එපා. පිට ජනතාව කියන දේ අහල බලන්න. මටත් බොහෝ දෙනා නොයෙක් දේ කියනව.. ජනතාවගේ මතය ඔබ කියන දේට පටහැණියි.” ජනාධිපතිවරයා පැවසීය. රේගු නිලධාරීන් මෙහිදී තරමක් සමනය වී සිටි අතර ජනාධිපතිවරයා ඉතා සුහදව ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ රට වෙනුවෙන් ලොකු වැඩ කොටසක් කළ දක්ෂ අවංක අයකු වන රවිප්‍රිය මහතා හමුදා නිලධරයකු ලෙස නොතකා ඔහුට උදව් කරන ලෙසය. ටික කලක් ඔහු සේවය කරන ආකාරය බලා සිටින්නැයි ද ජනාධිපතිවරයා රේගු ප්‍රධානීන්ට කීය. ඒ සමඟ සාකච්ඡාව අවසන් වූ අතර මේජර් ජනරාල් රවිප්‍රිය මහතා රේගු ප්‍රධානී තනතුරේ වැඩ බාරගත්තේය.

සුළු ජාතික පක්ෂ ගණනාවක අර්බුද මතුව තිබේ. රවුෆ් හකීම් මුස්ලිම් කොංග්‍රස නායකයා එ.ජා.ප. නායක රනිල් සමඟ තිබූ ඇයි හොඳයිකම් සීමා කරගෙන ඇත. සජිත් සමඟ එක්වන බව ප්‍රකාශ කරමින් සිටි ඔහු පසුගිය සතියේ තම පක්ෂය, දෙමළ සන්ධානය සහ ජ.වි.පෙ. සමඟ වෙනම සන්ධානයක් හදන බව කීමත් සමඟ ජ.වි.පෙ. රවුෆ් හකීම්ට දැඩි විරෝධයක් එල්ල කළේය. තමන්ලා එවැනි ජාතිවාදය පදනම් කරගත් සන්ධානවලට එක් නොවන බව ජ.වි.පෙ. මන්ත්‍රී නලින්ද ජයතිස්ස කී අතර රවුෆ්ට දුරකතනයෙන් ඇමතූ අනුර දිසානායක, ජ.වි.පෙ. නායකයා මෙම කතාව වහා නිවැරදි කරන්නැයි දැන්වීය. ඒ අනුව මාධ්‍යයට නැවත කතා කළ රවුෆ් හකීම් තමන් කළේ යෝජනාවක් පමණක් යැයි කියා ඇඟ බේරාගත්තේය.

ශ්‍රී ලංකා මහජන කොංග්‍රස නායක රිෂාඩ් බදුයුදීන් සජිත්ලාගේ සන්ධානයට බඳවා නොගත යුතු බව එහි ජ්‍යෙෂ්ඨයන් සජිත් ප්‍රේමදාසට උපදෙස් දී තිබිණි. ඒ අනුව රිෂාඩ්ට වෙනම මහ මැතිවරණය තරග කරන්නැයි දන්වා තිබේ. රිෂාඩ් දැන් බරපතළ නීති ප්‍රශ්නයකට ද මුහුණ දී ඇති බැවින් ඔහු තනිව තරග කිරීමට ද ඒ හැටි සතුටක් නැති බව වාර්තා වෙයි. කෙසේ හෝ මේ සතියේ රිෂාඩ් බදුයුදීන් හදිසියේම මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් වව්නියාවේ දී පැවසුවේ පක්ෂය ලකුණ කුමක් වුවත් තමන්ගේ පක්ෂය සජිත් ප්‍රේමදාස සමඟ එක්ව තරග කරන වගය. තමන්ට සජිත් පිලෙන් තරග කළ නොහැකි යැයි මෙතෙක් දැනුම් දී නැතැයි ද රිෂාඩ් කීය.

