• ජනපතිට විශ්‍රාමයෙන් පසු වටිනා නිල නිවෙසක් සමඟ ලොකු ආරක්ෂාවක්
• රනිල් සජිත්ගේ සටනට සිරිකොත කාර්යාලයක් අරී
• ගෝඨාගේ ආර්ථික පැකේජයෙන් බදු සහන
• ඉස්සර බැණවැදී දැන් කිරි පැණිවගේ ඉන්න යාලුවෙක් ගැන මහින්ද කී කතාව
• හිටපු ජනපතිනියට ඥානය පහළවේවායි ශ්‍රී.ල.නි.ප. සභාපතිගෙන් ප්‍රාර්ථනාවක්
• අනුර මහේෂ් පල්ලෙවත්ත එකම බෝට්ටුවට නගින ලකුණ
ජනාධිපතිවරණයේ නිල ප්‍රචාරක කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ. ගෝඨාභය රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජනාධිපති ධූර අපේක්ෂකයන් මේ දිනවල කාර්යබහුල වී ඇත්තේ මහජන රැලි නිසාය. සතියේ ආරම්භයේදීම සිදුවූ ප්‍රධාන සිද්ධිය වූයේ මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොසිටි වතු කම්කරු කොංග්‍රස පක්ෂය ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කිරීමට ගත් තීන්දුවයි. ඇල්පිටියේ මැතිවරණයේදී පොහොට්ටුව හා ශ්‍රී.ල.නි.ප.ය එක්ව ලබාගත් ඡන්ද ප්‍රතිශතය නිසා මෙතෙක් වැට උඩ සිටි තොණ්ඩමන් මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා අමතා තම පක්ෂය ඔහුට සහය දෙන්නට තීන්දු කළ බව කීය. ඊට පෙර දිනයේ ගෝඨාභයගේ නිවසට පැමිණි තොණ්ඩමන් මහතා ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් සමඟ රාත්‍රී භෝජනය ගනිමින් විශේෂ සාකච්ඡාවක් පැවැත් වූ නමුත් එදින ඔහුගේ තීරණය ප්‍රකාශ කළේ නැත. තමන් සිය පක්ෂය සමඟ සාකච්ඡාකොට තීන්දුව දෙන බව පමණක් කියා තිබිණි.
කෙසේ හෝ තොණ්ඩමන්ට නිරාකරණය කරගත යුතු ප්‍රශ්නයක් තිබිණි. ඒ ඔහුට නිරන්තරයෙන් දේශපාලන සහය ලබාදෙන ඉන්දියාවේ මතය කුමක්දැයි දැන ගැනීමයි. නරේන්ද්‍ර මෝදි රජය පෙර මෙන් කලාපීය දේශපාලන කටයුතු ගැන උනන්දු නොවී උදාසීන තත්ත්වයක සිටින බැවින් තොණ්ඩමන් ඉන්දීය බලධරයන්ට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය ලැබුණ බව වතු කම්කරු කොංග්‍රස ආරංචි මාර්ග කියයි. කෙසේ හෝ තොණ්ඩමන් මහතා 2015 දී පැවති ජනපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළකිරීම නිසා ඔහු සතුව ඉන්දියාවේ ඇති ව්‍යාපාර සම්බන්ධව යම් යම් ප්‍රශ්න පැන නැගුණු බැවින් හෙතෙම මෙවර බෙහෙවින් පරෙස්සම් විය. කෙසේ හෝ තොණ්ඩමන් පක්ෂ තීන්දුව ගන්නට පෙර ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් වතුකරයට පැමිණ ඔහු මුණගැසුණි. ඔහුට තිබෙන ප්‍රශ්න හා ඒවාට කළහැකි උදව් උපකාර ගැනද සාකච්ඡා විය. සංවේදී දේශපාලන කාරණා සම්බන්ධයෙන්ද අදහස් හුවමාරැ විය. එහෙත් තොණ්ඩමන් ඔවුනට පවසා ඇත්තේ ජනාධිපතිවරණයේ දී සහය දීම ගැන තීන්දුව තම පක්ෂය විසින් ගනු ලබන බව පමණි. කෙසේ හෝ සිය තීන්දුව නිල වශයෙන් ප්‍රකාශ කරන්නට පෙර තොණ්ඩමන් මහතා ඉන්දීය මහ කොමසාරිස් තරන්ජිත් සිං සන්දු මහතා හමුවී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබිණි. තමන්ගේ පක්ෂ තීන්දුව මෙම සාකච්ඡාවට පසුදා