වතුකරයේ දෙමළ ප්‍රගතිශීලී සන්ධානය ද අර්බුදයකට මුහුණ දී සිටී. නුවරඑළිය දිස්ත්‍රික්කයට දෙමළ අපේක්ෂකයන් සිව් දෙනකු ඉදිරිපත් කරන්නට තැත් කිරීම නිසා එහි නායක මණ්ඩලය තුළ ප්‍රශ්න මතු කළේ කඳුරට ජනතා පෙරමුණේ නායක වී. රාධක්‍රිෂ්ණන් මන්ත්‍රීවරයාය. ඔහු ඊට අකමැතිය. තමන් කපා දමන්නට මෙවැන්නක් කරන බව ඔහුගේ මතයයි. ඒ නිසා අපේක්ෂකයන් ගැන තීන්දුව වෙනස් නොකෙරේ නම් තමන් තනිව තරග කරන බවද රාධක්‍රිෂ්ණන් මාධ්‍යයට කීය. රාධක්‍රිෂ්ණන් පිලෙන් කැඩී ගොස් සිටින කඳුරට ජනතා පෙරමුණේ නිර්මාතෘ පී. චන්ද්‍රසේකරන් මහතාගේ දියණිය ද මේ සියලු දෙනාට සටනක් දෙන්නට වෙනම ඉදිරිපත් වන බව කියා තිබේ. ඒ අතර වතුකර දේශපාලනයේ ප්‍රබලයන් සියලු දෙනා කැළඹීමට පත් කරමින් නව අපේක්ෂකයකු ලෙස පොහොට්ටුව නියෝජනය කරමින් ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා ප්‍රභාකරන් වතුකරයෙන් ඡන්ද සටනට බසින්නේ ඔහුගේ ප්‍රචාරක කටයුතු මුත්තයියා මුරලිදරන්ට පවරමිනි. වතුකර තරුණ ප්‍රජාව අතර ජනප්‍රිය මුරලිගේ සොහොයුරා ඡන්ද සටනට ඉදිරිපත් වීම ගැන තොණ්ඩමන් අමාත්‍යවරයා මෙන්ම හිටපු අමාත්‍ය දිම්බරම් ද දැඩි කනස්සල්ලෙන් පසුවන්නේ නුවරඑළියේ මනාප පොරය උග්‍රව පවතින නිසාය.

ජාතික හෙළ උරුමය නායක චම්පික රණවක මහතා සජිත්ලාගේ සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ලබාගෙන මාධ්‍ය හමුවක් ද තැබුවේ සජිත් සමඟය. ඔහු වත්මන් රජය ලබාදුන් පොරොන්දු ඉටු නොකර ආර්ථිකය කාබාසිනියා කරන බවට ආණ්ඩුවට චෝදනා නැගීය. විරුද්ධවාදීන් මර්දනයෙන් ආණ්ඩු පවත්වාගෙන යා නොහැකි යැයි ද චම්පික රණවක කීය.

අගමැති මහින්ද රාජපක්ෂ සහ මාර්තු 12 ව්‍යාපාරය අතර සාකච්ඡාවක් පසුගියදා අගමැති නිල නිවෙසේ දී සිදුවිය. මාර්තු 12 ව්‍යාපාරයේ ප්‍රධානී රෝහණ හෙට්ටිආරච්චි මහතා ඇතුළු පිරිසක් ඊට එක් වූහ. අගමැතිවරයා සමඟ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ද සාකච්ඡාවට එක්විය. මෙහිදී රෝහණ හෙට්ටිආරච්චි මහතා ඇතුළු පිරිස කීවේ තමන්ගේ උත්සාහය දේශපාලන ක්ෂේත්‍රයට පිරිසුදු දේශපාලනයක් හඳුන්වාදීම බවය. ඒ නිසා පක්ෂ නායකයන් සමඟ ඒ ගැන කතා කරන වග පැවසීය.

මෙහිදී ඇත්ත සඟවන්නේ නැතිව කෙළින් කතා කරමු යැයි කී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රශ්න කළේ පසුගිය වසර පහක කාලය තුළ පැවති ආණ්ඩුවේ පිරිසුදු දේශපාලනඥයන් හමුවූයේ නැත්ද කියාය. දැනටත් මැතිසබා බලය ඇත්තේ ඔවුන්ට යැයි මහින්ද කීය. අනතුරැව දෙපක්ෂය සුහද කතාබහක නිරත වූ අතර පරාජිත දේශපාලනඥයන් ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තු එවීමෙන් වළකින්නැයි මාර්තු 12 ව්‍යාපාරය අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය. ඒ ගැන තමන් තීන්දුවක් ගත් බවත් පරාජිතයන් ලැයිස්තුවෙන් නොගෙනෙන වගත් මහින්ද ඔවුනට කීය.
ආන්දෝලනාත්මක දුරකතන හඬපට සිද්ධිය හේතුවෙන් සති ගණනක් රිමාන්ඩ්ගතව සිටි රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට මේ සතියේ ඇප හිමි විය. ඔහු ඇප ලබා තමන්ගේ බොරු කොණ්ඩය ‘විග්’ එක ද නැතුව නිවෙසට ගියේය. ඊට පෙර මාධ්‍ය ඇමැතූ රන්ජන් කීවේ තමන්ට ඇප ලබා දෙන්නට මැදිහත් වූයේ මැතිසබයේ සිටින දෙමළ ජාතික නීතිඥ මන්ත්‍රී සුමන්තිරන් මහතා බවය. තමන්ට සජිත්ගේ සන්ධානයේ නාමයෝජනා ලැබෙතැයි විශ්වාසය පළ වී තිබෙන බවද රන්ජන් රාමනායක කීය. එසේ නොමැති නම් තමන් ස්වාධීනව ගම්පහ දිස්ත්‍රික්කයට තරග කරන්නේ යැයි ඔහු වැඩිදුරටත් පැවසීය. තමන්ට දූෂණ චෝදනා නැති බැවින් බිය වීමට කරුණක් නැතැයි ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ඒ අතරතුර හිරැණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය ප්‍රකාශයක් කරමින් රන්ජන්ට ඉදිරි මහ මැතිවරණයට නාමයෝජනා ලබා දිය යුතු බව අවධාරණය කළාය.

දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කිරීම ගිය සති අන්තයේ සිදුවිය. ජනාධිපති, අගමැති සහ චීන තානාපතිවරයා ද එම උත්සවයට එක්වූයේ රජයේ සෙසු මැති ඇමැතිවරැන් ද සමඟය. මාතර පාලටුවේ විවෘත කිරීමෙන් පසු බරවාකුඹුක නිල උත්සවය පැවති ස්ථානයට ජනාධිපතිවරයා ගමන් කළ රථය පැදවූයේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාය. රථයේ වේගය අඩුකර ගමන් කරන්නැයි නාමල්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා නාමල් සමඟ බරවාකුඹුකට යන තෙක් කතා කළේ පැරුණි රස කතාය. මැදමුලන ආශ්‍රිතව මාර්ගය වැටී ඇති ස්ථානවල පොල්වතු සහ හිස් ඉඩම් කිහිපයක් නාමල්ට පෙන්වූ ජනාධිපතිවරයා තමන් මහින්ද, චමල්, බැසිල් ඇතුළු සහෝදරයන් කුඩා කල සෙල්ලම් කළේ මෙම තැන්වල යැයි කියමින් පැරැණි රස මතකය නාමල්ට සිහිපත් කර දුන්නේය.