ප්‍රකාශ කරන්නේ යයිද ඔහු මහකොමසාරිස් සන්දුට දැන්වූ බව ප්‍රකාශිතය. සිය තීන්දුව අනුව පොහොට්ටුව සමඟ සන්ධාන ගතවීමේ ගිවිසුම තොණ්ඩමන් මහතා සහ පොහොට්ටුව අතර ගිය සිකුරාදා අත්සන් කැරිණි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දීමට නිල වශයෙන් තීන්දු කිරීම ගැන හිටපු ජනාධිපතිනී ශ්‍රීලනිප අනුශාසිකා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පසුවන්නේ දැඩි අමනාපයෙනි. පක්ෂය මෙම තීන්දුව ගන්නා විට ඇය සිටියේ ලන්ඩනයට ගොසිනි. ඉන්පසුව ඇය තමන්ට හිතවත් පාක්ෂිකයන් අමතා කතා කරමින් තමන් සමඟ එ.ජා. පෙරමුණට වෙනම කණ්ඩායමක් ලෙස සහය දීමට අවශ්‍ය සංවිධාන කටයුතු සිදුකළේ දුරකතනයෙනි. පක්ෂ තීන්දුව සමඟ එකඟනොවන සංවිධායකයන් හිටපු පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රීහු ගණනාවක්ද ඇය සමඟ එක්වී සිටිති. ඔවුන්ගෙන් ඇතැමෙක් දැනටමත් එ.ජා.පෙරමුණ සමඟ එක්ව සිටිති. කෙසේ හෝ ඇය පක්ෂය ගත් මෙම තීන්දුව ගැන විරෝධය පළකරමින් පාක්ෂිකයන්ට විවෘත ලිපියක් මගින් ආයාචනයක් කර ඇත.
එම ලිපිය මගින් හිටපු ජනපතිනිය වත්මන් පක්ෂ නායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය විවේචනය කර ඇති අතර තම මව හා පියා ගොඩනැගූ පක්ෂය රැක ගන්නට දිවිහිමයෙන් කැපවන බවද කියා ඇත. මෙලෙස පක්ෂ නායකත්වය විවේචනය කරමින් හිටපු ජනපතිනිය කළ ප්‍රකාශය ගැන ශ්‍රී.ල.නි.ප.යේ වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂමන් පියදාස මහතාගෙන් මාධ්‍යය ප්‍රශ්න කළවිට ඔහු ප්‍රකාශ කළේ හිටපු ජනාධිපතිනිය පක්ෂයේ ගරු අනුශාසිකාව වුවත් එතුමියට අත්තනගල්ල ප්‍රාදේශීය සභාවවත් ජයගත නොහැකිවූ බවය. එතුමිය ප්‍රායෝගික යථාර්ථය තේරුම් ගතයුතු යැයි කී පියදාස මහතා ඒ සඳහා චන්ද්‍රිකා මැතිනියට ඥානය පහළ වේවායි ප්‍රාර්ථනා කරන බව ප්‍රකාශ කළේය.
ඒ අතරතුර හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා ද කීවේ පොහොට්ටුවට නොයන පාක්ෂිකයන් සමඟ ශ්‍රීලනිපය භාරගෙන පක්ෂය ගොඩනගන්නට තමන් සූදානම් බවය. අද හෙටම ඒ සඳහා වැඩපිළිවෙළක් ආරම්භ කරන්නේ යැයිද වෙල්ගම මහතා කීය. ඒ සඳහා ශ්‍රීලනිප සුරැකීමේ සංවිධානයේ සහාය ද ඔහු ඉල්ලා ඇත.
පසුගියදා පැවති ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රතිඵලය ගැන මේ සතිය ආරම්භයේදීම උත්තර බඳින්නට එජාපය ක්‍රියා කළේය. අජිත් පී. පෙරේරා මහතා කීවේ ජනතා තීන්දුවට ගරුකරන නමුත් මෙය ජනාධිපතිවරණ ප්‍රතිඵලයට ගාවාගත නොයුතු බවය. අකිල විරාජ් කාරියවසම් පක්ෂ මහ ලේකම්වරයාද පක්ෂ සභාපති කබීර් හෂීම් ද සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයා ද ඊට සමාන අදහස් දක්වමින් කීවේ ඇල්පිටිය යනු ඉතා කුඩා ඡන්ද බල ප්‍රදේශයක් බැවින් එහි ප්‍රතිඵලය ජනාධිපතිවරණයට කිසිසේත්ම බලපෑමක් නොවනු ඇත කියායි. ඒත් අමාත්‍යවරයකු පැවසුවේ මෙය පොහොට්ටුවට සිඟිති ආතල් එකක් ලබාදුන් අවස්ථාවක් කියායි.
කෙසේ වෙතත් අල්පිටිය ජයග්‍රහණය කළ පොහොට්ටුව උදම්වෙද්දී ආණ්ඩුවේ එක්තරා සුළු ජාතික පක්ෂ නායකයෙක් දැඩි ලෙස කලබලවී සිටියේය. ඔහු හතර අතේ දුරකතන ඇමතුම් දෙමින් සැබෑ තතු විමසා බලන්නට පටන් ගත්තේ පක්ෂ මාරුවකට ඉඩ තිබේ ද යන්න ගැනත් විමසා බලමිනි. ඔහු මෙරට ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන ප්‍රධානියකු අමතා තමන් වෙනුවෙන් දේශපාලන කපුකමක් කරන ලෙස ද යෝජනා කර ඇතත් එම මාධ්‍ය ප්‍රධානියා අදාළ යෝජනාවට එකඟවී නැත.
සජිත් ප්‍රේමදාස මහතා වේදිකාවල දිවයින පුරා මහජන රැලි අමතමින් සිටී. ඔහු පසුගිය දින 10ක පමණ කාලයේ දිනකට මහජන රැලි හතර පහ අමතමින් රට වටේ ගමන් කරයි. සජිත් මේ සියලුම මහජන හමුවලදී තමන්ගේ වැඩපිළිවළෙ කුමක් ද කියා රට හමුවේ තබයි. ඔහු මුල්තැන දෙන්නේ ජනතා සුබ සාධනයට බව කරන ප්‍රකාශවලින් ඉතා පැහැදිලිය. පාසල් නිල ඇඳුම්, සපත්තු, දරුවන්ට දිවා ආහාර ආදිය නොමිලයේ සැපයීම. ජනාධිපති කාර්යාලය දවසේ පැය 24ම විවෘත කර තබා ජනතාවට සේවය සැලසීම වැනි පොරොන්දු සජිත්ගේ වේදිකාවෙන් අසන්නට ලැබේ. සජිත් තමන්ටම ආවේනික ශෛලියකට වැඩ කරන නායකයකු නිසා ඔහු සියලු රාජ්‍ය සේවකයන්ට ප්‍රකාශ කළේ තමන්ගේ ශෛලියට වැඩකරන්නට සූදානම් වන ලෙසයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද සජිත් ප්‍රේමදාස මහතාගේ ජනපතිවරණ සටනේ ප්‍රචාරක කටයුතු සොයා බලමින් ඒවාට උපදෙස් දෙමින් සිටිති. පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාට ඒ සම්බන්ධයෙන් උපදෙස් දී ඇති අග්‍රාමාත්‍යවරයා සිරිකොත කාර්යාලයේද මැතිවරණ ප්‍රචාරක මෙහෙයුම් මැදිරියක් විවෘත කර එමගින් ද අවශ්‍ය සහය ලබා දෙන්නැයි නියම කළේය. සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසුම්පායේ වෙනම ප්‍රචාරක කාර්යාලයක සිට ප්‍රචාරක මෙහෙයුමක් දියත් කර තිබේ. වොක්ෂෝල් විදිය කාර්යාලයේ සිට තවත් ප්‍රචාරක මෙහෙයුමක් තිස්ස අත්තනායක මහතා ඇතුළු පිරිස විසින් ද සිරිකොතෙන් සෙසු ප්‍රචාරක මෙහෙයුම් ද දියත් කර ඇත. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කතානායක කරු ජයසූරිය මහතා අතර හමුවක් ගිය අඟහරුවාදා පවත්වා තිබේ. එහිදී කතානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කර ඇත්තේ තමන් පාර්ලිමේන්තුවේ ප්‍රධානම ස්වාධීන තනතුර දරන නිසා මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට දායකවීම යෝග්‍ය නොවන බවයි.