ජනතා විමුක්ති පෙරමුණ මහමැතිවරණය ඉලක්ක කරගෙන යන සම්මන්ත්‍රණ මාලාව මේ සතියේත් පැවැත්විණි. මාතර දී අනුර දිසානායක ජ.වි.පෙ. නායකයා සම්මන්ත්‍රණයකට සහභාගි විය. විජිත හේරත් ප්‍රචාරක ලේකම්වරයා පසුගිය දින කිහිපය ගත කළේ ආණ්ඩුව පළමු දින 100 තුළ කරන ලද සේවාවන් පිළිබඳ අධ්‍යයනයටයි. ඒ ගැන ඔහු පසුව මාධ්‍යයට ප්‍රකාශයක් ද කළේය. රජය ඡන්දයට පෙර එම්.සී.සී. ගිවිසුම අත්සන් නොකරන බවත් එය අහෝසි කරන බවත් කී නමුත් එය තවමත් කර නැතැයි විජිත කීය. ආණ්ඩුව අධිකරණවලින් වැරදිකරුවන් වූ අයත්, නඩු ඇති අයත් උසස් පදවිවලට පත් කර තිබේ. නැවතත් රට පුරා රජයට එරෙහිව උපවාස, උද්ඝෝෂණ හටගෙන ඇත. පොහොර සහනාධාරය ද තමන් කතා කරන පොරොන්දුවක් පමණක් යැයි කී විජිත හේරත් තම දේශපාලන බලවේගය ජනතාව රවටන බොරු පොරොන්දුවලින් වැළකී යථාර්ථවාදී දේශපාලනයක යෙදෙන නිසා ජනතාව ඒ වටා රොක් විය යුතු යැයි සඳහන් කළේය.

පසුගිය 27 බ්‍රහස්පතින්දා උදෑසන යෙදුණු සුබ මොහොතින් නෙළුම් මාවත පොදුජන පෙරමුණ මූලස්ථානයේ දී මාධ්‍ය කාර්යාලයක් විවෘත කෙරිණි. එම විවෘත කිරීම බැසිල් රාජපක්ෂ, මහාචාර්ය ජී.එල්. පීරිස් සහ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අතින් සිදුවිය. මෙම විවෘත කිරීමෙන් අනතුරුව පැවති තේ පැන් සංග්‍රහයේ දී කතා වූ ප්‍රධානම මාතෘකාවක් වූයේ බැඳුම්කර ගනුදෙනුවයි. බැඳුම්කරයට එදිනට වසර 5 ක් පිරෙනවා යැයි එහි සිටි අයෙක් පැවසූ විට ගිය ආණ්ඩුවටවත් අපටවත් තවම අර්ජුන මහේන්ද්‍රන් ගෙන්නවා ගන්න බැරිවුණානේ යැයි පැවසුවේ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපාය.

“අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපති තනතුරෙන් අයින් කළේ වැඩබලන මුදල් ඇමැති හැටියට ලක්ෂ්මන්.. ඒක හොඳ කතාවක්” බැසිල් රාජපක්ෂ මහතා ජී.එල්. පීරිස් දෙසට හැරී පැවසීය. යූ.එන්.පිය අකමැතිව සිටියදී අර්ජුන මහේන්ද්‍රන්ගේ නිල කාලය හමාර වූ සැණින් එයට අදාළ නීති පනත් සියල්ල විමර්ශනය කර ජනාධිපතිවරුන් ගණනාවකගෙන් උපදෙස් ද ලබාගත්හ. එක රැයින් අර්ජුන මහේන්ද්‍රන් ඉවත් කොට ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පත් කරන්නට ජනාධිපති සිරිසේන එකඟ කර ගත්තේ ද ලක්ෂ්මන් යාපා ඇතුළු පිරිසකි. එය දේශපාලන රහස් ගණනාවකින් සමන්විත කතාවක් යැයි එහි සිටි පිරිස සමඟ ලක්ෂ්මන් යාපා කියන විට ඉදිරි මහ ඡන්දෙදීත් ඔය වගේ ඔපරේෂන් එකක් මාතර දිස්ත්‍රික්කෙ දි කරලා ඉහළ මනාප ප්‍රතිශතයක් ගන්න ඔයාට පුළුවන් කියමින් බැසිල් රාජපක්ෂ මහතා ලක්ෂ්මන් යාපාට සුබ පැතීය.
► ප්‍රකාශ් ඉරුගල්බණ්ඩාර

 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 07 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00