ගිය අඟහරුවාදා දහවල් සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීම කැඳවා තිබිණි. එහිදී සාකච්ඡා කළ ප්‍රධානම විෂයක් වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනට ඔහු පදිංචිව සිටින මහගමසේකර මාවතේ නිල නිවෙස පෞද්ගලික නිවාසය ලෙස විශ්‍රාම යාමෙන් පසුවත් භාවිත කරන්නට ලබාදීම ගැනය. ඊට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව කැබිනට්ටුවට ඉදිරිපත් කළේ. අමාත්‍ය මංගල සමරවීරය. අමාත්‍ය සමරවීරගේ යෝජනාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ අමාත්‍යවරුන් අනුමැතිය දුන් අතර ඔහු විශ්‍රාම යාමෙන් පසු විශේෂ පොලිස් කාර්යබලකායේ ආරක්ෂාව ලබාදීමට ද අමාත්‍යවරැ තීරණය කළහ. ඊට හේතුව ලෙස දැක්වුණේ ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා වැඩපිළිවෙළක් දියත් කළ බැවින් ඔහුට දැඩි ආරක්ෂක තර්ජනයක් ඇතැයි යන නිගමනයයි. හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා මැතිනියට ද විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව දෙමුයැයි අමාත්‍ය තිලක් මාරපන යෝජනා කළද එම යෝජනාව අනුමත වී නැත. මේ හැර පසුගිය කාලය පුරා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද ජාතික ආර්ථික සභාව අහෝසි කළ යුතු යැයි ඔහු විසින්ම ඇමැති මණ්ඩලයට ගෙන ආ යෝජනාව ද කැබිනට්ටුව අනුමත කළේය.
දෙමළ ජාතික සන්ධානය ඉදිරි ජනාධිපතිවරණය සඳහා ප්‍රධාන පක්ෂ වෙත සහය පළකිරීමට පෙර ඔවුන්ගේ යෝජනා මාලාවකට ලිඛිත අනුමැතිය ඉල්ලා රටේ ප්‍රධාන අපේක්ෂකයන් වෙත යෝජනා මාලාවක් ඉදිරිපත් කළේය. මෙම යෝජනා මාලාව සකස් කළේ දෙමළ ජාතික සන්ධානයට සම්බන්ධව ලොට් - ටෙලෝ - ඊපී.ආර්.එල්.එෆ්. තමිල් අරසුකච්චි සහ දෙමළ ජනතා පෙරමුණ යන පක්ෂවල නායකයන්ගේ සහභාගීත්වයෙනි. යාපනේ පැවති මෙම සාකච්ඡාව සංවිධානය කළේ උතුරේ විද්වතුන් සහ සරසවි ශිෂ්‍ය නායකයන් මෙන්ම පොදුජන සංවිධාන ගණනාවක දායකත්වයෙනි. මාවෙයි සේනාධිරාජා, එම්.ඒ. සුමන්තිරන්, සී. සිද්ධාර්ථන්, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, සී.වී. විග්නේෂ්වරන්, ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් යන මහත්වරු මෙහි අවසාන කෙටුම්පත සම්පාදනයට එක්වූහ. ඔවුහු තම ජනතාව වෙනුවෙන් යෝජනා මාලාවක් සකස්කොට ලිඛිතව ජනාධිපති අපේක්ෂකයන් වෙත භාර දුන්හ. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය, දෙමළ ජනයාට ස්වෛරී ස්වයං පාලන අවස්ථාවක් උදාකිරීම, ෆෙඩරල් පාලන තන්ත්‍රයක් ස්ථාපිත කිරීම, යුද අපරාධ ජාත්‍යන්තර අධිකරණයක් මගින් විභාග කිරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීම, උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම ආදී ප්‍රධාන යෝජනා රුසකින් මෙම ලේඛනය සමන්විතය. එම ලේඛනය දකුණේ ජනාධිපති අපේක්ෂකයා වෙත ඉදිරිපත්කොට ඊට මේ අය දක්වන ප්‍රතිචාරය අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී සහය දීම හෝ නොදීම ගැන තීන්දුවක් ගැනීමට මෙම පක්ෂ අපේක්ෂා කරන බව දැක්වේ. එහෙත් එම සාකච්ඡාවට එක්වූ ගජේද්‍රකුමාර් පොන්නම්බලම් මහතා එකී මතය අනුමත කර නැත. ඔහු තම හිතවතුන්ට පවසා ඇත්තේ මෙවර උතුරේ ඡන්ද කිසිවකුට ලබානොදිය යුතු බවයි. එහෙත් ඔහුගේ ඡන්ද වර්ජන යෝජනාවට සෙසු පක්ෂ නායකයන් එකඟ වී නොමැත.
ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ හමුව ගිය අඟහරුවාදා සවස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී පැවැත්විණි. ඒ සඳහා පළමුවරට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මහින්ද අමරවීර සහ දයාසිරි ජයසේකර යන මහත්වරු සහභාගී වූ අතර ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ පක්ෂ නායකයෝ ඒකාබද්ධ විපක්ෂයෙන් එක්වූහ. අතුරැලියේ රතන හිමි සහ ඒ.එල්.එම්. අතාවුල්ලා මහතා ද මෙම පක්ෂ නායක හමුවට පැමිණ සිටියේ මුල්වරටය. මෙම රැස්වීම ආරම්භ වීමට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගාල්ල දිස්ත්‍රික්කයේ චන්දිම වීරක්කොඩි හා රමේෂ් පතිරණ ප්‍රමුඛ සන්ධාන මන්ත්‍රීන් අතර හටගෙන තිබෙන විරසකය ගැන සාකච්ඡා කරන්නට හබරාදූව ආසනයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීන් කැඳවා තිබිණි. ගාල්ලේ සන්ධාන මන්ත්‍රීන් වන චන්දිම, රමේෂ් හා මොහාන්ද එහි වූහ. “මොකද්ද මේ ප්‍රශ්නය ඇයි මේ අපේම මිනිස්සු ගහගන්නෙ.” යනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා කතාව ආරම්භ කළවිට ප්‍රාදේශීය සභා මන්ත්‍රීන් කීවේ “මෙතුමා අපට ඔබතුමාට විතරක් නෙවෙයි ඔබතුමාගේ පවුලේ අයටත් බැන්නා. ඒකයි අපි එයාටත් ඒ විදිහට සලකන්නේ.” යැයි පවසද්දී චන්දිම වීරක්කොඩි මහතා කීවේ තමන් කිසිමදිනක රාජපක්ෂ පවුලට බැණවැදී නැති බවය. මේ බැණුම් කතාව වාදයක් වෙද්දී මහින්ද රාජපක්ෂ මහතා කීවේ “ආ.. හා.. ඒක දැන් ඇති. මට බැන්නට කමක් නැහැ. ඒක දේශපාලනේ හැටිනේ. දැන් කලින් මට බැණපු දයාසිරිලා අපි සුහදව කිරි පැණි වගේ වැඩ කරන්නේ.” යයි පවසමින් සිනාසුණේය. “අනේ සර් මම සර්ට බැණලා නැහැ. අපි යූ.ඇන්.පීයට ගියෙත් නැහැ. අපි වැඩ කළේ පක්ෂය ගත්ත තීන්දුව එක්ක ඇමතිකම ගත්තෙත් ඒ අනුවයි.” කියමින් චන්දිම වීරක්කොඩි උත්තර බඳින විට “ඇමැතිකමක් දෙනව නම් කවුද නොයන්නෙ ආ.. ඒක නෙවෙයි ඔයගොල්ලෝ ඔය ප්‍රශ්න ඉවර කරගන්න. දැන් කරන්න ඕන සේරොම එකතුවෙලා ගෝඨාභය දිනවන එකයි. මහ ඡන්දෙදී මනාප රණ්ඩු බේරගන්න.” කියමින් දෙගොල්ලටම අවවාද කළේ අභ්‍යන්තර ගැටුම් නිමාකර ගෙන දේශපාලන කටයුතු කරන හැටියටයි.
අනතුරුව පක්ෂ නායක හමුව ආරම්භ විය. එහිදී ශ්‍රී.ල.නි.ප. නියෝජිතයන් මතු කළේ තම මන්ත්‍රීන් පොහොට්ටුවැරුස්වීම්වලට ගියවිට “හූ” කීම සම්බන්ධවයි. ඒ ගැන සාකච්ඡාව ආරම්භයේද්දී විමල් වීරවංශ පැවසුවේ මේ “හූ”ව පිටිපස්සේ සිටින්නේ චන්ද්‍රිකා හිතවාදීන් බවය. එවිට උදය ගම්මන්පිල පැවසුවේ ඒ ඒ ආසනවල සංවිධායකවරුන්ට මේ ගැන වගබලා ගැනීම පැවරිය යුතු වගය. කතාවට එක්වෙමින් මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ මහර ජනහමුවේදී ප්‍රසන්න රණතුංග හැකිතාක් ඒ තත්ත්වය පාලනය කරගත් බවකි. ඒ සම්බන්ධව ඉදිරියටත් නිරීක්ෂණයෙන් සිට ශ්‍රී.ල.නි.ප. හිතවතුන් ගෞරවණීය ලෙස සැලකිය යුතුයයි මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය. මේවා කරන අය අල්ලා ගන්නැයි ද ඔහු කීය. ඒ සමඟ දයාසිරිලා ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් වෙනම ජනහමු ගණනාවක් පවත්වන්නට තීන්දු කර ඇතැයි පැවසීය. ඒ රැස්වීම් සඳහා අවශ්‍ය කාලවේලා වෙන් කර දෙන්නැයි දයාසිරි සහ අමරවීර මහත්වරු ඉල්ලාසිටියහ.
ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන කොටස් වශයෙන් එළිදැක්වීම ආරම්භ කළේය. ඒ අනුව ජාතික ජන බලවේගය රටට ඉදිරිපත් කරන අධ්‍යාපන ප්‍රතිපත්තිය එළිදැක්වීම පසුගිය 14 දා සිදුකැරිණි. අධ්‍යාපනය පිළිබඳ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමට පෙර එය සකස්කරන ලද ප්‍රවීණ අධ්‍යාපනඥයන් විසින් අනුර කුමාර දිසානායක මහතාට එය පිරිනමනු ලැබීය. ඒ අවස්ථාවට ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි ඇතුළු පිරිසක් එක්වූහ. ඉන් පසුව අනුර දිසානායක මහතා එය නිල වශයෙන් ප්‍රකාශයට පත්කළේය. රට තොට නැගීමේ කාර්යාලයේදී ආර්ථික උපාය මාර්ගවලට මගපෙන්වන්නේ අධ්‍යාපනය විසින් යැයි මෙහිදී පැවසූ අනුර දිසානායක මහතා සමාජයේ පවත්නා අපරාධ හා ආර්ථික අහේනිය හා දුප්පත්කමට හේතුව ද විධිමත් අධ්‍යාපනයක් නොලැබීම යැයි කීය. මේ නිසා ජ.වි.පෙ. ප්‍රමුඛ පක්ෂ විසින් යුගයට ගැලපෙන අධ්‍යාපන ප්‍රතිපත්තියක් සම්පාදනය කළේ විද්වතුන්ගේ අදහස් උදහස් ද ලබාගෙනයැයි හෙතෙම සඳහන් කළේය.
මෙවර ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදී සිටින මහේෂ් සේනානායක, රොහාන් පල්ලෙවත්ත යන මහත්වරුන් සහ ජාතික ජනබලවේගයේ අපේෂක අනුර කුමාර දිසානායක මහත්වරු අතර හමුවක් ළඟදීම සිදුවන්නට යන බව දැනගන්නට තිබේ. ජාතික ජනතා ව්‍යාපාරය වෙනුවෙන් මහේෂ් සේනානායක මහතා ද සංවර්ධන අරමුණ වෙනුවෙන් රොහාන් පල්ලෙවත්ත මහතාද තරග කරන අතර ඔවුන් අනුර සමඟ සාකච්ඡා කරන්නේ කිසියම් දේශපාලන එකඟතාවක් ඇතිකර ගැනීමේ අරමුණකින් බවද දැනගන්නට තිබේ. මහේෂ් සේනානායක හා රොහාන් පල්ලෙවත්ත මහත්වරුන්ගේ ප්‍රධාන අරමුණ ජනාධිපතිවරණයෙන් පසුව එන මහ මැතිවරණයේදී ආසන කීපයක් දිනාගැනීම නිසා ඔවුහු අනුර දිසානායක සමඟ කිසියම් සන්ධාන ගතවීමක් කළහැකිද යන්න සොයාබලමින් සිටිති. දැනටමත් ඡන්ද ව්‍යාපාරය මදක් දුරට ගෙනගොස් සිටින අපේක්ෂකයන් වන මහේෂ් හා රොහාන්, අනුර දිසානායක සමඟ සිදුකරන සාකච්ඡා සාර්ථක වුවහොත් ඔවුන් ඡන්ද සටනින් ඉවත්ව අනුර දිසානායක මහතාට සහාය පළකිරීමට ඉඩ ඇති බව දැනගන්නට තිබේ. ඡන්දයට පෙරත් මහේෂ් සේනානායක සහ අනුර කුමාර දිසානායක මහත්වරුන් අතර මෙබඳු කතා බහක් පැවති නමුත් එය සාර්ථක වූයේ නැත. නමුත් දැන් මේ ආකාරයට කරන කතාබහ සාර්ථක වී පොදු සැලසුමකට පැමිණියත් මැතිවරණ කොමිසම පවසන්නේ නාමයෝජනා දුන් කිසිදු අපේක්ෂකයකුට නිල වශයෙන් ඡන්දයෙන් ඉවත් වීමට දැන්නම් කිසිම නීතිමය ඉඩක් නැති බවය. ඒ බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දැනටමත් මාධ්‍යයට කියා ඇත. එබැවින් අනුර දිසානායකට මහේෂ් සේනානායක සහ රොහාන් පල්ලෙවත්ත මහත්වරු සහය දුනහොත් ඔවුනට කරන්නට සිදුවන්නේ තම පාක්ෂිකයන් කැඳවා ඔවුන් තමන් වෙනුවෙන් දෙන්නට සැලසුම් කළ ඡන්දය මාලිමාවේ අනුර දිසානායක මහතාට දෙන ලෙස ඉල්ලා සිටීම පමණි. එහෙත් ඡන්ද පත්‍රිකාවේ අනුර දිසානායක, මහේෂ් සේනානායක හා රොහාන් පල්ලෙවත්ත තිදෙනාගේම නම් නියමිත ලෙස සඳහන් වනු ඇත.
මේ අතර ප්‍රධාන දෙපක්ෂයම පක්ෂ මාරැ ගැන ඉඟි පළකරන්නට පටන්ගෙන ඇත. පසුගියදා මාධ්‍ය හමුවේ බැසිල් රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂ යන මහත්වරු කීවේ ළඟදීම එ.ජා.ප.යේ තනතුරු දරන්නන් පිරිසක් පොහොට්ටුවට එක්වනු ඇතිබවය. මේ අය අතර කැබිනට් ඇමැතිවරුන් තිදෙනෙකු වන බවද පොහොට්ටු ආරංචි මාර්ග කියයි. එසේම සජිත් ප්‍රේමදාස පාර්ශ්වය සඳහන් කරන්නේ පොහොට්ටුවෙන් තමන්ට පිරිසක් එක්වනු බවයි. එසේම ශ්‍රී.ල.නි.ප.යේ හිටපු පළාත් සභා හා හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීන් පිරිසක් ද එක්වන බව කියැවේ. පසුගියදා ඇහැලියගොඩදී ජෝන් සෙනවිරත්න මහතාට පොහොට්ටු රැස්වීමකදී නිග්‍රහ කළ නිසා ඔහුටද තමන් සමඟ එක්වන්නැයි සජිත් ප්‍රේමදාස මහතා විවෘතව ආරාධනා කළේය. එහෙත් ඊට දිනකට පසුව බලංගොඩ පැවති පොහොට්ටු රැස්වීමට ගොඨාභය රාජපක්ෂ මහතා තමා සමඟ පැමිණි ජෝන් සෙනවිරත්න මහතාගේ අතින් අල්ලාගෙන ඡන්ද වේදිකාවට නැගුණු අතර කිසිවෙක් එහිදී ඔහුට නිග්‍රහකරන්නට ඉදිරිපත් නොවීය. එහිදී ජොන් සෙනවිරත්න සඳහන් කළේ තමන් ශ්‍රී ලංකාකාරයකු බවත් තමන්ගේ පක්ෂයේ දේශපාලන සතුරන් සමඟ කිසිවිටෙකත් එක්නොවන බවත්ය.
එ.ජා.පයේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ තරග කරන ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මාධ්‍ය මෙහෙයුම ගැන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගිය බදාදා අරලිය ගහ මන්දිරයේදී පැවැත් විණි. ජනපතිවරණ මාධ්‍ය මෙහෙයුම ස්ථාන ගණනකින් නොව එක් ස්ථානයකින් සිදුවිය යුතු බව අගමැති රනිල් පෙන්වා දුන්නේය. එසේම එය විධිමත් සැලසුමක් අනුව සිදුකළ යුතු යැයි කී අගමැතිවරයා මෙතෙක් සිදුකළ මාධ්‍ය මෙහෙයුම් කටයුතුවල අඩුපාඩු ද පෙන්වා දුන්නේය. ඒ සමඟ මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් පොදු ක්‍රියාමාර්ගයක් තිබිය යුතු යැයි අගමැතිවරයා පෙන්වා දුන්නේය. අගමැති රනිල් පෙන්වා දුන් මෙම කරැණු සම්බන්ධව අවධානය යොමු කළ සජිත් ප්‍රේමදාස මහතාගේ ඡන්ද ප්‍රචාරක සැලසුම්කරුවෝ සජිත්ගේ ද අනුමැතිය ඇතිව ඔහු වෙනුවෙන් මාධ්‍ය ප්‍රකාශ නිකුත් කිරීමට මැතිඇමැතින් තිදෙනෙක් පත් කළෝය. ඒ අනුව අමාත්‍ය මංගල සමරවීර රාජ්‍ය අමාත්‍යවරුන් වන සුජීව සේනසිංහ හා නලීන් බණ්ඩාර යන මහත්වරු මේ සතියේ සිට සජිත් ප්‍රේමදාස මහතාගේ මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස ක්‍රියාකරන බව ඔහුගේ මැතිවරණ ප්‍රචාරක මෙහෙයුම් කාර්යාලය ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකින බවට ප්‍රකාශ කොට පොහොට්ටුවේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා දැඩි ලෙස විවේචනය කළ හිටපු අමාත්‍ය කුමාර් වෙල්ගම මහතා පසුගිය දිනවල සිටියේ නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරමිනි. ඔහු තමන්ගේ සියලුම ජංගම දුරකතන පවා නිවා දමා තිබිණි. ශ්‍රී.ල.නි.ප.යෙන් ඔහු අපේක්ෂා කළ විකල්ප ක්‍රියාදාමයට සහයෝගයක් ලැබුණේ නැත. ජනාධිපති අපේක්ෂකත්වය සඳහා ඇප මුදල් තැන්පන් කළ වෙල්ගම මහතා ජනපති සටනට ඉදිරිපත් වූයේද නැත. නිල නොවන ආරංචි මාර්ග සඳහන් කළේ නාම යෝජනා දිනයට පෙර දිනයේ වෙල්ගම මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා අතර පැවති විශේෂ රහසිගත සාකච්ඡාවකින් පසුව ඔහු ස්වකීය අපේක්ෂකත්වය ඉවත් කරගත් බවය. වෙල්ගම මහත්මියගේ පාර්ශ්වයෙන් කුමාර් වෙල්ගම මහතාට රාජපක්ෂ පවුල හා සමීප ඥාති සබඳතාවක් ද තිබේ. ඒ කෙසේ වෙතත් පසුගිය සතිය වනතෙක්ම වෙල්ගම මහතා පොහොට්ටුවට එරෙහි සටනක නිරත වූ අතර ඔහු චන්ද්‍රිකා මැතිනිය සමඟ එක්වී ඇතැයි ද සමහරු කීහ.
ගිය බ්‍රහස්පතින්දා කුමාර් වෙල්ගම මහතා නියෝජනය කරන මතුගම ආසනයේ මතුගම නගරයේදී තවත් විශේෂ සිදුවීමක් වාර්තා විය. එදින මතුගම නරග මධ්‍යයේ ප්‍රදේශයේ ප්‍රකට ස්වාමින් වහන්සේලා පිරිසකුත් ප්‍රකට දේශපාලන ක්‍රියාකාරීන් පිරිසකුත් සත්‍යග්‍රහයක් ආරම්භ කළෝය. එමගින් වෙල්ගම මහතාගෙන් ඉල්ලා තිබුණේ ඔහු ඉදිරි ජනාධිපතිවරණයේදී පොහොට්ටුවේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දියයුතු බවයි. යම් හෙයකින් මේ සංඝයා වහන්සේලාගේ සහ ගිහි අයගේ ඉල්ලීම වෙල්ගම මහතා විසින් ඉටුනොරන්නේ නම් තම සත්‍යග්‍රහය මාරාන්තික උපවාසයක් දක්වා ගෙනයන බවද සත්‍යග්‍රහයේ නියුතු හිමිවරු ප්‍රකාශ කර තිබිණි. ඒ අනුව මේ සති අන්තය වනවිට කුමාර් වෙල්ගම මහතා කුමක් කරනු ඇත්දැයි දැක බලාගතහැකි වනු ඇත. මෙලෙස උපවාස කරන හිමිවරුන් හා ගිහියන් වෙල්ගම මහතාගේ සමීපතමයන් බැවින් මේ උපවාසයේ සැබෑ අරුත වෙල්ගම මහතාට තවත් දේශපාලන කරණමක් සඳහා පාර කැපීම වන්නට ඉඩ තිබේ.
සිකුරාදා උදෑසන පොහොට්ටුව සහ තොණ්ඩමන් මහතාගේ වතුකම්කරු කොංග්‍රස පක්ෂය සන්ධාන ගතවීමේ ගිවිසුමකට අත්සන් තැබුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදීය. එදිනම එහි පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වූ එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා තමන් මෙවර ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය ලබාදීමට එක්වන බව ප්‍රකාශ කළේය.
► ප්‍රකාශ ඉරුගල් බණ්ඩාර